පසුගියදා ආන්දෝලනයට ලක්වුණු කහවත්ත ද්විත්ව ඝාතනය පිළිබඳ ඔබ මොකද හිතන්නේ? ඒක ඉතාමත්ම අමානුෂික, ඉතාමත්ම සෝචනීය සිද්ධියක්. මවත් , දුවත් තනිවම ඉන්න ගෙදරකට මිනීමරුවන් ඇතුල් වෙලා. ඝාතනය කර තිබෙනවා. ඝාතනය කළ ආකාරයත් ඉතා කෲරයි. ඒ ප්‍රදේශයේ මීට පෙරත් ඝාතන ගණනාවක් සිදු වුණා. ඒ සියලු මරණවලට වඩා මේක ඉතාමත් කෲරයි. මේ විදිහෙ මරණ සිදුවීම ඉතාමත් සෝචනීයයි. මම හිතන්නේ අප කාගෙත් අවධානය යොමුවිය යුතු කාරණයක්. පොලීසිය , රහස් පොලීසිය දේශපාලන අංශවල ඒ වගේම මුළු සමාජයේම අවධානය යොමු විය යුතු කාරණයක්. මෙය කිසිම හරයක් නැතිව ජීවිත විනාශ කිරීමක්. මෙහිදී අවුරුදු 18 ක තරුණ පාසල් ළමයෙක් ඝාතනය වෙනවා. එයා රත්නපුරය බාලිකා විද්‍යාලයකට යන්නේ. එවැනි ළමයකු ඝාතනය කරන්න තුඩු දුන් හේතු ගැන අපි සොයන්න ඕන. බරපතළ පසුබිමක් තියෙන සිද්ධියක් කියන එකයි මගේ අදහස.
ඔබ රත්නපුර දිස්ත්‍රික් නායකයා ලෙස මෙම සිද්ධිවලට වගකිවයුතුයි. මම ඒ ප්‍රදේශයේ දේශපාලනඥයෙක් හා සමාජ සේවකයෙක් වශයෙන් ඒ ප්‍රදේශයේ සිදුවන සිද්ධීන් ගැන අවධානය යොමු කරනවා. මීට ඉහතදීත් මේ ප්‍රදේශයේ ඝාතන ගණනාවක් සිදුවුණා. මම ඒ අවස්ථාවලදීත්, අදාළ අංශ දැනුවත් කර අවශ්‍ය පියවර ගත්තා.
2001 දී ඝාතන ගණනාවක් සිදුවුණා. මැතිවරණයට ඔන්න මෙන්න කියා තිබියදී. ගොඩකවෙල නිවිතිගල වගේ ප්‍රදේශවල. මම ඒවෙලාවත් මරණයට ලක්වුණු පුද්ගලයින්ගේ පවුල් වෙනුවෙන් කටයුතු කළා. ඇත්ත වශයෙන්ම , සමාජයේ අපරාධ නැති කරන්න, සමාජයේ සිදුවන අයහපත් ප්‍රවණතාවන් නැති කරන්න මගේ දායකත්වය මම හැමදාම දී තිබෙනවා.
මෙම ද්විත්ව ඝාතනයේ පරීක්ෂණ කටයුතු මොන ආකාරයකද පවතින්නේ?
මම දන්නේ, සාමාන්‍යයෙන් පුවත්පත්වල පළ වන දේවල් තමයි. ඊට අමතරව පොලිස්පතිතුමා මට විස්තරයක් කිව්වා. දැනට මිනීමැරුමට සම්බන්ධ කිහිපදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අතර මා ළඟ සේවය කළ සම්බන්ධීකරණ ලේකම් ධර්මසිරි අත්අඩංගුවට ගත්තා කියලා මට ආරංචි වුණා.
ඔබගේ සම්බන්ධීකරණ ලේකම් ලෙස කටයුතු කළ ධර්මසිරි නමැත්තා කාලයක සිට ප්‍රදේශයේ නීති විරෝධී කටයුතුවල යෙදී සිටි බවට මේ වන විට තොරතුරු ලැබි තිබෙනවා.
නීති විරෝධී ක්‍රියා ගැන නම් මම දන්නේ නෑ. මගේ පතල්වල වැඩ බලා ගත්තෙත් ධර්මසිරියි. එයාගෙත් පතල් තිබෙනවා. එයා කුඩුවලට සම්බන්ධයි කියලා මම දන්නේ නෑ. නමුත් එයාගෙ පුතෙක් කුඩුවලට සම්බන්ධයි කියලා මම දැනගෙන හිටියේ නෑ. ඒක ගැනත් මට ධර්මසිරි කිව්වේ. හිර ගෙදරදී සැලසුම් සහගතව ඔහුගේ පුතාගේ නිල කාමරේ ලාච්චුවකට කුඩු දාලා. ඔහු හසු කළා කියලා. එහෙම තමයි එයා මට කිව්වේ. ධර්මසිරි කුඩුවලට සම්බන්ධයි කියලා මම දැනගෙන හිටියේ නෑ.
ධර්මසිරි නීති විරෝධී පතල් කැපීමට, කුඩු ජාවාරමට සම්බන්ධ බව ඔබ දැනගෙන සිටියෙම නැද්ද?
නීති විරෝධී පතල් කැපීම රත්නපුර දිස්ත්‍රික්කයේ හැමතැනම සිදුවෙනවා. හුඟක් තනතුරු දරන අයත් හොරෙන් පතල් කපනවා. මම හිතන්නේ එහෙම නොකරන එකම මිනිහා මමයි.
මිනීමැරුම සිදු වී මාස එකහමාරක් පමණ යනතුරුත් සැකකරුවන් අත්අඩංගුවට නොගත්තේ, ඔබේ බලපෑම නිසා කියලා චෝදනාවක් තිබෙනවා.
ඒක තමයි මෙතන තිබෙන බරපතළ තත්ත්වය. මීට පෙරත් මිනී මැරුම් වලදී සැකකරුවන් අත්අඩංගුවට නොගෙන මාස ගණන් ගියා. අන්තිමේදී මීට පෙර මිනී මැරුම් වලදී මිනිස්සු පාරට බැහැලා. උද්ඝෝෂණය කළා.
'ග්‍රීස් යකා' සංකල්පය ආවේ එතැනදිනේ. පොලීසියයි ජනතාවයි ගැටෙන කොට මම පෙනී ඉඳලා එක නිරාකරණය කළා. මම පිළිගන්නවා . සැකකරුවන් අත්අඩංගුවට ගන්න අසාමාන්‍ය කාලයක් ගියා. මම පොලීසියෙන් ඇහුවම කියනවා සාක්ෂි නෑ කියලා. නමුත් මම කිසිම බලපෑමක් කළේ නෑ. ඒක බොරු කතාවක්. මට රාජුව ආරක්ෂා කරන්න කිසිම උවමනාවක් නෑ. මිනිස්සු නොයෙක් කතා කිව්වා. ඉස්සර මිනිස්සු මරපු අයම තමයි මේක කරන්න ඇත්තෙ කියලා කිව්වා. රාජු ගැන සැකයි කියලා. රාවයකුත් තිබුණා. පොලීසියත් ඒ ගැන කිව්වා. ඒ වෙලාවේ මම පොලීසියට කිව්වා වහාම රාජුව අත්අඩංගුවට ගන්න කියලා.
පොලීසිය නිරන්තරයෙන් කියපු දෙයක් තමයි. මොවුන් අත්අඩංගුවට ගන්න අවශ්‍ය සාක්ෂි ගමෙන් ලැබෙන්නේ නෑ කියලා. ඒ ළමයාගේ මළ සිරුර කිලෝමීටර් 2-3 ක් දුරකට ගෙනිහින් තිබෙනවා. මේක කවුරු හරි ඇසින් දකින්න ඕන කියලා. මතයක් පොලීසිය තුළ තිබුණ.
ධර්මසිරිගේ පවුලේ උදවිය මෙම ඝාතනයට සම්බන්ධයි කියලා ප්‍රදේශයේ රාවයක් පැතිරුණා. නමුත් ඔබ ඔහුව සම්බන්ධීකරණ ලේකම් තනතුරෙන් ඉවත් කරන්නේ. රාජුව අත්අඩංගුවට ගන්න සූදානම් වූ පසුවයි.
මම ඒක කළ යුතුයි. අපි දේශපාලනඥයෝ මේ දේශපාලන ක්‍රමය යටතේ මැතිවරණවලදී අපිට උදව් වන අයට අපිට ලේසියෙන් දොට්ට දාන්න බෑ. සාක්ෂි නැතිව කෙනෙකුට දඬුවම් කරන්නත් බෑ. අනික ඔහු මට ගොඩක් උදව් කළ කෙනෙක්. මේ කාරණය ගැන දවස් දෙකක්ම මම ධර්මසිරිගෙන් ප්‍රශ්න කළා. ඔහු එය තරයේ ප්‍රතික්ෂේප කළා. කිසිම සම්බන්ධයක් නෑ කියලා. ධර්මසිරි ගැන හෝඩුවාවක්වත් තිබුණා නම් මම දවසක්වත් ඔහුව තියා ගන්නේ නෑ. මම දැනගත්තම නියම වශයෙන්ම ධර්මසිරිගේ මල්ලි මේ ඝාතනයට සම්බන්ධයි කියලා. මම වහාම කිව්වා ධර්මසිරිට ඉල්ලා අස්වෙන්නයි කියලා. මට එසේ නොකර බෑ. මම වගකිව යුතු දේශපාලනඥයෙක්. ඉබාගාතේ යන දේශපාලනඥයෙක් නෙවෙයි. මම නීතිය දන්න කෙනෙක්. ධර්මසිරිත් මගේ දේශපාලන වැඩවලට කැප වෙලා. උදව් කළ කෙනෙක්. ඒ නිසා ඔහුව ඉවත් කරන්න හේතුවක් තියෙන්න ඕන. එහෙම නැතිව මේ දේශපාලනය කරන්න බෑ.
ධර්මසිරිගෙ පුතා කුඩුවලට සම්බන්ධයි කියලා දඬුවම් විඳින කොට එය ඔබට අනාගතයේ ප්‍රශ්නයක් වෙයි කියලා හිතුණේ නැද්ද?
ඇත්තටම , ඒ වෙලාවේ මම ඒ ගැන එතරම් දුරට කල්පනා කළේ නෑ.
ධර්මසිරිගේ මල්ලී නරක කෙනෙක් බව ඔබ දැනගෙන හිටියා කිව්වා. ධර්මසිරිට ඔබගේ සම්බන්ධීකරණ ලේකම් තනතුර දෙන විට ඔබගේ දේශපාලනයට හානියක් වෙයි කියලා හිතුවේ නැද්ද?
ධර්මසිරි මගේ ළඟ අවුරුදු 12 ක් පමණ හිටියා. ඔහු නරක කෙනෙක් නෙවෙයි. රාජු සමග අපේ කිසිම සම්බන්ධයක් තිබුණේ නෑ. නමුත්, ධර්මසිරිගේ පවුලේ පසුබිම ගැන මම සැලකුවා නම් අද මට මෙවැනි හානියක් වෙන්නේ නෑ.
ඔබගේ සම්බන්ධීකරණ ලේකම්වරයා මෙම ද්විත්ව ඝාතනයට සම්බන්ධයි කියලා ඔබ හිතුවාද?
මම ඒ ගැන කියන්න දන්නේ නෑ. ඔහු වැරදිකරුවෙක් නම්, නීතිය ඔහුට දඬුවම් දේවි.
කහවත්ත ප්‍රදේශයේ කුඩු ජාවාරම තිබුණා කියලා ඔබ දැනගෙන හිටියෙම නැද්ද?
ඇත්ත වශයෙන්ම නෑ. මම තවමත් ඒ ගැන හොයනවා. කහවත්තට කුඩු ආවේ කොහොමද කියලා. මම පොලීසියෙනුත් ඇහුවා. කිසිකෙනෙකුට තාම බැරිවුණා මට හරි උත්තරයක් දෙන්න.
ඔබ මතෛක් කල් ගොඩනගා ගත් දේශපාලන ප්‍රතිරූපය ඇතැම් මාධ්‍ය මගින් විනාශ කර දැමූ බවට ඔබ චෝදනා කළා.
මගේ දේශපාලන ජීවිතයේ මතෛක් මම මෙවැනි කටුක අවස්ථාවකට මුහුණ දීලා නෑ. 1981 දීල ආසන සංවිධායකයෙක් වුණේ. ඊට කලින් තරුණ සමිතිවල, දේශපාලන කටයුතු කළා. 1970 සිටම මම දේශපාලනය කළා. නීති විද්‍යාලයේ සිට මම දේශපාලනය කළා. 1989 දී තමයි මම මුලින්ම මැතිවරණයකට ඉදිරිපත් වුණේ. එදා සිට අද දක්වාම මම හැම ඡන්දයකින්ම ජයග්‍රහණය කළා. පසුගිය මැතිවරණයේදී මම රත්නපුර දිස්ත්‍රික්කයේ පළවෙනියා වුණා.
මේ සිද්ධිය නිසාවත් මට හානියක් වෙයි කියලා මම හිතන්නේ නෑ. ජනතාව මා සමග ඉන්නවා. මේ ප්‍රශ්නය ආවාම පත්තර කිහිපයක් වගකීමකින් කටයුතු කළා. නමුත් සමහර පත්තර ලක්බිම ත් ඇතුළුව මාව ඈඳගෙන මට චෝදනා කරමින්, ලිපි පළ කළා. මේක කනගාටුදායක තත්ත්වයක්. පත්තරත් එක්ක කවදාවත් මගේ ගැටුමක් තිබුණේ නෑ. මම පත්තර සමග ඉතා හොඳින් කටයුතු කළා. නමුත් මේ වෙලාවේ හිතාගන්න බැරි තරම් අයුක්ති සහගත ලෙස මාධ්‍ය මාව විවේචනය කළා. මේ පුවත්පත්වල ප්‍රධානීන් මම පුද්ගලිකව අඳුරනවා.
නමුත් මම ඔවුන් කිසිම කෙනෙකුට මේ ගැන කිව්වේ නෑ. මොකද වෙන්නේ කියලා බලාගෙන හිටියා.
සමහරු සාමාන්‍ය ලේඛකයෙකු නොලියන ආකාරයේ ඉතාමත් අසාධාරණ ලෙස මට පහර දුන්නා.
නමුත් කිසිදු පුවත්පතක ඔබේ නම සඳහන් කළේ නෑ.
අන්න ඒක තමයි මාධ්‍යයට කියන්න තියෙන්නේ. නමක් සඳහන් නොවුණට අනෙක් හැම දෙයින්ම මේ අහවලා කියලා තහවුරු වී තිබෙනවා නේ. දේශපාලන බලවතෙක් කියලා තියෙනවා. ඒ බලවතා මමයි. මට වඩා බලවතෙක් එහෙ නෑ. අනිවාර්යයෙන්ම නිරායාසයෙන් කෙනෙකුට හිතෙනවා ඒ මමයි කියලා. මාධ්‍යවේදියෙකුට පුළුවන් තමන්ගේ පෑනයි. කඩදාසියයි ගත්තම ඕනෑම දෙයක් ලියන්න. ඉස්සර තිබුණ අපරාධ ස්වභාවයේ නීතියක් දැන නෑනේ. මට පුළුවන් පුවත්පත් මණ්ඩලයට පැමිණිලි කරන්න. ඔවුන් ඒක නිවැරදි කරන්න කියයි. අපි දන්නවානේ පුවත්පත්වල නිවැරදි කරන හැටිත්. ඔහේ කොහේ හරි මුල්ලක දාලා දෙයි.
සිවිල් නඩුවක් දාන්න පුළුවන්. අවුරුදු 3-4 ක් ගිහින් ඒ නඩුවේ තීන්දුව එන විට මට වෙන්න තියෙන හැම දේම වෙලා. ඒක මිනිසුන්ටත් අමතක වෙලා ඉවරයි. කොයි තරම් බලවතෙක් වුණත් පුවත්පත්වල මෙවැනි වැරදි නිසා ඉතාමත් අසරණ වනවා. ඒ නිසා තමයි වගකීමක් ඇතිව මේවා ලියන්න ඕන. මම ප්‍රසිද්ධ පුද්ගලයෙක්. මෙවැනි දෙයක් ලැබුණම මගෙන් අහන්න ඕන. එහෙම දෙයක් වුණේ නෑ. මේක මගේ දේශපාලන ප්‍රතිරූපය විනාශ කරන්න යම් යම් දේශපාලනඥයින් විසින් ගෙන යන ක්‍රියාවක්.
ඔබ මේ පිළිබඳව ජනාධිපතිවරයා සමග සාකච්ඡා කළාද?
ඔව්. එතුමා එම අපරාධය ගැන කනගාටු වුණා. එතුමා මා ගැන දන්නවා. ඒ නිසා මේ චෝදනාවලින් වැළකී ඉන්න කියලා මට කිව්වා. ප්‍රදේශයේ සිදුවන අපරාධ ගැන සැලකිලිමත් වෙන්නැයි මට උපදෙස් දුන්නා.