එකම අංකය දෙදෙනකුට දීලා
එකම අංකය ඇති හැඳුනුම්පත් 4000ක් සොයා ගනී
අතීත දුර්වල පරිපාලනය-නොසැලකිල්ල ව්‍යාකූලත්වයට හේතුවයි
ජාතික හැඳුනුම්පත් කාර්යාලය එකම හැඳුනුම්පත් අංකය දෙදෙනකු වෙනුවෙන් නිකුත් කර තිබීම හේතුවෙන් පුද්ගලයන් දහස් ගණනකට බරපතළ ගැටලු සහගත තත්ත්වයකට මුහුණපෑමට සිදුවී තිබේ.
එකම අංකය සහිතව නිකුත් කර ඇති එවැනි හැඳුනුම්පත් හාරදහසකට වැඩි ප්‍රමාණයක් මේ වන විට සොයාගෙන තිබේ.
දශක දෙක තුනකට වැඩි කාලයක් තිස්සේ පැවැති දුර්වල පරිපාලනය සහ රාජ්‍ය සේවකයන්ගේ නොසැලකිලිමත්කම මෙතරම් විශාල හානියක් සිදුවීමට හේතුව බව ජාතික හැඳුනුම්පත් කාර්යාලය පෙන්වා දෙයි. පුද්ගලයන් දෙදෙනකුට ලබාදී ඇති එකම අංකය සහිත ජාතික හැඳුනුම්පත් නිවැරැදි කර දීම දැන් එම කාර්යාලයේ සාමාන්‍ය දෛනික රාජකාරියක් බවට පත්වී තිබේ.
එහෙත් මේ තත්ත්වයට මුහුණපා ඇති මෙරට පුරවැසියන්ට ඔවුන්ගේ හැඳුනුම්පත් අංකය යොදා ඇති විභාග ප්‍රතිඵල සහතික, විවාහ සහතික, වෛද්‍ය වාර්තා, බැංකු ගිණුම්, විදේශ ගමන් බලපත්, රියදුරු බලපත් ඇතුළු සෑම ලියකියවිල්ලක්ම යළි සකස් කිරීමේ බැරෑරුම් තත්ත්වයකට මුහුණ පෑමට සිදු වී තිබේ.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් රියදුරු බලපත් ලබා ගැනීමට පැමිණි තුන්දහසකට වැඩි අයදුම්කරුවන් පිරිසකට එකම අංක සහිත හැඳුනුම්පත් තිබෙන බව අනාවරණය වී තිබේ.
විදේශ ගමන් බලපත් ලබාගැනීමට පැමිණි තවත් විශාල පිරිසකටද එම හැඳුනුම්පත් තිබී ඇත.
මෙවැනි පුද්ගලයන්ගේ හැඳුනුම්පත් අංකය වැරැදි බවත් එය යළි සකස් කර දෙන ලෙසටත් සඳහන් කළ ලේඛනයක් සහිතව ඔවුන් හැඳුනුම්පත් කාර්යාලය වෙත යවා තිබේ.
හැඳුනුම්පත් කාර්යාලයෙන් සිදුවී ඇති වරද නිවැරැදි කර ඉහත කී දෙපාර්තමේන්තුවෙත තවත් ලේඛනයක් මගින් ඒ බව දැනුම් දිය යුතු වේ.
මෝටර් රථ දෙපාර්තමේන්තුව ඉන් අනතුරුව එම පුද්ගලයාට රියදුරු බලපත්‍රය නිකුත් කිරීමට පියවර ගැනේ. වැරැදී ඇති හැඳුනුම්පත, එය වෙනස් කිරීම හා ඒ හා සම්බන්ධව හැඳුනුම්පත් කාර්යාලය නිකුත් කළ ලියකියවිලිද පරිගණකයට ඇතුළත් කිරීමෙන් අනතුරුව මෙසේ රියදුරු බලපත් ලබා දෙයි.
ආගමන විගමන දෙපාර්තමේන්තුවද එම පිළිවෙත අනුගමනය කරයි.
විදේශ ගතව සිටින පුද්ගලයන් ගණනාවක් පසු කාලයේ රියදුරු බලපත් ලබා ගැනීමට පැමිණි අවස්ථාවේ ඔවුන්ගේ හැඳුනුම්පත් අංකයට තවත් පුද්ගලයකු සිටින බව දැනගෙන තිබේ.
පෙරේදාද (4) රියදුරු බලපත් ලබා ගැනීමට පැමිණි පුද්ගලයන් දෙදෙනකුට එම තත්ත්වයට මුහුණපෑමට සිදු වී තිබේ.
පසුගිය සතියේ කොළඹ විශ්වවිද්‍යාලයක කථථිකාචාර්යවරියකගේ හැඳුනුම්පත් අංකයට තවත් පුද්ගලයකු ලියාපදිංචි කර ඇති බව දැනගැනීමට ලැබිණි.
ජාතික හැඳුනුම්පත් කාර්යාලයේ දශක දෙකතුනක සිට පවත්වාගෙන එන ‘ලෙජර්’ වල මේ වැරැදි සටහන් ඒ ආකාරයෙන්ම සඳහන්ව තිබේ.
රජයේ සේවකයන් තම රාජකාරිය සැහැල්ලුවට නොගෙන වගකීමෙන් යුතුව ඉටුකරන්නේ නම් මෙවැනි බරපතළ වැරැදීම් සිදු නොවන බව ජාතික හැඳුනුම්පත් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.
ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ යල් පැන ගිය ක්‍රමයේ ඇති දුර්වලතාවයන්ද මේ වැරැදීම්වලට එක් හේතුවකි.
ඒවා මගහැරීමේ අරමුණින් විද්‍යුත් ජාතික හැඳුනුම්පත නිකුත් කිරීමට රජය පියවර ගෙන ඇත.
ඇඟිලි සලකුණු සහ යම් පුද්ගලයකුට පමණක් සීමා වන අනන්‍යතා තොරතුරු එම නව හැඳුනුම්පතට ඇතුළත් කිරීමෙන් අනතුරුව කිසිම අවස්ථාවක තවත් පුද්ගලයකුට එම හැඳුනුම්පත් අංකය හිමිවෙන්නේ නැත.
ජාතික ආරක්ෂක අමාත්‍යාංශය හඳුන්වා දී ඇති නව ක්‍රමය ඉතා කෙටි කාලයකින් ගෙන ඒමට ද පියවර ගෙන තිබේ.






.jpg)

