27 C
Colombo
Tuesday, December 7, 2021
Atlas Ad

රස්සාවට මීනි කපා පෝයදාට සිල් රකිනා ගල්ගමුවේ හේරත් මාමා

ශ‍්‍රීපති සූරියආරච්චි මහතාගේ මිනිය කැපීමට කටර්මන්ලා මගහැරියා.... එල්ලිලා මැරිල ඉන්න කෙනෙක් ඉන්නෙ කකුලෙ ඇඟිලි පොළව පැත්තට දික්කරගෙන

හේරත් මාමා පවසන්නේ මිනී කැපීමේදී තමන් සංවේදීම වන අවස්ථාව වන්නේ මිය ගිය කුඩා දරුවන් ඉදිරිපිටදී බවය. කොතරම් මිය ගිය සිරුරු කපා තිබුණද කුඩා දරුවකුගේ සිරුරක් කැපීමට ගන්නා සෑම මොහොතකම හේරත් මාමාගේ සිත අදටත් තිගැස්සෙන්නේය. ඒ තිගැස්ම බිය මුසු හැඟීමක් නොව සිරුරේ අභ්‍යන්තරයෙන් එන සිත කම්පාවට පත්කරන වේදනාකාරි රිදුමක්ය. මළ මිනී ඇසුරෙහි ජීවිතය ගෙවුණ ද බිය යන වචනය නම් හේරත් මාමාගේ ශබ්දකෝෂයට කෙදිනකවත් පැමිණ නැත. එහෙත් මේ  රැකියාවේදී එවැනි අභියෝගාත්මක දුෂ්කර අවස්ථාවලට නම් හේරත් මාමා ඕනෑ තරම් මුහුණ දී තිබේ. එවකට ආන්දෝලනාත්මක මරණයක් වූ ශ‍්‍රීපති සූරියආරච්චි මහතාගේ මරණයේදී හේරත් මාමා එවැනි අවස්ථාවකට මුහුණ දුන්නේය.

ශී‍්‍රපති සූරියආරච්චි මහතාගේ මාරාන්තික රිය අනතුර එකල දැඩි ආන්දෝලනාත්මක සිදුවීමක් විය. ඊට හේතුව එවකට පැවති රජය දැඩි ලෙස විවේචනය කළ දේශපාලකයන් අතර ශ‍්‍රීපති සූරියආරච්චි මහතා ඉදිරියෙන්ම සිටීමය. මේ රිය අනතුර සිදුවෙන විට හේරත් මාමා සේවය කළේ ගල්ගමුව මහ රෝහලට අනුයුක්තව ය. ශ‍්‍රීපති සූරියආරච්චි මහතා ඇතුළු පිරිස ගමන් කරමින් සිටි ජීප් රිය අනතුරකට ලක්වන්නේ මැදගමදීය. මේ අනතුරින් තිදෙනෙක් මිය ගොස් තිබූ අතර මරණ පරීක්ෂණය සිදු කිරීමට අධිකරණ වෛද්‍ය නිලධාරියාට කටර්මන් කෙනෙකුගේ සහාය අවශ්‍ය විය. එහෙත් ඒ අවස්ථාවේ එම රාජකාරිය කරගැනීමට සිටි කටර්මන්ලා කිහිප දෙනාම විවිධ හේතු දක්වා එය මගහැර තිබිණ. මේ නිසා සිරුර කැපීමේ රාජකාරියට ඒ රාත‍්‍රියේ කටර්මන් කෙනෙකු සොයාගැනීමට නොහැකි වීමෙන් වෛද්‍යවරු ද දැඩි අපහසුතාවයකට ලක් වී සිටියේය. නමුත් මොහොතකින් ඔවුන්ගේ මතකයට ආවේ ගල්ගමුවේ හේරත්ය. රාත‍්‍රි දහයට පමණ හේරත් මාමා හමුවට පැමිණි ගල්ගමුව රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා සිදුව ඇති අනතුර ගැන පවසා අවශ්‍යතාව කීවේය.

අපේ සර් මගෙන් ඇහුවා හේරත් මේක කරල දෙන්න පුළුවන්ද… මේ වෙලාවේ වෙන කව්රුවත් නෑ කියල. මට සර්ගෙ වචනය අහක දාන්න බෑ. ඒ නිසා මම හා මම කරල දෙන්නම් කිව්වා. ශ‍්‍රීපති මහත්තයා ආව වාහනේ වැදිල තියෙන්නෙ නුග ගහක. ඒ අනතුරින් වාහනේ ආව තුන්දෙනෙක් මැරිල තිබුණා. බොඩි ගෙනිහින් තිබුණෙ තඹුත්තේගමට. සර්ගෙ මිනියෙ තිබුණේ, ගහේ වැදිච්ච පාරට ඇට කෝටු ටික ඔක්කොම කැඩිල. ඒවා පෙණහලූවලට වැදිල. කොඳුඇට පෙළ පැත්ත වැදුණු පාරට කොඳුඇට පෙළ දෙකට කැඩිල කෑලි පෙණහලූවල හැම තැනම ඇනිල තිබ්බා. ඒ තුවාලවලින් ලේ ගිහිල්ලා ඒකෙන් තමා මැරිල තිබ්බෙ. ආරක්ෂක නිලධාරියාගෙ මූණ කෙලින්ම ගහේ වැදුණු පාර මොලේට වෙනකන් තුවාල වෙලා ඒකෙන් එයා මැරිල තිබුණා. තුන් දෙනා තුන් ආකාරයට මැරිල තියෙන්නෙ. ශරීරය ඇතුලෙ හැම අවයවයක්ම වෙන් වෙන්ව කපල අරන් බර මැනල පරීක්ෂා කළා. අනතුරින් වුණ තුවාල හැරෙන්න ශී‍්‍රපති සර්ගෙ අවයව මොනවත් සවුත්තු වෙලා තිබුණෙ නෑ.

හේරත් මාමාගේ ජීවිතයේදී ඉතා ආයාසයෙන් නිරත රාජකාරී අවස්ථා වන්නේ සියදිවි හානි කරගත් ගැබිනි මව්වරුන්ගේ සිරුරු සහ අධික රුධිරය ගැලීම නිසා මිය ගිය ගැබිනි මව්වරුන්ගේ සිරුරු පරීක්ෂණ සඳහා කැපීමට සිදුවීමය. එවැනි දුෂ්කර අවස්ථා ද මේ රැුකියාවේදී ඔහු මුහුණ දී ඇත. විශේෂයෙන් මිනී මැරුම් අවස්ථාවලදී හමුවන සිරුරු කපා පරීක්ෂණවලට සහය වීම කල්පනාවෙන් කළ යුතු බව හේරත් මාමා සඳහන් කරන්නේය.

‘සමහර මරණ හම්බවෙනවා ඒවා සියදිවි හානි කරගැනීම් නෙවෙයි. මරල සියදිවි හානි කරගැනීමක් කියල පෙන්නන්න උත්සහ කරපු ඒවා. ගොඩක් දුරට කෙනෙක්ව මරල එල්ලිලා මැරුණ වගේ පෙන්නන ඒවා තියනවා. හැබැයි එහෙම ඝාතන ලෙහෙසියෙන්ම දැනගන්න පුළුවන්. මිනියක් කපන්නත් කලින්ම දැනගන්න පුළුවන්. සාමාන්‍යයෙන් තමන්ගෙ ජීවිතය හානි කරගන්න එල්ලූන කෙනෙක්ගෙ දිව එයාටම හැපෙනවා. දිව හැපුන තුවාල ඒ වගේ මිනියක දැක ගන්න පුළුවන්.

ඒවගේමයි සියදිවි හානිකරගන්න එල්ලූන කෙනෙක් එල්ලිලා මැරිල ඉන්න ඕන කකුලෙ ඇඟිලි පොළව පැත්තට දික්කරගෙන. මොකද එයා එල්ලූනාට අවසන් මොහොතෙ ඇඟිලි තුඩුවලින් හරි පොළවට පය ගහන්න උත්සහ කරනවා. ඒත් මරල එල්ලූව කෙනෙක්ගෙ ඇඟිලි පිහිටන්නෙ අපි අඩිය තියල ඉන්නකොට තියන විදියට පොළවට සමාන්තරව. අපේ උගුරෙ තියනවා සයිිඞ් එකට කොඞ් එකක් වගේ ඇට කොටු දෙකක්. ඒක අස්සෙ තියනවා දළුකැල්ලක් වගේ එකක්. පුද්ගලයෙක් එල්ලූන ගමන් එතන කැඩිල තමයි මරණය සිදුවෙන්නෙ. පරීක්ෂණය කරන වෛද්‍යවරයට කියන්න පුළුවන් මරණය සිදුවෙලා තියෙන්නෙ කොයි තරම් කාලයකට පෙරද කියල. ආමාශයේ තියෙන ආහාර දිරවීම අනුව බොහෝවිට වෛද්‍යවරු ඒ ගැන ලෙහෙසියෙන්ම නිගමනය කරනවා.

කාට හරි ගහල මරල තියෙන මළසිරුරුවල තැල්මක් හරි ඇට කෝටුවල බිඳීමක් හරි දැකගන්න පුළුවන්. සම්පූර්ණ මරණ පරීක්ෂණයක් සිදුවෙද්දි කෙනෙක්ගෙ සිරුර හම ගහනවා වගේ කපන්න සිදුවෙනවා. ඔළුවෙ නම් කන් දෙක ළඟින් කපල හම දෙපැත්තට දාලා ඔළුවෙ කට්ට රවුමට අඩ හඳක් වගේ කපාගෙන නියන අරන් දෙපැත්තට තට්ටුවක් දාගත්තම මොලේ වැහිල තියන හිස් කබල අයින් කරගන්න පුළුවන්. ඊට පස්සෙ තියෙන සැව්ව අයින් කරාම මොලේ ගන්න පුළුවන්. තවත් සැව්වකට යටින් තමා කුඩා මොලේ තියෙන්නෙ. ඒ සැව්වත් අයින් කරන් කුඩා මොලේ දක්වාම පාදගෙන තමයි මරණයට හේතුව හොයා ගන්නෙ. ශරීරයේ උරහිසේ ඉඳන් දෙපැත්තෙම ඉන හරියටම හම ගලවන නිසා පහරදීමකදි තැල්මක් තියනවද නැද්ද කියල බලාගන්න පුළුවන්.

පිහි ඇනුමක් වගේ දේකින් සිදුවුණ මරණයක සිරුරක් පරීක්ෂණවලට කපනකොට නම් සීරු මාරුවට කරන්න ඕන වැඩ තියනවා. මිනිය එකපාරට කපන්න බෑ. ඉස්සෙල්ලා අඩි කෝදුවක් අරන් පිටින් තියන තුවාලයේ ප‍්‍රමාණය මනින්න ඕන. වෛද්‍යවරයා ඒවා සටහන් දා ගත්තට පස්සෙ තමයි මිනිය කපල බලන්නෙ අභ්‍යන්තරයෙ කොහෙටද තුවාල වෙලා තියෙන්නෙ කියල. පෙණහලූ ද, වකුගඩුද, බඩවැල්ද තුවාල වෙලා තියෙන්නෙ ඒවට ලේ බැහැල ද කියල මිනිය කපල සීරුවට බලනවා. ඊට පස්සෙ තමයි මරණයට හේතුව ගැන තීරණයකට එන්නෙ.

හේරත් මාමා ජීවත්වන ප‍්‍රදේශයේ බොහෝ විට දියේ ගිලීම්, වල් අලි පහර දීම් වැනි සිදුවීම්වලින් සිදුවන මරණ බහුලය. දියේ ගිලූනු පුද්ගලයකුගේ සිරුර කැපීමේදී වැඩි අවධානය යොමු කරන්නෙ කුමන හේතුන් කෙරෙහිදැයි හේරත් මාමා විස්තර කළේ මෙහෙමය.

දියේ ගිලිල මැරෙන කෙනෙක් නම් පහසුවෙන්ම හොයාගන්න පුළුවන්. පණ තියෙන කෙනෙක් දියේ ගිලෙද්දි එයා බලන්නෙම අතට අහුවෙන දේ අල්ලගන්න. දිය පතුලෙ ඇති දෙයක් හරි අල්ල ගන්න උත්සහ කරනවා. සමහර විට දිය පතුලෙ පොළව අල්ලගෙන පණ යන අය ඉන්නවා. දියේ ගිලූන අයගේ වැඩියෙන් පරික්ෂා කරන්නෙ පෙණහලූ දෙක. පෙණහලූ අරන් හොඳට සෝදගෙන කෑලිවලට කපල ඒකට ගිහින් තියෙන වතුර පිරිසිදු භාජනයකට දාගන්නව. එතකොට හුස්ම ගද්දි ඇදපු රොන් මඩ, වැලි සේරම අර භාජනයට වතුරත් එක්ක එනව බලාගන්න පුළුවන්. හැබැයි මරල වතුරට දැම්මොත් එහෙම මොනවත් නෑ. සලකුණකුත් තියෙන්න පුළුවන්.

හැබැයි කෝච්චියට අහුවෙලා තැලිල පොඩිවෙල තියෙන සිරුරු පරීක්ෂණයේදි උනත් හොයා ගන්න අමාරුයි. මටත් එහෙම සිද්ධියක් වුණා. අපිට ඞී පෙෂර් ඒ දවස්වල තිබ්බෙ නෑ. කව්ද කියලවත් හොයාගන්න බැරිව තිබුණ ඒ සිරුර පහුවදා වෙනකොට කුණුවෙලා තිබ්බෙ. අයිතිකාරයෙකුත් නැති නිසා කෑලි වෙලා තිබුණ සිරුර කපන්න ඕන කියල වෛද්‍යවරයා කිව්වෙත් නෑ. මාත් ඉතින් නිකන් හිටිය. අන්තිමට සිරුර රජය ගාණෙ වළලන්න කිව්වම ඒක කරෙත් මම. හැබැයි ඊට අවුරුදු හතරකට පස්සෙ සී. අයි. ඞී. එකෙන් ඇවිත් මගෙන් ඇහුවා ඔයා මෙහෙම කේස් එකක් කරාද කියල. මම ඔව් කිව්ව. මිනිය වළලපු තැන මතකද ඇහුවා. මම පෙන්නුවා. කොහොම හරි ඒ මිනිය නැවත ගොඩගන්න නියෝගයක් ආවා. වසර පහක් විතර පරණ නිසා බැකෝ ගෙනල්ල කපල කපල ඒ බොඩි එක හොයා ගත්තා. එදා මම සිරුර වැළලූවේ කළු පොලිතින් එකක දාල ගැටගහල පොඩි පෙට්ටියක. ඒකෙන් අඳුන ගන්න පහසු වුණා. පස්සෙ අස්ථි කොළඹ ගෙනිහින් පරීක්ෂා කරද්දි අහුවෙලා වෙඩි තියල මරල තියෙන්නෙ. ඊට පස්සෙ තමයි කෝච්චියට දාල තියෙන්නෙ. එයා හමුදා නිලධාරියෙක්. කොහොම හරි ඒ මිනී මැරීම හෙළි වෙලා එයාගෙ බිරිඳට සාධාරණය ඉෂ්ට වුණා.

ජීවිතයේ බොහෝ කලක් රැුකියාව ලෙස මිනී කැපූ ගල්ගමුවේ හේරත් මාමා අත්දැකීම් විස්තර කළේ එහෙමය. දැන් ඔහු වියපත් මිනිසෙකි. මිනී ඇසුරෙහි ගෙවූ ජීවිතය නිසාම සමාජයේ අනෙකුත් මිනිසුන්ට වඩා ජීවිතය දෙස වෙනස් අයුරින් සිතන මිනිසෙකි. අපේ දීර්ඝ සාකච්ඡුාව නිමා කරමින් මම ඔහුගෙන් ඇසුවේ මිනිස් ජීවිතය ගැන ඔබට කුමක් සිතෙන්නෙද කියාය. ‘මගේ කියල අපි අල්ලගෙන හිටියට ඇති දෙයක් නෑ මහත්තයෝ’ හේරත් මාමා අවසානයේ කීවේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්