තුවාලයට පණුවෝ ගෙනත් දැම්මා.කම්බි කූරක් මුත්‍රාශයට ඇතුළු කළා

මහනුවර-යාපනය ඒ 9 මාර්ගයේ කනගරායක්කුලම් හංදියෙන් හැරී පුට්කුලම් ගම්මානය බලා අපි පිටත්ව ගියේ ගම්මානයේ ඇති කෝවිලක පූසාරිවරයකු මුණගැසීමටය.

කනගරායක්කුලමේ හංදියේ සිට පුට්කලම් ගම්මානයට කිලෝ මීටර් 04ක් පමණ දක්වා දුරක් ඇති මෙම මාර්ගය බොහොම අබලන්ය.

මේ ගම්මානයේ වර්තාමනය වන විට පදිංචිව සිටින්නේ මේ පූසාරිවරයා හා ඔහුගේ බිරිඳ පමණක්වීමද විශේෂත්වයකි.

කන්ගි අම්මාන් ​කෝවිලේ පූසාරිවරයා වනුයේ කනගු වෙට්ටිවේලු (72) මහතාය.

කොටින්ගේ වධකාගාරයක වසර 1 1/2ක පමණ කාලයක් මිනිසෙකුට කිසිසේත්ම දරා ගත නොහැකි අන්දමේ අතිශය දරුණු වධ වේදනා විඳ ඇති මේ පූසාරිවරයා ගැන මා සමග කිව්වේ විශ්‍රාමික සහකාර පොලිස් අධිකාරි කේ.එම්. බෝවල මහතාය.

මම පොලිසියේ රාජකාරිය කරන වකවානුවේ මගේ යටතේ පොලිස් සැරයන් නන්දසිරි කියා නිලධාරියෙක් සේවය කළා. සැරයන් නන්දසිරි දැන් රාජකාරි කරන්නේ කොළඹ ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ.

‘‘සැරයන් නන්දසිරි කියන්නේ ​ෙබහොම දක්‍ෂ නිලධාරියෙක්. වෙට්ටිවේලු කියන මේ පූසාරිවරයා හමුදාවට උදව් කළා යැයි චෝදනා කර අල්ලාගෙන ගිහින් ගහක එල්ලා කලවේ මස් කොටසක් කපා, එම තුවාලය කුණුවීමට හැර පසුව ඒ තුවාලයට පණුවන් ගෙනවිත් දමා මුත්‍රාශයට කම්බි කූරක් යවා දස වධ දීලා තිබෙනවා.

මේ කතාව මාත් එක්ක ඒ කාලයේ කිව්වේ මේ පොලිස් සැරයන්වරයා තමා’’ යැයි විශ්‍රාමික සහකාර පොලිස් අධිකාරි බෝවල මහතා කීය.

වෙට්ටිවේලු කියන මේ පූසාරිවරයා අපට මුණ ගස්වනු ලැබුවේ මාන්කුලම් පොලිස් අධිකාරි ජගත්​ ෆොන්සේකා මහතාය. අපේ භාෂා පරිවර්තකයා සහ මග පෙන්වන්නා වූයේ මාන්කුලම් පොලිසියේ ප්‍රජා පොලිස් ඒකකයේ පොලිස් කොස්තාපල් ටී. රමේෂ් (84594) මහතාය. ​ෙකාස්තාපල් රමේෂ් මහතාට හොඳින් සිංහල භාෂාව හැසිරවීමට හැකියාව ඇත.

දුෂ්කර මාර්ගයක් ඔස්සේ බොහොම අමාරුවෙන් අපව පුට්කුලම් ගම්මානය වෙත කැඳවා ගෙන ගියේ විජය පුවත්පත් සමාගමේ ප්‍රවාහන අංශයේ කපිලය.

පූසාරිවරයා ගේ එක් කකුලක ආබාධයක් තිබෙන බව අපට පෙනී ගියේ ඔහු තරමක අපහසුවෙන් ඇවිද ගෙන පැමිණි නිසාය. ඒ කොටි ත්‍රස්තයන් ඔහුට ලබා දුන් වධහිංසාවල එක් ප්‍රතිඵලයක් නිසාය.

අපව සාදරයෙන් බොහොම ළෙන්ගතුව පිළිගත් වෙට්ටිවේලු පූසාරිවරයා ඔහුගේ නිවස වෙත කැඳවාගෙන ගියේ ගෙවත්තේම පිහිටි කෝවිලේ සිටය.

‘‘මහත්තයෝ මේ ගමටම පදිංචිවෙලා ඉන්නේ මමයි මගේ නෝනයි විතරයි. මෙහාට වෙනත් ගම්මලින් මිනිස්සු එන්නේ කෝවිලේ පුද පූජා තියන දවස්වලට විතරයි’’ යැයි පූසාරිවරයා දෙමළ භාෂාවෙන් කියද්දී එය සිංහල භාෂාවට පරිවර්තනය කර ඇත්තේ කොස්තාපල් රමේෂ් මහතාය.

කොස්තාපල් රමේෂ් මහතාගේ උදව් ඇතිව වෙට්ටිවේලු පූසාරිවරයා සමග කළ කතාබහ මෙතැන් සිට මෙසේ පෙළගස් වන්නෙමු.

අපේ පරම්පරාවේ හැමෝම පූසාරිවරු. අපේ පවුලේ 9ක් ඉන්නවා. මම තමා පවුලේ බාලයා. මම කෝවිල්වල ආවතේව කරන්න පටන් ගත්තේ අවුරුදු 9 දී විතර. දැන් මගේ වයස අවුරුදු 72ක් විතර වෙනවා. තත්තා මිය ගියාට පස්සේ මම කෝවිලේ පූසාරිකමට පත්වුණා. එදා ඉඳන් මේ වෙනකම්ම මම කෝවිලේ පූසාරි තනතුර දරනවා. මට ගැහැනු දරුවෝ තුන්දෙනෙක් හා පුතෙක් ඉන්නවා. ඒ හැමදෙනාම දීග කාල ගිහින්. මාන්කුලම් ප්‍රදේශයේ පදිංචිවෙලා ඉන්නේ. මමයි බිරිඳයි විතරයි මේ ගෙදර ඉන්නේ. අපට කිරි ගවයින් පට්ටියක් ඉන්නවා. කිරි විකුණා ඒ ආදායමෙන් තමා ජීවිතය ගැට ගසා ගන්නේ.’’

එල්.ටී.ටී.ඊ. අත්අඩංගුවට අරගෙන ඔවුන්ගේ වධකාගාරයක වසර 1 1/2ක පමණ කාලයක් තිස්සේ විඳි වේදනා ගැන කතාව කියන්න ඔහු මුල පිරුවේ මෙසේය.

මේ සිද්ධිය වුණේ 1996 වසරේදී. මාන්කුලම් කඳවුරට කොටි ප්‍රහාරයක් එල්ල කළා. ඒ ප්‍රහාරයෙන් හමුදාවේ සෑහෙන ගණනක් වගේම කොටිත් මිය ​ගොස් තිබුණා. මාන්කුලම් හමුදා කඳවුරට කොටි ගහන වෙලාවේ ඒ ප්‍රහාරයෙන් බරපතළ තුවාල වුණා. හමුද‌ාවේ ලොකු තනතුරක් දරපු මහත්තයෙක් බරපතළ ලෙස තුවාල ලබා තවත් හමුදාවේ මහත්වරුන් දෙදෙනෙක් එක්ක අපේ මේ ගෙදරට ආවා. මම ඒ තුන්දෙනාව අපේ මේ ගෙදර කාමරයක සඟවා තබා ගෙන ප්‍රතිකාර ලබාදී කන්න බොන්න පවා දුන්නා. කොටි ත්‍රස්තවාදීන්ට මේ බව ආරංචි වෙලා අපේ ගෙදර වැටලුවා.

හමුදාවේ එවුන් සඟවා ගෙන ඉන්නවාද කියා මගෙන් ඇහුවා. මම නැහැ කිව්වා. ඒත් උන් ඒක විශ්වාස කළේ නැහැ. ගෙදර සෝදිසි කරලා මම ප්‍රතිකාර කරන හමුදාවේ ලොකු මහත්තයාව අල්ලා ගත්තා. හමු​ද‌ාවේ අනිත් මහත්වරු කොටි ගෙදරට එනකොටම පැනලා ගියා. පස්සේ ඒ දෙන්නත් අල්ලාගෙන තිබුණ බව මට දැන ගැනීමට ලැබුණා.

බරපතළ තුවාල වෙලා මම ප්‍රතිකාර කරමින් සිටිය හමුදාවේ ලොකු මහත්තයාට වෙඩි තියා මරා ද‌ාන්න කියා ඒ කොටි කණ්ඩායම බාරව සිටි නායකයා නියෝග කළා. කොටි අර අසරණ වෙලා තුවාලවල වේදනාවෙන් සිටිය හමුද‌ාවේ ලොකු මහත්තයාට වෙඩි තියන්න තුවක්කු දික් කරලා ඉලක්කය ගත්තා.

මම ඉදිරියට පැනලා කිව්වා ඒ මහත්තයාට වෙඩි තියලා මරලා ද‌ාන්න කලින් මට වෙඩි තියා මරා දාපල්ලා කියා, මම පපුව පෙන්නුවා. මාව ඇදලාදාලා හමුදාවේ මහත්තයාට වෙඩි තියන්න කිහිප වරක්ම උත්සාහ කළා. මම ඒකට ඉඩ තිබ්බේ නැහැ.
ඊට පස්සේ එතැන හිටිය කොටි නායකයා වෙඩි තියන්න එපා කියා අනෙක් කොටින්ට නියෝග කළා.
පස්සේ අපි දෙන්නාම කොටි අත්අඩංගුවට ගත්තා. අපි දෙන්නට මුලතිව් දිස්ත්‍රික්කයට අයත් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ තිබෙන කොටි සිර කඳවුරකට අරගෙන ගියා.

ඒ කාලය වෙනකොට මම විවාහ වෙලා දරුවෝ 03ක් හිටියා. කොටි කඳවුරෙන් නිදහස ලබා ආවාට පස්සේ තමා අනෙක් දරුවා ලැබුණේ.

යුද හමුදාවට, පොලිසියට, සී.අයි.ඩී. එකට සහ ටී.අයි.ඩී. එකට එල්.ටී.ටී.ඊ. එකට විරුද්ධව තොරතුරු සපයනවා කියා චෝදනාවකුත් මට එල්ල කළා. යුද හමුද‌ාවේ දිගදුර විහිදුම් බළකායේ භටයන්ට එල්.ටී.ටී.ඊ. පාලන ප්‍රදේශවලට ඇතුළුවීමට උදව් උපකාර කළා කියාද චෝදනාවක් මට එල්ල කළා. මේ කතාව සේරම ඇත්ත වුණත්, ඒ චෝදනා සේරම ඒ වෙලාවේම මම ප්‍රතික්ෂේප කළා. උන් මම කියන දේවල් පිළිගත්තේ නැහැ.

කොටින්ගේ මේ සිර කඳවුරේ හමුදාවේවේ මහත්වරු හා සාමාන්‍ය වැසියන් 150ක් විතර රඳවා හිටියා. මේ අය අතරේ සාමාන්‍ය සිංහල වැසියන් 20ක් විතර ද ඇතුළත්ව සිටියා පොඩි සිර කුටිවල අපිව දැම්මා. අපිට කන්න මස් හා මාළු දුන්නා. මම මස් මාළු කන්නේ නැහැ. එළවළුයි බතුයි විතරයි කන්නේ. මස්, මාළු කන්න කියා බලකරමින් මට තල්පිතිවලින් හොඳටම ගැහැව්වා.

ඒත් මම ඒවා කෑම තරයේම ප්‍රතික්ෂේප කළා. අපිව බාරව සිටිය ​කොටි නායකයාට කිව්වා මම පූසාරිවරයෙක් යැයි කියා. ඊට පස්සේ මට එළවළුයි, බතුයි කන්න දුන්නා. ඊට පස්සේ මාව විතරක් වෙනම සිර කුටියකට දැම්මා. එහෙම කළේ පූසාරිවරයෙක් නිසා බව මම දැන ගත්තා.

ඊට කලින් මාව ගහක එල්ලුවා. මගේ කලව ප්‍රදේශය පිහියකින් කපා මස්​ ගොබයක් ඉවතට ගත්තා. එහෙම කරද්දී මට කියන්න බැරි තරම් වේදනාවක් දැනුණා. වතුර ඉල්ලා කෑ ගැසුවත් ඒ වෙලාවෙ වතුර දුන්නේ නැහැ.

කලවේ ඇතිව තිබූ ලොකු තුවාලය නරක් වුණා. ඉවසන්න බැරි ගඳක් මගේ තුවාලයෙන් හමන්න පටන් ගත්තා. කුණු වෙච්ච සතුන්ගේ ඇගේ හිටිය පණුවෝ ගෙනත් මගේ තුවාලයට දැම්ම. ඒ පණුවෝ තවාලය හාරද්දී ඉවසාගන්න බැරි තරම් වේදනාවක් දැනුණා. මගේ මුත්‍රාශයට සිහින් කම්බි කූරක් ඇතුල් කළා. මම මරහඬ දුන්නා. දවස් කිහිපයක්ම මාව ගහක එල්ලා තැබුවා කෑම බීම ටික දෙන්න විතරයි ගහෙන් බිමට බාන්නේ’’

වෙට්ටිවේලු පූසාරිතුමා ඒ සුව වූ තුවාල කැළල් අපට පෙන්නුවේය. අදටත් අපහසුවෙන් ඇවිද යන්නේ ඒ නිසාය.
සිර කඳවුරේ සිටි සිරකරුවන් ගණනාවකට ගස්වල එල්ලා මේ විදිහටම දරුණු වධහිංසා කොටි ත්‍රස්තවාදීන් විසින් සිදු කළා. ඒ තරම් ම්ලේච්ඡ ජාතියක්. තවත් සිරකරුවන්ට දණ ගස්සවා වෙඩි තබා මරා දැම්මා. අපි සිරකර සිටි කඳවුරේ ඉන්දියන් ජාතිකයන් කීපදෙනෙක් ද සිර කර තබාගෙන සිටියා මම දැක්කා.

මට එදා ප්‍රතිකාර කළ හමුදාවේ ලොකු මහත්තයාට පස්සේ කාලයකදී මට කලින් නිදහස් කළා. ඔහු කරේ දමාගෙන සිටිය රන්මාලයක් ​කොටි ආපසු බාර දුන්නා. හමුදාවේ ලොකු මහත්තයා නිදහස් කරන්න කලින් මට පෙන්නුවා. ඒ මහත්තයා පානදුරේ පැත්තේ කෙනෙක්. නම මට දැන් මතක කැහැ. ඒ මහත්තයා මට ආයෙත් දකින්න ආසයි. සමහරවිට මේ කතාව පත්තරෙන් දැක්​කොත් මාව හොයාගෙන අපේ ගමට එයි මාවත් බලලා යන්න.

කොටි සංවිධානය විවේචනය කරලා උන්ට අහුවුණොත් නඩු අහනවා. එහිදී වරදකරුවන් වුණොන් ප්‍රසිද්ධ මංසන්ධිවලට ගෙනවිත් දණ ගස්සා වෙඩි තබා මරණ එක ඒ කාලයේ සුලබ සිද්ධීන්. කනගරාසන්කුලම් ඉස්​ෙකා්ලේ ළඟ ඒ විදිහට තරුණ ළමයි දෙන්නෙකු වෙඩි තබා මරලා දැම්මා. මානව හිමිකම් කියන ඒවා කොටි තුට්ටුවකටවත් ගණන් ගත්තේ නැහැ.

උන්ට ඕනෑ විදිහට තමා වැඩ කළේ.
ඒ කාලේ ඉස්කෝලේ යන ළමයි පවා බලහත්කාරයෙන් අරගෙන ගිහින් යුධ පුහුණුව ලබා දුන්නා.
මේ විදිහට අර​ගෙන ගිය එක ගැහැනු ළමයෙක් කොටි කඳවුර තුළදී සිය දිවි නසා ගත්තා. ළමයි පැහැරගෙන ගියාම සමහර අම්මලා, තාත්තලා ඒ දුක වවාගන්න බැරිව කොටි කඳවුරු ළඟට ගිහින් වහ බීලා ගිනි තබාගෙන සිය දිවි නසා ගන්න අවස්ථා ඕනෑ තරම් තිබුණා.

නන්දසිරි සාජන් මහත්තයා ගැනත් මට වචනයක් කියන්න ඕනෑ. ඒ මහත්තයාව මම ගොඩක් කාලයක ඉඳලා හඳුනනවා. නිතර මගේ දුක සැප සොයා බලනවා. සාජන් නන්දසිරි මහත්තයා මට ගොඩක් උපකාර කර තිබෙනවා. ඒ වගේම පොලිස් අධිකාරි ජගත් ​ ෆොන්සේකා මහත්තයා මගේ කතාව දැනගෙන මාව හම්බවෙන්න ඇවිත් කතා බහ කරලා ගියා. ෆොන්සේකා මහත්තයා එද‌ා කිව්වා අවශ්‍ය උදව්වක් තියෙනවා නම් කියන්න, හැකි උපකාරයක් කරන්නම් කියා’’ යැයි කතාබහ නිමා කිරීමට මත්තෙන් වේට්ටිවේලු පූසාරිතුමා පැවසීය.
වෙට්ටිවේලු පූසාරිවරයාගේ බිරිය වේට්ටිවේලු ශීව පාත්‍යයම් මහත්මිය වන්නීය.

‘‘මගේ මහත්තයාව කොටි අත්අඩංගුවට ගන්න කොට මට දරුවෝ තුන්දෙනෙක් හිටියා. එයාව අවුරුදු 1 1/2ක් විතර කොටි කඳවුරක සිර කර තබා ගෙන සිටියා. ඒ කාලය තුළ මට සැමියා බලන්න ​ෙකාටි ඉඩ දුන්නේ​ නැහැ. මහත්තයා ​ෙකාටි අත්අඩංගුවේ ඉන්න කාලයේ මමයි දරුවෝ තුන්දෙනයි නොවිඳිනා දුක් වින්දා. බොහොම අමාරුවෙන් ජීවත් වුණේ. මගේ මහත්තයාට කොටි දීලා තිබුණ වධ හිංසා නිසා තමා අදටත් හරි හැටි ඇවිද ගන්න බැරි.

හමුදා කඳවුරු මේ පළාතේ තිබුණ කාලේ හමුදාවේ මහත්වරු අපේ ගෙදර නිතර එනවා. කෝවිලටත් එනවා. අපේ ගෙදරින් කාලා බීලා යනවා. ඒ වෙනකොට මේ පැත්ත සම්පූර්ණයෙන්ම කොටි පාලනයට නතුවෙලා තිබුණේ නැහැ. හමුදාව අපේ හොඳම යාළුවෝ. එදා ඉඳන්ම කොටි අපිට රිස්සුවේ නැහැ.

අද අපි නිදහසේ ජීවත් වෙනවා. කොටි පාලන කාලයේ තමා දුක් වින්දේ. ඒ කාලයේ අපිට නිදහසේ ගමනක් බිමනක් යන්න පුළුවන්කමක්වත් තිබුණේ නැහැ. හරියට බදු මුදල් ගත්තා’’ යැයි ශිව පාත්‍යයම් මහත්මිය පැවසුවාය.

කැලෑවක් මැද්දේ තියන ගමක තනියම ජීවත් ​ෙවන්න බයක් නැද්ද කියා විමසූ අවස්ථාවේ අඹු-සැමි යුවළ පවසා සිටියේ කොටි ත්‍රස්තයන් ඉන්න කාලේ තමා බය තිබුණේ. දැන් කොටි නැහැනේ’’ කියාය.
එල්.ටී.ටී.ඊ. සංවිධානයේ කුරිරුකම්වල තරම කියා පෑමට වේට්ටිවේලු පූසාරිතුමා කියන මේ කතාව හොඳටම සෑහේ.

අපේ රටේ ඇතම් දේශපාලනඥයන් එල්.ටී.ටී.ඊ.යට සුදු හුණු ගෑමට එම සංවිධානය තිබුණා නම් ​හොඳයි කියා දේශපාලනඥයන් ඔවුන් කළ ඒ කුරිරු ම්ලේච්ඡ ක්‍රියා ගැන වචනයක්වත් කතා කරන්නේ නැත.

එල්.ටී.ටී.ඊ. ය පාලන ප්‍රදේශවල ඒ කාලයේ හොඳ නීතියක් තිබුණා යැයි පුරසාරම් දොඩන ඇතැම් දේශපාලනඥයින් මේ කැලෑ නීතිය ගැන කිසිවක් මේවනතෙක් ප්‍රසිද්ධියේ විවේචනය කර ද නොමැත.

සටහන – ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
3
අවුල් වගේ !
0
හරි හිනා !
1
හම්මෝ !
0
මාර දුකයි !
17
මලපනිනව !
0
කුජීතයි !
2

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්