28 C
Colombo
Friday, May 14, 2021

මව් සෙනෙහස කුකුල් කොටුවක හිර කළ පව්කාර පුතෙක්

නඩයක් එක්ක ජීවත් වුණත් මැරෙන්න වෙන්නේ තනියම… යථාර්ථය එය වේ. සමහරු මැරෙනවිට පෙට්ටිය කර තබා ගන්නටවත් හතර පස් දෙනෙක් ඉතිරි නොවේ. 

සියලු දේම ඇති හැකි කාලයට වලංගුදේය. නැති බැරි කාලයට මේ කිසිවක් නැත. කිසිවෙක්ද නැත.

මේ ස්වභාවයට පත්වීම කල්වේලා ඇතිව කිව හැකිද නොවේ. පවුලේ අයගේ කිසිම රැකවරණයක් නැතිව කිසිම සෙනෙහසක් නැතිව නිහඬව සමුගෙන යන අම්මලා සිය ගාණක් වැඩිහිටි නිවාසවල සිටී. මේ හැමෝගේම කතාව දුක්බරය. ඒ බහුතරයක් දෙනා ජීවත්වෙන්​නේද මැරි මැරීය. සමහරවිට ඔවුහු මරණය සැපතකැයි සිතන අවස්ථාද තිබේ. 

පෘථග්ජන ජීවිතය රැඳී පවතින්නේ නා නා විධ බැඳීම් මත්තේය. ජීවත් වෙද්දී ඒවා එකින් එක අත යාම මරණයට වඩා වේදනාවකි. 

ඒ මැරි මැරී ජීවත්වීමේ වේදනාව අත්දකින අම්මලා අතරට මා ද එක්වීමි. ඔවුන්ගේ මුවෙහි සිනහවක් රැඳී තිබුණත් කඳුළු යටකර සැතපී ඇති මහා ඛේදවාචකය සුළුපටු නොවේ. ඒ සමහර කතාවල ඇත්තේම නොමිනිස් සමාජයේ මහා පවුකාර කතාය. පුදුමය වන්නේ ඒ පවුකාර කතාවල ජීවත් වන නොමිනිස්සු තමන්ගේ දරුවෝම වීමය.  

අද එවැනි තවත් කතාවකට යොමුවෙමු. මේරි අම්මා උපතින් කිතුණු භක්තික මාතාවකි. මා ඇය අසළට යන විටත් ඇය කියවමින් සිටියේ රේරුකානේ චන්දවිමල හිමියන් ලියූ හරබර බණ පොතකි. එහි ගැඹුරු ධර්මය මේරි අම්මාට හොඳට හුරුය. සසරින් එතෙර වෙන්න බැරි වුණත් හිත හදා ගන්න මේ බණ පොත් කියැවීම ප්‍රමාණවත්… මේරි අම්මා කීවාය.  

ඇයට ලැබෙන පිරිකරකට මේරි අම්මා වැඩියෙන් බලාපොරොත්තු වෙන්නේ බණ පොතකි. එසේ නොලැබුණහොත් ඇය කාට හෝ කියා හෝ බණ පොතක් ගෙන්වා ගන්නීය.  

මේරී අම්මා…. කොහේද ගම්පළාත…..?   

මම විමසීමි…..   

මම හලාවත ආරච්චිකට්ටුව කිට්ටුව ඇය කීවාය.  

එතකොට මේරි අම්මා මෙහෙට ආවේ…   

ඒක දිග කතාවක් පුතේ.. ඒ අතීතය මතක් කරන්නත් මට හරි බයයි. මහත්තයෝ. මම ඒ අතීතය තුළ හිටියා නම් දැන් මියගිහින් ගොඩක් කල්… ඇය කියන්නීය.   

අපි හිටිය හරිය ඉතාම දුෂ්කරයි. 

මගේ මහත්තයා කුකුල් කොටුවක් කළා. ඒක තමා අපේ ජීවිකාව ගෙනියන්න තිබුණු ආදායම් මග… අපට පුතාල දෙන්නෙක් හිටියා. 

ඒ අයත් තේරෙන වයසේ ඉඳන්ම මේ කුකුල් රස්සාවට උදව් කළා. ඉස්කෝලෙ යන එක පවා මග ඇරලා පුතාල කළේත් මේ කුකුල් මස් රස්සාව. ඔ​හොම ඉන්න අතරෙ අ​පේ මහත්තයා නැති වුණා.   

දැන් ගෙදර හිටියේ මමයි පුතාල දෙන්නයි. 

ඒ දරුවො දෙන්නගෙන් එක දරුවෙක් කුකුල්ලු ඇති කරන රස්සාව කරන අතරේ අනිත් පුතා ඌරු කොටු කළා. මේ දෙකම කළේ අපේ වත්තේ…   

මේ වත්ත අක්කර කීපෙක වත්තක්… විශාලයි… මෙහෙම ඉන්න අතරේ පුතාල දෙන්නම විවාහ වුණා. ඒ බැඳපු දරුවොත් පුතාල කරන රස්සාවට උදවු කළා.   

පුතේ අපේ ඉඩම එක අතකින් මහා පවුකාර ඉඩමක්. අහිංසක සත්තු ලක්ෂ ගාණක් ඒ වත්තේ මරන්න ඇති.   

මගේ දරුවොත් හැදුනේ මහා නපුරු පවුකාර දරුවෝ විදිහට. 

එයාල ලෝකයක් දැක්කා නම් දැක්කේ ලේ මතින්. සතුන්ගේ ලේ ටික, මස් ටික දකිමින් තමා එයාල ජීවිතය හෙවුවේ.   

මේ විදියට ඉන්න අතරේ අපට අයිති අක්කරයක වගේ ඉඩමක් ඒ පළාතේ තිබුණා.   

දවසක් ලොකු පුතා ඇවිත් ඒකේ ඌරු කොටුවක් දාන්න කියලා ඒ ඉඩම මගෙන් ඉල්ලුවා. 

මේ කාලය වෙද්දි අපේ පදිංචි ඉඩමේ තමයි, ලොකු පුතයි, පොඩි පුතයි දෙන්නා ඈතින් ඈත ගෙවල් හදාගෙන උන්නෙ.  

මම හිටියෙ පොඩි පුතා ළඟ. ලොකු පුතා ඉඩම ඉල්ලුවාම මම ඒක ඌරු කොටුවකට දෙන්න කැමති වුණේ නෑ. එයා කිවුවේ ඉඩම ලියන්න කියලා. මේකට ලොකු පුතා මට බැනලා ගහන්න ඇවිත් මා එක්ක විරසක වුණා. 

 ලොකු පුතා ඉඩම ඉල්ලුවාට පස්​සේ පොඩි පුතාත් මගෙන් ඉඩම ඉල්ලුවා.   

අම්මේ අම්මාව බලාගන්නෙ අපිනෙ. මට ඉඩම දෙන්න. පොඩි පුතා නිතරම කිවුවා.   

මම ඒත් ලිවුවේ නෑ.   

මේරි අම්මා කියන්නීය. ඇයම කියන පරිදි ඒ කාලේ මේරි අම්මා තරමක් දැඩි තීරණ ගත් කාන්තාවක් විය. අවසානේ ඉඩමේ සිද්ධිය මුල් කරගෙන පොඩි පුතාත් මාව ගෙදරින් ඈත් කළා. මම පොඩි පුතගේ ගේ ඇතුළේ කාමරයක ලස්සනට පිරිසුදුව ජීවත් වුණා. පොඩි පුතා හිටියේ අපේ පරණ ගෙදරමයි.   

දවසක් පොඩි පුතා ඇවිත් ගේ ළඟම තිබුණ කුකුල් කූඩුව ළගම ඒකට අල්ලලා පොඩිකාමරයක් බඳින්න පටන් ගත්තා. බ්ලොක් ගල් ටිකක් ගෙනැත්. ෂීට් ගෙනත් නාන කාමරේකට වඩා ටිකක් ලොකු කාමරයක් හැදුවා.   

ඇයි මේ? පුතේ කූඩුවක් හදන්නේ.. ලොකු බල්ලෙක් වත් ගේන්නද.?   

දවසක් මං ඇහුවා.   

ඒත් පුතා උත්තර නොදී මග ඇරියා. කාමරේ හදල බිමට සිමෙන්ති දාලා ලයිට් එකකුත් දැම්මා.   

අම්මේ…. හෙටින් පස්සේ උඹට මේ ගෙයි ඉන්න බෑ. උඹ මටත් සැලකුවේ නෑ. ඒකට තමා මම මෙහෙම සලකන්නෙ කීවා…   

ඒ කතාව කියන විට මේරි අම්මාගේ දෑසින් කඳුළු කැට මතු විය.  

මේ කාමරේ වයසක මට ඉන්න හොඳටම ඇති. ඒත් මනුස්සයකුට නම් ඒ කාමරේ හදපු තැන ඉන්න පුළුවන් කමක් නැ. කුකුල්ලුංගෙ සද්ද, ගඳ මේ ඔක්කෝම එක්ක එදා ඉඳන් මට එතැන ඉන්න වුණා. මේකට මගේ ඇඳත් දාලා දුන්නා.  

දැන් මගේ ජීවිතේ නවාතැන් පළවුණේ කුකුල් කූඩුව එක්ක හදපු පුංචි කාමරේ. හැබැයි පුතා බැඳපු ලේලි මට වෙලාවට බත් ටික ගෙනැත් දුන්නා. ඒක මග ඇරියේ නෑ.  

මම හිතුවා මේ තමයි ලබා උපන් හැටි කියලා. දරුවන්ට හොඳ නම් වෙන මොනවා කරන්නද?   

අපේ දරුවෝ මස් රස්සාව කරල වාහන පවා ගත්තා. මම මේ මඩුවේ ඉන්න අතරේ අපේ අයියා කෙනෙක් නිතරම මාව බලන්න ආවා. එයාගෙ නම හැන්ඩි. කවුරුත් කිවුවේ එහෙමයි. එයාටත් කරන්න දෙයක් නෑ. මම හැන්ඩිට විස්තරේ කිවුවා. ඉඩමේ කතාව.   

ඔහොම එන දවසට අයියා මට කන්න කැමති දේවල් අරන් එනවා. හොඳ කෙසෙල් ඇවරියක්, හැලප ටිකක්, වැලිතලප, ඉදිආප්ප, ආප්ප, ඉස්සො, මාළු එක්ක බත් ටිකක් එහෙම ගේනවා. ඒක මට ලොකු සහනයක් වුණා. කොහොමත් අයියා සුමානෙකට දවසක් මාව බලලා යනවා. එයා ඒ ළඟ පාත හිටපු නිසා පාපැදියෙන් තමා ආවේ.   

මෙහෙම ටික දවසක් ඉද්දි කුකුල් කූඩුවේ ගඳටයි විෂබීජ වලටයි මාව අසනීප වුණා. කකුලේ ලොකු දදයක් එක්ක තුවාලයක් ආවා. ඒක කාලෙකට වැඩි වෙනවා. කාලයකට අඩු වෙනවා. මේ කුෂ්ටය ආවේම කුකුල් කූඩුවේ විෂබීජවලට තමා. මේරි අම්මා කියන්නීය.  

දවසක් හැන්ඩි අයියා පැමිණ මේරිට යෝජනාවක් කළේය.   

මේරි මෙහෙම දුක් විඳිනවට වඩා හොඳයි උඹ වැඩිහිටි නිවාසයකට යමන්… මම තැනක් හොයලා කියන්නම්.  

මම එන්නම් දරුවො නැතත් උඹව බලන්න. නැත්නම් දුක්විඳලා ලෙඩ හැදිලා ඉස්පිරිතාල ගානේ යන්න වේවි.   

ටික දවසකට පස්සේ මම හැන්ඩි අයියා කරපු යෝජනාවට කැමති වුණා. පස්සෙ පුතා නැති දවසක දුවටත් කියලා මම මේ කොළඹ වැඩිහිටි නිවාසෙට ආවා. ඒ ආවේ මගේ අයියා එක්ක. අයියාටත් මාව භාර අරන් කරන්න තරම් පසුබිමක් තිබුණේ නෑ. 

ඒක මම දන්නවා. ඒ නිසයි අයියා මාව මෙතැනට එක්ක ආවේ.   

එහෙම එක්ක ආවත් දරුවො කවුරුවත් මාව බලන්න ආවේ නෑ. මාව බලන්න ආවේ මගේ අයියා විතරයි.   

මේ විදියට අවුරුද්දක් විතර ගත වුණා. මම හිටියේ හාමුදුරුවන්ට අයිති මෙත්සරණ වැඩිහිටි නිවාසේ.   

දවසක් අයියාට මම කිවුවා අපේ පොඩි ඉඩම් කෑලි දෙකක් තියනවා. පදිංචි ඉඩම ඇර එකක් දරුවො ඉල්ලපු එක. තවත් එකක් අසවල් තැන තියනවා කියලා.   

ඒවායේ ඔප්පු ගෙන්වා ගත්තා. එහෙම ගෙන්වා ගෙන එක ඉඩමක් හැන්ඩි අයියාට ලියලා දුන්නා. එයා තමයි දරුවොත් නුදුන්න රැකවරණය මට දුන්න කෙනා. එයාට ඒ යුතුකම නොකළා නම් මම මහා ආත්මාර්තකාමියෙක් වෙනවා. මිනිස්සු කවුද නොමිනිස්සු කවුද කියලා තේරූම් ගන්න එක ලේසි නෑ. 

ඒක මට තේරුණෙත් බොහොම කල් ගිහින්.. නමුත් මට දුකක් නෑ. මාව කුකුල් කොටුවට දාපු පුතාලට වඩා මගෙ අයියා මට සෙවණක් වුණා. ඒකයි එයාට ඒ යුතුකම කළේ. මේවා ඉඩම් වුණාට මහ ලොකු වටිනාකම් ඒකාලේ තිබුණේ නෑ. ඉතාම දුෂ්කර පැති. මේරි අම්මා කියන්නීය.  

අනිත් ඉඩම මම වැඩිහිටි නිවාසයේ හාමුදුරුවන්ගේ නමට ලිවුවා.

හාමුදුරුවෝ ඒකට කැමැති වුණේම නෑ. මම කිවුවා ඔබ වහන්සේට මේ ඉඩම ලියන්නේ හේතුවක් ඇතිව. මම ආවේ අසවල් දුර පළාතක ඉඳන්. ඒ පළාතේ මම වගේ අම්මලා තවත් ඇති යන එන මං නැතිව. ඒ අයට ඔබවහන්සේ පිහිට වෙන්න ඕන. මේ ඉඩමේ ඔබවහන්සේ මේ වගේම වැඩිහිටි නිවාසයක් හදන්න. ඒක මේ මේරි අම්මා වෙනුවෙන් කරන්න. එහෙම කියලා ලිවුවා. 

දන්නවාද වැඩක්.. ඒ ඉඩමට හාමුදුරුවෝ ගියේම නෑ. මේක හාමුදුරුවන්ට ලිවුවා කියලා ආරංචියට අපේ පුතෙක් හාමුදුරුවන්ට කතා කරලා…   

‘හාමුදුරුවනේ…. මම මේරි අම්මාගේ පුතා… අපේ ඉඩමක් හාමුදුරුවන්ට ලියුවාද අම්මා’   

‘ඔවු.. උඹලා… සලකන්නේ නැති නිසා වැඩිහිටි නිවාසයක් දාන්න ලියලා තියෙන්නේ.. දැන් අවුරුදු හතර පහක් වෙනවා ලියලා…’  

‘හාමුදුරුවනේ ඒ ඉඩම කැලේ වැදිලා. අම්මට කියන්න එපා. ඒක මට ලියල දෙන්න. මම හාමුදුරුවන්ට රුපියල් ලක්ෂයක් දෙන්නම්.’  

මේක මට ආරංචි වුණා.   

අවුරුදු හත අටකට මාව බලන්න ආපු නැති දරුවෝ මට යුතුකම් කරන අයට කතා කරපු හැටි මේරි අම්මා කියන්නීය.  

‘‘මම දැන් තේරුම් ගත්ත දෙයක් තියනව. කිසිම දෙයක් යනකොට ගෙනියන දේවල් නෙවෙයි. අපි යමක් අතහරිනවා නම් එය හිතට එකඟව විය යුතුයි. මම ඒ ඉඩම් පවා අත හැරියේ හිතට එකඟව. ඒ සැනසීම තියනවා. සමහර දේවල් පමාවෙන තරමටත් මිනිස්සු තේරුම් ගන්න පුළුවන්කම තියනවා. දරුවෝ පවා…’’  

මේරි අම්මා කියන්නීය.  

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
6
අවුල් වගේ !
2
හරි හිනා !
0
හම්මෝ !
1
මාර දුකයි !
73
කුජීතයි !
1
මලපනිනව !
3
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

PCR වාර්තා ප්‍රමාදයෙන් ඇතිවූ කොවිඩ් අවදානම

දියවැඩියාව සඳහා ප්‍රතිකාර ගැනීමට පසුගිය දිනක දෙඹරවැව රෝහලට ඇතුළත් කෙරුණු තිස්සමහාරාම රබර්වත්ත ප්‍රදේශයේ පුද්ගලයෙකු...

ඉන්දීය කොරෝනා ප්‍රභේදය ගැන ලොවටම අනතුරු ඇඟවීමක් – ප්‍රවේශම් වන්න

ඉන්දියාවෙන් පළමුව හඳුනාගත් නව කොරෝනා වෛරස් ප්‍රභේදය සම්බන්ධයෙන් සමස්ත ලෝකයම දැඩි අවධානය යොමු කළ...

ඉන්දියානුවන් 4 ක් යාපනයේ නිවසක සැඟව සිටි යදී නිරෝධායනයට

ඉන්දියාවේ සිට නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට පැමිණ යාපනය ගුරුනගර් ප්‍රදේශයේ රැඳී සිටි එකම...

හැදුනුම්පත් අංකය මත නිවසින් බැහැර වීම එක් අයෙකුට

ඉදිරියේදී දිස්ත්‍රික්ක අතර ද සංචරණ සීමා පැනවෙනු ඇතැයි කොරෝනා වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී...

ස්ථාන කිහිපයකට මි.මී 100 ඉක්මවු වැසි

සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර, කුරුණෑගල සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 100...

පාසල්, පෙර පාසල්, විශ්වවිද්‍යාල, පිරිවෙන්, උපකාරක පන්ති නැවත දැනුම්දෙන තුරු වැසේ

දිවයිනේ පාසල්, පෙර පාසල්, විශ්වවිද්‍යාල, පිරිවෙන්, උපකාරක පන්ති නැවත දැනුම්දෙන තුරු වසා තැබීමට තීරණය...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x