“අලුත් නම කියන්නේ බ්‍රහස්පතින්දා..” – පෙරළිකාර ෆේස්බුක් වෙනස් වෙන හැටි මෙන්න

ෆේස්බුක් සිය නාමය වෙනස් කිරීමට කටයුතු කිරීම පසුගිය සතියේ ලෝක මාධ්‍යවල ප්‍රමුඛ පුවතක් විය. මෙසේ නම වෙනස් කරන්නේ කවර අරමුණකින්ද? එය තමන්ට එරෙහිව එල්ලවෙන චෝදනා වලින් ගැළවීමටද? අපරාධකරුවන් සැඟවෙන්නේ තම නම් හා ලිපිනයන්ද වෙනස් කර ගනිමිනි. ලොව පුරා බිලියන තුනක පරිශීලකයන් සිටින මුහුණු පොතේ නම වෙනස් කිරීම ඇත්තෙන්ම සිදු කළ යුත්තක්ද?

කවරක් නමුත් මෙය කපටි උපක්‍රමයක් බව සමහර ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කර තිබිණි. ව්‍යාපාරයක් කඩා නොවැටී දීර්ඝව පවත්වාගෙන යෑම සඳහා යම් කපටි ක්‍රියාමාර්ග ගත යුතුය. නම වෙනස් කිරීමේ තීරණය එහි ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සකර්බර්ග් සතුය. මෙම නම වෙනස් කිරීම පිළිබඳව ලබන බ්‍රහස්පතින්දා 28 වැනි දින පැවැත්වෙන ෆේස්බුක් සමාගමේ වාර්ෂික ‘‘කනෙක්ට්” සම්මන්ත්‍රණයේදී කරුණු හෙළිකරනු ඇතැයි වාර්තාවේ. මේ අතර එක් නිර්ණාමික මූලාශ්‍රයක් උපුටා දක්වමින් වර්ජ් බ්ලොග් අඩවිය විසින් කරන ලද වාර්තාවකට අනුව ෆේස්බුක් සමාගමට එහි නම වෙනස් කළ හැක. 

ගූගල් සමාගම 2015 දී මේ හා සමාන දෙයක් සිදු කළ අතර එහි නම GOOGL ලෙස වෙනස් කර ගූගල් උප ආයතනයක් බවට පත් කළේය. මෙය එම සමාගම හුදෙක් සෙවුම් යන්ත්‍රයකට වඩා වැඩි දෙයක් බව ඉස්මතු කිරීමටය. – නමුත් ගූගල් සන්නාමය තවමත් ඉතා ප්‍රබලය. ඒ ගැන තර්කයක් නැත. වර්ජ්ට අනුව සමාජ මාධ්‍යයෙන් එහා ගිය ඩිජිටල් යථාර්ථයක් බවට පත්කිරීම සඳහා ෆේස්බුක් නැවත සන්නාමකරණය කරනු ඇත. නව නාමය කෙතරම් රහසිගතද යත් එම සමාගමේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පවා එය කුමක්දැයි නොදනිති. සකර්බර්ගේ සමාගමට එහි ප්‍රමුඛතම සමාජ මාධ්‍ය ජාලයට අමතරව ඉන්ස්ට්‍රග්‍රෑම් සහ වට්ස්ඇප් හිමිය. ඇත්තෙන්ම 37 හැවිරිදි ෆ්‍රැන්සිස් හෝගන් නිසා ෆේස්බුක් සමාගම නම වෙනස් කරන්නේද? 

ෆේස්බුක් හි නිෂ්පාදන කළමනාකරුවකු ලෙස සේවය කළ ෆ්‍රැන්සිස් හෝගන් මේ මස මුලදී අමෙරිකානු සෙනෙට් මණ්ඩලයේ අනුකමිටුවක් ඉදිරියේ වාචික සාක්ෂි ලබාදෙමින් ප්‍රකාශ කර තිබුනේ මුහුණු පොත හරහා වෛරය සහ වැරදි තොරතුරු ප්‍රචාරය වන බව සමාගම දන්නා නමුත් එය වැළැක්වීමට පියවර ගැනීමට අපොහොසත් වූ බවයි. මානසික සෞඛ්‍යයට වඩා ලාභය තෝරා ගැනීම සම්බන්ධයෙන් සිය පැරණි සමාගමේ ප්‍රධානින් විවේචනයට ලක්කරමින් ෆේස්බුක් සමාගම දුම්කොළ සමාගමක් හා සංසන්දනය කළාය. ෆේස්බුක් සමාගමේ සමාජ ජාල අඩවි සහ දුරකථන යෙදවුම් දරුවන්ට හානිදායක බවත් එයින් ප්‍රජාතන්ත්‍රවාදය දුර්වල කරන බවත් එහිදී ඇය අවධාරණය කර තිබිණි. එමෙන්ම ෆේස්බුක් හරහා සිදුකරන පර්යේෂණ මගින් වෛරය සහ වැරදි තොරතුරු වර්ධනය කර, මිනිසුන් හුදකලා වීම සිදුවන නිසා ඊට එරෙහිව ෆෙඩරල් නීතිය බලගන්වන ලෙසට ඉල්ලමින් හෝගන් විසින් නිර්ණාමිකව පැමිණිල්ලක්ද ගොනු කර ඇති බව ඇමෙරිකානු මාධ්‍ය වාර්තා කර තිබිණි. ඇය වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පතට ෆේස්බුක් සමාගම අභ්‍යන්තර ලියැවිලි තොගයක්ද ලබා දී ඇති අතර ඒ හරහා පළවූ වාර්තා නිසා සමාජ මාධ්‍යයේ ප්‍රමුඛයා බලවත් අපහසුතාවයට පත්ව තිබේ. ඇය දැන් ජීවත්වන්නේ පොර්ටරිකෝ රාජ්‍යයේය.

 ‘‘කිසිවකු මාව මෙතැනදී හඳුනා නොගන්නා නිසා පොර්ටරිකෝ රාජ්‍යයේ ජීවත් වීම ගැන මට ලොකු වාසනාවක් දැනෙනවා.” යනුවෙන් ඇය බ්‍රිතාන්‍ය ඔබ්සවර් පුවත්පත හා පවසා තිබිණි. මේ හෙළිදරව් කිරීම් ගැන මාර්ක් පවසා තිබුනේ මෑතකදී සිදුකළ මාධ්‍ය ආවරණ මගින් සිය සමාගම පිළිබඳ වැරදි ප්‍රතිරූපයක් මවා ඇති බවය. එය වසා ගැනීමට මේ නම වෙනස් වන්නේද? ෆ්‍රැන්සිස් හෝගන් ගේ අනාවරණ සමග පසුගිය ඔක්තෝම්බර් 05 වැනිදා ෆේස්බුක් බිඳ වැටීමක් සිදු වීම විශේෂත්වයක් වේ. එදින ලොව පුරා බිඳ වැටීමට ලක්වුණු ෆේස්බුක් සමාගම ආයතනය සතු Facebook, Instagram, WhatsApp හා Messenger සමාජ ජාල මාධ්‍ය පැය 6ක පමණ කාලයකට පසු යථා තත්ත්වයට පත් කර තිබිණි. මෙම හදිසි බිඳවැටීමෙන් පසු මාර්ක් සකර්බර්ග් ෆේස්බුක් සටහනක් තබමින් තම සමාජ මාධ්‍ය බිඳ වැටීම හේතුවෙන් ඇතිවූ අපහසුතාවන්ට සිය පරිශීලකයන්ගෙන් සමාව අයැද සිටින බව සඳහන් කර තිබිණි. එදින මෙරට වේලාවෙන් ඊයේ රාත්‍රී 9.00ට පමණ මුහුණුපොත ඇතුළු ඔවුන් සතු සෙසු සමාජ මාධ්‍ය ලොව පුරා බිඳ වැටීමකට ලක් විය. 

විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ, සමාගමේ දත්ත මධ්‍යස්ථාන අතර දත්ත ගලා යෑම බිඳ වැටීම හේතුවෙන් මෙය සිදුවී ඇතැයි ෆේස්බුක් සමාගම නිල බ්ලොග් සටහනක සඳහන් කර ඇති බවය. ඊට හේතු වී ඇත්තේ, සමාගමේ දත්ත මධ්‍යස්ථාන සහ ජාල අතර දත්ත හුවමාරු කෙරෙන රවුටර්වල සැකැස්මේ සිදු කළ වෙනසක් බව ඔවුන් එමගින් පෙන්වා දී ඇත. 2019 වසරේ දී ද ෆේස්බුක් සමාජ මාධ්‍ය බිඳ වැටීමකට ලක්වුණු එය පැය 24ක කාලයක් පැවතිණි. තම සමාජ මාධ්‍ය ජාලයන් බිඳ වැටීම හේතුවෙන් නිසා ෆේස්බුක් ආයතනයට ඩොලර් කෝටි 600ක පමණ අලාභයක් සිදුවිය. එයට හේතුව පැය කිහිපයක් තුළ ෆේස්බුක් කොටස් අගය 5%කින් පමණ පහත වැටිණි. මේ සමඟ සකර්බර්ග්ගේ වත්කම ඩොලර් බිලියන 121.6 දක්වා පහළට වැටුණු අතර බ්ලූම්බර්ග් ප්‍රකෝටිපති දර්ශකයේ 5 වැනි ස්ථානය දක්වා පහතට වැටිණි. මාර්ක් පහළට ගිය නිසා බිල් ගේට්ස් ඉහළට පැමිණියේය. බ්ලූම්බර්ග් දර්ශකයට අනුව සැප්තැම්බර් මැද භාගය වනවිට සකර්බර්ගේ ශුද්ධ වත්කම අමෙරිකානු ඩොලර් බිලියන 192ක් විය. මේ සම්බන්ධයෙන් නිරීක්ෂණයන් සිදුකළ ඩවුන්ඩිටෙක්ටර් වෙබ් අඩවිය පවසා තිබුණේ මෙය ඔවුන් අත්දුටු විශාලතම සමාජ මාධ්‍ය බිඳවැටීම මෙය බවය. මෙවැනි පරිමාණයෙන් සහ දිගුකාලීනව සමාජ මාධ්‍ය බිඳවැටීම දුර්ලභ සිදුවීමකි. නමුත් ඇත්ත අර්බුදය නිර්මාණය කළේ ෆ්‍රැන්සිස් හෝගන් විසිනි. එය මාර්ක් නොකියයි.

 ඇමෙරිකා එක්සත් ජනපදයේ ‘ළමා චිකිත්සාව පිළිබඳ විද්වත් පර්ෂදය’ විසින් ෆේස්බුක් ඇතුළු සමාජ ජාල වෙබ් අඩවි පිළිබඳ කරන ලද පර්යේෂණයක ප්‍රතිඵල ‘Pediatrics’ නමින් හැඳින්වෙන සඟරාවෙහි පළ කර තිබුණි. එහි දැක්වෙන අන්දමට නව යෞවන යෞවනියෝ දවසකට දහ වරක් හෝ ඊට වැඩි වාර ගණනක් සිය ප්‍රියතම සමාජ ජාලයෙහි සැරිසරති. වර්තමානයෙහි අන්තර්ජාලයට ප්‍රවිශ්ට වීමට පරිගණකයක් අත්‍යවශ්‍ය නැත. බොහෝ නවීන දුරකථනවල අන්තර්ජාල පහසුකම් ඇති බැවින් අන්තර්ජාල ප්‍රවේශය පහසුවී ඇත. මෙම ප්‍රවණතාවයෙහි සාධනීය මෙන්ම නිශේධනීය සමාජ බලපෑම් දක්නට ලැබෙන බව ඔවුහු පවසති. සමාජ ජාල වෙබ් අඩවිවල නිරන්තරව සැරිසරන්නන් ‘ෆේස්බුක් විෂාදිය’ (Facebook Depression) නමැති මානසික රෝගයට ගොදුරුවීමේ අවදානමක් පවතින බව වෛද්‍යවරු පෙන්වා දී ඇත. මෙය ෆේස්බුක් ඇතුළු සමාජ ජාල වෙබ් අඩවි අධි භාවිතයෙහි භයානක සමාජ බලපෑමක් ලෙස හඳුනාගත යුතුව ඇත. 

මීට කලකට පෙර නම් පාසල් දරුවෝ තම දෙමාපියන්ගේ ඉල්ලා සිටියේ විභාග සමත්වූ පසු තමන්ට පාපැදියක් මිලදී ගෙන දෙන ලෙසය. නමුත් දැන් ලැප්ටොප් පරිගණකයක් හෝ ස්මාට් දුරකථනයක් අවශ්‍ය බවට දරුවෝ මව්පියන්ට කියා සිටිති. කාලය මැව් වෙනසක අරුමය මෙයද? සියල්ලටම මාර්කට බැන වැදීමෙන් පලක් නැත. දෙමාපියන්ද තම දරුවන් කෙරෙහි වඩා සැලකිල්ලක් දැක්විය යුතුය. මුහුණු පොත හරහා සිදුවන තක්කඩිකම් මෙන්ම සමාජ යහපත ගැනද අප අමතක කළ යුතු නැත.

 බ්‍රසීලයේ වන සම්පත වන ඇමසන් වැසි වනාන්තරය ෆේස්බුක් ජාලය ඔස්සේ විකිණීමේ ජාවාරමක් බීබීසිය විසින් අනාවරණය කරගනු ලැබුවේ පසුගිය මාර්තු මාසයේය. එයට වනයේ සංරක්ෂිත කලාපයන් ජාතික වනෝද්‍යාන සහ ආදිවාසීන් වෙනුවෙන් වෙනකරන ලද භූමියත් ඇතුළත් වෙයි. ෆේස්බුක් ජාලයේ පළකරනු ලැබ ඇති දැන්වීම්වල දැක්වෙන ඇතැම් බිම්කොටස් පාපන්දු ක්‍රීඩාංගණ දහසක් තරම් විශාල ඒවා වෙති. මෙම කාරණය සම්බන්ධයෙන් බ්‍රසීල බලධාරීන් සමඟ කටයුතු කිරීමට තමන් සූදානම් නමුත් එම වෙළෙඳාම නතර කිරීම සඳහා තමන්ගේම ස්වාධීන වූ ක්‍රියාමාර්ගයක් ගත නොහැකි බව ෆේස්බුක් සමාගම ප්‍රකාශ කර තිබිණි. ෆේස්බුක් ආශ්‍රිතව හට ගත් අනියම් සබඳතාවක ප්‍රතිඵලයක් ලෙස 2013 වසරේ නොවැම්බර් මස දී පාදුක්ක ප්‍රදේශයේ කාන්තාවක් සිය දිවි හානිකර ගත්තා ය.

 ඒ ගෙල වැලලා ගැනීමෙනි. ෆේස්බුක් ආශ්‍රිතව ශ්‍රී ලංකාව තුළ සිදු වූ පළමු සිය දිවි හානිකර ගැනීම එය බව බලධාරීහූ ප්‍රකාශ කර තිබිණි. කුඩා දියණියකගේ ද මවක් වූ අදාළ කාන්තාව ෆේස්බුක් හරහා හඳුනා ගත් තරුණයකු සමග ඇති කර ගත් අනියම් සබඳතාවක් මෙම සිය දිවි හානිකර ගැනීමට හේතු වූ බව පොලිසිය ප්‍රකාශ කර තිබිණි. 2014 දී නම් මිලියන දෙකක් තරම් වූ ශ්‍රී ලාංකිකයන් ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය භාවිත කරන බව වාර්තා වී තිබිණි. නමුත් අද එය කිහිපගුණයකින් ඉහළ ගොස් ඇත. චතුර පමුණුව

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
2
අවුල් වගේ !
1
හරි හිනා !
0
හම්මෝ !
3
මාර දුකයි !
1
මලපනිනව !
1
කුජීතයි !
1

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්