පෙම්වතියන්ගෙන් නම් අඩුවක් තිබුණේ නෑ.

ශ්‍රී ලාංකීය සිනමා වංශ කතාවට රනින් මතක සටහන් එක් කළ, ගෞරවනීය, ආදරයට පාත්‍ර වුණ සොඳුරු කලාකරුවකු ලෙසට ලකී ඩයස් නම් ජ්‍යෙෂ්ඨ රංගධරයාණන් හඳුන්වා දිය හැක. එදා මෙදා තුර දක්ෂ සිනමා සහ ටෙලිනාට්‍ය නළුවකු, නිෂ්පාදකවරයකු, අධ්‍යක්ෂවරයකු ලෙස නොමැකෙන මතකයක් සටහන් තැබූ ඔහු, කඩවසම් පෙනුම නිසාම නිරූපණ ශිල්පියකු ලෙසත්, දක්ෂ හඬ පෞරුෂය නිසාම විටෙක ආදරණීය වැඩසටහන් ඉදිරිපත් කරන්නකු ලෙසත් ඔබේ ආදරයට පාත්‍ර වී ඇත. අද රහස් සුවිශේෂී හමුව ඔහු සමඟය.

මේ දිනවල මොනවාද කෙරෙන්නේ

කලාවට සම්බන්ධ වැඩ නම් කාලයකින් කෙරුණේ නෑ. කෙටියෙන්ම කිව්වොත් මේ දිනවල කාලය නිකරුණේ කා දමමින් තමයි කාලය ගෙවෙන්නේ.

වැඩ භාර නොගෙන ඉන්නේ මොනවා හරි ප්‍රශ්නයක්ද?

නැහැ…. නැහැ. මම දැන් කලාවට සම්බන්ධ වෙලා වසර 40 කට කිට්ටුයි. එදා මෙදාතුර කවදාවත් මම රඟපෑම් කටයුතු බදාගෙන කරලා නෑ. තෝරා බේරාගෙනයි වැඩ භාරගත්තේ. පුරුද්දක්, ප්‍රතිපත්තියක් විදිහට වසරකට මම භාරගන්නේ ටෙලිනාට්‍ය එකක්, චිත්‍රපට එකක් වගේ තමයි. සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා මහත්තයා දවසක් මට කියපු කතාවක් තමයි ලකී කරන වැඩේ හරියට කරනවා නම්, හන්දියක් හන්දියක් ගානේ පෙනී ඉඳලා ජනප්‍රියත්වය හොයන් යන්න ඕනේ නෑ කියන එක. ඒ වචන ටිකට මම අදටත් ගරු කරනවා.

එදා මෙදාතුර ඔබ වඩාත් ජනතා ආදරයට පාත්‍ර වන්නේ.

ඉවක් බවක් නැතුව ජනප්‍රියත්වය පස්සේ ගිය කෙනෙක් නෙමෙයි මම. ඒත් රඟ දැක්වූ පළමු ටෙලි නාට්‍යයෙන්ම, පළමු චිත්‍ර පටයෙන්ම හිතුවාටත් වඩා ලොකු ජනප්‍රියත්වයක් ලැබුවා. රඟ දැක්වූ පළමු චිත්‍රපටයේ සිටම චිත්‍රපට කිහිපයක්ම Box Office වාර්තා තබා තිබුණා. ඉස්සර මට මතකයි සරසවි Film Week එකට තෝරාගත්ත චිත්‍රපටි ප්‍රදර්ශනය කරනකොට ප්‍රේක්ෂකයන් මාව සිනමා ශාලාවල් ඇතුළට එක්ක ගියේ විසිල් ගහලා, මල් මාලා දාලා, කරවල්වල තියාගෙන. අදටත් ඒ ආදරණීය පිළිගැනීම් සොඳුරුම මතකයන්. කොහොම නමුත් එදා වගේම අදත් රඟදක්වන සෑම චරිතයකින්ම ලොකු ජනප්‍රියත්වයක්, ප්‍රේක්ෂක ආදරයත්, ගෞරවයත් නොවඩුව ලබනවා.

ප්‍රේක්ෂක අගය කිරීම් හදවතට දැනෙන්නේ කොහොමද?

තාක්ෂණික දියුණුවත් සමඟ භාවිතා කරන විද්‍යුත් උපකරණ හරහා ලොවපුරා සිටින මට ආදරය කරන රසිකයන්ගෙන්, කෙටි පණිවිඩයේ සිට සුභපැතුම්, ආශිර්වාදාත්මක ලිපි නොඅඩුව ලැබෙනවා.
නමුත් අදටත් මට හිතෙනවා කෙනෙකු මුහුණට මුණගැසුණාම දක්වන අගය කිරීම් හදවතට හරිම ප්‍රබලව දැනෙනවා කියලා. 

වාසනාව ලැබීම ගැන විශ්වාස කරනවාද?

අපෝයි ඔව්. මොන තරම් දක්ෂ වුණත් වාසනාවක් නැත්නම් කෙනෙකුට ලොකු ගමනක් යන්න බෑ කියලා මට හිතෙනවා. වෘත්තීය මට්ටමෙන් කෙනෙක් ජනප්‍රිය වෙන්නත් වාසනාව කියන දේ උපරිමයෙන් බලපානවා. පෞද්ගලිකව මට හිතෙනවා මම වාසනාව දෝතින් අරං ආපු කෙනෙක් කියලා. මොකද මම මගේ ජීවිතයේ කිසිම දෙයක් කට්ටක් කාලා ලබාගත්තේ නෑ.

ඔබේ නමේම වාසනාව රැඳිලා තියෙනවා කියලා විශ්වාස කරනවාද?

සමහර වෙලාවට මටත් එහෙම හිතෙනවා. ලකී කියන්නේ වාසනාවනේ. මොකද පුංචි කාලේදී පවුල, පාසල තුළ වගේම පසු කාලීනව නියැලුනු සෑම වෘත්තියකමත් මම ජනප්‍රිය චරිතයක් බවට පත්වුණේ ආයාසයෙන්. බෞද්ධාගමේ කෙනෙක් විදිහට, බෞද්ධ දර්ශනයට අනුව ජීවත් වන කෙනෙක් හැටියට මට හිතෙන්නේ පෙර සංසාරේ රැස්කළ කුසල් බල මහිමයෙන් මෙතරම් ජනප්‍රියත්වයක් ලබනවා කියලා.

තරුණකම රැකගන්න මොනවා හරි කරනවාද?

අමුතුවෙන් නම් ඒ වෙනුවෙන් මොකුත් කරන් නෑ. මොනදේ කරන්නෙත් නිරෝගීකම ජීවිතයට අත්‍යවශ්‍ය නිසා, කෑම බීම පාලනය, ව්‍යායාම කිරීම වගේ දේවල් නම් මම අතින් නිරතුරුව වෙනවා. ඊට අමතරව සිතුවිල්ලකින්වත් කෙනෙකුට හානියක්, අවැඩක් නොකරන සිතුවිලි දහරාවකින් හදවත පොහොසත් නිසාම, එය රැස් වළල්ලක් විදිහට මටම ආශිර්වාදයක් වෙනවා කියලා මට නිතර හිතෙනවා. පුළුවන් හැම වෙලාවකම සතුටින් ඉන්නවා. හදවතින්ම හිනා වෙනවා. යහපත් දේ දීම තුළින් මමත් නිරතුරුවම යහපත් ප්‍රතිඵල ලබනවා කියලා හිතට දැනෙනවා.

දැන් වයස කීයක් විතරද?

ඒක නම් රහසක්.

ආදරය ගැන මොකද හිතෙන්නේ

වර්තමානයේ ඇතැම් විට සිල්ලරට ලංසු තැබුවට ආදරේ කියන්නේ මහා උත්තරීතර, හරිම උතුම් දෙයක්. කෙටියෙන්ම කිව්වොත් ලෝකයම ජීවත් කරවන ජීවයක්.

ඔබත් ආදරය විඳපු කෙනෙක්

අපොයි ඔව්. ආදරය කරපු, ආදරය විඳපු සොඳුරු ආදර වන්තයෙක් තමයි මමත්. පාසල් යන කාලේ ඉඳලා පෙම්වතියන්ගෙන් නම් අඩුවක් තිබුණේ නෑ. පාසල් ප්‍රේමයේ මතක හරිම සුන්දරයි. හාදුවක්වත් ගන්න අවසර නැතිව පවත්වන ඒ ප්‍රේමණීය ආදරයන් හරිම පාරිශුද්ධයි. පෙම්වතියකගේ බැල්ම පවා හරිම ගෞරවාන්විතයි. බලකිරීම්, පළිගැනීම්, ඒ ආදර කතාවල තිබුණේම නෑ. ඒ නිසාම අදටත් ඒ අය මගේ හොඳම යෙහෙළියන් විදිහට කතාබහ කරනවා.

ජීවිතය ගැන මොකද හිතෙන්නේ

මොහොතක් ගානේ වෙනස් වෙන අනිත්‍ය දෙයක් විදිහට තමයි මම ජීවිතය නම් දකින්නේ. කෙටියෙන්ම කියනවා නම් මැරෙන මිනිස්සු කියලා හිතලා තමයි හැම තිස්සේම ජීවත් වෙන්න උත්සාහ කරන්නේ. එතකොට අපේ අතින් වැරදි, අඩුපාඩු, හිත් රිදීම් සිදුවන්නේ හරිම අඩුවෙන්.

ජනප්‍රිය කෙනෙක් විදිහට ආඩම්බරයක් හිතට දැනිලා නැද්ද?

නැහැ. පෞද්ගලිකව මට තාම මම ජනප්‍රියයි කියලා හිතට දැනිලා නෑ. ඒ නිසා ආඩම්බරකමක්, ලොකුකමක් හිතට දැනිලා නෑ.

ජීවිතයේ වඩාත්ම සතුටුවුණ දවස

එහෙම මතකයන් නම් කිහිපයක්ම තියෙනවා. පළමු රඟපෑම වෙනුවෙන්ම එක අතකට ජනප්‍රියම නළුවාට හිමි සම්මානයයි, අනිත් අතට හොඳට නළුවාට හිමි සම්මාන යයි හම්බවෙනකොට දරාගන්න බැරි සතුටක් හිතට ආවා. ඒ වාගේමයි මාගේ අන්තිම රැය චිත්‍රපටය හොලිවුඩ් චිත්‍රපට උළෙලේදී සම්මානයට පාත්‍ර වූ මොහොතේ එරට සිටින අයගෙන් මට ලැබුණු ආදරණීය උණුසුම් පිළිගැනීමත් හදවතට හරිම සමීප මතකයක්. එදා මෙදාතුර සම්මාන දහයක් පහළොවක් ලැබිලා තියෙනවා. සම්මානයකින් අගය කිරීමේදී වගේම, මගතොටදී හමුවන කෙනෙකු වචනයකින් දෙකකින් දක්වන අගය කිරීමත්, හිනාවකින් සංග්‍රහ කිරීම පවා හදවතට හරිම සමීප මතකයන්.

ඔබ දක්ෂ වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක්

ඔව්. සිරස රූපවාහිනියෙන් විකාශය වුණ ඔබද ලක්ෂපති මමද ලක්ෂපති වැඩසටහන ඉදිරිපත් කිරීම වෙනුවෙන්, ඒ වැඩසටහන අයිති මව් සමාගමෙන් පවා බොහෝම පැසසුමට ලක්වුණා. ඔවුන් මාගේ වැඩසටහන් ඉදිරිපත් කිරීමේ හැකියාව සමානකර තිබුණේ බොලිවුඩ් මහා රංගධර අමිතා බච්චන්ගේ විලාසයට. එවැනි පැසසුම් ඇසෙනකොටත් ඉතිං නිරතුරුවම මම වාසනාවන්තයි කියලා හිතෙනවා.

විලාසිතා කරන්න කැමතිද?

අපොයි ඔව්. කොලු ගැටයාගේ කාලේ ඉඳලාම මම හරිම ආසයි ලස්සනට අඳින්න. අදටත් මම මට ගැලපෙන විදිහට විලාසිතා කරනවා. ලංකාවේ නම් දරපු ඇඳුම් නිර්මාණ ආයතන පවා මාගේ ඇඟේ හැඩයට ඇඳුම් නිර්මාණය කරලා ඔවුන්ගේ වෙළෙඳපොළ වැඩිදියුණු කළ අවස්ථා තියෙනවා. මොන ඇඳුමක් ඇන්ඳත් මට කඩවසම් පෙනුමක් ගේනවා.

සමාජය ඔබව අනුකරණය කරන බව දැනිලා තියෙනවාද?

මා සිනමාවට ප්‍රවිශ්ඨ වුණ මුල් කාලයේ රැවුල වවපු රංගන ශිල්පීන් හිටියේ නැති තරම්. ඒ නිසා රැවුල නීට් එකට වවලා හිටපු ගොඩක් අය මාව අනුකරණය කරන්න අරං ලකී කට් කියලා කපලා තිබුණ. ඊට අමතරව මම රඟපෑම් වෙනුවෙන් අඳින ටයි, කෝට්, සපත්තු, ටීෂර්ට්, ෂර්ට් පවා ඒ ඒ කාලවලදී වෙළෙඳපොළේ පවා විශාල ඉල්ලුමක් සහිත වෙලා තියෙනවා.

ආසාවෙන්ම එකතු කරන දේවල් මොනවාද තියෙන්නේ

ඉස්සර නම් මාස හයෙන් හයට කාර් මාරු කරන පිස්සුවක් මට තිබුණා. මම පාවිච්චි කරපු වාහන ගැනුම්කරුවන් රැගෙන ගියේ වාහනය දිහා බලන්නේවත් නැතුව. ඒ තරමට ඒ අය මම ගැන විශ්වාස කරලා තිබුණා. ඊට අමතරව නම් මිල අධික අත්ඔර්ලෝසුත් කිහිපයක් එකතු කරලා තියෙනවා.

විනෝදාංශ විදිහට මොනවද කෙරෙන්නේ?

ලොකුම විනෝදය තමයි චිත්‍රපටි බලන එකයි සංගීතය රස විඳින එකයි. ගායනය, වාදනය හොඳට පුළුවන් නිසා ඕනෑම වෙලාවක් විනෝදකාමීව ගත කරන්න පුළුවන් වටපිටාව මම හදාගන්නවා.

පුංචි කාලේ ඉඳලාම නළුවෙක් වෙන්න හීන මැව්වාද?

නැහැ. නළුවෙක් වගේ ඉන්න උත්සාහ ගත්තාට කවදාවත් වෘත්තීය මට්ටමෙන් නළුවෙක් වෙන්න තුන්හිතකවත් අදහසක් තිබුණේ නෑ. මාව කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළත් කිරීමේ මූලිකම අරමුණ වෙලා තිබුණේ ලොකු දොස්තර මහත්තයෙක් කරන්න. අම්මාගේ හිතේ තිබිලා තියෙන්නේ මාමා වගේ නම් දරාපු නීතිඥවරයෙක් කරන්න. නමුත් මම පාසල් අවසන් කරනකොට අතට ගත්තේ ගිටාර් එකක්.

ජීවිතයේ වඩාත්ම සංවේදී වුණ දවස

මගේ තාත්තාගේ වියෝව අදටත් හදවතට වේදනාවක් ගෙන එනවා.

තාත්තාගේ ජීවිතයෙන් ඔබට ලැබුණු ආදර්ශය?

මිනිසුන්ට ගරු කිරීම, ප්‍රතිපත්තිගරුකව ජීවත්වීම කියන කරුණු මම මගේ ජීවිතයට සමීප කරගත්තේ තාත්තාගෙන්.

අසුන්තා එදිරිසූරිය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
33
අවුල් වගේ !
1
හරි හිනා !
2
හම්මෝ !
2
මාර දුකයි !
4
මලපනිනව !
0
කුජීතයි !
4

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්