කතරගම ගිහින් දඩ මස් හොයන අයට හීන් දහඩිය දාන කතාවක්

කතරගම ගිහින් දඩ මස් සොයන මිනිසුන්ට හීන් දහඩිය දාන කතාවක් දැන් අපි කියන්නෙමු. 

ඒ කතාව අපට කියන්නේ කැලෑව ආරක්‍ෂා කිරීම වෘත්තිය කරගත් මිනිසුන් සහ ජීවිත ගැටගසාගැනීමට කැලෑව ආදායම් මාර්ගයක් කරගත් මිනිසුන්ය. 

කතාව පෙළගැසෙන්නේ කතරගම කුණු එකතු කරන යාල අභය භූමියේ පිහිටි කුණුගොඩක් අසල සිටය.

එය මහා විශාල කුණුගොඩකි. එහෙත් කතරගම ම කුණු මෙතැන නැත. තවත් මෙවැනිම කුණුගොඩක් යාල කැලෑව තුළ තිබෙන බව අසල සිටි මිනිස්සු අපට කීහ. මුව ආවරණ සිදුරු කරගෙන යන තරමට කුණු ගඳ හමන ඒ කුණුගොඩ ‘බලූ ෆාම්’ එකක් වැනිය. විවිධ වයස්වල බල්ලෝ, බැල්ලියෝ රංචුවක්ම කුණු ගොඩ අරක් ගෙන සිටිති. බලූ පැටව් දුව, පැන සෙල්ලම් කරන අතර, වැඩිහිටි බල්ලෝ, බැල්ලියෝ කුණු කා තැන, තැන වැටී සිටිති. එක බල්ලෙක්වත් කෑම අහේනියෙන් නකුටු වී නැත. එහෙත් කුණු ගොඬේදී ඇස ගැටෙන සෑම බල්ලෙක්ම කුෂ්ට වැළදී, ලොම් හැලී අප්‍රසන්න, පිළිකුල් ස්වභාවයකින් දිස්වේ.

‘‘මෙතැන විතරක් නෙමෙයි, තවත් කුණුගොඩක මේ වගේම බලූ රංචුවක් ජීවත් වෙනවා. කාල, බීල උන් හොඳට ජීවත් වෙනවා. උන්ට හානියක් වුණොත් ඒ කොටින්ගෙන් විතරයි. මේ කුණුගොඩවල් දෙකටම බලූ පැටව් ගෙනත් දාන්නෙ තිස්ස, කතරගම සමහර මස් ජාවාරම්කාරයො. ඒ උන්ට ඕන වුණහම මස් කරන්න…’’ වන සතුන්ට මෙන්ම බල්ලො, බළලූන්ටත් ආදරය කරන සංවේදී තරුණයෙක් අපේ කතාවට එසේ ප්‍රවේශයක් ලබා ගත්තේය.

‘‘කතරගමට සමහර සංචාරකයො එන්නෙ දඩ මස් සොයාගෙන. ඒත් සංචාරකයන් ඉල්ලන තරමට දෙන්න දඩ මස් නෑ. ඒ නිසා බොහෝ කාලයක ඉඳලා දඩ මස් වෙනුවට බලූ මස් දෙනවා. කතරගම උත්සව කාලයට මේ කුණුගොඩවල්වල එක බල්ලෙක්වත් ඉතුරු වෙන්නෙ නෑ. මේක බොහෝම සූක්‍ෂ්මව කෙරෙන ජාවාරමක්. වැඩිපුර කෙරෙන්නේ තිස්ස, කතරගම පාරේදී. දඩ මස් හොයාගෙන එන මිනිස්සු ඒ පාරේ පලතුරු කඩ, තේ කඩ ළඟ නතර කරල දඩ මස් තියෙනවදරෑ කියල ෂේප් එකේ අහනවා. එතකොට පොඩි කඬේ මුදලාලි කඩ පිලේ ඉන්න කෙනෙක්ව පෙන්නලා ‘අන්න අරයගෙන් අහල බලන්න… අපි නම් ඕව කරන්නෙ නෑ…’ යනුවෙන් ඇඟ බේරාගෙන බෝලෙ පාස් කරනවා. ඒ වුණාට වැඬේ වෙන්නෙ සැලසුම්සහගතව. පිලේ හිටිය මනුස්සයත් එක පාරටම දඩ මස් තියෙනව කියල කියන්නෙ නෑ.

‘‘දෙතුන්දෙනෙක් කැලේ ගිහින් තියෙනවා, කතා කරලා බලන්නම්. බඩු තිබුණොත් පණිවිඩයක් දෙන්න මහත්තයලා ෆෝන් නම්බරයක් දීලා යන්න…’’ ඒ මනුස්සයත් ෂේප් උත්තරයක් දෙනවා.

ෆෝන් නම්බරේ දීල යන අයට විනාඩි කිහිපයකින් කෝල් එකක් දීල ‘කැලේ ගිය අය එන ගමන් ඉන්නෙ. ලොකු සතෙක් නම් වැදිල නෑ. පොඩි සතෙක්ගෙ මස් ටිකක් තියෙනවා. මේ දවස්වල මස් හිඟ නිසා ටිකක් මිලයි. රුපියල් දාහක් කියනවා. මහත්තෙලා කැමති නම් කිලෝ තුන, හතරක් ගන්න පුළුවන්…’

‘ගාණ ප්‍රශ්නයක් නෑ. අපිට බඩු ටික ගෙනත් දෙන්න. අපි ඉන්නෙ මෙතැන…’ විනෝද සවාරි එන සමහර අය කීය කිව්වත් දඩ මස් ගන්නවා. පළපුරුදු මස් ජාවාරම්කාරයොත් ඉල්ලූම්කරුවන් එන වාහන, පෙනුම, නිල බලල ගණන් කියනවා.

‘හරි මම පැයක් යන්න කලින් බඩු ටික ගෙනත් දෙන්නම්…’ කියල දුරකථනය විසන්ධි කරන මස් ජාවාරම්කාරයා තව කෙනෙක් එක්ක පිම්මේ මේ කුණු ගොඩකට එනවා. අවශ්‍ය කරන මස් ප්‍රමාණයට බල්ලෙක් බලල අල්ලගෙන කැලේ වතුර තියෙන තැනකට ගිහින් සුද්ධ කරනවා. මේ කුණු ගොඩට ටිකක් ඈතින් මරාපු බල්ලෙක් සුද්ධ කරනකොට බඩුත් එක්ක වනජීවී නිලධාරීන්ට කොටු වෙලා තිබුණා. එතකොටත් බල්ලව පුච්චල හම ගහල තිබිල තියෙන්නේ. පුච්චල හම ගැහුවට පස්සෙ මැක්කො, කිනිතුල්ලො ඉතුරු වෙන්නෙ නෑ. ඔලූව අයින් කරල කකුල් හතර පැත්තකට කළාම කැලේ සතාම තමයි. කෑලි වුණාට පස්සෙ රතු මස් ගොඩක්. හොඳට පර්සල් කරල පරිස්සමට ඉල්ලූම්කරුවන්ට ගිහින් දෙනවා. මස් ටික විතරක් නෙමෙයි, කියන සතාගෙ කුරයකුත් අරගෙන ගිහින් පෙන්වනවා. එහෙම කරන්නේ දඩ මස් කියන විශ්වාසය තවත් තහවුරු කරන්න. එහෙම කරල මස් ටික දීල කුර කෑල්ල නැවත ගන්නවා. වැරැදිලාවත් කුර කෑල්ල දාල යන්නෙ නෑ. මස් නැති නිසා කුරය නරක් නොවී කාලයක් තියාගන්න පුළුවන්. මස් ජාවාරම්කාරයො කුර කෑලි ෆි‍්‍රජ්වල දාගෙන සති ගාණක් තියාගෙන ඉන්නවා. බල්ලා හම ගහල මස් කළාට පස්සෙ හිනි ගඳ ආවොත් ඉත්තෑ මස් කියනවා. සතාගේ නම රහසක් විදිහට තියාගෙන මස් ටික අතට දෙනකොට නම කියන්නෙ ඒකයි. හොඳට දඩ මස් කන අය හැර ඉඳහිට කන අයට මස්වල වෙනස දැනෙන්නෙ නෑ. ෂෝක් මස් ටික කියලා රස කරකර කනවා. හොඳට මිරිස්, තුනපහ වැදිලා තැම්බුණාම, බැදුණම බඬේ අජීර්ණ හැදෙන්නෙත් නෑ…’’

’’ පෙළගැසෙන බලූ මස් කතාවට කාලයක් දඩයම වෘත්තිය කරගෙන සිටි දඩයක්කාරයෙක් ද අඩු වැඩි එකතු කළේය. එහෙත් දැන් ඔහු වසර විසිදෙකක් පමණ දඩයම් කර නැත. ඒ යාල කැලේ දඩයමේ ගිහින් එන අතරේ තුවක්කු කඳක් පත්තු වී කකුලට වැදී ආබාධිතයෙක් වී සිටින නිසාය. එහෙත් ඔහු ආබාධය ජීවිතයේ අවසානය කරගෙන නැත. යාල කැලේ මැද අක්කර තුන හතරක මිරිස්, එළබටු වගාවක් කරගෙන ධෛර්යවන්තව ජීවන ගමන යන්නේය.

‘‘මම දඩයමේ යන්න පටන් ගත්තේ අවුරුදු දහසයේදී විතර. අවුරුදු විස්සක් විතර එක දිගට දඩයම් කළා. ඉස්සර දඩයමේ යනකොට හතර, පස්දෙනෙක් යනවා. හාල්, තුනපහ, හට්ටි, මුට්ටි කදබැඳගෙන කිලෝ මීටර් විස්ස, විසිපහ මහ කැලෑව ඇතුළට ගිය අවස්ථා තිබුණා. දවස් පහ, හය මහ කැලෑවේ හිටියා. රෑට නිදාගන්නෙ ගල් ගෙවල්වල. තුන් වේලටම කෑවේ මසුයි, බතුයි සම්බෝලයි. බිව්වේ ගල් කෙමිවල වතුර. කැලේකට ඇතුළු වුණාම අපිට යන්න තියෙන්නේ සත්තු ගිය පාරවල්වල. එහෙම යනකොට වංගු ගන්නකොට පොල්ලෙන් ගහන්න වගේ සත්තු මුණගැහෙනවා. එක වතාවක් තනි අලියෙක් එළවලා ගිය පස්දෙනා ආත භූත නැතිව දිව්වා. අලියා ගිහින් දවසකට පස්සෙ තමයි අපි පස්දෙනා එකතු වුණේ. අනන්තවත් එවැනි අකරතැබ්බැයන්වලට මුහුණ දීලා තියෙනවා. කැලෑවට ඇතුළු වුණාම ගමට එනකම් ජීවිත ෂුවර් නෑ…’’

‘‘ඒ වගේම පස්, හයදෙනෙක් කැලේට ගියත් ගෙනියන්නෙ එක කොටන තුවක්කුවයි. ඊයම්, වෙඩිබෙහෙත් ටික පරිස්සම් කරගෙන දඩයම් කරගන්න ඕනෑ. දවස් ගාණක් කැලේ ඉඳල මස් වේළගෙන එන නිසා දඩයම් කරන්න ඕනෙත් ගෝන්නු, ඌරො, මුවන් වගේ ලොකු සත්තු විතරයි. අපේ කෑමට පොඩි සතෙක් මරාගෙන, මිරිස් තුනපහට වේළෙන්න උයාගෙන තියාගන්නවා. ලොකු සතෙක් දඩයම් කරගත්තම පීකුද්ද, බඩවත, හදවත, පෙනහලූ ටික අපේ කෑමට ගන්නවා. ඒවා වේළන්න බෑ. ඉතුරු මස් ටික සේරම වේළනවා. දඩයම් කරගන්න සත්තු මස් කරල වේළගන්න එක තමයි පරිස්සමට කරගන්න ඕනෑ. වේළගන්න මස් ටික අපි යන, යන තැනට අරගෙන ගිහින් රෑට ළගින ගල් ගුහාවේ පරිස්සටම තියාගන්නවා. ඒ වගේම මේ යාල කැලෑවේ හත්අටදෙනකුට හොඳට ජීවත් වෙන්න පුළුවන් තරමේ විශාල ගල් ගුහා තියෙනවා. වැහි හතක් වැටුණත් දිය බිඳක් ඒ ගල් ගෙවල්වලට එන්නේ නෑ. මනුස්සයෙක් ඉන්න තැනකට, ගිනිමැලයක් ගහපු තැනකට දවසක්, දෙකක් යනකම් කිසිම සතෙක් කිට්ටු වෙන්නෙත් නෑ…’’

‘‘කළුවර වැටෙනකොට ගල් ගේකට රිංගලා ගිනි මැලයක් පත්තු කරගත්තම රාත්‍රිය අපි සුරක්‍ෂිතයි. දවාලට ඇවිදිනකොට තමයි අනාරක්‍ෂිත. උදේට හොඳට එළිය වැටුණට පස්සෙ අපි වැඩ පටන් ගන්නවා. හිරුඑළියත් එක්ක සත්තුත් එළි පහළියට එනවා. අපේ කුර ගෙවෙනකම් කැලේ ඇවිදින්න ඕන නෑ. අපි කිසිම දවසක රෑට සත්තු දඩයම් කරලා නෑ. රෑ නිදිවරාගෙන, අවදානමක් දරාගෙන දඩයම් කරන්න ඕන නෑ. මහා කැලෑවේ ඇති වෙන්න සත්තු ඉන්නවා. සමහර වෙලාවට සත්තු අපි දැක්කම හොඳට එබිකම් කරමින් බලාගෙන ඉන්නවා. එක රංචුවට ගෝන්නු විසිපහ, තිහ ඉන්නවා. මුවෝ පනහ, හැට ඉන්නවා. ඒ සත්තු හිටිය පළියට සේරටම වෙඩි තියන්න බෑ. හොඳට බලලා වයසක සතෙක් වෙඩි තියාගන්නවා. මුව රෑනකින් අඟ මුවෙක්ට, ගෝනෙක්ට නම් අං තට්ටුව බලලා, අතේ තියෙන ආයුධයෙන් ඉලක්කය ගන්න පුළුවන් දුර ප්‍රමාණවත් නම් ඉලක්කය තීරණය කරනවා. ඒ වගේම සතකුගේ ඇඟ හැමතැනටම වෙඩි තියල වැඩක් නෑ. නිල හඳුනගෙන වෙඩි තියන්න ඕනෑ. කොටන තුවක්කුවේ වෙඩිල්ල යන දුර තීරණය කරන්න පුළුවන් බටේ කට අනුව. සුළඟිල්ල දාන්න පුළුවන් ප්‍රමාණයේ කටවලින් මීටර් තුන්සීයෙන් එහාට ගහන්න පුළුවන්. බටේ කට ලොකු නම් මීටර් පනහක් වගේ තමයි ගහන්න පුළුවන්. ඒ වගේම තුවක්කුවේ තියෙන්නෙ එක උණ්ඩයයි. කෙස් ගහට ඉල්ලකය අරගෙන තියන්නත් ඕනෑ. කුරුමානම වැරැදුණොත් නැවත වෙඩි තියන්න එක සතෙක්වත් ඇස් මානයක නොහිට දුවනවා. දළ ඌරකුට තියපු වෙඩිල්ලක් වැරදුණොත්, වෙඩික්කරු හොයාගෙන සතා එනවම තමයි. ඒ වගේම කුළු හරකට තියලා ඉලක්කය වැරදුණොත් ඌත් එනවා. ඒ නිසා අපි නම් වෙඩිල්ල වරද්දගන්නෙ නෑ. මගේ ඉලක්කය වැරදිලත් නෑ. වෙඩිල්ල වැදිලා සතා වැටුනේ නැතිනම්, තව වෙඩිල්ලක් දාගෙන ඒ සතා පාරෙ ගිහින් බිම දාගන්නවා. මැරිලා කුණු වෙන්න සතාව කැලේට අරින්නෙ නෑ. එහෙම දඩයම් කරල වේළගන්න මස් ටික එන දවසට කදබැඳගෙන එනවා. එදාට සතෙක් දඩයම් වුණොත් අමු මස් ටිකකුත් අරගෙන එන්න පුළුවන්. දවස, දෙක දඩයමේ ගිහින් සත්තු දඩයම් වුණොත් අමු මස් අරගෙන ආවා…’’

‘‘එහෙම දඩයම් කරගෙන වේළගෙන ආපු මස්වලින් භාගයක් විකුණලා, ඉතිරි ටික ගෙදර කෑමට තියාගත්තා. ඇත්තටම අපි දඩයම් කළේ මස් විකුණනවට වඩා කන්න. ඒත් තුවක්කු කඳ පත්තු වෙලා කකුල තුවාල වෙලා අවුරුදු තුනක් විතර එක තැන දුක් වින්දා. මට ඒ දිට්ඨධම්මවේදනීය කර්මයම පටිසම් දුන්නා. ඒ ගැන හිතලා සංසාරයටම දඩයම අතහැරියා. දැන් මාව කන්න පැන්නත් සතෙක්ට නම් හානියක් කරන්නේ නෑ. ඒත් දඩයම අතහැරියට තවම කැලේ අතහැරලා නෑ. අදටත් මේ මහා කැලෑවේ හේන් කරන්නෙ තනියෙන්. යාල කැලේ දරුණුම මණ්ඩිය. මොනවා හරි රත්කරගෙන කාල හැන්දෑවේ හත වෙනකොට උඩ පැළට ගොඩ වෙන්න ඕනෑ. ඒ තරමට අලි. හරි වසයි. අපේ හේනට කිලෝ මීටර් පහක් විතර එහාට මහා කැලෑව ෆාම් එකක් වගෙයි. තණ පිටියේ සත්තු පිරිලා. විවේකයක් තියෙන වේලාවට, කවුරුහරි ආපු වෙලාවට තණ පිටිය පැත්තට ගිහින් බලාගෙන ඉඳල එනවා. නිදහසේ ඉන්න සතකුට හානියක් කරන්න නම් හිතන්නෙවත් නෑ…’’

‘‘දැන් දඩයමේ යන අය ඒ ඉසව්වට යන්නේ නෑ. පස් හයදෙනා ඇවිත් දවස් ගණන් කැලේ ඉන්නෙත් නෑ. පළපුරුදු වෙඩික්කාරයොත් අඩුයි. දැන් දඩයක්කාරයො වැඩිපුර සත්තු මරන්නේ වස, විස කන්න දීලා, උගුල් අටවලා. සමහර සත්තු වස කාලා ගිහින් මහ කැලෑවේ මැරිල වැටිල ඉන්නවා. එතකොට වස දීපු උන්ට කුණවත් නෑ. ඒ වගේම වස දීල මරණ සතුන්ගේ මස් කන අයටත් බලපෑමක් තියෙනවා. සතුන් එන පාර දිගට උගුල් අටවලා ගිහින් දවසක් එන්න පරක්කු වුණොත් උගුල්වල පැටලෙන සතුන් කුණු වෙලා යනවා. මහා අපරාධයක්. හේනෙ ඉඳල ගමට එන සමහර දවස්වලට සත්තු මැරිල කුණු වෙලා ඉන්නව අනන්තවත් දැකල තියෙනවා. ඒ විදිහට සත්තු දඩයම් කරනකොට පැටව් මැරෙනවා. ගෑනු සත්තු මැරෙනවා. මේ දඩයමක් නෙමෙයි. ගෝත්‍රික ජාවාරමක්. ඒ වගේම දැන් දඩයක්කාරයන්ට කැලේට ගිහින් සතෙක් දඩයම් කරගන්න පුළුවන් වුණොත් ඒ මොහොතේම රෙස්ට්ටුරන්ට්කාරයකුට කතා කරල කැලේටම එන්න කියල ගෙඩියටම දෙනවා. සල්ලිවලට කැදෑරකමට ගෙදර කෑමටවත් මස් ටිකක් තියාගන්නේ නෑ. ඒ නිසා තිස්ස, කතරගම සමහර රෙස්ටුරන්ට්වල දඩමස් වරදින්නේ නෑ. ඔය පාර අයින්වල, කඩ පිල් ගානෙ රස්තියාදු වෙන උන්ගෙන් දඩමස් ඉල්ලපු හැටියේ ගන්න මස් නෑ. උන්ට පහසුවෙන් දෙන්න පුළුවන් මේ කුණුගොඩවල්වල බලූ මස්. සල්ලිවලට තියෙන තණ්හාවට මිනිස්සු ගැන හිතන්නේ නැතිව මේ කුණු ගොඩවල මල ජරාව කන කුණු බල්ලො මරල දෙනවා…’’

‘නොදැන ගියොත් අතරමඟය’. කොළඹ සිට පැය හතරකින් පමණ කතරගමට ගමන් කිරීමට හැකි ආකාරයට මාර්ග පහසුකම් දියුණු වී ඇති පසුබිමක දැන් ඒ කියමන වලංගු නැත. මේ කාලයට වලංගු කතාව නම් ‘කතරගම දඩ මස් නොදැන කෑවොත් බලූ මස්ය…’ චීනය, කොරියාව වැනි බලූ මස් කන රටවල ෆාම්වල මසට හදන බල්ලො නොව කතරගම දඩ මස් වෙනුවට දෙන්නේ කුණු ගොඬේ හැදෙන කුෂ්ට වැළඳී පණුවො හැළෙන බල්ලො බව නැවත වරක් මතක් කරන්නේ බඩජාරීන් ගැන දුකක් හිතුණු නිසාය.

තරංග රත්නවීර

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
3
අවුල් වගේ !
1
හරි හිනා !
1
හම්මෝ !
5
මාර දුකයි !
6
මලපනිනව !
1
කුජීතයි !
20

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්