පොලිසිය ඔබට බොරු චෝදනා කරලා නඩු දැම්මද ? පොලිස් නිලධාරීන්ට විරුද්ධව ඔබට ගත හැකි ක්‍රියාමාර්ග මෙන්න

පොලිස් නිලධාරින් අසත්‍ය චෝදනා මත නඩු පැවරූ විටෙක ඊට එරෙහිව ගත හැකි ක්‍රියාමාර්ග

ශ්‍රී ලංකාව පුරා පොලිස් නිලධාරින්ගේ ක්‍රියාකලාපයන් නිසා අසාධාරණයට ලක් වන පිරිස සුළුපටු නොවන බව එදිනෙදා පුවත් කෙරෙහි අවධානය යොමු කිරීමේදී පෙනී යයි.පුද්ගලයන් නීතිවිරෝධී ලෙස අත් අඩංගුවට ගැනීම සහ ඔවුන්ට එරෙහිව අසත්‍ය කරුණු මත නඩු පැවරීම පිළිබඳව එල්ල වන චෝදනා මේ අතරින් සමාජයේ වැඩි කතාබහට ලක්වී ඇත.

විශේෂයෙන් හෙරොයින් සහ ගංජා වැනි මත්ද්‍රව්‍ය සම්බන්ධ නඩුවලදී එම මත්ද්‍රව්‍ය පොලීසිය විසින් තමන්ට හදුන්වා දුන් බව පවසන සැකකරුවන් සහ විත්‍තිකරුවන් සුලභව නීතීඥ වෘත්තියේ දී මුණ ගැසේ.සැබෑ ලෙසට මෙවන් අසාධාරණයක් පොලිස් නිලධාරින්ගෙන් සිදු වූ විටෙක ඊට ගත යුතු ක්‍රියාමාර්ග මොනවද යන්න සමාජය නිසි ලෙස දැනුවත් වී නැත.එහෙයින් එවන් ක්‍රියාමාර්ග එකින් එක පෙළගස්වා පැහැදිලි කිරීමට මෙම ලිපිය මගින් මා උත්සාහ කරමි.

01.මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කිරීම.

මානව හිමිකම් කොමිෂන් සභාවට මෙවන් සිදුවීමක් සිදු වී මාසයක් ඇතුලත පැමිණිලි කළ යුතුය.

මානව හිමිකම් කොමිෂන් සභාව වෙත ගොස් පැමිණිලි කිරීමට මෙන්ම මාර්ගගත ක්‍රමයට (Online ) www.hrcsl.lk වෙබ් අඩවිය හරහා ද පැමිණිලි ඉදිරිපත් කළ හැකිය.එසේම අවශ්‍ය ඕනෑම අවස්ථාවක 1996 හොට්ලයින් එකට හෝ 0112505580,0112505581 හෝ 0112505582 යන දුරකථන අංකවලට ඇමතුමක් ලබාදීමෙන් ද තොරතුරු විමසීම් කළ හැකිය.

02.ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කිරීම.

ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කිරීමටද හැකියාව ඇත.

ඔබට අවශ්‍ය සහන ලබා දෙන විශ්වාසවන්තම ක්‍රමවේදය ලෙස මෙය හැඳින්වීම වඩා නිවැරදි ය.

මූලික අයිතිවාසිකම් පෙත්සමක් සිදුවීමේ දින සිට මසක් ඇතුලත පැවරිය යුතුය.නමුත් ඔබ මානව හිමිකම් කොමිෂන් සභාවේ පැමිණිල්ලක් කර ඇත්නම් එම කාලය ගණනය කරනු ලබන්නේ කොමිසමේ තීන්දුවේ දින සිටය.

එසේම අධිකරණය විසින් ඔබ රක්ෂිත බන්ධනාගාර ගත කළහොත් ඇප ලැබී බන්ධනාගාරයෙන් පැමිණි දින සිට මාසයක කාලය ගණනය කරනු ලැබේ.නීතිවිරෝධී ලෙස අත් අඩංගුවට ගැනීමක් සම්බන්ධව ගොනු කරන ලද චන්න පීරිස් එරෙහිව නීතිපති (1994 (1) SLR 1) නඩුවේදී ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරන ලද්දේ හුදු සැකයක් මත පුද්ගලයෙකු අත් අඩංගුවට ගත නොහැකි බවත් එසේ කිරීමට නම් සාධාරණ සැකයක් තිබිය යුතු බවයි.

සැකය අවිනිශ්චිත සහ අනුමාන වශයෙන් කරනු ලැබූ එකක් නොව පැහැදිලි එකක් විය යුතු බවත් තවදුරටත් සදහන් කරන ලදි.මින් පැහැදිලි වන්නේ පොලිස් නිලධාරින් විසින් හේතු රහිතව අත් අඩංගුවට ගැනීම පමණක් නොව හුදු සැකය මත වුවද පුද්ගලයෙකු අත් අඩංගුවට ගැනීම නීතිවිරෝධී හා මුලික අයිතිවාසිකම් කඩ කිරීමක් වන බවයි.

අත්අඩංගුවට ගන්නා පුද්ගලයෙකුට එරෙහිව අසත්‍ය චෝදනා මත නඩු පැවරීම සම්බන්ධව සාකච්ඡා කරන ලද නඩුවක් ලෙස 2016.02.17 වන දින තීරණය කරන ලද මුතුවා හැන්නදි රොෂාන් කොයිටෙක්ස් සහ තවත් අයෙක් එරෙහිව නීතිපති (SCFR 58/2008) දැක්විය හැක.මීට පදනම් වූ කාරණය නම් පුද්ගලයන් දෙදෙනකු හික්කඩුව පොලිස් නිලධාරින් විසින් අත් අඩංගුවට ගෙන ගංජා සන්තකයේ තබාගැනීම සහ බීමත්ව අශෝභන ලෙස හැසිරීම යන අසත්‍ය චෝදනා මත අධිකරණයට ඉදිරිපත් කිරීමයි.

මෙම චෝදනාවලින් මහේස්ත්‍රත් අධිකරණය පෙත්සම්කරුවන් දෙදෙනා නිදොස් කොට නිදහස් කළේය.මූලික අයිතිවාසිකම් පෙත්සමේදී ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරන ලද්දේ පොලිස් නිලධාරියෙකු කරනු ලැබූ නීතිවිරෝධී අත්අඩංගුවට ගැනීමක් සාධාරණීකරණය ගැනීමට අසත්‍ය නඩු පැවරීම හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවයි.

මෙම නඩුවේ පළමු පෙත්සම්කරුට රුපියල් 250,000 ක වන්දියක් ද දෙවන පෙත්සම්කරුට රුපියල් 150,000 ක වන්දියක් ද ලබා දීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරන ලදි.

ඉහත නඩු තීන්දු අනූව පොලිස් නිලධාරිනගෙන් සිදු වන අකටයුතුකම්වලදී පුරවැසි අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට කටයුතු කරන විශ්වාසවන්තම ආයතනය ශ්‍රේෂ්ඨාධිකරණය බව අපට පෙනේ.

03.ජාතික පොලිස් කොමිෂන් සභාවට පැමිණිලි කිරීම.

පොලිස් නිලධාරිනට හෝ පොලිස් සේවයට එරෙහි පැමිණිලි භාරගෙන විභාග කර ඊට අදාල වන නීතීන් යටතේ සහන සැලසීම මෙම කොමිසමේ අරමුණයි.මෙම කොමිසමට ද ඔබට පැමිණිල්ලක් ඉදිරිපත් කළ හැක.මෙහි වෙබ් අඩවිය වන npc.gov.lk හරහා මාර්ගගත ක්‍රමයට නාමිකව හෝ නිර්නාමිකව වුවද පැමිණිලි කිරීමට අවස්ථාව සලසා ඇත.එසේම අවශ්‍ය ඕනෑම අවස්ථාවක 1960 හොට්ලයින් එකට හෝ 0112166500 දරණ දුරකථන අංකයට ඇමතුමක් ලබා දී මෙම ආයතනය සම්බන්ධ කරගැනීමට ඔබට අවස්ථාව ඇත.

04.පොලිස්පතිතුමාට පැමිණිලි කිරීම.

ඔබට සෘජුවම පොලිසපතිතුමාට පැමිණිලි කිරීමට හැකියාව ඇත.ඒ සදහා www.police.lk වෙබ් අඩවියේ “මහජන පැමිණිලි පොලිසපතිට කියන්න” දිගුව හරහා මාර්ගගත ක්‍රමයට පැමිණිලි කළ හැකි ය.ඊට අමතරව “පොලිස්පති සහන මැදිරිය” ගොස් වුව ද පැමිණිලි කළ හැකි ය.

05.දිසා අධිකරණයේ වන්දි ඉල්ලා නඩු පැවරීම.

ඔබට එරෙහිව අසත්‍ය චෝදනා මත පවරන ලද නඩුව අවසානයේ ඔබ නිදොස් කොට නිදහස් කරනු ලැබුවහොත් පොලිස් නිලධාරින්ගෙන් වන්දි ලබා ගැනීම සදහා දිසා අධිකරණයේ නඩු පැවරිය හැකි ය.මෙයට පදනම් වන්නේ “ද්වේෂ සහගත නඩු පැවරීම”(Malicious Prosecution ) නම් දීලික්ත නීති සංකල්පයයි.මෙවන් නඩුවකදී ඔබ පහත සදහන් කාරණා ඔප්පු කළ යුතු බව ජයවික්‍රම එරෙහිව ලංකා විදුලිබල මණ්ඩලය සහ තවත් අයෙක් (2007(2) SLR 406) නඩුවේ දී දක්වා ඇත.එනම්,

(1)විත්තිකරවන් පැමිණිලිකරුට එරෙහිව නඩුවක් පවරා තිබීම.
(2)එම නඩුව පැමිණිලිකරුගේ වාසියට තීන්දු වී තිබීම
(3)විත්තිකරවන් සාධාරණ හෝ යුක්තිසහගත හේතුවක් නොමැතිව නඩු පවරා තිබීම.
(4)ද්වේශ සහගතව නඩු පවරා තිබීම
(5)නඩු පැවරීම නිසා පැමිණිලකරුට හානියක් සිදු වී තිබීම

යන ඒවාය.පොලිස් ආඥාපනතේ 88 වගන්තිය අනූව මෙවැනි නඩුවක් ,ඔබට එරෙහිව අසත්‍ය චෝදනා මත පවරන ලද නඩුව අවසන් වී මාස 03ක් තුළ පැවරිය යුතු අතර මාස 02 ක් තුළ නීතිපතිවරයාට ද දැන්වීමක් යැවිය යුතුය.

ඔබට පොලිස් නිලධාරියෙකු අසත්‍ය නඩුවක් පවරා පැවරීමට එරෙහිව ගත හැකි ඉහත ක්‍රියාමාර්ග අතරින් ප්‍රධානම ක්‍රියාමාර්ගය නම් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කිරීම යි.ඊට පෙර මානව හිමිකම් කොමිෂන් සභාවට ,පොලිස්පතිවරයාට සහ පොලිස් කොමිෂන් සභාවට පැමිණිලි කිරීම හරහා නිලධාරීන්ට එරෙහි ආයතන මට්ටමින් විනය ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය පසුබිම නිර්මාණය වේ.එම නිසා ඉහත සාකච්ඡා කරන ලද සියලු ක්‍රියාමාර්ග නීතීඥවරයෙකගේ උපදෙස් ලබා ගෙන අනුගමනය කිරීම ඔබට සහනයක් ලබා ගැනීම සදහා ඉවහල් වනු ඇතැයි විශ්වාස කරමි.

නීතීඥ සාරංග වාදසිංහ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
22
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
2
මාර දුකයි !
0
මලපනිනව !
3
කුජීතයි !
0

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්