Central Bank Central Bank

රටම හඬවා සමුගත් ජනප්‍රිය ගායන ශිල්පී ලක්ෂ්මන් විජේසේකර

ගල්කිස්සේ කලාපුරයට එදා මා ගියේ ලක්ෂ්මන් විජේසේකර නමැති ගායන ශිල්පියා හොයාගෙනය. මා සමඟ සිටියේ ප්‍රවීණ ඡායාරූප ශිල්පී ඇලෙක්සැන්ඩර් බාලසූරියයි. අමාරුවෙන් පාර සොයාගෙන ඔහුගේ නිවෙස අද්දරට ගිය පසු, ගේට්ටුවේ දොර විවෘත කළ ලක්ෂ්මන්, ‘‘ආ කොහොමද කාලෙකට පස්සේ…’’ යැයි ඇසුවේ අපේ ඇබාගෙනි.

සාදරයෙන් පිළිගෙන අප නිවෙසට කැඳවාගෙන ගිය ඔහු, අපේ ඇබා සමඟ නොනවනිත කතාබහක යෙදෙන හැටි මම අසා සිටියෙමි. 
‘‘කවදාවත් වයසට නොයන තාරුණ්‍යයේ ගායකයා යන විරුද නාමයක් ලක්ෂ්මන්ට බැඳී තිබුණේ ඇයිදැයි ඔහුගේ මුහුණ බලනවිටම වැටහිණි. කොණ්ඩයද තිබුණේ කළුපාටටය. 

ඉතින් මොනවද අපි කතාකරන්නෙ? 
ඉනික්බිතිව ඔහු මදෙස බලා ඇසීය. ‘‘චන්ද්‍රගෙ දණිස් අමාරුවක් ඇවිත්, ඇඳේමයි ඉන්නෙ. මේ දවස්වල උයන්නෙත් මම..’’
කී ඔහු නැගිට ගෙතුළට ගියේ චන්ද්‍රා කළුආරච්චිට යමක් අවශ්‍යදැයි දැනගන්නට බව මට වැටහිණි. 
ඔහු යළි අවේ සිසිල් බීම ද රැගෙනය.

ලක්ෂ්මන් විජේසේකර ගායකයකු ලෙස වඩාත් ජනප්‍රියව සිටියත්, ඔහු නළුවකුද, නිවේදකයකුද වූයේය. එසේම සංගීත ගුරුවරයකු ලෙස, අලුත් පරපුරක නැණ නුවණ පෑදුවේය. 
‘‘මම සිංදු කියන්න ඒ තරම් කැමැත්තක් නෑ…’’
ඒ කතාබහේදී ලක්ෂ්මන් කීවේය. 

‘‘සඳ කිණිති නැමී, ඔබ මට තරුවකි, මේ ප්‍රේම සීමා මාලකේ තනිවී, දැල්වූ පහන් දැල්වී තිබේවා…’’ වැනි, ඔහු ගැයූ බොහෝ ගී ඒ වනවිටත් ජනප්‍රියව පැවතියේය. දශක කිහිපයක් පැරැණි වුවත් ජනප්‍රියත්වයෙන් බිංදුවක්වත් ගිලිහී නොතිබිණී. තම ගීවල ජනප්‍රියත්වය එසේ වූ කල, ගී ගයන්නට අකැමැති යැයි ගායකයකු කියයිද? ඇත්තෙන්ම ගී ගයන්නට අකමැති ගායකයකු ඔය මට හමුවුණාමය. 

ඉතින් මම එදා ලියූ ලිපියේ සිරස්තලය යොදා ගත්තේද ඒ කතාවමය. 
එහෙත් ඊට වසරකට පමණ පසු, මා ඇමතූ ලක්ෂ්මන් විජේසේකර ඒකපුද්ගල ගී ප්‍රසංගයක් පවත්වන බව පැවසුවේය.

ගී ගයන්න අකැමති ගායකයාගෙන් ඒක පුද්ගල ගී ප්‍රසංගයක්. 
මම විහිලුවට මෙන් ඇසීමි. 

ඔව් මල්ලී, මේ අපේ දුවලාගෙන් බේරෙන්න බැරි නිසා කරන වැඩක්. 
ඔහු හිනැහෙමින් කීවේය. 

කොළඹ නෙළුම් පොකුණේදී පැවැති ‘‘සඳ කිණිති නැමී’’ නම්වූ ඒ ප්‍රසංගය ‘‘හවුස් ෆුල්’’ ප්‍රසංගයක් විය. ගීත රසිකයාට වෙනස්ම හැඩයක සංගීත ආශ්වාදයක් ලබාදුන් එම ප්‍රසංගයේදී ලකී අයියා ගැයූ ගී මේ මොහොතේත් දෙසවන නින්නාද දෙයි.

‘‘ඔබ මට තරුවකි, ගණදුරු රැයකදී
බැස යන්නේ නැති සසුර පුරා 

ලක්ෂ්මන්, නිර්මලා රණතුංග සමඟ ගැයූ මේ යුග ගීතය කොයිතරම් වාර ගණනක් මසිත පිනවා තිබුණත් මසිත නැවුම් ආශ්වාදයකින් පිරිණි. 
මේ ප්‍රේම සීමා මාලකේ තනිවී
නෙතු කැන් සලා

ලතැවුල් නිවා
කඳුලින් සිනාසෙමු
ඔහු යළි නිර්මලා සමඟම වේදිකාව සැරසීය. 
දෑත දෙපාලන ගිගිරි සරින් 
මා කැඳවා නොතැවෙන් 
සිව් සිය ගව්දුර ඇදෙන ලෙසින් 
සෝක සුසුම් නොහෙලන් 
ඔහුගේ හඬ ආදරණීයය.

ඇත්ත වශයෙන්ම රසිකයා දැහැන්ගත කරන්නට සමත්ය. 
ඉතිං මම දැහැන්ගත වීමි. අදටත් ඒ ගීත සියල්ලට මට සිතින් පිවිසෙන්නට පුළුවනි. 

ලක්ෂ්මන් විජේසේකර කලා ලෝකයට පිවිසෙන්නේ, ශ්‍රී ලංකා සංගීත විද්‍යාලය හරහාය. රෝහණ වීරසිංහ, ආනන්ද විජේසිරි, බන්දුල විජේවීර වැනි සංගීත ශිෂ්‍යයන් හා සමකාලීනවය. එබැවින් ඒ අතීතය ගැන ආවර්ජනය කරන්නැයි මම ආචාර්ය රෝහණ වීරසිංහයන්ට ඇරියුම් කළෙමි. සිය මිතුරා නික්ම ගිය මොහොතක, අතිශය සංවේදීව සිටියත් රෝහණ අයියා ඒ අතීතය සිහිපත් කර දුන්නේය. 

‘‘ඇත්තටම මේ නැතිවුණේ මගේ සංසාරික කල්‍යාණ මිත්‍රයා. 1969 අවුරුද්දෙදි රජයේ සංගීත. විද්‍යාලෙට බැඳෙන්න ආපු දවසෙ ලකී මා එක්ක හිනාවෙලා කතාකරපු දවසෙ ඉඳලා අසනීප වෙනතුරුම හිටියෙ මගේ ළඟින්, කිව්වොත් ඒක නිවැරැදියි. අපි දෙන්නගෙ ජීවිතේ හැම සිදුවීමක්ම වගේ සිදුවුණේ එකම විදිහට. රජයේ සංගීත විද්‍යාලෙට බැඳෙන්න සීයක් විතර ඇවිත් හිටියා. ඒත් ඒකට ඇතුළු කරගත්තෙ සුළු පිරිසයි. ඒ සුළු පිරිසෙ මමත්, ලකීත් දෙන්නම හිටියා. සංගීත විද්‍යාලෙ ශිෂ්‍ය සංගමයෙ මම සභාපති වෙද්දී ලකී උප සභාපති.

ඉන් පස්සෙ අපි ගුවන් විදුලියට ගීත වැඩසටහනක් ඉදිරිපත් කළේ එකට. වික්ටර් රත්නායක අයියගෙ ‘‘ස’’ ප්‍රසංගයෙ අත්වැල් ගායනා කරන්න ගියේ එකට. වැඩිදුර ඉගෙන ගන්න ඉන්දියාවට ගියේ ඒකට. අපි දෙන්නට ගුරුපත්වීම් ලැබුණෙත් එකට. හැබැයි මම නුවරඑළියට යද්දී, ලකී ගියේ අනුරාධපුරේට. නමුත් ඔය දවස්වල අපිට කොළඹ වැඩ රාශියක් තිබුණා. ඒ නිසා ඇමැති ලක්ෂ්මන් ජයකොඩි හරහා අපි කොළඹ අමාත්‍යාංශයට මාරුවීමක් හදාගත්තා. ඉන් පස්සෙ අපි දෙන්නා පාඨමාලා හදන වැඩවලට සම්බන්ධ වුණා. 

කලාභූමි නමින් සංගීත විද්‍යාලයක් පටන් ගත්තෙත් අපි දෙන්නා. ආනන්ද වීරසිරිත් ඒකට සහාය දුන්නා. ලකී රූපවාහිනියෙ ගායනා වැඩසටහන ඉදිරිපත් කළා. හැබැයි ලකීට යන්න බැරිවුණු දවස් තිබ්බොත් එදාට ඒ වැඩේට ගියේ මම. අපි දෙන්නම, දයානන්ද, ගුණවර්ධනයන්ගෙ ‘‘බක්මහ අකුණු’’ නාට්‍යයෙ සංගීතය සපයන්න සුදර්ශීයට ගියා. ඔය කාලෙදි ලකී, චන්ද්‍රා කළුආරච්චිට ආදරේ කරන්න පටන් ගන්නවා. ඒත් මේ සම්බන්දෙට දෙපැත්තෙන්ම විරෝධතා ආවා. අන්තිමේදී ලකී චන්ද්‍රා තනි කැමැත්තට කසාද බඳිනවා. මං කසාද බැන්ඳා කියලා ඉස්සෙල්ලම ලකී දැනුම් දුන්නොත් මට.’’ 

චන්ද්‍රා කළු ආරච්චි නිළියකි. ලක්ෂ්මන් විජේසේකර ගායකයෙකි. නමුත් ඔවුන්ගේ යුග දිවිය හුදු රංගනයක් වූයේ නැත. ඇත්තටම එය කන්කළු යුග ගීතයක් බඳුවිය. 

එපමණක් නොවේ. ලක්ෂ්මන් නළුවකු වූ යුගයක්ද විය. කුසුම් දිසානායක ලියූ ‘‘වීරෝදාන’’ ලකී රඟපෑ පළමුවන වේදිකා නාට්‍යය විය. එහි ඔහු රඟපෑවේ සිද්ධාර්ථ චරිතයයි. 
එහෙත් රටම දැනගත් ඔහුගේ රංගනය ඇතුළත් වූයේ ඩී.බී. නිහාල්සිංහ අධ්‍යක්‍ෂණය කළ ‘‘රේඛා’’ ටෙලිනාට්‍යයේය. චන්ද්‍රලේඛා සමඟ ප්‍රධාන චරිතය රඟපෑ ලක්ෂ්මන් එහි වූ ගීතයද ගායනා කළේය. 
‘‘දැල්වූ පහන් දැල්වී තිබේවා 
සුන්වූ පැතුම් දලුලා වැඩේවා
ළංවූ ලවන් හමුවී පිපේවා 
වෙන්වූ නුවන් කඳුළින් බිඳේවා…’’
ඊළඟට ඔහු රඟපෑවේ ‘‘ගංගා සහ නිශ්ශාංක’’ ටෙලිනාට්‍යයේය. එහි නිශ්ශංක වූ ලකීගේ ගංගා වූයේ චම්පා ශ්‍රියානිය. 
‘‘සිනා පිපෙනා මේ වසන්තය
නෙලා දෝතින් මලක් සේ 
සිනාසී
ඔබයි ගෙන ආවේ…’’
එහි වූ ගීතයද සමිත මුදුන්කොටුව සමඟ ගායනා කළේ ලක්ෂ්මන්ය. 

ලක්ෂ්මන් එපමණකින් පුංචි තීරයෙන් බැස ගියේ නැත. ඔහු ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂණයටද හිත යොමු කළේය. ‘‘විලම්භීත’’ ඔහු අධ්‍යක්‍ෂණය කළේ රසික ප්‍රසාදයද දිනා ගනිමිනි. ලක්ෂ්මන් විජේසේකර ටෙලිනාට්‍ය ගණනාවක සංගීතයද අධ්‍යක්‍ෂණ කළේ යැයි කිවයුත්තක් නොවේ. සංගීතඥයකු වූ ඔහු එසේ නොකළානම් එයයි පුදුමය. 
එහෙත් පසුකාලීනව ඔහු රංගනයෙන් දුරස් විය. ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂණයෙන්ද දුරස් විය. ඔහු අත් නොහැරියේම, ඔහු අකමැති වූ ගීත ගායනා කිරීමයි. 

මීට මාස හත අටකට කලින් ඔහු ප්‍රියානි එස්. විජේසිංහ ශිල්පිනිය සමඟද ගීතයක් ගායනා කළේය. 
‘‘සිත සිත පෑහී ගැලී
නෙතට නෙත යාවී ටවලී
සසර සුපුරුදු ලෙසද ඇන්ඳේ
ප්‍රේමයේ සිතුවම්…’’
මේ ගීතය සංගීතවත් කළේ ද ලක්ෂ්මන් විජේසේකරමය. ඒ ගීතය ලිව්වේ යමුනා මාලිනී පෙරේරාය. 
‘‘මම ලකී අයියාට මුලින්ම ලිව්වෙ සඳ කිණිති නැමී ගීතය. ඒ මගෙ දෙවැනි ගීතය. ගුවන් විදුලියෙ සරල ගීත වැඩසටහනකටයි මම මේ ගීය ලිව්වෙ… පුදුම විදිහට ඒ ගීතය ජනප්‍රිය වුණා.’’
යමුනා අතීතය සිහිපත් කළාය. 

ලක්ෂ්මන් ඔහුගේ එකම එක ඒක පුද්ගල ගී ප්‍රසංගය නම් කළේද සඳ කිණිති නැමී නමිනි.
‘‘සඳ කිණිති නැමී 
විල් දියට එබී 
සොයයි සේයාව සඳේ
ඔබෙ නෙතට එබී 
මගෙ නෙතද සදා 
සොයයි සේයාව මගේ…’’
මේ ද ප්‍රේමයේ සිතුවමකි. එහෙත් ඇගේ ප්‍රේමයේ සිතුවම් ගීතය ලක්ෂ්මන් ගැයූ අවසාන ගීතය යැයි සිතමි. 
මියුරු ගී වලින් ඔහු මැවූ ප්‍රේමයේ සිතුවම් අප්‍රමාණය. ඒ සියල්ල සදාතනික වටිනාකමකින් යුතුය. ඔහු නික්ම ගියේ ඒ සියල්ල අපට ඉතිරි කර තබාය.

එසේම ගුරුවරයා ලෙසත් නිර්මාණ ශිල්පියකු ලෙසත් ඔහු දැල්වූ පහන් බොහෝය. 
ඔහු හැමදාමත් කියූ ලෙසම දැල්වූ පහන් දැල්වී තිබේවා!
එහෙත්, 
ඔහු නිවී ගියේය. 
මේ තරම් ඉක්මණින් ඔහු නිවී නොගියානම් තවත් පහන් රැසක්ම දල්වා තබනු ඇත. 

ශාන්ත කුමාර විතාන

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
2
අවුල් වගේ !
2
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
26
මලපනිනව !
1
කුජීතයි !
0

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්