Gossip Lanka News.lk

Underground News from Sri lanka.

Live Cricket

Follow Us

Fans

වහා ක්‍රියාත්මකවන පරිදි අද(29) මධ්‍යම රාත්‍රීයේ සිට බලපැවැත්වෙන පරිදි පෙට්‍රල්,ඩීසල්,සහ භූමිතෙල් මිල වැඩිකර ඇති බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව පවසයි.

ඒ අනුව පෙට්‍රල් ලීටරයක මිල රු.12 න්ද,ඩීසල් ලීටරයක මිල රු.8 න්ද,භූමිතෙල් ලීටරයක මිල රු.10 න්ද වැඩිවන බව ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කරයි.

source-adaderana
Read More »

රාගම ප්‍රදේශයේදී නාඳුනන මැර පිරිසක්‌ විසින් පැහැරගෙන යනු ලැබූ "ලොකු සීයා" නොහොත් රාගම දේවාලයේ කපු මහතා සොයා ආන්දෝලනාත්මක චරිතයක්‌ ලෙස ප්‍රකට රජයේ දේශපාලනඥයෙක්‌ මෙහෙයුමක්‌ අරඹා තිබේ.
මේ අනුව "ලොකු සීයා" අතුරුදන් වූ පෙරේදා (27 දා) සැන්ඳෑවේ සිට මෙම දේශපාලනඥයා පොලිසියේ ඉහළම නිලධාරීන් කිහිප දෙනකුටම දුරකථනයෙන් කතා කර "ලොකු සීයා" පිළිබඳ තොරතුරු විමසා ඇතැයි ද වාර්තා වේ.
පොලිසිය ද මෙම සිද්ධිය පිළිබඳ පුළුල් විමර්ශනයක්‌ අරඹා ඇතත් මෙතෙක්‌ කිසිදු තොරතුරක්‌ නැති බව අදාළ පොලිස්‌ නිලධාරීන් දේශපාලනඥයාට දැනුම් දී ඇත.
අවිගත් මැර පිරිසක්‌ විසින් මෙම පැහැර ගැනීම සිදු කර තිබුණු අතර අතුරුදන්ව සිටින "ලොකු සීයා" නමැත්තා කලක සිටම මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ අයකු බවට පොලිසියට තොරතුරු ලැබී තිබේ.
මත්ද්‍රව්‍ය ජාවාරම් කල්ලි අතර ඇති වූ ගැටුමක ප්‍රතිඵලයක්‌ ලෙස මෙම පැහැර ගැනීම සිදුවී ඇතැයි යන්න පරීක්‍ෂණ පවත්වන පොලිස්‌ කණ්‌ඩායම් සැකකරයි.


source - divaina
Read More »

රාගම දේවාලයේ ප්‍රධාන කපු මහතා වන මොහොමඩ් සාලි නියාස්‌ හෙවත් "ලොකු සීයා" නාඳුනන සන්නද්ධ කණ්‌ඩායමක්‌ විසින් අබිරහස්‌ අන්දමින් පැහැරගෙන යැම පිළිබඳව පෑලියගොඩ අපරාධ කොට්‌ඨාසය ඇතුළු පොලිස්‌ කණ්‌ඩායම් 6 ක්‌ පුළුල් පරීක්‍ෂණ ආරම්භ කර ඇත.
පෙරේදා (27 වැනිදා) සවස 6.25 ට පමණ මහබාගේ කෙරවලපිටිය වැලිපාර ප්‍රදේශයේදී පැහැර ගැනීමට ලක්‌වූ ලොකු සීයා පිළිබඳ කිසිදු තොරතුරක්‌ ඊයේ (28 වැනිදා) වනතුරුත් ලැබී නොතිබිණි. පැහැර ගන්නා අවස්‌ථාවේ ලොකු සීයා රුපියල් කෝටි තුනහමාරකට අධික වටිනාකමෙන් යුත් රන් ආභරණ පැළඳ සිටි බව පරීක්‍ෂණවලදී හෙළිවී තිබේ. ලොකු සීයා පැළඳ සිටි ආභරණ අතර පවුම් 30 ක අත් පළඳනාවක්‌, පවුම් 30 ක මාලයක්‌, විශාල මුදු 6 ක්‌ සහ තවත් මාල කීපයක්‌ ඇතුළු පවුම් 70 ක බරින් යුත් රන් ආභරණ තිබී ඇත.
සෙත් ශාන්ති, හූනියම් කැපීම් ඇතුළු නොයෙකුත් අදෘෂ්‍යමාන බලවේග කරමින් ඉමහත් ප්‍රසිද්ධියක්‌ ලබා සිටි "ලොකු සීයා" රාගම ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක්‌ පවත්වාගෙන ගියේය.
මොහොමඩ් සාලි නියාස්‌ මහතාගේ පුත්‍රයා ද මෙම දේවාලයේ කටයුතු කළ අතර ඔහු "පොඩි සීයා" ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටි බව පොලිසිය පවසයි.
පෙරේදා සවස 5.45 ට පමණ ලොකු සීයා රාගම පිහිටි දේවාලයේ කටයුතු නිම කර සිය ජීප් රථයෙන් මහබාගේ කෙරවලපිටිය ප්‍රදේශයේ පිහිටි නිවස වෙත යමින් සිටියේය.
කෙරවලපිටිය වැලිහේන ප්‍රදේශයේදී සන්නද්ධ පිරිස රැගත් වෑන් රථය මාර්ගය අහුරා නතර කර තිබේ. අපද්‍රව්‍ය ඉවත් කරන බවුසරයක්‌ ද යොදාගෙන මාර්ගය අහුරා ඇති සන්නද්ධ පිරිස ලොකු සීයා පැමිණි ජීප් රථය නතර කර ඇත.
පසුව එහි සිටි සන්නද්ධ පුද්ගලයන් ලොකු සීයාගේ කමිසයේ කොලරයෙන් අල්ලා ඇදගෙන ගොස්‌ වෑන් රථයට දමාගෙන තිබේ. එහි සිටි සන්නද්ධ පුද්ගලයන් කීපදෙනකු ලොකු සීයා පැමිණි ජීප් රථය ද පරීක්‍ෂා කර එහි තිබූ පාර්සලයක්‌ ද සොයාගෙන එය ද රැගෙන ගොස්‌ ඇත.
මෙම පැහැරගැනීම සඳහා සන්නද්ධ තරුණයන් අට දෙනකු පැමිණ සිටි බව පරීක්‍ෂණවලින් අනාවරණය වී තිබේ. ඔවුන් සියලු දෙනා ටී 56 සහ පිස්‌තෝල වලින් සන්නද්ධව සිටි බව පොලිසිය පවසයි.
පැහැරගැනීම සිදුවන අවස්‌ථාවේ ලොකු සීයා පමණක්‌ ජීප් රථයේ සිට ඇත. මොහු දිනපතාම පාහේ දේවාලයේ සිට නිවස බලා එන්නේ මෙම මාර්ගයෙන් බවද හෙළිවී ඇත.
මේ පිළිබඳව හොඳින් අධ්‍යයනය කළ සංවිධානාත්මක පිරිසක්‌ විසින් මෙම පැහැර ගැනීම සිදු කරන්නට ඇති බවට පොලිසිය සැක පහළ කරයි.
සැකකටයුතු ජංගම දුරකථන අංක කීපයක්‌ ඔස්‌සේ විශේෂ පොලිස්‌ කණ්‌ඩායම් මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වාගෙන යයි.
විවිධ අදෘෂ්‍යමාන බලවේග කරමින් ලොකු සීයා බොහෝ පිරිසක්‌ අතර ප්‍රසිද්ධියට පත්ව සිටියේය. විවිධ දේශපාලනඥයන්, ආරක්‍ෂක අංශ ප්‍රධානීන්, ව්‍යාපාරිකයන් ඇතුළු විශාල පිරිසක්‌ ලොකු සීයාගෙන් විවිධ උපකාර, සෙත්ශාන්ති ලබාගැනීමට පුරුද්දක්‌ ලෙස පැමිණ ඇත.
අතිවිශාල ධනයක්‌ ලොකු සීයා විසින් පරිහරණය කළ නිසා විවිධ නීතිවිරෝධී ක්‍රියාවල මොහු නිරත වන පුද්ගලයකු බවට ද මතයක්‌ ප්‍රදේශය පුරා ගොඩනැඟී තිබිණි.
බස්‌නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්‌පති ප්‍රසන්න නානායක්‌කාර මහතාගේ උපදෙස්‌ මත පෑලියගොඩ අපරාධ කොට්‌ඨාසයේ ස්‌ථානාධිපති උපුල් සමරසිංහ මහතාගේ මෙහෙයවීමෙන් පරීක්‍ෂණ පැවැත්වේ.


"තාත්තා දේවාලේ පෙරහැර කරන නිසා සමහරු තරහෙන් හිටියා"
- පැහැර ගෙන ගිය "ලොකු සීයා" ගේ දියණිය කියයි


"අපේ තාත්තා දේවාලේ පෙරහැර කරන හින්දා සමහරු තාත්තාත් එක්‌ක තරහෙන් හිටියා" යෑයි රාගම තලගොල්ල දේවාලයේ කපු මහතා වූ මොහොමඩ් නියාස්‌ මහතාගේ දියණිය වන හිමායා නියාස්‌ මහත්මිය ඊයේ (28 දා) ප්‍රකාශ කළාය.
"සිද්ධිය වූ දින තාත්තා කෙරවලපිටියට ගියා. එවිට ඔහුගේ වාහනය හරස්‌ කරලා අලු පාට වෑන් එකක්‌ නතර කරලා තියෙනවා. ඒ වෑන් එකේ හත්දෙනකු පමණ හිටියාලු. ඔවුන් මගේ තාත්තාට ආයුධ (තුවක්‌කු) පෙන්වා වෑන් එකට ගොඩකර ගෙන තිබෙනවා.
ඒක වළක්‌වන්න එතැනින් ගමන් කළ බවුසරයක රියෑදුරකු උත්සහ ගන්න කොට ඒ උදවිය බවුසර් රියෑදුරුට බැනලා එළවලා තිබෙන බව අපට දැන ගැනීමට ලැබුණා.
අපේ තාත්තා පවත්වාගෙන යන දේවාලයට විරුද්ධ කීපදෙනකු ඉන්නවා. ඊට එහා මම මුකුත් කියන්න දන්නේ නැහැ. ඔය සිද්ධිය වුණේ පෙරේදා සවස 6.15 ට විතර."

source - divaina
Read More »

කලක්‌ රෝගාතුරව සිට කොළඹ ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත වූ සාන්චිආරච්චිලාගේ ජිනදාස හෙවත් මරදන්කඩවල යඩකයාගේ අවසන් කටයුතු හෙට (29 දා) සවස 2.00 ට කැකිරාව නෙල්ලියගම පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.
කැකිරාව නෙල්ලියගම පදිංචි ආර්. ටී. බී. ගුණවතී මහත්මියගේ නිවසේ තැන්පත් කර ඇති මියගිය ජිනදාස මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්‌වීමට ප්‍රදේශවාසීන් විශාල පිරිසක්‌ පැමිණෙමින් සිටිති.
පේරාදෙණිය උඩරීරියගම වලව්වේ පදිංචිව සිටි සාන්චිආරච්චිලාගේ ඩේවිඩ් හා ඡේන් නෝනා යන දෙපළට දාව උපන් ජිනදාස මහතාට ඇලිස්‌ නෝනා නමින් තවත් එක්‌ සහෝදරියක්‌ සිටියේය.
Read More »

බරපතළ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධ චෝදනා තිබියදීත් නුගේගොඩ අනුලා විද්‍යාලයේ හිටපු විදුහල්පතිනී නීලමනී මලවිආරච්චි මහත්මියගේ රාජකාරි වැඩ තහනම් නොකිරීමට හේතු කවරේදැයි රාජ්‍ය සේවා කොමිෂන් සභාව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් එච්. එම්. ගුණසේකර මහතාගෙන් විමසා ඇත.

හිටපු විදුහල්පතිනියට එරෙහිව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් නිරීක්‍ෂණ හා නිර්දේශ සහිත වාර්තාවක්‌ ද එම කොමිෂන් සභාව ලේකම්වරයාගෙන් කැඳවා තිබේ.

මේ අතර මලවිආරච්චි මහත්මියගේ වැඩ තහනම් නොකර ඇය අනිවාර්ය නිවාඩු යෑවීම පිළිබඳ වාර්තාවක්‌ රාජ්‍ය සේවා කොමිෂන් සභාවට යොමු කරන්නැයි අමාත්‍යංශයේ අතිරේක ලේකම් එන්. එච්. එම්. චිත්‍රානන්ද මහතා එහි ගණකාධිකාරිවරයාට ලිඛිතව දන්වා ඇත. මෙලෙස දන්වා ඇත්තේ ඒ පිළිබඳව රාජ්‍ය සේවා කොමිෂන් සභාව අමාත්‍යාංශයෙන් විමසීමෙන් පසුවය.

එමෙන්ම හිටපු විදුහල්පතිනියගේ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් සුදුසු පියවර ගන්නා ලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ද අල්ලස්‌ හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ලිඛිතව දන්වා තිබේ. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඒ බව දන්වා ඇත්තේ ඊට අදාළව අධ්‍යාපන ලේකම්වරයා එම දෙපාර්තමේන්තුවට යොමු කර ඇති ලිපියකට අනුවය.


source - divaina
Read More »

මාස කිහිපයක කාලයක සිට ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් ක්‍රීඩකයින් වෙත වැටුප් ගෙවීම සිදුකර නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තහවුරු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ බංග්ලාදේශය සත්කාරකත්වය සැපයූ මෙවර ලෝක කුසලාන තරගාවලියෙන් පසු ගිවිසුම් පදනම මත ක්‍රීඩාකරන ක්‍රීඩකයින් 100 දෙනෙකුට පමණ මෙසේ වැටුප් ගෙවා නොමැති බව බීබීසී සේවය වාර්තා කරයි.
ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් දැරීමට සිදුවූ පිරිවැය නිසා මෙරට ධනවත්ම ක්‍රීඩා ආයතනයට ණය බර දැරීමට සිදුව ඇති බව එම සේවය සඳහන් කරයි.
මාධ්‍ය මගින් පළකළ අදාළ පුවතෙහි සත්‍යතාවයක් පවතින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති උපාලි ධර්මදාස මහතා බීබීසී සේවය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබේ.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් තවත් අමෙරිකානු ඩොලර් මිලියන 4 -5 ත් අතර මුදලක් මෙරටට ගෙවිය යුතුව ඇති බව ඔහු සඳහන් කර ඇත.
එම ඉදිරි මුදල් ප්‍රමාණය ලැබුණු පසු හැකි ඉක්මනින් අදාළ ගෙවීම් සිදුකිරීමට කටයුතු කරන බව ධර්මදාස මහතා ප්‍රකාශ කළ බව බීබීසී සේවය වැඩිදුරටත් පවසයි.
Read More »

කොරියා භාෂා ප‍්‍රවීණතා විභාගයේ ප‍්‍රතිඵල නිකුත් කළ බව ශ්‍රී ලංකා විදේශ නියුක්ති කාර්යාංශය කියයි. අපේක්ෂකයන් 44214 දෙනෙක් 2012 රැකියා දෙන 9300 දෙනකු තෝරාගත් බව ඔවුන් කායික යෝගතා පරීක්ෂණයකට කැඳවන බවත් කාර්යාංශය පවසයි. www.slbfe.lk , www.epstoplk.hrdkorea.or.kr හෝ www.hrdkorea.or.kr, www.eps.go.kr වෙබ් අඩවිවලින් ද ප‍්‍රතිඵල බලාගැනීමට හැකි බව ද කාර්යංශය සඳහන් කරයි.
Read More »

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාගේ මොළයේ, කතා කිරීමට හැකියාව ලබා දෙන ස්නායුවලට බරපතල හානි සිදුවීම හේතුවෙන් ඔහුට කතා කිරීමට නොහැකි තත්ත්වයක් මතුව ඇතැයි රෝහල් ආරංචිමාර්ග සදහන් කරයි.
මෙලෙස විනාශයට පත්වූ ස්නායු යථා තත්ත්වයට පත්නොවන අතර යම් හෙයකින් හානියට පත් ස්නායු වටා පිහිටා ඇති අනෙකුත් ස්නායුවල සහයෙන් කල් යාමේදී ඇතැම් විට ඔහුට කතා කිරීමේ හැකියාව ලැබිය හැකියැයි වෛද්‍යවරුන් විශ්වාසය පළ කර සිටියි.
මේවන විටත් දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාට ‍භෞතික චිකිත්සක ප්‍රතිකාර ලබා දීමට පියවර ගෙන ඇත.
එසේම රෝහල් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන ලද්දේ දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාගේ මතක ශක්තියට කිසිදු අයුරකින් බලපෑමක් එල්ල වී නොමැති බවයි.
මන්ත්‍රීවරයාව මේවන විට ක්‍රමයෙන් ඝන ආහාරවලට පුරුදු කිරීම ආරම්භ කර ඇති බවද වාර්තාවේ.
Read More »

ඝාතනයට ලක් වූ ලිබියානු නායක කර්නල් මුවම්මර් අල් ගඩාෆිගේ සිරුර අද(25) රහසිගත ස්ථානයක මිහිදන් කිරීමට නියමිත බව ලිබියානු අන්තර්වාර පාලන මණ්ඩලය උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
අනාගතයේ ගරුබුහුමන්වලට ලක්වීම වැළැක්වීම පිණිස එම සිරුර කාන්තාරයේ ඉතා රහසිගත ස්ථානයක මිහිදන් කිරීමට නියමිතව ඇත.

ඝාතනයට ලක්වූ ලිබියානු නායකයාගේ සිරුර මිස්රාටා නුවර ශීතාගාරයක ප්‍රදර්ශනය සඳහා තැන්පත් කර තිබූ අතර සිරුර දියවී යාමට පටන් ගැනීමත් සමඟ ගඩාෆි විරෝධීන්ට එම සිරුර තවදුරටත් ප්‍රදර්ශනය කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව තිබේ.

කෙසේ නමුත් ගඩාෆි ජීවග්‍රහණයෙන් අල්ලාගැනීමෙන් අනතුරුව ඝාතනය කිරීම සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් පවත්වන ලෙස අන්තර්ජාතික ප්‍රජාවගෙන් එල්ලවන බලපෑම්වලට ලිබියානු අන්තර්වාර පාලන මණ්ඩලයට මුහුණ දීමට මේවන විට සිදුව ඇති බවද රොයිටර් පුවත් සේවය සඳහන් කර සිටියි. 
Read More »

දැන් වචන මුමුණනවා
පාර්ලිමේන්තු කථානායකවරයාගේ අවසරය ලබාගෙන තව නොබෝ දිනකින් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාගෙන් කටඋත්තරයක්‌ ගැනීමට ක්‍රියා කරන බව ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරියෙක්‌ පැවසීය. ඇතැම් විට ඉදිරි කාලයේදී භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඝාතනය පිළිබඳව දුමින්ද සිල්වා මහතා අධිකරණයේදී සාක්‌කි දීමට පවා ඉඩ තිබෙන බව පොලිසිය කියයි.
තවදුරටත් මේ පිළිබඳව මහෙස්‌ත්‍රාත් පරීක්‍ෂණයක්‌ පවත්වන නිසා දුමින්ද සිල්වා මහතා පිළිබඳව වැඩි තොරතුරු අනාවරණය කිරීමට නොහැකි බව ද පොලිසිය කියයි.
කෙසේ වෙතත් දුමින්ද සිල්වා මහතා ප්‍රතිකාර ලබන ජයවර්ධනපුර රෝහලට සහ රෝහල් වාට්‌ටුවට දැඩි පොලිස්‌ රැකවරණ යොදා ඇත.
දුමින්ද සිල්වා මහතා වරින්වර වචන මුමුණන බව ද යථා තත්ත්වයට පත්වූ වහාම ඔහුගෙන් කටඋත්තර ගැනීමට හැකිවන බව ද පොලිසිය කියයි.
Read More »

"අප හඳුනාගත් නිසා පවුලම මරා දැම්මා"සිව්දෙනාගෙන් තිදෙනකුම ඇප පිට සිටින අය"පුහුල්යායේ ගාමිණී මුදලාලිගේ කෝටි ගණනක වස්‌තුව මංකොල්ල කන්න හිතාගෙන අපි ගියේ. අපේ කීපදෙනකුගේ මුහුණු ආවරණ ඉවත්වීම නිසා ගාමිණී මුදලාලි අපිව අඳුනා ගත්තා. ඒ නිසා ගෙදර සිටිය හතර දෙනාවම වෙඩි තියලා මරලා දාන්න සිද්ධ වුණා" යෑයි උඩවලව සිව් මිනිස්‌ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් පොලිස්‌ ප්‍රශ්න කිරීම් හමුවේ පාපොච්චාරණය කර ඇත.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති පූජිත් ජයසුන්දර මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ කළ මේ පරීක්‍ෂණවලදී මෙම සිද්ධියේ සුලමුල සොයා ගැනීමට හැකිවිය. මෙම සිව් මිනිස්‌ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර ගල්වංගුවේ අජිත්, කණ්‌ඩු, පොඩි පුතා සහ රෝහණ නමැති අය සිටින බව පොලිසිය පවසයි. මෙම සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට නියමිතය. එම සැකකරු ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකුගේ සොහොයුරකු බව ද අනාවරණය වී තිබේ. පරීක්‍ෂණවලදී හෙළිවී ඇති අන්දමට මෙම කෲර ඝාතන සිදුකර ඇත්තේ ගල්වංගුවේ අජිත් නමැති යුද හමුදාවෙන් පලා ආ සෙබළා විසින්ය. තම ඥතියකුගේ රහසඟ කපා දමා ඔහු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කලක්‌ බන්ධනාගාරගතව සිට ඇති ගල්වංගුවේ අජිත් නමැත්තා මීට ටික කාලයකට උඩදී ඇපමත මුදාහැරීමෙන් පසු උඩවලව ප්‍රදේශයට පැමිණි අයෙකි.

මොහු කොටි ත්‍රස්‌තවාදීන් පරාජය කිරීමේ අවසන් සටනට පවා සහභාගි වූවකු බව ද අනාවරණය වී තිබේ.
පුහුල්යායේ ගාමිණී මුදලාලිගේ නිවස කොල්ලකෑමේ සැලසුම සකස්‌ කර ඇත්තේ පොඩි පුතා නමැත්තා විසින්ය. මෙම කොල්ලකෑමේ අදහස පහළ වී අත්තේ දැනට අත්අඩංගුවේ සිටින කණ්‌ඩු නමැත්තාටය. මහාපරිමාණ ගංජා ව්‍යාපාරවල යෙදෙන මෙම සැකකරුවන් දෙදෙනා හඳුනාගෙන ඇත්තේ බන්ධනාගාරගතව සිටියදීය. බන්ධනාගාරයෙන් ඇප මත මුදාහැරීමෙන් පසු උඩවලව ප්‍රදේශයට පැමිණ ඇති මොවුන් ගාමිණී මුදලාලිගේ නිවස කොල්ලකෑමට සැලසුම් කර ඇත.

කොල්ලකෑම සඳහා යොදාගත් ටී. 56 ගිනි අවිය ගෙනැවිත් ඇත්තේ පොඩි පුතා නමැති සැකකරු බව ද හෙළිවී තිබේ. ඉකුත් 13 වැනිදා සවස 4.30 ට පමණ මෙම සන්නද්ධ කණ්‌ඩායම මිද්දෙණිය සංඛපාල රජමහා විහාරය අසලදී මුණගැසී ඇත.
පසුව මොවුන් කණ්‌ඩු නමැත්තාට අයත් ත්‍රිරෝද රථයෙන් උඩවලව පෙනහඩුව ප්‍රදේශයට පැමිණ ඇත.
පුංචි දරුවන් දෙදෙනකු සිටින නිසා කොයිම අවස්‌ථාවකදීවත් ටී 56 ගිනි අවිය පාවිච්චි නොකරන ලෙස පොඩි පුතා නමැති සැකකරු සිය සගයන්ට උපදෙස්‌ දී තිබේ.
එදින රාත්‍රි 7.30 ට පමණ ගාමිණී මුදලාලි යතුරුපැදියකින් නිවසට පැමිණ ඇත. මුදලාලි නිවසේ දොර විවෘත කිරීමෙන් පසු එය වසා නොදමා ගෙතුළට ගොස්‌ තිබේ.
එසැණින් ක්‍රියාත්මක වූ ගල්වංගුවේ අජිත් නමැති සැකකරු ඇතුළු සිව්දෙනකු ගාමිණී මුදලාලිගේ නිවසට කඩා වැදී ඇත. සිව්දෙනාම කළු පැහැති රෙදි පටිවලින් මුහුණු ආවරණය කරගෙන සිටියහ. පොඩි පුතා නමැත්තා ත්‍රිරෝද රථයට වී සිට ඇති අතර රෝහණ නමැත්තා නිවස පිටත සිට ඔත්තු බලා ඇති බව ද හෙළිවී තිබේ. නිවසට ඇතුළු වූ සාහසිකයන් ගාමිණී මුදලාලිට ගිනි අවි එල්ල කර රන් ආභරණ සහ මුදල් ඉල්ලා තර්ජනය කර ඇත. ඒ අවස්‌ථාවේ අජිත්ගේ සහ කණ්‌ඩුගේ මුහුණු ආවරණ ඉවත් වී ඇති අතර ගාමිණී මුදලාලි ඔවුන් හඳුනාගෙන තිබේ.

"තොපි මේ ගමේම උන්, තොපිට මම සල්ලි දෙන්නෙ නැහැ" යෑයි කියමින් ගාමිණී මුදලාලි කෑගසද්දී ගල්වංගුවේ අජිත් නමැත්තා ඔහුට වෙඩි තබා ඇත.
ඒ සමඟම ගාමිණීගේ බිරිඳ සහ දරුවන් විලාපනගා කෑගසද්දී ඔවුන්ට ද වෙඩි තැබූ සැකකරුවන් නිවසේ තිබූ රන් මාල 3 ක්‌ ද කොල්ලකාගෙන පලාගොස්‌ තිබේ.

මෙම සිව් මිනිස්‌ ඝාතන සිද්ධිය සම්බන්ධ පරීක්‍ෂණ පැවැත්වීම සඳහා පොලිස්‌පති එන්. කේ. ඉලංගකෝන් මහතාගේ නියෝගය මත වයඹ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති පූජිත් ජයසුන්දර මහතා උඩවලව ප්‍රදේශයට ගියේය. රහස්‌ පොලිසියේ සහකාර පොලිස්‌ අධිකාරි ප්‍රසාද් රණසිංහ, ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක ජගත් රෝහණ ඇතුළු පොලිස්‌ කණ්‌ඩායමක්‌ ද බුද්ධි අංශයේ පොලිස්‌ කණ්‌ඩායමක්‌, රත්නපුර ප්‍රදේශයේ තෝරාගත් පොලිස්‌ නිලධාරීන් පිරිසක්‌, පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පිරිසක්‌ ඇතුළු පොලිස්‌ කණ්‌ඩායම් 6 ක්‌ මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණ කටයුතු ආරම්භ කළහ. සැකකරුවන් පාවිච්චි කළ ජංගම දුරකථන තොරතුරු සහ බුද්ධි තොරතුරු ඔස්‌සේ කළ පරීක්‍ෂණවලදී මෙම කෲර ඝාතනයට සම්බන්ධ සැකකරුවන් කොටුකර ගැනීමට පොලිසිය සමත් විය. ඝාතන සඳහා යොදාගත් ටී 56 ගිනි අවිය සැකකරුවකුගේ නිවසේ ගෙවත්තේ වළ දමා තිබියදී පොලිසිය සොයා ගත්තේය. කොල්ලකන ලද පවුම් 15 ක බරින් යුත් මාලයක්‌ සහ තවත් රන්මාල දෙකක්‌ ද පොලිසිය අත්අඩංගුවට ගෙන තිබිණි. මෙම සාහසික අපරාධය සිදුවී දින 10 ක්‌ ගතවෙද්දී ඊට සම්බන්ධ සැකකරුවන් සහ ආයුධ සොයාගැනීමට හැකිවීම පිළිබඳව උඩවලව ප්‍රදේශයේ ජනතාව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති පූජිත් ජයසුන්දර මහතා ඇතුළු නිලධාරීන්ට ස්‌තුතිය පළ කර සිටිති.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටින ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාගේ සොහොයුරා ප්‍රදේශය අතහැර පලා ගොස්‌ ඇති බවට තොරතුරු ලැබී තිබේ. එම සැකකරු සෙවීමට පොලිසිය තවදුරටත් පරීක්‍ෂණ පවත්වාගෙන යයි.
ඉකුත් 13 වැනිදා රාත්‍රි 7.30 ට පමණ සන්නද්ධ කණ්‌ඩායමක්‌ විසින් උඩවලව පනහඩුව ප්‍රදේශයේ පිහිටි ගාමිණී මුදලාලිගේ නිවසට කඩා වැදී දරුවන් දෙදෙනා, බිරිඳ සහ ගාමිණී යන අයට වෙඩි තබා ඝාතනය කර තිබිණි.
 
Read More »

පසුගියදා මුල්ලේරියාව ප‍්‍රදේශයේදී භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව්දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වමින් සිටි සහකාර පොලිස්‌ අධිකාරී එච්. සමුද්‍රජීව මහතා රහස්‌ පොලිසියෙන් ඉවත් කර ගල්කිස්‌ස කොට්‌ඨාසයට මාරුකර යවා ඇතැයි පොලිස් දෙපාර්තමේන්තු ආරංචා මාර්ග කියයි.
ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් බව කියන දෙමටගොඩ චමින්ද සහ තත්පර කට්‌ටා නමැති අය පිළිබඳව සියලු තොරතුරු මුලින්ම අනාවරණය කර ගත්තේ සමුද්‍රජීව මහතා විසින් වන අතර පසුව  සැකකරුවන් ඉන්දියාවේදී අත්අඩංගුවට ගැනීම සඳහා අවශ්‍ය සහාය දී ඇත්තේද සමුද්‍රජීව මහතා විසිනි.
source- lankacnews
Read More »

වෙඩි වැදීමෙන් තුවාල ලබා ජයවර්ධනපුර රෝහලේ ස්නායු දැඩිසත්කාර ඒකකයේ ප‍්‍රකාර ලබන පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා මහතාට ලිපි, තැපැල්පත් සහ පාර්සල් විශාල වශයෙන් රෝහල් ලිපිනයට ලැබෙන බව  වාර්තා වේ.
කෙසේ වුවද එම ලිපි රෝහලේ රාජකාරී ලිපි හා පාර්සල් ලැබෙන තැපැල් අංකයට යොමු නොකරන ලෙස රෝහල් පරිපාලනය විසින් තැපැල් ස්ථානයට දැනුම් දීමක් කර තිබේ.
පසුගියදා දුමින්ද සිල්වා මහතාට ලැබුණු තැපැල් පාර්සලයක බොනික්කෙකු තිබිණි.
Read More »

මිනිසත්බවට නින්දාවක් වූ මිනිසුන් අතින් හිත හොඳ නායකයකු මෙරටට අහිමි වූ බව ඝාතනයට ලක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් මහතාගේ දියණිය වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවිය පවසයි.
‍ සිය පවුල වෙනුවෙන් ගෙනයන සටන දිගටම ගෙනයන බවත්, සිය පියාගේ ඝාතන සිද්ධිය සම්බන්ධ නඩුව කිසිදු අවස්ථාවක යටගැසීමට ඉඩ නොතබන බවත් ඇය සඳහන් කරයි.
‍ ඉහළ නිලධාරියකු මාරුකර ඇති බවට ද දැනගන්නට ලැබුණු බව ද භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනයට අදාළ මරණ පරීක්ෂ‍ණයේ සාක්ෂි සටහන් කරගැනීම දෙවන දිනට සිදුවූ අද(21) දිනයේ අධිකරණ භූමියේ දී අදහස් දක්වමින් ඇය ප්‍රකාශ කළාය.
‍ ශ්‍රී ලංකාවේ නීතියක් පවතින බව විශ්වාස කරන බවත්, එම නීතිය විසින් හෝ සිය පියාගේ ඝාතනය සාධාරණයක් ඉටුවනු ඇතැයි සිතන බවත් එහිදී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවිය කියා සිටියාය.
‍ එසේ නොවුණහොත් තවත් B සැලැස්මක් පවතින බවත්, එම සැලැස්ම ක්‍රියාත්මක කිරීමට සූදානම් බවත් ඇය එහිදී වැඩිදුරටත් අවධාරණය කර සිටියාය.
Read More »

ගඩාෆිව මැරුවේ අවුරුදු විස්සක කොල්ලෙක්ලු
ලිබියානු නායක කර්නල් මුවම්මර් ගඩාෆි සර්ට් නගරය ආසන්නයේ අපවහන නලයක සැඟවී සිටියදී අත්අඩංගුවට ගන්නා විට ඔහු සතුව රත්‍රන් පිස්තෝලයක් තිබූ බවත් ඔහු බොරු කොණ්ඩයක් පැළඳ සිටි බවත් වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ බ්‍රහස්පතින්දා උදෑසන 8.30 ට පමණ ගඩාෆිගේ රථ පෙළකට ප්‍රංශ ගුවන් යානා විසින් ප්‍රහාරයක් එල්ල කර තිබෙන බවයි.
පසුව ලිබියානු නායකයා මෙම අපවහන නලයේ සැඟවෙන්නට ඇතැයි විශ්වාස කරන බව මෙම මාධ්‍ය වාර්තා අනාවරණය කරන අතර ඔහු කැරළිකරුවන් විසින් අත්අඩංගුවට ගන්නා විට දෙපා වලට හා පසු පසට වෙඩි වැදී තිබුණු බව සඳහන්ය.
ගඩාෆිව කැරළිකරුවන් විසින් ජීවග්‍රහයෙන් අල්ලා ගත්බව දැක්වෙන වීඩියෝ දර්ශනද මේ වනවිට ලොව පුරා විකාශය කර තිබෙන අතර පසුව ඇතිවූ වෙඩි හුවමාරුවකින් ගඩාෆි මරණයට පත්වූ බව පැවසුවද එම සිද්ධිය එතරම් පැහැදිලි නැත.
කෙසේවෙතත්, ගඩාෆි මියගිය පසුව ඔහුගේ ශරීර කොටස් ඩී.එන්.ඒ. පරීක්ෂණ වලට බඳුන් කර ඔහුගේ අනන්‍යතාවය තහවුරු කරගත් බව සඳහන්ය.
වසර 42 ක් ලිබියාව පාලනය කළ ගඩාෆි අවසන් මොහොතේත් භාවිතා කළ බව පැවසෙන රත්‍රන් පිස්තෝලයක් කැරළිකරුවන් විසින් මේ වනවිට මාධ්‍ය වෙත පෙන්වා තිබෙන අතර අවුරුදු 20 ක් පමණ වන මොහොමඩ් අල්-බිබි නැමති තරුණයා අතින් ගඩාෆි මැරුම් කෑ බව වැඩිදුරටත් වාර්තා වේ.


Read More »

කැරලිකරුවන්ගේ ග්‍රහණයට හසුවූ අවස්ථාවේ ඇතිවූ ගැටුම්වලදී තුවාල ලැබීම හේතුවෙන් හිටපු ලිබියානු නායක මුවමර් ගඩාෆි මරණයට පත්ව ඇති බව ජ්‍යොෂ්ඨ හමුදා නිලධාරියෙකු සඳහන් කර තිබේ.

ගඩාෆිගේ උපන් නගරයේදී ඊයේ(20) ඔහු එරට කැරලිකරුන්ගේ ග්‍රහණයට හසුවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනු ලැබීය.



මාස දෙකකට ආසන්න කාලයක්‌ සර්ට්‌ නගරයේ සැඟව සිටි ගඩාෆි අල්ලා ගැනීමේ මෙහෙයුම ඊයේ (20 දා) උදේ 8 ට පටන් ගත් අතර විනාඩි 90 ක වෙඩි හුවමාරුවකින් පසු මෙහෙයුම නිමාවට පත් කරමින් ගඩාෆි අල්ලා ගැනීමට කැරලිකරුවන්ට හැකි විය.
ගඩාෆි සහ ඔහුගේ සගයන් මෝටර් රථ 5 ක කණ්‌ඩායමක්‌ ලෙස පලා යන්නට තැත් කළද එය අසාර්ථක වූ බව මෙහෙයුමට සහභාගි වූ වාර්තාකරුවෝ පැවැසූහ. අවසන් සටනේ දී ගඩාෆිගේ ආධාරකරුවන් 20 ක්‌ මරුමුවට පත් වූහ.
ගඩාෆි යටත් වීමත් සමඟම සර්ට්‌ ප්‍රදේශයද නිදහස්‌ කරගත් බව කැරලිකාර කණ්‌ඩායම් ප්‍රකාශ කළහ. මෙහෙයුමේදී ගඩාෆිගේ ආධාරකරුවන් 16 දෙනකු අත්අඩංගුවට ගන්නා ලදී. අල්ලාගත් ආධාරකරුවන්ට කැරලිකරුවන් විසින් දරුණු ලෙස පහර දුන් බවද වාර්තාකරුවෝ පැවැසූහ.
පසුගිය මාස 2 ක කාලය තිස්‌සේම සර්ට්‌ ප්‍රදේශයේ සැඟවී සිටි ගඩාෆි වීඩියෝ තැටි සහ ගුවන් විදුලිය මගින් ජනතාව අමතමින් කැරලිකරුවන්ට යටත් නොවන ලෙස ඉල්ලා සිටියේය.
ගඩාෆිගේ පුත්‍රයකු වූ මුන්නාසිම් ද තවමත් සර්ට්‌ ප්‍රදේශයේ සැඟව සිටින බව වාර්තා වේ
Read More »

මුල්ලේරියාව ප‍්‍රදේශයේ සිදුවූ වෙඩි හුවමාරුවෙන් තුවාල ලබා ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී ශල්‍ය කර්ම කිහිපයකට ලක්ව ස්නායු දැඩි සත්කාර අංශයේ ප්‍රතිකාර ලබන පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට තැපෑලෙන් පාර්සලයක් ලැබී ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

රෝහලේ රාජකාරී ලිපි හා පාර්සල් ලැබෙන අංකය වෙත එම පාර්සලය ලැබී ඇති අතර රෝහල් කළමනාකරණ මණ්ඩලය ආරක්ෂක අංශ කැඳවා එම පාර්සලය විවෘත කිරීමට කටයුතු කර තිබේ.

එම පාර්සලයේ තිබී ඇත්තේ බෝනික්කෙකුය.
Read More »

 දුමින්ද භාරතට වෙඩි තියන විට ඔහු සමඟ සිටි 
අනෙක්‌ අය, වෙඩි තියපන් කියා කෑගැසුවා

භාරත ලක්‍ෂ්මන්ගේ රියෑදුරු සාක්‍ෂි දෙයි

දුමින්ද ට්‍රොලියේ දාගෙන යද්දී 
චුයින්ගම් එකක්‌ හපනවා මා දුටුවා
 

දුමින්ද සිල්වාගේ රියෑදුරු සාක්‌ෂි දෙයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා දෙසට පැමිණි දුමින්ද සිල්වා මහතා වෙඩි තියෙනවාත් සමඟ ඔහු සමඟ සිටි අනෙක්‌ අය වෙඩි තියපන් වෙඩි තියපන් කියලා කෑගැසුවා යෑයි භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ රියෑදුරු ලියනගේ සමන් ශාන්ත පෙරේරා මහතා ඊයේ (20 දා) කොළඹ මහෙස්‌ත්‍රාත් අධිකරණය හමුවේ සාක්‌ෂි දෙමින් කියා සිටියේය.
ඒ මහතා එසේ කියා සටියේ සිද්ධියට අදාළ මහෙස්‌ත්‍රාත් පරීක්‍ෂණය අතිරේක මහෙස්‌ත්‍රාත් ප්‍රසන්න අල්විස්‌ මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්‌ථාවේදීය. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් මෙහි පරීක්‍ෂණ පවත්වනු ලබයි.
සාක්‌ෂි විභාගය නැරඹීමට ඝාතනයට ලක්‌වූ ප්‍රේමචන්ද්‍ර මහතාගේ පවුලේ අයද පැමිණි සිටි අතර අගතියට පත් ඒ අය වෙනුවෙන් නීතිඥවරු පිරිසක්‌ද පෙනී සිටියහ.

සහකාර පොලිස්‌ අධිකාරි ශානි අබේසේකර මහතාගේ මෙහෙයවීම යටතේ සාක්‌ෂි කරු මෙසේ ද කියා සිටියේය.
මාර්ග සංවර්ධන අධිකාරියේ ජනාධිපති කාර්යාලයට අනුයුක්‌තව සිටිනවා භාරත මහතාගේ රියෑදුරු ලෙස 1999 සිට සේවය කරනවා.

භාරත මහතාට වෙඩි තැබූ 08 දා මා ඒ මහතාගේ කැප්පෙට්‌ටිපොළ නිවසට උදේ 8.45 ට සේවයට පැමිණියා. පසුව අප භාරත මහතාට අයත් රතුපාට ලෑන්ඩ් කෲෂර් ජීප් එකෙන් කොළොන්නාවේ ඒ මහතාගේ නිවස ටපැමිණියා. අප සමඟ ඇමැති ආරක්‌ෂක අංශයේ සාවින් ලක්‍ෂ්මන් මහතා, සාජන් ප්‍රියන්ත මහතා සමඟ භාරත මහතාගේ හිතවතෙක්‌ වන දමිත් ජයතිලක මහතා පැමිණියා.

කොළොන්නාවට එනවිට දහවල් 11 ට පමණ විතර වී තිබුණා. භාරත මහතාගේ ගේ ළඟ ඡන්ද පොළේ ඒ මහතා ඡන්දය දාලා ඇවිත් පැය භාගයක්‌ විතර ගෙදරට වෙලා සිටියා.

පසුව භාරත මහතා අප සමඟ ජීප් රථයෙන් වැල්ලම්පිටිය කොටිකාවත්ත ප්‍රදේශවල යමින් විවිධ ඡන්ද පොළවල් අසලට ගියා. එහිදී භාරත මහතා ජීප් රථයෙන් බසිමින් විවිධ තැන්වලදී පාක්‌ෂිකයන් සමඟ කතා කළා.
එසේ යන අතරතුර කොටිකාවත්ත මුල්ලේරියා ප්‍රාදේශීය සබාවේ හිටපු සභාපති ප්‍රසන්න සෝලංගආරච්චිගෙන් මාගේ අතැති දුරකථණයට ඇමැතුමක්‌ ආවා. ඔහු කීවා "ලකී අයියාට
දුරකථනය දෙන්න" කියා.
භාරත මහතා එම ඇමැතුමට කථා කර මට යළි දුරකථනය දෙමින් "රාජසිංමහ ඉස්‌කෝලෙ ළඟ අපේ පාක්‌ෂිකයන්ට දුමින්ද සිල්වා ගහනවා" කියලා කිව්වා.

තවදුරක්‌ යනවිට මගේ දුරකථනයට එලෙසින්ම යළි ඇමතුමක්‌ ආවා. එයටත් කතා කළ භාරත මහතා අංගොඩ රාහුල ඉස්‌කෝලේ ළඟ හිටපු සභාපතිගේ භාර්යාවට, පාක්‌ෂිකයන්ට දුමින්ද එළව එළවා පහර දනෙ බව මට ඔහු කීවා.

හිඹුටාන පටුමඟට හංදියේදී දුමින්ද සිල්වා මහතා වාහනවල එනවා දැක්‌කා. මුලින් ආපු ඩිෙµන්ඩර් ජීප් රථය අප පසු කර නැවැත්තුවා. එහි ටී, 56 ගිනි අවි තියාගෙන 4 ක්‌ 5 ක්‌ සිටියා. එහි සිටි එක්‌ අයෙක්‌ මිරිහාන පොලිසියේ රාළහාමි කෙනෙක්‌. ඔහුගේ අතේ ටී. 56 ක්‌ තිබුණා. තවත් කීප දෙනෙක්‌ ටී. 56 තියාගෙන හිටියා.
දුමින්ද සිල්වා පැමිණි සුදුපාට ලෑන්ඩ් කෲෂර් ජීප් රථය අපේ ජීප් එක හරස්‌කර නැවැත්තුවා. එයත් එක්‌ක වෑන්, ජීප්, කාර් විස්‌සක්‌ පමණ තිබුණා. එම පුද්ගලයන් යළි දුටුවොත් හඳුනාගත හැකියි.
දුමින්ද සිල්වා මහතා ඔහු පැමිණි රථයේ බසිනවා දැක්‌කා. ඒ සමඟ භාරත මහතා කීවා අපේ වාහනය ඔහොම නවත්වන්න කියා. දුමින්ද සිල්වා බසිනවාත් සමඟ ඔහු සමඟ 100 ක්‌ විතර පිරිසක්‌ බැස ආවා. දුමින්ද සිල්වාගේ අතේ පිස්‌තෝලයක්‌ තිබුණා. ඔහු පසු පසින් ටී, 56 අතේ තියාගෙන 15 ක්‌ 20 ක්‌ විතර හිටියා. දුමින්ද සමඟ ඔහුගේ වාහනයේ ... මහතා දකුණු අතේ පච්ච කොටා ඈතට හිරවුණු ටී ෂර්ට්‌ එකක්‌ ඇඳ සිටි අයෙක්‌ද පිස්‌තෝලයක්‌ අතේ තියා ගෙන බැස්‌සා. ඒ අය අපේ වාහනය දෙසට ආවා. වාහන දෙක අතර අඩි 3 ක්‌ 4 ක්‌ පමණ පරතරයක්‌ තිබුණා.

මහෙස්‌ත්‍රාත්වරයා - ලංවී තිබුණේ වාහනයද දුමින්ද සිල්වා මහතාද?

සාක්‌ක්‍ෂිකරු(- වාහනය ස්‌වාමීනි

ඒ සමග භාරත විගස වාහනයෙන් බැස ඉදිරියට ආවා. මමත් එවිට වාහනයේ දොර ඇරන් බැස්‌සා. එහිදී දුමින්ද සිල්වා මහතා "ඇයි මොකද" කියලා ඇසුවා. එවිට භාරත මහතා "මොනවාද? මේ කරන්නේ" කියා ඔහුගෙන් ඇසුවා. ඒ සමගම දුමින්ද මහතා භාරත මහතාගේ කම්මුලට පහරක්‌ ගැසුවා. භාරත මහතාත් දුමින්ද මහතාට ගැහැව්වා. එය ඔහුගේ කම්මුලට වැදුණා. ඒ සමග දුමින්ද මහතා සමග සිටි අයෙක්‌ ද ඉදිරියට පැන භාරත මහතාට ගැසුවා. ඔහු යළි දුටුවොත් හඳුනාගත හැකියි. කළු උස මහත මුහුණ පුරා රැවුල වැවී සිටි ඔහු ටී 56 ක්‌ අතේ තියාගෙන සිටියා. ඒ සමග භාරත මහතා වැටෙන්න ගියා. දුමින්ද සිල්වා පිස්‌තෝලයෙන් වෙඩි තැබුවා. ඔහු සමග සිටි අනෙක්‌ අය "වෙඩි තියපන්, වෙඩි තියපන්" කියලා කිව්වා. ඒ සමග භාරත මහතා දෙසට වෙඩි වදිනවා දැක්‌කා. වාහනය වටේට දහයක්‌ විතර වෙඩි තියාගෙන ගියා. මම වාහනයට නඟින්න හැදුවා. මටත් ඉදිරියේ සිටි අයෙක්‌ වෙඩි තිබ්බා. එය රියෑදුරු සුක්‌කානමට පහළින් වැදුණා.

ඒ අවස්‌ථාවේ වාහන වලින් බැස සිටි භාරත මහතාගේ ආරක්‍ෂයන් වෙඩි තියනවා දැක්‌කේ නෑ. පසුපස ඩිපෙන්ඩර් රථයේ සිටි මිරිහාන පොලිසියේ රාළහාමි ටී 56 ලෝඩ් කරගෙන බැහැලා වෙඩි තියාගෙන ආවා. මම පැදවූ වාහනයේ පිටුපස භාරත මහතා වැටී සිටියා. එම රාළහාමි වැටී සිටි භාරත මහතා දෙසට ගිනි අවි එල්ල කරමින් වෙඩි තිබ්බා. ඒ සමග මම වාහනයට නැඟ හරවා ගත්තා.

ඒ සමග වම් පැත්තට වන්නට අඩි 7 ක්‌ 8 ක්‌ ඉදිරියෙන් දුමින්ද සිල්වා මහතා වැටී සිටිනවා දැක්‌කා. ඔහුට කවුරු වෙඩි තැබුවාද කියා මා දුටුවේ නෑ. ඔහුගේ මූණේ ලේ තැවරී තිබුණා. දමිත් ජයතිලකත් භාරත මහතා ළඟ වැටී සිටියා. පොලිස්‌ සැරයන් ගාමිණී මහතා වෙඩි වැදී ඇසක්‌ එළියට ඇවිත් සිටියා. හකීම්ටත් වෙඩි වැදී ඇති බව දුටුවා. පසුව දැනගත්තා කුමාරටත් වෙඩි වැදී ඇති බව.

වාහනය හරවා ගන්න විට දුමින්ද සිල්වාගේ වාහනය අපේ වාහනයේ හැප්පුවා. ඉඩක්‌ තිබුණු ඉදිරියෙන් වාහනය හරවාගෙන මායි සංජීවයි, අෂාන් සමග එක්‌වී භාරත මහතාව වාහනයට දාගත්තා.

භාරත මහතා කිසි දෙයක්‌ කතා කළේ නෑ. භාරත මහතා දාගෙන එනකොට අතරමඟදී මිරිහාන කොට්‌ඨාස භාර පොලිස්‌ අධිකාරි දේශබන්දු තෙන්නකෝන් මහතාගේ හා මුල්ලේරියාව පොලිසියේ ඕ. අයි. සී. මහත්තයාගේ ජීප් රථ ද දුමින්ද සිල්වාගේ වාහන පිටුපසින් තිබෙනවා දැක්‌කා. ඊට පෙරත් උදේ දී සපුමල් උයනේදීත් අපිට දේශබන්දු මහතා හමුවුණා.

භාරත මහතා අයි. ඩී. එච්. රෝහලට ගෙන ගොස්‌ පසුව ගිලන් රථයකින් කොළඹ ජාතික රෝහලේ පොලිස්‌ මෘත ශරීරාගාරය වෙත රැගෙන ගියා. එහිදී දැනගත්තා මියගිය බව.

මෙම සිද්ධිය පිළිබඳව මීට පෙර මා විසින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත ද ප්‍රකාශයක්‌ ලබා දුන්නා.

අනතුරුව පොලිස්‌ පරීක්‍ෂක රංජිත් මුණසිංහ මහතාගේ මෙහෙයවීම යටතේ සාක්‌කි දුන් දුමින්ද සිල්වා මහතාගේ රියෑදුරු වන බාලසූරිය ආරච්චිගේ චමින්ද මහතා මෙසේ කියා සිටියේය.

විදුලිබල අමාත්‍යංශයේ කාර්මික සේවකයකු ලෙස සේවය කරන මා දුමින්ද සිල්වා මහතාගේ රියෑදුරු ලෙස සේවය කරනවා.

එදින උදේ 6.30 ට පමණ මා දුමින්ද සිල්වා මහතාගේ නිවසට පැමිණියා. එදා ප්‍රාදේශීය සභා ඡන්දය නිසා දුමින්ද මහතා සමග කොළොන්නාව ආසනයේ පාක්‌ෂිකයන් හමුවන්න ගියා. එම වාහනයේ දුමින්ද මන්ත්‍රීතුමාත් පී. ඒ. ෂෙහාන් අන්සර්, චරිඳු, ගලබොඩ අය සිටියා. මගේ අතේ ආයුධයක්‌ තිබුණේ නෑ. අනෙක්‌ අය අත ද ආයුධ තිබුණා දැයි දන්නේ නෑ. දුමින්ද මහතා ළඟ ද ආයුධ තිබුණා දැයි දන්නේ නෑ. වෙනදා ඇමැති ආරක්‍ෂකයන් සමග ගියත් ඒ අය එම වෙලාවේ ඇවිත් නොසිටි නිසා අපි ජීප් එකෙන් ගියා. පසුපසින් කළු පාට ඩිපෙන්ඩර් ජීප් එකක්‌ ආවා. එහි දුමින්ද සිල්වා මහතාගේ පෞද්ගලික ආරක්‍ෂක නිලධාරීන් සිටියා. ඒ අය ළඟ ආයුධ තිබුණා දැයි මා දන්නේ නෑ. ඒ අය සිවිල් ඇඳුමින් සිටියා. එම රථයේ ලංකා, සුරංග, මාතර චමින්ද, චන්දන අමිල යන අය හිටියා.

ඒ වෙලාවේ දුමින්ද මහතාගේ ගෙදරින් පිට වුණේ එම වාහන දෙක පමණයි. අපි ඔරුගොඩවත්තේ තමිල්නාඩු වත්තට ගියා වෙලාව උදේ 7.00 ට විතර ඇති. එතැනදී දුමින්ද මන්ත්‍රීතුමා බිමට බැස වත්ත දෙසට ගියා. කීප වරක්‌ මා චාඡ් කරන්න දාලා තිබ්බ ඒ මහතාගේ ෆෝන් එක ගිහින් දුන්නා.

දුමින්ද සිල්වා මහතා ළඟ ඇමැති ආරක්‍ෂක නිලධාරීන් 11 ක්‌ ඉන්නවා. පොලිසියේ ද ඇමැති ආරක්‍ෂක අංශයේද නොවන අය සිවිල් ඇඳුමින් සිටිනවා. පොලිස්‌ නිලධාරීන් 3 දෙනෙක්‌ ඉන්නවා. ඒ අය නමින් අනුර ප්‍රවීන්, හේමන්ත, මිරිහාන මිරිහාන පොලිසියට අනුයුක්‌තව සේවය කළ අය. තමිල්නාඩු වත්තේදී දුමින්ද මහතා සමග සිටි හේමන්ත අත ටී 56 ක්‌ තිබුණා. ඇමැති ආරක්‍ෂක අංශයේ අය ළඟ පිස්‌තෝල තිබුණා.

සවස 3.00 ට විතර අපි තමිල්නාඩු වත්තෙන් පිට වී ආවා. එහිදී දුමින්ද මහතාගේ වාහනයට තරිඳු, ගලබොඩ චමින්ද යන අය නැග්ගා. චමින්ද යන අයව දෙමටගොඩ චමින්ද නමින් ද හඳුන්වනවා.

අපේ ඉදිරිපසින් ඇමැති ආරක්‍ෂක අංශයේ ඩිපෙන්ඩර් කැනෂික්‌ කළු ජීප් රථය පසුපසින් පුල් බොඩි ඩිපෙන්ඩර් කළු පාට ජීප් එක ද ආවා. මා පැදවූ වාහනය මැදින් ගමන් කළා.

එතැනින් ඔරුගොඩවත්ත හරහා වැල්ලම්පිටියෙන් අංගොඩ රාජසිංහ විද්‍යාලය ළඟට ආවා. එතැන ඡන්ද පළක්‌ තිබුණා. අපේ වාහනය නතර කළ පසු දුමින්ද මහතා බැස ගියා. ඒ දෙසින් කෑගැසීමක්‌ ඇසුණා. ඒ සමග පැමිණි දුමින්ද මහතා ජීප් එකට නැගලා ඉදිරියට ආවා.

එහිදී කෑගැසුවේ කවුද කියා දන්නේ නෑ. එතැනින් මීටර් 70 ක්‌ 75 ක්‌ පමණ ඉදිරියට එන විට කඩපොළ ළඟ 8 ක්‌ 10 ක්‌ සිටියා. එතැන වාහනය නතර කරන ලෙස දුමින්ද මහතා කීවා. වාහනය නවත්වනවා සමග භාරත මහතාගේ වාහනයත් පැමිණ ඉදිරියේ නතර කරනවා දුටුවා. රතුපාට ජීප් රථයක්‌ වූ එය අපේ වාහනයට මීටරයක්‌ පමණ දුරින් නැවැත්තුවා.

එවිට භාරත මහතා බහින්න සූදානම් වෙනවා දැක්‌කා. මම දුමින්ද මහතාට කීවා ලකී ඉන්නවා කියලා. ඒ සමග දුමින්ද මහතා ජීප් එකෙන් බැස්‌සා. දුමින්ද මහතා භාරත මහතා දෙසට ගොස්‌ දෙදෙනා අතර බහින්බස්‌වීමක්‌ වනවා දුටුවා.

දුමින්ද මහතා ජීප් රථයෙන් බහින්න පෙර කීවා "කාටවත් වෙඩි තියන්න එපා" කියලා. ඒ අය අත ආයුධ තිබුණා ද කියා මා දන්නේ නෑ. භාරත මහතා අත ද ආයුධයක්‌ තිබෙනවා දැක්‌කේ නෑ. නමුත් ඔහු වාහනයෙන් බහින්න පෙර යම් දෙයක්‌ බලනවා දැක්‌කා. භාරත මහතා බහිනවාත් සමග තවත් දෙතුන් දෙනෙක්‌ ඔහු සමග බැස්‌සා. දුමින්ද මහතා භාරත මහතාට බොහෝ සමීපව කතා කරනවා දුටුවා.

ඒ සමග අපේ අය කියනවා ඇසුණා දුමින්ද මහතාට වෙඩි තැබුවා කියා. වෙඩි තබන කිසිවකු මා දුටුවේ නෑ. දුමින්ද මහතා හෝ භාරත මහතා වෙඩි තබනවා මා දුටුවේ නෑ. මා හට ඇසුනේ වෙඩි හඬ පමණයි. මා විසින් ඒ සමග වාහනය හරවා ගත්තා. දුමින්ද මහතා උඩුබැලි අතට වැටී සිටියා. භාරත මහතා ඔහුගේ ජීප් රථයේ හැංගි හැංගි ඉන්නවා දැක්‌කා. පසුව මා වාහනය වේගයෙන් පසුපසට ගන්නා විට භාරත මහතාගේ වාහනය පාරට දැම්මා. මගේ වාහනය එහි හැපුනා. එහිදී මා දුටුවා භාරත මහතා මැදි කරගෙන දෙදෙනෙක්‌ වෙඩි තියමින් දුවනවා.

මේ වන විට දුමින්ද මහතාව ඔහුගේ ආරක්‍ෂක නිලධාරීන් විසින් ජීප් එකට දැම්මා. එහි ඇමැති ආරක්‍ෂක පුද්ගලික ආරක්‍ෂක නිලධාරීන් සිටියා. එය ඉදිරියෙන් ගියා. මා ජීප් එකේ පසුපසින් යන විට ටික දුරකින් දුමින්ද මහතාව ගෙන ගිය වාහනය නතර වුණා. එතැන රේඩියෝ පොලිස්‌ කාර් රථයක්‌, පොලිස්‌ ජීප් රථයක්‌ නතර කර තිබෙනවා දැක්‌කා.

එතැන මිරිහාන කොට්‌ඨාස භාර පොලිස්‌ අධිකාරි තෙන්නකෝන් මහතා සිටිනවා දැක්‌කා. එතැනින් දුමින්ද මහතාව මගේ රථයට දාගෙන ජයවර්ධනපුර රෝහලට ගෙන ගියා. එහිදී මා දැක්‌කා මන්ත්‍රීතුමාව ට්‍රොලියේ දාගෙන යනකොට එතුමා චුයින්ගම් එකක්‌ හපමින් සිටියා.

යළිත් ශාන් අබේසේකර මහතාගේ මෙහෙයවීම යටතේ සාක්‌ෂි දුන් දුමින්ද සිල්වා මහතාගේ පෞද්ගලික ආරක්‍ෂක නිලධාරී මංජුල ප්‍රසාද් හෙට්‌ටිආරච්චි මහතා මෙසේ පැවැසීය.

දුමින්ද සිල්වා මහතාගේ පෞද්ගලික ආරක්‍ෂක නිලධාරියෙක්‌ ලෙස සේවය කරන මා කලක්‌ ඊ.ඒ.පී. පුද්ගලික ආරක්‍ෂක සේවයේ සේවය කළා. ඊට පෙර හමුදාවේ කමාන්ඩෝ රෙජිමේන්තුවට අනුයුක්‌තව සේවය කළා. සේවයට වාර්තා නොකර සිටියදී දුමින්ද සිල්වා මහතාගේ උපකාරයෙන් නීත්‍යනුකූලව හමුදාවෙන් ඉවත් වී ඔහුගේ පෞද්ගලික ආරක්‍ෂක සේවයට එක්‌ වුණා.

සිද්ධිය සිදු වූ දින දුමින්ද මහතා සමග මා තමිල්නාඩුවට ගියා. එහිදී අප සමග ගලබොඩ නමැති අයෙක්‌ හිටියා. ඔහු පාතාල සාමාජිකයෙක්‌ බව පසුව දැනගත්තා. චමින්දත් එතැන සිටියා. ඔහු පච්ච කොටා සිටි මත්ද්‍රව්‍යවලට සම්බන්ධ අයෙක්‌ බව දැනගන්න ලැබුණා.

ඔවුන් සමඟ අප තමිල්නාඩුවෙන් පිටවෙලා මුල්ලේරියාව දෙසට ආවා. එතැනදී සර් එතැන හිටපු ගෑනු කට්‌ටියක්‌ සමග කතාකරමින් මොකද මෙතැන කරන්නේ කියලා ඇහුවා. ඇය ඡන්ද දාන්න ආව බව කීවා. එවිට ඇසුවා කාටද ඡන්දෙ දැම්මේ කියා. ඇය කීවා මගේ මහත්තයාට කියලා. එතකොට කවුද කීවා ඒ සෝලංග ආරච්චිගේ පවුල කියලා. එතැන සිටි පිරිමි අයෙක්‌ගෙන් අපේ කෙනෙක්‌ ඇසුවා "ඇයි ඇයි උඹ ඔරවන්නේ කියා අපේ කට්‌ටිය එතැන හිටපු කාන්තාව තල්ලු කර ගැහැව්වා.

එතැනින් පිටවී එනවිට භාරත මහතාගේ ජීප් රථය හමු වුණා. එහිදී භාරත මහතා බැස විත් දුමින්ද මහතා දෙසට ඇඟිල්ල දිගු කරමින් "මේ අපේ ගම් දනව් හු.... මේවායේ රඟපාන්නේ කොහොමද යකෝ" කියා ඇසුවා.

භාරත මහතා අත උස්‌සනවාත් සමඟ අපේ සර් ගැහුවා. භාරතගේ අත පිස්‌තෝලයක්‌ තිබෙනවා දැක්‌කේ නෑ. එතකොට සර් ගහපු පාරකට භාරත වැටුනා. ඒ සමග ඩෝං ගාලා හඬක්‌ ඇහුණා. අපේ අත ආයුධ තිබුණේ නෑ. ඒ සමග කමාන්ඩෝ සියල්ලෝ දිව්වා. භාරතගේ අයෙක්‌ ආයුධත් අතේ අරං දුවනවා දැක්‌කා. එය රිවෝල්වරයක්‌.

මුහුණේ රැවුල තිබූ අයෙක්‌ භාරතගේ පැත්තට වෙඩි තිබ්බා. දෙමටගොඩ චමින්ද කෑගැසුවා අරූට තියපන් අරූට තියපන් කියලා. ටී 56 න් වෙඩි තිබ්බේ සරත් කියන කෙනෙක්‌.

භාරත මහතා බිම දිගේ ඇදී යන විට චමින්ද කීවා අරූට ගහපන් අරූට ගහපන් කියලා. එවිට සරත් කියන අයෙක්‌ භාරත දෙසට වෙඩි තිබ්බා.

මෙහිදී ඒ. ඩී. කෞෂාන් ධනංජය මධුසංඛ නමැති අයෙක්‌ ද සාක්‌කි දුන්නේය.

වැඩිදුර විභාගය අදට (21 දාට) කල් තැබූ මහෙස්‌ත්‍රාත්වරයා අගතියට පත් පාර්ශ්වය මගින්ද සාක්‌කිකරුවන් ඇත්නම් ඉදිරිපත් කරන ලෙසට නියෝග කළේය.


සමන්ත ඉලේපෙරුම -  දිවයින
Read More »

කොළඹ ජනතාවගේ ජීවන තත්ත්වය නඟා සිටුවීම සඳහා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ආරම්භ කර ඇති නිවාස වැඩපිළිවෙළ සාර්ථක වැඩ පිළිවෙළක් බව කොළඹ නව නගරාධිපති ඒ.ජේ. එම්. මුසම්මිල් මහතා සඳහන් කරයි.
කොළඹ පැල්පත්වාසී ජනතාව වෙනුවෙන් ආරම්භ කර ඇති එම වැඩපිළිවෙළේදී රජයත් නගරසභාවත් එකම තැනක සිටින බවත් ඉදිරියේදී මේ වැඩපිළිවෙළ සාර්ථකව කරගෙනයාමට නගර සභාවේ සම්පූර්ණ සහයෝගය ලබාදෙන බවද මුසම්මිල් මහතා පවසයි.

මේ පිළිබඳව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාත් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාත් සමඟ නගරාධිපති මුසම්මිල් මහතා සාකච්ඡා පවත්වා ඇත. දෙපාර්ශ්වය අතර කිසිඳු ගැටලුවක් ඇති නොවන බවද මුසම්මිල් මහතා කියා සිටී.
Read More »

අධිකරණ නියෝගයක්‌ පවා නොමැතිව
ලාන්සාගේ නිවස සෝදිසිය ගැන පරීක්‌ෂණයක්‌ කරන්න

ජනපති පොලිස්‌පතිට නියෝග කරයි

අධිකරණ නියෝගයක්‌ පවා නොමැතිව පළාත් සභා ඇමැති නිමල් ලාන්සා මහතාගේ නිවසට කඩා වැදී තහනම් ගිනි අවි ඇතුළු නීති විරෝධී භාණ්‌ඩ තිබෙන බව කියමින් පරීක්‌ෂා කිරීම පිළිබඳව වහාම විධිමත් පරීක්‌ෂණයක්‌ පවත්වන ලෙස ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා පොලිස්‌පතිවරයාට ඊයේ (18 වැනිදා) නියෝග කළේය.
මීගමුව දළුපොත පිහිsටි නිමල් ලාන්සා මහතාගේ නිවසට ඊයේ පෙරවරුවේ පැමිණි මහින්ද රාජපක්‌ෂ මහතා ලාන්සා මහතා සමඟ සාකච්ඡාවක ද නිරත වී මෙම සිද්ධිය පිළිබඳ පරික්‌ෂණයක්‌ පවත්වා සාධාරණයක්‌ ඉටුකර දීමට පොරොන්දු වී ඇත.
රජයේ වගකිවයුතු ඇමැතිවරයකුගේ නිවසක්‌ මේ ආකාරයට හිතුමතේ පරීක්‌ෂා කිරීම බරපතළ ක්‍රියාවක්‌ බවත් මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්‌ෂණයක්‌ පවත්වා තමන් වෙත වාර්තාවක්‌ ඉදිරිපත් කළ යුතු බවත් මෙහිදී ජනාධිපතිවරයා පොලිස්‌පතිවරයාට නියෝග කර ඇත.
නිමල් ලාන්සා මහතාගේ නිවස පරීක්‌ෂා කරන ලෙස පොලිස්‌ විශේෂ කාර්ය බළකායට නියෝග කළේ කවුදැයි යන්න ඊයේ දහවල් වනතුරුත් හෙළිදරව් වී නොතිබිණි.
මීගමුව දළුපොත පිහිටි බස්‌නාහිර පළාත් සංචාරක, ප්‍රවාහන, මහාමාර්ග ඇමැති නිමල් ලාන්සා මහතාගේ නිවසට පෙරේදා පෙරවරුවේ කඩා වැදුණු පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ නිලධාරීහු 150 කට ආසන්න පිරිසක්‌ එම නිවස වටලා දැඩි පරීක්‌ෂාවට ලක්‌ කළහ. තහනම් ගිනි අවි, නීති විරෝධී වාහන ඇතුළු තහනම් භාණ්‌ඩ තිබෙන බව කියමින් විශේෂ කාර්ය බළකාය මෙම වැටලීම කර තිබිණි.
නිමල් ලාන්සාගේ නිවසට අමතරව ඒ මහතාගේ ආධාරකරුවන් වූ කෝටිපති ව්‍යාපාරිකයන් 6 දෙනකුගේද නිවාස විශේෂ කාර්ය බළකාය මගින් පරීක්‌ෂා කරනු ලැබීය.
එහෙත් කිසිදු තහනම් භාණ්‌ඩයක්‌ මෙම නිවෙස්‌වලින් සොයා ගැනීමට විශේෂ කාර්ය බළකාය අපොහොසත් විය.
මේ සම්බන්ධයෙන්නිමල් ලාන්සා මහතා කියා සිටියේ කිසිම හේතුවක්‌ නොමැතිව විශේෂ කාර්ය බළකාය මගින් නිවස පරීක්‌ෂා කිරීමෙන් තම කීර්ති නාමයට විශාල කැළැලක්‌ සිදුවූ බවයි. අධිකරණ නියෝගයක්‌ පවා නොමැතිව රජයේ වගකිවයුතු ඇමැතිවරයකුගේ නිවසක්‌ මේ ආකාරයට පරීක්‌ෂා කිරීම ඉතාම බරපතළ ක්‍රියාවක්‌ බවද නිමල් ලාන්සා මහතා කියා සිටියේය.
දීර්ඝ කාලයක්‌ තිස්‌සේ තමන් දුක්‌මහන්සියෙන් ගොඩනගාගත් කීර්ති නාමය සහ ප්‍රතිරූපය මෙම ක්‍රියාව නිසා දැඩි ලෙස විනාශයට පත්වූ බවද ලාන්සා මහතා කීය.
තම ජනප්‍රියත්වය දෙස බලා සිටිය නොහැකි කිsසියම් පුද්ගලයකු මෙම ක්‍රියාව පසුපස සිටින බව පැවසූ නිමල් ලාන්සා මහතා මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්‌ෂණයක්‌ පවත්වා තමන්ට සාධාරණයක්‌ ඉටු කරදෙන ලෙස ජනාධිපතිවරයා වෙත ඉල්ලීමක්‌ කළ බවද කියා සිටියේය.
මීගමුව ජනතාව අතර විශාල ජනප්‍රසාදයක්‌ දිනාගෙන සිටින තමන් මෙම සිද්ධිය නිසා දැඩි අපහසුතාවකට පත්වූ බවද ලාන්සා මහතා  කීය.
මෙම සිද්ධිය සැලවීමෙන් පසු මීගමුව ප්‍රදේශයේ සිටි නිමල් ලාන්සා මහතාගේ ආධාරකරුවෝ විශාල පිරිසක්‌ ඒ මහතාගේ නිවසට පැමිණ ආවේගශීලී ආකාරයෙන් හැසිරීමට උත්සාහ කළහ.
පසුව නිමල් ලාන්සා මහතා ඒ පුද්ගලයන්ට කතාකර ඇතිවී තිබෙන තත්ත්වය පැහැදිලි කර ඔවුන් සාමකාමී අන්දමින් විසුරුවා හැරීමට කටයුතු කර තිබේ.
මෙම සිද්ධිය පිළිබඳව සොයා බැලීම සඳහා ජනාධිපතිවරයා නිමල් ලාන්සා මහතාගේ නිවසට ගිය අවස්‌ථාවේ ඇමැතිවරුන් වන බැසිල් රාජපක්‌ෂ, ලසන්ත අලගියවන්න, බස්‌නාහිර පළාත් මහ ඇමැති ප්‍රසන්න රණතුංග යන මහත්වරුද එහි පැමිණ සිටියහ.



විශේෂ කාර්ය බළකාය සිද්ධිය ප්‍රතික්‌ෂේප කරයි

නීති විරෝධී ගිනි අවි ඇතුළු තහනම් භාණ්‌ඩ තිබෙන බව කියමින් පළාත් සභා ඇමැති නිමල් ලාන්සා මහතාගේ නිවස කිසිම ආකාරයකින් පරික්‍ෂාවට ලක්‌ නොකළ බව පොලිස්‌ විශේෂ කාර්ය බළකාය පවසයි.

මීගමුව ප්‍රදේශයේ සඟවා ඇති තහනම් ගිනි අවි ඇතුළු නීති විරෝධී භාණ්‌ඩ අත්අඩංගුවට ගැනීමට ගිය අවස්‌ථාවේ පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් නිමල් ලාන්සා මහතාගේ නිවසටද ගොස්‌ ඒ මහතා සමග කතා කර ඇති බවද විශේෂ කාර්ය බළකාය කියා සිටියි.

නිමල් ලාන්සා මහතාගේ නිවස දැඩි පරීක්‍ෂාවට ලක්‌ කළ බව කියන සිද්ධිය දැඩි ලෙස ප්‍රතික්‌ෂේප කරන බවද පොලිස්‌ විශේෂ කාර්ය බළකාය වැඩිදුරටත් කියා සිටියි.

 

-දිවයින - 
Read More »


වත්මන් ආණ්ඩුව ගෙදර යවනු ලබන සටනේ ආරම්භයට කොළඹ ඡන්දදායකයන් මුලපුරා ඇතැයි රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් කර ඇති ප‍්‍රකාශය හාස්‍යජනක බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්,ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසයි.

අමාත්‍යවරයා විසින් නිකුත් කරන ලද නිවේදනයක මේ බව සඳහන් වේ. එකී නිවේදනය පහත පරිදිය.

2011.10.08 දින පැවැති පළාත් පාලන මැතිවරණයෙන් කොළඹ මහනගර සභාව ජයග‍්‍රහණය කිරීමට නොහැකිවුව ද එක්සත් ජනතා නිදහස් සන්ධානය එතෙක් එක්සත් ජාතික පක්‍ෂය සතුව තිබූ මහනුවර, නුවරඑළිය, දෙහිවල-ගල්කිස්ස, කොළොන්නාව යන පළාත් පාලන ආයතන ඇතුළුව මැතිවරණය පැවති ආයතන 23 න් 21 ක් එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයග‍්‍රහණය කිරීම තුළින් රජයේ ජනප‍්‍රියත්වය ස්ථාවර බවට පත් වී ඇති බවට තහවුරු වේ.

මෙවර පළාත් පාලන මැතිවරණයේදී කොළඹ නගරයේ සිටින බුද්ධිමත් ඡන්ද දායකයින් ආණ්ඩුවට නිසි පිළිතුරු දී ඇතැයි විපක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රකාශ කර තිබූ අතර,කොළඹ නගරය සම්බන්ධයෙන් සන්ධාන රජයේ තර්ක විතර්ක කොළඹ ජනතාව මෙවර මැතිවරණයේ දී ප‍්‍රතික්ෂේප කර ඇතැයි එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතා ප‍්‍රකාශ කර තිබුණි.

එහෙත් කොළඹ මහනගර සභා බල ප‍්‍රදේශය තුළ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනතා ජනප‍්‍රියතාවය වර්ධනය කරගෙන ඇති බව පැවැති සෑම මැතිවරණයකදීම තහවුරු කර ඇත. ඒ අනුව කොළඹ බුද්ධිමත් ජනතාව යම් පණිවිඩයක් දී ඇත්තේ එක්සත් ජනතා නිදහස් සන්ධානයට නොව එක්සත් ජාතික පක්‍ෂයට බව පැහැදිලි වේ.

එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතා නියෝජනය කරන හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ එකදු පළාත් පාලන ආයතනයක්වත් ජයගැනීමට එක්සත් ජාතික පක්‍ෂයට නොහැකි විය. හම්බන්තොට මහනගර සභාව ඇතුළු සියලූම පළාත් පාලන ආයතනවල බලය එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමිව ඇත. 2006 වර්ෂයේ දී පැවැති කොළඹ මහනගර සභා මැතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද 57,158 ක් ලබාගන්නා විට මෙවර එය ඡන්ද 77,084 ක් වැඩිකර ඇත. එමෙන්ම පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ දී කොළඹ මහනගර සභා බල ප‍්‍රදේශය තුළ එක්සත් ජාතික පක්‍ෂයට සාපේක්‍ෂව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඡන්ද පරතරය ඡන්ද 60,000 ක් වුව ද මෙවර පැවති පළාත් පාලන මැතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානය එම පරතරය ඡන්ද 24,000 ක් දක්වා අඩුකර ගෙන ඇත.

එක්සත් ජාතික පක්‍ෂ ඡන්ද ප‍්‍රතිශතය සියයට 43 ක් දක්වා පහල බැස ඇති අතර කොළඹ මහනගර සභා මැතිවරණයේදී ලබාගතහැකි වූයේ මන්ත‍්‍රිධූර 24 ක් පමණි. එමනිසා කොළඹ මහනගර සභා මැතිවරණයේ දී එක්සත් ජාතික පක්‍ෂය සුළුතරය වන අතර විපක්‍ෂය බහුතරය වේ.එමෙන්ම එක්සත් ජාතික පක්‍ෂය 2002 වර්ෂයේ දී කොළඹ මහනගර සභාව සඳහා ඡන්ද 136,845 ක් ලබාගෙන ආසන 32 ක් ජයග‍්‍රහණය කළ ද මෙවර ඔවුන්ට ලබාගත හැකි වූයේ ඡන්ද 101,920 කි.ආසන 24 කි. එහෙත් එක්සත් ජනතා නිදහස් සන්ධාන රජය පොදුජන එක්සත් පෙරමුණ ලෙස 2002 වර්ෂයේ දී පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ඡන්ද 38,002 ක් ලබාගෙන ආසන 08 ක් හිමිකර ගත් අතර මෙවර ඡන්ද 77,089 ක් ලබාගෙන ආසන 16 ක් හිමිකර ගැනීමට සමත් විය.

කොළඹ මහනගර සභාවේ ඡන්ද ප‍්‍රතිඵල එම මහනගර සභාවටම ආවේණික වූ කාරණයක් මිස එය රටේම ජනමතය නොවේ. කොළඹ මහනගර සභා ජයග‍්‍රහණය විපක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ජයග‍්‍රහණයක් නොවේ යැයි එක්සත් ජාතික පක්‍ෂ දකුණු පළාත් මන්ත‍්‍රි මෛත‍්‍රී ගුණරත්න මහතා ප‍්‍රකාශ කර තිබුණි. කොළඹ ජයග‍්‍රහණය පිළිබඳව මහත් උද්දාමයට පත් එක්සත් ජාතික පක්‍ෂය මෙවර පළාත් පාලන මැතිවරණයේ දී පරාජය වූ ආයතනවල වගකීම භාරගන්නේ ද? 2006 වර්ෂයේ පළාත් පාලන මැතිවරණයේ දී පළාත් පාලන ආයතන 40 ක බලය ලබාගත් එක්සත් ජාතික පක්‍ෂයට මෙවර ලැබී ඇත්තේ ආයතන 10 කි.

පළාත් පාලන මැතිවරණයේ සමස්ථ ප‍්‍රතිඵල මත එක්සත් ජනතා නිදහස් සන්ධානය සියයට 56 ක ඡන්ද ප‍්‍රතිශතයක් ලබාගන්නා විට එක්සත් ජාතික පක්‍ෂය ලබාගෙන ඇත්තේ සියයට 32 ක ඡන්ද ප‍්‍රතිශතයකි. පළාත් පාලන ආයතන 322 ක් සඳහා පැවති මැතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂයට ආයතන 10 ක බලය හිමිවන විට එක්සත් ජනතා නිදහස් සන්ධානයට ආයතන 271 ක් ජයග‍්‍රහණය කිරීමට හැකිවිය. ඒ තුළින් මුළු රටේම ජනමතය පිළිබඳව ඕනෑම අයෙකුට අවබෝධයක් ලබාගත හැකිය.

දීර්ඝ කාලයක් එක්සත් ජාතික පක්‍ෂ පාලනය යටතේ පැවැති පළාත් පාලන ආයතන රාශියක් ද මෙවර පළාත් පාලන මැතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයගත්තේය. ඒ අනුව වසර 34 ක් එක්සත් ජාතික පක්‍ෂ පාලනයේ පැවැති නුවරඑළිය මහනගර සභාව, වසර 58 ක් එක්සත් ජාතික පක්‍ෂ පාලනයේ පැවැති මහනුවර මහනගර සභාව හා මහනුවර කඩවස්සතර ගඟවටකොරළේ ප‍්‍රාදේශීය සභාව, වසර 33 ක් එක්සත් ජාතික පක්‍ෂ පාලනයේ පැවැති කොළොන්නාව මහනගර සභාව මෙන්ම එක්සත් ජාතික පක්‍ෂ පාලනය යටතේ පැවැති දෙහිවල- ගල්කිස්ස මහනගර සභාව මෙවර එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයගත්තේය.

එමෙන්ම සියයට 74.8 ක ඉහළ ඡන්ද ප‍්‍රතිශතයක් ගම්පහ මහනගර සභාව සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානය ලබාගෙන ඇත. ඉතිහාසයේ කවරදාකටත් වඩා මෙවර පැවැති පළාත් පාලන මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයග‍්‍රහණයක් ලබාගෙන ඇති අතර, කොළඹ මහනගර සභාව පරාජය වීමෙන් සන්ධාන ආණ්ඩුවේ කඩාවැටීම් ආරම්භ වී ඇතැයි එක්සත් ජතික පක්‍ෂය මතුකරන අදහස මෙම ජයග‍්‍රහණවලින් ප‍්‍රතික්ෂේප කර ඇත.

මෙම පළාත් පාලන මැතිවරණවලදී, 2009 වර්ෂයේ ජනාධිපතිවරණයේ දී, 2010 මහමැතිවරණයේ ඡන්ද පදනම එක්සත් ජනතා නිදහස් සන්ධානය රැකගෙන ඇති අතර එක්සත් ජාතික පක්‍ෂ ඡන්ද පදනම පහත වැටී ඇත. එමනිසා දේශපාලන පක්‍ෂයක් ලෙස එක්සත් ජාතික පක්‍ෂයේ කඩාවැටීම සිදුවී ඇතැත් සන්ධාන ඡන්ද පදනම ස්ථාවර වී ඇති බව මෙම මැතිවරණවලින් පැහැදිළි වේ.

එක්සත් ජාතික පක්‍ෂය දීර්ඝ කාලයක් බලය තහවුරු කරගෙන සිටි පළාත් පාලන ආයතන මෙවර එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයග‍්‍රහණය කිරීමෙන් හා සාම්ප‍්‍රදායිකව එක්සත් ජාතික පක්‍ෂය ජයගන්නා කොළඹ මහනගර සභාව බල ප‍්‍රදේශය තුළ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඡන්ද ප‍්‍රතිශතය ඉහළ යාම තූළින් ජනතා ජනප‍්‍රියතාව සන්ධානය වර්ධනය කරගෙන ඇති අයුරුත් එක්සත් ජාතකි පක්‍ෂයේ ජනපිය‍්‍ර තාව පහලට ගොස් ඇති අයුරුත් මැනවින් පැහැදිලි වේ. එසේ හෙයින් වත්මන් ආණ්ඩුව අවසානය කරාගෙන යනු ලබන සටනේ ආරම්භයට කොළඹ ඡන්දදායකයන් මුලපුරා ඇතැයි විපක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා කරන ප‍්‍රකාශය හාස්‍යජනකය.
source-adaderana
Read More »

පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා මහතා භාරත පේ‍්‍රමචන්ද්‍ර මහතා ඝාතනයට සැකකාරයෙකු නොවන බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ ප‍්‍රධානී ලක්ෂ්මන් හුලූගල්ලේ මහතා පවසයි. බීබීසී සන්දේශය සිංහල වැඩසටහනට විශේෂ ප‍්‍රකාශයක් කරමින් ඒ මහතා මේ බව පවසා තිබේ.
භාරත ලක්ෂ්මන්ගේ රියදුරු දුන් සාක්ෂියට අනුව දුමින්ද සිල්වා මහතා භාරතට පහරදී වෙඩිතැබීමට කල ප‍්‍රකාශය සම්බන්ධායන් අදහස් දක්වන හුළුගල්ලේ මහතා පවසන්නේ ‘දුමින්ද සිල්වා දැනටමත් මේ සම්බන්ධයෙන් තුවාල ලැබූ රෝගියෙක්. ඔහු මේ ඝාතනය කළා යයි සාක්ෂි කිසිවක් මේ වනතුරු ඉදිරිපත්වී නෑ. ඔහුගේ පුද්ගලික බොඩිගාඞ්ලාත් මේ සිද්ධිය සිදුවන අවස්ථාවේ එතැන සිටියා. ඒත් අත්අඩංගුවට පත්වී සිටින අය අතර දුමින්ද සිල්වාගේ සහායකයින් කිසිවෙකු නෑ.’ යනුවෙනි.
මේ වන විට අත්අඩංගුවේ සිටින්නන් ගැන හුළුගල්ලේ මහතා දැක්වූයේ මෙවන් අදහසකි.
‘මේ අය පාතාලේ අය. ඉන්දියාවෙදිත් සැකකරුවන් දෙදෙනෙකු අල්ලාගත්තා. පරීක්ෂණ අනුව පෙනී ගොස් තියනවා ඒ දෙන්නා ඉන්දියාවෙ යන්න වීසා අරන් තියෙන්නේ මේ ඝාතනයටත් පෙර සිට බව. ඒ කියන්නේ මේක කල් ඇතිව සැලසුම්සහගතව කරපු එකක්’
lankacnews
Read More »

වයස 79 දීත් බිරිය අතහැර තරුණ අඹුවක් කැන්දගෙන



දරුවන් විසිතුන්දෙනකුගේ පියකු බව කියන හැත්තෑ නව හැවිරිදි පුද්ගලයකුට අයිතිවාසිකම් කියූ කාන්තාවන් දෙදෙනකු අතරින් හැත්තෑ හැවිරිදි බිරිය ප්‍රතික්ෂේප කර අලුත් විවාහ කර ගත් හතළිස් නව හැවිරිදි බිරිය සමඟ පවුල් කන බව පවසා ඇය සමග පොලිසියෙන් පිටව ගිය පුද්ගලයකු ගැන පුවතක් කඩුගන්නාව පොලිසියෙන් වාර්තා වෙයි.
දැනට දෙසතියකට පමණ ඉහතදී අදාළ පුද්ගලයා මෙම 49 හැවිරිදි කත විවාහ කරගෙන ඇති අතර, ඒ පිළිබඳව හැත්තෑ හැවිරිදි බිරිය කඩුගන්නාව පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.
මෙම පුද්ගලයා පැමිණිල්ල කළ කාන්තාවගේ සහෝදරියක සමග විවාහ වී සිටියදී ඇය මිය යාම නිසා පසුව මැය විවාහ කරගෙන ඇත. ඇය සමග පවුල් කන අතරතුර තවත් කාන්තාවක් කිහිප දෙනෙකු සමගම මොහු සබඳතා පවත්වා ඇත.
“අනංගයා” ලෙසින් ප්‍රසිද්ධ මෙම පුද්ගලයා දැනට මාස කිහිපයකට පෙර තම පෙම්වතිය බව පවසා 32 හැවිරිදි තරුණියක් නිවෙසට කැඳවාගෙන ඒම ගැන උරණවූ දරුවන් එයට බලවත් විරෝධය පෑමෙන් පසු ඇය යළි නිවසට ඇරලවා තිබේ.
මෙම පුද්ගලයාගේ ඇසුර ලද කාන්තාවන් ඔහු බෙදාගන්නට රණ්ඩු සරුවල් වුණත් ඔහුට දාව එම කාන්තාවයන් බිහි කළ දරුවන් සමගියෙන් කල් ගෙවන බව පොලිසිය පවසයි.
dinamina
Read More »

ටී 56 ගිනිඅවි රැගෙන තිදෙනකු ඇවිත්
මියගිය ව්‍යාපාරිකයාගේ ගනුදෙනු සටහන් කර ඇත්තේ පුතායි

උඩවලව පනහඩුව ප්‍රදේශයේ එකම පවුලේ මව, පියා, දියණිය හා පුත්‍රයා වෙඩි තබා සාහසික අන්දමින් ඝාතනය කර ඇත්තේ මුදල් කොන්ත්‍රාත්තුවක්‌ මත බව පොලිසිය කළ පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත. සංවිධානාත්මක කණ්‌ඩායමක්‌ විසින් මෙය සිදු කර ඇති බවද අනාවරණය වී තිබේ.
සිව් මිනිස්‌ ඝාතනයට සම්බන්ධ පුද්ගලයන් මේ වන විට හඳුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්‍ෂණ ආරම්භ කර ඇති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති පූජිත් ජයසුන්දර මහතා පැවසීය. පොලිස්‌පතිවරයාගේ නියෝග මත මෙම සිව් මිනිස්‌ ඝාතනයේ පරීක්‍ෂණ කටයුතු භාර කෙරුණේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති පූජිත් ජයසුන්දර මහතාටය. රහස්‌ පොලිසිය, විශේෂ කාර්ය බළකාය සහ රත්නපුර කොට්‌ඨාසයේ පොලිස්‌ කණ්‌ඩායම් කිහිපයක්‌ ඒ
කාබද්ධව සිදු කළ පරීක්‍ෂණවලදී සිව් මිනිස්‌ ඝාතනයට සම්බන්ධ වැදගත් තොරතුරු රාශියක්‌ හෙළි විය.
ඝාතනයට ලක්‌ වූ ව්‍යාපාරිකයා නීත්‍යානුකූල හා නීත්‍යානුකූල නොවන මාර්ගවලින් විශාල ධනස්‌කන්ධයක්‌ උපයාගෙන සිට ඇති බව පරීක්‍ෂණවලින් අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි. මෙම කොන්ත්‍රාත් මිනීමැරුම සඳහා පුද්ගලයන් තිදෙනකු පැමිණ ඇති අතර ඒ සඳහා ටී 56 ගිනි අවි යොදාගෙන ඇති බවද හෙළිදරව් වී ඇත. ඝාතකයන් ව්‍යාපාරිකයාගේ නිවස පිටුපස වැසිකිළිය අසල පැය කිහිපයක්‌ තිස්‌සේ සැඟවී සිට රාත්‍රි කාලයේදී නිවසට කඩාවැදී වෙඩි තැබීම සිදු කර ඇති බවද අනාවරණය වී තිබේ.
මෙම ඝාතන සඳහා පළපුරුදු ඝාතකයකු සම්බන්ධ වී ඇති බව පොලිසිය පවසයි. ඝාතනයට ලක්‌වූ ව්‍යාපාරිකයා සාක්‍ෂරතාවක්‌ නොමැති අයෙකි. ඔහුගේ මුදල් ගනුදෙනු බොහොමයක්‌ සඳහා සහාය වී ඇත්තේ 14 හැවිරිදි පුත්‍රයාය. ව්‍යාපාරිකයාට උඩවලව ප්‍රදේශයේ විශාල පොල් ඉඩම් කිහිපයක්‌ සහ කුඹුරු අක්‌කර ගණනාවක්‌ තිබී ඇති බව පොලිසිය පවසයි. බස්‌ රථ හතරක හිමිකරුවකු වූ මොහු මුදල් පොලියට දීම ද මහ පරිමාණයෙන් කරගෙන ගිය අයෙකි. මැණික්‌ ව්‍යාපාර ඇතුළු තවත් ව්‍යාපාර රැසක්‌ මොහු විසින් කර ඇත. මෙම ව්‍යාපාරිකයා අනියම් සම්බන්ධතා කිහිපයක්‌ ද පවත්වාගෙන ගොස්‌ ඇති අතර ඒ
 පිළිබඳ ආරවුල් ද ඇති බව පොලිසිය සොයාගෙන ඇත.
සිව් මිනිස්‌ ඝාතනය සිදු කළ පුද්ගලයන් සතුව තිබූ ජංගම දුරකථනයක්‌, හමුදා කැලෑ ඇඳුමක්‌ හා තවත් භාණ්‌ඩ රැසක්‌ නිවස ආසන්නයේ පිහිටි කැලෑවේ තිබී පොලිසිය විසින් සොයාගෙන තිබේ. ඝාතකයන් අත්අඩංගුවට ගැනීම සඳහා රහස්‌ පොලිසිය, විශේෂ කාර්ය බළකාය සහ රත්නපුර කොට්‌ඨාසයේ පොලිස්‌ කණ්‌ඩායම් කිහිපයක්‌ ඊයේ පෙරවරුවේ සිට මෙහෙයුමක්‌ ආරම්භ කළ බව පූජිත් ජයසුන්දර මහතා පැවැසීය.

source-divaina
Read More »

 තවමත් කිසිඳු සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන නැහැ

උඩවලව, පනහඩුව ප්‍රදේශයේදි වෙඩි තබා ඝාතනය කෙරුණු එකම පවුලේ සිව්දෙනාගේ දේහ ඔවුන්ගේ නිවසට රැගෙනවිත් තිබේ.
ඝාතනය සම්බන්ධයෙන් මෙතෙක් කිසිඳු සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන නොමැත



Read More »


එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය අත්හිටවු බවට මේ දක්වා නිල වශයෙන් දැනුම්දීමක් කර නැතැයි මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ පවසයි.
ඔහු අවධාරණය කළේ තමා සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය ඊයේ මාධ්‍යට නිකුත් කළ නිවේදනයේ සදහන් කරුණු අසත්‍ය බැවින් ඒවා තරයේ ප්‍රතික්ෂේප කරන බවයි.

සමාධි ප්‍රජා සංවර්ධන පදනමේ මාතර කාර්යාලයේ අද දහවල් පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදි මේ පිළිබඳව අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මෙසේ පැවසීය.


Read More »

ටයිටස් තොටවත්ත දිවියෙන් සමුගනියිලාංකික අද්විතීය සිනමා අධ්‍යක්ෂවරයකු සහ සංස්කරණ ශිල්පියකු වූ ජනාධිපති සම්මාන ලාභී ටයිටස් තොටවත්තයන් (ටයි මහත්තයා) අද (15)රාතී‍්‍ර කොළඹ පෞද්ගලික රෝහලකදී දැයෙන් සමුගත්තේය. මියයන විට ඔහු 82 වැනි වියේ පසුවිය.
1929 අප්‍රේල් 17 වැනි දින බොරැල්ලේදී එම්මානුවෙල් ටයිටස් ද සිල්වා නමින් උපත ලද ටයිටස් තොටවත්තයන් 60 සහ 70 දශකයන්හිදී සිංහල සිනමාවේ ළමා වැඩසටහන් නිෂ්පාදනයේ සහ සංවර්ධනයේ ලා බෙහෙවින් ජනාදරයට පත්විය.
කොළඹ ආනන්ද විද්‍යාලයේ දීප්තිමත් ආදි ශිෂ්‍යයකු වූ තොටවත්තයන් සහෝදරයන් තිදෙනකුගෙන් සහ සහෝදරියන් දෙදෙනකුගෙන් යුතු පවුලක වැඩිමලා විය.
ඔහු කලාව ප‍්‍රගුණ කරන ලද්දේ සුප‍්‍රකට ජේ.ඞී.ඒ.පෙරේරා සහ ස්ටැන්ලි අබේසිංහයන් ගේ මගපෙන්වීමෙනි. පසුව මාතර තාක්ෂණික විද්‍යාලයේ අධ්‍යාපනය ලද්දේය.
තොටවත්තයන් පසුව ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සහ විලී බ්ලේක් විසින් 1956 දී නිෂ්පාදනය කරන ලද රේඛාව චිත‍්‍රපටයේ සංස්කාරකවරයා ලෙස කටයුතු කළේය. රේඛාව චිත‍්‍රපටයේ ඔහු සංස්කාරක වරයා ලෙස ඉටුකරන ලද මෙහෙවර එවකට දකුණු ඉන්දීය සිනමාව කොපි කිරීමෙන් පරිබාහිරව සිංහල සිනමාවේ කඩඉම් සළකුණක් සනිටුහන් කිරීමක් විය.
ඉන්පසු 1965 චන්ඩියා, 1969 දී කවුද හරි , 1970 දී තෙවත, 1971 දී හාරලක්ෂය, 1979 හඳයා ළමා චිත‍්‍රපටය ද අධ්‍යක්ෂණය කළ ඔහු බාල තරුණ වැඩිහිටි  සිය`එ දෙනාගේ සිත් සතන් දිනා ගැනීමට සමත්වූවේය.
හෙළයේ මහා ඉසි කුමාරතුංග මුණිදාසයෙන්ගේ ඇසුරෙන් ලැබූ භාෂා ප‍්‍රාගුණ්‍යය ද තොටවත්තයන්ගේ නිර්මාණ තුලින් නිරන්තරවම දක්නට ලැබිණි. තොටවත්තයන් හෙළ බස ප‍්‍රචලිත කිරීමේ ලා වැදගත් මෙහෙවරක් ඉටුකරන ලදී.
අසූව සහ අනූව දශකයන්හි දී ඉංගී‍්‍රසි කාටූන් චිත‍්‍රපටවූ  ‘‘බග්ස් බනී’’ ‘‘හා හා හරි හාවා’’ ලෙසටත්  ‘‘ඩොක්ටර් ඩූලිට්ල්’’ ‘‘දොස්තර හොඳ හිත’’ ලෙසටත් සිංහලයට හ`ඩකවා ඉදිරිපත් කිරීමෙන් සිංහල රූපවාහිනී ප්‍රෙක්ෂකයන් අතර සදා නොමියෙන මතක සටහනක් තබන්නට හෙතෙම සමත්විය. රූපවාහිනී ක්ෂේත‍්‍රයේ හ`ඩකැවීමේ වැඩසටහන් ජනපි‍්‍රයකිරීමට තොටවත්තයන් දැක්වූ දායකත්වය සදා අමරණීයය.
ශී‍්‍ර ලාංකික ඉතිහාසයේ ප‍්‍රථම ජාතික මාධ්‍ය සම්මාන උළෙලේදී ශී‍්‍ර ලංකාවේ රූපවාහිනී මාධ්‍යයට දැක්වූ දායකත්වය වෙනුවෙන් ඔහුට ස්වර්ණ සම්මාන හිිමිවිය .
ඔහු විසින් සංස්කරණය කරන ලද චිත‍්‍රපට
1956 රේඛාව
1960 සංදේශය
1962 රන් මුතු දූව
1964 ගැටවරයෝ
1964 ධීවරයෝ
1965 පරසතුමල්
1966 සාරවිට
1967 සොරුන්ගෙත් සොරු
1967 වසන්ති
1968 පුංචි  බබා
1969 බඩුත් එක්ක හොරු
1969 හන්තානයේ කතාව
1975 සිකුරුලියා
ඔහු විසින් තිර රචනය, අධ්‍යක්ෂණය හා සංස්කරණය කරන ලද චිත‍්‍රපට
1965 චණ්ඩියා
1970 තෙවත
ඔහු විසින් අධ්‍යක්ෂණය හා සංස්කරණය කරන ලද චිත‍්‍රපට
1969 කවුද හරි
1971 හාරලක්ෂය
1974 සිහසුන
1974 සාගරිකා
1976 මංගලා
1977 මරුවා සමග වාසේ
1979 හඳයා
Read More »

සිදුවීම ඛේදජනකයි-ආරක්ෂාව පිළිබඳ සෑහීමට පත්විය හැකියි
දුමින්ද සිල්වා යනු ජනාධිපතිවරයාගේ උපදේශකයෙකු නොවන බවත්,ඔහු අධීක්ෂණ මන්ත්‍රීවරයකු පමණක් බවත් තොරතුරු හා ජනමාධ්‍ය අමාත්‍ය,රජයේ කැබිනට් ප්‍රකාශක කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.
"අධීක්ෂණ මන්ත්‍රී ධූරය"ඔහුට ලබා දී තිබු‍ණේ යම් වගකීමක් පැවරිය යුතුව තිබුණු නිසා පමණක් බවද අමාත්‍යවරයා කියා සිටියේය.
අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු විසින් නඟන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ඝාතනයට ලක් වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාට ප්‍රමාණවත් ආරක්ෂාවක් සලසා තිබුණු බවත්,ආරක්ෂකයින් 4 දෙනකුගේ සේවය ලබා දී තිබුණු බවත් රඹුක්වැල්ල මහතා පෙන්වා දුන්නේය.
කැනඩාවේ සිට ඔහු‍ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් දැනුවත් කළ යුතුව නොතිබුණු බවත්,ඔහු ජනාධිපතිවරයාට වඩා සමීපව සිටි බැවින් ආරක්ෂාව පිළිබඳ ගැටලුවක් පැවතියේනම් එය ඉතා පහසුවෙන් විසඳාගත යුතුව පැවති බවත් හෙතෙම කියා සිටියේය.
ජනාධිපති මන්දිරයේ තමන්ටම වෙන්වුණු නිල කාමරයක් පැවති එකම ජනාධිපති උපදේශකවරයා වූයේ ද භාරත ලක්ෂ්මන් මහතා බව සිහිපත් කළ අමාත්‍යවරයා ඕනෑම මොහොතක ජනාධිපතිවරයා සමග කතා බහ කළ හැකි අවස්ථාව ඔහුට තිබුණු බවද අවධාරණය කළේය.
එක් එක් අය කුමන විදිහේ අදහස් ප්‍රකාශ කළද තමන් රජයේ නිල මාධ්‍ය ප්‍රකාශකයා බවත්,මෙම සිදුවීම ඉතා ඛේදජනක සිදුවීමක් බවත්,වැරදිකරුවන්ට නිසි දඬුවම් ලබාදිය යුතුව ඇති බවත්.රජය මේ වෙනුවෙන් මැදිහත් වී තීරණයක් ගන්නා බවත් රඹුක්වැල්ල අමාත්‍යවරයා සඳහන් කළේය.
නීති විරෝධී ගිනි අවි පාලනය කිරීම සඳහාද දැඩි ක්‍රියා මාර්ග ගෙන ඇති බවත්,ඒ වෙනුවෙන් විශේෂ කණ්ඩායමක් මේවන විටත් පත් කර ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ සභාපතිවරයා ප්‍රමුඛ අධ්‍යක්ෂ මණ්ඩලය විසිරුවා හැරීමට ගත් තීරණය,දුමින්ද සිල්වා මන්ත්‍රීවරයා එහි ප්‍රතිකාර ගැනීමේ සිදුවිමට කිසිසේත්ම අදාළ නොවන බවත්,එය කාලයක් තිස්සේ ගතයුතු බවට සාකච්ඡා වෙමින් පැවති තීරණයක් ක්‍රියාත්මක කිරීමක් බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.
ජයවර්ධනපුර රෝහලේ අධ්‍යක්ෂ මණ්ඩලය වසර 12-16 ක කාලයක් තිස්සේ අඛණ්ඩව පරිපාලන කටයුතු කරගෙන ආ බවත්,එසේ වුවද රෝහලේ සංවර්ධනයට එමගින් නිසි පිටුවහලක් සිදුව නැති බවත්,අකාර්යක්ෂම කළමනාකාරීත්වය නිසා එය විසුරුවා හැරීමට තීරණය කෙරුණු බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
Read More »


ජ,පුර රෝහලේ පාලනාධිකාරිය ඉවත් කිරීමෙන් හොරුන් ආරක්ෂිතයිශ්‍රී ජයවර්ධනපුර රෝහලේ පාලන අධිකාරිය ඉවත් කිරීම මගින් ඔවුන්ට එරෙහිව ඇති චෝදනා විභාග කිරීමේ අවස්ථාව ගිලිහී යන බව සමස්ත ලංකා සුවසේවා සංගමය පවසයි.
අදාළ පාලකයින්ට එරෙහිව බොහෝ කලක පටන් දූෂණ චෝදනා පවතින බව එම සංගමයේ ගාමිණී කුමාරසිංහ මහතා පෙන්වාදෙයි.
හිටපු අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව මහා පරිමාණ වශයෙන් මුදල් අක්‍රමිකතා පිළිබඳ චෝදනා එල්ලවී තිබුණු බවත්,ඒ නිසා ඒ අයට එරෙහිව විනායානුකූලව හා නීත්‍යනුකූලව කටයුතු කිරීම පසෙක ලා පාලන අධිකාරිය ඉවත් කිරීමෙන් පමණක් ගැටලුවට පිළියමක් නොවන බව ඔහු අවධාරණය කළේය.
ඔවුනට එරෙහිව එවැනි ක්‍රියා මාර්ගයක් නොගෙන පාලනාධිකාරියෙන් ඉවත් කිරීම මගින් සිදුවන්නේ"හොරුන් ආරක්ෂා කිරීමක්"බවටත් ඔහු චෝදනා කළේය.
එසේම ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ සභාපති හා අධ්‍යක්ෂ මණ්ඩලය සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණ වාර්තා එළිදැක්විය යුතු බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
එසේ වුවද  සෞඛ්‍ය අමාත්‍යාංශය කියා සිටියේ ජයවර්ධනපුර රෝහලේ කටයුතු කළ අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව තවදුරටත් පරීක්ෂණ සිදුකෙරෙන බවයි.
මේ අතර ඉදිරි මාස 03 ක කාලය තුළ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ පාලනයේ කැපී පෙනෙන වෙනසක් සිදුකිරීමට අපේක්ෂා කරන බව සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතා සඳහන් කළේය.
දිගු කාලයක පටන් එම පාලන අධිකාරියට එරෙහිව පැවති චෝදනා හේතුවෙන් එහි ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ අධ්‍යක්ෂ මණ්ඩලය විසුරුවා හැරි බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද අරලියගහ මන්දිරයේ දී ජනාධිපතිවරයා මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමුවූ අවස්ථාවට සහභාගී වෙමිනි.
Read More »

කොළඹ නගර සභවේ ජයග‍්‍රහණයත් සමඟ ඒ සඳහා උදවු උපකාර කරන ලද්දන් සඳහා ඒ.ජේ.එම්. මුසම්ම්ල් නගරාධිපතිවරයා අගනුවර ප‍්‍රධාන පෙලේ හෝටලයකදී ව්‍යාපාරික හමුවක් පවත්වා ඇත. එම හමුවට කෙන් බාලේන්ද්‍රන් සහ හැරී ජයවර්ධන වැනි ප‍්‍රබල ව්‍යාපාරිකයන් පිරිසක් සහභාගී වී ඇති අතර හමුවේදී ප‍්‍රධාන වශයෙන් සාකච්චා කොට ඇත්තේ රනිල් වික‍්‍රමසිංහ මහතා සහ මහරාජා ආයතනය අතර යම් ආකාරයේ සංහිඳියාවක් ඇති කිරීම සඳහා මැදිහත්විය හැකි ආකාරය පිළිබඳවය.
වික‍්‍රමසිංහ මහතා සංවිධාන නායකත්වය දුන් කොළඹ නගර සභාවේ ජයග‍්‍රහණය පිළිබඳවත් සජිත් පේ‍්‍රමදාස මහතා නායකත්වය දුන් එජාප බලකොටු වූ ආයතනයන්හි පරිජයන් පිළිබඳවත් අවධාරණය කරමින් එම කටයුත්තට ඉදිරියේදී ක‍්‍රියාකාරීව මැදිහත්වීමට මුසම්මිල් මහතා සූදානමිව් සිටින බවද දැනගන්නට ඇත.
Read More »

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යාස්ථාව ප්‍රකාරව නීතිගත කෙරුනු අන්තවාදී සංවිධානයක් විසින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ නිල ලාංඡනයේ අඩංගු වෙන ධර්ම චක්‍රය ඉවත් කරමින් ඒ වෙනුවට ලෝක ගෝලයක් එකතු කර, සිංහයා වෙනුවට කුරාණය ඇතුළු කරමින් , ඉර හද වෙනුවට කරත්ත රෝද දෙකක් එකතු කර, නිල රාජ්‍ය ලාංඡනය විකෘති කර තිබේ.
ලංකාවේ නීතියට අනුකූලව ලියාපදිංචි කළ සංවිධානයකින් ඒ නීතිය පිළිබිඹු කෙරෙන නිළ ලාංඡනය මේ අයුරින් විකෘති කරන්නේ ආණ්ඩුවේම ඉන්නා සුළු ජාතික මන්ත්‍රීවරුන්ගේ බලයෙන්ද කියා බරපතල සැකයක් මතුවේ.
කෙසේ වෙතත් ශ‍්‍රී ලංකා රජයේ නිල ලාංඡනය විකෘති කිරීම නීතිය උල්ලංඝණය කිරීමක් වුවද අතර අපට වාර්තා වන ආකාරයට මේ සඳහා කිසිදු නීත්‍යානුකුළ ක‍්‍රියාමාර්ගයක් මේ වන තෙක් සිදු කොට නැත.
අදාල සංවිධානයේ වෙබ් අඩවිය Click Here

source - lankacnews
Read More »

ශ්‍රී ජයවර්ධනපුර රෝහලට පොලිස් විශේෂ කාර්ය බලකාය හා යුද හමුදාව යොදවා ආරක්‍ෂාව තර කර ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
පසුගියදා මුල්ලේරියාව වෙඩි හුවමාරුවෙන්  තුවාල ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කළ දින සිටම එහි රැඳී සිටි මන්ත්‍රීවරයාගේ පෞද්ගලික ආරක්‍ෂකයින් හා ආධාරකරුවන් පිරිසක්ව ඊයේ(11) ඉවත් කිරීමට ද පියවර ගෙන ඇත.
රෝහලට රෝගීන් බැලීමට පැමිණෙන පිරිසට සහ වෛද්‍යවරුන්ට සිදුවන බාධාවන් සැලකිල්ලට ගෙන මෙලෙස අදාළ පිරිස් ඉවත් කිරීමට කටයුතු යොදා තිබේ.
Read More »

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබන පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා මහතාගේ මොළය සම්බන්ධයෙන් ඊයේ(11) සහ අද(12) උදෑසන සී. ටී. ස්කෑන් පරික්‍ෂාවකට ලක් කළ බව රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය සචේන්ද්‍ර ගමගේ මහතා සඳහන් කළේය.
එසේම දැනට දුමින්ද සිල්වා මහතාගේ රෝගී තත්ත්වය සම්බන්ධයෙන් නිරන්තර සමාලෝචනයන් සිදු කරමින් සිටින බවද ගමගේ මහතා කීය. මන්ත්‍රීවරයාව සම්බන්ධ කර ඇති යන්ත්‍ර පිළිබඳව වෛද්‍යවරුන් පරික්‍ෂාවෙන් සිටිති.
මේ අතර මන්ත්‍රීවරයා පරික්‍ෂා කිරීමට කොළඹ ජාතික රෝහලෙන් පැමිණි විශේෂඥ වෛද්‍යවරයෙකු සඳහන් කර ඇත්තේ තවත් මාස 03ක පමණ කාලයක් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගැනීමට සිදුවනු ඇති බවයි.
මේවන විට දුමින්ද සිල්වා මන්ත්‍රීවරයා ක්‍රමානුකූලව හුස්ම ගනිමින් සිටින නමුත් ඔහුට සවි කර ඇති  ස්වසන ආධාරක යන්ත්‍රය තවමත් ගලවා නොමැත.
වෛද්‍ය සචේන්ද්‍ර ගමගේ මහතා කියා සිටියේ දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාගේ මොළයේ ක්‍රියාකාරීත්වය යන්ත්‍රයක් මගින් සිදුවන බැවින් එම යන්ත්‍රය ඉවත් කර මොළයේ ක්‍රියාකාරීත්වය සාමාන්‍ය පරිදි සිදුවීමට ඉඩහැරීමට අවස්ථාව සළසා දීමේ පරීක්‍ෂණ සිදු කරමින් පවතින බවයි.
කෙසේ නමුත් තවමත් මන්ත්‍රීවරයා සිහි මුර්ජාවෙන් සිටින අතර ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව වෛද්‍යවරු සෑහීමකට පත්වන බව‍ වෛද්‍ය සචේන්ද්‍ර ගමගේ මහතා වැඩිදුරටත් පැවසීය.
Read More »

 හිටපු මන්ත‍්‍රී භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතාට  මුල්ලේරියාවේ දී පසුගිය සෙනසුරාදා වෙඩි තබා මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට මිරිහාන පොලිසියේ කොස්තාපල් අනුර තුෂාර දිනේෂ් ලබන 18 වැනි දා තෙක් රිමාන්ඞ් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ප‍්‍රසන්න අල්විස් මහතා නියෝග කෙළේය. එම කොස්තාපල් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා මහතාගේ ආරක්ෂකයෙකි. ඔහු හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතය.

source-lankadeepa
Read More »



ධීවර අමාත්‍ය රාජිත සේනාරත්නගේ ප්‍රධානත්වයෙන් හලාවත ප්‍රදේශයේ ධීවරයින් පිරිසකට ආරක්ෂක උපකරණ හා ආරක්ෂක කබා පිරිනැමීමේ උත්සවයක් ඊයේ පැවැත්විය.
එහිදී අදහස් දක්වමින් රාජිත සේනාරත්න මෙසේ සඳහන් කළේය.
"විනයක් නැතුව රටක් හැදෙන්නෙත් නෑ. විනයක් නැතුව කර්මාන්තයක් හැදෙන්නෙත් නෑ. දැන් බලන්න ඊයේ පෙරේදා මරා ගත්තා. මොකටද? මනාපෙකට මරාගත්තා. කවුද මැරෙන්නේ ජනාධිපතිතුමාගේ වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් මැරෙන්නේ. පොඩි බඩුවක් නෙවෙයි. ඉතින් ජනාධිපතිතුමාගේ වෘත්තීය අධ්‍යක්ෂ ජනරාල්ටත් මේ රටේ ජීවත් වෙන්න බැහැයි කීවොත් සුද්දෝ බලයි යකෝ මේ රට මොකක්ද කියල. ඒ නිසා විනයක් නැති එකෙක්ව හතර මායිමක තියන්න නරකයි. එයා කොච්චර ඡන්ද ගෙනාවත් ඒ ඡන්ද මේ වගේ දවසක ඉවර වෙනවා. මේවායේ දෝෂාරෝපණ ඔක්කොම ආණ්ඩුවට එනවා. ජනාධිපතිතුමාට එනවා"

Read More »

ප්‍රභූ ආරක්ෂක රාජකාරී සිදුකරනු ලබන සියලුම පොලිස් නිලධාරීන්, වහාම ක්‍රියාත්මක වන පරිදි සිය නිල ඇඳුමින් සැරසි රාජකාරී කටයුතු කළ යුතු බව පොලිස් මූලස්ථානය නියෝග කර තිබේ.

ඒ අනුව ඇමති ආරක්ෂක කොට්ඨාසයේ සහ සියලුම පොලිස් ස්ථානවල ප්‍රභූ ආරක්ෂාව සඳහා යොදවා ඇති නිලධාරීන් නිල ඇඳුමින් සැරසී රාජකාරී කටයුතු සිදුකළ යුතුය.
අද සිට මෙම නියෝගය ක්‍රියාත්මක වන අතර මේ සම්බන්ධයෙන් සියලුම පොලිස් නිළධාරීන් දැනුවත් කර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මැක්සි ප්‍රොක්ටර් මහතා සඳහන් කළේය.
Read More »

ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ අධ්‍යක්ෂ මණ්ඩලය විසුරුවයි
ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ අධ්‍යක්ෂ මණ්ඩලය වහාම ක්‍රියාත්මකවන පරිදි විසුරුවා හැරි බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.
අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි රොහලේ කළමනාකාරිත්වය ප්‍රතිසංශෝධනය කිරීම සඳහා මෙම පියවර ගත් බව අමාත්‍යංශය කියා සිටියි.
ලබන සතියේ නව අධ්‍යක්ෂ මණ්ඩලය පත්කිරීමට කටයුතු කරන බවද සෞඛ්‍ය අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරයි.
Read More »

දුමින්දගේ කෙනෙක්‌ භාරත මහත්තයාගේ
ඔළුවට වෙඩි තිබ්බා - දිවි ගලවා ගත් රියෑදුරු කියයි


"මුල්ලේරියාව වල්පොල හන්දියේදී වාහනයෙන් බැහැල ආව දුමින්ද සිල්වා භාරත මහත්තයට එකවරම පහර දුන්නා. මහත්තය බිම ඇදගෙන වැටුණා. ඒ වෙලාවෙ දුමින්ද සිල්වා ළඟ හිටපු කෙනෙක්‌ භාරත මහත්තයගෙ කකුලට වෙඩි තිබ්බා. එතකොට කවුදෝ කෑගැහුවා. ඕකගෙ ඔළුවට තියන්න කියලා. එතන හිටපු දුමින්ද සිල්වගේ කට්‌ටියෙ කෙනෙක්‌ භාරත මහත්තයගෙ ඔළුවට පිට පිට වෙඩි ප්‍රහාර එල්ල කළා" යෑයි ඝාතනයට ලක්‌ වූ භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ රියෑදුරු තම ත්‍රාසජනක අත්දැකීම විස්‌තර කරමින් කියා සිටියේය.

මුල්ලේරියාව වල්පොල හන්දියේදී පෙරේදා (08 වැනිදා) සවස 3.30 ට පමණ සිදු වූ වෙඩි තැබීමකින් ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්‍ෂ ජනරාල් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනයට ලක්‌විය. වෙඩි ප්‍රහාරයෙන් ඒ මහතාගේ ආරක්‍ෂක නිලධාරීන් දෙදෙනකු ද මරුමුවට පත් වූ අතර තවත් අයෙක්‌ බරපතළ තුවාල ලැබීය.
මෙම වෙඩි තැබීමෙන් කොළඹ දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා බරපතළ තුවාල ලැබූ අතර ඔහුගේ අනුගාමිකයෝ කීපදෙනකු ද තුවාල ලබා රෝහල් ගතකර තිබිණි.

මෙම සිද්ධිය වන අවස්‌ථාවේ භාරත ලක්‍ෂ්මන් මහතා ගමන් ගත් රථයේ රියෑදුරු අනූනවයෙන් දිවි ගලවා ගත් අතර ඔහු ඒ පිළිබඳව මෙසේ ද විස්‌තර කළේය.
"අපි වල්පොල හන්දියට එනකොට හවස 3.30 ට විතර ඇති. ඡන්දය අවසන් වෙන්න පොඩි වෙලාවක්‌ තිබුණේ. මුල්ලේරියාව පැත්තෙ ඡන්ද මධ්‍යස්‌ථාන කීපයක්‌ පරීක්‍ෂා කරන්න භාරත මහත්තයට යන්න ඕනෙ කිව්වා.
වල්පොල හන්දියෙදි දුමින්ද සිල්වා ප්‍රාඩෝ ජීප් තුනකින් ආවා. ඒ අය අපි ගිය වාහනේට මඟ හරස්‌ කරල නතර කළා.
දුමින්ද සිල්වා පිස්‌තෝලෙකුත් අරගෙන ජීප් එකෙන් බැහැල කුණුහරුපයෙන් බැණගෙන ඉස්‌සරහට ආවා. භාරත මහත්තයත් ඒ වෙලාවෙ වාහනයෙන් බැස්‌සා.
දෙන්නම බැනගත්තා. එක පාරටම දුමින්ද සිල්වා භාරත මහත්තයගේ කම්මුලට වේගයෙන් පහරක්‌ ගැහුවා. මහත්තයා ඒ පාරට බිම ඇදගෙන වැටුණා.
එතකොටම දුමින්ද සිල්වා ළඟ හිටපු කෙනෙක්‌ ටී 56 ආයුධයකින් භාරත මහත්තයගෙ කකුලට වෙඩි තිබ්බා. භාරත මහත්තය කකුල අල්ලගෙන දඟලන්න පටන්ගත්තා. එතකොට කව්දෝ කිව්වා ඕකගෙ ඔළුවටම තියලා ඉවරයක්‌ කරලා දාපන් කියලා.
ඒත් එක්‌කම දුමින්ද සිල්වා ළඟ හිටපු අය පිට පිට භාරත මහත්තයගෙ ඔලුවටයි පපුව දිහාවටයි වෙඩි තියන්න ගත්තා.
භාරත මහත්තය ළඟ හිටපු ආරක්‍ෂක නිලධාරියො දෙන්න මහත්තයව උස්‌සගෙන ජීප් එක පිටුපසට යන්න හැදුවා. එතකොටම දුමින්ද සිල්වාගෙ කට්‌ටිය ඒ දෙන්නටත් වෙඩි තිබ්බා" යෑයි භාරත ලක්‍ෂ්මන් මහතාගේ රියෑදුරු වැඩිදුරටත් කියා සිටියේය.
පොලිස්‌ පරීක්‍ෂණවලින් හෙළිවී ඇති අන්දමට දුමින්ද සිල්වාගේ ආරක්‍ෂකයන් භාරත ලක්‍ෂ්මන් මහතාට වෙඩි තබන අවස්‌ථාවේ ඒ මහතාගේ ආරක්‍ෂකයන් ද පෙරළා වෙඩි තබා තිබේ.
දුමින්ද සිල්වා වෙඩි ප්‍රහාරයට ලක්‌ව ඇත්තේ ඒ අවස්‌ථාවේදීය.
මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වන විශේෂ රහස්‌ පොලිස්‌ කණ්‌ඩායම භාරත ලක්‍ෂ්මන් මහතාගේ රියෑදුරුගෙන් ද ප්‍රකාශයක්‌ සටහන් කරගෙන තිබිණි. සිද්ධිය වන අවස්‌ථාවේ භාරත ලක්‍ෂ්මන් මහතා සමඟ සිටි පිරිසගෙන් දිවි ගලවාගෙන ඇත්තේ රියෑදුරු පමණි.
දුමින්ද සිල්වාගේ පිරිස පන්න පන්නා වෙඩි තබද්දී රියෑදුරු එම ස්‌ථානයෙන් පැනගොස්‌ දිවි ගලවාගෙන තිබිණි.
මෙම ප්‍රහාරයට පැමිණි දුමින්ද සිල්වාගේ පිරිස සතුව ටී 56 ගිනි අවි 7 ක්‌ තිබී ඇති බව ද පරීක්‍ෂණවලදී අනාවරණය විය. මෙම පිරිස භාරත මහතාගේ ආරක්‍ෂකයාට ද වෙඩි තබා ඝාතනය කර ඔහු සතුව තිබූ නීත්‍යනුකූල ටී 56 ගිනි අවිය ද පැහැරගෙන ගොස්‌ ඇති බවට තොරතුරු ලැබී ඇත.

මෙම ප්‍රහාරයෙන් භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා සිද්ධිය වූ ස්‌ථානයේම මියගියේය. ඒ මහතාගේ හිසට වෙඩි ප්‍රහාර කීපයක්‌ම එල්ල වී තිබිණි. ප්‍රහාරයෙන් භාරත ලක්‍ෂ්මන් මහතාගේ ආරක්‍ෂක නිලධාරියා සහ ඛනිජ තෙල් සංස්‌ථාවේ ආරක්‍ෂක නිලධාරියෙක්‌ බරපතළ තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් පසු මියගියහ.
භාරත ලක්‍ෂ්මන් මහතා සමඟ සිටි ඒ මහතාගේ සමීපතමයකු ද වෙඩි ප්‍රහාරයට ලක්‌ වූ අතර ඔහු බරපතළ තත්ත්වයෙන් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියි.
ප්‍රතිප්‍රහාරවලින් තුවාල ලැබූ දුමින්ද සිල්වා මහතා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කළ අතර ඔහුගේ හිසට ද වෙඩි ප්‍රහාර දෙකක්‌ එල්ල වී තිබිණි.
හදිසි ශල්‍යකර්මයකට ඔහු භාජන කළ අතර ඊයේ සවස්‌ වනතුරුම දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියේය.
ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දුමින්ද සිල්වා මහතාගේ සුවදුක්‌ බැලීම සඳහා ආරක්‍ෂක ලේකම්වරයා පෙරේදා සවස්‌ වරුවේම එහි ගිය අතර විශේෂ වෛද්‍ය කණ්‌ඩායම් ගෙන්වා ඔහුට ප්‍රතිකාර ලබාදීමට අවශ්‍ය පහසුකම් ද ලබා දුන්නේය.

භාරත ලක්‍ෂ්මන් මහතා ඝාතනය කළ පුවත සැලවූ වහාම කොලොන්නාව ප්‍රදේශයේ ජනතාව වියරු වැටී සිටි අතර ඔවුන් දුමින්ද සිල්වාගේ ආධාරකරුවන්ට පහර දෙමින් ඔවුන්ට අයත් දේශපාලන කාර්යාලවලට ගිනි තබමින් යකා නටන්නට පටන් ගත්හ.

දුමින්ද සිල්වා ප්‍රතිකාර ලබමින් සිටි ශ්‍රී ජයවර්ධනපුර රෝහල වෙත කඩා වැදීමට උත්සාහ කළ භාරත මහතාගේ ආධාරකරුවන් පිරිසක්‌ ද පලවා හැරීමට පොලිසිය කටයුතු කළහ.

දුමින්ද සිල්වා කොලොන්නාව සංවිධායක ලෙස පත්කළ දා පටන් ඔහු භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා සමඟ නිතරම ගැටුම් ඇතිකර ගත් බව ආරංචි මාර්ග පවසයි.

කොලොන්නාව ප්‍රදේශයේ ශීඝ්‍ර ලෙස ව්‍යාප්ත වෙමින් තිබූ මත්කුඩු ජාවාරමට එරෙහිව භාරත ලක්‍ෂ්මන් මහතා විශාල හඬක්‌ නැගුවේය. ප්‍රදේශයේ තරුණයන් මත්කුඩු උවදුරෙන් බේරා ගැනීමට ඒ මහතා විශාල උත්සාහයක ද නිරතව සිටියේය.
මෙවර පළාත් පාලන මැතිවරණයේ අවසන් රැස්‌වීමකදී භාරත ලක්‍ෂ්මන් මහතා කියා සිටියේ මත්කුඩු ජාවාරම්වල නිරත වන පුද්ගලයන් කොලොන්නාවෙන් පන්නා දැමීමට තමා සමඟ කොලොන්නාවේ ජනතාව එක්‌විය යුතු බවයි.
මෙම මත්කුඩු ජාවාරම්වල යෙදෙන පුද්ගලයන් සහ ඔවුන්ට රැකවරණය ලබාදෙන පුද්ගලයන් එහිදී දැඩි ලෙස විවේචනය කර ඇති භාරත ලක්‍ෂ්මන් මහතා මේ පිළිබඳව ජනාධිපතිවරයාට දැනුම් දීමට කටයුතු කරන බව ද එහිදී කියා තිබිණි.
මැතිවරණය පැවැත්වීමට පෙර දින (07 වැනිදා) රාත්‍රි කොටිකාවත්ත ප්‍රදේශයේදී පාතාල අපරාධකරුවකු ඝාතනයට ලක්‌විය. එම පුද්ගලයා දුමින්ද සිල්වාට සහාය පළකරමින් මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරත වූවකු බව පසුව හෙළිවිය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් එදින රාත්‍රියේදීම පුද්ගලයන් සිව්දෙනකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබිණි. ඔවුන් සතුව තිබූ බව කියන ගිනි අවියක්‌ ද පොලිස්‌ භාරයට ගන්නා ලදී.
එසේ අත්අඩංගුවට ගත් පුද්ගලයන් සිව්දෙනාම භාරත මහතාගේ ආධාරකරුවෝ වූහ. එම පුද්ගලයන් මෙම ඝාතනයට කිසිසේත්ම සම්බන්ධ නොවූ පුද්ගලයන් බවත් ඔවුන් අත්අඩංගුවට ගත්තේ දුමින්ද සිල්වාගේ උපදෙස්‌ මත බවත් භාරත මහතා කියා තිබිණි.

මෙම සිද්ධිය නිසා දෙදෙනා අතර දැඩි විරසක බවක්‌ ඇතිවී තිබිණි.
මැතිවරණය පැවැති දින උදේ වරුවේ සිට දුමින්ද සිල්වා සිය සන්නද්ධ ගෝල බාලයන් ද සමඟ අති සුඛෝපභෝගී ජීප් රථ දහයක නැගී වැල්ලම්පිටිය, කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රදේශවල සැරිසරමින් තමන් භීතියට පත්කරමින් සිටි බව එම ප්‍රදේශවල ජනතාව පැවසූහ.

අධික ලෙස බීමත්ව සිටි මෙම සන්නද්ධ පිරිස්‌ පාලනය කිරීමට හෝ ඔවුන් අත්අඩංගුවට ගැනීමට කිසිම පොලිස්‌ නිලධාරියකු ඉදිරිපත් නොවූ බව ද මුල්ලේරියාව ප්‍රදේශයේ ජනතාව කියා සිටියහ.
Read More »

1956 ජනවාරි 26වෙනිදා උපත ලද භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා කොළඹ ආනන්ද විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබීය.
පාසල් සමයේ සිටම ක්‍රියාකාරී දේශපාලනයට ඉමහත් කැමැත්තක් දැක් වූ ඔහු ගම් මට්ටමේ ක්‍රියාකාරී දේශපාලඥයෙකු බවට පත්විය.1979දී කොළොන්නාව ප්‍රාදේශිය සභාවට තේරී පත් වූ ඔහු ප‍්‍රදේශයේ ජනප්‍රිය දේශපාලන චරිතයක් බවට පත්විය.
ශ්‍රී ලංකා මහජන පක්ෂයේ කොළොන්නාව සංවිධායකවරයා බවට පත් වූ ඔහු ප්‍රදේශයේ ජනතා සංවිධානය ගොඩනගමින් ජනතා දේශපාලනයට එක්විය.
1988 පැවති ප්‍රථම පළාත් සභා ඡන්දයේදී එක්සත් සමාජවාදී පෙරමුණෙන් බස්නාහිර පළාත් සභාවට තරඟ කළ ඔහු එම පළාත් සභාවට තේරී පත්විය.
1988 සිට 1993 දක්වා ඔහු බස්නාහිර පළාත් සභාව නියෝජනය කළේය.
පසුව 1993 දී පොදු ජන එක්සත් පෙරමුණෙන් තරඟ කළ ඔහු යළිත් වරක් බස්නාහිර පළාත් සභාවට තේරී පත්විය.
ඔහු ප්‍රථමවරට පාර්ලිමේන්තු මැතිවරණයකට ඉදිරිපත් වූයේ 1994දීය.
ඒ පොදුජන එක්සත් පෙරමුණෙනි.
එම මහ මැතිවරණයේදි මනාප ඡන්ද 63,421ක් ලබාගත් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා පාර්ලිමේන්තුවට තේරී පත්විය.
ඔහු වසර 2000 දක්වා පාර්ලිමේන්තුව නියෝජනය කළේය.
මියයන විට ඒ මහතා ජනාධිපති ලේක්ම් කාර්යාලයේ වෘත්තීය සමිති කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස හෙතම ක්‍රියා කළේය.
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා වෘත්තීය සමිති ක්ෂේත්‍රයේද ක්‍රියාකාරිකයෙකු විය.
කලක් ඔහු ශ්‍රී ලංකා ජිම්නාස්ටික් සංගමයේ සභාපතිවරයා ලෙස ද ක්‍රියා කළේය.

Read More »

මීගමුව ලොයලා විද්‍යාලයේ ශ්‍රීනි වාසනා අමරතුංග මහත්මියගේ අභිරහස් මරණය සම්බන්ධයෙන් සැකපිට අඹුසැමි යුවලක් අත්අඩංගුවට ගත් බව වත්තල පොලිසිය පවසයි.
අවුරුදු 35 ක් වූ කොච්චිකඩේ ප්‍රදේශයේ පදිංචි පාසල් ගුරුවරියකගේ මළ සිරුරක් වත්තල ප්‍රදේශයේ ඇල ඉවුර මාර්ගයේ තිබී පසුගියදා වත්තල පොලිසිය විසින් සොයා ගත්තේය.
මෙම සැකකටයුතු මරණය සම්බන්ධයෙන් වත්තල පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වා මෙම අපරාධය මීගමුව කෙලින් වීදියේ පිහිටි රූපලාවන්‍යාගාරයකදී සිදුවී ඇති බවට අනාවරණය කර ගෙන ඇති අතර රූපලාවන්‍යාගාරයේ හිමිකාරිය විසින් මෙම මරණකාරියගේ රුපලාවන්‍ය කටයුත්තක් සිදු කිරීමේදී මුහුණ සෝදන ක්‍රීම් වර්ගයක් විෂවීම නිසා මෙම මරණය සිදුව ඇති බවට අනාවරණය වී ඇත.මිය යෑමෙන් පසුව ඇගේ කණකර උගස් කැර රුපියල් ලක්‍ෂයක ණයක් ගෙවූ බව කියන රූපලාවන්‍ය ශිල්පිනිය හා ඇගේ සැමියා සැකපිට අත්අඩංගුවට ගත් බව වත්තල පොලිසිය කියයි.
පසුව එම ආයතනය හිමිකාරියගේ පුරුෂයා සමග මෘත ශරීරය පෙට්ටියක දමා වත්තල ප්‍රදේශයට ගෙන විත් දමා තිබේ.
මේ සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් සැකකරු හා සැකකාරිය වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වත්තල පොලිසිය සඳහන් කළේය.
Read More »

මා කී දේ ඇහුවා නම් මෙහෙම වෙන්නෙ නෑ – දයාසිරිමුල්ලේරියාව ප්‍රදේශයේ තිබු නොසන්සුන් කාරී තත්වය පිලිබඳව තමන් විසින් කල හෙළිදරවු කිරීමට කන් දුන්නේ නම් මේ ආකාරයේ කණාගාටුදායක සිද්ධියක් ඇති නොවීමට ඉඩ තිබූ බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි. මුල්ලේරියාවේ පවතින ප‍්‍රචණ්ඩ වාතාවරණය ගැන කල හෙලිදරවු කිරීම්වලට මූලාසනයෙන් සිදු කළේ තමාගේ ප‍්‍රකාශ හැන්සාඞ් වාර්තාවෙන් ඉවත් කරන ලෙස නියෝග දීම බව ඔහු පවසයි.

අදාල ප‍්‍රකාශයේදී නොලොන්නාව ප‍්‍රදේශයේ ප‍්‍රචණ්ඩත්වයට හේතුවන පරිදි දේශපාලකයින් අතට අවි ලැබීම තමා ප‍්‍රශ්න කළ බවත් ජනපති රුවට වෙඩි වැදෙන පරිදි මුල්ලේරියාවේ ප‍්‍රාදේශීය දේශපාලඥයන් කටයුතු කර තිබූ ආකාරයත් තමා හෙළි කළ බවද මන්ත‍්‍රීවරයා පෙන්වා දේ.
Read More »

වසර 58 කට පසු මහනුවර මහ නගර සභාවේ බලය සන්ධානයට
ප්‍රකාශිත සමස්ත ඡන්ද ප්‍රතිඵල අනුව සන්ධානයට විශිෂ්ට ජයක් හිමිවුවත් මෙවර පළාත් පාලන මැතිවරණයේදී කොළඹ මහ නගර සභාවේ බලය ලබාගැනීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය ප්‍රමුඛ ආණ්ඩුව ගත් දැඩි උත්සාහය ව්‍යර්ථ වී ගොස් ඇත.

මේ අනුව, මැද කොළඹ, නැගෙනහිර කොළඹ, උතුරු කොළඹ, බොරැල්ල, බටහිර කොළඹ යන ආසන එක්සත් ජාතික පක්ෂය විසින් ජයග්‍රහණය කරමින් කොළඹ මහ නගර සභාවේ බලය හිමිකර ගන්නට එක්සත් ජාතික පක්ෂය සමත්ව තිබේ.
කොළඹ මහ නගර සභාවේදී එක්සත් ජාතික පක්ෂය මන්ත්‍රී ආසන 24 ක් දිනා ගනිද්දී එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමිවී තිබෙන්නේ මන්ත්‍රී ආසන 16 ක් පමණක් වන අතර ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණට මන්ත්‍රී ආසන 06 ක්ද, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට මන්ත්‍රී ආසන 0 2ක්ද, ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් සන්ධානයට මන්ත්‍රී ආසන 02 ක්ද, හිමිවී ඇත.
ජ.වි.පෙ.ටද කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රී ආසනයක් හිමිව තිබේ.
ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵල අනුව මෙම මැතිවරණය පැවති පළාත් පාලන ආයත 23 ක් අතුරින් 19 කම බලය එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමිවී තිබීම කැපී පෙනේ.
කෙසේවෙතත්, මෙවර කැපී පෙනෙන තවත් දෙයක් වන්නේ වසර 58 ට පසුව මහනුවර මහ නගර සභාවේ බලය එක්සත් ජාතික පක්ෂයට අහිමිවී සන්ධානයට හිමිවීම වන අතර මහනුවර මහ නගර සභාවේදී සන්ධානයට ආසන 13 ක් ලැබෙන විට එ.ජා.ප.යට ලැබී තිබෙන්නේ ආසන 10 ක් පමණි.
මේ අතර, අම්පාර දිස්ත්‍රික්කයේ කල්මුණේ මහ නගර සභාවේ ජය ලැබී තිබෙන්නේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයටයි.
සන්ධානය ජයගත් මාතර මහ නගර සභාවේ මන්ත්‍රී ආසන 09 ක් සන්ධානය හිමිකර ගනිද්දී එ.ජා.ප.යට මන්ත්‍රී ආසන 05 ක්ද, ජ.වි.පෙ.ට එක් මන්ත්‍රී ආසනයක්ද හිමිවිය.
ගාල්ල මහ නගර සභාවේ මන්ත්‍රී ආසන 11ක් සන්ධානයටද, එ.ජා.ප.යට මන්ත්‍රී ආසන 07 ක්ද ජ.වි.පෙ.ට එක් මන්ත්‍රී ආසනයක්ද ලැබී ඇති අතර සන්ධානය ජයගත් කුරුණෑගල මහ නගර සභාවේ සන්ධානයට මන්ත්‍රී ආසන 08 ක් හිමිවෙද්දී එ.ජා.ප.යට මන්ත්‍රී ආසන 04 ක් හිමිවී ඇත.
අනුරාධපුර මහ නගර සභාවේ ජයග්‍රහණය ලබාගෙන තිබෙන්නේද එක්සත් ජනතා නිදහස් සන්ධානයයි.
මීට අමතරව, හම්බන්තොට මහ නගර සභාව, හම්බන්තොට ප්‍රාදේශීය සභාව, නුවරඑළිය මහ නගර සභාව, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාව, කොළොන්නාව නගර සභාව, කොටිකාවත්ත- මුල්ලේරියාව ප්‍රාදේශීය සභාව, මීගමුව මහ නගර සභාව, ගම්පහ මහ නගර සභාව, කුණ්ඩසාලේ ප්‍රාදේශිය සභාව, යන පළාත් පාලන ආයතනවල බලයද හිමිවූයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයටයි.
Read More »

News Paper Cartoons

PuvathLanka Extra

Tools

Copyright and Disclaimer Notice

Content materials posted at Gossiplankanews.lk were found via internet search engines and other websites and the legal copyrights of those content belong to the actual owners.
We have taken our effort to acknowledge the copyright owners where possible, but there might some missing out. If you feel any of your copyrighted material is seen in this blog you may contact us via admin@gossiplankanews.lk and that will be removed.

Archives

Video Bar

Loading...

Follow Us