මේක දැක්කොත් ඇන්ටා මට කතා කරපන්…

මුහුනුපොතේ එහා මෙහා සැරිසරන අතරතුරු අහම්බෙන් ඇහැ ගැටුනු හරි අපූරූ ලිපියක් අපිට ඔබත් එක්ක බෙදා ගන්න හිතුනා.
මේ ලිපියේ හිමිකරු විමුක්ති ප්‍රතාප්.
සුපිරි වෙළදසැල් වල ජීවිතේ ගැටගහගන්න පොරබදන අහිංසක අපේ උන් ගැන ලියැවුනු මේ සටහන අවසානයේ ඔබේ ඇසටත් කඳුලක් එකතුවෙන බවනම් නොඅනුමානයි.

===============================================

මේක ඊයේ හැන්දෑවේ වෙච්ච සිද්දියක් නිසා ලියන්න හිතුනේ. සුපිරි වෙළඳසැල් බහුතරයක තිරය පිටිපස්සේ තියන කථාව ඔය අපිට පේන් තරම් ලස්සන නෑ. ඊයේ හවස අයිය එක්ක ගෙදරට ඕන දේවල් ටිකක් ගන්න ගෙවල් කිට්ටුව තියන සුපිරි වෙළඳසැලකට ගිය වෙලාවේ අහම්බෙන් වගේ මේ තිරයේ පිටිපස්සේ කථාවක පුංචි කොටසක් “ආයෙත්” දකින් ලැබුනා.ඊයේ මේ කියන සුපිරි වෙළඳසැලට ගිහින් අවශ්‍ය දේවල් එක එක තෝරගන්නකොට එක කොනක තිබුණු බඩු රාක්කයක් මුල්ලක පුංචි බංකුවක වාඩිවෙච්ච ⁣තරැණ පිරිමි ළමයෙක් රාක්කෙට ඔලුව ගහගෙන ඉන්නව. මම ඒ රාක්කෙ ලඟට ගියගමන් මේ පිරිමි ළමයා ඉක්මනට ඔලුව උස්සලා ඇස් දෙකත් පිහදාගෙන නහයත් උඩට ඇද්දා. කොල්ලා අඬනවද නැත්තං අසනීපයක්ද කියලා මටත් ටිකක් ශුවර් නැති නිසා මම එතන තිබ්බ රාක්කෙන් දෙයක් අරගෙන වෙන තැකට ගියා. ඒත් හිතට පොඩ්ඩක් හරි මදි වගේ. 🤔මොනව කරන්නද ඉතින් ආයේ හැරිල ගිහින් ශේප් එකේ බැලුව. ඒපාර නම් බඩු ශුවර් කොල්ල ඉකි ගහ ගහ අඬනව. පොර ⁣පුචි ෆෝන්එකකින් දාගත්ත දෙමල සින්දුවත් ලාවට ඇහෙනව. ඉතින් කොල්ල දෙමළ කථාකරන පොරක් කියල කන්ෆර්ම්. මම කොච්චර නසරානියා උනත් එහෙම මිනිහෙක් අවුලෙන් ඉන්නකොට අහක බලන්න යන්න හිතට හරි මදි. ඉතින් ශේප් එකේ කොල්ල ලඟට ගියාම ආයේ පොර දඩ බඩ ගාලා ඔලුව උස්සලා ඇස්දෙකත් පිහිදලා නහයත් උඩට ඇදගත්තා.

මං පොඩ්ඩක් ලෙඟට ගිහින් මිනිහගේ කරටත් අත දාලා” ඇයි මචං මොකද අවුල?” කියල ඇහුව”නේ නේ සර් මුගුත් නේ..”ඒත් පොරගේ මූන දිගේ කඳුලු බේරෙනවා.”මිනිස්සු නිකන් අඬන්නේ නෑනේ මචං.ඇයි මොකද උනේ.ම්…?” මම ඉතින් හිතුන දේම ආයේ කිව්වා”නේ සර් මං ඉදිං අලුද්නේ…” පොර යන්තං අල්ලගෙන හිටපු සාමාන්‍ය කටහඬ අන්තිම හරියෙදි දියාරැවෙලා මිනිහට කෙඳිරිගෑවුනා.”ආහ් එහෙමද, ලඟදිද ආවේ? ගෙවල් කොහෙද?” ඔයවගේ වෙලාවට මිනිස්සුන්ට කථාකරන්න ලේසි හුරැපුරැදු දේවල් ගැන ප්‍රශ්න ඇහුවොත් මිසක් උත්තර එන්නේ නැති බව දන්න නිසාම මම ඇහුව”මං නුවරඑලියෙ සර්..සදි දෙගග් විදර වෙනවා එවිත්” ඒක වෙන්න පුලුවන්. මොක ඉස්සර දැකපු නැති මූනක් තමයි ඒක.”ආහ් එහෙමද? ඉතින් මොකද අවුල ඇයි මේ අඬන්නේ.?” මම ආයෙත් අහල බැලුව”මුගුත් නේ සර්” අවුල මොකක් උනත් පොර කියන පාටක් නෑ.

එහෙම කියයි කියල බලාපොරොත්තුවක් කොහොමත් මට තිබ්බෙ නෑ. මොකද එහෙම එකපාර දැකපු මිනිහෙක්ට අඬන හේතු කියන්න මේක චිත්‍රපටියක් නෙමෙයි නේ.” ආහ් ⁣කිව්වේ නැති උනාට කමක්නෑ. හැමෝටම ප්‍රශ්න තියනව මචං, එහෙම තමයි ලයිෆ් එක ම්.!, හිතන්න එපා. හැමදේම හරියයි. ප්‍රශ්න උනත් හැමදාම තියෙන්නේ නෑනේ නේද. ඉතින් එන විදිහට ශේප් එකේ ෆේස් කරන්න. වැඩිය හිතන්න එපා.” කියලා පොරගේ පිටටත් තට්ටුවක් දාලා මං ඕන කරන අනිත් දේවල් ගන්න ගියා. අන්තිමට මම බඩු අරන් ඉවරවෙන්න කිට්ටුව මේ කොල්ල ඇවිත් මට තට්ටුවක් දාලා “තැංගිව් සර්” කියල කියල බඩු රාක්ක අස්සෙන් කොහෙටද ගියා.

මේ සිද්දිය ගොඩක් වෙලාවට එක්කෝ මේ ළමයගේ ගෙදර ප්‍රශ්නයක් දැනගන්න ලැබුන නිසා හෝ මේ ආයතනයේ පරණ ⁣සේවකයන්ගේන් සහ ඉහල නිලධාරීන්ගෙන් එල්ලවෙන පීඩනය නිසා වෙච්ච දෙයක් වෙන්න පුලුවන්. මොකද මෙහෙම අලුතෙන් කෙනෙක් ආවම නොයෙක් විදිහේ වාචික සහ මානසික හින්සා කරනඑක සම සේවකයන් වගේම සුපරීක්ශකවරැ කරනව මම සෑහෙන දැකල තියන දෙයක්. තව සමහර වෙලාවට ⁣කුඩාපරිමාණ පෞද්ගලික සුපිරි වෙළඳසැල්වල මේ විදිහට දුර පලාත්වල ඉඳල එන ළමයින්ට වහලුන්ට වගේ සලකන්නේ. ගෙදර උවමනාවකට හදිසියේ ගමේ යන්න උනත් පඩි සල්ලි දෙන්නේ නෑ. මොකද නැවත වැඩට එන එකක් නැහැ කියල හිතලා පඩිය ඇපයට තියන් ඉන්නවා.

ඉතින් ගෙදර උවමනාවක් නම් සල්ලි නැතුව ගේ ඉස්සරහට ගිහින් රෙද්ද උස්සං ඉන්නද ගමේ යන්නේ. ⁣හරිහමන් කෑමක් බීමක් නැතුව නිදහසේ නිදාගන්න තැනක් නැතුව ඔය සුලු සේවකයන් විඳින අනේකවිද වද හින්සා ගැන දන්නේ බොහොම ටික දෙනයි. පුංචි අත්වැරැද්දකට උනත් අහන්න වෙන කුණු බැණුම් පඩි කැපීම් ගැන දන්නේ උන්ම විතරයි.ලංකාවේ සුප්‍රසිද්ධ සුපිරි වෙළඳසැල් ජාලයක සුපිරි වෙලඳසැල් කිහිපයකම ⁣⁣⁣ඖශද වේදියෙකු විදිහට සැලකියයුතු කාලයක් අර්ධකාලීනව සේවය කරපු කාලේ මම මේව ඇතුලෙ වෙන හැම දෙයක්ම දැකල තියනවා. නරක්වෙන පලතුරැ වල හොඳ කොටස් කපලා ලස්සනට කපා අහුරපු පාර්සලයක් විදිහට විකුණන එක, නරක්වෙන්න ලංවෙච්ච මස් බාබක්‍යු කරන එක වගේම ⁣බැදලා ලස්සන පාර්සලයක් විදිහට විකුණන එක, බාගෙට නරක්වෙච්ච මුලු සහ එලවලුවල කොටස් අරන් කට්ලට් හදලා විකුණන එකේ ඉඳන් වෙලාවට කන්න බොන්න යන්න නොදී වහල්ලුන්ගෙන් වගේ සුලුසේවකයන්ගෙන් වැඩගන්න තැන දක්වා හැම දෙයක්ම මම හොඳට දැකල තියනවා.

මම වැඩකරපු සුපිරි වෙළඳසැල් ජාලයේ නම් මාසේ අන්තිම වෙනකොට වැඩකරපු අයගේ අතිකාල/OT පැයගාන ලැයිස්තුවක් එවනවා එක එක ආයතනයේ මැනේජර්ට. මේක එවන්නේ මොනව හරි පුංචි වෙනසක් එහෙම වෙන්න තියනව නම් හදලා නිවැරදි කරලා එවන්න. මම දන්න මැනේජර්ලා දෙන්නෙක් හිටියා ඒ යක්කු ඒක පාවිචි කරේ පලිගන්න. උන්ට පු@ දෙන්නේ නැති වැරදි දේට වැරදියි කියන එවුන් හිටියොත් උන්කරේ අර OT hours list එකේ පැය 70ක් විතර කරපු එකාගේ පැය ගාන 20ක් විතර කරල යවපු එක.

අංහින්සක කොල්ලො කෙල්ලො සති ගනං රෑ 11-12 වෙනකන් නැහිල වැසිකිලියේ ඉඳන් හෝදලා හම්බකරපු උන්ගේ පඩියටත් කෙලලයි උන් නැවතුනේ. කන්න යන්න නම් පුංචි පාස් එකක කන්න යනවෙලාව ලියලා මැනේජර්ගෙන් අත්සනක් දාගන්න ඕන. නැත්තං යන්න බෑ. ඉතින් මේක අත්සන් නොකර සමහර කොල්ලො කෙල්ලොන්ව හවස 3-4වෙනකන් බඩගින්නේ තියන් වැඩ ගන්නවා.ඒ ඔක්කොම තියෙද්දි තමයි ඔය අපි ගියාම හිනාවෙලා ආයුබෝවන් කියලත් කියන්නේ. ඕක හැමදාම වෙනකොට උන්ට ආයුබෝවන් නෙමෙයි මකබෑවියන් කියල කියන්න හිතෙන තැනක් එනවා.

ඕව එලියෙන් යන මිනිස්සුන්ට පේන්නෑ.කාලයක් මම වැඩ කරපු සුපර් මාර්කට් එකක මැනේජර් කෙනෙක් ඔහොම කොල්ලෙක්ට කන්න යන්න නොදී ඉන්නකොට මේ කොල්ල හිතවත්කමට මට ඇවිත් මිනිහගේ හිතේ අමාරැව කිව්ව. මේ මැනේජර් මේක කරනව දවස්ගානක් බලන් ඉඳලා ඇතිවෙලා තිබ්බේ ඉතින් මම පොරට ගිහින් කිව්ව මේ වැඩේ කරන්න එපා පව් මේ ළමයි කියලා. පොරගේ උත්තරේ උනේ”මල්ලි මේ ඕකුන් ඉන්නේ වැඩකරන්න කකා ඉන්න නෙමෙයි. ඔයා මේ ඕව කථාකරන්න එන්න එපා මටත් මලපනිනව හරිද..!”

ඔය වගේ බලු කථා අහනකොට කොහොමත් යකා වැගෙන මට ඌ මැනේජර් කියනඑකත් අමතක උ⁣නා” අයිසේ මේ..මිනිස්සු⁣න්ගෙන් වැඩ ගන්න විදිහක් තියනව, ඒවට හරි නීති රීති තියනව තමුං ඒව දන්නැත්තං මං ඒව කියල දෙන්නම්. කොහොමත් මේව මං කථාකරන්න එන්න ඕන නෑ තමුං හරියට තමුංගේ වැඩේ කරා නම්. මල පනිනව..?තමුසෙට වැඩිය කේන්තියනව ඔයි මට” කියලා ආපහු ෆාමසියට ආවා.ෆාමසියට මැනේජර්ලාට කොහොමත් වැඩිය බලපෑමක් කරන්න බැරි නිසා මට මුකුත් කරන්න මිනිහට පුලුවන්කමක් තිබුනේ නෑ. ඒත් එදායින් පස්සේ පොර වැඩිය මගේ එක්ක කථාවට ආවේ නෑ.

ඔය උඩ කිව්ව මැනේජර්ම තව අලුගුත්තේරැකමක් කරා. මෙතන වැඩකරා “ඇන්ටන් පොල්” කියලා දෙමල ලමයෙක්. බොහොම අහින්සක කඩිසර කොල්ලෙක්. මේ ළමයා තමංගේන චූටි බත් පාර්සලේ ඔතපු කොලේවත් හරියට දිගඅරින්නේ නැතුව තනියම හැංගිලාවගේ කන ළමයෙක්. මේ මොකුත් නිසා නෙමෙයි කමංගේ කෑම පාර්සලේ තියනදේවල් වෙන කෙනෙක් දකියි කියලා ලැජ්ජාවට.වැඩකරන අය දෙතුන්දෙනෙක් එකතුවෙලා කන අවස්ථා වැඩිපුර තිබුනත් මේ කිසිම වෙලාවක ඇන්ටන්ව එහෙම එකතුකරගන්න කවුරැත් හිටියේ නෑ. මට කොහොමත් අම්ම ගෙදරින් දෙන කීපදෙනෙකුට හරියට බත් පාර්සලේ නිසා කන බොන වෙලාවට මට හිතවත්තු ඕන තරම් හිටියා.

ඒත් මට ඕනඋනේ ඇන්ටන්ව මේකට එකතුකරගන්න. ඉතින් මම දවස් කීපයක් රැකලා ඉඳන් ඇන්ටන් කනවෙලාවටම කෑම කන්න පටන්ගත්තා. ඉතින් මම ඇන්ටගෙන් අහනව “මචං මොනවද තියෙන්නේ උඹගේ යාපනේ රස කෑම” පොර තලවකැලේ උනත් මම කිව්වේ එහෙම.”මේව කන්ඩ බෑ ඔයාඩ.” කියලා පොර අහින්සක විදිහට හිනාවෙනවා. ඇන්ටගේ නලදත පේන්න ඌ හිනාවෙන විදිහේ තිබ්බේ හරිම අහින්සක පෙනුමක්.මට තාම ඒක මතකයි.මම දවස් දෙකතුනක් උත්සාහ කරත් පොර හැම දාම එකම උත්තරේ විදිහට මට පොරගේකෑම කන්න බැහැ කියලා ලිස්සල යනවා. ඕක දවස් කීපයක් බලං ඉඳල අන්තිමට “අනෙ බහුකාපං මචං”කියලා සුභාශිතයෙන්ම අමතලා බලෙංම උගේ බත් පාර්සලේ ඇදල අරං මං කාගෙන කාගෙන ගියා.

පොරට වෙන කරන්න දෙයක් නෑ දැං මගේ බත්එක කන්න එන්නම වෙනවා.ඉතිං එදා ඉඳං මමයි ඇන්ටනුයි තමයි දවල්ට කන්නේ. ඉතිං ඔහොම යනකොට දවසක් ඔය උඩ කියපු මැනේජර් ආවා මමයි ඇන්ටනුයි ඇන්ටන්ගේ බත් එක කනකොට. එතකොට මගේ බත්එක කන්න උදව්වට කීපදෙනෙක් එතන බලන් ඉන්නවා.එදා ඇන්ටන් ගෙනල්ල තිබුනේ වට්ටක්කයි බතුයි. මැනේජර් බත්එක දිහා බලලා”ආහ් ඇන්ටන් අද වට්ටක්කයි බතුයි ද?”ඇන්ටන් අහින්සක විදිහට හිනා උනා.”වට්ටක්ක මාර ලාබයි නේ මේදවස්වල. සමහරැ ඉන්නව ඔහොම, මොනව හරි එලවලුවක් ලාබඋනාම ඒක තමයි ඉතින් ආසම කෑම.හැමදාම එකම හොද්ද තමයි ඉතිං.” මැනේජර් තමංගේ බලු කට දිගඇරියා.

එතන හිටපු එවුං හිනාවෙනකොට ඇන්ටන් අහින්සක විදිහට මගේ මූන බැලුවේ”මං පරණවිදිහට කෑවනං මේ මුකුත් නෑනේ ” කියන්න වගේ.”වට්ටක්කත් ඉතිං මිනිස්සු උයලා කන කෑමනේ. වන්නි හත්පත්තුවල හරක් නං අමුවෙනුත් කනව. කොහෙද ඉතිං පඩික්කං වගේ කටවල් තිබ්බට අබ ඇටයං තරං මොලයක් නෑනේ හරක්ට උයාගෙන කන්න.” කියලා මං ඇඟට නොදැනි කියලා මගේ බත් පාර්සලේ දිගඅරිනකොට ඈත ගමකිං ඇවිත් රට කැටයං දාපු මැනේජර් මූන ඇඹුල්කරං යන්න ගියා.

කොහොම උනත් ඔහොම දවස් කීපයක් යනකොට ඇන්ටන් මූන ඇඹුල්කරං රාක්කයක් පිටිපස්සේ ඉන්නව මං දැක්කා. ඉතින් මං ලඟට ගිහින්” ඇන්ටබෝයි මොකද මේ. ජුන්ඩ සිප්එකට අහුවෙලා වගේ” කියල විහිලුවෙන්ම ඇහුව.”නේ මේ වෙන ප්‍රච්නයක්” ඇන්ටන් බිමබලන් කිව්වා.”ඇයි මොකෝ අවුල””නේ මේ මට කෙම්පස් යන්න එවිත්. අද අන්තිම දවස ඒග ෆිල්ගරල යවන්න ඕන. මම මේ මොගද කරන්නේ කියල බැලුවේ” ඇන්ටන් මේක කියනකන් පොර මොනව ඉගෙනගත්ත කෙනෙක්ද කියලවත් මම දැනං හිටියේ නෑ. පොර වානිජ්‍ය අංශයෙන් උසස්පෙල ලියලා විශ්වවිද්‍යාලවලට අයදුම්කරලයි තිබිල තියෙන්නේ. වැඩක් කරන්න බැරිතරමට වයස අම්මයි තාත්තයි විතරක් ඉන්න නිසා තමයි ඇන්ටන් වැඩට ඇවිත් තියෙන්නේ.

දැන් මේ පොරව විශ්ව විද්‍යාලෙකට තේරිලා රෙජිස්ටර් වෙන්නකියලයි ලියුම ඇවිත් තියෙන්නේ”යකෝ මරැනේ.!! මොන හු@තක් ද කරන්නේ. හැමි@න්නැතුව ඕක පුරවලා යවපන් එනව කියලා” සිරිත්මල්දම කියවලාම පුරැද්දට මට කියඋනා.”නෑ මචං අම්ම අප්ප වෙයසයි. මම දමයි වැඩකරන්නේ. මම ගියොත් එයාලා බලන්න ගෙනෙක් නෑනේ.ඒගයි” ඒක තමයි ඇන්ටන්ගේ අවුල.”අනේ හු$තෝ මේ…ගනිං ඕක පුරවන්න මගුලක් කථාකරන්නේ නැතුව. ඕව ප්‍රශ්නද. මේකේ මේ රාක්කවලට බඩු පුරවලා කාටද යකෝ හරිගියේ. නො@කා වරෙන් මෙන්න මෙහෙට” කියලා සුභාශිතයෙන්ම කියලා පොරගේ ඇප්ලිකේශන් එකත් පුරවලා තැපැල් කරා. ඒගමං ම කොල්කරා මම මට මේ ලෝකේ හම්බවෙච්ච හොඳම මිනිස්සුන්ගෙන් කෙනෙක්ට.

ඉස්කෝලේ ප්‍රින්සිපල් “ෆාදර් බොනී ප්‍රනාන්දුපුල්ලේ”ට.කථාකරලා විස්තරේ කිව්වම ෆාදර් කිව්වේ ඇන්ටන් එක්කන් හවසට ඉස්කෝලෙට එන්න කියලා. ඉතින් හවස 5ට විතර ඇන්ටන්වත් අරන් මම මොරටුව ශාන්ත ⁣සෙබස්තියන් විද්‍යාලයට ගියා. මට තාම මතකයි ෆාදර් බොනී සුපුරැදු සුදු ලෝගුව වෙනුවට ඒ වෙලාවේ ඇඳල හිටියේ සුදු දිග කලිසමකුයි කොලපාට ටීශර්ට් එකකුයි. මම ඇන්ටන්ව අඳුන්වලා දුන්නම ෆාදර් ඇන්ටන් එක්ක මොන මොනවද දෙමලෙන් කථාකරා. ඊටපස්සේ ෆෝන්එක අරන් කථාකරා මේ අපි වැඩකරපු සුපිරිවෙලඳසැල් ජාලයේ ප්‍රධාන විධායක නිලධාරියට(CEO).”කීර්ති මේ ළමයෙක් ඉන්නවා.එයා විශ්වවිද්‍යාලෙට තේරිලා ඉන්නේ.එයාගේ අම්ම තාත්ත බලාගන්නෙත් එයා. එයාට විශ්වවිද්‍යාලේ කිට්ටුවින් ඕගොල්ලන්ගේ අව්ට්ලට් එකක පාර්ටයිම් වැඩකරන්න ලෑස්තිකරලා ඕන. ඒ ලමයට ඔයා මාසෙකට රැxxxx දෙන්න ඕන. සල්ලි තියනවනේ ඕගොල්ලන්ට 😀 ඒ ළමයව දන්න අපේ ස්කොලේ දරැවෙක් මට මේ ළමයා හඳුන්වලා දුන්නේ. එයාට මම ඔයාගේ ටෙලිෆෝන් නොම්මරේ දෙනවා. එයා ඔයාට කථාකරල විස්තර කියයි” කියලා හිනාවෙවී කියලා කථාව ඉවරකරා.දැන් ඇන්ටන්ගේ මූනට හිනාවකත් ඇවිත්. ඇන්ටන් එක්ක ෆාදර් බොනී තව මොනවද දෙමලෙන් කථාකරා. පස්සේ ඇන්ටන් මට කියපු විදිහට ෆාදර් බොනීත් ඇන්ටන්ට මාසෙකට රැපියල් 6000ක් ගානේ දෙනව කියල තමයි කියලා තියෙන්නේ. ඒ තමයි ෆාදර් බොනීගේ හැටි. මං දැකපු ආදරනීයම මනුශ්‍යයෙක්.🖤ටිකදවසකින් ඇන්ටන් කැම්පස් ගියා. ගිහිල්ලත් මට කීපසැරයක් කථාකරා. ඇන්ටන් කැම්පස් ගිහින් අවුරැද්දක් විතර ගියාම ඇන්ටන් මට කෝල්කරලා තාත්තා මියගිය බවත් කිව්වා. දැන් අවුරැදු 4කට විතර කලින් ඇන්ටන් මට කථාකරලා එයා “පළමු පන්ති සාමාර්ථයක් (1st class) එකක් එක්ක එයාගේ උපාධිය සමත්වෙලා කියලා කිව්වා. මගේ පරන ෆෝන් එක නැති උනත් එක්ක මට ඇන්ටන් ගැන තව විස්තරයක් හොයාගන්න බැරැ උනා. මට එහෙම හොයන්න උවමනාවක් තිබ්බෙත් නෑ. මොකද ඇන්ටන්ට තවත් මගෙන් උදව් ඕන නෑ කියල මට හොඳටම විශ්වාසයි.

ආයෙත් කවදාවත් අපි පිටින් දකින්නේ නැති දහසකුත් එකක් දුක් පීඩා විඳගෙන උනත් හිනාවෙවී රාක්කවලට බඩු පුරවන ඇන්ටන්ව දකින එකක් නං නෑ. ඒක ගැන මට තියෙන්නේ ලොකු සතුටක්.ඉතින් ඕක තමයි ජීවිතේ. අපි දකින අපි අවට ඉන්න හැමෝටම අපි නොදන්න ප්‍රශ්න ඇති. සමහරවිට අපි එහෙම කෙනෙක්ට කරැණාවෙන් කථාකරන වචනයක් ඇතිවෙන්න පුලුවන් එයාගේ ජීවිතේම වෙනස් කරන්න. මනුස්සයෙක්ට ආදරෙන් කරැණාවෙන් කථාකරන්න හිත සතුටුවෙන්න වචනයක් කියන්න සත පහක්වත් වියදම් වෙන්නේ නෑ. ඒ⁣හෙම කරා කියලා අපිට පාඩුවක් වෙන්නෙත් නෑ. ඉතින් “ඔබ” කියලා කෙනෙක් මේ ලෝකේ ඉන්නවද කියල දන්නෙවත් නැති සුපිරි තරැ, ගායකයෝ, ක්‍රීඩයෝ, නලු නිලියොන්ට ආදරයකරනව වගේම ඔබ අවට ඉන්න මේ වගේ ක්ශුද්‍ර මිනිස්සුන්ටත් ආදරේ කරන්න කරැනික වෙන්න උත්සාහ කරන්න.ඒක ඒ මිනිස්සුන්ට මහ ලොකුවට දැනේවි.(ඇන්ටා උඹ මේක දැක්කොත් මට inbox direct text එකක් දාපන්. උඹ කොහේ ඉඳන් මොනව කරනවද කියලා දැනගන්නත් ආසයි.🤜🏽🤛🏽)#විමුක්ති.

#Vimukthi Prathap

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
125
අවුල් වගේ !
0
හරි හිනා !
2
හම්මෝ !
0
මාර දුකයි !
10
මලපනිනව !
1
කුජීතයි !
4

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්