Central Bank Central Bank

කිලිනොච්චියෙන් ඇහෙන හද කම්පා කරවන කතාවක ඇත්ත නැත්ත

මීට වසර කිහිපයකට පෙර යුද සමය පැවැති අවධියේ කිලිනොච්චිය පැවැතියේ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ අණසක යටතේය. එම ත්‍රස්ත සංවිධානය ක්‍රියාත්මකව පැවැති සමයේ කිලිනොච්චිය ඔවුන්ගේ හදවත බඳු විය.

ඒ නිසා කිලිනොච්චියේ සෑම අස්සක් මුල්ලක්ම පැවැතියේ එල්.ටී.ටී.ඊ. පාලනය මතය.

කිලිනොච්චියේ ස්කන්ධපුරම් ප්‍රදේශයේද එල්.ටී.ටී.ඊ. කඳවුරු ස්ථාපිත කර තිබිණි. ඒ ආශි්‍රතව පිහිටි මරු පාලම හා ඒ අසලින් ගලායන ඇළ මාර්ගය ඔවුන්ගේ ක්‍රියාකාරකම් බෙහෙවින් සිදුවූ ප්‍රදේශ විය. රජයේ හමුදාවන්ට පහරදීමෙන් අනතුරුව ඝාතනය කරන හමුදා සෙබළු මෙම මැර පාලම මතින් කිඹුලන්ගෙන් ගහන එම ඇළට දැමීමට එල්.ටී.ටී.ඊ. ත්‍රස්තයන් ක්‍රියාකළ බව ඒ අවට වැසියෝ අදත් මතකයට නඟති. මැර පාලම යටින් ගලායන ඇළේ ගැවසෙන යෝධ කිඹුලන් නිසා සමහරු එය “කිඹුල් වළ” ලෙසද හඳුන්වති. ඇළේ ඉවුරු මතට වී අව් රශ්මිය විඳින කිඹුල්ලු රංචු අදත් ඒ අවට ගම්වාසීන්ට දැකගත හැකිවීම නිසා එම ඇළ ආශි්‍රතව දිය නෑමට පවා ඔවුහු දැඩි බියක් දක්වති.

කිඹුලන්ගෙන් ගහන ඇළ මාර්ගයට හා ඊට උඩහින් ඇති මැර පාලම මතට ඉකුත් දින කිලිනොච්චි පොලිසියේ නිලධාරීන් රැස්ව සිටීම ඒ අවට ගම්වාසීන්ට ගෙන දුන්නේ මහත් කුතුහලයකි. ඒ නිසා ඔවුන් අතර නොයෙකුත් කුසුකුසුද පැවතිණ.

“ගෑනියෙක්ව මරලා කිඹුලන්ට කන්න දාලාලු” සමහරු එසේ කියන්නට වූහ. තවත් සමහරු සිදුවී ඇත්තේ කුමක්දැයි නොදැන පොලිස් නිලධාරීන් සිදුකරන රාජකාරිය දෙස නෙත් යොමා සිටියහ. මොහොතකින් දෑතට යකඩ මාංචු දැමූ තරුණයකු නිලධාරීන් දෙදෙනකු විසින් මැර පාලම මතට රැගෙන ආහ. අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා එම තරුණයාගෙන් ඒ මොහොතේදීත් ප්‍රශ්න කළේය.

“කොතැනින්ද ඇළට දැම්මේ”

“මෙතැනින් පහළට සර්”

ඒ සමඟ නිලධාරීන්ගේ දෙනෙත් ඇළ මාර්ගය දෙසට යොමුවිය. මූලස්ථාන පොලිස් පරීක්‍ෂකවරයාගේ උපදෙස් මත නිලධාරීන් කිහිපදෙනකු මැර පාලම යටින් ඇළ මාර්ගයට පිවිසියහ. ඔවුහු කුමක්දෝ සොයමින් ඇළ මාර්ගය දිගේ ගියහ.

“සර්.. පෝර උර දාපු ලොකු බෑග් එකක් වතුරේ තියෙනවා”

නිලධාරියකු ස්ථානාධිපතිවරයාට ඇහෙන සේ කීවේය. පෝර උර කිහිපයකින් වැසුණු එම බෑග තුළ මරා දැමුණු රාජලක්‍ෂ්මීගේ මළකඳ ඇති බව පොලිස් අත්අඩංගුවේ පසුවූ තරුණයා නිලධාරීන්ට කීවේය. ඒ බව තහවුරු කරගත් නිලධාරීන් වහා කිලිනොච්චිය මහෙස්ත්‍රාත් අධිකරණයට මේ සම්බන්ධයෙන් කරුණු වාර්තා කරන්නට විය.

ඒ දැනුම්දීම මත කිලිනොච්චි මහෙස්ත්‍රාත්වරයා කාන්තා සිරුර තිබූ ඇළ අසලට පැමිණ එය නිරීක්‍ෂණය කළේය.

කිලිනොච්චිය රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියාද මැර පාලම අසලට පැමිණ සිටියේය. මහෙස්ත්‍රාත්වරයා ඉදිරියේ පෝර උර විවෘත කෙරිණි. කාන්තා මළසිරුරක් එහි විය. ඇගේ දෙපා නිල් පැහැති තංගුස් ලණුවකින් ගැට ගසා තිබිණි. ඇගේ සිරුර කිසිවකුටත් නොපෙනෙන සේ ආවරණය කිරීම සඳහා ඝාතකයා පෝර උර පහක් පමණ උපයෝගී කරගෙන තිබූ අයුරු නිලධාරීන්ට පැහැදිලිව පෙනිණි. මහෙස්ත්‍රාත් පරීක්‍ෂණය පැවැත්වූයේ ඉන් අනතුරුවය.

මහෙස්ත්‍රාත් පරීක්‍ෂණය අවසානයේ විසිර යන්නට සැරසුණු නිලධාරීන්ට කිසිවකු ඉකි ගසමින් හඬන ශබ්දයක් ඇසිණි. කාගේත් දෙනෙත් ඔහු වෙත යොමු විය.

“සර්… ඔය මරලා ඉන්නේ මගේ නෝනා…” ඔහු ඉකි ගසමින් නිලධාරීන්ට කීවේය.

කිඹුලන්ට කෑම සඳහා මැර පාලම මතින් ඇළට දමා ඇත්තේ රාසේන්ද්‍රම් රාජලක්‍ෂ්මී නමැති හැටහත් හැවිරිදි පස්දරු මවක් බව පොලිසිය තහවුරු කර ගත්තේය. ඇය මරා දැමීම සම්බන්ධයෙන් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබුණේ ක්‍රිශෝරාජ් නමැති තරුණයෙකි. ඔහු විසි දෙහැවිරිදි වියේ පසුවිය. ඔහුගේ බිරියද ඒ වන විට සිටියේ පොලිස් භාරයේය. රාජලක්‍ෂ්මී ඝාතනයට ආධාර අනුබලදීම ඇයට එල්ල වූ චෝදනා විය.

තමා සිගරට් හා බීඩි පානයට හුරුපුරුදු අයකු බවත් ඊට රාජලක්‍ෂ්මී අකැමැත්තෙන් පසුව තමාට ඒ ගැන කියමින් නිතර දෙවේලේ ‍ෙදාස් නඟන්නට වීම නිසා කෝපයට පත් තමා ඇය ඝාතනය කළ බවත් ක්‍රිශෝරාජ් ප්‍රශ්න කිරීමේදී පොලිසිය හමුවේ ඒ වන විටත් පවසා තිබිණි.

වැඩිදුර ප්‍රශ්න කිරීමෙන් පසු රාජලක්‍ෂ්මි ඝාතනයේ සුලමුල අනාවරණය කර ගැනීමට කිලිනොච්චි පොලිසියට හැකිවිය.

රාසේන්ද්‍රම් රාජලක්‍ෂ්මී පදිංචිව සිටියේ එංගලන්තයේ ලන්ඩන් නුවරය. ඒ සිය දරුවන්ද සමඟිනි. එහෙත් ඇගේ සැමියා වූ රාජේන්ද්‍රන් මෙරට ජීවත් විය. ඒ පරන්තන් කුමාරපුරම් ප්‍රදේශයේය. ඔවුන් සතු ඉඩකඩම් හා කුඹුරු රැක බලා ගනිමින් ඔහු ගොවිතැන් කටයුතුවල නිරත විය.

රාජේන්ද්‍රන් සතු ඉඩමක් කිලිනොච්චියේ උදයනගර් ප්‍රදේශයේද පිහිටියේය. රාජලක්‍ෂ්මි ලන්ඩන් සිට මෙරටට පැමිණියේ එම ඉඩම බලා කියා ගැනීම සඳහාය. එහෙත් එම ඉඩමේ ඇයට නවාතැන් ගන්නට තැනක් නොවීය. මේ හේතුව නිසා ඉඩම ආසන්නයේ නිවෙසක් ඇය පදිංචියට තෝරා ගත්තාය. ඒ කුලී පදනම මතය. ඉඩමේ හිමිකාරිය වූයේ පුෂ්පරාණිය. එම ඉඩමේ නිවාස දෙකක් පිහිටා තිබුණද ඉඩමට ඇතුළුවීමට තිබුණේ එක් ගේට්ටුවකි. නිවෙස් දෙක වෙන් කිරීම සඳහා ලීදඬු හා තල් කොළවලින් සමන්විත වැටක් ඉදිකර තිබිණි. නිවාස දෙකෙන් එකක රාජලක්‍ෂ්මී පදිංචිව සිටියාය. එම නිවෙසේ සිට උදයනගර් පිහිටි ඇගේ ඉඩමට දුර කිලෝමීටර් තුනකි. ඒ නිසා ඇයට නිතර දෙවේලේ ඉඩමට යෑමේ හැකියාව තිබුණාය.

ඉඩමේ අනෙක් නිවෙසේ පුෂ්පරාණි පදිංචිව සිටියද නිවෙසේ එක් කාමරයක ක්‍රිශෝරාජ් සිය බිරිය සමඟ ජීවත් වූහ. ක්‍රිශෝරාජ් නිවෙසේ හිමිකාරියගේ ඥාතියෙකි. එහෙත් ඔහු දඩබ්බර ගති පැවැතුම් ඇත්තෙකි. මත්ද්‍රව්‍යද පානය කරන්නෙකි. ඒ බව පුෂ්පරාණි හොඳින් දැන සිටියත් ඥාතීන්ගේ ඉල්ලීම මත නිවෙසේ කාමරයක ලැඟුම් ගන්නට පුෂ්පරාණි ක්‍රිශෝරාජ්ට ඉඩ ලබා දුන්නාය.

කාලය මෙසේ ගෙවී ගියේය. ඒ ඉකුත් දෙසැම්බර් මස 27 වැනිදාය. නිවෙසට බඩු මුට්ටු රැගෙන ඒම සඳහා කිලිනොච්චි නගරයට ගිය පුෂ්පරාණි යළි නිවෙසට පැමිණියේ රාත්‍රි හතට පසුවය. ඉන් පසු ඇය ඊට යාබදව පිහිටි රාජලක්‍ෂ්මීගේ නිවෙසට ගියාය. ඒ රසකැවිලි වගයක් ඇයට දීම සඳහාය. එහෙත් රාජපක්‍ෂ්මී නිවෙසේ නොවීය. ඇය රාජලක්‍ෂ්මීගේ නම කියමින් නිවෙස තුළත් නිවෙස පිටුපසටත් ගියාය. එහෙත් රාජලක්‍ෂ්මී පේනතෙක් මානයක හිටියේ නැත. ඇය ඒ බව ක්‍රිශෝරාජ්ගෙන් හා ඔහුගේ බිරියගෙන්ද විමසුවාය. 

එහෙත් ඔවුන් පැවැසුවේ බොහෝ වේලාවක සිට රාජලක්‍ෂ්මී පෙනෙන්නට නොසිටි බවය. ඇය උදයනගර්හි ඉඩමට යන්නේ නම් ඒ බව තමාට පවසන බව දත් පුෂ්පරාණි රාජලක්‍ෂ්මී සොයන්නට ගත් සියලු උත්සාහයන් අපතේ ගියේය. අවසානයේ පුෂ්පරාණි කිලිනොච්චි පොලිසියට ගියේ රාජලක්‍ෂ්මී නිවෙසින් අතුරුදන් බවට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සඳහාය. පැමිණිල්ල අපරාධ විමර්ශන අංශය වෙත යොමු කෙරිණි. ඉන් අනතුරුව අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක පෙරේරා ඇතුළු කණ්ඩායමක් රාජලක්‍ෂ්මීට සිදුවූයේ කුමක්දැයි සොයා ගන්නා අටියෙන් ඇය පදිංචි අම්බාලකුලම් ප්‍රදේශයට ගියහ.

“අපි රාජලක්‍ෂ්මීගේ ගෙදර සම්පූර්ණයෙන් සෝදිසි කළා. ඒත් ඇය ගැන කිසිම හෝඩුවාවක් තිබුණේ නැහැ. පස්සේ අපි ගෙදර පිටුපස තිබුණු නාන කාමරය පරීක්‍ෂා කළා.” 

“එතැනදී අපිට දකින්නට ලැබුණා නාන කාමරය ඇතුළේ ලේ පැල්ලම් කිහිපයක් තියෙනවා. තවදුරටත් සෝදිසි කරද්දී නාන කාමරයේ මුද්දක් වැටිලා තිබුණා. නාන කාමරයේ ලේ තිබුණු නිසා අපි සැකකළා අතුරුදන් කියලා කියන කාන්තාවට පහරදීමක් හෝ ඒ කාන්තාව මරලා දාලා ඇති කියලා…”

“අපි ඒ කාන්තාව හිටිය ගේ අවට පරීක්‍ෂා කරද්දී ගෙවල් දෙක වෙන් වෙන වැට ගාව කාන්තා සෙරෙප්පු දෙකක් තිබුණා. පස්සේ අපි දැනගත්තා ඒ සෙරෙප්පු දෙක අතුරුදන් වුණු රාජලක්‍ෂ්මීගේ කියලා. ඒ වගේම අපි සැකකළා ඒ ගැනු කෙනාගේ සෙරෙප්පු දෙක වැට ගාව දාලා තියෙන්නේ පරීක්‍ෂණ නොමඟ යවන්න කියලත්.”

විමර්ශන පැවැත් වූ පොලිස් නිලධාරියා කීවේය. නිලධාරීන් ඇය සොයා ඒ අවට පිරික්සුවද ඇය ගැන කිසිදු හෝඩුවාවක් නොවීය. පසුව ගෙහිමි කාන්තාවගෙන් නිලධාරීහු ප්‍රශ්න කළහ. එවිට ඇය කීවේ රාජලක්‍ෂ්මී සතු ඉඩමක් ඊට කිලෝමීටර් තුනක් පමණ දුරින් පිහිටි උදයනගර් ප්‍රදේශයේ ඇති බවත් ඇය එම ඉඩමටවත් ගියාදැයි තමා නොදන්නා බවත්ය. නිලධාරීන් උදයනගර් පිහිටි එම ඉඩම පරීක්‍ෂා කළද රාජලක්‍ෂ්මී එම ඉඩමට පැමිණි බවක් පෙනෙන්නට නොවීය.

එසේ නම් රාජලක්‍ෂ්මීට සිදුවූයේ කුමක්ද? ඇය කිසිවකු විසින් මරා දැමුවේද? යන සැකය නිලධාරීන් තුළ ඒ වන විටත් ඇතිවී තිබිණි.

පොලිස් නිලධාරීහු යළි පුෂ්පරාණිගේ ඉඩමට පැමිණියහ. ඒ නිලධාරීන්ගේ සැකය ඇගේ නිවෙසේ එක් කාමරයක පදිංචි ක්‍රිශෝරාජ් වෙත එල්ලව තිබූ නිසාය. ඒ මෙතරම් දෙයක් සිදුවී තිබුණද ඔහු සිය කාමරයෙන් පිටතට නොපැමිණ එය තුළම රැඳී සිටීම නිසාය.

“අපි කෝකටත් මිනිහගෙන් ප්‍රශ්න කරලා බලමු” පොලිස් පරීක්‍ෂක පෙරේරා සිය සගයන්ට කීවේය. ඒ අනුව නිවෙස තුළ සිටි ක්‍රිශෝරාජ් පොලිස් පරීක්‍ෂකවරයා හමුවට කැඳවනු ලැබීය. පොලිස් පරීක්‍ෂකවරයා ඔහුගෙන් රාජලක්‍ෂ්මී අවසන්වරට දුටු වේලාව ගැන විමසුවේය. එහෙත් ඔහුට ඊට පිළිතුරක් දීමට නොහැකිවිය. ඔහු පොලිස් පරීක්‍ෂකවරයාගේ මුහුණ දෙස නොබලමින් හිස බිමට පහත් කරගෙන සිටියේය. තවදුරටත් රාජලක්‍ෂ්මී ගැන විමසද්දී ඔහුගේ ඇඟිලි තුඩු වෙව්ලන ආකාරය පොලිස් පරීක්‍ෂකවරයාට නිරීක්‍ෂණය විය. ක්‍රිශෝරාජ් කිසියම් දෙයක් සඟවන බව පොලිස් පරීක්‍ෂකවරයාට වැටහිණ.

“හරි… අපි යමුකො පොලිසියට…”

එසේ කී පොලිස් පරීක්‍ෂකවරයා ක්‍රිශෝරාජ් ජීප් රියට දමා ගන්නා ලෙස සෙසු නිලධාරීන්ට කීවේය. ක්‍රිශෝරාජ් කිලිනොච්චි පොලිසියේ අපරාධ විමර්ශන අංශයට රැගෙන ගිය ස්ථානාධිපතිවරයා එහිදී දීර්ඝ වශයෙන් ඔහුගෙන් ප්‍රශ්න කරන්නට විය. ඒ වන විට වේලාව මධ්‍යම රාත්‍රියද ආසන්න විය.

රාජලක්‍ෂ්මී ගැන තොරතුරු විමසමින් ක්‍රිශෝරාජ් වෙත ප්‍රශ්න රැසක් එල්ල කරද්දී තවදුරටත් නිහඬව සිටීමට ක්‍රිශෝරාජ්ට නොහැකි විය. ඔහු හීන්සැරේ මුමුණන්නට විය.

“ඔව්… සර් මම ඒ ගෑනිව මැරුවා”

“ඇයි උඹ එහෙම කළේ”

“මම එදා බීඩියක් බිබී හිටියා. ඒක දැකලා මට ඒ ගෑනි හොඳටම බැන්නා. එයා හැමදාමත් මම සිගරට්, බීඩි බොනවා කියලා බනිනවා. එදා මට කේන්ති ගියා. එතැන තිබුණු උළු කැටයක් අරන් මම එයාගේ ඔළුවට ඒකෙන් ගැහැව්වා”

නිලධාරීන් තවදුරටත් ප්‍රශ්න කරද්දී ඔහු පැවැසුවේ උළු කැටයකින් පහරදී ඇය මරා වත්තේ ඇති ළිඳට ඇගේ සිරුර දැමූ බවය. ඒ අනුව රාජලක්‍ෂ්මීගේ අතුරුදන්වීම ඝාතනයක් බවට තහවුරු කරගත් අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් ඒ බව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාද දැනුවත් කර රාජලක්‍ෂ්මීගේ නිවෙස අපරාධ ස්ථානයක් සේ සලකුණු කොට එම නිවෙසට පොලිස් ආරක්ෂාව යෙදවීය.

පසුව සිද්ධිය කිලිනොච්චි කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරිවරයාටත් නියෝජ්‍ය පොලිස්පති සමුද්‍රජීව හා උතුර පළාත භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් පළිහක්කාර යන මහත්වරුන්ටත් දන්වා ඔවුන්ගේ උපදෙස් ලබාගැනීමටද කටයුතු කෙරිණි. 

කෙසේ වෙතත් පොලිසියේ ඊළඟ උත්සාහය වූයේ මරා දැමුණු රාජලක්‍ෂ්මීගේ සිරුර සොයා ගැනීමය. එය පුෂ්පරාණිගේ වත්තේ පිහිටි ළිඳ තුළ ඇති බව කිශෝරාජ් පැවැසීම නිසා පසුදින උදෑසන එම ළිඳේ වතුර ඉවත් කිරීමට නිලධාරීහු තීරණය කළහ. ඒ වන විට මධ්‍යම රාත්‍රියද ඉක්මවා තිබුණු බැවින් ඒ මොහොතේ ළිඳ ඉසීම දුෂ්කර කාර්යයක් බව නිලධාරීන්ට ඒත්තු ගියේය. 

“ඒත් අපි නිකම් හිටියේ නැහැ. සැකකරු පොලිසියේ රඳවලා අපි ගිහින් දිග ලී ගෙනත් ළිඳ ඇතුළට දාලා සෝදිසි කරලා බැලුවා. ළිඳ ඇතුළේ මළසිරුරක් තියෙනවාද කියලා. ඒත් එහෙම දෙයක් අහුවුණේ නැහැ. ඒ නිසා ක්‍රිශෝරාජ්ගේ ප්‍රකාශය ගැන අපි ටිකක් සැකකළා.” විමර්ශන නිලධාරියා සඳහන් කළේය. 

පසුදාට පහන් විය. ක්‍රිශෝරාජ් පවසන්නේ ඇත්තක් දැයි නිශ්චිත වශයෙන් දැනගැනීමට නිලධාරීන්ට අවශ්‍යව තිබිණි.

“ඒ නිසා අපි එදා උදේත් මිනිහගෙන් නැවත ප්‍රශ්න කරන්න පටන් ගත්තා. දිගින් දිගටම ප්‍රශ්න කළා. අපි කිව්වා අපි ළිඳ බැලුවා එහෙම දෙයක් තිබුණේ නැහැ කියලා. මිනිහා ඒ පාර බය වුණා. පස්සේ මිනිහා කිව්වා මම කිව්වේ බොරු සර්. මම රාජලක්‍ෂ්මීගේ මිනිය මැර පාලමෙන් පහළට දැම්මා කියලා.”

“ඒත් අපිට සැකකරුගේ ප්‍රකාශය ගැන සැකයක් තිබුණා. ඔය මැර පාලම තියෙන්නේ එතැන ඉඳන් කිලෝමීටර 18කට විතර එහා. කෝනාවිල්, අක්කරායනකුලම් පැත්තෙන් ඒ තැනට කිලෝමීටර 18ක් විතර යන්න ඕනේ. ඒ නිසා අපිට මිනිහා කියන කතාව ගැන සැකයකුත් තිබුණා.”

“ඔය මැර පාලම අවුරුදු ගණනාවකට කලින් හදලා තිබුණේ ලීවලින්. ඒ නිසා තමයි ඒ පැත්තේ මිනිස්සු ඕකට මැර පාලම කියලා කියන්නේ. ඒ ප්‍රදේශයේ දෙමළ මිනිස්සු ‘මැර’ කියලා කියන්නේ ලීවලට. දැන් ඒ පාලම කොන්ක්‍රීට්වලින් හදලා තියෙන්නේ.  ඒ පාලම යටින් ගලාගෙන එන ඇළේ කිඹුල්ලු හරියට ඉන්නවා. ඒ නිසා අපි සැක කළා මේ පුද්ගලයා කිඹුලන්ට කන්නවත් හිතාගෙන රාජලක්‍ෂ්මීගේ සිරුර ඇළට දැම්මාවත්ද? කියලා.”

නිලධාරීන් ඒ බව සඟවා ක්‍රිශෝරාජ්ගෙන් විමසුවේ රාජලක්‍ෂ්මීගේ සිරුර මැර පාලමෙන් පහළට දැමීම සඳහා රැගෙන ගියේ කෙසේද යන්නය.

“පස්සේ මිනිහා ඇත්ත කතාවම කිව්වා. රාජලක්‍ෂ්මීගේ ඔළුවට උළු කැටෙන් ගැහැව්වට පස්සේ එයා වැටුණා. පස්සේ එයාව බාත්රූම් එකට ඇදගෙන ඇවිත් ඒ ගෙදරම තිබුණු තංගුස් ලණුවක් අරන් රාජලක්‍ෂ්මීගේ කකුල් දෙක බැඳලා පෝර උරවලට මිනිය දැම්මා කියලා. ඔළුවෙන් පෝර උර තුනක් බස්සලා කකුල් දෙක පැත්තෙන් තවත් පෝර උර දෙකක් දැම්මා කියලත් කිව්වා.”

මෙලෙස පෝර උරවල බහාලු රාජලක්‍ෂ්මීගේ සිරුර නානකාමරය තුළ තිබියදී ක්‍රිශෝරාජ් සිය මිතුරෙකු හමුවීම සඳහා එදින රාත්‍රියේම පිටව ගොස් තිබිණි.

“මට හදිස්සියකට උඹේ ස්කූටිය දීපන්” එලෙස මිතුරාට පැවැසූ ඔහු ස්කූටි බයිසිකලය රැගෙන නැවතත් රාජලක්‍ෂ්මීගේ නිවෙස අසලට පැමිණියේය. ඒ මොහොතේ පුෂ්පරාණි කිලිනොච්චි නගරයට ගොස් සිටි අතර ක්‍රිශෝරාජ්ගේ බිරිය සිය සොහොයුරා මුණගැසීමට ගොස් නැවත නිවෙසට පැමිණ කෑම පිළියෙල කරමින් සිටින්නට වූවාය.

“මිනිහට ඕන වෙලා තිබුණේ රාජලක්‍ෂ්මීගේ සිරුර බයික් එකේ පටවාගෙන ගිහින් ඇළට දාන්න. ඒත් මිනිහට ඒක තනියම කරගන්න බැරිවෙලා තියෙනවා. පස්සේ මිනිහ ගෑනිටත් කතා කරලා තියෙනවා. පෝර උර ඇතුළේ තියෙන මිනිය උස්සලා බයික් එකට දාගන්න. ඒත් ගෑනි මේ මුකුත් දන්නේ නැහැනේ. ගෑනි කියලා තියෙනවා බැහැ කියලා” මේක අල්ලපන් බයික් එකට නැත්නම් උඹගෙත් කකුල් දෙක කඩනවා කියලා තර්ජනය කළාට පස්සේ ගෑනිත් එකතු වෙලා රාජලක්‍ෂ්මීගේ මිනිය ස්කූටි බයික් එකට දාලා තියෙනවා. බයික් එක ඉස්සරහ මිනිය තියාගෙන ඒක කකුල් දෙකට හිරකරගෙන කිලෝමීටර 18ක් විතර ගිහින් මැර පාලම උඩින් මිනිය ඇළට දාලා තියෙන්නේ ඊට පස්සේ.

ඒත් මිනිය වතුර වළට වැටුණේ නැති බව ක්‍රිශෝරාජ්ට තේරුම් ගිහින්, පස්සේ බයික් එක පාලම උඩ නතර කරලා ඇළේ පහළට බැහැලා. රාජලක්‍ෂ්මීගේ මිනිය වතුරට ඇදලා දාලා තමයි මිනිහා එතැනින් ඇවිත් තිබුණේ.”

“ඒ එන ගමන් මිනිහා බයික් එක දෙන්න යාළුවගේ ගෙදරටත් ගිහින් තිබුණා. බයික් එක යාළුවට දුන්නම යාළුවා දැකලා තියෙනවා බයික් එකේ ලේ ගෑවිලා තියෙනවා. ඒ ලේ කොහෙන්ද කියලා අහනකොට ක්‍රිශෝරාජ් කියලා තියෙන්නේ “මම මස් වගයක් ඉස්සරහ තියාගෙන ගෙනාවා. ඒකේ ලේ ගෑවෙන්න ඇති” කියලයි.

ක්‍රිශෝරාජ් එතැනින් සිය කාර්යය අවසන් කළේ නැත. ස්කූටි යතුරුපැදිය  මිතුරාට භාරදුන් ඔහු හනිකට යළි නිවෙසට ආවේය. නිවෙස තුළට ගිය ඔහු නිවෙසේ තිබූ මිරිස් කුඩු පාර්සලයක් අතට ගෙන මිරිස් කුඩු ගෙය වටා ඉසින්නට විය. මෙය බිරියටද මහත් ප්‍රහේලිකාවක් විය.

“මිනිහා එහෙම කළේ හදිසියේවත් රාජලක්‍ෂ්මීව සොයන්න පොලිස් බල්ලා ගෙනාවොත් බල්ලට ඉව ගන්න බැහැ මිරිස් කුඩු ගේ වටේට දාපු නිසා. ඒක දැනගෙන තමයි මිනිහා ගේ වටේට මිරිස් කුඩු ඉස්සේ.”

“අපි ඒ බවක් නොදැන රාජලක්‍ෂ්මීගේ සිරුර හොයාගන්න පොලිස් නිල සුනඛයා ගෙනාවත් සුනඛයා ඉවට ගියේ නැහැ. පස්සේ තමයි දැනගත්තේ සුනඛයාට ඉව නොඑන්න මිරිස් කුඩු ඉහලා කියලා.”

විමර්ශන නිලධාරියා අවධාරණය කළේය.

“කෙසේ වෙතත් රාජලක්‍ෂ්මී ඝාතනය කිරීමෙන් අනතුරුව පොලිසිය නොමඟ යැවීම සඳහා ක්‍රිශෝරාජ් උපක්‍රම කිහිපයක්ම එලෙස භාවිත කර තිබිණි. මියගිය කාන්තාවට අයත් පාවහන් යුගලයද තල්වැට මායිමට ගෙනවිත් දමා තිබුණේද ඔහු විසින් බවටද අනාවරණය විය. 

“ඒ වගේම මිනිහා අපිට මුලින්ම කිව්වේ රාජලක්‍ෂ්මී මරලා වත්තේ ළිඳට දැම්මා කියලනේ. එයා එහෙම කියලා තිබුණේ එකපාරම රාජලක්‍ෂ්මී මරලා මැර පාලමෙන් ඇළට දැම්මා කිව්වා නම් අපි ඒ ගැන හොයනවනේ. එතකොට කිඹුලන්ට රාජලක්‍ෂ්මීගේ සිරුර කන්න වෙලා මදි වෙයි කියලා හිතලා අපේ ගමන ප්‍රමාද කරන්න තමයි බොරුවට ළිඳට මිනිය දැම්මා කියලා අපිව රස්තියාදු කරන්න හැදුවේ.”

පොලිස් පරීක්ෂකවරයා සඳහන් කළේය.

කෙසේ වෙතත් මහෙස්ත්‍රාත්වරයා ඉදිරියේදී රාජලක්‍ෂ්මීගේ මළසිරුර නිරීක්ෂණය කරද්දී කනකර ආභරණ කිසිවක් ඇගේ සිරුරේ නොවීය. ඒ අනුව ඇගේ කනකරවලට සිදුවූයේ කුමක්දැයි යන්න නිලධාරීන්ට මහත් ගැටලුවක් විය. පසුව පොලිසිය ක්‍රිශෝරාජ්ගෙන්ද ඒ ගැන විමසුවේය. එහිදී අනාවරණය වූයේ රාජලක්‍ෂ්මී ඝාතනය කිරීමෙන් අනතුරුව ඇගේ කනකර සැකකරු විසින් ගලවාගෙන ඇති බවය. වැඩිදුරටත් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව රාජලක්‍ෂ්මීගේ සිරුරෙන් ගලවාගත් කරාබු, මුදු හා රන්මාලය ක්‍රිශෝරාජ්ගේ බිරිය විසින් සඟවා තිබියදී සොයාගැනීමට නිලධාරීන්ට හැකිවිය.

“සමහර විට මේ පුද්ගලයා රාජලක්‍ෂ්මීට පහරදීලා ඇත්තේ එයාගේ රත්රන් බඩු ටික කොල්ලකන්න වෙන්න ඇති.”

විමර්ශන නිලධාරීහු සැක පළකරන්නට වූහ. 

සැකකරු විසින් රාජලක්‍ෂ්මී නමැත්තියට පහරදීමට යොදාගත්  උළු කැටය කොටස් දහයකට පමණ කැඩී තිබූ බවත් එම කොටස් නඩු භාණ්ඩ ලෙස පොලිසියට භාරගත් බවත් නිලධාරීහු කීහ.

කිලිනොච්චි අධිකරණ වෛද්‍ය නිලධාරි ආර්. ධනුෂන් මහතා රාජලක්‍ෂ්මීගේ සිරුර සම්බන්ධයෙන් සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී තිබුණේ හිසට එල්ල කළ තදබල පහරදීමකින් සුෂුම්නාව බිඳීමෙන් අන්තර් රුධිර වහනය හේතුව නිසා ඇගේ මරණය සිදුවී ඇති බවය. අපරාධය සිදුකොට පැය 24ක් යන්නටද මත්තෙන් අත්අඩංගුවට ගැනුණු විසි දෙහැවිරිදි ක්‍රිශෝරාජ් හා ඔහුගේ දහනව හැවිරිදි තරුණ බිරිය දිල්විනි කිලිනොච්චි මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ජනවාරි මස 12 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කිලිනොච්චි මහෙස්ත්‍රාත් අලෙක්ස් ඩී. රාජා මහතා නියෝග කෙරිණි.

පොලිස් පරීක්ෂන ඇසුරෙන් ලිපිය සැකසිණි.

 කීර්ති මෙන්ඩිස් 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
2
හරි හිනා !
0
හම්මෝ !
2
මාර දුකයි !
5
මලපනිනව !
1
කුජීතයි !
0

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්