පුන්නක්කු එක් කරන්නෙ ගොනාගෙ හැටියට

ගේට්ටුව හෙමි හෙමින් හෙමි හෙමින් ඇරෙයි. නිල්පාට තර්බන්ජියා මල් හිසට ඉහළින් හිඳ සිනාසෙයි. මම මේ ඇතුළු වන්නේ මල් උයනකටදැයි මසිත කුහුලෙනි. දකුණු අත පැත්තෙන් සුදු පාට තර්බන්ජියා මල් වැලකි.

එකවරම හිසට ඉහලින් මල් වියනකි. එළි පහලියේ වූ ආලෝකය එක්වරම සැඟව ගියේ වැහි අන්ධකාරය හෝ ඉර වලාකුලක සැඟවුණු නිසා හෝ නොවේ. අර මල් වියන නිසාය. 
ඇය ලෙංගතුම සිනාවකින් මා පිළිගත්තාය.

ඔයා කාලෙකින්?
මම හිස සැලීමි. අඩුම තරමින් අවුරුදු දෙකකටවත් පසුව විය යුතුය.
ආලින්දයේ තබා තිබූ විසල් පින්තූරයේ සිටින්නේ ඇය සහ ???

යමු ඇතුළටම?
ඇය මා ගෙතුලට කැඳවාගෙන ගියාය.

ධනුදර ශිල්පයෙන්ම

මා කෙලපැමිණියෙක්මි වැදි රජු හනික යනු පලා
මනමේ කුමරියන්ට
ඔබ ඒ වග කියන්න 
සටනට මාව නොකැඳවා
සටන වැකෙන්නේ හුරුපුරුදු හඬකි
මෙයා මනමේ කුමාරයා වෙලානෙ
ඇය හඬින් සිනාසේ
එතකොට ඔයා මනමේ කුමාරිද
මගේ දෙනෙතෙහි ප්‍රශ්නාර්ථයකි.

අපොයි නෑ. ඔය ඇහෙන්නෙ මනමේ කුමාරයගෙයි වැදි රජ්ජුරුවන්ගෙයි දෙබස් 
ඇය යළිදු සිනාසේ
මම මනමේ කුමාරයා දෙස බැලීමි. කොණ්ඩය දිගය. ඇදුම කොට කලිසමක් සහ ටී ෂර්ටයකි.
ඒ වෙනින් කවුරුවත්ම නොවේ

වික්ටර් රත්නායකය.
ඔහුගේ පසෙකින් සිටින්නේ දර්ශන වික්‍රමතුංගය
මනමේ කුමාරයා වික්ටර් රත්නායක නම් වැදි රජු දර්ශන දැයි මට මොහොතකට සිතිණි. මුහුණ පුරා වැවූ රැවුල මිස පොරෝ කෙටියක් ඔහු අත නොවීය. එබැවින් ඔහු වැදි රජු නොවේ? එසේ නම් වැදි රජු කවුද?

මම දර්ශනගේ මුහුණු බලමි 
මේ වික්ටර් සර් අලුතින්ම කියන සිංදුව මගෙ මෙලඩි එක මං ආවෙ වික්ටර් සර්ට මේ සිංදුව ටිකක් පුහුණු කරන්න. 
දර්ශන කීය.
එතකොට වැදි රජු?
මම ඇසීමි 
ලාල් ද සිල්වා කියලා ගායකයෙක් මේ සිංදුව කියන්නෙ ඒ දෙන්නා….

මනමේ කුමාරයා උන් තැනින් නැගිටවිත් මා සාදරයෙන් පිළිගත්තේය. ඉනික්බිති අපි සාලයේ වූ පුටු සෙටියේ වාඩි වීමු. වික්ටර්, දර්ශන, හසිනි සහ මම.

වික්ටර් රත්නායක දැන් පූර්ණ ලෙසම සුවපත්ය. ඔහුගේ රුවේ එදා තිබූ පෙනුම තාමත් එලෙසම රැකී පවතී. මීට වසරකට පමණ කලින් ඔහු අසනීප වූ අවස්ථාවේ අපි ඔහුට සෙත් පැතීමු. ඒ සෙත් පැතුම් සියල්ලම ඉටුවී තිබීම වාසනාවකි. එපමණක් නොවේ, ඔහු යළිත් ගයන්නේය.

සතුට එයයි
එහෙත් කතාබහකට ප්‍රවිෂ්ඨයක් නොමැතිව මම වික්්ටර් රත්නායකයන්ගේ මුහුණු බලා හිඳිමි. ඔහු මා දෙසත් දර්ශන දෙසත් හසිනි දෙසත් බලයි.

මේ කතා බහ කෙලෙස කොතැනින් පටන් ගන්නෙම්ද?

හසිනි නැගිට යාබද කුස්සියට ගියාය. ඇය යළි ආවේ කේක් කෙසෙල් ගෙඩි සහ තලබෝල සහිත බන්දේසියක් ද රැගෙනය. පළමුව අපට සංග්‍රහ කළ ඇය අනතුරුව වික්ටර්ට තල බෝලයක් දුන්නාය. 

මේ තල බෝල කනකොට මට අපූරු කතාවක් මතක් වෙනවා. අපි යාලුවො කට්ටියක් කඩුගන්නාවෙ ඉඳලා කොළඹ යමින් හිටියෙ. මඟදී කට්ටියට ඕනෑ වුණා තලගුලි කන්න. ඔය වෙලාවෙ එක යාලුවෙක් කිව්වා, ඔය තල ගුලිවලට පුන්නක්කු දානවා කියලා. අනේ බොරු නොකියා හිටහං. තලගුලිවලට කොහෙද පුන්නක්කු දාන්නෙ. එතකොට තව යාලුවෙක් කිව්වා හරි ඉතිං උඹට හිතෙන්නෙ මං කියන්නෙ බොරු කියල නම්, උඹ හෙමින් සැරේ මුදලාලිගෙන් අහල බලපංකො.

මේ වෙද්දි කට්ටිය හිටියේ තරමකට මත්වෙලා. ඉතින් කඩේට ගිය ගමන්ම අපේ යාලුවා මුදලාලිට කිට්ටු කරලා ඇහුවා, මේ තලවලට පුන්නක්කු දාන්නෙ කොයි විදිහටද කියලා. ඒ වෙලාවෙ මුදලාලි ඇස් පුංචි කරගෙන අර යාලුවා දිහා බැලුවා.

පුන්නක්කු එක් කරන්නෙ ගොනාගෙ හැටියට.
මුදලාලි එහෙම කියලා එතැනින් යන්න ගියේ කේන්තියෙන්.
වික්ටර් රත්නායක මහ හඬින් සිනාසෙන්නට විය. එය අපටද විනෝදයක් විය අපිද සිනාසුනෙමු.

දර්ශන ඔයා දන්නවද? මමයි ශාන්තයි ඔක්කොම ගම්පහ කට්ටිය කියලා. 
වික්ටර් තවත් කතාවක් කියන්නට සැරසේ.

සර් කඩුගන්නාවෙනෙ?
දර්ශන ඇසුවේය.
මං ඉපදිලා තියෙන්නෙ නුවර ඉස්පිරිතාලෙ මොකද ඒ වෙද්දී තාත්තයි අම්මයි ගම්පහෙන් කඩුගන්නාවට ඇවිත් හිටිය නිසා නැත්නම් තාත්තගෙ ගම පිළිකුත්තුවෙ. අම්මා උඩුතුත්තිරිපිටියෙ.
එතකොට තාත්තා රස්සාවක් කරපු කෙනෙක්.
දර්ශනගෙන් තවත් පැනයකි.

ඔව්, ඔසඳ වටු .
දර්ශනගේ පමණක් නොව, මගේ දෙනෙතද නළලට ගියේය 

ඔසඳ වටු? ඒ කියන්නෙ?
දර්ශන ඇසීය.

මගෙ පළවෙනි සරල ගී වැඩ සටහන තිබුණු ස්වදේශීය සේවයෙ ඔය වැඩ සටහනට සිංදු හරතක් ඕනෑ වුණානෙ. එක සිංදුවක් ලියලා දුන්නෙ සේන වීරසේකර.. මං සේනට කිව්වා මට ඕනැ ජනප්‍රිය ගීත රචකයන්ගෙ ගීත නෙවෙයි. ජනප්‍රිය නැති අයගෙ හොඳ ගීත කියලා. එතකොට සේන කිව්වා, එහෙනම් අපි අරිසෙන් අහුබුදු ළඟට යමු එයාව මං දන්නවා මගේ ගුරුතුමා කියලා. මං කැමති වුණා. අපි දෙන්නා ගල්කිස්සෙ, හුලුදාගොඩ පාරෙ තිබුණු අහුබුදුවන්ගෙ ගෙදර ගියා. මං කිව්වා මට ගීතයක් දෙකක් ලියලා දෙන්න කියලා. ඒ වෙලාවෙ  අහුබුදු ඇහුවා මගේ වංහුං. තාත්තගෙ රස්සාව ගැන එහෙම.

මගෙ තාත්තා ඩිස්පැන්සරිවල බේත් කලවම් කරන කෙනෙක් කියලා මම උත්තර දුන්නා.
ඔසද වටු 
අහුබුදු ඒ වචනෙට පිරිසුදු සිංහල වචනෙ දුන්නෙ ඒ විදිහට 
එදා අහුබුදු ලියලා දුන්න ගීතය මොකක්ද එතකොට 
ඒ ප්‍රශ්නය මගෙනි
ගොළු මුහුදේ මුතු ඇටේ දහම් අාකරේ
රුවන් දෙරණ මිහිතලේ උපන් බිම අපේ
රකිමු රකිමු පණ පුදා හෙළ ලංකා

ඔය කාලෙ වැඩියෙන්ම ගීත ලිව්වෙ කරුණාරත්න අබේසේකර නේද?
මම යළිත් වික්ටර්ගේ මතක අවුස්සමි.
ඒ නිසාම තමයි මම කරුගෙන් සිංදු නොගත්තෙ. මට වැඩියෙන්ම සිංදු ලියල දුන්නෙ ප්‍රේමකීර්ති ද අල්විස්.
කරුණාරත්න අබේසේකරගෙ සිංදු කියලම නැද්ද?
මා එක් වරම ඇසීමි
එකක් දෙකක් කිව්වා.. දවසක් කරු ගුවන් විදුලියෙදී මුණගැහුණු වෙලාවක මං කිව්වා, මම වික්ටර්ට ගීතයක් ලියලා තියෙනවා. වෙලාවක ගෙදර ඇවිත් ඒක අරගන්න කියලා. ඒ සිංදුව තමයි.

චංචල අදුරු ලොවේ
නිසංසල සීතල පරම සුවේ
මිහිපිට තැනක තියේ
සොයා එමි මම ඒ සෙවන පියේ.
ඒ වෙද්දි මං කරුගෙ සිංදු නොකියන්න තීරණේ කරගෙන හිටියෙ. ඒ නිසා චිත්‍රපටි පහක විතර සිංදු කියන එකත් මං ප්‍රතික්ෂේප කරලා තිබ්බේ.

ඒ කාලෙ ඉතින් ගීත රචකයො ටික දෙනානෙ හිටියෙත් නේද? 
දර්ශන කීවේය.
අපෝයි ඔව්, අද වගේ නම් ගීත රචකයො එදා හිටියෙ නැහැ. මට අද උදෙත් ගීත රචකයෙක් කතා කරලා එයාගෙ සිංදු දෙකක් කියාගන්න ඕනෑ කොහොමද කරන්නෙ කියලා ඇහුවා. 

වික්ටර් කීවේය.
ඉතිං
මං කිව්වා ඉස්සෙල්ලම පදමාලා බලන්න ඕනෑ. මට ගැලපෙන්නෙ නැත්නම් මම කියන්නෙ නැහැ කියලා.
සමහර ගීත රචකයො ඉන්නවා හරිම ලස්සනට සිංදු ලියනවා. හැබැයි සිංදු කරගන්න ඒ අය ළඟ සල්ලි නැහැ. සල්ලි තියෙන අය සිංදු කරනවා. හැබැයි එයාලගෙ සිංදුවල රහක් නැහැ. 
දර්ශන අලුත් අදහසක් ඉදිරිපත් කළේය.

ගායකයොත් එහෙමනෙ ඉතිං. ඔයානෙ අද වැඩිපුරම සිංදු හදන්නෙ. ඒ නිසා ඔයා ඒ ගැන හොඳටම දන්නවා. 
වික්ටර්, දර්ශනට කියා මවෙත හැරිණි.

ශාන්ත මල්ලි, මෙයා අද නව පරපුරේ ඉන්න දක්‍ෂතම සංගීතඥයා.
දර්ශන ලජ්ජාවෙන් මෙන් මුහුණ සඟවා ගනිද්දී මම වික්ටර් රත්නායකයන්ට එකඟ වීමි.

මගෙ මෙලඩිවල තියෙන්නෙ සර්ගෙ මෙලඩිවලයි සංගීත සංයෝජනයෙයි තියෙන දේවල්ම තමා. මම ඒවා ඉගෙන ගත්තෙ සර්ගෙ සිංදුම අහලා තමා. ඒවායේ මොකක්දෝ මන්දා අපේ කමක් තියෙනවා කියලා මට දැනෙනවා සර්.
ගී ලොවේත් සංගීත ලොවේත් ආචාර්ය පදවියකින් පිදුම්ලද හෙළයේ මහා ගාන්ධර්වයා ගෙන් දර්ශනට ලැබුණු ඒ කියමන එසේ මෙසේ සම්මානයක් නොවේ. එහෙත් දර්ශන කමිසයේ කොලරය ඔසොවා ගත්තේ නැත. ලජ්ජාවෙන් මූණ හංගා ගත්තේය.

ඇත්තෙන්ම සනීප වුණාට පස්සෙ දර්ශන අයියා වික්ටර්ට කතා කරලා සිංදුවක් කියමුද කියලා ඇහුවාම අපි කැමති වුණෙත් මෙයා හදන සිංදු ගැන දන්න හින්දා 
එවර කතාබහට එකතු වූයේ හසිනිය.

‘‘ඒ සින්දුවත් හරි ලස්සන වචන ටිකක්, ඉසුරු තිලකවර්ධන ලියලා තිබ්බෙ.
සුවහසක් මල් පිපිලා 
තරු දහස් ගණන් නැගීලා 
සොඳුරු රැයක තුරුළු වීලා
විඳිමු ආදරේ
හදට හදක් එකතු වීලා
නෙතට නෙතක් දැහැන් බැඳීලා
දෙතොල් රස ගඟක් මැවීලා
විඳිමු ආදරේ.
කොහොමද ඉතින් දර්ශන ගැන එච්චරම විශ්වාසයක් ඇති වෙන්නෙ?
මට කුහුලකි.
මෙහෙමනෙ දර්ශන මට පළමු සිංදුව කරන්නේ මීට අවුරුදු හයකට විතර කලින් කඳුළු කුමට කියලා සිංදුවක් ඒක. මෙලඩිය බොහොම රහට හදලා තිබ්බා. ඉතින් මට මෙයාගෙ සිංදු ගැන විශ්වාසයක් ගොඩනැගුණා.

එවර උත්තර දුන්නේ වික්ටර්ය.
රෝහන ලියනගේ කඳුළු කුමට වචන ටික දීලා ඒක වික්ටර් සර්ට හදන්න කිව්වාම මට දැනුණෙ හීනයක් සැබෑ වෙනවා වගේ කියලා. වික්ටර් සර් මට ගුරුවරයෙක්. ඒ කියන්නෙ මම මෙලඩි හදන්න වික්ටර් සර්ගෙ මෙලඩි වලින් හුඟාක් දේවල් ඉගෙන ගෙන තිබුණා. ඒත් කවදාවත් වික්ටර් සර් මගෙ මෙලඩියකට සිංදුවක් කියයි කියලා මං හීනෙකින්වත් හිතලා තිබුණෙ නැහැ.

ඒ දර්ශනය
හැබැයි ඒ සිංදුවෙන් පස්සෙ දර්ශන අයියා වික්ටර්ට සිංදු කීපයක්ම හැදුවා සෙනෙහසදිය, සිතින් හැංගි හැංගී, මම පියල් ගම්පෙරලියේ එහෙම.

ඒ හසිනිය.
ඒ වුණාට දර්ශන මෙයාව මනමේ කුමාරයෙක් කරයි කියල නම් හිතන්න නැතුව ඇති. 
මම හුදෙක් විනෝදය පිණිසම ඇසුවෙමි.

මොහොතකින් විසිත්ත කාමරය සතුටු සිනාවෙන් පිරී ගියේය.

දැන් අපි පුරුදු විදිහටම හිනාවෙනවා තමා හැබැයි මෙයා නොහිටියා නම් මම මෙලහටත් මැරිලා.
මනමේ කුමාරයා කීවේ හසිනි දෙස බලාය. එමොහොතේ හසිනිගේ මුහුණු බොහෝ හැඟීම්බර විය. බිරිඳකට සැමියෙකුගෙන් එවැනි සම්මානයක් ලැබීමම වාසනාවකි.

දොස්තර මහත්තුරු කිව්වෙ, කොහොම හරි රෝද පුටුවකට දාලා දෙන්නම් කියලා. අද මෙයා සනීප වෙලා ඉන්න හැටි සිංදු කියන හැටි දැක්කාම දොස්තරලටත් පුදුමයි.

හසිනි යලි කීවාය.
මම මැරිලා ගොඩ ආවෙ. මට බේත් කලේ ප්‍රියංකර ජයවර්ධන, ශර්මිලා විතාන, මහාචාර්ය සමන් ගුණතිලක, නියෝමාලී අමරසේන, හර්ෂ සමරසිංහ, අෆ්ලා සදීකින් කියන දොස්තර මහත්තුරු තරංගා වික්‍රමසූරියගෙන් දැනටත් සිංහල බේත් ටිකක් කරනවා.
හසිනි යලි කීවාය.

ඒ අය බේත් කළත් මෙයා නොහිටින්න වික්ටර් රත්නායක කෙනෙක් නැහැ.
වික්ටර් යළිදු කීවේ හසිනිගේ මුහුණ දෙස බලමිනි.
ඔබෙ දෙතොල් පෙති ලිහී 
පිපිනු හසරැල් විලේ
හද දියව ගලා යයි
රැලි ලමින් සැලි සැලී
මෙවන් සුව පෙර නොවිඳි 
තුන් සිතම සලිත වේ
සසර සැරිසරන තෙක්
ඔබ මගේ ඔබ මගේ
ඔහු එසේ නොකීවද, ඔහුගේ දෙනෙතෙහි ලියැවී ඇත්තේ ඒ ගී පද කිහිපය බව මට විශ්වාසය, එදා කවුරුන් මොනවා කිව්වත්, හසිනි වික්ටර් යනු සාංසාරික ප්‍රේමයක හිමිකරුවන්ම යැයි මගේ සිත කීවේය.

වික්ටර් රත්නායකයන් මා මුල්ම වරට දුටු රාත්‍රිය එක් වරම මතකයේ ඇඳිණි. ඒ ගම්පහ චිත්‍රා ස්ටුඩියෝව අසලදී නොමිලේ පැවැත්වුණු ප්‍රසංගයක දීය.

එදා ඔහු සොඳුරු තාරුණ්‍යයේත් මා ළමා වියේත් පසුවූ බව මතකය. එදා ඔහුගේ ප්‍රේමණීය ගී අතරේ දුටු ආදරය, මෙලොව තිබේ දැයි නොදැන සිටියෙමි.  එහෙත් මම ඔහුට වශී වීමි.

ඉන් කලකට පසු බොහෝ අවස්ථාවල අපි හමුවීමු, ඔහුගේ සුවිශේෂ ප්‍රසංගයක් ගැන කියන්නට විටෙක ඔහු මට කතා කරන තරමටත්, ඔහුගේ විශේෂිත ගීතයක් ගැන අහන්නට ඔහුට කතා කරන තරමටත් අපේ මිත්‍රත්වය ලෙංගතුකම දැඩි විය. ඔහුගේ ‘ස’ ප්‍රසංගයත් සරස ප්‍රසංගයත් පමණක් නොව වෙනත් ගී ප්‍රසංගද බොහෝ වාරයක් රස විඳින්නට මට හැකි විය.

ආයෙනම් ඒක පුද්ගල ප්‍රසංගයක් කරන එකක් නැතිවෙයි. නේද? 
මම මේ ගාන්ධර්වරයාගේ මුහුණු බලමි. 
නෑ- එච්චර මහන්සි වෙන්න බෑ.
වික්ටර් කීය.

ඔයා ඒක පුද්ගල ප්‍රසංග ගැන ඇහුවාම මට අපූරු සිද්ධියක් මතක් වුණේ. ‘ස’ ප්‍රසංගෙ එම්.පී. තැටියක් කලානෙ. ඔය වෙලාවෙ ඒ තැටියෙ කවරෙට දැම්මෙ ‘ස’ බලන්න ඇවිත් හිටපු ඕඩියන්ස් එකේ පින්තූරෙ.. ඔය පින්තූරෙ ඉඳලා තියෙනවා එක ජෝඩුවක්… හැබැයි මේ දෙන්නා අනියම් සම්බන්ධයක් තිබිලා තියෙන්නෙ. මේ පොටෝ එකෙන් ඒ දෙන්නගෙ නීත්‍යානුකූල හිමිකරුවන්ට හොරේ එළිවුණා. අන්තිමේ ඩිවෝස් වෙන්නත් ඒ පින්තූරෙ හේතුවක් වුණා.

වික්ටර් රත්නායකත් සිනාසේ 
ඒ වුණාට ‘ස’ ප්‍රසංගෙ, එහෙම නැත්නම් වික්ටර් අයියගෙ ගීත කී දෙනෙක් ආදරෙන් ළංකරගන්න ඇතිද?
මම කීවෙමි
හසිනි ගේ දෙතොල් සිහින් මන්දස්මිතයක් ඇදී ගියේය.
අනන්තවත් 
වික්ටර් අයියාද සිනාසී කීවේය
ඔහුගේ හඬින් ගැයුණු මියුරු ගී කීයක් නම් එකල ලියැවුණු පෙම් පත් සරසන්නට ඇද්ද?
දෙතොලඟ සිනහ ආදර කැල්මෙන් නැහැවී

පෙම් රස අසා අමුණයි සුන්දරතාවේ  
හෙමින් මුමුනමින්ම මට ඔරලෝසුව දෙස බැලීමි. දැන් හෝරා දෙකකටත් වඩා ගෙවී ගොස්ය ඉර හැංගෙන හැන්දෑවට කලින් අප සමුගත යුතු යැයි මසිත කියයි.

පරක්කුද?
මම ඔරලෝසුව දෙස බලනු දුටු වික්ටර් අයියා ඇසුවේය.
ඒක තමා ගියා නම් හොඳයි.
කැසට් සීඩී වලින් පස්සෙ ආවෙ පෙන් ඩ්‍රයිව්නෙ. ඉතිං අපිත් පෙන් ඩ්‍රයිව් එකක් කලා සදාදර ගී කියලා. මගෙ සිංදු පනහක් දාලා.

දැන් අලුත්ම මෝස්තරේ යූ ටියුබ්නෙ ඉතින් මමත් මගේ සිංදු වලින් යූ ටියුබ් චැනල් එකකතුත් පටන් ගත්තා. ඒකත් රසිකයන්ට කියන්න.
වික්ටර් රත්නායක මගෙන් ඉල්ලීමක් කළේය.
මම සමුගතිමි! වික්ටර් අයියාගෙන් හසිනිගෙන් සහ දර්ශනගෙන්.
මම ආයෙ මනමේ කුමාරයා වෙන්න තියෙනවා. 

වික්ටර් රත්නායකයන් සිනාසී කීවේ දර්ශන දෙසද බලමිනි.
කඩුව ගන්න කලින් මම යන්නම් එහෙනම්.

මම වහාම ඒ සොඳුරු කැදැල්ලෙන් පිටවීමි.

බරණැස් පුරයට තව කෙටි දුරකි.
එහි මා රජෙකිය ඇය අගරැජිණි
මනමේ කුමරුන් කියනු ඇසිණි.

ශාන්ත කුමාර විතාන – ඡායාරූප: ලෂාන් සංජීව

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
54
අවුල් වගේ !
7
හරි හිනා !
8
හම්මෝ !
4
මාර දුකයි !
4
මලපනිනව !
8
කුජීතයි !
28

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්