දැඩි සත්කාර ඒකකයේ මරුවා සමග පොරබදන දරුවන්ට ජීවිතය දුන් රත්තරන් ‍දොස්තර

පසුගිය සිකුරාදා රාත්‍රියේ කොළඹ, ගංගාරාම විහාරස්ථානයේ සුවිශේෂී බෝධි පූජාවක් පැවැත්විණි. මේ බෝධි පූජාව සංවිධානය කළ පිරිස අතර වෛද්‍ය අහමද් රිෆ්කාන් මහතා ද උන්නේ ය.

ඔහු මේ පිංකමට සම්බන්ධ වී සිටියේ කලක් තමා සමග එකට ඉගෙනගත් හිත හොඳ මිතුරකු වූ වෛද්‍ය ගයාන් දන්තනාරායනගේ ජීවිතය බේරාදෙන ලෙස ඉල්ලා සිටින්නට ය. එසේත් නැති නම් රෝගී වෛද්‍ය මිතුරාගේ ජීවිතයට සෙත්පතන්නටය.

මෙයින් නොනැවතුණු වෛද්‍ය රිෆ්කාන් ප්‍රමුඛ පිරිස මරණයට කැප වී සිටි ගවයෙකු ද නිදහස් කළේ ය.

“ඒ විතරක් නෙවෙයි අපි මේ පිංකමට එන්න බැරි අපේ මිත්‍රයාගෙ යාළු මිත්‍රයන්ටත් කිව්වා ඉන්න තැනක ඉඳලා හරි බුදුන් සිහිකරලා ඒ වෙලාවෙදී ම ඔහුට සෙත් පතන්න කියලා.

අපි මෙහෙම කරන්නේ, ඔහු අපේ ඉතාමත් හොඳ මිතුරෙක් නිසා. අවංක මනුස්සයෙක් නිසා. යහපත් ගති පැවතුම් ඇති පුද්ගලයෙක් නිසා” වෛද්‍ය රිෆ්කාන් අප සමග කීවේය.

ඇත්තට ම කොවිඩ්-19 රෝගයට ගොදුරුව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන වෛද්‍ය ගයාන් දන්තනාරායන කවුද? ඔහු ගැන ඔහුගේ මිතුරන් මේ තරම් උනන්දු වන්නේ ඇයි? අප ඒ පිළිබඳව සොයන්නට වෙහෙසුණේ ඉන් අනතුරුව ය.

“වෛද්‍ය ගයාන් මට හමුවන්නේ චීනයේ, ටියැන්ජින් වෛද්‍ය විද්‍යාලයේදී. අපි අවුරුදු 5ක් එකට ඉගෙන ගත්තා. ඔහු මගේ හොඳ ම මිතුරෙක්.

කොළඹ, නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලේ ඉගෙනගෙන අඩු වයසකින් වෛද්‍ය විද්‍යාව හදාරන්න ආපු ගයාන් තමයි අපේ කණ්ඩායමේ හිටිය බාලයා. ඒ හින්දා අපි හැමෝම ඔහුට කතා කළේ ගයාන් මල්ලි කියලා.”

වෛද්‍ය රිෆ්කාන් අතීතය මෙනෙහි කරමින් වෛද්‍ය ගයාන් ගැන කියන්නට පටන් ගත්තේ ය.

ඒ 2005 අවුරුද්ද ය. ටියැන්ජින් වෛද්‍ය විද්‍යාලයට ඒ වර්ෂයේදී ඇතුළු වූ ඔහු තමන්ගේ කණ්ඩායමේ හැමදෙනා සමඟම කතාබහ කළේත් මිතුරුකම් පැවැත්වූයේත් එක ම ආකාරයට ය.

වෛද්‍ය ගයාන් සියලු දුසිරිතෙන් තොරය. ඒ ගැන තවදුරටත් කතා කරන්නේ වෛද්‍ය රිෆ්කාන් ය.

“යුනිවසිටි එකට ඇතුළත් වුණු දවසේ ඉඳලා නැවත ලංකාවට එනතුරු ම ගයාන් ගත කළේ පුදුමාකාර ආදර්ශවත් ජීවිතයක්. ඔහු මත්පැන් පානය කරන්නේ නැහැ. සිගරට් බොන්නේ නැහැ. කිසි ම වැරැදි වැඩකට දායක වෙන්නේ නැහැ.

හැබැයි හැම වෙලාවෙ ම සිනාමුසු මුහුණින් හිටියා.

ගයාන් සංගීතයට හරි දක්ෂයි. ඉතින් ශ්‍රී ලංකන් ඩේ එක දවසට ඔහු ගිටාරය වාදනය කරමින් ගීත ගයනවා අහන්න හැම රටක ම වගේ යාළුවෝ අපිත් එක්ක එකතු වෙනවා.

ඒ ඇරුණු කොට ඔහු නිදහසේ හිටිය වෙලාවට කළේ ගිටාරය වයමින් ගීත ගායනා කළ එක තමයි. ඇත්තට ම අපි මේ චරිතයට හුඟාක් ආදරේ කළා. ඇළුම් කළා.”

වෛද්‍ය රිෆ්කාන් කියන්නේ ඔහු සමග ම එකට හිටපු මේ මිත්‍රයා සතුව තිබූ ආදර්ශවත් ගති පැවතුම් නිසාම ලංකාවට ආ පසුවත් ඒ යාළු මිතුරුකම් නොබිඳුණු බව ය.

“අපි හුඟාක් කාර්යබහුල වුණත් අවශ්‍ය ම වෙලාවට අපි කතා කරනවා. අදහස් හුවමාරු කරගන්නවා.

ලංකාවට ආවට පස්සේ වෛද්‍යවරයෙක් හැටියට මේ රටේ වැඩ කරන්න අවශ්‍ය විභාගයටත් අපි දෙන්නා එකට ලිව්වා. ඔහු ඉතා දක්ෂ තරුණයෙක්.”

වයස අවුරුදු 31 පමණ වන මේ තරුණ වෛද්‍යවරයා සැබෑ මිනිසෙකු බව මනුෂ්‍යත්වය අගය කරන්නකු බව ඔහු ළඟින් ඇසුරු කරන හැමෝම කියති.

හලාවත, අම්පාර වගේ රෝහල්වල විශේෂයෙන් ම ළමා වාට්ටුවේ සේවාව කළ වෛද්‍ය ගයාන් දන්තනාරායන වෙහෙස මහන්සිය නොබලා දරුවන්ගේ ජීවිත බේරාගැනීමට මහඟු සේවයක් කළ අයකු හැටියට සුප්‍රසිද්ධ ය.

“මම හොඳට ම දන්නවා ඔහු කළ සේවය. හලාවත හා අම්පාර රෝහල්වල සේවය කරද්දී ඔහු අසාධ්‍ය රෝගී දරුවන්ව අරගෙන ගිලන් රථයෙන් කොළඹ එනවා. එක්කෝ මහනුවරට යනවා. ඔහු මේ දේවල් කළේ හරිම කැමැත්තෙන්. ඒ වගේ ම කරන්න පුළුවන් හැම උදව්වක් ම ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙලා කරනවා.”

වෛද්‍ය ගයාන් දන්තනාරායන මහතාගේ පියාත් දක්ෂ වෛද්‍යවරයෙකි. මේ වෙද්දී ඔහු මෙන් ම ගයාන්ගේ මව හා බිරිය පවා සිටින්නේ කොරෝනා ආසාදිතවයි.

වෛද්‍ය ගයාන්ගේ පවුලේ ඔහුට බාල සහෝදරයෙක් සහ සහෝදරියක් සිටිති. වැඩිමහල් සහෝදරයා හදිසි දුම්රිය අනතුරකින් මියගොස් තිබේ. පාසල ඇරී නිවෙසට එනවිට අනතුරට පත්වූ තම සහෝදරයාගේ හදිසි වියෝව එදා පුංචි ගයාන්ගේ හිතට තදින් දැනී තිබිණි.

අපේ කතානායකයා, එසේත් නැතිනම් ආදරණීය වෛද්‍යවරයා කොරෝනා රෝගයට ගොදුරු වන විට සේවය කළේ රාගම මහ රෝහලේ. ඒ අනුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔහු මුල්ලේරියාව රෝහලට මාරු කර යැවිණි. ඒ වෛද්‍ය ගයාන් තරමක් දුරට දියවැඩියා රෝගයෙන් ද පීඩා විඳින හෙයිනි.

උස, මහත, දක්ෂ, අවංක මිනිස්කම හඳුනන මේ වෛද්‍යවරයාට හැකි ඉහළ ම ප්‍රතිකාර ලබාදුන්නත් එක්තරා අවස්ථාවකදී ඔහුගේ පෙනහලුවලට හානි සිදුවී ඇති බව වෛද්‍යවරුන්ට තේරුම් ගියේ ය. ඒ අනුව ඔහු වහාම ගාල්ල කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයට යවන ලදී.

කරාපිටිය රෝහලට රැගෙන යන ලද වෛද්‍ය ගයාන් එහි ‘එක්මෝ’ (ECMO) යන්ත්‍රයට සම්බන්ධ කෙරිණි. ඒ කෘත්‍රිමව ඔක්සිජන් ලබාදිය යුතුව තිබූ හෙයිනි.

මේ වනවිටත් වෛද්‍ය ගයාන් එහි ප්‍රතිකාර ලබමින් සිටියි. වෛද්‍යවරු ඔහුගේ ජීවිතය බේරා ගැනීමට ලොකු වෙහෙසක් දරති.

මේ සියලු කාරණා මුල්කරගෙන තමයි වෛද්‍ය රිෆ්කාන් ඇතුළු ටියැන්ජින් සරසවියේ අධ්‍යාපනය ලැබූ හැමෝම පුළු පුළුවන් විදියට එකතු වෙන්නේ. ඒ තමන්ගේ ආදරණීය මිත්‍රයාට සෙත් පැතීමටයි. බුදුන්ගේ දෙවියන්ගේ පිහිට ලබාදීමට ය. 

ටියැන්ජින් මිතුරන්ට අමතරව වෛද්‍ය ගයාන් දන්තනාරායනගේ ජීවිතය බේරා දෙන්නැයි ඉල්ලා සිටින තවත් බොහෝ පිරිසක් වෙති. ඒ අය අතර මුහුණුපොතේ සිටි තවත් වෛද්‍යවරයකුගේ සටහනක් අපි මේ සටහනට එකතු කරගන්න හිතුවෙමු. මුහුණු පොතේ යොදා තිබුණු ඒ ළෙන්ගතු සටහන ඔහු වෛද්‍ය ජනිත් පේදුරුආරච්චිගේ ය. ඒ සටහන මෙසේ ය.

“වෛද්‍ය ගයාන් දන්තනාරායන Covid-19  වැළඳිලා ඉතා අසාධ්‍ය තත්ත්වයෙන් මුල්ලේරියාව දැඩි සත්කාර ඒකකයේ මේ වෙනකොට ප්‍රතිකාර ලබමින් ඉන්නවා.

ගයාන් වගේ මිනිස්සු මේ වෙලාවේ ජීවත් වෙන්න ඕනෑ. ඒ වගේ නැති මිනිස්සුන්ගෙන් මේ ලෝකේ පිරිලා ඉතිරිලා නිසා. මේ කතාව මගේ මුල් ම පත්වීම අරගෙන දෙහිඅත්තකණ්ඩිය ළමා රෝග ඒකකයේ වැඩ කරපු කාලේ. යුද්දෙ අවසන් වෙලා අම්පාරට, පොළොන්නරුවට සංවර්ධනයේ අලුත් බලාපොරොත්තු එන කාලේ.

දෙහිඅත්තකණ්ඩියට ළඟ ම නොමේරූ ළදරු දැඩි සත්කාර ඒකකය පොළොන්නරුව මහ රෝහල. ඒ කාලේ හැමදා ම ඒක පිරිලා. 

ඉතින් අලුත ඉපදුණු අසාධ්‍ය නොමේරූ ළදරුවෝ අරගෙන අපිට යන්න වෙන්නේ අම්පාරට. දෙහිඅත්තකණ්ඩියේ ඉඳන් ඒ කාලෙ අම්පාරට යන ගමනට අවම වශයෙන් පැය 3ක් යනවා. කිලෝමීටර් 125ක දුරෙන් වැඩි කොටසක පාරෙ ඇම්බියුලන්ස් එකේ අඩිය බිම වදින සයිස් වළවල්. ඒ කාලේ තිබ්බ ඇම්බියුලන්ස් කියන්නේ නිකම් ම ඇඳක් හයි කරපු, පිටිපස්ස දුනු තියෙන හයිඒස් වෑන්. මාදුරු ඔය රක්ෂිතය මැදින්, අරලගංවිලෙන් යන පාරෙ තියන වළවල්වල වැටෙනකොට භූමිකම්පාවක් වගේ. ඒක තමයි ගැස්සෙන්නේ. ගමන මැද ගැස්සෙනකොට අර දරුවට කෘත්‍රිම ශ්වසනය දෙන්න දාපු ET tube එක (ඔක්සිජන් දෙන්න පෙනහලුවලට දාන නළය) ගැලවෙනවා. ඉතිං ඇම්බියුලන්ස් එක නවත්තලා ටෝච් එකක් ගහගෙන ආයෙ ඒක දාන්න ඕනෑ.

දරුවගේ විජලනය වළක්වන්න ඇම්බියුලන්ස් එකේ ජනෙල් ඔක්කොම වහන්න ඕනේ. උෂ්ණත්වය රැකගන්න ඕනෑ නිසා AC එක දාන්නේ නෑ. මේ වෙනකොට ඇම්බියුලන්ස් එක ඇතුළෙ පෝරනුවක් වගේ. කොහොමත් ගමනේ මේ වෙලාව වෙනකොට නර්ස් මිසී, සුළු සේවිකාව එහෙම බොහෝවිට වමනෙ දාන්න පටන් අරන්. 

අපි ඔය දුෂ්කර ගමන ගෙවාගෙන යනකොට අම්පාරෙ ළදරු දැඩි සත්කාර ඒකකයේ බොහෝ විට ඉන්නෙ ගයාන්. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මේ වගේ කේස් එකක් ඇම්බියුලන්ස් එකක දාලා අරන් එන එකට කියන්නේ ‘බකට් එකක්’ කියලා. බකට් එකක් අරන් යන අපිව භාරගන්නෙ කැමැත්තෙන් නෙවෙයි.

ඒ අතින්, අම්පාරෙදි ළමයා භාරගෙන කෘත්‍රිම ශ්වසන යන්ත්‍රවලට සෙට් කරපු ගමන් ගයාන් අහන්නේ, “අයියෙ – කාලද ආවේ”? කියලා. 

බොහෝ විට රෝහලේ කැන්ටින් එකට ගිහින් තේ එකක්, කන්න දෙයක් අරන් දීලා ළමයා අමාරුවෙන් එක්කගෙන ආවට තෑන්ක්ස් කියලා තමයි ආයෙ අපිව එවන්නේ. ඒ වගේ දෙයක් කිසිම කෙනෙක් කරනවා මගේ ජීවිත කාලෙදි මං දැකලා නෑ.

ගයාන්ලගෙ PBU එකෙන් භාරගත්තු දරුවො, සති කිහිපයකින් සුවකරලා ආයෙ එවනවා. එහෙම බාගෙට මැරිලා ගිහිං සනීප වෙලා ආපු සමහර දරුවො අදටත් උපන්දිනේට මාව බලන්නත් එනවා.

ඒ ගොඩක් දරුවො දැන් පෙරපාසල්, පාසල් යන නිරෝගී ළමයි. මේක ලියනවිටත් GMOA එකෙන් ගයාන්ව, ECMO ප්‍රතිකාරවලට කරාපිටියෙ ගෙනියන්න උත්සාහ කරමිනුයි ඉන්නේ. 

ඒ අතීතයේ සියල්ල මැවිලා පේන මේ වෙලාවේ, මට කියන්න ඉතුරුවෙලා තියෙන්නේ “මචං, කොහොම හරි ඉක්මනට සනීප වෙලා වරෙන්” කියලා විතරයි.

ගයාන්, උඹට ඉක්මන් සුව! Don’t Stop Fighting”

ඔබට දැන් තේරුම් යනවා ඇති හැමෝම එකතු වෙලා සෙත් පතන මේ තරුණ වෛද්‍යවරයා කෙබඳු චරිතයක්ද කියා. ඇත්තටම මේ සටහන ලියලා අපිත් ඔහුට සෙත් පතන්න, නිරෝගී සුවය පතන්න හේතුවුණේ ඒ නිසයි. ගයාන් වෛද්‍යවරයාණනි, ආදරණීය හදවතක් ඇති, වෛද්‍ය වෘත්තියට ම ගැළපෙන ඔබ ජීවත් විය යුතුමය. ඔබට ඉක්මන් සුවය ලැබේවා!

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්