කිසිම කෙනෙක් නොදන්න ගුණාගේ බුම්මාගේ රහස්

මෙරට සිදුවූ ත්‍රස්ත ක්‍රියා සහ අපරාධවලට සම්බන්ධ බොහෝ අපරාධකරුවන් සිටින්නේ රටින් පළාගොස් වෙනත් රටවල්වල සැඟවීය. ඒ අයගෙන් 129කට මේ වන විටත් ජාත්‍යන්තර පොලීසිය මගින් රතු නිවේදන නිකුත් කර ඇත්තේ දුටු තැන අත්අඩංගුවට ගැනීමටය. එම අපරාධකරුවන් 129 දෙනා අතර වැඩි දෙනෙක් සිටින්නේ ත්‍රස්තවාදීන්ගේ ගොන්නට වැටෙන අපරාධකරුවන්ය. ඊට අමතරව වංචා කිරීම්, මිනිස් ඝාතන සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන්ද රතු නිවේදන නිකුත් වූ අපරාධකරුවන් රැසක්ම සිටිති. ඒ අය අතරින්ද පාතාලයට සහ මත්කුඩු ජාවාරමට සම්බන්ධ 25 දෙනෙක්ම එම රතු නිවේදන නිකුත් වූවන් අතර සිටිති. ඒ සියලු දෙනාම පාහේ ශ්‍රී ලංකාව තුළ මත්කුඩු ජාවාරම මෙහෙයවන දැවැන්තයින්ය.

ඩුබායි සිට මෙහෙයවන ලංකාවේ පාතාලය

අපේ රට දැන් මත්කුඩු ජාවාරම්කරුවන්ගේ ජාත්‍යන්තර තිප්පොලක් බවට පත්ව ඇත්තේ මේ අය නිසාය. ඒ අයගෙන් වැඩි දෙනෙක් රැඳී සිටින්නේ එක්සත් එමීර් රාජ්‍යයේ ඩුබායිහීය. මොහොමඩ් මුජහිඩ්, කිරුලපොන මොරිල්, කොස්ගොඩ සුජී, ඇල්ටෝ ධර්මේ, මොහොමඩ් සිද්ධික්, කෙසෙල්වත්තේ දිනුක, ජූඩ් ප්‍රියන්ත ඇතුළු කුඩු රජවරුන් රැසක්ම සිටින්නේ එක්සත් එමීර් රාජ්‍යයේය. තතු දත් තොරතුරු මගින් අනාවරණය වන ආකාරයට අනුව මෙරටින් පළාගොස් එක්සත් එමීර් රාජ්‍යයේ රැඳී සිටින පාතාලයට සහ මත්කුඩු ජාවාරමට සම්බන්ධ වූවෝ ගණන තිහ හතළිහකට වැඩිය. මෙරට පාතාලයේ ගෝඩ් ෆාදර් ලෙස වැජඹුණු මාකදුරේ මධුෂ්, වෙලේ සුදා සහ කංජිපානි ඉම්රාන්ද සිටියේ ඩුබායි හීය. එක්සත් එමීර් රාජ්‍යය හැරුණු කොට කුඩු රජවරු කිහිප දෙනෙක්ම යුරෝපීය රටවල්වලද සැඟව සිටිති. ඒ අතර මෙරට දේශපාලන ක්ෂේත්‍රයේද නිතර නම කියැවෙන්නෙක් වන්නේ කුඩු ලාල්ය. ඔහු සිටින්නේ එංගලන්තයේය. ඊට අමතරව ගොනා කෝවිලේ අංජු සහ කුඩු ලාල්ගේ දකුණු අත බඳු රූබන් සිටින්නේ ප්‍රංශයේය. බොරැල්ල මැගසින් පාරේ ප්‍රදීප්, එස්.ටී.එෆ්. නදුන්, රත්ගම විදුර ඇතුළු තවත් මත්කුඩු ජාවාරමේ නිරතව සිටින පාතාලයේ ප්‍රබලයින් රැසක්ම සිටින්නේ ඉතාලියේය. නම කියූ සැණින් දේශපාලනඥයන් පවා දනින් නැමුණු මෙරට පාතාලයේ ප්‍රබලයෙක් වූ නාවල නිහාල්ගේද කාලයක් නවාතැන්පොළ වූයේද ඉතාලියයි.

ඉන්දියාව අලුත් නවාතැන

මේ අයගෙන් වැඩි දෙනෙක්ම ඔවුන් දැන් රැදී සිටින රටවල්වලට පැන ගන්නේ ඉන්දියාවට බෝට්ටුවෙන් ගොස් එහි සිටය. කළුතර එතනමඩලේදී බන්ධනාගාර බස් රථයකට ප්‍රහාරයක් එල්ලකර ප්‍රබල පාතාල කල්ලි නායකයෙක් වූ සමයං ඇතුළු හත් දෙනෙක් එක පොදියට මරා දැමූ අංගොඩ ලොක්කාත් ලඩියාත් ඇතුළු හය හත්දෙනෙක්ම පැන ගන්නේ ඉන්දියාවටය. අංගොඩ ලොක්කාත් ලඩියාත් ඉන්දියාවේදී කොටුවන්නේද ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයකින් එහි සිට ඩුබායි පනින්නට සූදානම් වූ අවස්ථාවේදීය. අන්තිමේදී අංගොඩ ලොක්කාට සිය ගෝල බාලයින්ගේම සැලසුමකින් මරුතුරුලට යන තෙක්ම රැඳී සිටින්නට සිදුවන්නේ ඉන්දියාවේය. එසේ ඉන්දියාවේ සිටින මෙරට අපරාධකරුවන් ගණනද සුළු පටු නැත. ඇතැම් අපරාධකරුවන් ඉන්දියාවේ රැඳී සිටින බව අපේ රටේ ආරක්ෂක අංශ පවා දන්නේ නැත. වැඩිම කාලයක් ඉන්දියාවේ රැඳී සිටි මෙරට අපරාධකරුවා වූයේ තෙල් බාලාය. මත්කුඩු ජාවාරමේද ආරම්භක පුරුකක් වන ඔහු ඉන්දියාවට පනින්නේ කොළොන්නාව ඛනිජතෙල් ගබඩා සංකීර්ණයට එල්ලවූ එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත ප්‍රහාරයට සහය දීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සූදානම් වන විටදීය. 2018 වසරේදී ඔහු ඉන්දියාවේදී මිය යන්නේ ශෛල්‍යකර්මයක් අතරතුරදීය. ඒ වන විට ඔහු ඉන්දියාවේ ගතකරන්නේ ප්‍රභූ ජීවිතයකි. ඔහු කුලී රථ හිමිකරුවෙක්ද විය. මිය යන විට ඔහු සතුව කුලී රථ 200කට වැඩි ප්‍රමාණයක් තිබී ඇත.
ඉකුත් 31 වෙනිදා චෙන්නායි ගුවන් තොටුපොළේදී එරට පොලීසිය කළ විශේෂ මෙහෙයුමකින් අත්අඩංගුවට ගන්නා කිඹුලා ඇලේ ගුණාද තෙල් බාලාගේ අඩිපාරේ යමින් ඉන්දියාවේ ප්‍රභූ ජීවිතයක් ගත කළ අයෙකි. ඔහුද එරට ටැක්සි ව්‍යාපාරයක හිමිකරුවෙකි. එසේම ඔහුට තමිල්නාඩුවේ චෙන්නායිහී පාපන්දු ක්‍රීඩා සමාජයක හිමිකාරීත්වයද තිබී ඇත. චෙන්නායිහී දේශපාලනඥයන් රැසක්ම ඔහුගේ ගජ මිතුරන්ය.

කිඹුලාඇළ ගුණාගේ පැටිකිරිය

තෙල්බාලා මෙන් ගුණාද ඉන්දියාවේම ජීවත්වන්නට එහි ගිය අයෙකි. ඒ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේදී පාතාලයට එරෙහිව සුදු වෑන් රථ කල්ලියක් ක්‍රියාත්මක වීමෙන් මරණ බිය දැනීය. ඔහු ඉන්දියාවට පළා යන්නේද තනිවම නොව සිය සහෝදරයා වූ සුරේෂ් ඇතුළු ගෝලබාලයින් පිරිවරාගෙනය. ඒ අය අතර මෙරට පාතාලයේ ප්‍රබල චරිතයක් වූ කොට ගාමිණීද සිටියේය.
මෙරටින් ඉන්දියාවට පළා යන මත්කුඩු ජාවාරමේ නිරතව සිටින පාතාලයේ අපරාධකරුවන්ට එරටදී රැකවරණයත් පහසුකමුත් සලසා දෙන්නේ කිඹුලා ඇල ගුණාය. ඉන්දියාවේ සිට වෙනත් රටකට ඒ අයව පන්නන්නේද ගුණාය. ඒ සියල්ලක්ම සිදුවන්නේ ඉහළ මිල ගණන්වලටය.

අතුරුගිරිය ස්ථානාධිපති මරා රටින් පනී

කිඹුලා ඇල ගුණාගේ නමද ජාත්‍යන්තර පොලිස් රතු නිවේදනලාභීන් අතර ඇත්තේය. ඒ 2010 වසරේ අගෝස්තුවේ සිටය. මෙරට පොලිස් තොරතුරු මගින් දැන ගන්නට ඇති අකාරයට අනුව ඔහුගේ නම ජාත්‍යන්තර පොලීසියේ රතු නිවේදන තුළට යන්නේ දෙමටගොඩ පොලීසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපතිවරයාව සිටි ඩග්ලස් නිමල් නැමැති පොලිස් පරීක්ෂකවරයාව සහ ඔහුගේ බිරිඳව අතුරුගිරිය පොරේ ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙනි. එම ද්විත්ව ඝාතනය ඔහු මෙහෙයවන්නේ ඉන්දියාවේ සිට ගෝලබාලයින් යොදාය. ඒ 2006 වසරේදීය.

ගුණාව අල්ලපු හේතුව

ඉන්දියානු තොරතුරු මගින් දැන ගන්නට ඇති ආකාරයට අනුව ඉන්දියානු පොලීසිය කිඹුලා ඇල ගුණාව කොටුකර ගන්නේ ජාත්‍යන්තර පොලීසියේ රතු නිවේදනයට අනුව නම් නොවේ. ඉකුත් වසරේ ඔක්තෝම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට ප්‍රවාහනය කිරීමට සූදානම් කළ හෙරොයින් කිලෝ 300ක පමණ ප්‍රමාණයක් සමග අත්අඩංගුවට ගත් කොට ගාමිණි නැමැති ඔහුගේ ප්‍රධානතම ගෝලයා සම්බන්ධයෙන් කෙරුණු දීර්ඝ විමර්ශනයකට අනුවය. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ වැටලීම් අංශයේ ස්ථානාධිපතිවරයාව සිටි පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීවට වෙඩි තබා ඝාතනය කිරීමට මාකදුරේ මධුෂ්ගේ සැලසුමට අනුව ව්‍යාජ මත්ද්‍රව්‍ය ඔත්තුවක් ලබාදෙමින් ඔහුව රැගෙන යන මොහොමඩ් නවාස් නැමැති අපරාධකරුද ඉන්දියානු පොලීසිය මෑතකදී අත්අඩංගුවට ගන්නේද ඒ අනුවය.

නවාස් ගුණාව පාවාදෙයි

කොට ගාමිණී සිය හාම්පුතා වූ කිඹුලා ඇලේ ගුණාව පාවා නොදුන්නත් මොහොමඩ් නවාස් දැඩි ප්‍රශ්න කිරීම් හමුවේ කිඹුලා ඇල ගුණාව පාවා දුන්නේය. චෙන්නායි පොලීසිය කිඹුලා ඇලේ ගුණා කොටුකර ගැනීමේ මෙහෙයුමක් දියත් කරන්නේ ඒ අනුවය. එම මෙහෙයුම ගැන කල්තියා තොරතුරු දැන ගන්නා ගුණා සූදානම් වන්නේ සිය පුතා සහ ගෝලබාලයින්ද සමග ටික දිනකට චෙන්නායිවලින් ඈතට යන්නටය. ඔවුන් සූදානම් වන්නේ දිල්ලියට පනින්නටය. චෙන්නායි පොලිස් ඇසට වැලි ගසා ඔහුට එදා දිල්ලියට පැන ගන්නට ඉඩක් නොවීය. ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට පත්වන්නේ කල්තියාම චෙන්නායි පොලීසිය ඒ බව දැන සිටි නිසාය. එහිදී අත්අඩංගුවට ගන්නේ ගුණාව පමණක් නොවේ. ගුණා සමග දිල්ලියට පැනගන්නට සූදානමින් සිටි ඔහුගේ පුතා ඇතුළු සිව් දෙනෙක්ම අත්අඩංගුවට ගත්තේය. ඒ අතර පාතාලයට එක්ව සිටි එල්.ටී.ටී.ඊ.යේ වෙඩික්කරුවෙක් වූ බුම්මා නොහොත් කෙනඩිද සිටියේය. ඊට අමතරව ගුණාගේ බොඩි ගාඩ් ලෙස කටයුතු කළ ප්‍රභාහරන් නැමැති තවත් එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙක්ද සිටියේය.

මේ අය අත්අඩංගුවට ගැනීමේ තොරතුර මෙරටට ලැබෙන්නේ ඊට පසුදිනය. ඒ සම්බන්ධයෙන් අපේ රටේ මහජන ආරක්ෂක ඇමති රියර් අද්මිරාල් සරත් වීරසේකර මාධ්‍ය හමුවක්ද පවත්වමින් ඔවුන්ව අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඉන්දීය බලධාරීන්ට ස්තූතිය පුදකරනු ලබන්නේ එම මෙහෙයුමට අපේ රටේද දායකත්වයක් ඇති බවට හැඟී යන යම් ප්‍රකාශයක්ද කරමිනි. එසේම අත්අඩංගුවට ගත් ගුණා ඇතුළු පිරිස මෙරටට ගෙන්වා ගැනීමට පියවර ගන්නා බවට ඉඟියක්ද එහිදී ඇමතිවරයා කළේය.

ගුණා ලංකාවට දෙයිද?

සරත් වීරසේකර ඇමතිවරයා එසේ ඉඟි කළත් සැබෑ ලෙසම කිඹුලා ඇල ගුණා ඇතුළු ඒ අල්ලාගත් එම අපරාධකරුවන් මෙරටට ඉන්දියාව විසින් භාර දෙනු ඇතැයි විශ්වාස කළ නොහැකිය. කිඹුලා ඇල ගුණා හැරුණු කොට අත්අඩංගුවට ගත් සෙසු කිසිවෙකුටත් ජාත්‍යන්තර පොලිස් රතු නිවේදන නිකුත් වී නැත. රතු නිවේදනයට අනුව අපරාධකරුවන් හුවමාරුවක් සිදුවන්නේ නම් මෙරටට ලැබෙන්නේ කිඹුලා ඇල ගුණා පමණි. එහෙත් ගුණාව චෙන්නායි පොලීසිය අත්අඩංගුවට ගන්නේ එරට සිදුවුණු මත්කුඩු ජාවාරමක් සම්බන්ධයෙන් මිස ශ්‍රී ලංකාවට අවශ්‍ය අපරාධකරුවෙක් නිසා නොවේ. එබැවින් ගුණාව හෝ සෙසු සැකකරුවන් චෙන්නායි පොලීසිය විසින් මෙරටට භාර දෙනු ඇතැයි විශ්වාස කළ නොහැකිය.

රතු වරෙන්තුවක් නිකුත් කර තිබියදී කිඹුලා ඇල ගුණාව අත්අඩංගුවට ගන්නා පළමු අවස්ථාව වන්නේ මෙය නොවේ. ඉන්දියාවේදී මෙයට පෙර අවස්ථා කිහිපයකදීම ඔහුව පොලිස් අත්අඩංගුවට පත්ව ඇත. ඉන්දියාවේද ඇති දේශපාලන හයි හත්තිය හේතුවෙන් ඔහු වැඩි කල් හිරේ විලංගුවේ වැටී සිටියේ නැත. වරක් ඔහුව ඉන්දියානු මත්ද්‍රව්‍ය කාර්යාංශය අත්අඩංගුවට ගන්නේ තූත්තුකුඩියේදීය. ඒ ඔහු විසින් සංවිධානය කළ පාපන්දු තරගාවලියක් අතරතුරදීය.
සමයං ඝාතනයෙන් පසු ඉන්දියාවට පැනගත් අංගොඩ ලොක්කාත් ලඩියාත් ඩුබායි පනින්නට ගිය අවස්ථාවේදී චෙන්නායි ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගත්තද ඔවුන් දෙදෙනාව කොතරම් ඉල්ලා සිටියත් අපට භාරදුන්නේ නැත. අංගොඩ ලොක්කා මැරෙන්නේත් ඉන්දියාවේදීය. ලඩියා තවමත් සිටින්නේද ඉන්දියාවේය. බ්ලූමැන්ඩල් සංඛද මිනිස් ඝාතනයක් කර ඉන්දියාවට පළාගොස් සිටියදී රාමේෂ්වරන්හීදී ඉන්දියානු පොලීසිය අත්අඩංගුවට ගත්තේය. ඒ බව එරට මාධ්‍ය මගින්ද වාර්තා කළේය. ඒ අනුව ඔහුවද මෙරටට ඉල්ලා සිටියේ මිනිස් ඝාතන ඇතුළු අපරාධ ගොන්නක සැකකරුවෙක් වූ නිසාය. එහෙත් ඔහුව අපට භාරදුන්නේද නැත. එරට අධිකරණයකට ඉදිරිපත් කර නිදහස් කළේය. ඔහු ටික කාලයක් ඉන්දියාවේ රැඳී සිට පසුව නැවතත් ඉන්දියාවට ගිය විදිහටම මෙරටට බෝට්ටුවක නැගී ආවේය. අධිකරණයට භාරවන්නේ වරෙන්තුවකටය. ඒ අනුව දැන් ඔහු සිටින්නේ හිර ගෙදරය.

මධූෂ්ගේ පාරේ යවයි කියා බියවෙලා…

රංගජීව ඝාතන කුමන්ත්‍රණයේ වැඩකරුවෙක් වූ මොහොමඩ් නවාස්ද දැන් සිටින්නේ ඉන්දියානු පොලිස් අත්අඩංගුවේය. ඔහුවත් අපිට දෙන පාටක් පෙනෙන්නට නැති තරම්ය. කලකට ඉහතදී එස්.ටී.එෆ්. නදුන් නැමැති පාතාල අපරාධකරුව ඉතාලි පොලීසිය අත්අඩංගුවට ගත්තේය. ඒ ශ්‍රී ලාංකිකයෙක් විසින් ඉතාලියේ පවත්වගෙන යන වෙළෙඳ සැලකින් කප්පම් ගැනීමක් සම්බන්ධයෙන් එරට පොලීසිය කළ විමර්ශනයකට අදාළවය. රතු නිවේදනයක් නිකුත්කර තිබුණත් ඉතාලිය ඔහුව අපට භාරදුන්නේ නැත. ඒ තමාව ආයුධ පෙන්වන්නට ගොස් ලංකාවේදී මරා දමාවි යැයි එරට අධිකරණයට කළ අභියාචනාවකට අනුවය.
මෑතකදී අබුඩාබි පොලීසිය මගින් එරට රැඳී සිටින මෙරට මත්කුඩු ජාවාරමට සම්බන්ධ පාතාලයේ ප්‍රබලයෙක් වන ගොනා කෝවිලේ ධර්මේ නොහොත් ඇල්ටෝ ධර්මේ නැමැත්තාව අත්අඩංගුවට ගත්තේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනංජය සිල්වාගේ පියාගේ ඝාතනයට වගකිව යුතු ඔහුට එරෙහිවද ජාත්‍යන්තර පොලීසියෙන් රතු නිවේදනයක් නිකුත් කර ඇත්තේ දුටු තැන අත්අඩංගුවට ගන්නටය. එහෙත් ඔහුව අඩුබාබි පොලීසිය අත්අඩංගුවට ගන්නේ එම රතු නිවේදනයට නොව වීසා සම්බන්ධයෙන් සහ සැකසහිත ලෙස විශාල මුදලක් සන්තකයේ තබා ගැනීම හා සම්බන්ධයෙනි. ජාත්‍යන්තර පොලීසියේ රතු නිවේදනයට අනුව ඔහුව අබුඩාබි පොලීසියෙන් අපේ රටට ලබාදෙන ලෙස ඉල්ලා සිටියත් එය සිදුවන්නේ නැත. අත්අඩංගුවට ගෙන සතිදෙකක් ඉක්ම යන්නටත් මත්තෙන් ඔහු නිදහස ලැබුවේය. ඒ ශ්‍රී ලංකාවට භාරදුනහොත් තමාව මරා දමාවි යැයි අභියාචනයක් ඉදිරිපත් කරමිනි.

මධූෂ් මැරුණේ කොහොමද?

මේ ආකාරයට විදෙස්ගතව සිටින අපරාධකරුවන්ට අද මෙවන් අවස්ථාවක් උදාවී ඇත්තේ මාකඳුරේ මධුෂ්ගේ අභිරහස් ඝාතනයයි. 2019 වසරේ පෙබරවාරි 04 වෙනිදා ඩුබායිහීදී සිය දියණියගේ උපන්දින සාදයේදී අත්අඩංගුවට ගත් මාකදුරේ මධුෂ් මෙරටට භාරදීමට ඩුබායි බලධාරීන් පියවර ගන්නේ දිගින් දිගටම රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් එරටින් කළ ඉල්ලීම් සලකා බලාය. එවකට සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එක්සත් එමීර් රාජ්‍ය නායකයාගෙන් මධුෂ්ව මෙරටට භාරදෙන ලෙසට පුද්ගලිකවම ඉල්ලීමක් කර තිබුණේය. එසේම එවකට සිටි විදේශ කටයුතු ඇමති තිලක් මාරපනද එරට විදේශ කටයුතු ඇමතිවරයා මුණගැසී මධුෂ්ව මෙරටට භාරදෙන ලෙසට විශේෂ ඉල්ලීමක්ද කළේය. ඒ ගමනට නීතිපති දෙපාර්තමේන්තුවේද නිලධාරීන් සම්බන්ධව සිටියේය. මෛත්‍රීපාල ජනාධිපති ඝාතන සැලසුමක්, වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඝාතන සැලසුමක් ඇතුළු අපරාධ ගොන්නක්ම ඔහුට එරෙහිව ඇති බව කීවේය. මෙරටින් කෙරුණු දැඩි ඉල්ලීම් මත මධුෂ්ව භාරදෙන්නේ තමාව ශ්‍රී ලංකාවේදී මරා දමනු ඇති බැවින් ඩුබායිහීම තබා ගන්නා ලෙසට ඔහු එරට අධිකරණයෙන්ද ඉල්ලීමක් කර තිබියදීය. ඒ කියූ ආකාරයටම මාකදුරේ මධුෂ් මෙරටදී ඝාතනය වන්නේ පොලිස් අත්අඩංගුවේ සිටියදීය. වසර එකහාමාරක්ම ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන සිටියත් ඒ කාලය තුළ මධුෂ්ගෙන් හෙළිකර ගත් දෙයක්ද නැත. මධුෂ්ට එරෙහිව පැවරූ අපරාධ නඩුවක්ද නැත. සිදුවන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අත්අඩංගුවේ සිටි මධුෂ්ව කොළඹ අපරාධ කොට්ඨාස භාරයට ගෙන දින දෙක තුනකින් අභිරහස් ලෙස ඝාතනය වීමය. ඇල්ටෝ ධර්මේට නිදහසට මග පෑදෙන්නේ ද වෙන කිසිවක් නොව, මාකදුරේ මධුෂ්ගේ ඝාතනයයි. ඒ අනුව අපේ රටේ කරන තරම් අපරාධකර පිටරටවල්වලට පළාගොස් දුරකතනයෙන් තවදුරටත් අපරාධ මෙහෙයවමින් සිටින පාතාලයේ සහ මත්කුඩු ජාවාරමේ දැවැන්තයන්ට මාකදුරේ මධුෂ්ගේ මරණය පත්ව ඇත්තේ රැකවරණයක් බවටය.

සින්නයියා ගුණසේකරන් නොහොත් කිඹුලා ඇල ගුණා

කිඹුලා ඇල ගුණාගේ ඉතිහාසය පිරික්සීමේදී පෙනී යන්නේ ඔහු මෝදර පැත්තේ කුණුකාණුවලට මුසුවූ ඉන්ධන ගෝනි දමා පෙරා ඒවා අලෙවි කිරීමේ ව්‍යාපාරය නිරතවූවෙක් ලෙසිනි. තෙල්බාලාගේද ආරම්භය වූයේ එයයි. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ වැටලීම් අංශයේ ස්ථානාධිපතිවරයාව සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව සිය ෆේස් බුක් ගිණුමේ තබා ඇති සටහනකට අනුව නම් කිඹුලා ඇල ගුණාගේ පරම්පරාවේ කොළඹ ආගමනය සිදුවන්නේ මධ්‍යම කඳුකරයේ සිට බවය. කිඹුලා ඇල ගුණා යැයි කියන්නේ ඔහුට පාතාල ලෝකයේ භෞතිස්ම කර ඇති නාමයයි. ඔහුට මාපියන් තබා ඇත්තේ සින්නයියා ගුණසේකරන් යැයි කියාය. සින්නයියා යනු පෙළපත් නාමයයි. ගුණසේකරන් යැයි කියන්නේ ඔහුගේ නමයි. එහෙත් ඔහුට කුඩා කල සිට අමතා ඇත්තේ ගුණා යැයි කියාය. ඔහු කිඹුලා ඇල ගුණා වන්නේ මෝදර කිඹුලා ඇල කේන්ද්‍රකරගෙන පාතාල කටයුතු ක්‍රියාත්මක වූ බැවිනි. එම නාමය ඔහුට භෞතිස්ම කරන්නේ පොලීසියයි.

කොළඹ එන්නේ වැසිකිළි හෝදන්න

නියෝමාල් රංගජීවගේ විග්‍රහයට අනුව සින්නයියලා වතුකරයේ සිට කොළඹට එන්නේ රැකියාවක් ලෙස පොදු වැසිකිලි සෝදන්නටය. ඒ අතර ඔවුන් එකල පැවැති බාල්දි වැසිකිළිවල රැස්වන මළපහ එකතු කරන කරත්තවලද වැඩ කර ඇත. බාල්දි වැසිකිළි ඉවත්ව යාමත් සමග සින්නයියලාට කරන්නට සිදුවන්නේ වැසිකිළි පිරිසිදු කරන්නට පමණි. එබැවින් ඔවුන් අමතර ආදායමක් සොයා ගන්නට කොළඹ වගුරුබිමි ආශ්‍රිතව පිහිටි කීර කොටුවල රැකියාවේද නිරත වන්නට ගත්තේය. එකල බාල්දි වැසිකිළිවල රැස්වන මළ පහ බැහැර කරන්නට වූයේ මෝදර පැත්තේ තැන් කිහිපයකටය. සින්නයියලාගේ ජනාවාස පිහිටියේද ඒ කිට්ටුව පාතය. කිඹුලා ඇලද එසේ සින්නයියලාගේ ජනාවාස පිහිටි ප්‍රදේශයක් විය.

කොටි එක්ක ලින්ක් එක හදා ගනී

කිඹුලා ඇල ගුණාද ඒ සින්නයියා පරපුරේ සාමාජිකයෙකි. ඔහුට සහෝදර සහෝදරියන් කිහිප දෙනෙක්ම සිටිති. ඒ අය පවා යැපෙන්නේ ගුණාගෙනි. දෙමළ ජාතිකයෙක් වූ බැවින් ගුණාට එල්.ටී.ටී.ඊ.යේ සම්බන්ධකම්ද නොඅඩුව තිබුණේය. ඔත්තු බලන්නට කොළඹට එන එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ට මුල් කාලයේ රැකවරණය ලැබුණේ ගුණාගෙනි. ඒ වෙනුවට ගුණාට එල්.ටී.ටී.ඊ.යෙන් කෘත ගුණ සලකන්නේ ගිනි අවි මෙන්ම සිංහල තරුණයින් විනාශ කිරීමට මත්කුඩු තොග වශයෙන් ලබාදෙමිනි. තතුදත් තොරතුරුවලට අනුව මෙරට මත්කුඩු ජාවාරමේ ආරම්භක පුරුක් අතර ගුණාගේ නමද ඇත්තේ ඉහළින්ය. එකල අද මෙන් කිලෝ සිය ගණනින් පකිස්තානයේ සිට නෞකා මගින් මත්කුඩු ගෙන ආවේ නැත. සියල්ල සිදුවූයේ ඉන්දියාව හරහාය. ගුණා මත්කුඩු ජාවාරමෙන් බලවත් වන්නේ එල්.ටී.ටී.ඊ.ය හරහා ඔහු ඉන්දියානු මත්කුඩු ජාවාරම්කරුවන් සමග ඇතිකරගන්නා සම්බන්ධකම් හේතුවෙනි. ගුණාව ඉන්දියාවේදි අත්අඩංගුවට ගන්නා විටත් ඔහු සමග එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් දෙදෙනෙක් අදටත් සිටීමෙන්ම ඒ ගැන පැහැදිලිය.

දේශපාලන හයිය තදටම

අද මෙන් නොව, එකල කොළඹ නගරය කේන්ද්‍රකර ගනිමින් ප්‍රධාන පාතාල කල්ලි තුනක් ක්‍රියාත්මක විය. ඒ ජන වර්ග පදනම් කරගෙනය. සිංහල පාතාලය, දෙමළ පාතාලය සහ මුස්ලිම් පාතාලය ලෙසිනි. දෙමළ පාතාලයේ ඉහළම පුරුකක් වූයේ කිඹුලා ඇල ගුණාය. මත්කුඩු ජාවාරම හරහා මුදල් බලයෙන් ශක්තිමත් වූ ගුණාට දේශපාලන හයි හත්තියද නොඅඩුවම පැවතුණි. කුමන ආණ්ඩුවක් බලයට ආවත් ප්‍රබල ඇමතිකම් ලැබෙන වතුකරයේ ප්‍රබල දේශපාලනඥයෙක් ප්‍රධාන වශයෙන් ගුණාගේ රැකවලා විය. ඊට අමතරව කොළඹ එකල රජ කළ දේශපාලනඥයෙක්ද ගුණාගේ සමීපතයෙක් විය. ගුණාගේ ආරක්ෂකයා වූයේ එම දේශපාලනඥයාය. මෙකී දේශපාලනඥයන් දෙදෙනාම මේ වන විට ජීවතුන් අතර නැත. මේ දෙදෙනා හැරුණු කොට තවත් දේශපාලනඥයන් රැසක්ම ගුණාගේ සාක්කුවේ සිටියේය. ඒ අය අතර ප්‍රාදේශිය දේශපාලනඥයන් රැසක්ද සිටියේය. එකල ගුණාට මේ දේශපාලන හයිය නිසාම කොළඹ නගරයේ ඕනෑම දෙයක් කරන්නට හැකියාව තිබුණේය. මෝදර පොලීසියට එකල ස්ථානාධිපතිවරුන් නම් කරන්නේ ඔහුය. ස්ථානාධිපතිවරුන් මාරුකරන්නේද ඔහුය. ඒ තරමට ඔහු බලවත්ව සිටියේය. ඒ නිසාම කිඹුලා ඇල පැත්ත පළාතේ පොලීසිය පස් පාගන්නටද ගියේ නැත. ඒ ගුණාගේ එක දුරකතන ඇමතුමකින් යාපනයට විසිවන බව ඒ අය දැන සිටි බැවිනි. ඒ නිසාම බොහෝ පොලිස් නිලධාරීන් ගුණාව ෂේප් එකේ තබාගෙන තමන්ගේ පුටුව රැක ගන්නට පියවර ගත්තේය. මෝදර පොලීසියේ එකල සේවයේ නිරතව සිටි ඇතැම් පොලිස් නිලධාරීන් ගුණාට අයියා යැයි කියාද සර් යැයි කියාද අමතා තිබුණේය.

පොලිසියත් ගුණා – උසාවියත් ගුණා…

කිඹුලා ඇල ගුණා ජීවත් වූ කිඹුලා ඇල පැත්තේ ක්‍රියාත්මක වූයේ ඔහුගේ නීතියයි. මෝදර පොලීසිය පෙනෙන නොපෙනෙන දුරකින් කිඹුලා ඇල පිහිටා ඇතත් ගමේ පැමිණිලි ගැටුම් ප්‍රශ්න පොලීසියට ආවේ නැත. සියල්ලම විසඳන්නේ ගුණාය. ඒ ගුණාගේ පොලීසියෙනි. නඩු අසා දඬුවම් දෙන්නට පවා ගුණාගේ රාජධානියේ පාතාලයේ උසාවියක් පවා එකල පිහිටා තිබුණේය. එදා කිඹුලා ඇල ජනතාවට ගුණාගේ අණට ඉහළින් වචනයක්වත් කථා කරන්නට බැරිය. එසේ වුවහොත් සිදුවන්නේ ගුණාගේ උසාවියෙන් ලබාදෙන තීන්දුවට අනුව වෙඩිකා මියැදෙන්නටය.
දේශපාලන හයි හත්තිය නිසාම කිඹුලා ඇල ගුණාට පොලීසියේ ලොකු මහත්වරුන්ද දැක්වූයේ පක්ෂපාතීත්වයකි. ඒ නිසාම නිල නොවන ලෙස මෝදර පොලීසියට එම නිලධාරීන්ගෙන් නිරන්තර නියෝග ලැබෙන්නේ කිඹුලා ඇල පැත්ත පළාතේ නොයන ලෙසටය. ඒ අණ එකල මෝදර පොලීසියේ සේවය කළ බොහෝ නිලධාරීන් අකුරටම පිළිපැද්දේය. ගුණාට එරෙහිව එකල මාධ්‍ය වාර්තා පළවන විට ගුණා වෙනුවෙන් එම මාධ්‍ය වාර්තා නිවැරදි කරන්නට පවා ඉදිරිපත් වූයේ පොලිස් ස්ථානාධිපතිවරුන්ය. ඒ නිසාම ජනතාව එකල මෝදර පොලීසිය හදුන්වනු ලැබුවේ ගුණාගේ පොලීසිය යැයි කියාය. කිඹුලා ඇල ගුණාගේ රාජධානියට එම නියෝග නොතකා පොලිස් නිලධරියෙක් වැටලීමකට ඇතුළු වන්නේ නම් සිදුවන්නේ ප්‍රහාරයන්ට ලක්වන්නටය. ඒ වෙනුවෙන් ගුණාගෙන් යැපෙන කාන්තා බළකායක්ම සිටියේය. ඒ අය පොලීසියට පහරදීමෙන් පසු චෝදනා කරන්නේ පොලිස් නිලධාරීන් තමන්ට අතවර කරන්නට හැදූ බවය. මෝදර පොලීසිය ඒ පැමිණිල්ල ලියාගෙන පොලිස් නිලධාරීන්ට එරෙහිව ක්‍රියාත්මක වන්නේ ඒ අය පොලීසියෙන්ද එලවන්නට වැඩ සලසමිනි. වරක් සුරාබදු නිලධාරීන් කණ්ඩායමක් කිඹුලා ඇල ගුණාගේ මත්කුඩු ජාවාරමක් වටලන්නට ගොස් වෙඩි කන්නටද සිදුවිය. සුරාබදු නිලධාරීන්ට පහරදී ඔවුන් සතු ගිනි අවි පවා කොල්ල කෑවෝය. ඒ ගැනද නීතිය හරිහැටි ක්‍රියාත්මක වූබවක් එකල පෙනෙන්නට නොවීය. කොළඹ අපරාධ කොට්ඨාසයේ ආරම්භක වකවානුවේදී එහි අධ්‍යක්ෂක ලෙස සේවය කළ කීර්තිමත් පොලිස් නිලධාරියෙක් වන සරත් ලූගොඩ කිඹුලා ඇල ගුණාගේ රජධානියට ගොස් කළ වැටලීමක් කළේය. එම වැටලීමෙන් පසු ඔහුට ඉහළ නිලධාරීන්ගෙන් එල්ලවන්නට වූ පීඩාවන් අපමණය. ඒ තරමට එදා ගුණා සිටියේ බලවත්වය.

චන්ද්‍රිකාට ගහපු බෝම්බය ආවේ ගුණාගේ උදව්වෙන්

1999 වසරේ දෙසැම්බර් 18 වෙනිදා එල්.ටී.ටී.ඊ.ය එවකට රටේ නායිකාව වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඝාතනය කිරීමට මරාගෙන මැරෙන බෝම්බකාරියක්ව පුපුරවා හරින්නේ පුරහල් භුමියේ පැවැති ජනතා රැලියකදීය. ඒ ජනාධිපතිවරණයේ අවසන් රැස්වීමය. එවර චන්ද්‍රිකා ජනාධිපතිනිය මැතිවරණයට ඉදිරිපත්ව සිටියේ දෙවැනි වරට බලය ඉල්ලාය. එම බෝම්බ ප්‍රහාරයෙන් ජනාධිපතිනියගේ ජීවිතයට හානියක් නොවූවත් ඇගේ එක් ඇසකට හානිවන්නේ සදාකාලීව පෙනීම නැති කරමිනි. එම බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හඳුනා ගන්නේ බෝම්බකාරිය රැස්වීම් භූමියට ඇතුළු වන්නේ දේශපාලන ආධාරකාරියක් ලෙසින් බවටය. එදා එම රැස්වීම් භූමියට හතර වටින්ම ඇය නියෝජනය කළ දේශපාලන පක්ෂවල ආධාරකරුවන් පැමිණෙන්නට වූයේ පෙළපාලිවලිනි. බෝම්බකාරියද එන්නේ ඒ එක් පෙළපාලියකට රිංගාය. විමර්ශනවලින් හෙළිව තිබුණු ආකාරයට අනුව එම බෝම්බකාරිය එන්නේ කිඹුලා ඇල සිටය. ඒ කොළඹ දේශපාලනඥයාගේ කණ්ඩායම තුළට රිංගවාය. එදා ඇයට උත්සව භුමියට බාධාවකින් තොරව රිංගන්නට හැකියාව ලැබෙන්නේ කිඹුලා ඇලෙන් පැමිණි කණ්ඩායම පරීක්ෂා කිරීමට එදා ඒ දේශපාලනඥයා ජනාධිපති ආරක්ෂක අංශයට ඉඩ නොදීම නිසාය. ඒ සම්බන්ධයෙන් දේශපාලනඥයාට එරෙහිව නිසි විමර්ශනයක් සිදු නොවූවත් ගුණාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකපිට අත්අඩංගුවට ගත්තේය. ඒ කිඹුලා ඇල ගුණා බෝම්බකාරියට රැකවරණය දී තිබුණු බව හෙළිව තිබුණු බැවිනි. මාස දෙකක් පුරාවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේ ගුණා රඳවා සිටියත් අවසානයේදී ඔහු නිදහස ලබන්නේ එම ඝාතනය සම්බන්ධයෙන් කිසිදු චෝදනාවත් නොමැතිවය.

මුලින්ම ස්නයිපර් ගෙනාවෙත් ගුණා…

ස්නයිපර් ගිනි අවි භාවිතා කළ මෙරට පළමු පාතාල කල්ලිය වන්නේ ගුණාගේ කල්ලියයි. එම අවි ගුණාට ලැබී තිබුණේ එල්.ටී.ටී.ඊ.ය හරහාය. එම අවිවලින් එකක් ගුණා බස්නාහිර පළාත් නගර සභාවක සභාපතිවරයෙක්ටද එකල තෑගි කර තිබුණේය. ඒ බව දැනගත් බස්නාහිර පළාත් උතුරුදිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් එම අවි සොයා මෙහෙයුමක්ද දියත් කළේය. එකල බස්නාහිර උතුරු දිසා අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂක ලෙස කටයුතු කරනු ලැබුවේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩිය. ගිනි අවි සොයා මෙහෙයුම දියත්කරන්නේද ඔහුගේ මෙහෙයැවීමෙනි. එකල ගුණාට අභියෝග කරන්නට තරම් ශක්තිවන්තයෙක් මුළු කොළඹම නොසිටියේය. ඒ ගුණාගේ අණසකට කොළඹ පාතාලයේ වැඩි දෙනෙක් යටත්ව සිටි බැවිනි. එහෙත් මත්කුඩු ජාවාරමේ කොටස බෙදා ගැනීම වෙනුවෙන් කුඩු ලාල් සහ ගුණා අතර ඇතිවන්නේ සීතල යුද්ධයකි. එහිදී කුඩු ලාල් පැත්තක සිට ගුණාට එරෙහිව පහරදීමට යොදවන්නේ ප්‍රින්ස් කොලම්වය. බ්ලූමැන්ඩල් කුණු කන්ද පාමුල සිය රාජධානිය කරගෙන සිටි ප්‍රින්ස්ටද දේශපාලන හයිය ලාල් හරහා ලැබී තිබුණේය. ඒ නිසාම ප්‍රින්ස් ඉවක් බවක් නොමැතිව ගුණාගේ ගෝලයින්ට පහරදෙන්නට ගත්තේය. මෙම ගැටුම හේතුවෙන් එකල කොළඹ නගරයේ වෙඩි පත්තුනොවන දිනක් නොමැති තරම්ය. වෙඩි ප්‍රහාරයන්ට ලක්ව එකපොදියට දෙතුන් දෙනා ඝාතනය වන්නට ගත්තේය. ප්‍රින්ස් කොළම් වැඩ පෙන්නුයේ බන්ධනාගාරයේ සිටය. මේ නිසාම ගුණා සැලසුම් කරන්නේ බන්ධනාගාරය ඇතුළේදීම ප්‍රින්ස්ට වෙඩි තබා මරා දමන්නටය. ඒ සදහා ඔහු බන්ධනාගාරය ඇතුළේ සිටි ඔහුගේ ගෝලයෙක් අතට ගිනි අවියක්ද යැව්වේය. ඒ බන්ධනාගාර නියාමකවරයෙකුගේ වැලිකඩ බන්ධනාගාර පරීශ්‍රයේ පිහිටි නිල නිවසකට ගෝලබාලයින් කිහිප දෙනෙක් යවා බිරිඳ සහ දරුවා ප්‍රාණ ඇපයට ගෙන එම නියාමකවරයා බිය ගන්වාය. එම අවියෙන් ප්‍රින්ස්ව මරා දමන්නට හැකියාවක් නොලැබුණත් ගුණාගේ බලයේ තරම ඒ අනුව සිතා ගත හැකිය.

ප්‍රශ්නය ආවේ මන්ත්‍රී ඝාතනයෙන්

ගුණාට එරෙහිව නිසි විමර්ශනයක් ශ්‍රී ලංකා පොලීසිය තුළ සිදුවන්නේ නම් ඒ බස්නාහිර පළාත් සභාවේ ඇමතිවරයෙක් වූ සුනිල් මෙන්ඩිස් ඝාතනයත් සමගිනි. එම ඝාතනය පිටුපස ගුණා සිටියේය. 2003 වසරේදී ගුණා විසින් සිය ගෝලබාලයින් යොදා සුනිල් මෙන්ඩිස්ව වෙඩි තබා මරා දමන්නේ ඔහු ස්නයිපර් ගිනි අවියක් තෑගි කළ නගරාධිපතිවරයාගේ කොන්ත්‍රාත්තුවකටය. එය දේශපාලනික ගැටුමකි. එම ඝාතනයට කොට ගාමිණිගේද සම්බන්ධයක් පැවතුණි. විමර්ශන පැවැත්වෙන්නේ බස්නාහිර පළාත් උතුරු දිසා අපරාධ කොට්ඨාශයේ ප්‍රියන්ත ජයකොඩිගේ මෙහෙයැවීමෙනි. ඝාතනයට සම්බන්ධ එකා දෙන්නා අත්අඩංගුවට ගන්නා විට කොට ගාමිණි සිටින්නේ ඒ ගැන කිසිවක් නොදැන කිරුලපොනේ පිහිටි නිවසේය. ඔහුව කොටුකර ගන්නට යන්නේ නමගිය අපරාධ විමර්ශකයෙක් වන දාස් ගුප්තා ඇතුළු කණ්ඩායමකි.

ප්‍රියන්ත ජයකොඩිටත් ගේමක් දෙන්න සෙට් කරලා

ඒ යන විට කොට ගාමිණී සිටින්නේ ඔහුගේ දරුවන් දෙදෙනා ඔඩොක්කුවේ තබාගෙන සුරතල් කරමිනි. ගාමිණීව අල්ලන්නට පොලීසිය යන්නේ අවශ්‍ය වුණොත් වෙඩි තබන්නට පවා සූදානම් ඇතිවය. දරුවන් දෙදෙනා නිසා ගාමිණි දෙසට ගිනි අවි එල්ලකරන්නට පවා පොලිස් නිලධාරීන්ට සිත් නොවීය. ඒ නිසාම දරුවන්ව පැත්තකින් තබන ලෙස පොලිස් නිලධාරීන් ඔහුට අණ කළේය. ඒ අණට කීකරු වෙමින් ඔහු දරුවන්ව බිමින් තබන මුවාවෙන් කරන්නේ නිවස පිටුපසින් ගලා බසින කුණු ඇලට ජනේලයකින් පැන පළා යාමය. මේ ආකාරයට ගුණාගේ රොත්ත බුරුත්ත පස්සේ බස්නාහිර පළාත් උතුරු දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පන්නන්නට ගන්නා විට ප්‍රියන්ත ජයකොඩිගේ ජීවිතයටද තර්ජනයක් එල්ලවන්නට ගත්තේය. ප්‍රියන්ත ජයකොඩි සිය මෝටර් රථයට ඉන්ධන පුරවා ගන්නා ඉන්ධන පිරවුම්හල අවටද වෙඩික්කරුවන් ගැවසී තිබුණේ ඔහුව ඉලක්කරන්නටය. ඒ බව දැනගත් ප්‍රියන්ත ජයකොඩි ආරක්ෂක පියවර නොගන්නට පොලීසියේ ඇවිදින පුස්තකාලය යැයි විරුදාවලිය ලද ඔහු අද ජීවතුන් අතර නැත.

ගුණා‌ගේ ගෙදරට හදිසි ප්‍රහාරයක්

මෙම සිදුවීමෙන් පසු කිඹුලාඇල ගුණාගේ රාජධානියට මහා රෑ සන්නද්ධ කණ්ඩායමක් කඩා වැදුණේය. ගුණාගේ පොලීසිය උසාවිය කුඩුකර දමන්නේ විනාඩි කිහිපයක් තුළදීය. අනතුරුව එම කණ්ඩායම පළා යන්නේ ගුණාට මරණ වරෙන්තුවක්ද නිකුත් කරමිනි. එම ප්‍රහාරයෙන් පැයක් යන්නට මත්තෙන් කිඹුලා ඇල ගුණාගේ නිවස පිරෙන්නේ දේශලපනඥයන්ගෙනි. ඒ අතර එකල පැවැති ආණ්ඩුවේ මැති ඇමතිවරුද සිටියෝය. ඒ අය පොලිස් ලොක්කන්වද ගුණාගේ නිවසට කැඳෙව්වේය. නියෝජ්‍ය පොලිස්පතිවරුද ඒ අතර වූහ. ගුණාගේ පාතාලයේ පොලීසිය සහ උසාවියට සිදුව ඇති හානිය ගැන ඒ අය කඳුලු හෙලන්නට ගත්තේය. එම ප්‍රහාරය එල්ල කළ අය වහාම අත්අඩංගුවට ගන්නා ලෙසට පොලීසියට නියෝග පවා දුන්නේය. තම සහෝදර දේශපාලනඥයා ඝාතනය වන විට නැති කැක්කුමක් ගුණාගේ රාජධානියට එල්ලවුණු ප්‍රහාරය ගැන ඒ අයට ඒ මොහොත් තිබුණේය. තමාගේ අනුදැනුමක් නොමැතිව කුරුල්ලෙකුටවත් ඇතුළුවිය නොහැකිව සිය රාජධානියට කඩා වැදුණු පිරිසක් විසින් එල්ල කළ ප්‍රහාර ගුණාට තදින්ම දැනෙන්නට විය. ඒ මරණයේ බියද මුසුවෙමිනි.

සහෝදරයාට වෙඩි වරුසාවක්

මේ අතර ගුණාගේ සහෝදරයා වන විජේන්ද්‍ර ඇතුළු සිව් දෙනෙක් වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිටදී පැහැර ගැනීමකටද ලක්විය. මත්කුඩු චෝදනාවකට බන්ධනාගාරගතව සිටි සිය බිරිඳගේ දුක සැප විමසා බලන්නට පැමිණි විජේන්ද්‍ර සිය ගෝලබාලයින් සමග මෝටර් රථයක නැගී කිඹුලා ඇල බලා ගමන් කරන්නට සූදානම් වන විට පැහැර ගැනීඹට ලක්වන්නේ වෑන් රථයකින් පැමිණි පිරිසක් විසිනි. ඒ මෝටර් රථයද සමගිනි. පැය කිහිපයකට පසු එම මෝටර් රථය හමුවන්නේ පූගොඩපැත්තේ සුසාන භුමියකිනි. ඒ විජේන්ද්‍ර ඇතුළු සිව් දෙනාගේ වෙඩි වැදුණු මළ සිරුරුද සමගිනි. ගුණා ඉන්දියාවට පැන යන්නේ ඒත් සමගිනි. ගුණා සමග ඔහුගේ සහෝදරයා වූ සුරේෂ්ද, කොටගාමිණිද පැන ගත්තේය. එදා විජේන්ද්‍රගේ අවසන් කටයුතු සිදුවන්නේ ප්‍රභූ මරණයක් ලෙසිනි. අශ්ව කරත්ත පවා යොදවා තිබුණේය. ගුණා ඉන්දියාවේ රැඳී සිටිනවිට ඔහුගේ තවත් සහෝදරයෙක් වන දිනේෂ් සහ තවත් ඔහුගේ මත්කුඩු ජාලයේ ගෝලයෙක් වන කැළුම් අතුරුදන් විය. දින කිහිපයකට පසු ඔජස් ගලමින් තිබුණු ඔවුන්ගේ නිරුවත් මළ සිරුරු හමුවන්නේ මාදම්පේ පැත්තේ පිහිටි වෙල් යායක තිබියදීය. ඊට කිඹුලා ඇල ගුණා ප්‍රතිචාර දක්වන්නේ පොලිස් පරීක්ෂක ඩග්ගස් නිමල් සහ ඔහුගේ බිරිද ඝාතනය කරවමිනි. සිය පුතාව ඔහු ඉන්දියාවට ගෙන්වා ගන්නේ ඊළඟ වෙඩිල්ල ඔහුට එල්ලවනු ඇතැයි බියට පත්වය. ඔහු ඉන්දියාවේ සිටියත් එහි ජීවත්වූයේ කිඹුලා ඇල සිටි ආකාරයටමය. චෙන්නායි හී දේශපාලනඥයින් කිහිප දෙනෙක්ද ඔහුට සමීපතය. මෙරටදී මෙන්ම චෙන්නායි හීද ඔහුගේ ආරක්ෂකයන් වී ඇත්තේ දේශපාලනඥයන්ය.

ස්ටැන්ලි කෙනඩි ප්‍රනාන්දු නොහොත් බුම්මා

කිඹුලා ඇල ගුණා සමග චෙන්නායි ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගන්නා සිව් දෙනා අතර සිටි බුම්මා නැමැති අපරාධකරු දකුණේ පාතාලයට සම්බන්ධව සිටි එල්.ටී.ටී.ඊ.යේ හිටපු වෙඩික්කරුවෙකි. ඔහුට කෙනඩි යැයිද කියති. දකුණේ සිදුවුණු පාතාලයේ මිනිස් ඝාතන රැසක අභිරහස් වෙඩික්කරුවා වූයේද බුම්මාය. එකල මෙම අභිරහස් ඝාතකයා සොයා ගැනීමට නොහැකිව පොලීසියද සිටියේ කිසිවක් කර කියා ගන්නට නොහැකිව අතරමංවය.

ඉපදුණේ කොච්චිකඩේ… 2002 කොටින්ට බැදිලා

බුම්මා එල්.ටී.ටී.ඊ.යට එක්වන කොළඹ තරුණයෙකි. 1987 වසරේ මැයි 03 වෙනිදා උපන් ඔහු අධ්‍යාපනය ලබන්නේ කොළඹ කොච්චිකඩේ පැත්තේ පාසලකිනි. ඒ අටවැනි ශේණිය දක්වාය. බුම්මා එල්.ටී.ටී.ඊ.යට එක්වන්නේ පාසල් ගමනට සමුදීමෙන් පසු සිය පියා සමග එකළ කොළඹ මත්ස්‍ය වෙළද සංකීර්ණයේ සේවයට ගොස් සිටියදී දැන හදුනාගත් නාදන් නැමැත්තෙක් මාර්ගයෙනි. නාදන් එල්.ටී.ටී.ඊ.ය සමග සම්බන්ධකම් පැවැත්වූවෙකි. 2002 වසරේ සාම සාකච්ඡා පැවැති වකවානුවේදී නාදන් සමග වන්නියට යන බුම්මා එල්.ටී.ටී.ඊ.යේ සටන්කරුවෙක් ලෙස එක්වන්නේ එලිලෝවන් නම් කොටි නාමයද සහිතවය. එහිදී ඔහු පුහුණුව ලබන්නේ සුබන් මාස්ටර් යටතේය. දක්ෂ වෙඩික්කරුවෙක් ලෙස පුහුණුව නිමකරන ඔහුව යොදවන්නේ ඉදිරිපෙළ සටන්වලටය. එහිදී තෙවරක්ම ඔහු හමුදා ප්‍රහාරවලින් තුවාලද ලබා ඇත්තේය.

හිරේදී කොස්ගොඩ සුජී එක්ක සෙට්වෙලා

යුද්ධය නිමාවී මෙන් පසු 2009 මැයි 14 වෙනිදා හමුදාවට භාරවූ එල්.ටී.ටී.ඊ සාමාජිකයින් අතර බුම්මාද සිටියේය. මුලින්ම ඔහුව යොමු කෙරෙන්නේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයටය. මාස 21ක්ම ඔහු ත්‍රස්ත විමර්ශන කොට්ඨාස භාරයේ බූස්ස කඳවුරේ රඳවා සිටියේය. අවි ආයුධ තොගයක් සමග ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අත්අඩංගුවට පත්ව සිටි දකුණේ පාතාල ප්‍රබලයෙක් වන කොස්ගොඩ සුජීවද එකල රඳවා සිටියේ බූස්සේය. මේ දෙදෙනා අතර හිතවත්කම් ගොඩනැගෙන්නට බූස්ස රැඳවුම් මධ්‍යස්ථානය හොඳ තෝතැන්නක් විය.

මෝදර කේන්ද්‍ර කරගනිමින් කොළඹ පාතාලයේ රජ කළ කිඹුලා ඇල ගුණා සමග ඒ වන විටත් බුම්මාට සම්බන්ධකම් පැවතුණි. ඒ කිඹුලාඇල ගුණාගේ සහෝදරයා වන සුරේෂ් සහ බුම්මා පාසල් මිතුරන් වූ බැවිනි. ඒ ඔස්සේ බුම්මා මත්කුඩු ජාවාරමටද අත තැබුවේය. ඒ පුනරුත්ථාපනය වූ එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙක් ලෙස සමාජගත වීමෙන් අනතුරුවය. ත්‍රස්ත විමර්ශන කොට්ඨාස භාරයේ සිට මරදමඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයට යොමුකර පුනරුත්ථාපනය වූ බුම්මා පාතාලයට වැටෙන්නේ කුඩු සෙල්වි නිසාය. එකල ජම්පටා වීදියම හොල්ලාගෙන සිටියේ කුඩු සෙල්විය. ජම්පටා පොලීසියේ ඇතැම් පොලිස් නිලධාරීන් පවා සිටියේ සෙල්විගේ අතේය. සෙල්වි සිය ප්‍රතිවාදී මත්කුඩු ජාවාරම්කරුවන් පොලිසියට හසුකර දෙමින් එකල ජයටම මත්කුඩු ජාවරමේ නිරතව සිටියේ දූෂිත පොලිස් නිලධාරීන්ගේද ආශිර්වාදය ඇතිවය.

සෙල්වි එක්ක පැටලෙයි

සෙල්විට පිරිමි දරුවන් තිදෙනෙක් සහ දියණියක් සිටියාය. වැඩිමලා පලනි ශිරාන්ය. මවගේ හයියෙන් ඔහුද ජම්පටා වීදියේ නැගී එන චණ්ඩියෙක් බවට ඒ වන විට පත්වෙමින් සිටියේය. දිනක් ඔහු සිය බලය යොදන්නේ බුම්මාගේ වැඩිමහල් සහෝදරිය වන ශිරෝමිටය. ඇය ඇහැට කනට පෙනෙන රූමත් තැනැත්තියක් වූවාය. ශිරාන් ඇගේ අතින් ඇද කළ අනවශ්‍ය විහිළුව දුරදිග යන්නේ සහෝදරයෙක් ලෙස එය විඳ දරා ගන්නට නොහැකි වූ බුම්මාගේ බාල සහෝදරයන් දෙදෙනාගෙන් අයෙක් වන මැරන්ස් ඒ ගැන විමසන්නට ශිරාන් මුණ ගැසීමට ගිය විටදීය. එහිදී ඇති වන බහින්බස් වීම දුරදිග යන්නේ බුම්මාගේ සහෝදරයාගෙන් ශිරාන්ට පහර කිහිපයක් එල්ලවීමෙනි.

ඊට ශිරාන්ගෙන් ප්‍රතිප්‍රහාරය එල්ලවන්නේ දකුණු ඉන්දියානු චිත්‍රපට ජවනිකාවක් බඳු ආකාරයට බුම්මාගේ නිවසට තිහ හතළිහක මැර හමුදාවක් සමග කඩාවැදී මුළු නිවසම පොඩි පට්ටම්කරමිනි. එම මැරයින් බුම්මාගේ මුළු පවුලටම පහරදී තිබුණේ අමානුෂික ආකාරයටය. එම පහරදීම්වලින් තුවාල ලැබූ බුම්මාගේ මවත් සහෝදරියන් දෙදෙනා සහ සහෝදරයන් දෙදෙනා කොළඹ ජාතික රෝහලේ සති කිහිපයක්ම ප්‍රතිකාර ලැබුවෝය. එහෙත් කුඩු සෙල්විට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නට ගියේ නැත. ඒ ඇගේ මුදල්වලට එකල පොලීසිය වහ වැටී සිටි බැවිනි. මේ තත්වය මත බුම්මාගේ පවුලේ සාමාජිකයන්ට සිදුවන්නේ ගේදොර අතහැර මෝදර පැත්තේ කුලී නිවසකට යන්නටය. මේ සියල්ල සිදුවන විට බුම්මා සිටියේ බූස්සේය. බුම්මා නිදහස ලබන විට සිය මව සුබ්‍රමනියම් සෙලප්වරාජ් සිටින්නේ මැරන්ස්ද සමග කුවෙට් රටේ රැකියාවකට ගොසිනි. වැඩිමහල් නැගණිය ශිරෝමි විවාහ වී ඒ වන විට මෝදර පැත්තේ පදිංචිව සිටියාය. ඒ ජම්පටා වීදියේ පිහිටි නිවස මේ පවුලට තහනම් කලාපයක් බවට කුඩු සෙල්වි පත්කර තිබුණු බැවිනි. බුම්මා එම තහනම සිය පයට පෑගෙන දුහුවිල්ලක් තරම්වත් තකන්නට ගියේ නැත. නිදහස ලැබූ ඔහු කෙළින්ම පදිංචියට එන්නේ ජම්පටා වීදියේ පිහිටි මහ ගෙදරටය. ඒ සෙල්විට යම් අභියෝගයක්ද එල්ලකරමිනි.

පූකුඩිකන්නාගේ කේළමට බුම්මා අහුවෙයි

ඒත් එක්කම සෙල්විගෙන් සහ ඔවුන්ගේ දරුවන්ගෙන් පීඩනයට ලක්ව සිටි තරුණයින්ද බුම්මා වටා රොක්වන්නට ගත්තේය. සෙල්විට එය දරා ගන්නට නොහැකි වූවාය. බුම්මා ඇතුළු පවුලේ සාමාජිකයන් ඝාතනය කරන්නට ඇය පාතාල සාමාජිකයෙකුට රුපියල් ලක්ෂ 10ක කොන්ත්‍රාත්තුවක් දෙන්නේ ඒත් එක්කමය. ඒ බව බුම්මාගේ කනෙහි තබන්නේ පූකුඩිකන්නාය.
බාලචන්ද්‍රන් පුෂ්ප රාජ් නොහොත් පූකුඩිකන්නාද මත්කුඩු ජාවාරමේ නිරතව සිටින්නෙකි. ඔහු පදිංචිව සිටියේ මෝදර පැත්තේය. එල්.ටී.ටී.ඊ.ය සමගද සම්බන්ධකම් පැවැත්වූ අයෙක් වූ පූකුඩිකන්නා ඒ වන විට සිටියේ වැලිකඩ බන්ධනාගාරයේය. ඒ මත්කුඩු සමග පොලිසියට හසුවීය. ඔහුටද සෙල්වි සමග මත්කුඩු ආරවුලක් පැවැතියේය. ඔහු බුම්මාව අවුස්සන්නේ ඒ නිසාය. ඊට බුම්මා හසුවිය. පූකුඩිකන්නා සිය සගයෙක් හරහා බුම්මා අතට ගිනි අවියක්ද පත් කළේය. 2015 සැත්තැම්බර් 12 වෙනිදා බුම්මාගේ වෙඩි ප්‍රහාරයකින් කුඩු සෙල්විගේ කථාව නිම වෙන්නේ ඒත් සමගිනි.
ඒත් එක්කම බුම්මා කොළඹින් ද අතුරුදන් විය. මතුවන්නේ කොස්ගොඩිනි. ඒ කොස්ගොඩ සුජීගේ රැකවරණයත් සමගිනි. සුජී ඒ වන විට සිය බිරිඳත් සමග සිටින්නේ ඩුබායි රටට පැනගොසිනි. ඒ ඔහුගේ ප්‍රතිවාදියා වූ මාකඳුරේ මධුෂ්ගෙන් සහ පොලිස් විශේෂ කාර්ය බළකායෙන් සිය ජීවිතය රැක ගන්නටය. සිය සගයන් රැසක්ම පොලිසියට හසුවී සිටියදී බුම්මාගේ පැමිණිම කොස්ගොඩ සුජීට දැනෙන්නේ රටක් රාජ්‍යයක් තමාට හිමි වූ තරමේ සතුටකි. බුම්මාගේ වටිනාකම සුජී හොඳාකාරවම දැන සිටියේය. ඒ නිසාම බුම්මාව රැක ගැනීමේ කටයුත්ත ඩුබායි සිට ඔහු පවරන්නේ ඌරගස්මන්හංදියේ සිටි විශ්වාසවන්තම සගයෙක් වූ මයිකල්ටය.

සුජීගේ ඉල්ලීමට ඝාතන රැසක්

කොස්ගොඩ සුජීගේ කල්ලියේ ඒ වන විට සිටි වැඩකරුවා වූයේ මයිකල්ය. සුජීගේ නම ගෑවුණු ඝාතන ගොන්නකටම සැබෑ වගකිව යුත්තා වූයේ මයිකල්ය. ඔහුට එරෙහිව දකුණේ අධිකරණ රැසකම නඩු රැසක් ඒ වන විටත් පැවතියේ විභාග වෙමිනි. 2016 වසරේ පෙබරවාරි 16 වෙනිදාද ඔහුට එරෙහි නඩුවක් බලපිටිය අධිකරණයේ විභාගවීමට නියමිතව තිබුණේය. බලපිටිය අධිකරණය ඉදිරිපිටදී එදා කොස්ගොඩ සුජීගේ ඉල්ලීමකට අනුව බුම්මා දෙදෙනෙකුට වෙඩි තබා ඝාතනය කරන්නේ දෙනෝදහක් බලා සිටියදීය. එදා බුම්මාගේ වෙඩිල්ලෙන් ඝාතනය වූවන් අතර පාතාලයේ නමගිය චරිතයක් වූ කේ.ඒ.පියරත්නද සිටියේය. අනෙකා රසික චමින්දය.

සුජීගේ ඉල්ලීම මත 2016 අප්‍රේල් 11 වෙනිදාද බුම්මා තවත් බිල්ලක් ගත්තේය. ඒ ඌරගස්මංහංදියේ මීගස්පිටියේදීය. ඔහු නමින් නන්දසිරිය.

පොලිසියට බුම්මා ගැන ඉව වැටෙයි

කොස්ගොඩ සුජීගේ අභිරහස් වෙඩික්කරුවා වූ බුම්මා ගැන ඒ වන විටත් විශේෂ කාර්ය බළකා බුද්ධි අංශයට ඉව වැටී තිබුණේය. නන්දසිරිගේ ඝාතනයෙන් දින දෙක තුනකට වඩා ඔහුට නිදහසේ සිටින්නට ඉඩක් නොවීය. විශේෂ කාර්ය බළකායේ එකල බුද්ධි අංශයේ ස්ථානාධිපති ධර්මප්‍රියට ලද තොරතුරකට අනුව උප පොලිස් පරීක්ෂක කැළුම් සංගීත් ඇතුළු කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගන්නේ මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක්ද සමගිනි.

එතැන් සිට වසර දෙකකට ආසන්න කාලයක් බන්ධනාගරයේ රඳවා සිටි බුම්මා ඇප ලබා නැවත ජම්පටා වීදියට එන්නේ පාතාල අපරාධකරුවෙක් ලෙස පමණක් නොව, මත්කුඩු ජාවාරමේද දැවැන්තයෙක් ලෙසිනි. ඒ පැමිණි ඔහු 2018 මැයි 24 වෙනිදා පළමු වෙඩිල්ල පත්තුකරන්නේ කුඩු සෙල්විගේ සැමියාටය. අනතුරුව එම වසරේම ජූලි 09 වෙනිදා බුම්මා විසින් කොළඹ මහා නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙක් වන ක්‍රිෂ්ණට කොටහේනේ පිහිටි ඔහුගේ වෙළෙඳ සැලේදී ඝාතනය කරන්නේ පිටරටකින් ලද කොන්ත්‍රාත්තුවකට අනුවය. ඒ පිටුපස ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරමක් බවට තොරතුරුද එකල කියැවිණි. ඒත් එක්කම බුම්මාව පොලීසියේ ඉලක්කයක් බවට පත්විය. පොලීසියට හසුවුවහොත් සිදුවන්නේ මැරුම්කන්නට බව දැනගත් බුම්මා හලාවතින් බෝට්ටුවක නැගී ඉන්දියාවට පැන ගන්නේ සිය පාසල් මිතුරා වූ සුරේෂ්ගේ රැකවරණය පතමිනි.

සෙල්විගේ ළමයින්ගේ සෙල්ලම්

මේ වන විට කුඩු සෙල්විගේ දරුවන්ටද මරණ බිය දැනෙන්නට විය. ඔවුන් සිය ජීවිතාරක්ෂාව පතා එක්වන්නේ කන්ජිපානි ඉම්රාන්ගේ කල්ලිය වෙතය. ඒ මත්කුඩු ජාවාරම හරහා ඇතිකර ගන්නා සම්බන්ධකම් ඔස්සේය. ඒ වන විට කංජිපානි ඉම්රාන් සිටින්නේ මාකඳුරේ මධුෂ් සමග ඩුබායි හීය. කංජිපානිගේ කීමට කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණය කිට්ටුව මාර්ගයේ කොස්මල්ලී නැමැති පාතාල අපරාධකරුගේ හිස රැගෙනවිත් දමන්නේද සෙල්විගේ බාලයාත් මද්දුමයාත්ය. කන්ජිපානිගෙන් මත්කුඩු ලබාගෙන මුදල් නොගෙවා කට්ටි පනිමින් සිටි ඇන්ටන් රාජ් නැමැත්තෙකුට ආමර්වීදියේදී 2018 වසරේ මාර්තු 19 වෙනිදා වෙඩි තබා මරාදැමූ වෙඩික්කරු සමග යතුරුපැදිය පදවන්නේ සෙල්විගේ බාලයාය. ඒ වන විට වැඩිමලා සිටින්නේ මත්කුඩු සමග පොලිසියට හසුවී බන්ධනාගාරගතවය. සහෝදරයන් දෙදෙනාව මෙහෙයැවූයේ ඔහුය. මේ සහෝදරයන්ගේ ඉලක්කය වූයේ සිය මව ඝාතනය කළ බුම්මාටත් ගිනි අවිය ලබාදුන් පූකුඩිකන්නාටත් වැඩක් දෙන්නටය. ඒ වන විට පූකුඩිකන්නාද සිටියේ ඉන්දියාවට පැනගොසිනි. එබැවින් මේ සහෝදරයින් සැලසුම් කරන්නේ ඔහුව මෙරටට ගෙන්වාගෙන වැඩක් දෙන්නටය. පුකුඩිකන්නාගේ පියාට මෝදර තැපැල් කන්තෝරුව ආසන්නයේදී 2018 අගෝස්තු 03 වෙනිදා වෙඩිතබා ඝාතනය කරන්නේ ද එකී අරමුණ වෙනුවෙනි.

වත්තලදී අතිදක්ෂ වෙඩිතැබීමක්

සෙල්විගේ පුතුන්ගේ සැලසුම කුමක්දැයි වටහා ගන්නා පූකුඩිකන්නාද සිය පියාගේ මරණින් කලබල වූයේ නැත. බෝට්ටුවක නැගී ධීවරයෙක් ලෙස ඔහු ඉන්දියාවේ සිට මෙරටට එන්නේ අවසන් කටයුතු සිදුකෙරෙන දිනට පෙර දින රාත්‍රියේදීය. ඒ පැමිණි ඔහු වැඩි වේලාවක් නිවසේ රැඳී සිටියේද නැත. සිය පියාට අවසන් ගෞරවය දක්වා නැවතත් ඉන්දියාවටම පැනගත්තේය.

සෙල්විගේ දරුවන් කන්ජිපානි ඉම්රාන් සහ මාකදුරේ මධුෂ් ඇසුරු කරමින් ශක්තිමත් වෙමින් පහර දෙන විට බුම්මාත් පූකුඩිකන්නාත් සැලසුම් කරන්නේ ඔවුන්ගේ හයිය බිඳ දමන්නටය. ඒ සදහා සෙල්විගේ පුතුන්ට වැඩක් දෙන්නට ඔවුහු සැලසුම් කරන්නට වූහ. එහෙත් ඊට ඔවුන්ට අවස්ථාවක් උදා නොවන්නේ සෙල්විගේ බාලයාත් මද්දුමයාත් කොළඹ අපරාධ කොට්ඨාසයට කොටුවන බැවිනි.

ඉන්දියාවේ සිට ඇවිත් මිනීමරා යළි ඉන්දියාවට

ඒ වන විට සෙල්විගේ දියණිය සහ පුතුන්ගේ බිරින්දෑවරුන්ද සිය ආරක්ෂාව පතා සිටින්නේ ගේ දොර අතහැර වත්තල පැත්තේ පදිංචියට ගොසිනි. ඒ බව දැනගත් බුම්මාත් පූකුඩිකන්නාත් සැලසුම් කරන්නේ ඔවුන්ට වැඩක් දෙන්නටය. ඒ සෙල්විගේ දරුවන්ට දැනෙන්නටය. වත්තල හේකිත්තේදී 2018 වසරේ ජනවාරි 13 වෙනිදා සිදුවන්නේ එම ප්‍රහාරයයි.
රෝස පැහැති වැගන් ආර් වර්ගයේ මෝටර් රථයකින් පැමිණි වෙඩික්කරුවන් දෙදෙනෙක් මෝටර් රථයකින් ගමන් කරමින් සිටි පිරිසකට එදා එම ප්‍රහාරය එල්ලකරන්නේ එහි ඉදිරිපස අසුනේ සිටි දෙදෙනාවම මරා දමමිනි. පිටුපස ආසනයේ කාන්තාවන් දෙදෙනෙක් සහ දරුවන් දෙදෙනෙක් සිටියද ඒ අයට හානියක් නොකරන්නට වෙඩික්කරුවන් වගබලාගෙන තිබුනේ ඉලක්කය නිසි පරිදි ලබාගනිමිනි. ටී 56 වර්ගයේ ගිනි අවි දෙකකින් එදා එම ප්‍රහාරය එල්ලකළ වුන් අතර මුස්ලිම් කාන්තා වෙස්ගත් වෙඩික්කරුවෙක්ද සිටියේය. ඔහු බුම්මාය. ඉන්දියාවේ සිට බෝට්ටුවකින් පැමිණ ඔහු නැවතත් ඒ පැමිණි ආකාරයෙන්ම ඉන්දියාවටම ගොස් තිබුණේ පැය 24ක් ගතවන්නටත් මත්තෙනි.

බුම්මා ගුණාට සෙට්වෙයි

එදා බුම්මා විසින් එල්ල කළ එම ප්‍රහාරයෙන් ඝාතනය වන්නේ කුඩු සෙල්විගේ දියණිය විවාහ ගිවිසගෙන සිටි ස්ටීවන් රාජේන්ද්‍රන් සහ සෙල්විගේ වැඩිමහල් පුත්‍රයා වන ශිරාන්ගේ බිරිඳගේ සහෝදරයා වන සුප්පයියා මදිවානන් යන දෙදෙනාය. මෝටර් රථයේ සිට වෙඩි නොකා දිවිගලවාත්තවුන් වූයේ ශිරන්තගේ බිරිඳ සහ දරුදෙදෙනාත් නැගණියත්ය.
එම ප්‍රහාරයෙන් කෙටි කලකට පසු බුම්මාගේ අවි ගබඩාවක් විශේෂ කාර්ය බළකායේ විශේෂ බුද්ධි අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නදීක සිල්වා ඇතුළු කණ්ඩායමක් විසින් වටලා ගිනි අවි රැසක් සමග මත්කුඩු තොගයක්ද අල්ලා ගන්නේ ජා-ඇල පැත්තෙනි. බුම්මා ඉන්දියාවේ සිට බෝට්ටු මගින් නිතර පැමිණ යන බව මෙන්ම ඔහු ඉන්දියාවේ රැඳී සිටින්නේ කිඹුලා ඇල ගුණා සමග බවත් හෙළිවන්නේ එහිදීය. කිඹුලා ඇල ගුණාගේ මත්කුඩු ජාලයේ ඒ වන විට ඔහු සිටියේ අංක එකේ පුරුකක් බවට පත්වය.

රුවන් වෙඩිවර්ධන

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

සතියේ ජනප්‍රියම පුවත්

කොළඹ කෝටිපතියෙකුගේ පුතා රෝහලක උඩුමහලකින් පැන මරුට කැපවෙයි..

කොළඹ කෝටිපති ව්‍යාපාරිකයකුගේ තරුණ පුතකු කොල්ලුපිටිය ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක දස වැනි මහලෙන් බිමට පැන...

භාතිය හා සන්තුෂ් වෙලෙන්දන් දෙදෙනෙක් පමණයි.. රෝහණ වීරසිංහගෙන් දැඩි ප‍්‍රහාරයක්..

පසුගියදා රෝහණ වීරසිංහ හා භාතිය හා සන්තුෂ් යන අය සමග බොහෝ මත බේදාත්මක කතාබහක්...

සිංහල සිනමාවේ සිහින කුමාරයාගේ කොලිවුඩ් සම්ප්‍රාප්තිය

හේමාල් රණසිංහගේ ඉන්දියානු සිනමා ආගමනය සටහන් කළ 'සෙකන්ඩ් ෂෝ' (Second Show) නම් වූ කොලිවුඩ්...

26 හැවිරිදි චතුරිකාගේ දේහය යළි ගොඩගනී

යක්කල ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි විවාහක කාන්තාවක්ගේ දේහය යළි ගොඩගැනීම සිදු කරනු ලැබුවා. ඇය...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x