27 C
Colombo
Sunday, April 11, 2021

මෘතදේහයේ ඡායාරූපයක්වත් තවම අපිට ලැබිලා නැහැ

ශිෂ්‍ය වීසා මත ජපානයේ නගෝයා නගරයේ රැඳී සිටි ශ්‍රී ලාංකික යුවතියක් සංක්‍රමණිකයන්ගේ රැඳවුම් මධ්‍යස්ථානයකදී දැඩි කුසගින්නෙන් පෙළෙමින් සිට ආහාර ඉල්ලමින් සිටියදී මියගොස් තිබීම පසුගිය සතියේ ශ්‍රී ලාංකිකයන්ගේ හදවත් පෙළුෑ ඛේදවාචකයක් විය. කෙසේ නමුත් මියගිය යුවතිය ගැන ජපාන රජයෙන් හෝ ශ්‍රී ලංකාවෙන් නිවැරැදි තොරතුරක් හෝ ඇගේ මෘතදේහයේ සේයාරුවක් හෝ මෙතෙක් පවුලේ ඥාතීන්ට නොලැබීම කම්පාවට පත්ව සිටින පවුලේ අයගේ කලකිරීමටත්, අප්‍රසාදයටත් හේතු වී ඇත.

සහෝදරියන් දෙදෙනකුගෙන් යුත් පවුලක වැඩිමහල් යුවතිය වූ විශ්වා සදමාලි 1987/12/05වැනිදා ඇල්පිටිය ප්‍රදේශයේදී උපත ලබා ඇත.

ගලහිටියාව මහ විදුහලින් උසස් පෙළ සමත්ව ඇති ඇගේ අරමුණු වී ඇත්තේ ජපානයට ගොස් උසස් අධ්‍යාපනයක් ලැබීමය.

ශිෂ්‍ය වීසා බලපත්‍රයක් මත ඇය ජපානය බලා පිටත්ව ගොස් ඇත්තේ පියා නොමැතිව තනිවුණු මවට සහ සොයුරියන් දෙදෙනාටද යහපත් අනාගතයක් උදාකර දීමේ අපේක්ෂාවෙනි.

විශ්වා දියණියගේ සිහිනය සැබෑ කරනු පිණිස මව ඔවුන් පදිංචි නිවෙස උකසට තබා රුපියල් ලක්ෂ 20ක පමණ මුදලක් සොයාගෙන ඇත. ඉකුත් 2017 ජුනි 29 වැනිදා ජපානයේ නා ගෝයා නගරය බලා ගිය විශ්වා එතැන් සිට නන්නාඳුනන රටක ජීවන සටන අරඹා තිබේ. ඒ අතර ඇය සතියට දෙවරක් සිය මවත්, සොහොයුරියනුත් අන්තර්ජාලය ඔස්සේ අමතා ඇත.

ශිෂ්‍ය වීසා බලපත්‍රයක් මත රැඳී සිටින සංක්‍රමණිකයනට ලැබෙන වරප්‍රසාදය වූ පොකට් මනී සොයා ගැනීම සඳහා ඇයටද පැය හතරක කාලයක් ලැබී ඇති අතර ඇය එම පැය හතර ඇතුළත පාර්ට් ටයිම් රැකියාවක නිරතව උකස් කෙරුණු ඉඩමට අදාළ මාසික පොලී මුදල එවීමට තරම් දිරිය දියණියක් වී ඇත.

කෙසේ වුවද ඉකුත් කොවිඩ් වසංගත සමයෙන් පසු මාස හයක පමණ කාලයක සිට ඇගෙන් සිය ඥාතීන්ට එකම එක දුරකථන ඇමතුමක්වත් ලැබී නැත. ඇය මියගිය බව ගෙදර අය දැනගෙන ඇත්තේ මාධ්‍ය වාර්තා මඟිනි. ඉන්පසු ඔවුන් විදේශ කටයුතු අමාත්‍යාංශයට ගොස් තොරතුරු විමසා තිබේ.

මියගිය විශ්වාගේ පවුලේ ළඟම ඥාතියකුගෙන් අප කළ විමසීමේදී ඔහු මෙසේ පැවැසුවේය.

“මානව හිමිකම් ගැන ලොකුවට කතා කරන රටක කුසගින්න නිසා මියගිය ශිෂ්‍යාවක් ගැන සැබෑ තොරතුරු ඇගේ පවුලේ අයට සොයාදීමට මේ තරම් කාලයක් ගන්නේ ඇයි කියන එක අපට ගැටලුවක්. මේ සිද්ධිය ගැන සත්‍ය වාර්තාවක් ඉල්ලා ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය ඇතුළු අදාළ සෑම ආයතනයකින්ම ඉල්ලා තිබෙනවා. මෘතදේහයේ ඡායාරූපයක්වත් තවම අපිට ලැබිලා නැහැ. කොහොමද අපි පිළිගන්නේ අපේ අක්කා නැති වුණා කියලා? දේහය ලංකාවට ගේන්න රුපියල් ලක්ෂ දහයක් විතර අවශ්‍ය බව අහන්න ලැබෙනවා. අපිට එහෙම කරන්න වත්කමක් නැහැ. ඉන්න ගේ උකස් කරලයි අක්කව ජපානෙට යැව්වේ.”

වීසා කාලය නිමා වූ සංක්‍රමණිකයන් රඳවා තබන ජපානයේ නගෝයා නගරයේ ප්‍රාදේශීය ආගමන විගමන කාර්යාලයේ ඇය හුදෙකලා කාමරයක රඳවා තැබුවේ ඇයිද යන්නද පවුලේ ඥාතීන්ට විශාල ගැටලුවක් වී ඇත.

සංක්‍රමණිකයන් රඳවා තබා ගැනීමේ මධ්‍යස්ථානයක සිටි ශ්‍රී ලාංකික තරුණියක මිය යෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් පවත්වන ලෙස එරට අධිකරණ ඇමැතිවරියද උපදෙස් දී ඇතැයි දැනගන්නට ලැබී තිබේ.

33 හැවිරිදි රත්නායක ලියනගේ විශ්වා සඳමාලි නමැති එම තරුණිය නගෝයා නගරයේ ප්‍රාදේශීය ආගමන සේවා කාර්යාංශයේ සංක්‍රමණිකයන් රඳවා තබා ගැනීමේ මධ්‍යස්ථානයක හුදෙකලා කාමරයක රඳවනු ලැබ සිට ඇති අතර ඉකුත් මාර්තු 06 වැනි සෙනසුරාදා එහි රැඳවියන් පරික්ෂා කිරීමට ගිය අවස්ථාවේදී ප්‍රතිචාර නොදැක්වීම සහ සිහිසුන්ව සිටීම හේතුවෙන් රෝහල්ගත කර ඇතැයිද රෝහල් බලධාරීන් ඇය මියගොස් ඇති බව තහවුරු කර ඇතැයිද පැවැසේ.

ඇගේ සෞඛ්‍ය තත්ත්වය දුර්වල වී ඇති බවත් එම ස්ථානයේ සහ ඉන් පිටත වෛද්‍යවරුන් ඇය පරික්ෂා කර ඇති බවත් ජපානයේ අධිකරණ අමාත්‍ය කමිකාවා යොකෝ සඳහන් කළ බව NHK පුවත් සේවය සඳහන් කරයි.

එමෙන්ම එරට The Asahi Shimbun පුවත්පතෙහි වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ ඇය තමන් තාවකාලිකව නිදහස් කරන ලෙසත් ආහාර ලබා දෙන ලෙසත් ලිපි මඟින් ඉල්ලා ඇති බවය.

අනතුරුව ඇය අසාමාන්‍ය ලෙස දුර්වල තත්ත්වයකට පත්වී මියගොස් ඇති බව එම වෙබ් අඩවිය වාර්තා කරයි.

“මට දැන් ඇත්තටම කන්න ඕනේ.” ඇය මේ බව සටහන් කර ඇත්තේ ඇය රඳවා සිටි සංක්‍රමණිකයන් රඳවා තබා ගැනීමේ මධ්‍යස්ථානයේය.

මේ අතර ජපානයේ පුවත්පත්වල දැක්වෙන්නේ ගලනාළය ආශි්‍රතව රෝගී තත්ත්වයක් හේතුවෙන් ඇයට ආහාර ගැනීමේ අපහසුතාවක් පැවැති බවය. ඒ හේතුවෙන් ඇය දීර්ඝ කාලයක් තිස්සේ ආහාර ගෙන නොමැති බව ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයද තහවුරු කළේය.

වීසා කාලය ඉක්මවා ගිය විදේශිකයන් මෙම ස්ථානයේ වාසයට රඳවා තැබීමට ජපන් රජය කටයුතු කර තිබේ.

ජපානයේ සිටින විදේශිකයන්ට සහාය දක්වන කණ්ඩායම (START) උපුටා දක්වමින් එම පුවත්පත සඳහන් කරන්නේ රඳවා සිටියදී මුහුණ දුන් අධික ආතතිය හා සෞඛ්‍ය තත්ත්වය පිරිහීම හේතුවෙන් එම තරුණියට ආහාර ගැනීමට හා ඇවිදීමට නොහැකි වී ඇති බවය.

එමෙන්ම ඇගේ සෞඛ්‍ය තත්ත්වය ඉතා දරුණු අතට හැරී තිබුණු බවත් තම සාමාජිකයන් එහි යන විට ඇය වමනය කිරීම සඳහා බාල්දියක් ළඟ තබාගෙන සිටි බවත් START කණ්ඩායම පැවැසූ බව The Asahi Shimbun පුවත්පතෙහි වෙබ් අඩවිය වාර්තා කරයි.

ආගමන විගමන බලධාරීන් වෙත දෙසැම්බර් මාසයේදී ඉදිරිපත් කරන ලද ලියැවිල්ලක සඳහන් වී ඇත්තේ අදාළ නිලධාරීන් තම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති බවය.

“මට රෝහලකට ගිහින් ප්‍රතිකාර ගන්න ඕනෑ. නමුත් ආගමන බලධාරීන් මාව රැගෙන යන්නේ නැහැ” යැයි ඇය එම ලියැවිල්ලේ සටහන් කර තිබේ.

මේ සම්බන්ධයෙන් ටෝකියෝහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ජේ‍යෂ්ඨ නිලධාරියකු වන රොෂාන් ගමගේ මහතා සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් කරන ලෙස තානාපති කාර්යාලයත් මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශයත් ලිඛිතව ඉල්ලීමක් කර ඇති බවය.

ගමගේ මහතා සඳහන් කළේ තානාපතිවරයාගේ උපදෙස් මත තමන් නගෝයා වෙත ගිය බවත් තරුණිය රඳවා සිටි ස්ථානය, ප්‍රතිකාර ලබාදුන් වෛද්‍යවරුන් සහ පොලිස් නිලධාරීන්ද හමුවූ බවත්ය.

කෙසේ වෙතත් මරණය සිදුවූ ආකාරය පිළිබඳ නිශ්චිත තොරතුරක් අනාවරණය නොවූ බවත් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ජපාන අධිකරණ අමාත්‍යවරිය විසින් පත් කරන ලද කමිටුවක් ටෝකියෝ සිට නගෝයා යවා ඇති අතර ප්‍රදේශය භාර වෛද්‍ය බලධාරීන් වෙනම පරීක්ෂණයක් සිදුකරන බවත් ගමගේ මහතා කීවේය.

මෙය බරපතළ සිද්ධියක් ලෙස ජපාන අධිකරණ අමාත්‍යාංශය සලකන බවද ඔහු කියා සිටියේය.

ඇයගේ රෝගී තත්ත්වයත් ඇය සතුව ප්‍රමාණවත් මුදල් නොතිබීම හා කොරෝනා වසංගත තත්ත්වයත් හේතුවෙන් මිය යෑමට පෙර ඇය මෙරටට එවීමට නොහැකි වී ඇති බවද කියැවේ.

මේ සිදුවීම සම්බන්ධයෙන් ජපානයේ බොහෝ පුවත්පත් වාර්තා පළ කර ඇති අතර විදේශ රටකින් ශිෂ්‍ය වීසා මත ජපානයට පැමිණි තරුණියක් හාමත්ව මිය යෑමට සැලැස්වීම බොහෝ දෙනාගේ අවධානයට යොමු වී තිබේ.

විශ්වා මියගොස් ඇත්තේ පසුගිය 06වැනිදා බවත් ඇගේ දේහය න ගෝයා නගරයේ පොලිස් මෘත ශරීරාගාරයේ තබා ඇති බවත් පවුලේ අය කියති.

කෙසේ නමුත් මෙම අවාසනාවන්ත සිදුවීම පිළිබඳ ජනාධිපතිවරයාගේත් අග්‍රාමාත්‍යවරයාගෙත්, විදේශ කටයුතු ඇමැතිවරයාගේත් අවධානය යොමු කර හැකි ඉක්මනින් ගැටලුව නිරාකරණය කර දෙන්නැයි මියගිය විශ්වා සඳමාලි තරුණියගේ පවුලේ ඥාතීහු ඉල්ලා සිටිති.

කුසුම් එස්. හැන්නදි-කැලණිය
මෙම ලිපියේ සම්පූර්ණ උපුටා ගැනීම “මව්බිම” පුවත්පතෙන්…

සසැදි පුවත – නිරාහාරව විදේශයක මිය ගිය ශ්‍රී ලාංකික තරුණිය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

මව ජංගම දුරකතනය නොදුන් නිසා, 14 හැවිරිදි සිසුවා ගෙළ වැළලාගෙන

යාපනය සුළිපුරම් පිලවට්ටෙයි ප්‍රදේශයේ මවක් සිය දරුවාගේ ජංගම දුරකතනය ලබා ගැනීම නිසා 14 හැවිරිදි...

අධික බීමතින් භික්‍ෂුවක් රිය පදවයි.. මිනිස්සු වටවී ගහන්න යයි..

අධික බීමතින් භික්ෂූන් වහන්සේ නමක් වාහනයක් පදවන අවස්ථාවක වූ සිදුවීමක් දැක්වෙන වීඩියෝවක් සමාජ ජාලවල...

CCTV කැමරාවේ සටහන්වු ජංගම දුරකථන සොරකම

ජංගම දුරකථන සොරකමක් CCTV කැමරාවක සටහන්ව තිබෙනවා. ඒ නිට්ටඹුව, වතුපිටවල පිහිටි ආපන ශාලාවක, මෙම...

අපිට මිදුලෙන් කෙඳිරිලි හඬක් ඇහුණා

මත්පැන් සාජ්ජයකින් අනතුරුව ඇතිවූ බහින්බස් වීමක් නිසා පුද්ගලයකුට මන්නා පිහියකින් පහරදී බරපතළ තුවාල සිදුකළැයි...

මුල්ලේරියාවේ ගෙදර පොළව යට බංකරයක සිටි පාතාල නායකයා හසුවේ

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සරත් කුමාර නම් පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන...

අපගේ නවතම පුවත්

1
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x