කාමරේ මැද්දේ නිදියගෙන ඉන්න පියදාස දැකපු මට, මාව පාලනය කරගන්න බැරුව ගියා

මිනිස්සු වැරදි පාරේ ගිහින් ජීවිත විනාශ කරගන්නවා.

ඒ වගේම ඒ විදිහට නොසිතූ විදිහට ජීවිත විනාශ කරගෙන හිරගෙදර අපාදුක් විදින ජීවිත ගැන අපිට අහන්න දකින්න ලැබෙනවා.
මේ එවන් සංවේදී ජීවිත කතාවකි.

පොඩි හාමිනේ අලුත් ගෙදර යන්න එන්න පටන් ගත්තේ ඔවුන් එහි පදිංචියට පැමිණි දා සිටය.

දරුවන් දෙදෙනකුගේ මවක වූ පොඩි හාමිනේගේ සැමියා ඇය හැර ගියේ දරුවන් කුඩා වියේදීමය.

එතැන් පටන් ඇය දරුවන් රැකබලාගත්තේ නිවෙස් වල මෙහෙකාරකම් කිරීමෙන් ලැබෙනා තුට්ටු දෙකිනි.
අප්සරා පහළොස් හැවිරිදි වූවාය. වත්සලා දහතුන් හැවිරිදිය. දෙදෙනාම පාසල් ගියේ ගමේ පාසලටය.

අගහිඟකම් වලින් ඔවුන්ගේ ජීවිත පිරී තිබුණද වත්සලා හා අප්සරා සුන්දර පෙනුමකින් යුක්ත වූහ.

ඔවුන් දෙදෙනාම පොඩිහාමිනේ තරුණ වියේ මෙන් හැඩකාර විය.
අලුත් ගෙදර ඇත්තන් බෙහෙවින් පොහොසත් අය වූහ.

කොළඹ සිට ගමට පැමිණි ඔවුන් ගැන ගමේ කා අතරත් කතාබහට ලක්වන්නට වැඩිකල් ගත වූයේ නැත. වයස අවුරුදු හතළිස් දෙකක් තරම් වයසේ පසු වූවද පොඩි හාමිනේ තුළින් වියපත් පෙනුමක් නම් නොපෙනුණි.

අලුත් ගෙදර පදිංචිව සිටියේ මව සහ දියණියන් තිදෙනකු පමණි. ව්‍යාපාර වල නියැලුණු දරුවන්ගේ තාත්තා නිවෙසට ආවේ ගියේ මසකට වරක් පමණි. එහෙත් නිතර දෙවේලේ අලුත් ගෙදරට වාහන වල නැගී කොළඹ උදවිය ඇවිත් ගියහ. ඒ හැම කෙනෙක්ම හොඳීන් කන බොන මැදිවිය ඉක්මවා නොගිය අය විය.

අලුත් ගෙදර ඉවුම් පිහුම් කිරීමට පොඩිහාමිනේට සහය වීමට මැදිවියේ පිරිමියකු ද විය. ඔහු පියදාස ය. පියදාස හා පොඩිහාමිනේ එක් වී අලුත් ගෙදරට යන එන අයට කෑම උයන්නත් ඔවුන්ගේ ඕනෑ එපා කම් පිරිමසාගන්නටත් සූදානම්ව සිටියහ. ඇතැම් දිනවල රෑ දෙගොඩහරි ජාමය වන තුරු අලුත්ගෙදර සාදයන් පැවතිණි.

“සාද කිව්වට ඒ සාදවලට හුඟක් අය ආවේ නැහැ. අම්මයි දූලා තුන්දෙනයි තව පිරිමි දෙතුන් දෙනෙක් විතරයි හිටියේ. දූලා තුන් දෙනා හරි ලස්සනයි.
ඒ ගොල්ලෝ නිතර දෙවේලේ එළියට පෙහෙළියට ගියේ නැහැ. අම්මා නම් අවුරුදු පනහක විතර ගැහැනියක්. වෙලාවකට හිතෙනවා ඒ වගේ කෙනකුට අම්මා කියන්න පුළුවන් ද කියලා. නෝනා කොණ්ඩෙ කොටට කපලා හිටියේ. තොල් රතු කරලා කොටට ඇඳගෙන. දූලා තුන් දෙනාත් ඒවගේ තමයි.

ගෙදර මනුස්සයා නිතර ආවේ ගියේ නෑ. අද එන පිරිමියා නෙමෙයි හෙට එන්නේ.

දූලා ඒ එන පිරිමිත් එක්ක එයාලගේ කාමර වල. එහෙමත් නැත්නම් ඒ ගොල්ලෝ හෙළුවැලි චිත්‍රපට බලනවා. මට නම් මුල ඉඳලම මේ ගොල්ලෝ මේ ජීවත් වෙන හැටි ප්‍රශ්නයක් වෙලා තිබුණේ.
ඒත් මං දරුවො දෙන්නත් එක්ක හරිම අමාරුවෙන් ජීවත් වුණේ.

එයාලට හොඳට ඉගෙන ගන්න පුළුවන්. කරන්න කිසිම දෙයක් නොමැති තැන මං අලුත් අගදර නාඩගම් දිහා බලාගෙන හිටියා.
ඒත් කා එක්කවත් කියන්න ගියේ නැහැ. මට අලුත් ගෙදරින් මාසෙකට විසිදාහක් විතර දුන්නා.

සමහර දවස් වලට මං දරුවන්ට කෑමත් ගෙනිච්චා. දරුවෝ නම් කැමති වුණේ නැහැ අලුත් ගෙදරට යනවට.
අලුත් ගෙදර තිබුණෙ ගම පටන් ගන්නම හරියේ. අපේ පැල්පත තිබුණේ ගම ඇතුළට වෙන්න.
මං හැමදාම හැන්දෑවට ගෙදර ගියා. ඒ දරුවො දෙන්නා තනියම ඉන්න නිසා. ඒත් ලොකු නෝනා කිව්වම රෑට පාටියක් තියෙනවා කියලා එදාට මට රෑ වෙනතුරු එහෙ ඉන්න වෙනවා.
එහෙම දවසට මාව ගෙනැල්ලා ඇරලන්නේ පියදාස අයියා.

පියදාස එක විදිහක මිනිහා. ගෙදර පාටියක් තියෙන දවසට පියදාස අයියත් චුට්ටක් විතර බොනවා.
ඊට පස්සෙ කුස්සියේ ඉන්න මගෙ ළඟට ඇවිල්ලා එහෙන් මෙහෙන් හැප්පි හැප්පි ඉන්නවා.
පියදාස අයියා කසාද බැඳල ද නැද්ද කියන්න මං දැනගෙන හිටියෙ නැහැ. ඒත් එයාට උවමනාව තිබුණා මා එක්ක සම්බන්ධ වෙන්න.

මගේ හිතෙත් පියදාස අයියා ගැන හිතක් තිබුණට මං ඒකට උනන්දු වුණේ නැහැ. මං කොහොමද මගේ දරුවන්ට ලැජ්ජ කරන්නේ? ගමේ මිනිස්සු අලුත් ගෙදර දිහා බලන ඇහෙන්ම තමයි මගෙ දිහාත් බැලුවේ.”
කාලයක් යන කොට මට තේරුණා අලුත් ගෙදර ඉන්නේ අම්මල දූලා නෙවෙයි කියලා.

ඒ ගෙදරට දවසක් අලුත් ළමයෙක් ආවා. ඒ ළමයා ලස්සනයි. හරියට මගේ ලොකු දුවගෙ වයසෙ වගෙයි.
ඒ ළමයා ඇවිත් දවස් දෙක තුනක් යනතුරු ගෙදර කිසිම පාටියක් තිබුණේ නැහැ. සතියකට විතර පස්සේ නෝනා මට කිව්වා පාටියක් තියෙනවා කියලා.

මං රෑ කෑම හදන්න සූදානම් වුණා. එදා අර ගෑනු ළමයා හොඳ ලස්සනට ඇඳලා හිටියා. ඇඳලා හිටියා කිව්වට ඒ ළමයා ඇඳුම් ඇඳලා තිබුණේ ඇඟ බාගෙට පේන්න. එදා ආවා මැදිවියේ මහත්තයෙක්. තව වෙනදා එන දෙතුන් දෙනකුත් ආවා. මට හිතුනා එදා නම් මොනව හරි දෙයක් වෙනවා කියලා. මැදිවියේ මහත්තයා ලොකු නෝනා එක්ක ටිකක් බිව්වා.
ඊට පස්සේ අර අලුත් ගෑනු ළමයා ළඟට කිට්ටු වුණා.

මං කුස්සියේ වැඩ කරන අතර සෝදිසියෙන් හිටියේ. අලුත් ගෑනු ළමයා අර වයසක මහත්තයව මඟ හරින්න ගත්තා. ඒත් ලොකු නෝනා ඒකට ඉඩ දුන්නේ නැහැ. ලොකු නෝනා ඒ ගෑනු ළමයව කුස්සියට ඇදගෙන ආවා. එයාට පුංචි පිස්තෝලයක් පෙන්නල බය කෙරුවා. ගෑනු ළමයා අඬන්න පටන් ගත්තා. මට මතක් වුණේ මගෙ ලොකු දුව. කොහොම හරි කෙල්ල නෝනට අවනත වුණා. එයා අර නාකි මහත්තයා එක්ක කාමරයට ගියා. මට දුක උහුලගන්න බැරි වුණා.”

“දැන් අලුත් ගෙදර ගෑනු ළමයි හතර දෙනයි. දවසින් දෙකින් ගෑනු ළමයි වැඩි වුණා. අලුත් ගෙදර වටේට තිබුණ තාප්පය තව ටිකක් ඉහළට ඉස්සුනා.
මට ඊට පස්සෙ මගෙ කෙල්ලො දෙන්නව අලුත් ගෙදරට ගේන්න හිතුනේ නැහැ.

ඒත් ලොකු නෝනා කිව්වේ කෙල්ලො දෙන්නව ගෙදර ගේන්න කියලා. මං මගෙ අක්කා කෙනකුගේ ගෙදර දූලා දෙන්නව නතර කළා.
ඒ වෙනකොට මට මාසෙකට රුපියල් තිස්දාහක් විතර ලැබුණා. මං මගෙ ගෙදර ගියේම නැහැ. මටත් අලුත් ගෙදර කාමරයක් ලැබුණා. සමහර දවස් වලට පියදාස අයියා හිටියේ මගෙ කාමරේ. එක දවසක් මහ රෑ එකපාරටම කලබලයක් ඇහුණා. පියදාස අයියයි මමයි එළියට බැහැලා බැලුවා.

පොලිසියෙන් ගෙදර වටකරලා. අපි සේරමලා පොලිසියෙන් අල්ලගෙන ගියා. ඒත් ලොකු නෝනා බේරුණා. මට එදානම් ලොකු නෝනත් එක්ක පුදුම තරහක් ආවේ. පහුවදා උසාවියේ දී නෝනා අපිව ඇපදීලා බේරගත්තා.”
“පොලිසියෙන් අල්ලගෙන ගියා කියලා අලුත්ගෙදර කෙරුණු වැඩ නතර වුණේ නැහැ.
අලුත් ගෙදර තවත් අලුත් දේවල් වෙන්න පටන් ගත්තා. අලුත් ගෑනු ළමයි ආවා ගියා.

සමහර දවස් වලට ඇවිත් ඉන්න මහත්වරුන්ගේ කතාවලින් තේරුණා එතන පොලිසියේ අයත් ඉන්න බව.
“මං ඉඳලා හිටලා මගෙ දරුවො බලන්න ගියා. ඒත් ඒ වෙනකොට එයාලා මාව අම්මා විදිහට පිළිගන්න කැමති වුණේ නැහැ. දරුවො දෙන්නම මට හරියට මුහුණ දුන්නේ නැහැ. ඒ වෙනකොට ලොකු දුව කැම්පස් තේරිලා.

පොඩි දුව උසස් පෙළ කරනවා. මගෙ අක්කට දරුවො හිටියෙ නැහැ. එයාලා මගෙ දරුවො දෙන්නව හදාගත්තේ එයාලගෙම දරුවො විදිහට. පස්සේ පස්සේ මං දරුවෝ වෙනුවෙන් වියදම් කරනවටවත් ඒ ගොල්ලෝ කැමති වුණේ නැහැ. අලුත් ගෙදර ජීවිතේට හුරුවෙච්ච මට මගෙ දරුවොත් නැති වුණා.

අන්තිමට අක්කලාගෙ ගෙදර ගිහිල්ලා ආව දවසෙ මං හොඳටම ඇඬුවා. ලොකු නෝනා මගෙන් ඇහැව්වා ප්‍රශ්නයක් ද කියලා. මං මොකුත් කියන්න ගියේ නැහැ. ලොකු නෝනා මට එදා රෑ විස්කි වීදුරුවක් දික් කලා. මං ඒක බිව්වේ හරිම කැමැත්තෙන්. මට ඕනවෙලා තිබුණේ මගේ අතීතය අමතක කරන්න. මං කාමරයට ගිහින් ඇඳට වැටුණා.

පියදාස අයියට මං මගෙ කතාව කිව්වා. ඒ වෙන කොට මගේ දුක සතුට හැම එකම කියන්න මට ඉතිරි වෙලා හිටියේ පියදාස අයියා විතරයි. පියදාස අයියා මං කියන දේ අහගෙන හිටියා විතරයි මොකුත්ම කිව්වේ නැහැ.”
පහුව දා ඉඳලා ආයෙත් සුපුරුදු විදිහට ජීවත් වෙන්න පටන් ගත්තා. “අපි යමු වෙන කොහේ හරි” ඔය අතරෙ පියදාස අයියා මට අලුත් යෝජනාවක් ගෙනාවා. “ගිහිල්ලා මොකද කරන්නේ ?” “අපි ජීවත් වෙමු. උඔට ආයේ බොරු කරන්න ඕන නැහැනේ.

අපි මේ කරන රස්සාව හොඳ නැහැ. ඇත්තටම කිව්වොත් මගෙ අතින් මිනිහෙකුත් මැරිලා තියෙනවා.මම මෙහෙ ඉන්නෙ ඒ නිසා.

ඒත් ඒවා දැන් ඉවරයි. ඔය මොනව හරි කරලා ජීවත් වෙන්න බැරියෑ අපි මෙහෙන් යමු.”
“වැඩිය කතා බහ නොකරන පියදාස අයියත් එක්ක මං අලුත් ගමනක් යන්න පිටත් වුණා.
අපි ආවේ කොළඹට. කොළඹ කිව්වට සුරපුරයකට නෙමෙයි ආවේ. මුඩුක්කු පේළියකට.

ඒ පියදාස අයියා කලින් නතර වෙලා හිටපු තැන. පුංචි කාමරයක අපි නතර වුණා.
එක පාරටම ඒ ජීවිතේට හුරුවෙන්න මට අමාරුවුණා. පියදාස අයියා රස්සාවට මොනව කළා ද කියන්න මං දන්නෙ නැහැ. ඒත් එයා හැමදාම හවසට ගෙදර ආවේ බඩු මල්ලකුත් උස්සගෙන. මට මගේ දරුවො මතක් වුණා. ඒත් ඉතිං වැඩක් නැහැනේ.

මං පියදාස අයියත් එක්ක පවුල් කන්න හුරුවුණා. ඒ ජීවිතේ ගෙවා ගන්න හරිම අමාරුයි. මුලින් මුලින් හොඳට හිටපු පියදාස අයියා පස්සෙ පස්සෙ ගෙදර ආවේ කටගොන්නක් බී ගෙන.”

“ඊට පස්සෙ තමයි මගේ ජීවිතේ අවාසනාවන්තම කාලේ එළැඹුණේ.
මුලින් මුලින් තනියම ගෙදර ආව පියදාස පහුවෙනකොට එක එක ජාතියේ අයව ගෙදරට එක්කගෙන ආවා. එයා මාව ඒ අයට විකුණුවා.

මං ඒ ජීවිතේට හුරු වුණේ හරිම අමාරුවෙන්. අපි අතර ඊට පස්සෙ රණ්ඩු ඇති වුණා. හැමදාම
හැන්දෑවට කවුරුහරි ගෙදර ආවා.
පියදාස කියන්නේ මහ ලැජ්ජ නැති මිනිහෙක් කියලා මම දැනගත්තේ එතකොටයි. එයා මිනීමරුවෙක්. ඊට කලින් එයා කසාද බැඳලා හිටපු ගෑනිට කරලා තියෙන්නෙත් ඔය ටිකමයි. පියදාස අයියා ගැන මම ඔක්කොම විස්තර දැනගත්තා. මට ඒ වෙන කොට එතැනින් පැනලා යන්න ඕන වෙලා තිබුණේ.
ඒත් නොදන්නා කොළඹ රටේ කොහේ යන්නද?

පියදාස කියන්නේ මහ ජරාම මිනිහෙක්. එයා මට තිරිසන් විදිහට මිනිස්සු ඉස්සරහ සැලකුවේ.

එයාගෙ සමහර ක්‍රියා දිහා ඒ එන මිනිසුන් බලාගෙන හිටියේ ආසාවෙන් හිනාවෙවී. මට මේවා ඉවසගන්න බැරිව ගියා. මට මගේ ජීවිතේම නැති වුණ බව දැනෙන කොට ප්‍රමාද වැඩියි. මට මගෙ දරුවෝ නැති වුණා.

මං දවස් ගෙව්වේ හරිම අප්පිරියාවකින්. දවසක් රෑ එළිවෙන තුරු මං කල්පනා කෙරුවා කොහොමද මේකෙන් ගැලවෙන්නේ කියලා. බීලා බීලා ඇඟේ සරමක්වත් නැතිව ලෑලි කාමරේ මැද්දේ නිදියගෙන ඉන්න පියදාස දැකපු මට මගෙ තරහව පාලනය කරගන්න බැරුව ගියා. ගෙවල් පේළියම නිහඬ යි. මං කුස්සියට ගිහිල්ලා මන්නෙ ගෙනැල්ලා පියදාසගේ බෙල්ලට දෑත බදලා ගැහුවා. මං හිතුවා මං ඒ ජීවිතෙන් මිදුනා කියලා. එත් මට නතර වෙන්න වුණේ හිරගෙදර.

සිරගෙදර ගෙවන ජීවිතය සතුටක් නොවූව ද කලක් විඳීන්නට වූ වද වේදනාවන්ගෙන් මිදී ජීවත් වීමට ලැබීම සැනසිල්ලක් ලෙස ඇය දැන් දකියි. එය ඉතාම සතුටක් යැයි සිතන්නේ එබැවිනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
27
අවුල් වගේ !
23
හරි හිනා !
17
හම්මෝ !
28
මාර දුකයි !
350
මලපනිනව !
37
කුජීතයි !
80

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්