මේක බෞද්ධ රටක් කියලා බොන මිනිහා නොබී ඉන්නවාද

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීනි ඩයනා ගමගේ

දේශපාලනය පිළිබඳ උනන්දු වන අය ඔබගේ සැමියා වන සේනක සිල්වා ගැන නම් දන්නවා. ඔබ ගැනත් අපි කතා කරමුද?

මම පොඩි කාලයේදීම අධ්‍යාපන කටයුතු සඳහා බ්‍රිතාන්‍ය බලා පිටත් වුණා. උසස් අධ්‍යාපනය කළෙත් බ්‍රිතාන්‍යයේදී. අම්මා විදේශ ජාතික කාන්තාවක්. තාත්තා මාතර කැකනදුර. මගේ අදහස තිබුණේ ශ්‍රී ලංකාවට සේවය කිරීමටයි. මම විදේශයක හිටියත් ලංකාව පිළිබඳ අධ්‍යයනයක නිරත වුණා. ලංකාවට ඇවිත් අධ්‍යයනය කරන විට මට තේරුණා කුඩා දරුවාගේ සිට මහල්ලා දක්වා දේශපාලනය ගැන කතා කරනවා කියලා. සෑම දෙයක්ම දේශපාලනය මත බැඳී තිබෙනවා. එක්සත් කාන්තා පෙරමුණ ආරම්භ කරමින් තමයි මම සමාජ සේවා කටයුතු ආරම්භ කළේ. එක්සත් ජාතික පක්ෂයෙන් තමයි දේශපාලනය පටන් ගත්තේ. 2001 වසරේ සිට මේ දක්වා දේශපාලනය කරනවා. 2010 වසරේදී සරත් ෆොන්සේකා ජනාධිපති ධුරයට ඉල්ලන විට මම විශාල වැඩ කොටසක් කළා. එහි ප්‍රතිඵලයක් ලෙස මගේ මහත්තයාටත් සරත් ෆොන්සේකා සමග සිරගත වීමට සිද්ධ වුණා. ඉන් පසුව තමයි මට හිතුනේ සක්‍රිය දේශපාලනයට පිවිසීමට. 2014 මම එක්සත් ජාතික පක්ෂයෙන් පළාත් සභා ඡන්දය ඉල්ලුවා. නමුත් පරාද වුණා. 2019 අපේ ජාතික පෙරමුණ යටතේ පිහිටුවා ගත් සමගි ජන බලවේගය යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වුණා. මන්ත්‍රී ධුරය ලැබුණේ ස්වාමිපුරුෂයාට. නමුත් මම තමයි පාර්ලිමේන්තු ගියේ.

වර්තමානයේ සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයා සමග දේශපාලන ඇයිහොඳයිකම් නැද්ද?

අපෝ නැහැ. මිත්‍රව කටයුතු කරනවා. පාර්ලිමේන්තුවේදීත් කතා කරනවා. දේශපාලන මතිමතාන්තර තියෙනවා. ඔහුත් රට හදන්න අවශ්‍යයි කියන මතයේ සිටින පුද්ගලයෙක්.

ඔබ පරිත්‍යාග කළ පක්ෂයේ නායකයන් ඔබට එරෙහි විනය පරීක්ෂණ ආරම්භ කරලා තියෙනවා නේද?

ඔව්. විනය පරීක්ෂණ ඉවරද කියා මම දන්නේ නැහැ. විනය පරීක්ෂණ තියන එක ඔවුන්ගේ අයිතියක්. නමුත් මම ඉවත් කරන්න බැහැ. විසි වන සංශෝධනයේදී මම ආණ්ඩුව වෙනුවෙන් ඡන්දය දුන්නේ රට ගැන හිතලයි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාද හොඳ දැක්මක් ඇති නායකයෙක්. ආරක්ෂක ලේකම් කාලයේ විශිෂ්ට මෙහෙවරක් රටට ඉටු කළා. දැක්මක් ඇති නායකයෙකුට සහයෝගය ලබා දිය යුතුයි. ජනාධිපතිට විධායක බලය අවශ්‍යයි. ජේ.ආර්. ජයවර්ධන විධායක ජනාධිපතිධුරය ඇති කළේ පිස්සුවකට නොවෙයි. එම නිසා මම නම් 2025 වන විටත් ශ්‍රී ලංකා පාදුජන පෙරමුණෙන් ජනාධිපති කෙනෙක් බලාපොරොත්තු වෙනවා.

ඒ කියන්නේ මීළඟ මැතිවරණයේ දී ඔබ මැතිවරණයට ඉදිරිපත් වන පක්ෂය වෙනස් වෙනවාද?

අනිවාර්‌යයෙන්ම වෙනස් වෙනවා. මම පොහොට්ටුවෙන් තමයි ඡන්දය ඉල්ලන්නේ.

ගිය සතියේ ඔබ පාර්ලිමේන්තුවේ දී ආන්දෝලනාත්මක කතාවක් කළේ එංගලන්තයේ ලැබූ අත්දැකීම් පදනම් කර ගෙනද?

එහෙම නොවෙයි. ලෝකයේ රටවල්වලින් දූපත් ආශ්‍රිත රටවල සංචාරක ව්‍යාපාරය දියුණුයි. රටක් තුළ දිවා ආර්ථිකය හා රාත්‍රී ආර්ථිකය කියලා දෙකක් තියෙනවා. ලංකාවේ රාත්‍රී දහයෙන් පසු පාරට බැස්සොත් කන්න බොන්න පුළුවන් තැනක් නැහැ. සංචාරක හෝටල් ටික විතරයි තියෙන්නේ. ශ්‍රී ලාංකිකයන්ගෙන් සියලු දෙනාටම ඒවට යන්න බැහැ. ලංකාවට එන සංචාරකයන් රාත්‍රී 10න් පසු නිදාගන්නේ නැහැ. ඔවුන් විනෝද වෙන්න එන්නේ. දවල් තිස්සේ ශ්‍රී ලාංකිකයන් හම්බ කරනවා. ඉන් පසු ගෙදර ගිහිල්ලා එළියට බහින කොට රාත්‍රී නවය පහු වෙනවා. සංචාරකයන්ද එහෙමයි. රෙස්ටුරන්ට් එහෙම විවෘත කළ යුතුයි. මම මෙතැනදි කියන්නේ නැහැ සුරාසැල් ඇරලා ජනතාවට බොන්න දෙන්න ඕනි කියලා. සංචාරකයන් රාත්‍රී එළියට බහින කොට රෙස්ටුරන්ට් එකේ අන්තිම ඇණවුම රාත්‍රී එකොළහට ගන්නවා නම් කොහොමද සංචාරක ව්‍යාපාරය දියුණු කරන්නේ. වියදම් කරන්න තැනක් නැත්නම් අපි කොහොමද විදේශ විනිමය උපයන්නේ.

එම නිසාද පාන්දර එක වෙන තුරු බාර් විවෘත කරලා තියන්න බලපත්‍ර දෙන්න කියලා ඔබ යෝජනා කරන්නේ?

ඔව්. මම එම නිසා තමයි පාන්දර එක වෙන තුරු බාර් විවෘත කරන්න කියා කීවේ. රෙස්ටුරන්ට් විවෘත කරන්න කියලා කිව්වේ. වයින් ස්ටෝර්ස් උදේ නවයට අරිනවා. නමුත් මම කියන්නේ උදේ දහයට විවෘත කරලා රාත්‍රී දහයට වහන්න කියලයි. උදේ පාන්දරම කවුරුවත් බොන්නෙ නැහැනේ.

ඔබ යෝජනා කළාට ජනතාවගේ ආකල්පමය වෙනසක් ඇති කරන තුරු බාර් විවෘත කරලා කංසා නීතිගත කරලා ආර්ථිකය දියුණු කරන්න පුළුවන්ද?

ඒකම තමයි වෙනසක් කරන්න හිතුවේ. ‘සිස්ටම් චේන්ජ්’ එකක් ජනතාව ඉල්ලුවේ ඒකයි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට ඡන්දය දුන්නේ එම නිසයි. වසර 73ක් තිස්සේ තිබුණ දේවල්ම ඉදිරියටත් කරන්න බැහැ. නව පරපුර අතීත පරපුර මෙන් හිතන්නේ නැහැ. අපි විශ්ව ගම්මානයක ඉන්නේ. සුරාව පමණක් නොව සෑම ක්ෂේත්‍රයකම වෙනසක් ඇති විය යුතුයි. අපේ ජනතාව නරක දේවල් කඩිනමින් දියුණු කර ගන්නවා. නමුත් රටේ වෙනසක් වෙනවට කැමති නැහැ.

එක්සත් ජාතික පක්ෂ රජයක් සමයේ ද කැසිනෝ කලාපයක් පිහිටුවන්න යෝජනා ඉදිරිපත් වුණා. ඊටත් විරෝධයක් එල්ල වුණා නේද?

ක්‍රියාත්මක කර ගන්න වූ බලය තමයි වර්තමාන ජනාධිපතිට දීලා තියෙන්නේ. කැසිනෝ කලාපයක් විවෘත කළා කියලා අපේ රටේ මිනිස්සු යන්න අවශ්‍ය නැහැ. නීති රීති පනවලා විදේශිකයන්ට පමණක් විවෘත කළ හැකියි. විදේශ විනිමය ගත හැකි යෝජනාවක් ලෙස මම එය දකිනවා. යෝජනාවට කැමතියි. නමුත් ක්‍රියාත්මක වුණේ නැහැ. නීති පොතේ තිබුණට වැඩක් නැහැ. ක්‍රියාත්මක විය යුතුයි. විදේශ රටවල සංචාරක හෝටල්වල වෙනත් කලාපවල කැසිනෝ තියෙනවා. චීන ජාතිකයන් මෙම සූදුවට ඉතාම කැමතියි. එය විනෝදාංශයක් අපෙන් සල්ලි තියෙන අය කැසිනෝවලට යනවා. එය මානව අයිතියක්.

එතකොට විනෝදාංශයක් වෙන කැසිනෝ විතරද මානව අයිතියක් වෙන්නේ?

නැහැ. බොන එකත් මානව අයිතිවාසිකමක්. අපිට කියන්න බැහැ බොන්න එපා කියලා. අවවාද දෙන්න පුළුවන්.

ඔබ ඔහොම කිව්වාට ශ්‍රී ලංකාව බෞද්ධ රාජ්‍යයක්නේ?

බොන මිනිහා කොහොමත් බොනවා. බෞද්ධ රටක් කියලා නතර කරලා නැහැ. සමහරු ගෙදර මිනි බාර් තියාගෙන බොන්නේ නැතිව ඉන්නවා. මම දැකලා තියෙනවා. මම කරපු යෝජනාවෙන් බෞද්ධයන් මත් පැනට පුරුදු කරන්න හදනවා කියලා මුහුණු පොතේ තිබුණා. බොන කෙනා බොනවාමයි. කාන්තාවන්ට හිංසනය කරන කෙනා හිංසනය කරනවාමයි. අපි උදේ රාත්‍රී බණ පිරිත් ඇහුවට ජනතාව ප්‍රායෝගික බුදු දහම ක්‍රියාත්මක කරන්නේ නැහැ. අදහන්නේ නැහැ. ධර්මය නොදන්න බෞද්ධයෝ ඉන්නේ. ධර්මය හරි හැටි දන්නවා නම් ජනතාව මධ්‍යම ප්‍රතිපදාවේ යායුතුයි. අන්තය හොඳ නැහැ. අන්තයට ගිය අය තමයි පාස්කු ප්‍රහාරය එල්ල කළේ. තවම නම් මගේ යෝජනාවට මහා සංඝරත්නයෙන් විරෝධයක් එල්ල වෙලා නැහැ.

කංසා නීතිගත කරන්න කියලත් ඔබ යෝජනා කළාද?

අනිවාර්‌යයෙන්ම කළ යුතුයි. හැබැයි මත්ද්‍රව්‍යයක් ලෙස නොවෙයි. බෙංගමුවේ නාලක හාමුදුරුවොත් මම කළ යෝජනාව අනුමත කළා. කංසා කියන දෙය ලෝකයේ ඉහළම විනිමයක් ලබන ශාකයක්. ඖෂධයක්. 1961 එක්සත් ජාතීන්ගේ සංවිධානය තහනම් කරන විට කිරිඇල්ලේ විමලඥාන හිමියන් ඊට විරුද්ධ වුණා. ආයුර්වේදයේ බෙහෙත් නිපදවන්න කංසා භාවිත කරනවා. විදේශීය රටවල රසායනික ද්‍රව්‍ය දාලා නිපදවන ඖෂධ අපට විකුණන්න ඕන නිසා කංසා තහනම් කළා. දැන් ජනතාව ලෙඩ වෙන්නේ එම ඖෂධ නිසයි. අපේ රටේ අතීත ජනතාවට දැන් තිබෙන ලෙඩ තිබුණේ නැහැ. ඔවුන් කංසා භාවිත කළා. ලෝකයේ රටවල් 54ක් නීත්‍යානුකූලව වගා කරනවා. මම කංසා කතාව පාර්ලිමේන්තුවේ කියලා සතියක් යන කොට එක්සත් ජාතීන්ගේ සංවිධානය හා ලෝක සෞඛ්‍ය සංවිධානය අන්තරායකර ඖෂධ ලේඛනයෙන් කංසා ඉවත් කළා. අපි නිධානයක් උඩ ඉඳගෙන ලෝකයට සාප කර කර ඉන්නවා. අපි ණය වෙනවා විතරයි. රටේ ණය ගෙවා දාන්න පුළුවන්. අපි ළිං මැඩියෝ වගේ කටයුතු කරලා වැඩක් නැහැ.

ජනතාවට කංසා වගා කරන්න කියලා අවසර දීම සුදුසුද?

නැහැ. රාජ්‍ය අනුග්‍රහය යටතේ වගා කළ යුතුයි. ජනතාවට බලපත්‍ර දිය යුතුයි. අක්කර ගණන් කංසා හේන් ගිනි තැබීම නතර කරලා වගා කරලා ඖෂධ නිෂ්පාදනයට අපනයනය කළ යුතුයි. වර්තමානයේ අපි කරන්නේ කේරළයෙන් කේ.ජී. කියලා ගංජා ගේනවා. ජනතාව පිස්සො බවට පත්වෙනවා. කේ.ජී. ගංජා හදන්නේ රසායනික ද්‍රව්‍ය දාලා. චීනය, ඉන්දියාව, ඇමරිකාව, කැනඩාව කංසා වගා කරලා අපනයනය කරලා විදේශ විනිමය හොයනවා. අපි ගිනි තියනවා. කංසා නීතිගත කරන්න කියලා මම පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ඉදිරිපත් කරනවා.

ශ්‍රී ලංකාවේ තිබෙන්නෙ පිරිමින් බොන සංස්කෘතියක්. කාන්තාවන් බොන කොට වපර ඇහින් බලන්නේ. ඔබගේ බාර් විවෘත කිරීමේ යෝජනාව කාන්තාවන්ටද අදාළද?

දැන් කාන්තාවන් බොන්නෙ නැද්ද? කාන්තාවක් බොනවා කියන එක වැරදියි. නමුත් කාන්තාවකට පුළුවන් රෙස්ටුරන්ට්වල මත්පැන් විකුණන්න. මෙම තහනම ගෙනාවෙත් අධිරාජ්‍යවාදීන්. 1823 ආපු වික්ටෝරියා පනත තමයි අපේ රටේ තියෙන්නේ. ආඥා පනත් මත තමයි කාන්තාවකට මත්පැන් මිලදී ගන්න බැහැ කියන්නේ. ගුවන් යානාවල කාන්තාවන් මත්පැන් පිරිනමනවා. ඒවත් හොඳ නැහැනේ. මේවා මත විතරයි.

මුදල් අමාත්‍යවරයා ලෙස සිටි මංගල සමරවීරත් ඔබ ඉදිරිපත් කරන යෝජනා කරන විට සිංහල බෞද්ධ ජන සමාජයෙන් ඔහුට විරෝධතා එල්ල වුණා.

අපේ රටේ විරෝධයක් නැති දෙයක් කියන්න. උදාහරණයක් මම කියන්නම්. දක්ෂිණ අධිවේගී මාර්ගය හදන කොට කිව්වා රාජපක්ෂලාට ගෙදරින් ඇඹුල් තියල් ගේන්න පාරක් හදනවා කියලා. නමුත් පාර හැදුවා. දැන් ප්‍රතිලාභ ලබන්නේ ජනතාවයි. අවුරුදු කාලේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ ජනතාව ගිය හැටි දැක්කනේ. සාප කළ අයත් යනවා.

ඔබ පාර්ලිමේන්තුවේ කළ කතාව ආන්දෝලනාත්මකයි. කතාවෙන් පසු කවුරුවත් ප්‍රතිචාර දැක්වුවාද?

ඔව්. සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරයෙක් හිතා ගන්න බැරි විදිහේ ප්‍රතිචාරයක් දැක්වුවා. හරි පුදුමයි. එම මන්ත්‍රීවරයා කිව්වා ගණිකා වෘත්තියත් නීතිගත කරන්න ඉල්ලයි කියලා.

එහෙම ප්‍රකාශ කළේ බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා. එම ප්‍රකාශය ගැන ඔබගේ අදහස මොකක්ද?

බුද්ධික පතිරණ මන්ත්‍රීතුමා ගැන හරිම කනගාටුයි. හැම දෙයක්ම මෙම ලිංගික අවයව මත පදනම්ව කතා කරන්න එපා. හැම දෙයටම එය අවශ්‍ය නැහැ. එම මන්ත්‍රීතුමාට එය නිධානයක්ද කියලා මම දන්නේ නැහැ. කාන්තාවකට කළ අගෞරවයක් ලෙසයි මම දකින්නේ. තායිලන්තයේ බෞද්ධ රටක් වුණත් ගණිකා වෘත්තිය නීති ගත කරලා තියෙන්නේ. ලංකාවේ සියලු දේම එපා. මම කියන්නේ නැහැ ගණිකා වෘත්තිය නීති ගත කරන්න ඕනි කියලා. නමුත් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ දී තීන්දුවක් ලබා දී තිබෙනවා. රැකියවක් ලෙස කරනවා නම් නඩු දාන්න බැහැ. මම විසි වන සංශෝධනයට සහාය දැක්වූ වෙලාවෙත් ඔය චෝදනාව එල්ල කළා. ඔය මන්ත්‍රීතුමා කරලා තියෙන්නේ පාර්ලිමේන්තුවේ ප්‍රශ්නපත්‍ර අහන එක විතරයි.

පාර්ලිමේන්තුවේ බදාදා සිදු වූ ගැටුම ගැන මන්ත්‍රීවරියක ලෙස ඔබගේ අදහස කුමක්ද?

කලකිරීමට පත් වුණා. මට ඔළුව කැක්කුමක් හැදුනා බ්‍රහස්පතින්දා හවස් වෙනකම් තිබුණා. මන්ත්‍රීවරු කතා කළ භාෂාව, උත්තරීතර පාර්ලිමේන්තුව තුළ හැසිරුණු ආකාරය මම අනුමත කරන්නේ නැහැ. මේ රටට මොකක්ද වෙන්නේ. වෙනසක් ඇති කළ යුතුයි. වෙනසක් කරන්න මම වගේ තව දහයක්වත් පාර්ලිමේන්තුවේ සිටිය යුතුයි. රට හදන්න.

ඔය ගැටුම ඇති වුණේ ඔබ මන්ත්‍රී ධුරයට පත් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ගේ ක්‍රියා කලාපය නිසානේ?

මන්ත්‍රීවරුන් 54ක් පාලනය කරන්න බැරි සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා රටක් පාලනය කරන්නේ කොහොමද? ඇත්ත එයයි.

පාර්ලිමේන්තුවේ ඔබගේ අදහස් දැක්වීමෙන් පසු ඔබට ජනපති හා අගමැති කතා කළාද?

නැහැ. නමුත් මගේ යෝජනාව ගැන ජනපතිට අගමැතිට හොඳට තේරෙනවා. ජනපතිත් විදේශීය රටක ජීවත් වුණ නිසා කළ යුතු වෙනස්කම් එතුමාත් දන්නවා.

පාන්දර එක වෙනකම් බාර් විවෘත කිරීමේ යෝජනාව ගැන ඔබේ ස්වාමිපුරුෂයා විරෝධයක් එල්ල කළාද?

නැහැ. එයා හිතන්නෙත් මම හිතන විදිහටයි. අපි දෙන්නට ජීවත් වෙන්න අඩුවක් නැහැ. අපි දෙන්නම හිතන්නේ රට දියුණු කරන්නයි.

අපේ රටේ අය විදේශීය රටවලට විනෝද වෙන්න යන්නේ ලංකාවේ එවැනි වැඩපිළිවෙළක් නැති නිසාද?

අපේ රටේ විනෝද වෙන්න තියෙන ස්ථාන මදි. අපේ රටේ අය විදේශීය රටවලට ගිහින් රාත්‍රී දහයෙන් පස්සෙ හෝටලයෙ නිදා ගන්නේ නැහැ කවුරුවත්. මම දන්නවා. සියලු දෙනාම ඉන්නේ එළියේ. මේ කරන්නේ රටක මිනිස්සු මුළා කිරීමක්. බොරුවෙන් ජීවත් වෙන්නේ. බොරුවට රැවටෙන්න එපා. සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න පුළුවන් හොඳ යෝජනා මගේ ළඟ තියෙනවා.

‘පෝර්ට් සිටි’ ව්‍යාපෘතිය හොඳද නරකද?

ඉතාමත් හොඳ ව්‍යාපෘතියක්. විදේශ විනිමය හොයා ගන්න පුළුවන් ව්‍යාපෘතියක් ලෙස මම දකිනවා. ආයෝජකයන් ලංකාවට එන්න ඕනි. රැකියා බිහි වෙනවා. දියුණු රටවල මෙවැනි ව්‍යාපෘති තියෙනවා.

කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ සූදු පනත, සුරා බදු පනත අදාළ නොවන බව කියවෙනවා. ඔබ පාර්ලිමේන්තුවේදී කළ යෝජනාව රජය පැත්තෙන් මුට්ටිය දාලා බැලීමක්ද?

මුට්ටිය දාන්න දෙයක් නැහැ. මම කළ යෝජනාව කොළඹ වරාය නගර ව්‍යාපෘතියටත් අදාළයි. අපේ රටට ආදායම එන්නේ රාත්‍රී ආර්ථිකය දියුණු කිරීමෙන් පමණයි. කඩ සාප්පු රාත්‍රී එළි වෙනකම් විවෘත කළ යුතුයි. අපේ ආකල්ප වෙනස් විය යුතුයි. බයට රටවල් හදන්න බැහැ.

රට දියුණු කිරීමට මැදියම් රාත්‍රී වන තුරු බාර් ඇර කංසා වගාව නීතිගත කළ යුතු බව සමගි ජනබලවේගයෙන් පත් කළ මන්ත්‍රීනි ඩයනා ගමගේ කළ කතාව මුළු රටේම ආන්දෝලනයට ලක් විය. සමගි ජනබලවේගයෙන් පත් වුවත් ඇය දැන් සිටින්නේ ආණ්ඩුවට සහාය දෙමිනි. මේ ඒ ගැන ඇය සති අග අරුණට කී කතාවයි.

උදයජීව ඒකනායක

ඡායාරූප ක්‍රිෂාන් කාරියවසම්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
14
අවුල් වගේ !
1
හරි හිනා !
2
හම්මෝ !
2
මාර දුකයි !
2
කුජීතයි !
2
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

“පරණ මොරිස් මයිනරයකට අලුත් මූණක් තිබ්බා වගේ”- කිංස්ලි රත්නායක කතාවේ සැඟවුණු රහසක්

ජනපති මාධ්‍ය ප්‍රකාශක ලෙස පත්වීමක් ලද සිරස මාධ්‍යවේදී කිංස්ලි රත්නායක මහතා එම තීරණය ගැනීමට...

කිංස්ලිගෙන් පසු “The Voice” තරඟාවලියට එන කවුරුත් දන්න නිවේදකයා (VIDEO)

පසුගියදා සමාජ මාධ්‍යවල ප්‍රධාන මාතෘකාව වූයේ කිංස්ලි රත්නායක ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක තනතුර හිමි වීම...

නාමල් රාජපක්ෂගේ ජිවිතයේ ශක්තිමත් කාන්තාවන් තිදෙනා

ඊයේ දිනට යෙදුන ලෝක අම්මාවරුන්ගේ දිනය වෙනුවෙන් නාමල් රාජපක්ෂ සිය සමාජ මාධ්‍ය ගිණුමකට තම...

බුකිය කළඹන පියුමි, හදිසියේම සංවේදී වූ හේතුව

බුකියේ නිතරම කතාබහට ලක්වෙන චරිතයක් තමයි පියුමි හංසමාලි කියන්නේ. නිරූපණ ශිල්පිනියක් ලෙස ජනප්‍රියත්වයට පත්...

උන්වහන්සේගේ තියෙන හොඳ දේවල් පෙන්නන්න තමයි මට ඕනෑ වුණේ – බොරැල්ලේ සිරිසුමන ගැන ගයාත්‍රිගේ අදහස

කලාවට ලැදි කාටවත් ගයත්‍රි ඩයස් ගැන අමුතුවෙන් හඳුන්වලා දෙන්න ඕනෑ නැහැ. එදා වගේම අදටත්...

ඉන්දියාවේ හිර වෙලා ඉන්න ලංකීය නිළි ශාශ්වි බාලා

ශාශ්වී බාලා වූ සුභාෂිණි සුබ්‍රමනියම්ගේ එකම අරමුණ බලාපොරොත්තුව වෙන්නේ සිය රංගන කුසලතාවන් ඔප්නංවමින් තමන්ගේ...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x