දරුවගෙ අසනීපෙදි අම්මා රත්තරංවලට කරපු දේම තමා අපිත් කළේ

නව වසරේ රටේ මූල්‍ය තත්ත්වය කෙසේ වනු ඇද්දැයි යන්න පිළිබඳව ඊයේ (12 වැනිදා) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව​ විසින් විශේෂ සම්මුඛ සාකච්ඡාවක් කැඳවා තිබිණි. ‘2022 ශ්‍රී ලංකා ආර්ථිකය අභියෝග හා විසඳුම්’’ මැයෙන් සංවිධානය කර තිබූ එම සාකච්ඡාවට එක්ව සිටියේ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ය. මෙරට රන් සංචිත විකිණීම ඇතුළු විදේශ සංචිත කළමනාකරණය, ආනයන අපනයන ගැටලු සහ නීතිවිරෝධී මුදල් හුවමාරුව ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳ නැඟුණු ප්‍රශ්නවලට එහිදී මහ බැංකු අධිපතිවරයා පිළිතුරු ලබා දුන්නේය. පහතින් දැක්වෙන්නේ එම සම්මුඛ සාකච්ඡාවේ සංක්‍ෂිප්ත සටහනකි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල්

දැන් ඇයි ඔවුන් අපිට මේ ගෙවීම් සිදුකරන්න එපා කියලා කඳුළු සලන්නේ. මේ ඩොලර් මිලියන පන්සීය ගෙව්වේ නැත්නම් ප්‍රශ්න විසඳෙනවද? නැහැ. ප්‍රශ්න තවත් උග්‍රවෙනවා. එනිසා තමයි අපි මේ ගෙවීම් වගේම ඉදිරියට ඇති සියලුම ගෙවීම් නියමිත පරිදි සිදු කිරීමට සැලසුම් කරන්නේ. අපට ලෙබනනයට මුහුණ දීමට සිදුවූ තත්ත්වයට යන්නට අවශ්‍ය නැහැ. ඔවුන් සංචිත පවතිද්දීත් ණය වාරික නොගෙවා සිටියා. එම නිසා ඔවුන් විශාල අර්බුදයකට ගමන් කළා. අපිට එවැනි තත්ත්වයකට මුහුණ දීමට අවශ්‍යතාවක් නැහැ. අපි මේ වන විටත් ඩොලර් බිලියන තුන ඉක්මවා සංචිතය වර්ධනය කර තිබෙනවා. එම නිසා ශ්‍රී ලංකාව සිය ණය නිසි පරිදි ගෙවනවා කියල මම ඉතාම වගකීමෙන් ප්‍රකාශ කරනවා.

ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ වැදගත්කම

ණය ප්‍රතිව්‍යුහගත කිරීම කියන එකෙන් අදහස් කරන්නේ සියුම්ව වෙනත් ආකාරවලින් ඔබේ ණය ආපසු ගෙවීම සඳහා කටයුතු සම්පාදනය කර ගැනීමයි. මම වරලත් ගණකාධිකාරීවරයෙක්. මම පැහැදිලිව දන්නවා ප්‍රතිව්‍යුහගත කිරීම කියන්නේ මොකක්ද කියල. ප්‍රතිව්‍යුහගත කරණයෙන් අදහස් වෙන්නේ නැහැ ඔබ බංකොලොත් ඒනිසා ඔබට ණය ගෙවීමට නොහැකියි කියල අදාළ පාර්ශ්වවලට කියනවා කියන එක. එයින් අදහස් වන්නේ ණය ගෙවීමේ සැලසුම වෙනස් ආකාරයකින් සිදු කිරීමට කලින් සැලසුම් කිරීමයි.

නමුත් මේ ණය ප්‍රමාණය අපිට ගෙවාගන්න පුළුවන්. අමාරුයි තමයි නමුත් අමාරුකම් මැදින් අපට ඒක කරන්න පුළුවන්. අපි විද්‍යාත්මකව මේ ක්‍රියාවලියට පිවිසිලා තියෙනවා. දෙදාස් විසිඑක වර්ෂය පටන්ගන්නකොට අපිට තිබුණේ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන පහයි. නමුත් අපි බිලියන හයක් ගෙව්වා. අන්තිමේ අපිට බිලියන තුනක් ඉතුරු වුණා. සංචාරක ක්ෂේත්‍රයෙන් මුදල් නොලැබුණත් අපිට සංචිතය කළමනාකරණය කරගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ නිසා දෙදාස් විස්සේදීත් කළමනාකරණය කරගන්න අපිට පුළුවන් වෙනවා. ඒ නිසා මේ වසරේ ණය ගෙවීමට අවශ්‍ය වෙන ඩොලර් බිලියන හයයි දශම නවය සොයා ගන්න අපිට අපහසුවක් නැහැ. අපිට ස්වෛරී බැඳුම්කරවලට පොලිය ගෙවන්න තියෙන්නේ ඩොලර් බිලියන එකයි දශම පහක් විතරයි. අපිට දේශීයව ගෙවන්න තියෙනවා ඩොලර් බිලියන දෙකයි දශම පහක වැනි මුදලක්. ඒක යළි ආයෝජනය කරන්න පුළුවන්. දැන් ඒක කරගෙන යනවා. ඒ නිසා එතන තියෙන අවදානම අඩුයි.

ඒ වගේම අන්තර්ජාතික ආයතනවලට අපිට ගෙවන්න තියෙන මුදල් ප්‍රමාණයට සමාන මුදල් ප්‍රමාණයක් අපිට ලැබෙන්නත් තියෙනවා. ඒ නිසා එහිදී අපිට පවතින පීඩනයත් අඩුයි. ඒ නිසා මේ සියල්ල කළමනාකරණය කරන්න අපිට පුළුවන්. සමහර ඉන්ටනෙට් එක බලන ආර්ථික විශේෂඥයො තමයි රටේ අර්බුද පිළිබඳව ගණන් හදන්නේ. මහ බැංකුවෙ මුදල් අමාත්‍යාංශයේ අපිට දක්ෂ නිලධාරීන් ඉන්නවා. ඔවුන්ටත් ඉන්ටනෙට් එකෙන් ඔය කාරනා පේනවා. බිලියන හයයි දශම නවයක් ගෙවන්න තියෙන බව දැනගෙන අපි නිදාගෙන ඉන්නේ නැහැ.

ඩොලර් හිඟයේ යථාර්ථය හා කන්ටේනර් හිරවීම

රටට යම්කිසි පීඩනයක් තියෙන බව ඇත්ත. නමුත් අද තෙල් හිඟයක් තියෙනවද? ගෑස්වල තියෙන්නේ හිඟයක් නෙමෙයිනෙ. වෙන ප්‍රශ්නයක්. පැයක් දෙකක් විදුලිය විසන්ධි කරන්න සිදුවෙලා තියෙනවා. එහෙමවෙලා තියෙන්නේ ඩොලර් නැති නිසා නෙමෙයිනෙ ගල් අඟුරු බලාගාර බිඳ වැටෙනකොට එතැන ප්‍රශ්නයක් ඇතිවෙනවා. ඒක වෙනම ප්‍රශ්නයක්.

ඒ වගේම දැන් පසුගිය වසරේදී ඩොලර් බිලියන විසි එකක විතර භාණ්ඩ ආනයනය කරල තියෙනවනෙ. දෙදාස් විස්සේදී භාණ්ඩ ආනයනයට වැය වුණේ ඩොලර් බිලියන දාසයයි. දෙදාස් දහනවයෙ බිලියන විස්සක් වැය වුණා. අපි එහෙම ආනයනය කළේ අපිට සල්ලි තිබුණු නිසානෙ. වාහන ගෙන්වන්නේ නැතුවත් අපි ඩොලර් බිලියන විසිඑකක භාණ්ඩ පසුගිය වසරේදී ආනයනය කරල තියෙනවා. යම් හිඟයක් තියෙන බව ඇත්තයි. ඒකට විවිධ හේතු බලපාන්න පුළුවන්. සමහරු කියනවා කන්ටේනර් එක්දාස් පන්සීයක් හිරවෙලා තියෙනවා කියලා. ඩොලර් නැතිකම නිසා මේ කන්ටේනර් හිරවෙලා තියෙනවා කියලා. කවුද ගණන් හදලා බලල තියෙන්නේ? අපිට දැනුම් දී තියෙන සෑම අවස්ථාවකදීම අදාළ බැංකු සමග කතාකර අපි විසඳුම් ලබාදීලා තියෙනවා. ඒ නිසා අපි මෙතැනදී යම් ඉවසීමකින් කටයුතු කළ යුතුයි. මේක සමාන්‍ය කාලයක් නෙමෙයි. අවුරුදු දෙකක් තිස්සේ කොවිඩ් වසංගතය මේ රටේ තියෙනකොට යම් පීඩනයක් එනව කියන එක අපි තේරුම් ගත යුතුයි. ඒ පීඩනය නිසා සංචාරක ක්ෂේත්‍රයට පීඩනයක් ඇවිල්ලා තියෙනවා. ඒ නිසා අපිට සාමාන්‍යයෙන් ගලාගෙන ඩොලර් බිලියන නවයක විතර මුදලක් නොලැබී ගිහින් තියෙනවා. එහෙම අර්බුදයක් තියෙද්දී තමයි අපි මේ කටයුත්ත කරගෙන යන්නේ. මේ ගැටලු පිළිබඳ වැඩපුර පෙන්නන්න ගියහම මිනිස්සුන්ගේ ඔළුවටත් වැඩිපුර පීඩනයක් දැනෙනවා.

ණය ශ්‍රේණිගත කිරීමේ අවුල

ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනවලින් අරගෙන තියෙන ඇතැම් පියවර පිළිබඳව මමත් කනස්සල්ලෙන් පසුවෙනවා. අපි සෑම අවස්ථාවකදීම සැබෑ තත්ත්වය පෙන්වාදී තිබෙනවා. මෙම තත්ත්වය තවත් රටවලට මුහුණ දීමට සිදුව තිබෙනවා. දෙදාස් නවයේ යුද්ධය අවසන් වූ වහාම ශ්‍රී ලංකාව නව ජවයකින් ගමනක් ආරම්භ කිරීමට සූදානම් වූ අවස්ථාවේදීත් ණය ​ශ්‍රේණිගතකිරීමේ ආයතන මගින් මෙලෙසින්ම ශ්‍රී ලංකාව පහත දැමුවා.

ඔවුන් දිගින් දිගටම එසේ කළත් අපිට ආයෝජකයන්ගේ සහාය ලැබෙනවා. නමුත් මෙම තත්ත්වය නිසා ඇතැම් පුද්ගලයන්ට රිදෙනවා කියලා අපි දන්නවා. මොකද ඔවුන් බලාපොරොත්තු වෙනවා අපි අසාර්ථක වෙයි කියලා. නමුත් මට කනගාටුයි ඔවුන්ගේ බලාපොරොත්තු සුන් කිරීමට සිදුවීම පිළිබඳව.

අර්බුධයක් මැද රන් සංචිත න්‍යාය

දෙදාස් නවය අවුරුද්ද අගදී අපේ රටේ තිබුණෙ මිලියන අනූ දෙකක රන් සංචිතයක් විතරයි. නමුත් දෙදාස් දාහතර වෙනකොට අපි ඒක මිලියන අටසිය අනූ දෙක දක්වා වර්ධනය කළා. එතනදි කවුරුවත් මගෙන් ඇහුවෙ නැහැ අනූ දෙකේ තිබුණු රන් සංචිතය අටසිය අනූ දෙකට වැඩි කර ගන්නෙ කොහොමද කියලා. එහෙම අහනව නම් මම කැමතියි. වැඩි කර ගන්නකොට කවුරුවත් අහන්නෙ නැහැ.

සාමාන්‍ය පුද්ගලයන්ට රත්තරන් සම්බන්ධයෙන් විශේෂත්වයක් තිබුණට, අන්තර්ජාතිකව සංචිත කළමනාකරණය කරනකොට අපි විවිධ අංශ පිළිබඳව සලකා බැලිය යුතුයි. එතනදි රත්තරන්වලින්, ඩොලර්වලින්, පවුම්වලින්, යෙන්වලින් වගේ විවිධ ක්‍රම මාධ්‍යවලින් අපි සංචිත පවත්වාගෙන යනවා. සමහර තැන්වලදි දිගු කාලීන සහ කෙටිකාලීන ආයෝජන තියාගන්නවා. ඒ වෙනුවෙන් ක්‍රමවේදයන් සිය ගණනක් තියෙනවා. අපි මේ කටයුත්ත කරන්නෙ තාක්ෂණයෙන්. නමුත් ඉන්ටර්නෙට් ආර්ථික විශේෂඥයො මේදිහා බලන්නෙ එහෙම නෙමෙයි. ඔවුන් බලන්නෙ එක දෙයක් දිහා විතරයි. රත්තරන් අඩු වෙනකොට කියනවා මෙන්න අඩුවෙලා කියලා. නමුත් ඔවුන් කියන්නෙ නැහැ අපේ සංචිත වැඩිවුණු වෙනත් ක්‍රම පිළිබඳව. අපිට ඕනෙ නම් ඒවා පාවිච්චි කරලා හෙට රත්තරං ගන්න පුළුවන්. මෙතනදි අපි බලන්නෙ ද්‍රවශීලීතාව පිළිබඳව. ලාභදායීත්වය පිළිබඳව බලන්න ඕනෙ. මේක තමයි සංචිත කළමනාකරණය කියන්නෙ.

ගෙදරක වුණත් දරුවෙක් අසනීප වුණහම අම්මා රත්තරන් විකුණන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. නමුත් පස්සේ ඒවා අපහු ගන්න පුළුවන්. එහෙම නැතුව දරුවට මොනව වුණත් කමක් නැහැ කියලා අම්මා රත්තරන් මාලෙ දාගෙන යන්නෙ නැහැ. අවශ්‍යතාව අනුව දරුවා වෙනුවෙන් ඒක කරනවා. ඒ නිසා සංචිත මේ රටට අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා අපිට ද්‍රවශීලීතාව අවශ්‍ය නම් එතනැදි රත්තරන් අඩු කර ගත්තා කියන එක ගැටලුවක් නැහැ. මේ අවුරුද්ද ඉවර වෙනකොට අපේ සංචිත වැඩි වුණහම අපිට රත්තරන් මිලදී ගන්න පුළුවන්. දරුවාට මොකක් හරි අන්තරාවක් වෙනකොට ඒක නවත්ත ගත යුතුයි. දරුවො ඉන්න අයට ඕක තේරෙනවා. රත්තරන් අඩු වෙලා අපි දැන් විනාශ වෙන්න යනව කියල කියන කට්ටියම තමයි ණය ගෙවන්න එපා කියලා කියන්නෙත්. මේ වගේ කතා කියල රට අගාධයට යවන්නෙ නැතුව මේ වැඩේ කළමනාකරණය කරගන්න අපිට ඉඩ දෙන්න කියලා මම ඉල්ලා සිටිනවා.

අනපේක්ෂිත අභියෝග මැද රට නැංවීමේ ඉක්මන් සැලැස්ම

මා මහ බැංකු අධිපති ධුරයට පත්වී ආර්ථිකය ඉක්මනින් නැංවීම සඳහා සයමාසික සැලැස්ම ඉදිරිපත් කරනකොට අපි දැනගෙන හිටියා නොසිතූ දේවල් වෙන්න පුළුවන් කියලා. මොකද ලෝක තත්ත්වයන් වේගයෙන් වෙනස් වෙමින් පවතිනවා. ලෝකයේ ආර්ථික, සෞඛ්‍යමය තත්ත්වයන් වෙනස් වෙනවා. පසුගිය මාස දෙක තුනේදී ලෝකයේ බඩු මිල විශාල ලෙස වැඩි වෙලා තියෙනවා. අවුරුදු හතළිහකට පස්සේ ඇමරිකාවෙන් ඉහළම උද්ධමන අගය වාර්තා වෙලා තියෙනවා. යුරෝපයෙත් එහෙමයි. නැව් ගාස්තු තුන් ගුණයකින් ඉහළ ගිහින් තියෙනවා. ගල් අඟුරු මිල තුන් ගුණයකින් වැඩි වෙලා. ඒ වගේ තත්ත්වයක් යටතේ තමයි අද අපි ජීවත් වෙන්නෙ. ඒ වගේම කොවිඩ් වසංගතය විටින් විට අඩු වැඩි වෙනවා. මේ සියල්ලම අවිනිශ්චිත කරුණු.

එවැනි අවිනිශ්චිතතා මැද වුණත් අපිට සැලසුමක් තිබුණු නිසා තමයි අපි මාර්ග සිතියමක් ඉදිරිපත් කළේ. අපි මෙහිදී එකම උපක්‍රමයක් විතරක් නෙවෙයි අනුගමනය කරන්නෙ. එක ගැටලුවක් විසඳගන්න අපි උපක්‍රම කිහිපයක් අනුගමනය කරනවා. ජෙට් එකක වුණත් එන්ජින් හතරක් තියෙනවා. නමුත් එන්ජින් හතරම හැම තිස්සේම වැඩ කරන්නෙ නැහැ. එන්ජින් හතරක් තියෙන්නෙ එකක් වැඩ නොකළොත් අනිත් ඒවයින් ගමන යන්න. අපිත් එහෙම තමයි සැලසුම් සකස් කරන්නෙ. එන්ජින් එකක් දෙකක් සාර්ථක නොවුණත් ගමන සාර්ථක කරගැනීම තමයි අපේ අරමුණ.

විදේශ විනිමය බලහත්කාරයෙන් රුපියල් කරන්නේද?

විදේශ ප්‍රේෂණ සඳහා මෙම පරිවර්තනය කිරීම අදාළ නැහැ කියලා මම බොහොම පැහැදිලිව කියන්න ඕනෙ. යම්කිසි පුද්ගලයෙක් පිටරට වැඩ කරලා ලංකාවට සල්ලි එවනවා නම් ඒ සල්ලි ටික තමන්ට කැමැති විදිහට තියාගන්න ඒ පුද්ගලයාට පුළුවන්. ඒ මුදල් එක්කො විදේශ විනිමය විදිහට තියාගන්න පුළුවන්. නැත්නම් රුපියල්වලට පරිවර්තනය කරන්න පුළුවන්. ඒක එයාගෙ තීරණයක්. රුපියල් බවට පරිවර්තනය කරනව නම් මේ කාලසීමාවේදී එයාට ඩොලරයකට වැඩිපුර රුපියල් දහයකුත් ලැබෙනවා. මේ සම්බන්ධයෙන් ඉතාම අසත්‍ය ප්‍රචාර ඇතැම් පුද්ගලයන් විසින් ප්‍රචාරය කරනවා.

යම්කිසි පුද්ගලයෙක් ශ්‍රී ලංකාවෙ සම්පත් පාවිච්චි කරලා භාණ්ඩයක් හෝ සේවාවක් පිටරටවලට අපනයනය කරනවා නම්, එහිදී යම් යම් ගෙවීම් කරන්න අපි අවසර දීල තියෙනවා. ඒ සියලුම ගෙවීම් කළායින් පස්සෙ ඉතුරුවෙන මුදල තමයි ඔවුන්ට රුපියල්වලට පරිවර්තනය කරන්න වෙන්නෙ. යම් පුද්ගලයෙක් යම් දෙයක් ආනයනය කරනවා නම් එයා මුලින්ම රුපියල් අරගෙන බැංකුවට යනවා. ගහින් කියනවා රුපියල් ටික ඩොලර්වලට පරිවර්තනය කරල දෙන්න කියලා. ඒ ඩොලර් තමයි පිටරටට ගෙවන්නෙ. තමන්ට අවශ්‍ය භාණ්ඩය රටට ගෙන්වා ගැනීම සඳහා. ඒ වගේම මේ රටේ තියෙන භාණ්ඩයක් හෝ සේවාවක් පිටරටට යවනවනම්, ඒ අයට ඒ වෙනුවෙන් ඩොලර් ලැබෙනවා නම් ඒ මුදල්වලින් ඔවුන්ට අවශ්‍ය ගෙවීම් සිදු කරන්න අපි අවසර ලබා දීලා තියෙනවා. ඊට පස්සෙ ඉතිරි වන මුදල තමයි අපි පරිවර්තනය කරන්න කියලා කියන්නෙ. ඉන්දියාවෙ ක්‍රියාත්මක වෙන්නෙත් මේ ක්‍රමයම තමයි. පාකිස්තානයෙත් එහෙමයි. බංග්ලාදේශයේ, තායිලන්තයේ වගේම අග්නිදිග ආසියාවේ බොහෝ රටවල මේ ආකාරයේ රෙගුලාසි තමයි ක්‍රියාත්මක වෙන්නෙ. අපි මේ රෙගුලාසි සකස් කළේ ඉන්දියාව ආදර්ශයට අරගෙන. මේ රෙගුලාසි අපේ රටේ ක්‍රියාත්මක නොකරපු නිසා අපිට විශාල හනියක් වෙලා තියෙනවා. ඒ නිසා තමයි අපිට ඩොලර් හිඟයක් ඇති වුණේ. මෙතනදි තව දෙයක් කියන්න ඕනේ. රට තුළ ඩොලර් ගිණුම් පවත්වාගෙන යන පුද්ගලයන් ඒ කියන්නෙ නේවාසික විදේශ ගිණුම් තියෙන පුද්ගලයන්ගෙ මුදල්වලටත් මෙතනදි කිසිම බලපෑමක් නැහැ. ඔවුන්ටත් ඒ මුදල් කැමැති ආකාරයට පරිහරණය කරන්න පුළුවන්.

අපි උපදෙස් දෙන්නේ උණ්ඩියල් වගේ නීතිවිරෝධී ක්‍රම භාවිත කරන්න එපා කියලයි. ඒ විදිහට මුදල් එව්වොත් තව තවත් බාධා ඇති වෙන්න පුළුවන්. ඒක විවිධ ජාවාරම්වලට සම්බන්ධ ක්‍රමවේදයක්. අපි දන්නවා මේක කුඩු ජාවාරමටත් සම්බන්ධයි කියලා. ඒ නිසා සාමාන්‍ය විදිහට රටට මුදල් ගලා එන්න ඉඩ දෙන්න.

දෙදාස් නවය අවුරුද්ද අගදී අපේ රටේ තිබුණෙ මිලියන අනූ දෙකක රන් සංචිතයක් විතරයි. නමුත් දෙදාස් දාහතර වෙනකොට අපි ඒක මිලියන අටසිය අනූ දෙක දක්වා වර්ධනය කළා. එතනදි කවුරුවත් මගෙන් ඇහුවෙ නැහැ අනූ දෙකේ තිබුණු රන් සංචිතය අටසිය අනූ දෙකට වැඩි කර ගත්තේ කොහොමද කියලා. එහෙම අහනව නම් මම කැමතියි. වැඩි කර ගන්නකොට කවුරුවත් අහන්නෙ නැහැ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
3
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
1
මලපනිනව !
3
කුජීතයි !
4

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්