අගමැතිකම කියන්නේ මගේ දේශපාලනයේම නෙමෙයි : ඒක දේශපාලනේ පුංචි කොටසක් – අගමැති මහින්ද රාජපක්ෂ

මේ දවස්වල ඔබතුමාගේ දේශපාලන කටයුතු කොහොමද? ඔබ වැඩිය දේශපාලන වේදිකාවේ පෙනෙන්න නෑ?

මේ දවස්වල දේශපාලන වේදිකා පෙනෙන්න තියෙනවද? නෑනේ. කොරෝනා පැතිරීම නිසා ප්‍රසිද්ධියේ මහජන රැස්වීම් තියෙන්නෙත් නෑනේ. ඉතින් මාව පෙනෙන්න විදියකුත් නෑනේ.

එහෙම නෙවෙයි, ඔබ අතීතයේ ර​ටේ නොයෙක් ප්‍රශ්න වෙනකොට පෙනී සිටියා. නමුත් දැන් එහෙම පෙනෙන්නේ නැහැ?

එහෙම කියන එක හරි නෑ. දවසකට මම රැස්වීම් ගණනාවක් තියනවා. දැන් ගොඩක් විවෘත කිරීම් වාගේ උත්සව තියෙන්නේ සූම් තාක්ෂණයෙන්. චීන කොමියුනිස්ට් පක්ෂයේ සියවැනි සංවත්සරයත් ඇමතුවේ සූම් එකෙන්. ඒ වගෙම දවසකට අරලියගහ මන්දිරයේ ඇමැතිවරු, නිලධාරින් කැඳවලා සෑහෙන සාකච්ඡා වට ගණනාවක් තියෙනවා. ඒ හැම එකකම කරන්න වෙලා තියෙන්නේ මූණු බැඳගෙන මීටරයක් ඈතට වෙලා. ඒකයි ඔය.

මීටරයක් ඈතින් ඉන්න නිසා ඉස්සර වාගේ කරේ අත දාන්න, පිටට තට්ටු කරන්න වාගේ දේශපාලන වශී කරන වැඩ කරන්න බෑනේ. ඒක ආණ්ඩුවට පාඩුයි නේද?

නෑ. එහෙම කියන්නත් බෑ. මම වුවමනා වෙලාවට කරේ අත දානවා. ජෝසප් ස්ටාලින්ගෙත් කරේ මම අත දැම්මානේ.

ඔබගේ සහෝදරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එහෙම කරන්නේ නෑ නේද?

ඕනෑ නෑනේ. මගේ අත එයාගේ කරට දානවානේ. එයාට තියෙන්නේ වැඩ කරන අතක්. මට තියෙන්නේ කරේ දාන අතක්. කොහොමත් මම තමයි අපේ පවුලේ කරේ අත දාන මිනිහා.

ඒ කියන්නේ ආණ්ඩුව එක්සේසත් කරගෙන ඉඳීමේ වගකීම ඔබටයි තිබෙන්නේ. මේ යන විදියට ඇමැතිවරු අතරේ ප්‍රකාශ කෙරෙන දේවල්වල හැටියට ඒක අපහසු තත්ත්වයකට ඇවිත් නේද?

2005 ආණ්ඩුවේ මාත් එක්ක කරුණා අම්මාන් හිටියා. චම්පික රණවක හිටියා. තොණ්ඩමන්, විමල්, උදය හිටියා. වාසු, ඩිව්, තිස්ස විතාරණ හිටියා. රාජිතත්, කරුත් හිටියා. ඒ යුද්දෙ කරපු කාලේ හැමෝම දෙමළ ඊළම් ප්‍රශ්නයට දැරුවේ වෙනස් පටහැනි අදහස්. එහෙම තියාගෙනත් යුද්දෙ කළා. දැන් එහෙම මත හැදෙන්න දෙයකුත් නෑනේ.

එහෙම තියෙද්දිත් ඇයි මේ ආණ්ඩුවේ බෙදීම්?

අර වාගේ දරුණු ප්‍රශ්නයක් නැති නිසා වෙන්න ඇති. (සිනාසෙයි)

එහෙම නෙවෙයි, ජනාධිපතිතුමා සුසිල් ප්‍රේම්ජයන්තව කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කළා. ඔබතුමා එකඟද ඒකට?

මගේ එකඟතාව අදාළම නෑ. ඒක ජනාධිපතිතුමාගේ අභිමතය. තීරණය.

ඔබතුමා හිතන්නේ මොකක්ද?

මම ජනාධිපති වෙලා හිටපු කාලේ අනුර, මංගල, ශ්‍රීපති කියන තුන් දෙනාව නෙරපුවා මතක ඇති. එදා කව්රුවත් ගිහින් අගමැතිගෙන් ඇහුවාද එකඟද කියලා. නෑනේ. මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ එහෙම අහන්න බෑ. අහලා තේරුමක් නෑ.

සුසිල් ප්‍රේමජයන්ත ඔබගේ දේශපාලන ගමනට උපකාර කළ කෙනෙක්?

ඔව්. 2005 දී සන්ධානයේ මහ ලේකම්වරයා සුසිල්. අන්තිම මොහොතේ නාම යෝජනා නොදෙයි කියලා මට නාම යෝජනා පෝර්මය සීල් කරලා අත්සන් කරලා සුසිල් රට ගියා. ඒවා මට මතකයි. ඒත් ජනාධිපතිවරයා පක්ෂය එක්ක කටයුතු කරනකොට හිතන්න ඕනෑ. චන්ද්‍රිකා ආණ්ඩුව කාලේ මට නිතරම බාධා ආවා. මට දුන්නේ බලාපොරොත්තු වුණ ඇමැතිකම් නෙවෙයි. ඒත් මම හොඳට වැඩ කරගෙන යනකොට ඇමැති ධුර වෙනස් කළා. මාව ඇසුරු කරන, කතා කරන අයවත් සැක කළා. ආණ්ඩුවේ ඇමැතිවරු චන්ද්‍රිකාගේ පැත්ත අරගෙන බොහොම කෙනෙහිලි කළා. ඒත් මම නයකයාවත්, පක්ෂයේ ඇමැතිවරුන්වත් විවේචනය කරන්න ගියේ නෑ. නායකයෙක් වුණාම හිතන හැටි දේශපාලනය කරන කවුරුත්, පක්ෂයක ඉන්න කවුරුත් තේරුම් ගන්න ඕනෑ. මොකද මේක විවිධ මත තියෙන අදහස් තියෙන ආණ්ඩුවක එකතුවක්.

ඔබ ජනාධිපති නම් මෙහෙම කරන්නේ නෑ කියලා ඇතැම් අය කියනවා?

ජනාධිපති වුණහම කැමැති දේවල් වගේම අකමැති දේවල් කරන්න වෙනවා. කරන්න දෙයක් නෑ. මම කළ විදිහ වුණත් සමහරු භාර ගන්නේ නරක විදිහටනේ. 2015 දී පක්ෂය කඩාගෙන ගිහින් මාවත් පරාද කළානේ. කොයි විදිහද හොඳ එතකොට. මම කළේ එක විදිහකට. ප්‍රේමදාස කළේ තව විදිහකට, මෛත්‍රි කළේ තවත් විදිහකට.

දැන් විශාල ආර්ථික අර්බුදයක් රටේ තියෙනවා. භාණ්ඩ මිල ඉහළ ගිහින්. භූමිතෙල්, ගෑස් පෝලිම් හැම තැනම. මේවා ආණ්ඩුවේ ඉදිරි මැතිවරණයකදී කොහොම බලපායිද?

මම හිතන්නේ බඩු මිලට වඩා බඩු හිඟය මිනිසුන්ට නරක විදියට බලපානවා. දේශීය ආර්ථික ක්‍රමයක් හදන්න 70 මැතිනිගේ ආණ්ඩුව උත්සාහ කළ කාලේ රටින් ගෙනෙන ඒවා නතර කළාම රට ඇතුළේ බඩු හිඟවෙලා පෝලිම් හැදුණා. 77 අපි පරාද වුණා. ඊට පස්සේ ජේ.ආර්. ආවා. රටේ දේශීය කර්මාන්ත කඩා වැටෙන විදිහට රට බඩු ගෙනත් මාර්කට් එක පිරෙව්වා. අවුරුදු හතරකට පහකට පාරක් සත විස්ස විසිපහටයි බඩුමිල ඉහළ ගියේ. නමුත් 77 න් පස්සේ බඩු එක පාර රුපියල් ගණනින් නිතර ඉහළ ගියා. බඩු ඇති තරම් තිබුණා. ගන්න සල්ලි නෑ. බඩු ගණන්. පෝලිම් නෑ. මිනිස්සු අවුරුදු 12 ක් ඒ ක්‍රමයට යන්න දුන්නා. ඒක ඓතිහාසික පාඩමක්. ඒ වාගේම මිනිස්සුත් පාඩමක් ඉගෙන ගත්තා.

මොකක්ද මිනිස්සු ඉගෙන ගත්ත පාඩම?

මැතිනිව පරාද කරලා අවුරුදු තිහක් ගියහම දැන් මිනිස්සු කියනවා මැතිනි කරපු විදිහට කරන්න දීලා ඉවසාගෙන හිටියා නම් මේ රට අද හොඳ තැනක කියලා. එහෙමනම් අපේ රටේ දේ අපේම හදාගන්න, ණය නැති හොඳ තැනක රට තියෙනවා කියලා. ඒත් අපි කවුරුත් තාම ඉගෙනගෙන නෑ,

කාබනික පොහොර ගොවිතැන අඩාළ වෙලා ගොවි ජනතාවගේ ලොකු විරෝධයක් තියෙන බව පෙනෙනවා. ඔබ ගමේ ඡන්ද පදනම තිබුණ කෙනෙක්. ගමට කතා කළ කෙනෙක්. මේ තත්ත්වය ඔබට දැනෙන්නේ නැද්ද?

දැනෙනවා. ලොකු ප්‍රශ්න ගොඩක ගොවි ජනතාව ඉන්නේ. ඊටත් වඩා ප්‍රශ්න ගොඩක ඒ වැඩේ කරන්න ගිහින් අපි හිරවුණේ.

ඇයි මෙහෙම හිර වුණේ?

ජනාධිපතිගෙ ප්‍රධාන වැඩේ තමයි කෘෂිකර්මය. එයාගෙ ලොකු බලාපොරොත්තුවක් තිබුණේ කෘෂිකර්මාන්තය දියුණු කරලා ලෝකයට ආදර්ශයක් දෙන්න. ඒක යුද්දේ දිනුවා වගේ වැඩක්. එයා අපේක්ෂකයා වෙන බව දැන ගත්තහම ජාත්‍යන්තර සංවිධානවල නියෝජිතයො ඇවිත් එයාට කෘෂිකර්මාන්තය ගැන උපදෙස් දෙන්න ආව බව මම දන්නවා. ඒ අයට ඕනෑ කළේ ලංකාවේ ආහාර නිෂ්පාදනය නතර කරවලා පිටරටින් ආහාර ගෙන්වන ආර්ථිකයක් ලංකාවේ හදන්න. සමහර සංවිධාන ගෝඨාට උපදෙස් දීලා තියෙනවා වී කිලෝවක් හදන්න මෙච්චර වියදම් යනවා.

ඊට හොඳයි ලාබයි රටින් හාල් ගෙනෙන එක. එහෙම කළහම ගොවිතැන් කරන ළමයින්ව ගාමන්ට් වැඩට යොදා ගන්න පුළුවන්. අඩු පඩියට වැඩ කරන පිරිසක් ඉන්න කොට ගාමන්ට් ෆැක්ටරියක් ලංකාවේ තියෙයි. ඒගොල්ලො එන්නේ මොකාටද කියන එක තේරුණා. ඔය සෞභාග්‍ය දැක්ම හදන්න කලින් ඉඳන් කෘෂිකර්මාන්තය ගැන අදහසක් එයාට තිබුණේ. වැඩේ අසාර්ථක වුණේ කොරෝනා තුන්වැනි රැල්ලත් එක්ක. ඒකට මුහුණ දෙන ගමන් මේ වාගේ බරපතළ අභියෝගයක් භාර ගන්න බෑ. ඒක හරියට යුද්ධ කරන කොට සුනාමිය ආව වගේ. එදා දෙපැත්තේම යුද්දෙ නතර කළානේ.

මේ වාගේ අභියෝගයක් ජය ගන්න මීට වඩා සැලසුම් ඕනෑ බව ඔබ හිතන්නේ නැද්ද?

ඔය මහා සැලසුම් කර කර හිටියොත් අවුරුදු පහ ගෙවෙයි. ප්‍රශ්නෙ තියෙන්නෙ කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්ලවත් මේ වැඩේ ගැන විශ්වාසයකින් වැඩ නොකරපු එක. අන්තිමේ මහින්දානන්දගෙ පඹයො ප්‍රභාකරන්ගෙ පඹයන්ට වඩා පාරෙ පිච්චුවා. මහින්දානන්ද ලැබුණු ඡන්ද ගාණට වඩා පඹයො පාරේ ගිනි තිබ්බා.

බැසිල් රාජපක්ෂ ආධාර ගන්න ඉන්දියාවේ සංචාරය කරන කොට චීන තානාපති උතුරේ සංචාරයක නිරත වුණා. ඉන්දීය තානාපති අංශ මේ ගැන කනස්සල්ල පළ කළා. දැන් චීනය ලංකාවේ සබඳතාවලින් ඈතයි කියලා විශ්වාසයක් තියෙනවා.

එදා කිව්වා චීනය නිසා ඉන්දියාව තරහයි කියලා. දැන් කියනවා චීන සබඳතා අපි අවුල් කර ගත්ත කියලා. ඉන්දියාවෙන් ඩොලර් මිලියන 500ක ණයක් අපි ගත්තා. හෙට අනිද්දා චීන විදේශ ඇමැති ලංකාවට එනවා. එක්කෙනෙක් අපේ නෑයා. අනෙක් මිනිහා අපේ අසල්වැසි මිත්‍රයා. අපි නම් නෑකම් යාළුකම් පටළා ගන්නේ නෑ. නෑකම් යාළුකම් තිබුණට අපේ ගෙට රිංගලා ගෙයි අයිතිය උදුරා ගන්න දෙන්නෙ නෑ. බය වෙන්න එපා.

විමල්, වාසු, උදය ආණ්ඩුවේ කටයුතුවලට එරෙහිව නඩු යනවා. මෛත්‍රි ආණ්ඩුවට අභියෝග කරනවා. සුසිල්ව දැන් අස් කරලා. මෙහෙම ගියොත් 2/3 ආණ්ඩුවට ළඟදීම අහිමි වෙයි. ඒක ආණ්ඩුවට ලොකු ප්‍රශ්නයක් නේද?

අපි ලෝකෙ දරුණුම යුද්ධයක් කරලා රට එක්සේසත් කළේ ඡන්ද දෙක තුනක බහුතරයක් තිබුණ ආණ්ඩුවකින්. තුනෙන් දෙකක්ම ඕනෑ නෑ ආණ්ඩුවක් කරගෙන යන්න. ඒ වුණාට පාර්ලිමේන්තුවෙ ඡන්දයක් තියපු ඕනෑම මොහොතක අපිට තුනෙන් දෙකේ බහුතරය තියෙන බව අපි පෙන්නනවා. මේ හැමෝම ආණ්ඩුව විවේචනය කරන බව ඇත්ත. ඒකම තමයි ඒ ගොල්ලො ආණ්ඩුව අත නොහරින්නත් හේතුව. ඔය විවේචනය කරන කවුරුත් යූඑන්පීයවත් සජිත්වවත් බලයට ගේන්න හිතන්නෙ නෑ. වෙන ඕනෑම දෙයක් ඊට මෙහා නතර වෙනවා. අපි කවුරුත් අද ඊයෙ එකට දේශපාලනේ කළ අය නෙවෙයි.

පවුලේ අයම අගමැතිකමෙන් ඔබව ඉවත් කරන්න හදන බව කියවෙනවා.

අපි 2015 පරාද වුණහම චමල් අගමැතිකම අරන් අපිව දේශපාලනෙන් අයින් කරයි කියලා රාවයක් ගියා. ගෝඨාට මම අපේක්ෂකත්වය ගන්න දෙන්නෙ නෑ කියලත් එදා රාවයක් ගියා. චන්ද්‍රිකා බණ්ඩාරනායක කාළෙත් ඔහොම භීති තිබුණා. ඒක ගණන් ගන්න එපා.

මේ රටේ ආණ්ඩු පරද්දන්න ඕනැ වුණහම ගෙන්නේ රාජපක්ෂ විරෝධය. ඊළඟට ආණ්ඩු හදන්න ඕනෑ වුණහම ඒත් මහින්ද රැල්ල ඕනැ වෙනවා. දිනන්න පරදින්න දෙකටම රාජපක්ෂ. මේක එකම කාසියේ දෙපැත්ත වාගේ. ටොස් එක වාගේ ඡන්දෙදි ඔය ටොස් එක දානවා. එච්චරයි.

ඔබ දැන් අසනීපෙන් බවත් ළඟදීම අගමැතිකම අතහරින බවත් කියවෙනවා. එහෙම අදහසක් තියෙනවා.

අගමැතිකම කියන්නේ මගෙ දේශපාලනයේම නෙමෙයි. ඒක දේශපාලනේ පුංචි කොටසක්. මහින්ද රාජපක්ෂ දේශපාලනේ අතහරියි කියල හිතනවද? මම ඔය විදිහේ කතා හදන රෝගීන් අතරේ නිරෝගීව ඉන්නවා. ඔහේට තේරුණැයි.

(උපුටා ගැනීම : මිස්සක මසමනවිරත්න – අරුණ පුවත්පත)

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
3
අවුල් වගේ !
0
හරි හිනා !
1
හම්මෝ !
2
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
4

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්