රටට බිලියන ගණනින් මුදල් අහිමි කරන නීතිවිරෝධී සහ ජාවාරම්කාර දුම්වැටි

වසර 2022 සඳහා ඉදිරිපත් කෙරෙන අයවැයට අදාළ විසර්ජන පනත් කෙටුම්පත මේ වනවිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව අයවැය ලේඛනය ලබන නොවැම්බර් 12 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටද මේ වනවිට දින නියම වී අවසන්ය.

ඉදිරි වසර සඳහා ආණ්ඩුවේ ආදායම් වියදම් පිළිබඳ සවිස්තරව රටට එදිනට දැක බලාගන්නට සැමට අවස්ථාව උදාවනු ඇත.

වසර දෙකකට ආසන්න කාලයක් පවත්නා කොරෝනා අභියෝගය හමුවේ මෙවර අයවැය ද බෙහෙවින්ම අභියෝගකාරී බව අමුතුවෙන් කිවයුතු නැත.

ආණ්ඩුවේ ආදායම් අඩු වී වියදම් බෙහෙවින් ඉහළ ගොස් ඇති අවධියක ආදායම් පාර්ශ්වය වැඩිකර ගැනීමට ආණ්ඩුව කටයුතු කරනු ඇතැයි අමුතුවෙන්ම සඳහන් කළ යුත්තක් ද නොවේ.

එහෙත් ආණ්ඩුවේ ආදායම් වර්ධනය කරගත යුත්තේ මෙතෙක් පැවැති ආදායම් මාර්ග මතම තව තවත් පීඩනයක් ඇති කරමින් නොවේ.

නව ආදායම් මාර්ග කෙරෙහි අවධානය යොමු කරමිනි. සැමදා රටට, ජාතික ආර්ථිකයට ආදායම් උත්පාදනය කරමින් රටේ සංවර්ධනයට අඛණ්ඩ දායකත්වය සපයන ක්ෂේත්‍ර සුරක්ෂිත කර ගන්නා අතර ජාතික ආර්ථිකයට දායකත්වය ලබා නොදෙන, ආදායම් වසන් කරන අංශ සොයා ඒවා සම්බන්ධව නීතිමය පසුබිමක පිහිටා කටයුතු කිරීමට අයවැයෙන් ප්‍රතිපාදන සලසන්නේ නම් නීතිමය රාමුවට අනුගතව කටයුතු කෙරෙන අංශවලට එය මහත් පිටුබලයක් වනු ඇත.

අයවැයක් ළඟ එන විට බඩු මිල අඩු වැඩි වීම සම්බන්ධයෙන් පවතින්නේ කුතුහලයකි. ඒ වගේම ආණ්ඩුව ආදායම් වර්ධනය කර ගැනීමට කුමන ක්ෂේත්‍රයක අලුතෙන් බදු පනවන්නේද, පවත්නා බදු කිනම් ප්‍රතිශතයකින් වැඩි කරන්නේද යන්න සම්බන්ධයෙන් ආර්ථිකයට ඍජුව දායකත්වය සපයන අංශ දැඩි විමසිල්ලෙන් පසුවෙති.

මේ කුමන තත්ත්වයක් යටතේ වුවත් ආණ්ඩුවේ ප්‍රධාන ආදායම් මාර්ගය වන්නේ බදුය. ඒ බදු ඍජු බදු හා වක්‍ර බදු වශයෙන් කොටස් දෙකකි.

එයින් වැඩි කොටස වක්‍ර බදුය. එනම් භාණ්ඩ හා සේවා මත පැනවෙන බදුය. බොහෝ අයවැය ලේඛනවලදී දුම්කොළ සහ මද්‍යසාර නිෂ්පාදන මත පැනවෙන බදු වැඩි කිරීම මේ දක්වා සිදුව ඇති ක්‍රියාවලියකි. මේ බදු පැනවෙන්නේ නීතිමය රාමුවට අනුගතව කෙරෙන දුම්කොළ සහ මද්‍යසාර නිෂ්පාදන මත පමණක් වීම විශේෂත්වයකි.

නීතිමය නොවන දුම්කොළ සහ මද්‍යසාර නිෂ්පාදනවලින් ආණ්ඩුවට ආදායම් නොලැබෙන බව එයින් තහවුරු වන්නකි.
ලෝකයේ බොහෝ රටවල මෙන්ම ලංකාවේද දුම්කොළ නිෂ්පාදන එනම් දුම්වැටි නිෂ්පාදනය සහ අලෙවිය රජයට බදු ආදායම් ලබාදෙන්නා වූ නීත්‍යානුකූල කර්මාන්තයක් බවට පත්ව තිබේ. මෙහි හොඳ නරක වෙනම විමසිය යුත්තකි.

දුම්පානයේ ආදීනව කෙබඳු දැයි සමාජය හමුවේ කොතෙක් අනාවරණය කර තිබුණද ඒ ඒ පුද්ගලයාගේ අභිමතය පරිදි නීත්‍යානුකූල නිෂ්පාදන මිලදී ගැනීමට, ඒවා භාවිතයට තහනමක් නැත.

මෙහිදී විමසා බැලෙන්නේ ඒ සම්බන්ධයෙන් නොවේ. නීතිමය කර්මාන්තයක් වශයෙන් ජාතික ආර්ථිකයට ඉන් ලැබෙන දායකත්වය සහ ඊට පරිබාහිරව සිදුවන ජාවාරම්කාර හොර දුම්වැටි හේතුවෙන් රටට අහිමිව යන මහා ධනස්කන්ධය සම්බන්ධයෙනි.

මේ නීති විරෝධී සහ ජාවාරම්කාර දුම්වැටි නිෂ්පාදන ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළ ද ආක්‍රමණය කරමින් සිටින්නේ කලක පටන්ය. මේ නිසා මේ වනවිට රටට අහිමි වී ඇති ආදායම රුපියල් බිලියන සියයකට අධික ගණනකි (2016-2020). එමෙන්ම 2015 සහ 2016 වසරවල සියයට 50 කට අධික ගණනකින් පමණ දුම්වැටි මිල ගණන් විශාල වශයෙන් වැඩිවීම නීති විරෝධී දුම්වැටි ජාවාරම වර්ධනයට දුන් රුකුලකි.

ඉන්පසු වසර කීපයක මෙකී වෙළෙඳපොළ හැසිරී ඇති ආකාරය අවබෝධ කර ගැනීමෙන් මේ කරුණ හොඳින්ම තහවුරු කර ගන්නට පුළුවන.

2015 සහ 2019 අතර කාලයේ නීත්‍යානුකූල දුම්වැටි මිල සියයට සියයකින් ඉහළ ගොස් ඇති අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් නීත්‍යානුකූල දුම්වැටි ධාරිතාව දැඩි ලෙස පහත වැටුණි. එමෙන්ම, 2015 දී දුම්වැටි මිලියන 60 ක් වූ නීති විරෝධී දුම්වැටි වෙළඳපොළ 2020 වනවිට දුම්වැටි මිලියන 740 ක් දක්වා වර්ධනය වී තිබේ.

මේ ආකාරයට නීති විරෝධී ජාවාරම්කාර දුම්වැටි වෙළෙඳපොළේ වර්ධනය වීම කර්මාන්තයක පැවැත්මට මෙන්ම අනෙක් සෑම අංශයකින්ම පාහේ අහිතකරය.

එනිසා එහි පාලනයක් අත්‍යවශ්‍ය බව සක්සුදක් සේ පැහැදිලි කාරණාවකි.

ලංකාවට නීති විරෝධී ජාවාරම්කාර දුම්වැටි බොහෝ විට පැමිණෙන්නේ ඩුබායි, චීනය, වියට්නාමය, තුර්කි යනාදී රටවලිනි. එලෙස වසර 2015 දී මෙරට ගෙන්වා තිබූ නීති විරෝධී දුම්වැටි ගණන මිලියන 0.6 කි.

මෙම සංඛ්‍යාව 2019 වනවිට දුම්වැටි මිලියන 740 ක් දක්වා වර්ධනය වී තිබුණි. මේ හරහා ආණ්ඩුවට අයකර ගැනීමට හැකිව තිබූ බිලියන ගණනක් අහිමි වී තිබේ. ඒ වගේම අධික බදු පනවමින් නීතිමය රාමුවකට අනුගත වූ දුම්වැටි මිල ඉහළ දැමීම හේතුවෙන් 2015 දී බිලියන 3.9ක් වූ එහි ධාරිතාව 2020 වනවිට බිලියන 2.3 ක් දක්වා අඩු වී තිබුණි.

එනම් ආණ්ඩුවට නීත්‍යනුකූලව ලබාගත හැකිව තිබූ ආදායමකින් සැලකිය යුතු කොටසක් අහිමි වී යාමකි. එසේ නම් අවධානය යොමුවිය යුත්තේ දැනටමත් ආදායම් උත්පාදනය කෙරෙන අංශ තව තවත් පීඩාවට පත් කිරීමට නොව මෙතෙක් රාජ්‍ය ආදායම් උත්පාදනයට දායක නොවන අංශ නීතිමය රාමුවට කොටුකර නව ආදායම් උපයා ගැනීමටය.
නීති විරෝධී දුම්වැටි මත බදු අය කිරීමේ ක්‍රමවේදයක් නොමැත.

එහෙත් එවැනි නීති විරෝධී දුම්වැටි රට තුළට ගලා එන ක්‍රමවේද සොයා ඒවා නැවැත්වීමට කටයුතු කළ යුතුය. හොර දුම්වැටි ජාවාරමට විරුද්ධව නීතිය බලාත්මක කිරීම අවශ්‍යය. එබැවින් එය බලාත්මක කිරීමේ උත්සාහයන්හි දැනට පවත්නා හිඟකම ගැන කතා කළ යුතුය.

මේ කාරණා සම්බන්ධයෙන් කෙරී ඇති පර්යේෂණ වාර්තා දත්ත එවැනි හිඟකම් ඇති බවට හොඳින්ම තහවුරු කර තිබේ. එම දත්ත වාර්තා පෙන්නා දෙන ආකාරයට නීති විරෝධී ජාවාරම්කාර දුම්වැටි අලෙවිය මත බදු පැහැර හැරීමෙන් 2020 වසරේදී ආණ්ඩුවට රුපියල් බිලියන 38.5 ක පමණ මුදලක් අහිමි වන බවට ඍෂඹ වාර්තාවෙන් ඇස්තමේන්තු කර තිබුණි.

ඒ වගේම නීත්‍යානුකූල දුම්වැටි මත බදු පැනවීමෙන් 2020 වසරේදී ආණ්ඩුව රුපියල් බිලියන 115 කට වැඩි මුදලක් උපයාගෙන තිබුණි. නීති විරෝධී හොර දුම්වැටි රට තුළට ඇතුළුවීම වැලැක්වීමෙන් සහ ජාවාරම්කරුවන්ට දැඩි නීතිමය දඬුවම් ලබාදීමෙන් හොර දුම්වැටි වෙළඳපොළෙන් ඉවත් කිරීම හරහා ආණ්ඩුවට දැනටමත් අහිමිවෙමින් පවතින සැලකිය යුතු බදු ආදායමක් උපයා ගත හැකි බව ද පෙනෙන්නට තිබෙන කරුණකි.

කුමන ක්ෂේත්‍රයකට හෝ භාණ්ඩයක් මත අධික ලෙස බදු පනවන්නේ නම් එකී භාණ්ඩයේ මිල ඉහළ යාම හේතුවෙන් අලෙවියේ අඩුවීමක් සිදුවනු ඇත. අතීතයේ නීතිමය දුම්කොළ කර්මාන්තය තුළ අධික ලෙස බදු වැඩිකිරීම හේතුවෙන් කර්මාන්තයෙන් රජයේ ආදායම පහත වැටී ඇති අතර, බදු වැඩි කිරීම සෑමවිටම ආදායමේ වැඩිවීමක් සිදු නොකරන බවට සාක්ෂියකි.
නීති විරෝධී දුම්වැටිවලින් ආර්ථිකයට වන හානිය මෙන්ම නීත්‍යානුකූල දුම්වැටි කර්මාන්තයෙන් ආර්ථිකයට කිනම් බලපෑමක් සිදුව තිබේද යන්නත් අවධානයට ගත යුතුය. දුම්කොළ කර්මාන්තයෙන් 2019 වසරේදී මෙරට දළ ජාතික නිෂ්පාදිතයට ඍජුව ලැබී ඇති දායකත්වය රුපියල් බිලියන 24.8 කි. වක්‍ර ආකාරයෙන් තවත් රුපියල් බිලියන 4.6 ක දායකත්වයක් ලැබී තිබේ. එමෙන්ම තවත් රුපියල් බිලියන 3.6 ක් උත්පාදනය කර තිබේ.

ඒ අනුව රුපියල් බිලියන 33ක දායකත්වයක් දළ දේශීය නිෂ්පාදිතයට ලැබී තිබේ. 2019 දී මුළු බදු දායකත්වය රුපියල් බිලියන 121 කි.

ඒ වගේම මේ ක්ෂේත්‍රයෙන් රැකියා නිෂ්පාදනයක් ද සිදුව ඇති බව අමතක නොකළ යුතුය. දුම්කොළ වගාවේ නිරත ගොවීන්ගේ සංඛ්‍යාව 23,450 කි. බෙදාහැරීම් සහ සිල්ලර වෙළඳාමේ නිරත පිරිස 16,750 කි. මේ ආකාරයට මේ කර්මාන්තය සහ ඒ ආශ්‍රිතව 46,780 කට පමණ ජීවනෝපාය සැලසී ඇති බව සංඛ්‍යා දත්ත අනාවරණය කර තිබේ.

මෙරට නිෂ්පාදනය කෙරෙන නීත්‍යානුකූල දුම්වැටි කර්මාන්තයට අවශ්‍ය දුම්කොළ සම්පූර්ණයෙන්ම ලබාගන්නේ ඉහත සඳහන් කළ ග්‍රාමීය ගොවි ජනතාවගෙනි. ග්‍රාමීය ආර්ථිකයට සහ රජයේ බදු ආදායමට නීති විරෝධී දුම්වැටි දක්වන දායකත්වය බිංදුවක් වෙද්දී කොරෝනා වසංගතය මැද්දේ රට වසා තිබූ පරිසරයක ද නීත්‍යානුකූල දුම්වැටි කර්මාන්තයෙන් 2020 වසරේදී රාජ්‍ය ආදායමට රුපියල් බිලියන 115කට අධික දායකත්වයක් ලබාදී තිබේ.

2021 ගෝලීය දුම්කොළ අර්බුදය පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවට අනුව නිෂ්පාදන, මිලදී ගැනීමේ ශක්තියේ සමානතාව අනුව ශ්‍රී ලංකාවේ දුම්වැටි මිල ලොව අධිකම මිලක් වේ. ලංකාවේ දුම්වැටි මිල ඉහළ ගොස් ඇත්තේ අධික බදු නිසාය. ලංකාවේ නීතිමය රාමුවේ නිපදවෙන දුම්වැටියක් රුපියල් 65ක් පමණ වුවද නීති විරෝධී දුම්වැටියක මිල රුපියල් 10ත් 45ත් අතර පහළ අගයක පවතී. මේ හරහා ඔවුහු අධික ලාබ උපයමින් සිටිති. ඒ කිසිදු බදු ගෙවීමකට යටත් නොවන නිසාය.

එනිසා නීතිගත කර්මාන්තය මත තව තවත් බදු පනවමින් දහස් සංඛ්‍යාත පිරිසකගේ ජීවනෝපාය සලසන කර්මාන්තයක් තව තවත් අසීරුතාවට පත් නොවන ආකාරයට කටයුතු සිදුවීම වඩා ප්‍රායෝගිකය.

නීති විරෝධී ජාවාරම්කාර අංශ මැඩපැවැත්වීම, ලබාගත යුතු ආදායම් ලබා ගැනීමට බලධාරීන් අවධානය යොමු කළ යුතු කාලය එළැඹ තිබේ. නැතිනම් මේ ජාවාරම් ජාතික ආරක්ෂාවට පවා තර්ජනයක් විය හැකිය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
අවුල් වගේ !
0
හරි හිනා !
1
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
2

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්