දඹුල්ල ගමක් කම්පා කරවමින් හමුවූ බුද්ධිමාගේ අභිරහස් මළසිරුර ගැන, වෙනස්ම විදිහේ කතාවක් එළියට එයි

ගැහැනු දරුවන්ගේ ජාත්‍යන්තර දිනය යෙදී තිබුණේ පසුගිය 11 වැනිදායි. ඊට දින දෙකකට පෙර එනම් පසුගිය 9 වැනිදා පෙරවරුවේ දින තුනක් අතුරුදන්ව සිටි දඹුල්ල, අතුපාරයාය ග්‍රාමයේ විසූ 14 හැවිරිදි බුද්ධිමා පියමාලි දැරියගේ මළසිරුර හමු වූයේ ගැහැනු දරුවකුට අත්වූ තවත් ශෝචනීය ඉරණමක පුවතක් වාර්තා වෙමිනි. බුද්ධිමා පියමාලි දැරියගේ මළසිරුර දඹුල්ල පොලිස් නිලධාරින්ට හමුවූයේ දැරියගේ නිවෙසේ සිට කිලෝමීටර් 6ක් පමණ දුරින් වූ දඹුල්ල කණ්ඩලම පාරේ කලෝගහඇළ පාළු නිවෙසක තිබියදියි.

දැරිය හැඳ සිටි ඇඳුම් ඉවත්කොට මළසිරුර රෙදි කැබලි කිහිපයකින් ඔතා තිබුණාය.

දඹුල්ල පොලිසිය විසින් දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු වැඩබලන මහේස්ත්‍රාත් එම්. ඒ. අමානුල්ලා විසින් ස්ථානීය පරීක්ෂණයක් සිදු කෙරිණි.

බාල වයස්කාර බුද්ධිමා දැරියගේ මළසිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය පසුගිය 12 වැනිදා දඹුල්ල දිස්ත්‍රික් මහ රෝහලේදී පැවැත්විණි. එහිදී විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරියා නිගමනය කර තිබුණේ දැරිය සාහසික ක්‍රියාවකින් මරණයට පත්වී ඇති බවයි.

කෙසේ හෝ දැරිය ඝාතනය වූ ආකාරය කෙසේද යන්න නිශ්චිත ලෙස අනාවරණය නොවිණි. දැරියගේ සිරුරේ කොටස් වැඩිදුර පරීක්ෂාව සඳහා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට යැවීමටද පියවර ගැනිණි.

බුද්ධිමා පියමාලි දැරිය 2008 ජුනි 06 වැනිදා උපත ලැබුවේ සහෝදර සහෝදරියන් පස්දෙනෙකුගෙන් යුත් පවුලේ බාලයා ලෙසිනි. ඇයගේ මව චන්ද්‍රා ජයසේකරයි. පියා චන්ද්‍රරත්න බණ්ඩාරයි. දෙදෙනාම කුලි රැකියාවන් මඟින් ජීවිකාව සරිකරගන්නා අහිංසක ගැමියන්ය.

කණ්ඩලම ඩී. එස්. සේනානායක විද්‍යාලයේ 9 ශ්‍රේණියේ ඉගෙනුම ලැබු බුද්ධිමා හොඳින් අධ්‍යාපන කටයුතුවල නිරතවූ දැරියකි.

ඇය අසල්වැසි කුඩා දරුවන්ගේ අධ්‍යාපනයටද සහාය වී තිබුණේ දන්නා කියන පාඩම් වැඩ කියා දෙමිනි. බුද්ධිමාගේ දෙවැනි සහෝදරිය රේණුකා කුමාරි 26 හැවිරිදි විවාහක කාන්තාවකි. ඇයගේ 9 හැවිරිදි පුත්‍රයාටද අධ්‍යාපන කටයුතු සඳහා බුද්ධිමා බොහෝ සහාය දී තිබුණාය.

රේණුකාද අධ්‍යාපනය ලබා තිබුණේ කණ්ඩලම ඩී. එස්. සේනානායක විද්‍යාලයෙනි. එම පාසලේ 1 ශ්‍රේණියේ සිට 5 වසර දක්වා රේණුකා සමඟ උගත් ගයාත්‍රි, රේණුකාගේ පැරැණි මිතුරියකි. ගයාත්‍රි 5 වසර ශිෂ්‍යත්වය සමත්ව දඹුල්ල නගරයේ පාසලකට ඇතුළු වූවාය.

රේණුකාගේ සහ ගයාත්‍රිගේ පැරැණි මිතුදම අලුත් වූයේ මෑතකදී කලෙකට පසු දෙදෙනා හමුවීමෙනි. එහෙත් රේණුකා, ගයාත්‍රිගේ යටගියාව පිළිබඳව වැඩි තොරතුරු දැන සිටියේ නැත. ගයාත්‍රි පාසල් සමයේදීම අපයෝජනයට ලක්ව ගැබිනියක්ද වූ තැනැත්තියක් බව ඇයද දැනගෙන ඇත්තේ නැඟණියගේ මරණයෙන් පසුවය. එසේම ගයාත්‍රිගේ දෙමාපියන්ද පවසා ඇත්තෙ ඇයව කලෙකට පෙර සිටම පවුලෙන්ද ඉවත් කර ඇති බවයි.

මෑතකදී රේණුකාට හමුවන විට ගයාත්‍රිට 2 ශ්‍රේණියේ ඉගෙනුම ලබන වයස අවුරුදු 8ක දරුවෙක්ද වූවාය. ඇය ජීවත් වූයේ පහන් නමැති 36 හැවිරිදි අයෙක් සමඟිනි. ඔවුන් දෙදෙනා හමුවී ඇත්තේ මීට වසර හතරකට පමණ පෙරදී දඹුල්ල ප්‍රදේශයේ කුළුබඩු කර්මාන්ත ශාලාවක රැකියාව කරද්දියි.

පහන් කුලියාපිටිය ප්‍රදේශයේ අයෙක් බවට සැල වේ. ගයාත්‍රි, පහන් හා ජීවත් වීමට පෙර වෙනත් විවාහයක් කරගෙන ඇත. ගයාත්‍රිගේ 8 හැවිරිදි දරුවා එම විවාහයේ දරුවෙකි. හරිහමන් රැකියාවක් නොකළ පහන් පසුගිය දිනවල ගල්කිරියාගම පොලිස් වසමේ හබරත්තාවල පොල්වත්තක ගොඩනැඟිල්ලක් ඉදිකිරීමේ ස්ථානයක රැකියාවට ගියේය.

එම ස්ථානයේ රේණුකාගේ සැමියාත් සේවය කළේය. එම දෙදෙනාගේ හමුවත් සමඟ රේණුකා සහ ගයාත්‍රිගේ පැරැණි මිතුදමද අලුත් වූවාය. ඒ වන විට ගයාත්‍රි සහ පහන් පදිංචිව සිටියේ කලෝගහඇළ කුලී නිවෙසකයි. බුද්ධිමාගේ සිරුර හමු වූයේ එම නිවෙසිනි. පහන් සේවය කළ හබරත්තාවල ගොඩනැඟිල්ල ඉදිකිරීමේ ස්ථානයේ නොයෙක් සොරකම් වෙද්දී එහි හිමිකාරිය සේවකයන්ට පවසා ඇත්තෙ එම ස්ථානයේ හැකි නම් පැමිණ පදිංචි වන ලෙසටයි.

ඊට ඉදිරිපත් වී තිබුණේ පහන්ය. ඒ අනුව ටකරන් මඩුවක් අටවාගත් පහන්, ගයාත්‍රි සහ දරුවා සමඟ කලෝගහඇළ සිට කිලෝමීටර් 12ක් පමණ ඈතින් වූ හබරත්තාවල එම ස්ථානයේ පදිංචියට ගොස් ඇත්තේ මීට මාස දෙකකට පමණ පෙරදියි.

එහෙත් ඔවුන් කලෝගහඇළ නිවෙසේ අසල්වාසීන්ට පවසා ඇත්තේ රුපියල් තුන්දහසක මාසික මුදල ගෙවාගත නොහැකි නිසා නිවෙසෙන් යන බවයි. එහෙත් බුද්ධිමාගේ මළසිරුර හමුවූ එම නිවෙසේ පහන් සහ ගයාත්‍රි දෙදෙනාගේ සියලු බඩුමුට්ටුද තිබෙන බවක් දිස්විණි.

කෙසේ හෝ ගයාත්‍රිලා හබරත්තාවේ පදිංචියට යාමෙන් පසු රේණුකාගේ දරුවකුගේ උපන් දිනය යෙදී තිබූ ඉකුත් සැප්තැම්බර් 23 වැනිදා රේණුකා සහ ඇගේ නැඟණිය බුද්ධිමා ඇතුළු පිරිස්ද එම නිවෙසට ගොස් ඒ ප්‍රදේශයේ ඔයකින් දියනා විනෝද වී තිබුණාය. එලෙස පිරිස පසුගිය කාලයේ දෙතුන් වරක් එහි ගොස් තිබේ. ඒ අතර වරක් පහන් කලෝගහඇළට ත්‍රිරෝද රථයකින් පැමිණි මොහොතක බුද්ධිමාද හබරත්තාවට රැගෙන ගොස් තිබුණේය.

බුද්ධිමා දැරිය අවට දරුවන්ටද අධ්‍යාපන කටයුතු සඳහා පාඩම් කියාදීම නිසා ගයාත්‍රිගේ දරුවාටත් පාඩම් කියා දීමට දෙතුන් වරක් හබරත්තාවේ නිවෙසට ගොස් තිබුණාය. ඒ සඳහා බුද්ධිමා රැගෙන යාමට පහන්ද ඇතැම් අවස්ථාවලට යතුරුපැදියෙන් පැමිණියේය.

දිනය 2021 ඔක්තෝබර් 06 වැනිදායි. එදින පෙරවරු 7.30ට පමණ බුද්ධිමා දැරිය විසූ අතුපාරයාය නිවෙසට යතුරුපැදියකින් ආවේ පහන්ය. ඒ 8 හැවිරිදි ගයාත්‍රිගේ දරුවාද සමඟිනි. පහන් කියා සිටියේ,

“දරුවට පාඩම් වැඩ වගයක් අහගන්න තියෙනවා… බුද්ධිමා නංගි එක්කන් යන්නයි ආවේ…“ කියාය.

බුද්ධිමා කියා ඇත්තේ,

“අනේ අයියෙ මට හවස තුනට ඔන්ලයින් පන්තියක් තියෙනවානේ…“ කියාය. “හරි නංගි… මම තුන වෙනකොට ඔයාව එක්කගෙන එන්නම්කෝ…“ යැයි පහන් කියා තිබේ. ඒ අතරේ නිවෙසේ වූ බුද්ධිමාගේ පියා චන්ද්‍රරත්නද කියා සිටියේ, බුද්ධිමාට නොයන ලෙසයි. ඇය කීවේ, “නෑ…. තාත්තා මං ඒ නංගිට උගන්නලා එන්නම්කො… කියමින් බුද්ධිමා පහන්ගේ යතුරුපැදියට නැඟි ගොස් තිබේ.

දෛනික රැකියාවකට ගොස් හවස් යාමයේ නිවෙසට පැමිණි බුද්ධිමාගේ මව චන්ද්‍රා දරුවා සෙවුවාය. බුද්ධිමාගේ දුරකථනයට ඇමැතුම් ගත්තද එය විසන්ධි කර තිබුණාය. පහන්ගේ මෙන්ම ගයාත්‍රිගේ දුරකථන ද විසන්ධි වී තිබිණි.

පසුදා එනම් 7 වැනිදා පෙරවරුවේ බුද්ධිමාගේ සහෝදරිය රේණුකා ඇතුළු පිරිස පහන් සිටි හබරත්තාවේ පොල්වත්තෙ මඩුවට ගියත් එහි කිසිවෙක් නොවීය. එහි වූ බඩුමුට්ටු කිහිපයද අස්පස් කර තිබුණේය.

හත්වැනිදා සහ අටවැනිදාත් දැරිය සොයමින් සිටි බුද්ධිමාගේ මවුපියන් ඇයගේ අතුරුදන් වීම පිළිබඳව පැමිණිලි කිරීමට දඹුල්ල පොලිසියට යන්නෙ 8 වැනිදා සවස් යාමයේයි. තම දරුවාගේ අතුරුදන් වීම පිළිබඳව එතරම් දිනක් පසුවී පොලිසියට යාමට තරම් බුද්ධිමාගේ දෙමාපියන් දැනුම් තේරුම් නොමැති උදවිය වීම අභාග්‍යයකි.

පැමිණිල්ල ලැබීමත් සමඟ දඹුල්ල වැඩබලන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්. එම්. සුනිල් කරුණාතිලක විසින් විමර්ශන ආරම්භ කළේ ප්‍රදේශය බාර උසස් පොලිස් නිලධාරින්ගේද උපදෙස් මතයි. එලෙස පොලිස් විමර්ශන ඇරැඹෙද්දී 9 වැනිදා පෙරවරුවේ 119 පොලිස් හදිසි ඇමැතුම් අංකයට ලැබුණු ඇමැතුමකින් කියැවුණේ කලෝගහඇළ පාළු නිවෙසකින් දුගඳක් හමනා බවයි. එසැණින් පොලිස් නිලධාරින් එම නිවෙසට ගොස් සොයා බැලුවේය. එසේම එම නිවෙස පහන් හා ගයාත්‍රි මීට මාස කිහිපයකට පෙර සිටි නිවෙස බවත් පොලිසිය හඳුනා ගත්තේය. නිවෙස පරීක්ෂා කළ පොලිස් නිලධාරින්ට දින තුනක් අතුරුදන්ව සිටි බුද්ධිමාගේ මළසිරුර හමු වූයේ එහි ඇඳක් මත නිරුවත්ව මරණයට පත්ව සිටියදියි.

එහෙත් එම නිවෙසෙන් බුද්ධිමාට වූයේ කුමක්ද යන්න කිසිවක් සොයාගත නොහැකි විණි. එම නිවෙස අසල නිවෙසක කාන්තාවක කීවේ,

“එදා උදේ 8.30ට විතර මම ළිඳට ගිහින් මූණ හෝදගෙන ගේ ළඟට ආවා විතරයි… ඔය මනුස්සයා ගේ දොර ළඟටම ඇවිත්, ‘අම්මා වතුර ටිකක් දෙන්නකෝ කියල කිව්වා. ඊට පස්සෙ නිවෙස අයිති අයියට සල්ලි දෙන්නත් තියෙනවා අම්මා… ඒක දෙන්නම් කියාගෙන ගියා යන්න…“

අනතුරුව මාතලේ කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායකගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරි ඒ. එස්.කේ. බණ්ඩාරගේ අධීක්ෂණයෙන් දඹුල්ල පොලිසියේ විමර්ශන කණ්ඩායමට අමතරව මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුගත් බණ්ඩාරගේ මූලිකත්වයෙන්ද තවත් විමර්ශන කණ්ඩායම් දෙකක්ද බුද්ධිමා දැරියගේ ඝාතකයන් සොයා විමර්ශන ආරම්භ කළහ.

එහිදී අනාවරණය වූයේ පහන් සහ ගයාත්‍රි 6 වැනිදා පස්වරු තුන පමණ වන විට හබරත්තාවේ නිවෙසින් පලා ගොස් ඇති බවයි. දුරකථන දත්ත විමර්ශනය කරමින් මෙන්ම තව තවත් පැති ඔස්සේ සිදුකරන විමර්ශන මඟින් ඝාතකයන් නුදුරේදීම අත්අඩංගුවට ගැනීමට හැකියාව ඇති බවත් එසේම ඊට තවත් පුද්ගලයන් සම්බන්ධ වී ඇද්ද යන්නත් විමර්ශන සිදුකරමින් සිටින බවත් විමර්ශන නිලධාරියෙක් අපට කීවේය. මේ වන විට බුද්ධිමා සහ පහන් ඇතුළු පිරිසගේ එම දුරකථන දත්ත විශ්ලේෂණ මඟින් බොහෝ තොරතුරු හෙළි වෙමින් තිබේ.

පෙර පුවත – දාහතර හැවිරිදි පාසල් දැරියගේ මරණයේ අභිරහස් කතන්දරය

ඡායාරූප – දඹුල්ල, කාංචන කුමාර ආරියදාස
සටහන – අමිල මලවිසූරිය
මෙම ලිපියේ සම්පූර්ණ උපුටා ගැනීම “සිළුමිණ” පුවත්පතෙන්…

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
14
අවුල් වගේ !
3
හරි හිනා !
4
හම්මෝ !
8
මාර දුකයි !
173
මලපනිනව !
73
කුජීතයි !
14

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්