රළු සුක්කානම දෑතට ගත් ඇගේ කතාව

අධිවේගී මාර්ගයේ මගී ප්‍රවාහන බසයක් පදවන ලංකාවේ එකම කාන්තාව ද ඇයයි. මගීන් පනස් දෙනෙකු රැගත් සුඛෝපභෝගී බස් රථයක් පදවමින් මගීන් ප්‍රවාහනය කරන හතළිස් තුන්වැනි වියේ පසුවන දෙදරු මවක් වන ඇය දිරිය දියණියකි. ලක්ෂි සචින්තා නමැති ඇයගේ කතාවයි මේ.

මාතර දෙවිනුවර ග්‍රාමයේ හේවා හල්පහේ කරුණාසේන සහ ප්‍රේමදාසගේ දයාවතී මව්පිය දෙපලට දාව පවුලේ දෙවැනි දියණිය ලෙස උපන් ලක්ෂි කුඩා කල සිටම වෙනස් ආරේ සිතුම් පැතුම් ඇති තැනැත්තියක වූවාය. මාතර සුජාතා බාලිකා විද්‍යාලයේ දීප්තිමත් ආදි සිසුවියක් වන ඇය වාණිජ අංශයෙන් උසස් පෙළ සමත්ව බාහිර උපාධියට ද සූදානම් වූවාය.

අපේ අම්මට දරුවෝ පස්දෙනෙක්. ගෑණු දරුවෝ දෙන්නයි. පිරිමි දරුවෝ තුන්දෙනයි. අයියාගෙන් පස්සේ පවුලේ දෙවැනියා වුණේ මම. මගේ තාත්තාට තිබුණේ ගරාජ් එකක්. චූටි කාලේ ඉඳලා ගරාජ් එකත් එක්ක ජීවත් වුණා. මට වාහනවලට තිබුණේ පුදුමාකාර ආසාවක්. නංගිට වැඩිය වාහනවලට ආසාවක් තිබුණේ නැහැ.

අපේ තාත්තගේ ගරාජ් එකට වැඩිපුරම හදන්න ගෙනාවේ ලේලන්ඩ් බස්. බස් හදන්න ගෙනාවම පුංචි කාලේ රියදුරු අසුනේ වාඩිවෙනවා. සුක්කානම කරකවනවා. බස්වලට හරිම ආසයි. ඔහොම ඉන්නකොට තාත්තා මට ටික ටික වාහන පදින්න පුරුදු කළා. මට අවුරුදු 13-14 වෙනකොට ඕනෑම වාහනයක් පදින්න පුළුවන් හැකියාව තිබුණා. ඒ කාලේ අපේ තාත්තාට තිබුණේ ජීප් රථයක්. මම මුලින්ම සුක්කානම අතට ගත්තේ පියාගේ ජීප් රථයෙන් රිය පුහුණුව අකුරටම කියලා දුන්නේ මගේ තාත්තා.

මං පුංචි කාලේ ඉඳලම තිබුණේ වෙනස් හීන, මගේ යාළුවෝ වෛද්‍යවරු ඉංජිනේරුවරු ගුරුවරු නීතිඥවරු වෙන්න පෙරුම් පිරුවට මට ඕන වුණේ බස් රියදුරුවරියක් වෙන්න. මම රජයේ රැකියාවක් කරනවට මගේ තාත්තා කොහොමත් කැමති වුණේ නැහැ. තාත්තා නිතරම කිව්වේ තමන්ගේ ව්‍යාපාරයකට යොමු වෙන්න කියලා. රියදුරු රැකියාව මම තෝර ගනිද්දි වැඩිපුරම සතුටු වුණේ මගේ තාත්තා. මගේ අම්මා ඊට උපරිම ශක්තිය සහයෝගය ලබා දුන්නා. මම මුලින්ම මගේ අයියාගේ මහරගම මාතර හයිවේ බස් රථයේ මාසික වැටුපට රියදුරුවරියක ලෙස වැඩ කළා.

‘තොටිල්ල පදවන අත ලොවම පාලනය කරයි’ යන කියමන අද වෙනස් මානයකට රැගෙන යන දිරිය කතුන් වර්තමාන සමාජයේ විවිධ ක්ෂේත්‍ර තුළ අපට දක්නට ලැබෙනු ඇත. ඇයද සිතුවිලි සහ ආත්ම ශක්තිය පෙරදැරිව ජීවිතය නමැති නෞකාව පදවන්නට සුක්කානම අතට ගත් දිරිය දියණියකි.
මම උසස් පෙළ අවසන් කරලා ගෙදර ඉන්න කාලේ මට ගෙදරින් ජොබ් එකක් ලැබුණා. උදේට නංගිවයි මල්ලිලා දෙන්නවයි ඉස්කෝලේ අරගෙන යන්න. නංගිලා මල්ලිලා එක්ක යන අතරතුර අතරමග ඉන්න අයවත් මම එක්ක යනවා. මට ඒ කාලේ තමයි හිතට ආවේ පාසල් ළමයින් ගෙනියන සේවාවක් ආරම්භ කරන්න.
මම මුලින්ම කීවනේ මම රියදුරු පාසල්වලට ගිහින් රියදුරු පුහුණුව ඉගෙන ගත්තේ නැහැ. මගේ රියදුරු පුහුණුකරු වුණේ තාත්තා කියලා. මට හැම වාහනයක්ම අවුරුදු 12 – 13 වෙද්දී පදින්න පුළුවන් වුණාට තාත්තා මට ලයිසන් එක ගන්නකම් වාහනයක් පාරට දාන්න දුන්නේ නැහැ.

යන්තමට අවුරුදු 18 වෙනකොට මම රියදුරු බලපත්‍රය ගත්තා. ඒත් මගේ හීනේ තිබුණේ කවදාහරි බස් එකක් පදවන්න. ඒකට බරවාහන රියදුරු බලපත්‍රය ගන්න අවුරුදු 5ක් බලා ඉන්න වුණා.
මම මුල දී හිතුවා බර වාහන රියදුරු බලපත්‍ර කාන්තාවන්ට දෙන්නේ නැහැ කියලා. මම ගිහින් දවසක් මෝටර් රථ කොමසාරිස්තුමාගෙන් ඒ පිළිබඳ තොරතුරු ඇසුවා.

නියමිත සුදුසුකම් සපුරලා තියෙනව නම් කාන්තාවන්ට බස් පැදවීමට බලපත්‍ර ගන්න නීතියෙන් කිසිම බාධාවක් නැහැ කියලා එතුමා කිව්වා. බර වාහන රියදුරු බලපත්‍ර ගන්න පුළුවන් කියලා දැනගත්තම මට දැනුණේ ලෝකෙම දිනුවා වගේ සතුටක්. මම මහන්සිවෙලා මගේ සුදුසුකම් ඔක්කොම හදාගත්තා. 2008 දී මම බර වාහන රියදුරු බලපත්‍රය ලබා ගත්තා.

බර වාහන රියදුරු බලපත්‍රය ලබාගත් ඇය මුලින්ම සුක්කානම අතට ගන්නේ පාසල් දරුවන් රැගෙන යන කුඩා බස් රථයකය. මාතර නගරයේ පාසල් ගණනාවකටම ඇය දරුවන් රැගෙන යාමට භාර ගත්තාය. දවසින් දවස ඇගේ සුපරික්ෂාකාරී වාහන පැදවීම පිළිබඳ සෑහීමකට පත් වූ දෙමාපියෝ ඇයට දරුවන් භාරදීමට නොපැකිළි වූහ. විශේෂයෙන් කාන්තාවක් රිය පදවන නිසා දෙමාපියන් තැබූ විශ්වාසය මත ගැහැණු දරුවන්ගේ ආරක්ෂාව සහ වගකීම් සියල්ල උපරිමයෙන් ඉටුකළ ඇය වසර එකොළහක දොළහක කාලයක් එක දිගට පාසල් දරුවන් ගෙන යන බස් රථයක රියදුරුවරියක ලෙස කටයුතු කළාය.

සමහර දවසට දරුවෝ ගෙනයන ආසන විසිපහේ බස් එකේ කාර්මික දෝෂ මතුවුණ ගමන් අාසන 48 අශෝක් ලේලන්ඩ් බස් එකක දරුවෝ ටික අරගෙන යනවා. අශෝක් ලේලන්ඩ් බස් එකක් පාරේ අරගෙන යන මුල් දවස්වල පාරේ ඉන්න අය බස් පදවන රියැදුරන් මා දිහා හරිම පුදුමයෙන් වගේ බලා සිටියා.
මගී ප්‍රවාහන සේවාවට වඩා පාසල් බස් රථයක වැඩ කරන එක වගකීම වැඩියි. මට අසනීපයක් වුණු දවසටවත් නිවාඩුවක් ගන්න බැහැ. මම වෙනුවට වෙන කෙනෙක් යවන්න බෑ. ඒක සාර්ථක වෙන්නේ නෑ. දෙමාපියන් ඒ දරුවන්ව පාසලට එක්ක ගිහින් ආපහු එක්ක එන තැනට වෙනකම් මට භාරදෙන්නේ ලොකු විශ්වාසයකින්. වසර කිහිපයක්ම මම බස් රියදුරුවරියක් විදිහට ඒ දරුවන්ව පාසල් රැගෙන ගියේ ලොකු සතුටකින්. ඔය කාලේ තමයි මට මගේ මහත්තයා මුණගැහෙන්නේ ඔහු පරිවාස හා ළමා රක්ෂණ අධිකාරියේ තංගල්ල ස්ථානභාර නිලධාරිවරයෙක්. දැන් මට දරුවෝ 2ක් ඉන්නවා.

එක එක කාලෙට එක එක හීන ආසාවල් එනවනේ… මටත් ආවා අලුත් අදහසක්. මගී ප්‍රවාහන සේවයක් ආරම්භ කරන්න. මම මේ ගමනේ කොතනකදිවත් ආසාර්ථක වුණේ නැහැ. මට ගොඩක් දෙනා උදව් කළා. සහයෝගය දුන්නා. සමහරු මාව වට්ටන්න හැදුවත් මා තුළ තිබුණු ධෛර්ය මගේ ඉලක්කය කරා කොහොමහරි මාව අරගෙන ගියා.

ගාල්ල මාතර දක්ෂිණ අධිවේගී මාර්ගය තනා නිමකළ පසු ඊට එක් වූ සේවාවට එකතු වීමට ලක්ෂි තුළත් විශාල බලාපොරොත්තුවක් ඇතිවුව ද ඊට මඟ හරස් වූ බොහෝ තැන් විය. මේ ගමනේ දී කාන්තාවක් වීම නිසාම ඇය ප්‍රතික්ෂේප වූ තැන් ද බොහෝය.

ගාල්ල, මාතර අධිවේගී මාර්ගය හදලා ඉවර වුණාම අධිවේගී එකට බස් රථයක් ධාවනය කරන්න ආණ්ඩුවෙන් බලපත්‍රයක් ඉල්ලුවත් ඒක මට දුන්නේ නැහැ. ලොකු පුටුවල ඉඳපු අය මට ගොඩක් වෙනස් කම් කළා. මම කාන්තාවක් නිසා. මට පර්මිට් ලබා ගැනීමේ අවස්ථාවන් ගොඩක් අහිමි වෙලා තිබුණා. ඒත් මටත් වෙන අයට වගේ කෝටි ගණන් මුදල් තිබුණ නම් මාර්ග බලපත්‍රයක් අරගෙන මීට වඩා ඉහළට යන්න තිබුණා. ඒ අතරේ මගේ එක කුස උපන් අයියා කිව්වා නංගි ඔයා මගේ බස් එකේ රියදුරු ලෙස වැඩ කරන්න කියලා. මම ඒ ඉල්ලීම සතුටින් භාරගත්තා.

මගේ අයියාගේ මහරගම මාතර හයිවේ බස් එකේ රියදුරුවරියක ලෙස මාසික වැටුපකට අවුරුදු ගාණක් මම වැඩ කළා.

කාන්තා අයිතිවාසිකම් පිළිබඳ බෝඩ් ගහගෙන ඉන්න සංවිධානවලට දේශපාලකයන්ට ඇයට වූ ආසාධාරණය නොපෙණුනත් ලක්ෂි මහත්මිය නොලැබුණු දේ ගැන නොසිතා ඇය ඇගේ අරමුණට යන්නට පාර සොයා ගියේ තනිවමය.

මම මුලින්ම ජාතික ගමනාගමන කොමිෂන් සභාවට අවසර පතක් ගන්න අයදුම් කළා. එතකොට ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති රේණුක දුෂ්මන්ත මහතා කියලා තිබුණා දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් රථ සඳහා රියදුරු කොන්දොස්ර සඳහා කාන්තාවන් යෙදවීමට අදහස් කරලා තියෙනවා කියලා. ඒ තීරණය ක්‍රියාත්මක කරන බවට පවසලා තිබුණ නිසා මම රියදුරු සඳහා ඉල්ලුම් කළා. මම හිතන්නේ ඒකට මුලින්ම ඉල්ලුම් කරලා තිබුණේ මම.

ඒ අනුව දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වන ආසන 50කින් යුත් අශෝක් ලේලන්ඩ් බස් රථයේ රියැදුරුවරියක ලෙස කටයුතු කරන්න මට හැකියාව ලැබුණා.

2014 මාර්තු 14 වනදා අධිවේගී මාර්ගය විවෘත වනවාත් සමඟම දක්ෂිණ අධිවේගී මාර්ගයේ මුලින්ම අශෝක් ලේලන්ඩ් බස් රථය අතට ගත් දවස ගැන ද ඇය විස්තර කළේ මෙලෙසිනි.

ඒ වෙනකොට මට හොඳට ඩ්‍රයිවින් පුළුවන්. එදා මුලින්ම බස් එක හයි වේ එකට දාලා ආවේ හරිම හෙමිහිට. තාත්තා මගේ ළඟින්ම හිටියා. තාත්තා ළඟ හිටපු නිසා පුංචිමවත් බයක් මට දැනුනේ නැහැ. මෙච්චර කල් පාරේ දුවන බස්වල රියැදුරුකම කළේ පිරිමි අය, වෙනත් සැහැල්ලු වාහන කාන්තාවෝ පැද්දට බර වාහන පදින කාන්තාවෝ දකින්නේ හරිම අඩුවෙන්නේ… ඒ නිසා මම බස් එක අරගෙන යනකොට හැමෝම මං දිහා බැලුවේ පුදුමයෙන්. ඒ විදිහට මම ලංකාවේ ප්‍රථම සහ එකම Highway බස් රියැදුරුවරිය වුණා.

ඒ වගේම මම ගැහැණු කෙනෙක් කියලා ගොඩක් අය මගේ බස් එකෙන් බැහැලා ගිහිල්ලා තියෙනවා. නමුත් මාත් එක්ක විශ්වාසයෙන් යන අයගේ විශ්වාස රැකගෙන අදටත් මම ඒ අයව පරිස්සමෙන් ගමනාන්තයට එක්ක යනවා. සමහර අය බස් එකට නැගලා ඉඳලා මම රියදුරු අසුනේ වාඩි වුණ ගමන් හපොයි මේක එළවන්නේ ගෑනු කෙනෙක් ද කියලා බැහැලා යනවා. මිනිස්සු බැහැලා යනකොට මට මහා දුකක් දැනෙනවා.
ඒ අවස්ථාවලදි සෙනඟ බැස්සට කමක් නෑ ඔයා යමුකෝ කියලා තාත්තා මගේ හිත හදනවා. දැන් මගේ බස් එක හොයාගෙන ඇවිල්ලා නගින පිරිසක් ඉන්නවා. එදා මගේ බස් එකෙන් බැහැලා ගිය අය අද මාව හොයාගෙන ඇවිල්ලා බස් එකට නගිනවා..’’

වසර කිහිපයක් තම සහෝදරයාගේ බස් රථයේ වෘත්තීය රියදුරුවරියක ලෙස සේවය කළ ඇය කීප විටකම රජයෙන් මාර්ග බලපත්‍රය ලබා ගන්න උත්සහ කළත් එය සාර්ථක නොවූ නිසා මීට වසර පහකට පෙර ඇය කාර්යාල සේවාවක් ආරම්භ කරමින් මේ වනවිටත් සාර්ථකව කාර්යාල සේවය පවත්වාගෙන යන බව ඇය පවසයි. මාතර – කොළඹ කාර්යාල සේවක ප්‍රවාහනය ආරම්භ කරපු පළමු රියදුරුවරියත් මම. මගේ බස් එකේ මුලින්ම ගියේ 7 දෙනයි. මගේ අතින් තෙල් ගහගෙන පාඩු පිට තමයි මේ බස් එක ධාවන කළේ.

මම කොළඹ පාරවල් දැනගෙන හිටියේ නැහැ. තාත්තා මට පාරවල් පෙන්නන්න දවස් දෙකක් විතර ආවා. මම කරේ ඊට පස්සේ දවල්ට ත්‍රීවිල් එකක් හයර් එකට අරගෙන කොළඹ පාරවල් කොහෙටද වැටෙන්නේ කියලා සොයා බැලුවා. ඊට පස්සේ තමයි ඔෆිස් ළඟින්ම යන පාරවල් ටික හොයාගත්තේ.

ඇය උත්සාහය අත් නොහැරපු නිසා අද ඇය සුඛෝපභෝගි බස් රථ තුනක හිමිකාරියකි.

මම මේ රැකියාව දැන් අවුරුදු 20 පුරාවට කරගෙන යනවා. මගෙන් සේවාව ලබාගන්න එන අයට මට පුළුවන් උපරිමයෙන් මගේ සේවාව ලබා දෙනවා. මගේ ගමනේ ආරම්භය වුණේ තාත්තාගේ ගරාජය. මේ දේවල්වලට ආසාව ඇති කළේ එතන. මට හැමදේම පොඩ්ඩ පොඩ්ඩ පුරුදු කළේ තාත්තා. මම වෙනස් විදිහට හිතපු නිසා මම ජීවිතේ ගොඩක් දේවල් දිනාගත්තා.

ඉල්ලීමක් කරන්න කැමතියි. රියදුරු රැකියාව කැමති තරුණ කාන්තාවන් ඉන්නව නම් මම කැමතියි ඒ අයව පුහුණු කරලා මගේ බස් රථවල සේවය කරන්න රැකියා ලබා දෙන්න.

විශේෂයෙන් කියන්න ඕනැ මට දුවෙකුයි පුතෙකුයි ඉන්නවා. මාගේ සැමියා මගේ වෘත්තියට ලොකු සහයෝගයක් දෙනවා. දරුවෝ දෙන්නත් එහෙමයි. මගේ ගමන එන්න ශක්තියක් වුණු හැම කෙනෙකුට මම ස්තූති කරනවා.

සටහන
නදීශා අතුකෝරළ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
50
අවුල් වගේ !
1
හරි හිනා !
2
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
1
කුජීතයි !
3

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්