ඇයට වයස අවුරුදු පහළොවයි.. කුසට මාස නවයයි… පාසල් සිසුවිය රවටාගෙන ගිහින් අම්මා කෙනෙක් කරලා

‘‘අපේ නිවාසයේ පන්ති පහක් පැවැත්වෙනවා. මැහුම්, ගෘහ විද්‍යාව, රූපලාවන්‍ය, දෙමළ, සංගීත පන්ති පවත්නවා. ඉදිරියේදී ඉංග‍්‍රිසී පන්තියකුත් පටන් ගන්න සැලසුම් කර තියෙනවා. ඒ වගේම සිංහල, දෙමළ දරුවෝ කතා බහ කරමින් එකිනෙකා භාෂා ඉගෙනගන්නවා. මේ ඉන්න සිංහල ළමයින්ට සාමාන්‍යයෙන් දෙමළ කතා කරන්න පුළුවන්. දෙමළ දරුවන්ට හොඳට සිංහල කතා කරන්න පුළුවන්. නිරෝෂණීගේ පුතා දෙමළ භාෂාවටත් වඩා හොඳට සිංහල කතා කරනවා. ඒ පුතා බහා තේරුවේම සිංහල භාෂාවෙන්…’’

‘මේ දරුවත් හරිම දක්‍ෂයි. ඉගෙනගන්න උනන්දුයි. පත්තර කොළයක් අතට අහුවුණත් කියවනවා…’ ඇඹිලිපිටිය විශාකා කාන්තා නිවාසයේ ප‍්‍රධාන පාලිකාව සුමනා රණසිංහ තවත් පුංචි මවක් අපට හඳුන්වා දුන්නාය. ඇය තරුෂිය. ගම ඇඹිලිපිටිය ඕමල්පේය. වයස අවුරුදු දහසයකි. ඕමල්පේ මහා විද්‍යාලයේ 11 වසර පන්තියේ අධ්‍යාපනය ලබමින් සිටි තරුෂි දවසක් මාතර පදිංචි වී සිටින තම වැඩිමහල් සොහොයුරිකගේ නිවසට යෑමට පිටත් වූවාය.

පළමු කොරෝනා රැල්ල පැමිණ මුළු රටම භීතියට පත්වෙමින් තිබූ දිනවල තරුෂි නිවසින් පිට වී ඇත්තේ අමනාපයෙනි. ඇඹිලිපිටිය නගරයෙන් මාතර බලා පිටත් වූ බස් රථයකට ගොඩ වූ තරුෂිට ගමනාන්තයට යෑමට නොහැකි විය. කෙඳිරි ගාමින් ගමන් කරමින් තිබූ බස් රථය මගදි කැඩිණි. බස් රථයේ සිටි තරුෂි ඇතුළු හතර පස්දෙනා වෙනත් බස් රථයකට ගොඩ විය. එම බස් රථයේ තරුෂි අසුන්ගෙන සිටි ෂීට් එකට තරුණයෙක් පැමිණියේය. හුරුබුහුටි සුන්දර තරුෂි දුටු, කේඩෑරි මාදවි පෙනුමැති තරුණයා අහිංසක පේ‍්‍රමාන්විත රංගනයක් ඉදිරිපත් කරන්නට විය. නිවසින් තරහා වී යන තරුෂිට ආගන්තුක තරුණයාගේ ආදරණීය වදන් දෙසවනට මිහිරි රසට දැනිණි. සිනාවෙන්, කතාවෙන් තරුෂිගේ හද මඬලට ඇතුළු වූ පේ‍්‍රමණීය අනංගයා ඇයට යෝජනාවක් ගෙනාවේය.

‘සුදූ ඔයා කැමති නම් බස් එකෙන් බැහැලා කොහේට හරි ගිහින් අපි ටිකක් කතා කරමු…’ කපටි කෛරාටික තරුණයාගේ ආදරණීය කතාවට මෝහනය වී සිටි පුංචි තරුෂි බස් රථයෙන් බැසීමට කැමති විය.
බස් රථයෙන් බහින සුනංගුවට ති‍්‍රරෝද රථයක් කතා කරගත් තරුණයා ළඟම ඇති ලැගුම්හලට තරුෂිව රැගෙන ගියේය. වචනයෙන් මෙන්ම රාගයෙන් ද මෝහනය කළ තරුණයා පුංචි තරුෂිව ගැහැනියක් කළේය. ඉනිදු නොනැවතුනු කාමතුර තරුණයා තරුෂිව ඔහුගේ නිවසට කැඳවාගෙන ගියේය. දින, සති ගෙවී ගියේය. තරුණයාගේ වෙස් මුහුණ ටිකෙන් ටික ගැලවිණි. ඒ අසමජ්ජාතියා මත් ලෝලියෙකි. මත් කුඩු වෙළෙන්දෙකි. අනඟ රැඟුම් පාමින් හිරිමල් තරුණියන් රවටාගෙන පැමිණෙන කාලකණ්ණි තරුණයා තම ලිංගික ආශ්වාදය ලබා ගන්නා අතරේ එම තරුණියන්ව මත් කුඩු ප‍්‍රවාහනයට ද යොදවා ගත්තේය.

‘‘ඒ කොල්ලා මහ සතෙක්. ගෙදර ගිහින් දවස් දෙක, තුනක් යනකොට මහ රෑට ඇවිත් මට නොසෑහෙන්න වධ දුන්නා. වධ වේදනා ඉවසගන්න බැරිව ගෙදර පැනලා දුවන්න හදපු වාර අනන්තයි. ඒත් ඌගෙන් ගැලවීමක් ලැබුණේ නෑ. කරන්නම දෙයක් නැතිකමට මැරෙන්න හිතාගෙන ගෙදර තිබුණු බෙහෙත් බෝතලයක් අරගෙන බීගෙන, බීගෙන ගියා. මට සිහිය එනකොට හිටියේ ඉස්පිරිතාලේ…’’ ඒ තරුෂිගේ හැඟීම්බර හඬය. ඒ වෙනකොට තරුෂි නිවසින් අතුරුදන් වී මාස පහකි. ඇයගේ කුසට මාස හතරකි.

‘පරිවාස දෙපාර්තමේන්තුව මාර්ගයෙන් මේ දරුව අපිට භාරදෙනකොට මව් කුසට මාස පහයි. එදා ඉඳලා අපි තමයි දරුවා බලාගත්තේ. දරුවා ලැබිලත් දැන් අවුරුද්දකට වැඩියි. නිරෝගීමත්, පිරිපුන් දරුවා. රජයට භාර දුන්නා…’ විශාකා නිවාසයේ පාලිකාව සුමනා රණසිංහ නැවත කතාවට එකතු විය.

‘දරුව ලැබිලා ටික දවසක් ගියාට පස්සෙ මේ දරුවට ඉස්කෝලේ යන්න වෙනත් ළමා නිවාසයට භාර දුන්නා. ඒ නිවාසයේ පාලිකාව ළමයින්ට ගහනවා… බණිනවා… හිරිහැර කරනවා කියලා මෙයා නැවත අපේ නිවාසයට ආවා…’ සුමනා මිස් එසේ කියන විට මම තරුෂි දෙසට හැරිණි.

දුව නැවත ඉස්කෝලේ යන්න කැමැතිද?

‘මම ලබන අවුරුද්දේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී ඉන්නවා. තව මාසෙකින් විතර අක්කලාගේ ගෙදරට යනවා…’ තරුෂි තරමක් කටකාරය.

ගිරවියක් සේ කතා කරන්නීය.

අපි පුංචි කාලේම අම්මා ගෙදරින් ගියා. ආච්චි අම්මා තමයි අපිව බලා ගත්තේ. මම පවුලේ හත්වැනියා. මට බාල මල්ලි කෙනෙක් ඉන්නවා. මට වැඩිමහල් අක්කලා හතරදෙනයි, අයියලා දෙන්නයි. අක්කලා හතරදෙනාම කසාද බැඳලා වෙනම ජීවත් වෙන්නේ. ආච්චි අම්මා එක්ක තරහා වෙලා මම ගියේ ලොකු අක්කලාගේ ගෙදර…’ ඇය නිහඬ කිරීමට මෙන්ම සුමනා රණසිංහ නැවත හඬ අවදි කළාය.

‘මේ දරුවට හොඳට ඉංග‍්‍රීසි කතා කරන්න ලියන්න පුළුවන්. ඕමල්පේ පාසලේ ඉගෙනගන්න සෑම දරුවෙක්ටම හොඳ දැනුමක් තියෙනවා. ඕමල්පේ ඉස්කොලේ මේ පළාතේ තියෙන හොඳම පාසලක්. ලබන අවුරුද්දේ විභාගය ලියලා අවසාන වෙනකොට මේ දරුවගේ ජීවිතය ඉදිරියට ගෙනියන්න හොඳ රැකියාවක් ලබාදෙන්න කවුරුහරි ඉදිරිපත් වෙනවා නම් ඒක ගොඩක් වටිනවා…’ සුමනා රණසිංහ මහත්මියගේ ඒ යෝජනාව යහපත්ය. එහෙත් තරුෂිට ඇවැසි කබලෙන් ළිපට වැටීමට නොව වැරැදුණු ජීවිතය නිවැරැදි කරගෙන සමාජයේ යහපත් ලෙස ජීවත්වීමටය. එහෙයින් තරුෂිට උදව් ඇවැසි ඇට, මස්, ලේ ධාතූව වසාගත් රූපයෙන් ප‍්‍රති උපකාර බලාපොරොත්තු වන තවත් කාමතුරයකුගෙන් නොවේ. ශීලාචාර යහපත් පියකුගෙනි.

තරුෂි අප අසලින් ඈත් වන විට පුංචි ගැබිනියක් දෑස් ඉදිරියේ පෙනී සිටියාය. මල් වැටුණු කඩා හැළෙන ගවුමක් හැඳ සිටින ඇය කුස උස්සාගෙන සිටීමට නොහැකි තරමට පුංචිය. කතා කර ගැනීමට ද අපහසු තරම්ය. එහෙයින් අයේෂා සමඟ කතා බහ අවම කර ඇය ගැන සුමනා රණසිංහගෙන් අසා දැනගැනීමට අපි අදහස් කළෙමු.

‘‘මේ දරුවට වයස අවුරුදු දහහතරයි. ගම කෑගල්ලේ. අයේෂා පුංචි කාලේම අම්මා වෙන මිනිහෙක් එක්ක ගිහින්. මේ දරුවා හැදිලා තියෙන්නේ සීයයි, ආච්චී ළඟ. වෙන සහෝදර, සහෝදරියෝ නෑ. මේ දරුව අට වසරට වෙනකම් ඉස්කොලේ ගිහිල්ලත් තියෙනවා. වැඩිවියට පත් වෙලා කරදඬු උස් මහත් වීගෙන එනකොට එක ගෙදර ජීවත් වෙච්ච සීයට මේ දරුවව අමුතු විදිහට පෙනිලා. ඒ කාලකණ්ණි මිනිහට අවස්ථාවක් ලැබෙන සෑම මොහොතකම දරුවට කරදර කරලා. අන්තිමේ ශරීරය වෙනස් වෙනකොට දොස්තර කෙනෙක්ට පෙන්නුවම තමයි අයේෂා අම්මා කෙනෙක් වෙලා කියලා දැනගෙන තියෙන්නේ. මේ දරුව අපේ නිවාසයට ඇවිත් දැන් මාස පහක් වෙනවා. මේ මාසෙ විසි ගණන්වලට තමයි දින තියෙන්නෙ…’’ ඇඹිලිපිටිය විශාකා නිවාසයට අප ගියේ මාර්තු මස මුල් සතියේය. ලිපිය පළ වන මේ මොහොත වන විට අයේෂා අම්මා කෙනෙක් වී ඇති බව අපගේ විශ්වාසයයි. එමෙන්ම මේ පුංචි දැරිවියට ලිංගික අතවර කර මවක් කිරීමේ වරදට කාලකණ්ණි සීයා දැන් ජීවත් වනුයේ සිරගෙදරය.

‘‘අපේ නිවාසයට එන ගොඩක් දරුවෝ අනාථ කරලා තියෙන්නේ සීයලා, බාප්පලා, මාමාලා, තාත්තලා. ආදර සම්බන්ධතාවකින් ගැබිනියක් වෙලා එන ළමයි අඩුයි. ඒ වගේම අපේ නිවාසයට පැමිණෙන හැම දරුවකුගේම අම්මා වෙන කසාදයක් කරගෙන ගෙදරින් ගිහිල්ලා හරි, වෙන මිනිහෙක් ගෙදරට භින්න බස්සගෙන ඉඳලා තියෙනවා. මේ දරුවෝ අනාථ වෙන්න ප‍්‍රධාන අම්මා සහ නොදියුණුබව. ඒ වගේම මේ දරුවෝ සෙනෙහසට හරිම කෑදරයි. මම මේ දරුවෝ තේරුම් ගෙන මවකගේ සෙනෙහස ලබාදෙනවා. මටත් ඒ දරුවෝ පණ වගේ ආදරෙයි. මටත් පවුලක් තියෙනවා. ඒත් මම ගෙදර යන්නෙ කලාතුරකින්. මම කොහේවත් යනවට මේ දරුවෝ කැමති නෑ…’’ ඒ වචන බවට පෙරළුණේ සුමනා රණසිංහගේ හදවතේ රැව්පිළිරැව් දෙන සෙනෙහසය. එමෙන්ම සරණක් ඇවැසි දරුවන්ට ලැබෙන පුංචි හෝ සෙනෙහසත් මහමෙරකි. එහෙත් විශාකා සොඳුරු කැදැල්ලේ දිවි ගෙවන දරුවන්ට සුමනා මිස්ගෙන් ලැබෙන සෙනෙහස සුළු කොට තැකිය නොහැකිය. ඒ දරුවන් සමඟ කතා කරන විට තම පාලිකාවට තිබෙන ගෞරවය අපට වැටහිණි. ඒ ගෞරවය හිමි වනුයේ සුමනා මහත්මිය එම දරුවන්ට දක්වන අසීමිත සෙනෙහස නිසාය.

‘‘මේ නිවාසය පාලනය වෙන්නේ බෝධිරාජ පදනමෙන්. දරුවන්ගේ වගේම ආයතනයේ සියලූ අඩුපාඩු සම්පූර්ණ කරන්නේ එම පදනම මගින්. පින්වන්ත උදවියත් විවිධ පරිත්‍යාග ගෙනැවිත් බාර දෙනවා. ඒ ලැබෙන පරිත්‍යාග ගෞරවාන්විතව පිළිගෙන පුණ්‍යානුමෝදනා කරනවා. අපිට කතා කරලා කැමති කෙනෙකුට මේ දරුවන්ට අවශ්‍ය දේවල් ලබා දෙන්න පුළුවන්. එවැනි පරිත්‍යාග ලැබෙනවා නම් මේ ආයතනය පවත්වාගෙන යෑමට පහසුයි…’’ පින් රැස් කරගැනීමට කැමති ඔබට හැකි පමණින් ඇඹිලිපිටියේ විශාකා නිවාසයේ ජීවත්වන ‘පුංචි අම්මලා’ වෙනුවෙන් සරණක් විය හැකි බව අපි සිහිපත් කරමු. එමෙන්ම විශාඛා කාන්තා නිවාසයේ ඉතිහාසයත්, මෙවැනි සමාජ සුබසාධන කටයුත්තක් කරගෙන යන විට ඇති වන ගැටලූ කාරණා දැනගැනීමට අපගේ කැමත්ත විය. එහෙයින් අපි එම කාන්තා නිවාසයේ නිර්මාතෘ ඇඹිලිපිටිය බෝධිරාජ විහාරස්ථානාධිපති ආචාර්ය ඕමල්පේ සෝභිත ස්වාමීන්වහන්සේ බැහැ දුටුවෙමු.

‘‘ළමා වියේදීම ලිංගික අපචාර සිද්ධිවලට භාජන වෙලා ගැබ් ගන්නා ගැහැනු දරුවන්ව සුරක්‍ෂිතව බලාගන්න තැනක් අපේ රටේ තිබුණේ නෑ. ඒ වගේම රට හැමතැනින්ම මෙවැනි අසරණ දරුවන් බහුල වශයෙන් වාර්තා වෙමින් තිබුණා. ලිංගික හිංසනයට ලක්වෙමින් ගැබිනියන් වන දැරිවියන් තවදුරටත් අසරණ නොකොර නිවැරැදි මඟපෙන්වීමක් යටතේ සමාජගත කිරීම අරමුණු කරගෙන තමයි අපි මේ නිවාසය ආරම්භ කළේ. මේ නිවාසයේ ජාති බේද, ආගම් බේද කිසිවක් නෑ. සිංහල, දෙමළ, මුස්ලිම් සියලූ ජාතීන්වල ළමයි මේ නිවාසයේ ජීවත් වෙනවා. කිසිදු ආගමික බලපෑමක් සිද්ධ වෙන්නේ නෑ. ඔවුනොවුන්ගේ ආගම් අදහමින් සහෝදරියෝ වගේ ජීවත් වෙනවා. තුනුරුවන් සරණින් මේ ආයතනය ආරම්භ කළ දා සිට මේ වෙනකොට දෙසීයකට වැඩි ළමයි සංඛ්‍යාවක් නිවැරැදි මඟපෙන්වීම යටතේ සමාජයට යොමු කරලා තියෙනවා. අවුරුදු දහඅට සම්පූර්ණ වුණාට පසුව, දෙමවුපියන්ගේ කැමැත්තෙන් සමාජගත කළ ළමයි යහපත් අයුරින් ජීවත්වන බවත් අපිට ආරංචියි…’’

‘‘ඒ වගේම මෙවැනි කාන්තා නිවාසයක් පවත්වාගෙන යෑම විශාල වගකීමක්. ලොකු වියදමක්. ඒ දරුවන්ගේ මනස සංවර්ධනය කරන්න ඕනෑ. අම්මට අවශ්‍ය පෝෂ්‍යදායි ආහාර ලබාදෙන්න ඕනෑ. ඉපදෙන දරුවන් රැකබලාගන්න ඕනෑ. අපි මේ සෑම සමාජ සද්කාරයක්ම කරන්නේ ලැබෙන ආධාර මුදල්වලින්. කොරෝනා ප‍්‍රශ්නයත් එක්ක අපිට ලැබුණු ආධාර මුදල් විශාල වශයෙන් අඩු වෙලා තියෙනවා. මේ ළමයි බලාගන්න පාලිකාවට, ඇයගේ සහායිකාවට වේලාවට වැටුපවත් ගෙවාගන්න බැරි වෙලා තියෙනවා. ඒත් මේ වැඩසටහන නතර කරන්න නම් හිතන්නවත් බෑ. සිංහල බෞද්ධ සමාජයේ ළමා ගැබිනියන් බලා කියාගන්න ලංකාවේ තියෙන එකම බෞද්ධ සංවිධානය බෝධිරාජ පදනම විතරයි…’’ අපේ නායක හාමුදුරුවෝ නිහඬ වූහ.

2016 වර්ෂයේ මාර්තු 08 වැනිදා ලෝක කාන්තා දිනයට සමගාමීව ආරම්භ කර ඇති ඇඹිලිපිටිය විශාකා කාන්තා නිවාසය සම්පූර්ණ පාලනය වනුයේ ඇඹිලිපිටිය බෝධිරාජ පදනමෙනි. විශාකා නිවාසයේ ජීවත්වන ළමා මවුවරුන් හට රජයෙන් ලබාදෙන්නේ දිනකට එක් මවකට රුපියල් හැත්තෑපහක මුදලක් පමණි. එක් කාන්තාවකට වේලක් කෑමටවත් එම මුදල ප‍්‍රමාණවත් නැත. එමෙන්ම ගැබිනියක් දරුවකු ප‍්‍රසූත කිරීමට යෑමේදී දැරීමට සිදුවන වියදම අති විශාලය. එම වියදම රජයෙන් ලබා නොදේ. සියලූ වියදම් දරනුයේ බෝධිරාජ පදනමෙනි. එවැනි පසුබිමක මෙවැනි කාන්තා නිවාසයක් පරිපාලනය කිරීම අතිශය භාරදූර කටයුත්තකි. එහෙත් මේ අසරණ ළමා මවුවරුන්ව සුරක්‍ෂිතව රැකබලාගනිමින්, නිවැරැදි මඟ පෙන්වීමක් යටතේ සමාජයට යොමු කිරීමට බෞද්ධ පසුබිමක් යටතේ පවත්වාගෙන යන මෙවැනි කාන්තා නිවාසයක් රටට අවැසිය. ජාතියට සම්පතකි. එහෙයින් තව බොහෝ කාලයක් මේ කාන්තා නිවාසය පවත්වාගෙන යෑමට ඇඹිලිපිටිය බෝධිරාජ පදනමට ශක්තිය ලබාදීම සංවේදී ඔබගේ යුතුකමය…

Divaina

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
17
අවුල් වගේ !
4
හරි හිනා !
2
හම්මෝ !
2
මාර දුකයි !
77
මලපනිනව !
3
කුජීතයි !
2

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්