Central Bank Central Bank

“කොළඹ මුහුදේ කිඹුල්ලු මිනීකන්නේ නැහැ”

ජනවාරි 11 වැනි දා වැල්ලවත්ත සහ ගාලු මුවදොර ආසන්නයේ ද කිඹුලෙකු දර්ශනය වීමත් සමග බොහෝදෙනා තුළ ප්‍රශ්නාර්ථයක් මතුව ඇත්තේ මෙම වෙරළ කලාපය ඉතා ජනාකීර්ණ වන හෙයිනි.

එනමුත්, මුහුදේ දී කිඹුලෙකු විසින් මිනිසෙකුට පහර දුන් සිදුවීමක් මින් පෙර ශ්‍රී ලංකාවෙන් වාර්තා වී නැත.

කොළඹ ආශ්‍රිත මුහුදේ වෙසෙන ගැට කිඹුලන් පිළිබඳව අප බියවිය යුතු ද? වෙරළට යෑමෙන් වැළකිය යුතු ද?

වනජීවී සංරක්ෂණය සංසදයේ ලේකම් නයනක රන්වැල්ල කොළඹ මුහුදේ කිඹුලන් ගැන ඇත්ත නැත්තත්, උන්ගෙන් අපට ඇති අවදානමත් අප වෙත විස්තර කළේ ය.

මුහුදේ කිඹුලන් ඉන්නවා ද?
ශ්‍රී ලංකාවේ වෙසෙන කිඹුල් විශේෂයන් දෙකකි. එක් විශේෂයක් ‘හැල කිඹුලා’ නම් වන අතර, අනෙක් විශේෂය ‘ගැට කිඹුලා’ ලෙස හැඳින්වේ.

මේ වන විට කොළඹ වෙරළ තීරයේ දක්නට ලැබෙන්නේ ගැට කිඹුලන් ය. උන් ලොව විශාලතම උරගයා ද වෙයි.

“ඔය මතභේදයට තුඩුදීලා ඉන්න ගැට කිඹුලන් කියන විශේෂය – ඒ කියන්නේ සෝල්ට් වෝටර් ක්‍රොකඩයිල් කියන විශේෂය – එයා සාමාන්‍යයෙන් උපතින්ම ලවණ ආශ්‍රිත පරිසරයට කැමැත්තක් දක්වන කෙනෙක්. එයා ලංකාවේ ඇල මාර්ග, ගංගාවල හිටියත්, එක්තරා කාලයකට බොහෝවිට ලවණ ජලයේ ගමන් කරනවා. විශේෂයෙන්ම මේ අපි දකින කිඹුලා වාර්තා වෙන්නේ දෙහිවල සහ වැල්ලවත්ත තියෙන ජල මාර්ගවල. මීට කලින් අවස්ථාවක මම එයා දැකලා තියෙනවා, එයා මුහුදට යනවා,” පරිසරවේදී රන්වැල්ල අප හා පැවසුවේ ය.

එම ස්ථානයෙන් මුහුදට පිවිසෙන කිඹුලුන් දෙදෙනෙකු වාර්තා වී ඇතැ යි ඔහු ප්‍රකාශ කළේ ය.

මිනිසුන් සමග සහයෝගයෙන් නගරවල වෙසෙන දකුණු ඉන්දීය වන අලි
වැව් වනසන යෝධ ගෝල්ඩ්ෆිෂ්: සුරතල් මසුන් ඇතිකරන්නන්ට අනතුරු ඇඟවීමක්

පරිසරවේදී නීතිඥ, ආචාර්ය ජගත් ගුණවර්ධනට අනුව කොළඹ අවට දියවන්නා ඔය ද ඇතුළු නාවල, වැල්ලවත්ත ප්‍රදේශවල ඇල මාර්ග මේ වන විට කිඹුලුන් 18 දෙනෙකු වෙසෙයි.

කොළඹ කයිමන් දොරකඩට එම නම වැටී ඇත්තේ ද එම ප්‍රදේශයේ එදා සිට විසූ කිඹුලන් නිසාවෙනි. කිඹුලා, ලන්දේසි බසින් “කායිමන්” යනුවෙන් හැඳින්වේ.

පරිසරවේදී රන්වැල්ල පවසන පරිදි, කිඹුලන් මුහුදට ඇදීමට බලපානා හේතූන් කීපයකි.

අභිජනන ප්‍රදේශයන් සොයාගැනීම සඳහාත්, රාත්‍රී කාලයේ දී බොහෝවිට ගොදුරු සොයාගැනීම සඳහාත් කිඹුලන් සාගරය වෙත ඇදෙනබව පැහැදිලි කළ ඔහු තෙවැනි හේතුව ලෙස ගෙනහැර පෑවේ අප අතින් සිදුව ඇති අකටයුත්තකි.

“තුන්වෙනි හේතුව තමයි අපි දකින්නේ, මේ ඇල මාර්ග නාගරික සංවර්ධන ක්‍රමවේද අනුව සංවර්ධනය කිරීමේ දී නාගරික වනජීවීන් ගැන පොඩ්ඩක්වත් හිතා බලලා නෙවෙයි සිදුකරලා තියෙන්නේ. ඒවායේ ඉවුරු නෑ දැන්. ඒවා දෙපැත්තම ගල් අතුරලා තියෙන්නේ. ඒවට, ඒ කියන්නේ පොළොවකට මේගොල්ලන්ට [කිඹුලන්ට] ගොඩවෙන්න ඕනේ. අභාග්‍යයකට, මේගොල්ලෝ ජීවත් වන ඇල මාර්ග පද්ධතියම ගැඹුරු කරලා තියෙනවා. ඒකෙන් ලවණ ජලය [රට] ඇතුළට එනවා. එතකොට මේ කිඹුල් ගහණය වැඩිවෙනවා. ඊට අමතරව, එයාලට යන්න ගොඩබිමක් නැති හින්දා එයාලා මුහුදට වෙනකල් යනවා ගොඩබිමකුත් හොයාගෙන,” ඔහු පැහැදිලි කරයි.

මේ හේතූන්ට අමතරව කිඹුලන් මුහුදට යැවෙන තවත් එක් හේතුවක් ලෙස ඔහු දක්වන්නේ කිඹුලන් වසම්වාසී සත්ත්වයින් වීම යි. කිඹුලාගේ වසමට වෙනත් කිඹුලෙකු පැමිණි විටෙක ඌ එළවමින් හඹා යාමේ දී ද මුහුදට යන්නට හැකිබැව් ඔහු සඳහන් කළේ ය.

එසේම, ගංගා ජලය වේගයෙන් මුහුදට ගලා ඒමේ දී ඒ සමග පැමිණෙන මසුන් ආහාරයට ගැනීම සඳහා ගං මුවවිට අසලට පැමිණෙන මෝරුන් වැනි විශාල මසුන් ගොදුරුකර ගැනීමට ද කිඹුලන් මුහුද වෙත ඇදේ.

එනිසා, වෙරළ තීරය අවට මෙසේ කිඹුලන් දක්නට ලැබීම පුදුමයට කරුණක් නොවනබව පරිසරවේදී රන්වැල්ලගේ අදහස යි. ඔවුන්ගේ ශරීරය ව්‍යුහාත්මකව සැකසී ඇත්තේ ද කරදියේ විසීමට සරිලන ආකාරයෙනි.

“මේ කිඹුල්ලු මිනී කන්නේ නැහැ”
ඇතැම් රූපවාහිනී නාලිකා සහ වෙබ් අඩවි මඟින් මෙම සිදුවීම වාර්තා කරන විලාශය හේතුවෙන්, මෙම කිඹුලන් මිනී කන්නේයැ යි අනිසි බියක් ජනතාව තුළ ඇතිව තිබේ.එනමුත් නයනක රන්වැල්ල අවධාරණය කරන්නේ ඔවුන් “මිනී කන්නන්” නොවන වග යි.

“මේ කිඹුල්ලු මිනී කන්නේ නැහැ කියන්නේ, දැන් ‘මිනී කන්නා’ කියන්නේ, ‘man-eater’ කියන වචනේ තේරුම තමයි, ඒගොල්ලෝ මිනී මත පමණක් යැපෙමින් ජීවත් වෙනවා කියන එක. හැබැයි මේ කිඹුල්ලු එකෙක්වත් ඒ තත්ත්වයේ අය නෙවෙයි කියලා තමයි අපි දකින්නේ. විශේෂයෙන් ලංකාවේ පහුගිය අවුරුදු කීපය තුළම මෙවැනි මරණ වාර්තා වෙලා තියෙන්නේ එක යි දෙක යි. මුහුදේ නම් මෙහෙම සිද්ධියක් වාර්තා වුණාමයි. අපි දැනුවත්ව මීට පෙර වාර්තා වෙලා නැහැ. එතකොට මේක අපි හිතන්නේ අහඹු සිදුවීමක් කියලා,” ඔහු විස්තර කළේ ය.

ඔහු ප්‍රකාශ කරන්නේ, කිඹුලා දෙහිවල ප්‍රදේශයේ මුහුදේ කොරල් පරය ආසන්නයේ පසුවන විටෙක දී කිමිදුම්කරුවා අභාග්‍යසම්පන්න ලෙස ඒ වෙත ළඟාවන්නට ඇතිබව යි.

“කිඹුලන්ටත් තියෙනවා ඒගොල්ලන්ට සුවපහසු පරිසර පද්ධතියක්… ඒ කොම්ෆොටබල් සෝන් එක අපි අතික්‍රමණය කරලා ඇතුළට ආවොත් ඒගොල්ලෝ පහරදීම් සිද්ධ කරනවා,”යි පැවසූ ඔහු, එනිසා, කිමිදුම්කරු ප්‍රහාරයට ලක්වූයේ කිඹුලාගේ සුවපහසු කලාපයට පිවිසීම හේතුවෙන් ද, එසේත් නැතහොත් ගොදුරක් සේ සලකා ද යන්න පිළිබඳ සැක පවතින්නේයැ යි ප්‍රකාශ කළේ ය.

මේ කිඹුලන් බොහෝ කලෙක පටන් මුහුද වෙතට පැමිණුනත් මෙවැනි සිදුවීමක් වාර්තා වූ ප්‍රථම අවස්ථාව මෙය බැවින්, බියවීමට හේතු කාරණා නැතැ යි ද පරිසරවේදී රන්වැල්ල පවසයි.

“මහා මාර්ග අනතුරු ගත්තොත් වසරකට 2500ක් විතර මියයනවා. එතකොට අරක්කු සහ දුම්වැටි පාවිච්චියෙන්, ලෝක සෞඛ්‍ය සංවිධානය කියනවා ලංකාවේ 50,000ක්වත් වර්ෂයකට මැරෙනවා කියලා. දැන් එවැනි අනතුරු තියෙනවා රටක, වසරකට උපරිම දෙන්නෙක් හෝ තුන්දෙනෙක් මැරෙන අනතුරක් ගැන මෙච්චර අනියත බියක් ඇතිකර ගන්නේ ඇයි කියල අපට පුදුමයක් තියෙනවා. ඒ වගේම, සතෙක්ගෙන් ලංකාවේ වැඩිම මියයන්නේ අපි ගණන් නොගෙන ඉන්න මදුරුවාගෙන්. ඩෙංගු හැදිලා මේ රටේ මිනිස්සු 300ක් 400ක් සමහර වර්ෂවල මියගිහින් තියෙනවා, අලි-මිනිස් ගැටුමටත් වඩා මියයනවා ඒකෙන්. ඉතින් දැන් එවැනි දේවල් තියෙද්දී, මේ එක සිද්ධියක් වෙච්ච ගමන් අනියත බියක් ඇතිකර ගැනීම නුසුදුසු යි කියල තමයි අපි දකින්නේ,” ඔහු ප්‍රකාශ කළේ ය.

වෙරළේ දී කිඹුලා දුටුවොත් මෙහෙම කරමු
පසුගිය දා කිඹුලන් දර්ශනය වූයේ වැල්ලවත්ත, ගෝල්ෆේස් ආදී ජනයා නිතර ගැවසෙන, විනෝදය සඳහා රැස්වෙන වෙරළ තීරයන්හි දී ය.

එනිසා, එවැනි ස්ථානයක දී කිඹුලෙකු දුටුවොත් සිදුකළ යුතු දෑ දැන සිටීම ප්‍රයෝජනවත් වෙයි.

එවැනි අවස්ථාවක දී අප ක්‍රියාකළ යුතු ආකාරය සම්බන්ධයෙන් පරිසරවේදී රන්වැල්ල මෙසේ උපදෙස් දුන්නේ ය:

කිඹුලෙකු දුටුවහොත් ජලයේ සිටිනා පුද්ගලයින් සියලුදෙනා ගොඩට පැමිණිය යුතු ය. කිඹුලා පැමිණෙන්නේ කුමන අරමුණකින් ද, ඌ සිටින්නේ කෙතරම් දුරකින්දැ යි කීම අපහසු හෙයින් අප අපේ ආරක්ෂාකාරී ප්‍රදේශයට පැමිණීම වැදගත් ය
රාත්‍රී කාලයේ දී, කිඹුලන් ගැවසෙන ප්‍රදේශවලින් දියට බැසීම අනතුරුදායක ය. ඉන් වළකින්න
කිඹුලන්ට ආහාර දීමට යෑම, කිඹුලන්ගේ ඡායාරූප ගැනීම සඳහා අනවශ්‍ය පරිදි සත්ත්වයාට ළංවීම, සහ කිඹුලන් ස්පර්ශ කිරීමට යෑම අතිශයින් අනතුරුදායක ය
කුඩා දරුවන් සහ කුඩා ක්ෂීරපායි සතුන් එම ප්‍රදේශයෙන් ඉවත් කරන්න
කිඹුලන් ගැවසෙන වෙරළ, ජල මාර්ග ආදිය අසල නැමී සිටීමෙන් වළකින්න. අප නැමී සිටිය දී සිරුරෙන් කුඩා වී දර්ශනය වන හෙයින් කිඹුලා අප කුඩා ක්ෂීරපායී සතෙකුයැ යි වරදවා වටහාගෙන පහරදීමේ අවදානම ඉහළ යයි
කිඹුලන් ඇල්ලීමට හෝ එළවීමට යෑමෙන් වැළකී සිටිය යුතු ය. එවැනි ක්‍රියාමාර්ගයන් ගත යුත්තේ ඒ පිළිබඳ හසල දැනුමක්, අත්දැකීම්, සහ නීතිමය අවසරය ඇති ආයතන සහ පුද්ගලයන්ගේ මැදිහත්වීමෙන් පමණි
සාමාන්‍ය වැසියන් විසින් උගුල් අටවා කිඹුලන් ඇල්ලීමට යෑම නීතිවිරෝධීබව පවසන පරිසරවේදී රන්වැල්ල උපදෙස් දෙන්නේ, කිඹුලෙකු දුටුවහොත් එම ප්‍රදේශයෙන් ඉවත්වන ලෙස යි.

“හැබැයි මම හිතන්නේ නැහැ නැවත එවැනි අනතුරක් මෙම ප්‍රදේශවල සිද්ධවෙයි කියලා,” ඔහු වැඩි දුරටත් සඳහන්කර සිටියේ ය.

කොළඹ මුහුදේ දී කිඹුලන් වාර්තාවීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලයන් හරහා බොහෝ විද්වතුන් දක්වා තිබූ අදහස් අතරේ, පරිසරවේදී සෙතිල් මුහන්දිරම් මෙසේ පවසා තිබුණි:

“කිඹුලා කියන්නෙ ආහාර දාමයේ ඉන්න සුවිශේෂී විලෝපිකයෙක්. අවුරුදු දහස් ගාණක පරිණාමයක් තුල විවිධ සිදුවීම්වලින් ඒවාට අනුකූලව අනුවර්තනය උන සතෙක් ආරක්ෂා කරන්න ලංකාවේ නීතියෙන් පවා කටයුතු කරල තියෙනවා. මිනිස්සු විදිහට අපි තේරුම් ගන්න ඕන කිඹුලට ඕනම පණක් ගොදුරක්. එහෙම සතෙක් මුහුදෙ, ගගේ හෝ ඔබ අවට ඉද්දි කල්පනාවෙන් වැඩ කරනවා මිස දෙයක් උනාට පස්සෙ පලි අරගෙන වැඩක් නැහැ. මියගිය කිමිදුම්කරුවට නිවන් සුව පතනවා වගේම ඔබෙන් ඉල්ලනවා මේ වගේ සිදුවීමක් උනාම අනවශ්‍ය ලෙස බොරුව හෝ බිය පතුරවන්න ඉඩ දෙන්න එපා. ඒකෙන් තමා ලොකුම හානිය වෙන්නෙ.”

බි.බි.සී සිංහල

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
7
අවුල් වගේ !
1
හරි හිනා !
3
හම්මෝ !
3
මාර දුකයි !
0
මලපනිනව !
1
කුජීතයි !
3

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්