උප්පැන්නේ නැති ළමයි පිරුණු ඉස්කෝලේ

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයකු වන හිටපු රෙජිස්ට්‍රාර් ජනරාල් එන්. සී. විතානගේ පසුගියදා කියා සිටියේ උප්පැන්න සහතිකයවත් නොමැති පුද්ගලයන් දස ලක්ෂයකට අධික පිරිසක් ලංකාවේ සිටින බවයි. හිටපු රෙජිස්ට්‍රාර් ජෙනරාල්වරයා කියන මේ පිරිසගෙන් අසූ දහසක්ම සිටින්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයේය. ඒ අතර තවත් පනස් දහසකට ආසන්න පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයේද සිටින බවයි ඔහු කියා සිටින්නේ.

කෙනෙකුට ජීවිතයේදී කවදා හෝ ලැබෙන සහතික දෙකක් ඇත්තේය. එයින් එකක් උප්පැන්න සහතිකයයි. අනෙක මරණ සහතිකයයි. නමුත්, ‘උප්පැන්න සහතිකය’ නොමැති දරුවන්ද අකුරු කරන පාසලක් ගැන අපට දැනගැනීමට ලැබුණි. එය රුවන්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අමිතිරිගල ග්‍රාමයේ පිහිටි පල්ලේකණුගල කනිෂ්ඨ විද්‍යාලයයි. අමිතිරිගල මාර්ගයේ සිට පල්ලේකණුගල කනිෂ්ඨයට ඇත්තේ කිලෝමීටර අටක පමණ දුරකි. අප පාසල වෙත ළඟා වන විටත් පාසලේ සිටියේ මෙවර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීමට සිටින සිසු දරු දැරියන් තිහකට ආසන්න පිරිසක් පමණි. පාසලේ කෙළවරම පිහිටා තිබුණේ විදුහල්පති චන්දන තිලකසිරිගේ කාර්යාලයයි. එහි ගිය අපට මුලින්ම කන වැකුණේ පළමුවැනි ශ්‍රේණිය භාර ගුරුවරියක් උප්පැන්නයක් නැති දරුවකු ගැන විදුහල්පතිවරයා සමග කරන මැසිවිල්ලකි. දරුවාගේ මවට කොතෙක් කීවද උප්පැන්නය තවමත් ගෙනත් නුදුන් බව ගුරුවරිය කියන්නීය. විදුහල්පතිවරයා ගුරුතුමියට විසඳුමක් දුන්නේය. ‘‘උප්පැන්නෙ නෑ කියලා පොඩි එකා ගෙදර අරින්න එපා. ඉස්කෝලෙ එන්න කියන්න. උප්පැන්නෙ නැතුවට පොඩි එකා පළි නෑනේ. අන්තිමට ඕක හදලා දෙන්න වෙන්නෙත් මටම තමයි. එහෙමවත් කරමු’’. ඒ විදුහල්පතිවරයාගේ විසඳුමයි.

ඒ කතාව ආසා සිටි අපට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පළමු වසර සඳහා වූ ළමුන් ඇතුළත් කරගැනීම වෙනුවෙන් නිකුත් කර ඇති චක්‍රලේඛය මතක් විය. එහි, පාසලේ දුර, ඉඩම්කඩම්වල ඔප්පුව, ඡන්ද හිමි නාමලේඛනය, දෙමාපිය විවාහ සහතික, දෙමාපියන්ගේ උප්පැන්න සහ දරුවන්ගේ උප්පැන්න සහතික, ස්ථිර පදිංචිය ඔප්පු කරන සහතික වැනි දීර්ඝ ලැයිස්තුවක්ම ඇත්තේය. මේවා සම්පූර්ණ නැති දරුවන්ට ගෙදරට අල්ලපු වැටේ ඇති පාසල වුවත් අහිමි වන අවස්ථා අපි ඕනෑතරම් දැක ඇත්තෙමු.

එවැනි මොහොතක පල්ලේකණුගල කනිෂ්ඨයේ පමණක් ‘උප්පැන්න’ නැති දරුවන් සිටින්නේ කෙසේද?

‘‘මේ වැඩේ අමාත්‍යාංශයෙන් ගහපු චක්‍රලේඛයට විරුද්ධයි නේද? කලාපෙන් ගැටලුවක් වෙන්නේ නැද්ද?” අපි විදුහල්පතිවරයාගෙන් විමසුවෙමු.

ක්ෂණයකින්ම ඔහුගේ මුවඟ නැගුණේ සිනාවකි.

‘‘මේ ඉස්කෝලෙ උප්පැන්නෙ නැති පළමුවැනි දරුවා මෙයා නෙමේ’’ ඔහුගේ පිළිතුර විය.

‘‘කලාපෙන් ගැටලුවක් ආවත් මොනා කරන්නද? වයස හරි නම් ඒ ළමයින්ට ගෙවල්වල නාස්ති වෙන්න දෙන්න බැහැනෙ. ඒ නිසා තමයි අපි ඒ දරුවන්ව උප්පැන්න නැති වුණත් ඉස්කෝලෙට ගෙනල්ලා ‘අ’ යනු ‘ආ’ යනු කියලා දෙන්නේ. අනික මමම මැදිහත් වෙලා උප්පැන්න අරගෙන දුන්නු දරුවෝ මේ පාසලේ පනහක් හැටක්ම ඉන්නවා. ඒ වගේ තවත් අය මේ පාසලෙන් ඉගෙනගෙන හොඳ තැන්වලට ගිහිල්ලත් තියෙනවා.”

මෙලෙස උප්පැන්නයක් නැති දරුවන්ට පල්ලේකණුගල කනිෂ්ඨය පිහිටක් වූයේ අද ඊයේ සිට නම් නොවේ. පාසලේ වසර සියයක ඉතිහාසයේ වසර විස්සකට වඩා කාලයක් තිස්සේ අකුරු කරන්නට පැමිණි උප්පැන්න නැති දරු දැරියන් බොහෝය. ඒත් ඔවුන් පාසලෙන් පිටව ගොස් ඇත්තේ දෙමාපියන්ගෙන් නොලද උප්පැන්න සහතිකයක්ද රැගෙනය. ඒ සඳහා මැදිහත් වී ඇත්තේ වත්මන් විදුහල්පති චන්දන තිලකසිරිය.

1998 දී පල්ලේකණුගල කනිෂ්ඨයට උප ගුරුවරයෙක්ව පැමිණි චන්දන මේවන විට වසර විස්සකට අධික කාලයක් පල්ලේකණුගල කනිෂ්ඨයේම සේවය කරන්නේය. 1998 වසරේදී දේශපාලන විද්‍යාව ඉගැන්වීමට පාසලට එන ඔහුට මුලින්ම සිදුවන්නේ දේශපාලන විද්‍යාව පැත්තකින් තබා පාසලේ දරුවන්ට ක්‍රීඩාව උගැන්වීමටය. එසේ කිරීමට ඔහුට සිදුවූයේ දරුවන් වැඩි වැඩියෙන් පාසලට ආකර්ෂණය කරගැනීමටය. ඒ වනවිට දරුවන් පාසල් ආවේ අවාරයට අඹ වැටෙන්නා සේය. එක්කෝ දෙමාපියන් දරුවන් වත්ත පිටියේ වැඩට සම්බන්ධ කරගෙන තිබිණි. නැතිනම් කසිප්පු පෙරීමට, විකිණීමට, ප්‍රවාහනයට ආදියට යොදාගෙන තිබිණි. අධ්‍යාපනයට වඩා එය වැදගත් සේ සිතූ සෙයකි. මේ අභග්ගයෙන් දරුවන් ගලවා ගතහැකි එකම මාර්ගය ක්‍රීඩාව බැව් කල්පනා කළ ඔහු ක්‍රීඩාවට දරුවන් යොමුකර ගැනීමට කල්පනා කළේය. උපක්‍රමය සාර්ථක විය.

මේ අතර 2006 වසර වනවිට පල්ලේකණුගල කනිෂ්ඨයේ විදුහල්පතිවීමට සිදුවන්නේය. එවකට සිටි විදුහල්පතිවරයාට හදිසියේම පාසල හැරයාමට සිදුවිය. ඒ ගමෙන් ඔහුට විවිධ තර්ජන එල්ලවීම නිසාය. අවසානයේ පාසලේ විදුහල්පතිකම භාර ගැනීමට සිදුවූයේ දේශපාලනය ඉගැන්වීමට විත් ක්‍රීඩාවට අත ගැසූ තිලකසිරි සර්ටය. ඊට හේතුව ඒ වනවිට පාසලේ සිටි එකම පිරිමි ගුරුවරයා ඔහු වීමත්, සෙසු ගුරු මණ්ඩලයේ ඉල්ලීමත් නිසාය.

‘‘මේක මහ කරදරයක් වේවි කියලා එදා මම හිතුවෙ’’ ඔහු කියයි. ඒත් ඔහු වැඩ බලන විදුහල්පතිකම භාරගත් දා සිට ක්‍රීඩාව පාසලේ දරුවන්ගේ ප්‍රියතම විෂයයක් බවට පත් කිරීමට ඔහු කැපවිය. එහි ප්‍රතිඵලයක් ලෙස එම වසරේදීම ජාතික මට්ටමේ තරගාවලියකට සහභාගී වන්නට ඔවුන්ට වාසනාව ලැබිණි. ඒ සඳහා දරුවන්ගේ උප්පැන්න සහතිකය සමග ඔවුන්ගේ තොරතුරු කලාප කාර්යාලයට යැවීමට විදුහල්පතිවරයාට සිදුවිය.

උප්පැන්න සහතික ප්‍රශ්නය මුලින්ම මතු වූයේ එතැනදීය.

‘‘මම ඇත්තටම සතුටු වුණා අපේ ඉස්කෝලේ දරුවන්ට ජාතික මට්ටමේ ක්‍රීඩා තරගවලට සම්බන්ධ වෙන්න පුළුවන් වීම ගැන. එත් ඊට පස්සේ තමයි ප්‍රශ්නේ පටන් ගත්තේ. ඒ දරුවන්ට මම එයාලගේ උප්පැන්න සහතිකය ගෙන්න කියලා කිව්වා. එත් කිහිපදෙනෙක්ට ඇරෙන්න අනෙක් කාටවත් උප්පැන්න සහතික තිබුණෙ නැහැ. එත් මම පුදුම වුණා කොහොමද උප්පැන්න සහතික නැතුව මෙයාලව ඉස්කෝලෙට ගත්තේ කියලා. පස්සේ කරන්න දෙයක් තිබුණෙ නැහැ. ග්‍රාමසේවකට කියලා තාවකාලික උප්පැන්න සහතිකයක් අපි හදා ගත්තා. ඊට පස්සේ තමයි මෙයාලගේ දෙමාපියන් ගාවට ගිහිල්ලා එයාලව බලෙන් වගේ එක්කගෙන ගිහිල්ලා තමයි කොහොමහරි උප්පැන්න හදලා දුන්නේ.”

එදා වගේම අදටත් මේ ගමේ දරුවන්ගෙන් බොහෝ පිරිසකට හරිහමන් උප්පැන්න නැත්තේය. එත් මුලකුරු සමග ගණ පිහිටුවා ලියූ බුහුටි නමක් නම් ඇත්තේය. වර්තමානය වනවිට පල්ලේකණුගල කනිෂ්ඨයේ පාසල් දරු දැරියන් එකසිය අසූ හතරකි. එයින් විසි ගණනකටම තවමත් හරි හැටි උප්පැන්න සහතිකයක් නැත්තේය. ඒ අතර පියාගේ තොරතුරු සඳහන් තීරුවේ ඉරක් ඇති දරුවන්ද වෙති. ඔවුන් කිසිදිනෙක පියා සුදුද, කළුද කියාවත් දැක නැත්තේය.

එපමණක් නොව, සමහර දරුවන්ගේ මවත් පියාත් ඔවුන්ව හැරගොස් වෙනත් විවාහයන් කරගෙනය. අද එම දරුවන්ගේ පිහිට වයසට ගිය ආච්චිට හෝ සීයා පිටට පැවැරී තිබේ.

කෙසේවෙතත්, මේ ආකාරයට උප්පැන්න නොමැති දරුවන් කිහිපදෙනෙකුම මුණ ගැසීමට අපට හැකිවිය. එහිදී, පළමුවැන්නා හමුවන්නේ පල්ලේකණුගල ග්‍රාමයට නුදුරින් පිහිටි තේ වතුයායක ජීවත් වන සඳුනි සංජීවනී ජයසූරියයි. ඇය පල්ලේකණුගල කනිෂ්ඨයේ හයවැනි වසරේ ඉගෙන ගන්නා දැරියකි. ඇයගේ නිවසට යන මොහොතේ ඇයගේ පියා සිටියේ මුළුතැන්ගෙයි දවල් ආහාරය පිසමිනි.

අප දුටු ඔහු සරම දෙපැත්තෙන් අත් පිසදමමින් පැමිණියේ ආ අමුත්තන් කවුරුන්ද කියා විමසමිනි.

‘‘අපි ආවේ උප්පැන්න නැති දරුවෝ හොයාගෙන” මම කීවෙමි.

‘‘ආ… අපේ ළමයි දෙන්නටත් උප්පැන්න නැහැනේ. කොහොමද දන්නේ නැහැ නේද උප්පැන්න ගන්නේ නේද?” ඔහු අප විමසුවේ වැඩි බරක් පතලක් නැතිවමය. ඔහු පී.ඩී. ජයසූරියයි.

‘‘තාත්තට උප්පැන්න තියෙනවද?” අපි ඔහුගෙන් විමසුවෙමු.

‘‘මට නම් තියනවා. ඒත් ළමයින්ගෙ අම්මට නෑ. එයාට අයිඩෙන්ටියවත් නෑනෙ” යැයි ඔහු කීවේය.

‘‘ඇයි ඉතින් නෝනට උප්පැන්නයක් නැත්තෙ?’’

‘‘එයාගේ අම්මයි, තාත්තයි දෙන්නම නැහැ. ඉඳලා තියෙන්නේ නැන්දා කෙනෙක් ගාව. එයා ඉතින් මෙයාගේ උප්පැන්න හදලා නැහැ. අනික එයා දන්නෙත් නැහැ එයාගේ අම්මා තාත්තා කවුද කියලා. ඉතින්, උප්පැන්න නැති නිසා අයිඩෙන්ටිය හදන්න විදිහක් නැහැ. ලොකු ළමයි දෙන්නට නම් උප්පැන්න තියනවා. එත් පොඩිවුන් දෙන්නට තමයි දැන් උප්පැන්න නැත්තේ” යැයි කීවේය.

දරුවන්ගේ උප්පැන්න සහතික නොව දරුවන්ගේ දෙමාපියන්ට කසාද සහතිකයක්ද නැත්තේය.

නමුත් දෙමාපිය කසාද සහතිකය හෝ උප්පැන්න නොමැතිව වැඩිමහල් දරුවන් දෙදෙනාට උප්පැන්න ගත්තේ කෙසේදැයි අප ඔහුගෙන් විමසා සිටියෙමු.

‘‘ඒ කාලේ හිටපු නර්ස් නෝනලා නම් ඔය සහතික ඇහුවේ නැහැ. එයාලා කටින් ඇහුවා ඔයාලා කසාද බැඳලද කියලා. එතකොට මම ඔව් කිව්වා. ඊට පස්සේ උප්පැන්න සහතිකේ ලැබුණා. ඒත් දැන් තමයි හැම සහතිකේම ඉල්ලන්නේ” ජයසූරිය සිය වැඩිමහලු දරුවන්ට උප්පැන්න ලැබුණ හැටිත්, බාල දරුවන්ට නොලැබී ගිය හැටිත් කීවේ එසේය.

ඉන්පසුව, අපට හමුවූයේ චන්ද්‍රා දමයන්ති ප්‍රේමරත්නය. ඇයගේ ජීවිකාව වන්නේ උදේ හයේ සිට දවල් දෙක වනතෙක් රබර් කිරි කැපීමයි. ඒ අතර ඇයගේ සැමියා අන්නාසි කපා ඔවුන්ව ජීවත් කරන්නේය. ඔවුන් දෙදෙනාගේ බාල දරුවා වන දම්සිත් දිසානායකට නම තිබුණත් උප්පැන්නක් නැත්තේය. නමුත්, ඔහුගේ දෙමාපියන්ට කසාද සහතිකයක් ඇත්තේය. උප්පැන්නක්ද ඇත්තේය. එත් ඔවුන් කියන හැටියට දරුවාගේ උප්පැන්න සකස් කිරීමට ඔවුන්ට නැත්තේ කාලයයි.

‘‘පුතා ඉපදුණාට පස්සේ අපිට ඕනකම තිබුණා උප්පැන්න හදන්න. එත් මම රබර් කිරි කපනවා. මහත්තයා අන්නාසි වගාවේ වැඩ. අනික මෙහෙ ඉඳලා හැතැම්ම ගාණක් යන්න ඕනේ ඉස්පිරිතාලෙට. ඒ ගියත් අරක නෑ මේක නෑ කියලා රස්තියාදු කරනවා. ඕකෙන් මේකෙන් වැඩේ කල් ගියා. ඒ විතරක් නොවෙයි අපේ දුවට ගමේ මිනිහෙක් කරදර කරලා තිබුණා. ඒ ප්‍රශ්නත් එක්ක අපිට බැරිවුණා දරුවාගේ උප්පැන්න හදන්න.”

අද වනවිට ඇයගේ පුතාට මෙන්ම දුවගේ දරුවාටත් උප්පැන්න සහතිකයක් නොමැත. එයට හේතුව වන්නේ එම දරුවාට තමන්ගේ නම ලබාදීමට දරුවාගේ පියා අකැමැති වීමයි. මෙවැනි ආකාරයේ සිදුවීම් පල්ලේකණුගල ග්‍රාමයට නුහුරු නුපුරුදු දෙයක් නොවේ. එමෙන්ම, මෙලෙස පියවරුන් නොමැති මව්වරුන් අත්හැර ගිය දරුවන් ඕනෑ තරම් සිය පාසලේ අධ්‍යාපනය ලබන බව විදුහල්පති චන්දන තිලකසිරි කීවේය.

මේ කතාබහ අතරතුර තවත් පියෙකු අප හමුවීමට ආවේ තමන්ගේ දෙවැනි පුතුට උප්පැන්නක් නොමැති බව පවසමිනි. ඔහු තන්ගයියා සුබ්‍රමනියම්ය. ඔවුන් උපතින්ම ඉන්දියානු දෙමළ වැසියන්ය. ඔහුගේ පියා සහ මව ලංකාවට පැමිණ ඇත්තේ එකල ලංකාවේ තේ වතුවල වැඩ කිරීමට ගෙනා කම්කරුවන් ලෙසයි. එසේ පැමිණි තන්ගයියලාට අද ස්ථිර රැකියාවක් නැත. ඔහුගේ බිරිඳ ඇඟලුම් සේවිකාවකි. මේ දෙදෙනාටම දරුවන් දෙදෙනෙක් සිටින අතර බාල දරුවාට පමණක් උප්පැන්න සහතිකයක් තවමත් ලබාගැනීමට නොහැකි වූ බව ඔහු අප සමග කීවේය. අපට මතුවූ ප්‍රශ්නය වූයේ දරුවාට වයස අවුරුදු දොළහක් යනතුරුම උප්පැන්න සහතිකයක් ගැනීමට නොහැකි වූයේ මන්ද යන්නයි.

‘‘ඇත්තටම, අපේ පොඩි පුතා ඉපදෙන්න ඉන්නකොට ගෙදර රණ්ඩුවක් ගිහිල්ලා මම මස්සිනාගේ අත කැපුවා. ඒකෙ නඩුව අවුරුදු ගාණක් තිබුණා. අච්චු කරලා හිරේ හිටියා. ඒවා ඉවර වෙලා ගෙදර එනකොට පුතා ලොකුයි. ඉතින් නෝනට තේරෙන්නෙත් නැහැ උප්පැන්න සහතික ගැන. කොහොම හරි කරලා ලොකු ඉස්කෝලේ මහත්තයා දරුවාව ඉස්කෝලෙට ගත්තා. එයා ශිෂ්‍යත්වෙට ලකුණු එකසිය දහයකුත් ගත්තා. පස්සේ දරුවා ලොකු වෙනකොට තරගවලින් ඉස්සරහට යනකොට උප්පැන්නයක් නැතුව බැහැ කියලා ඉස්කෝලේ මහත්තයා කිව්වා. ඒ නිසා තමයි දැන් අපි මහන්සි වෙන්නේ දරුවට උප්පැන්න හදන්න.”

තමන් අතින් වූ වරදක් නිසා සිය දරුවාට උප්පැන්න සහතිකය අහිමි වීම ගැන දැන් ඔහු සිටින්නේ පසුතැවිල්ලෙනි. නමුත්, ඒ අතපසුවීම නිවැරදි කරගැනීමට අද ඔහු වෙහෙසෙන්නේය. ඒත් අද ඔහුගේ පරහට ඇත්තේ රාජ්‍ය සේවයේ ඇති මන්දගාමී ක්‍රමවේදය බව විදුහල්පති චන්දන තිලකසිරි අප සමග කීවේය.

මෙලෙස උප්පැන්නයක් නැති දරුවන්ට සිප්සතර කියාදෙන විදුහල්පති චන්දන තිලකසිරිගේ ඊළඟ ඉලක්කය වන්නේ පාසලෙන් විශ්‍රාම ගැනීමට දවසක් තියා හෝ මේ දරුවන්ට උප්පැන්න සහතිකයවත් ලබාදීමය.

‘‘මගේ වයස දැන් අවුරුදු පනස් දෙකයි. විශ්‍රාම යන්න තව අවුරුදු අටක් තියනවා. ඒ ටිකෙත් කොහොම හරි කරලා උප්පැන්න නැති දරුවන්ට උප්පැන්න අරගෙන දීලා ලංකාවේ පුරවැසියන් විදිහට සමාජයට යොමු කරන්න තමයි මගේ එකම බලාපොරොත්තුව.”

කෙසේ වෙතත්, ඒ අතරතුර කාලයේදී ඔහුට ගුරු මාරුවක් පැමිණියහොත් කුමක්ද කරන්නේ කියා අපි ඔහුගෙන් විමසුවෙමු.

‘‘මම දන්නා විදිහට මේ කපේට මාව මේ ඉස්කෝලෙන් යවන්නේ නැහැ. අනික කිසිම කෙනෙක් මෙහෙට එන්න කැමැතිත් නැහැ. මෙහෙන් ඉගෙන ගෙන ජීවිත සාර්ථක කරගත්තු දරුවෝ පවා ළඟම ඉස්කෝලේ අමතක කරලා ටවුමේ ඉස්කෝලෙට දරුවෝ යවනවා. එත් කසිප්පු පෙරන්න, ගස් ගෙඩි කඩන්න, ගමේ මිනිස්සුන්ට කරදරයක් වෙන්නේ නැති අය සමාජයට යවන්න ඕනේ නිසා තමයි අපි උප්පැන්න නැති වුණත් එයාලව ඉස්කෝලෙට ගෙනල්ලා උගන්වන්නේ.”

කුරුඳු තැළීම, අන්නාසි කැපීම, රබර් කිරි කැපීම සහ තේ වතුවල දලු නෙළීම තම ජීවිකාව කරගත් පල්ලේකණුගල වැසියන්ගේ අනාගත පරපුර දැනුමෙන් ස්වයංපෝෂිත කිරීමට ඇති එකම මඟ වන්නේ පල්ලේකණුගල කනිෂ්ඨය බව ගම්මුන් කීවෝය. එබැවින් ලොකු ඉස්කෝලේ මහත්තයාගේ පෙරැත්තය නිසාම උප්පැන්න සහතිකය නැතිවුවත් දරුවන්ව පාසලට එවන්නට දෙමාපියන් උත්සුක වන්නේය. එත් අද වනවිට නගරයේ පාසල්වල පන්ති කාමර එකින් එක වැඩි වන්නේය. එත් අන්තිමේදී එයින් සිදුවන්නේ නගරයේ පාසල්වල පන්ති කාමර වැඩි වන වේගයටම ගමේ පාසල් වැසීගෙන යන බව යැයි විදුහල්පති චන්දන තිලකසිරි කීවේය.

හර්ෂණී දිසානායක

උපුටා ගැනීම අරුණ පුවත් පත

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

සතියේ ජනප්‍රියම පුවත්

කොළඹ කෝටිපතියෙකුගේ පුතා රෝහලක උඩුමහලකින් පැන මරුට කැපවෙයි..

කොළඹ කෝටිපති ව්‍යාපාරිකයකුගේ තරුණ පුතකු කොල්ලුපිටිය ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක දස වැනි මහලෙන් බිමට පැන...

රෝහණ විරසිංහ සහ සුනිල් ආරියරත්න ඔස්කා සංවිධානයේ ධුරවලින් ඉල්ලා අස්වෙති

ආචාර්ය රෝහණ වීරසිංහයන් සහ මහාචාර්ය සුනිල් ආරියරත්න මහත්වරුන් ඔස්කා සංවිධානයේ තම ධුරවලින් ඉල්ලා අස්වීමේ...

26 හැවිරිදි චතුරිකාගේ දේහය යළි ගොඩගනී

යක්කල ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි විවාහක කාන්තාවක්ගේ දේහය යළි ගොඩගැනීම සිදු කරනු ලැබුවා. ඇය...

ලස්සන කවියක් කියා මව සමඟ යන්නම ගිය සමනලිය

බිබිල, බදුල්ලගම්මන ප්‍රදේශයේ පදිංචිව සිටි මවක් ඊයේ (21) රාත්‍රියේ සිය තුන් හැවිරිදි දියණිය ද...

උමාරියාගේ ප්‍රකාශය පොලිසියේ අවධානයට (VIDEO)

සමාජයේ විවිධ කේෂ්ත්‍රවල සිටින ජනප්‍රිය පුද්ගලයින් ඉලක්ක කර ගනිමින් සිදුවන අපහාසාත්මක ක්‍රියාවන් දිනෙන් දින...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x