තාම වයස 23 යි, දවසේ ආදායම 40,000 යි… සුන්දර තරුණියන්ගේ අමුතුම සෙල්ලමක් හෙලිවෙයි

පසුගිය කාල සීමාව තුළ කොළඹ සහ ගම්පහ දිස්ත‍්‍රික්කය තුළ හොර රහසේ පවත්වාගෙන ගිය මුදලට තරුණියන් විකිණීමේ ස්ථාන කිහිපයක්ම විටින් විට වැටලීමට පොලිස් නිලධාරීන්ට හැකි විය. විශේෂයෙන්ම සම්බාහන මධ්‍යස්ථාන පවත්වාගෙන යන මුවාවෙන් අන්තර්ජාලය හරහා මෙම ජාවාරම ජයටම සිදු කරගෙන ගොස් තිබුණි. සමහරු තවමත් එය සිදු කර ගෙන යති. ජාවාරම්කරුවෝ මේ සඳහා සුන්දර ළාබාල යුවතියන් යොදා ගනිති. ඒ ඔවුන්ට සමාජයේ වැඩි ඉල්ලූමක් තිබෙන නිසාය.

නගරබද පවත්වාගෙන යන මෙම ස්ථානවල අඟපසඟ විකුණන බොහො යුවතියෝ ගම්බද අය වෙති. ඒ අතරින් බහුතරයක් මෙම රැකියාවේ නියැලෙන්නේ කුඩා කලම තම ජීවිතය වරද්දා ගත් නිසාය. ඒ සමගම මෙම රැකියාවේ නියැලෙන යුවතියෝ මත්පැන්වලට අමතරව අයිස් වැනි භයානක මත්ද්‍රව්‍ය භාවිතයට ද ඇබ්බැහි වී සිටිති.

ළැම පමණක් ලොවට පෙනෙන ළය නොපෙනෙන ළඳුන්ගේ ඔබ ඇසිය යුතු කතාවක් තිබේ. මේ පසුගිය දිනක මීගමුව ප‍්‍රදේශයේ පවත්වාගෙන ගිය අන්තර්ජාලය හරහා සුන්දර යුවතියන් විකිණීමේ ජාවාරමක නිරතවී සිටියදී නීතියේ රැහැනට කොටු වූ ළාබාල යුවතියන් අතරින් දෙදෙනකුගේ කතාවයි.

ශානි සහ මුතු යන අන්වර්ථ නාමයන්වලින් අපි එම යුවතියන් හඳුන්වන්නෙමු. පළමුව අප සමඟ අදහස් දැක්වූයේ ශානි නමැති යුවතියයි. මේ ඇයගේ වචනයෙන්ම ඇයගේ කතාවයි.

”මගේ ගම මාතර. මාතර කිව්වට නගරයේ නොවෙයි. ටිකක් ඈතට යන්න ඕනා. මගේ අම්මයි තාත්තයි ව්‍යාපාරයක් කළේ. ගමේ තිබුණු ලොකුම සිල්ලර බඩු කඩය තිබුණේ අපිට. ඒක නිසා අපිට හොඳට සල්ලි තිබුණා. පවුලේ බාලයා මමයි. එක් සහෝදරයෙක් සහ සහෝදරියක් මට ඉන්නවා.”

”නගරයේ තිබුණු කාන්තා විදුහලක තමයි මම ඉගෙන ගත්තෙ. ඕ ලෙවල් පාස් වුණා. ඒ ලෙවල් වාණිජ අංශයෙන් කරගෙන හිටියේ. ඒ කාලේ මම තරුණයෙක් එක්ක යාළු වුණා. ඒ අපේ කඬේට බඩු දාන්න එන අයියා කෙනෙක්. එයා පෞද්ගලික කොම්පැනියක රෙප් කෙනෙක්. මට වඩා අවුරුදු නමයක් වැඩිමල්. හැබැයි හරිම ලස්සනයි.”

”ඒ කාලේ මට එයාගෙන් තොර ලෝකයක් තිබුණෙ නැහැ. අපේ තාත්තා නීතිකාරයා. මං ගැන හොඳට හොයලා බැලූවා. ඒක නිසා අපිට නිතරම හම්බ වෙන්න බැරි වුණා. වැඩිපුරම ආදරේ කළේ ෆෝන් එකෙන්.”

”මාස කීපයක් ගතවෙද්දී මට එයා නැතුව බැරි වුණා. දෙමව්පියන්ට වඩා ආදරයක් එයා ළඟ තියෙනවා කියලා හිතුනා. ඒක නිසා එයා ළඟටම යන්නම තමයි හිත. අන්තිමේදි අපි දෙන්නා තීරණයක් ගත්තා. ඒ හොර රහසේ පැනලා යන්න. එතකොට මගේ වයස අවුරුදු දාහතයි. ඒ ලෙවල් කරන්න ගත්තා විතරයි.”

”අපි පැනලා යන්න මාසයක් විතර ප්ලෑන් කළා. සැරින් සැරේ මගේ ඇඳුම් ටිකක් ඒ අයියට දීලා තිබුණා. කිහිපවිටක්ම තාත්තට හොරෙන් කඩෙන් සල්ලිත් ගත්තා. දවසක් පෞද්ගලික පන්තියකට යන විදියට ගෙදරින් පැනලා ඒ අයියත් එක්ක කොළඔ ආවා.”

”එතකොට මම පොඩි කෙල්ලෙක්. ගොඩක් ලස්සනයි. හැමෝම කිව්වේ මම අම්මගේ කපාපු පළුව කියලා. පැනලා ඇවිත් දවස් තුනක් අපි කොළඹ පැත්තෙ හෝටලයක හිටියා. ඒ දවස් ටිකේ මට වෙන්න ඕන සේරම දේ වුණා. ගෙදරට ගින්දර දීලා ආවත් මට ඒ ගැන එච්චර ලොකු කැක්කුමක් තිබුණෙ නෑහැ. මොකද මගේ ලෝකය වුණේ මේ මනුස්සයා.”

”පැනලා ආපු දවසෙම මම ගෙදර අයට කිව්වා. ඒගොල්ලො කලබල වෙලා මාව හැම තැනම හෙව්වා. පොලිසියටත් ගිහින් කියලා. තාත්තා පුදුම කේන්තියකින් ඉඳල තියෙන්නෙ.”

”දවස් 3ක හනිමුන් එක ඉවර වෙලා රාජගිරිය පැත්තේ පොඩි ඇනෙක්ස් එකක් ගත්තා. ගෙදරට අවශ්‍ය බඩු මුට්ටු ටිකකුත් ගත්තා. මම හිතුවේ එතැන් සිට ජීවිතය සුන්දරයි කියලා. සේරම අමතක කරලා ඔහු සමග සතුටින් ඉන්න තමයි ප්ලෑන් කළේ.”

”මාස තුනක් අපි සතුටින් හිටියා. එයා රස්සාවට ගියේ නෑ මම බැන්දට පස්සේ. මගේ අතේ හා එයාගෙ අතේ තිබුණු සල්ලි ටික ඉවර වුණා. ඊට පස්සෙ තමයි ජීවිතයේ වෙනස් වෙන්න පටන් ගත්තේ.”

”මම දැනගත්තේ පස්සේ. මිනිහා කුඩු කාරයෙක්. ඒ වගේම කසාද බැඳපු කෙනෙක්. ඒක දැනගත්ත දවසේ ජීවිතය පවා එපා වුණා. මට මැරෙන්න තරම් හිතුණා. ඉවසුවා. කොහොම හරි මේ මනුස්සයව හදා ගන්නවා කියලා හිතුවා. ඒක නිසා තව තවත් ඒ මිනිහට ආදරය කළා. හොඳින් කිව්වා කුඩු ගහන එක නවත්තන්න කියලා. ඒත් ඇහුවේ නෑහැ.” ”තවත් මාස කීපයක් එහෙම යද්දි අපිට ජීවත් වෙන්න විදියක් තිබුණෙම නැහැ. ඒක නිසා මම තීරණය කළා රස්සාවකට යන්න. අපේ ඇනේක්ස් එක ළඟ අක්කා කෙනෙක් හිටියා. එයා රාජගිරිය පැත්තේ සපත්තු බෑග් හදන පොඩි ෆැක්ටරි එකක වැඩ කළේ. මාවත් එතැනට ගත්තා.”

”මාස කීපයක් එතන වැඩ කළා. ගෙදර ආවාම අමුම අපායක්. අර මිනිහත් එක්ක ජීවත්වෙන්න බැහැ. හැමදාම රණ්ඩු. අතින් පයින් හොඳටම මට ගහනවා. එක එක මිනිස්සු ජෝඩු කරනවා. ඒ මදිවට කුඩු ගහන්න සල්ලිත් ඉල්ලනවා. පුළුවන් තරම් ඉවසුවා. කරන්න දෙයක් නැති නිසා. එහෙත් කවදාවත් ඒ මිනිහගෙන් සැනසීමක් හම්බෙන්නෙ නැහැ කියලා මම තේරුම් ගත්තා.”

”මොනව කරන්නද කියලා හිතාගන්න බැහැ. හම්බවෙන්නෙත් සොච්චම් පඩියක්. වැඩ කරන තැන අක්කා කෙනෙක් හිටියා. එයා මට ගොඩක් හිතවත්. මගේ ප‍්‍රශ්න සේරම එයා දන්නවා. එයා හරි හොඳ කෙනෙක් ඒත් සල්ලි ප‍්‍රශ්න තිබුණා. දවසක් එයා මට කිව්වා අපි ටික කාලයක් ස්පා එකක වැඩ කරමු කියලා. එයා දන්න කෙනෙක් වැඩ කරනවලූ. දවසට හොඳ ගාණක් හොයනවලූ.”

”දවස් ගාණක් මම ඒ ගැන කල්පනා කළා. මට යන්න හිත දුන්නෙම නෑහැ. අන්තිමේදී හිත හදාගෙන මම ඒකට කැමැති වුණා. ඒ අක්කා එක්ක නාවල තියෙන ස්පා එකකට අපි ගියා.”

”එදා ඉඳන් තමයි මගේ ජීවිතයේ ආයෙ වෙනස් වෙන්න පටන් ගත්තේ. බොරු කියන්න ඕනෙ නෑනේ. මගේ ලස්සනට ගොඩක් අය කැමති වුණා. එතන ස්පා කියලා තිබුණේ නමට විතරයි. ඇතුලෙ හැම දෙයක්ම වෙනවා. මාස කීපයක් යද්දි ක‍්‍රම ක‍්‍රමයෙන් මම ඒවට කැමති වුණා. ඒ එක්කම මිනිහා කුඩුත් එක්ක පොලීසියට අහුවෙලා තිබුණා. ඊට පස්සේ එයාට මොනව උනාද කියල අද වෙනතුරු මම දන්නේ නැහැ. හෙව්වෙත් නැහැ. පදිංචියත් මම වෙනස් කළා.”

”මම වෙනස් වෙන්න පටන් ගත්තා. අඳින පළඳින එක පවා වෙනස් කළා. ටික කොණ්ඩෙ කොටට කපලා පාට කළා. මගේ අතේ හොඳට සල්ලි තිබුණා. සමහර දවස්වලට තිස් දහ, හතළිස් දහ හොයනවා.”

”මුලින්ම මම බියර් බොන්න පටන් ගත්තා. ඊට පස්සේ අරක්කු. අන්තිමට නැවතුනේ අයිසුත් ගහලා. අයිස් ගැහුවම නිදිමත එන්නේ නැහැ. ඇඟට අමාරුවක් නැහැ. කරන්නේ මොනවාද කියලවත් දන්නෙ නැහැ. සමහර දිනවලට මිනිස්සු දහ පහළොස් දෙනා එක්ක නිදා ගන්නවා.”

”ඒ අතර මම කොල්ලො දෙන්නෙක් තුන්දෙනෙක් එක්ක ලව් කළා. ජීවිතය විඳින්නත් ඕනානේ. ඒ කොල්ලො අතින් දෙපාරක් මම ප්‍රෙග්නට් වුණා. දෙපාරක් මම ඇබෝෂන් කළා.”

”කරන්න දෙයක් නැහැ. මම මේ ජීවිතයට ඇබ්බැහි වුණා. නොතේරෙනකමට එකෙකුට ආදරේ කළා. ඒ මිනිහා තමයි මගේ ජීවිතයම විනාශ කළේ. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. මෙහෙම ජීවත් වෙනවා.”

”එතකොට ගෙදර අය.” මම අතුරු ප‍්‍රශ්නයක් නැගුවෙමි.

”පැනලා ගියාට පස්සේ අම්ම මාත් එක්ක කතා කළා. ගෙදර එන්නත් කිව්වා. ඒත් මම ගියේ නැහැ. පස්සේ කොහොමහරි ඒගොල්ලන්ට ආරංචි වෙලා තිබුණා මම කියන කරන දේවල්. ඒක නිසා මට ඒගොල්ලන්ගෙ මුහුණ බලන්න බෑහැ. සහෝදර සහෝදරියන් මාව පවුලෙන් අයින් කරලම දැම්මා. ඉඳලා හිටලා අම්මට කතා කරනවා එච්චරයි.”

”වයස තවම විසි තුනයි. දැන්වත් මේ ජීවිතයෙන් අයින් වෙලා හොඳ ජීවිතයක් ගත කරන්න පුළුවන් නේද?

”කිහිපවිටක්ම හිතුණා. එහෙත් බැහැ. පිරිමි කියන අය ආයෙමත් ජීවිතයටවත් මම විශ්වාස කරන්නේ නැහැ. මේ ජීවිතයට පුරුදුවෙලා ඉවරයි. මේක තමයි මගේ ජීවිතය දැන්. හොඳට සල්ලි හම්බ කරනවා කනවා බොනවා සතුටින් ඉන්නවා.”

”ඒ වුණාට ඔයා කරන්නේ නීති විරෝධී වැඩක් නේ.” අවසන් වශයෙන් මම ඇයගෙන් එලෙස විමසුවෙමි.

”යන්න. මෙරටේ මීට වඩා නීති විරෝධී වැඩ කොච්චර වෙනවද?. ඒවා ගැන කවුද කතා කරන්නේ. අපි ගැන තමයි හැමෝම කතා කරන්නේ. අපි බලෙන් මිනිස්සු ළඟට යන්නේ නැහැ මිනිස්සු තමයි අපි ළඟට එන්නේ.”

ඇයගේ කතාව එලෙස අවසන් කළ පසු මුතු තම කතාව පටන් ගත්තේ මෙලෙසින්ය.

”මගේ ගම අනුරාධපුරයේ. අපේ තාත්තා ගොවිතැන් කළේ. අන්තිමට තාත්තා අසනීප වුණා. වකුගඩු අමාරුව හැදිලා. අම්මයි මල්ලිලා තුන්දෙනෙක් ඉන්නවා. මම තමයි පවුලේ වැඩිමලා. ජීවත් වෙන්න විදියක් තිබුණෙම නැහැ.”

”කරන්න දෙයක් නැති නිසා මම ඉස්කෝලේ යන් නැතුව අනුරාධපුරයේ රෙදි කඬේක වැඩ කළා. පොඩි පඩියක් හම්බ උනේ. ඒකෙන් අපිට ජීවත් වෙන විදිහක් තිබුණෙ නැහැ. අඩුම ගාණේ තාත්තගේ බෙහෙත් ටිකවත් හරියට ගන්න විදිහක් තිබුණෙ නැහැ.”

”කඬේ අයිතිකාරයා වයස අවුරුදු 50 ක් විතර වෙනවා. මට බැල්ම දාගෙන හිටියා. ඒත් මුලින්ම මම කැමති වුණේ නැහැ. පස්සේ ගෙදර ප‍්‍රශ්නත් එක්ක ඒ මිනිහා එක්ක මම අනියම් සම්බන්ධතාවක් පැවැත්තුවා.”

”ඉස්කෝලේ යන කාලේ ලව් එකක් තිබුණා. පොඩි පොඩි දේවල් කළාට එයා එක්ක මම ලිංගිකව ඉඳලා නැහැ. මේ මිනිහා එක්ක තමයි මම මුලින්ම ලිංගිකව හිටියේ. මිනිහ තමයි මාව ගෑනියෙක් බවට පත් කළේ. කරන්න දෙයක් නෑ ගෙදර අය නිසා මම ඒ දේ කළා.”

”මිනිහ මට හොඳට සැලකුවා. ඉල්ලන ඉල්ලන ගණන් සල්ලි දුන්නා. ඒ වගේම තමයි මිනිහ නිතරම මාව එහෙ මෙහෙ එක්කන් ගියා. ටික දවසක් යනකොට අපේ සම්බන්ධය ගැන එයාගේ නෝනා දැනගත්තා. එදා මට ඒ ගෑනු කෙනා කනට ගහලා තමයි කඩෙං එළියට දැම්මේ. පස්සේ ගමේ අය මේ බව දැන ගත්තා.”

”කරන්න දෙයක් නැති නිසා මම ගම අතහැරලා කොළඹ ආවා. ෆේස්බුක් එකේ අඳුනගත්ත අයියා කෙනෙක් තමයි මට කොළඹ එන්න කිව්වේ. එයා හොඳ ජොබ් එකක් හොයලා දෙන්නම් කිව්වා. කොළඹ විත් සතියක් විතර ඒ අයියත් එක්ක හිටියා. පස්සේ එයා අක්කා කෙනෙකුට මාව හඳුන්වලා දුන්නා.”

”ඒ අක්කා ස්පා කරන කෙනෙක්. එහෙම තමයි මම මේ ජොබ් එක පටන් ගත්තෙ. ඇත්තටම අසරණකමට. තාත්තා ලෙඩ නොවුණානම්, අපිට සල්ලි තිබුණා නම් මගේ ආසාව තිබුණේ කොහොම හරි කැම්පස් යන්න. පන්තියෙත් මම හොඳට ඉගෙන ගත්තා.”

”කරන්න දෙයක් නැහැ. මොනව කරන්නත් අපි ජීවත් වෙන්න ඕනනේ. මම මේ ජොබ් එක කළාට පස්සෙ හොඳට සල්ලි හෙව්වා. අපේ ගෙයි ඉතුරු වැඩ ටික කරලා හොඳට හැදුවා. අම්මටයි තාත්තටයි හොඳට සලකනවා. විශේෂයෙන්ම තාත්තට බෙහෙත්වලට අමතරව පෝෂ්‍යදායි කෑම බීම පවා අරන් දෙනවා. මල්ලිලවත් කිසි අඩුපාඩුවක් නැතුව ඉස්කෝලේ යැව්වා. ඕං ලයින් ඉගෙන ගන්න ෆෝන් පවා අරන් දුන්නා. හැබැයි ඒ සේරම කරන්නේ මේ කරන ජොබ් එකෙන් තමයි.

”මොකක්ද මේ ජීවිතය කියලා වෙලාවකට මම අඬනවා. මැරෙන්න හිතෙනවා. ඒත් කරන්න දෙයක් නැහැ මගේ පවුල මං බලාගන්න ඕනා.”

”වෙන අය වගේ මම සල්ලි නිකන් වියදම් කරන්නෙ නෑහැ. මම ඉඳලා හිටලා බියර් එකක් බොනවා ඒ දුක නැති කරගන්න. වෙන අය වගේ මම අයිස්, ගංජා, ටැබ්ලට් සහ කුඩු ගහන්නේ නැහැ. මේ ෆීල්ඞ් එකේ ඉන්න වැඩි දෙනෙක් දිනපතාම ඔය කියන මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා.”

”සල්ලි ටිකක් තියෙන එකේ ජීවත්වෙන්න වෙන මාර්ගයක් තෝරගත්තොත් නරකද?”

මම ඇයගෙන් එලෙස විමසුවෙමි.

”ව්‍යාපාර කරන්න මට දැනුමක් නැහැ. වෙන රස්සාවල් කරලා මේ වගේ මුදලක් හොයන්න බැහැ. මගේ පවුල ජීවත් කරවන්න නම් තව ටික කාලයක් මට මේ රස්සාව කරන්න වෙනවා.”

බහුතරයක් තරුණියෝ ජීවත්වීමට ක‍්‍රමයක් නොමැති යැයි සමාජයට පවසමින් මෙම වෘත්තීයේ නියැලෙති. එහෙත් එය විශාල වරදකි. කිසි දිනෙක එවැනි තරුණියන්ව සමාජය විසින් සාධාරණීයකරණය නොකළ යුතුය. ජීවත්වීමට නොහැකිව අසරණ වූ තරුණියෝ තවත් බොහෝ සිටිති. ඔවුහු කිසිදිනක ජීවත් වීම සඳහා මෙම වෘත්තීයේ නොයෙදෙති. එම නිසා මෙම වෘත්තියේ නියැලෙන තරුණියන්ට නීතියෙන් දඬුවම් දීමට අමතරව පුනරුත්ථාපනය කර හෝ සමාජ ගත කළ යුතුය. අදාළ බලධාරීන් මේ පිළිබඳ වරක් නොව දස දහස් වාරයක් සිතිය යුතුය.

ගයාන් සමරසිංහ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
5
අවුල් වගේ !
5
හරි හිනා !
2
හම්මෝ !
7
මාර දුකයි !
62
මලපනිනව !
14
කුජීතයි !
17

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්