ලක්ෂපති ඇවිත් කෝටියක් හදවත් එක රැයින් දිනූ සුන්දර දියණිය

ෂුක්රාට මේ ලක්ෂපති වාසනාව උදාවූයේ සිරස ලක්ෂපති වැඩසටහනේදී දැක්වූ දක්ෂතාව නිසාය. ඇය එහිදී සිංහල සාහිත්‍ය කෘතීන් ගැන ද කතා කළා ය. ඒවා ගැන වර්ණනා කළා ය. ඒ හැමදේකටත් වඩා ඇය අව්‍යාජව සමාජ ප්‍රශ්න හා කාන්තා අයිතිවාසිකම් ගැන ඉහළින් අදහස් දැක්වූවාය. ඒ කතා බහේදී ඇය සිංහබාහු නාට්‍යයත්, ගුත්තිලයේත් කවි ගැන කී දෑ මනරම් ය. 

මෙතරම් දස්කම් දැක්වූ මේ පුංචි කෙල්ල කවුද? දෙස, බස, රැස ඉහළින් අගය කළ මේ මුස්ලිම් කෙල්ලට එවන් හයියක් ලැබුණේ කෙසේ ද? මුළු රට ම ඒ ගැන කතා කරද්දී ඇය හමු වූයේ ඒ ප්‍රශ්නයට විසඳුම් සොයා ගෙන ය.

ෂුක්රා සහෝදර සහෝදරියන් හතර දෙනකුගෙන් යුත් පවුලක තුන්වන දැරිය ය. මුල් අක්කා ආය්ෂාය. නිශ්චල ඡායාරූප ශිල්පිනියක ලෙස ඇය කටයුතු කරන්නීය.

දෙවැන්නා හාරිෂා ය. ඇය විවාහකය. ඇය රැකියාව කරන්නේ ඇඟළුම් කර්මාන්ත ශාලාවක ය. ඇයට හොඳින් ඇඳුම් මසන්නට හැකිය. බාල මල්ලී තවමත් ෂුක්රා මෙන් ම ඉගෙන ගනිමින් සිටියි.

ෂුක්රාගේ මව ෆාතිමා උයන්නට දක්ෂය. තාත්තාගේ අසනීප තත්ත්වයෙන් පසු අම්මා පවුලේ බර කරට ගත්තේ ගෙදර දොරේ විය පැහැදම්වලට මුදල් නැතිකම නිසාම ය.

දැන් මේ කතන්දරයේ ඊළඟ චරිතය ෂුක්රාගේ ආදරණීය පියා මුනව්වර්ය. එසේත් නැතිනම් ගාල්ල කටුගොඩ ගම්මුන් හොඳින් දන්නා ෆාස්ලීය.

ෆාස්ලී හොඳින් වෙහෙස මහන්සි වී දරු පවුල වෙනුවෙන් හරිහම්බ කළ වටිනා තාත්තා කෙනෙකි. ඔහු කළේ ලිපිකරු රස්සාවකි. 

එමෙන් ම, ගමේ ගොඩේ ඇත්තන්ගේ වගකිය යුතු ලිපි ලියා අවශ්‍ය නම් භාෂා පරිවර්තනයද කොට කොළඹ සමඟ ගනුදෙනු කළ දක්ෂ මිනිසෙකි. එහෙත් 2018දී රෝගාතුර වූ ඔහු නොසිතූ ලෙස එක්තැන් වූයේ ගෙදර ඇත්තන්ගේ හදවත් කම්පා කරවමිනි. 

“එදා තමයි අපි හැමෝම ඇඬුවේ. තාත්තා දියවැඩියා රෝගයට ගොදුරු වුණා. ඊට පස්සේ එයාගේ ඇඟිල්ලක් කපා දැම්මා. එයාගෙ ජීවිතේ බේරගන්න ඊළඟට ඉතුරු ඇඟිලි ටිකත් කපන්න ඕනෑ.” ෂුක්රා කීවේ හැඟුම්බරව ය.

එදා මේ සිදුවීමත් සමග ම ෂුක්රාගේ පවුලේ හැමෝම මානසිකව ඇද වැටුණහ. 

“අඬන්න එපා හිතට හයිය ගන්න. මේක නැතිවීමක් කියලා හිතන්න එපා. මේ ලෝකේ කිසි ම දෙයක් ස්ථිර නැහැ. ඒක හිතේ තියාගෙන හිත හදාගන්න.” තාත්තා තිර හඬින් කීවේ ය. 

කාලය මේ ආකාරයට ඉදිරියට ඇදුණේ ය. හරිහමන් යාළු මිත්‍රයකු ළඟ නොවූ ෂුක්රා මේ වේදනාව බෙදා ගත්තේ ගෙදර ඇත්තන් සමග ය. 

“මට යාළුවෙක්වත් නැහැ. කවුරුත් මා එක්ක කතා කරන්නෙත් නැහැ.” වරක් ෂුක්රා එසේ කීවේ ඇඬ­ කඳුළෙනි. ඒත් අද ඒ සියල්ල වෙනස් වී ඇත. දැන් ෂුක්රා සමග වචනකුදු නොදෙඩූ උදවිය ද ෂුක්රා පසුපස ය. දෛවයේ තරම. 

ෂුක්රා අධ්‍යාපනය ලැබුවේ අක්කලා ඉගෙනුම ලැබූ ගමේ සිංහල පාසලේ ය. මල්ලී මෙන්ම ෂුක්රා ද ඒ පාසල් භූමියේ පැවැත්වෙන සියලු ආගමික කටයුතුවලට හා සමාජ කටයුතුවලට සම්බන්ධ වී සිටියාය. ඇය පාසලේ විවාද කණ්ඩායමේ දක්ෂ සාමාජිකාවකි. බෞද්ධ සංගමය වැනි සංගම්වල අනුග්‍රහයෙන් පවත්වන ආගමික වැඩකටයුතු ඉදිරියේදී ද ඇය සිටියේ ඉදිරියෙනි. 

මේ ආකාරයට කටුගොඩ සුධර්ම විද්‍යාලයේ සිංහල මාධ්‍යයෙන් අකුරු සාස්තරය ලැබූ ඇය සිංහල සාහිත්‍යය පොත් රස වින්දාය. ඇයට බෙහෙවින් උදවු උපකාර කරමින් මග පෙන්වූයේ පාසලේ සාහිත්‍ය විෂය භාර සකුන්තලා ටීචර්ය. 

“මම හැම වෙලාවෙම හිතුවේ මම ශ්‍රී ලාංකිකයි කියලා. මම ෆර්දාව දාගෙන හිටියට, ගෙදරදී ඉස්ලාම් දහම ඇදහුවාට මම ජාතියෙන් ශ්‍රී  ලාංකිකයි. එහෙනම් මම බුදු දහම, ක්‍රිස්තු දහම වගේම අනෙකුත් ආගම්වලට ඒ ශාස්තෘවරුන්ට ගරු කරන්න ඕනෑ. ඒවා ඉගෙන ගන්න ඕනෑ. 

ඊළඟට අපේ රටේ ප්‍රධාන භාෂාව සිංහල. එහෙනම් ඒ සාහිත්‍යය මම දැනගෙන ඉන්න ඕනෑ. ඒ භාෂාවේ වචන මම කතා කරනවා නම් ඒකෙ තියෙන හරබර වචන ගැනත් මම ඉගෙන ගන්න ඕනෑ. ඒක මගේ වගකීම.” 

ෂුක්රා මේ ප්‍රතිපත්තියට අනුගතව ජීවත් වූයේ කලෙක සිටය. ඇයට ඒ සඳහා නිවෙසින් මෙන්ම විශේෂයෙන් ආදරණීය මවුපියන්ගෙන්ද ලැබුණු සහයෝගයත්, දුන් නිදහසත් අතිමහත්ය. 

“මම හංස සන්දේශය, ගිරා සන්දේශය, මයුර සන්දේශය, සැලළිහිණි සන්දේශය වගේ සන්දේශ කාව්‍යයන් හොඳින් පරිශීලනය කර තිබෙනවා. මේවා ඒ ශ්‍රේෂ්ඨ පුද්ගලයන් අතින් රචනා වුණේ අනාගත පරපුර වෙනුවෙන්. ගුත්තිල කාව්‍යයේ කවි රසට ගයන විට කොයිතරම් ආස්වාදයක් ඇති වෙනව ද? මම ඒවා කියනවා. ඒ වගේම මතකයේ රඳවා ගන්නවා.” ෂුක්රා පවසන්නේ සිංහල අපට පවා ලැජ්ජා හිතෙන පරිදිය.

17 හැවිරිදි ෂුක්රා පහේ ශිෂ්‍යත්වය සමත් නැත. ඇය ලබා ගත්තේ ලකුණු 96කි. එහෙත් ඇගේ සාමාන්‍ය දැනුමට ඒ අසමත් වීම බලපෑවේ නැත. අම්මලා ඇගේ විභාග අසමත් වීම ගැන කියා වාග් ප්‍රහාර එල්ල කරන්නට ගියේත් නැත. 

“මගේ තාත්තා ඉස්සර කොළඹ ගිහින් එද්දී නිතරම වගේ පොත් අරන් එනවා. ඒ පොත් අපි හොඳින් කියවනවා. ඒ විතරක් නෙවෙයි සමහර වෙලාවට අපි එක්ක ඒවා ගැන කතා කරනවා. 

සාමාන්‍යයෙන් තාත්තා ලෙඩ වුණාට පස්සේ අපේ ගෙදරට ළමයි එනවා වැඩියි. මොකද මම පුංචියට අමතර පන්තියක් පටන් ගත්තා. 

මේ පන්තියට එන ළමයි පවා අපෙන් පොත් ඉල්ලාගෙන ගිහින් කියවනවා. අහල පහළ ළමයකුට පින්තූරයක් ඕනෑ වුණාමත් දුවගෙන එන්නේ අපේ ගෙදරට.”

ෂුක්රාගේ නිවෙසේ සාමාන්‍ය විධිය එසේය. ඒ නිවෙස දැනුම බෙදාදෙන මුදලින් දුප්පත් නමුත් දැනුමෙන් පොහොසත් නිවෙසකි. ශ්‍රී  ලාංකිකයන් ලෙස සිතන පතන මුස්ලිම් නිවෙසකි.

“මම ඉස්කෝලෙදී කැඩෙට් කණ්ඩායමෙත් ඉන්නවා. එක සැරයක් රන්ටැඹේ ගිහින් දින 8ක පුහුණුවකටත් සහභාගි වුණා.

අපේ පාසලේ සිංහල ළමයි, මුස්ලිම් ළමයි එකට ඉගෙන ගන්නවා. එකට කනවා බොනවා. ඇසුරු කරනවා. ඒකත් මට මගේ ජීවිතේ ගොඩනඟා ගන්න ලොකු දැක්මක් වුණා.

ඉස්කෝලේ පන්ති කාමරයෙදි බුදුදහම ඉගෙන ගන්න වෙලාවට මම ඒ පාඩමට කන් දුන්නා. ඒ කන්දීලා විතරක් අතහැර දැම්මේ නැහැ. කනට ගත්තා. හිතේ තැන්පත් කරගත්තා. අවශ්‍ය දේ මතකයේ තබා ගත්තා. හැබැයි නිතරම පාඩම් කරලා ඒවා රඳවා ගන්න නම් මට බැහැ. ඒ මගේ විදිහ,” ෂුක්රා අපූරුවට සිනාසෙමින් කියා සිටියාය.

සාමාන්‍යයෙන් මුස්ලිම් ජන සංස්කෘතිය තුළ ෂුක්රා වැනි දාර්ශනික දරුවන් අඩුය. ඔවුන් ජීවත් වන්නේ බැඳීම් රැසක් මැදය. නිදහසේ ජීවත් වී නිදහස් සිතුවිලිවලට අනුව එදිනෙදා පැවැත්ම ගෙන යෑමට සාමාන්‍යයෙන් ඉඩක් නැත.

“මම කුමන හෝ ආගමක, කුමන හෝ ජාතියක අන්තවාදය ප්‍රතික්ෂේප කරනවා. මට ඕන ශ්‍රී ලාංකිකයන් විධියට ඉදිරියට යන්න. මගේ හැකියාව මේ සමාජයට බෙදාදෙන්න. බොහෝදෙනා හිතන්නේ කාන්තාව පිරිමියාට පසුපසින් ඉන්න ඕනෑ කියලයි. එහෙම නැහැ. හැමෝම සමානයි. මට ඕන කවදාහරි පිරිමියාවත් එකතු කරගෙන කාන්තාවන්ගේ අයිතිවාසිකම් හා හැකියාවන් ඉදිරියට අරන් යන්නයි.

මම දැනට උසස් පෙළ ඉගෙන ගන්නේ වාණිජ අංශයෙන්. මට ඕනෑ කවදාහරි රටේ නම ගිය ප්‍රසිද්ධ සමාගමක දක්ෂ පරිපාලන නිලධාරිනියක් වෙන්න. ඒ ඉලක්කයට මම යනවා.

ඒ වගේම තමයි මම කැමැතියි ස්වේච්ඡාවෙන් ම සමාජ සේවයේ යෙදෙන්න. ඒක දේශපාලනය නෙවෙයි, මම දේශපාලනයට කැමැති නැහැ. දේශපාලනය ගෑවුණොත් මම එතැන ඉන්නෙත් නැහැ.”

ෂුක්රා ඉවසීමෙන් හා සිනාමුසුව එසේ උත්තර බැන්දේ අප ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු සපයමිනි.

සිරස ලක්ෂපති තරගයට ආ ෂුක්රා ඇතැම් ප්‍රශ්නවලට පිළිතුරු දුන්නේ රූපවාහිනි තීරයේ අදාළ පිළිතුරු 4 සඳහන් වීමටත් පෙරය. ඇතැම් අවස්ථාවලදී ඇය පිළිතුරු දුන්නේ ඒ පිළිතුරට සම්බන්ධ කාරණා රැසක් මතු කරමින් පෙන්වමිනි.

“මම මුලදී මේ තරගයට ආවේ ලැප්ටොප් එක වුවමනා වුණු නිසාමයි. මොකද ඒ වෙද්දි ‘ඔන්ලයින්’ ගිහින් ඉගෙන ගන්න මට හැකියාවක් තිබුණේ නැහැ.

මේ වෙලාවෙදි තමයි මම අම්මාගෙන් මේ ගැන ඇහුවේ. අම්මා ‘පුතේ ඔයා යන්න’ කිව්වා.”

මේ ආකාරයට සිරස ලක්ෂපති තරගයට ආ ෂුක්රාට ආපසු හැරී යන්නට සිදුවුණේ එදා ඉක්මනින්ම පිළිතුරු සඳහන් කර පළමු තැන ලබාගන්නට නොහැකි වූ නිසාය.

“එදා Faster Fingers අවස්ථාවේදී මට මුලින්ම පිළිතුරු සඳහන් කරන්න බැරිවුණා. ඒ නිසා එදා හැරිලා ගියා. ඒත් මම දෙවැනි වතාවේ ආපසු දුරකතන ඇමතුමක් අරගෙන නැවත තරගයට අයැදුම් කළා. ඒ අනුව මම නැවත ආවා.”

එදා තරගයෙදීත් ෂුක්රාට මුලින් පිළිතුරු සඳහන් කොට ‘හොට් සීට්’ දක්වා ඒමට නොහැකි විය. එහෙත් පළමු තරගකරුවා ඉවත්වීමෙන් පසු ෂුක්රාට අවස්ථාව ලැබිණි. ඇයගේ දෛවය වෙනස් වූයේ ඒ බාධක ඉවත්වීමෙන් පසු ය.

“මට දැන් හිතුණා මම මේ ආවේ හීන ලෝකයකට ද කියලා. නැහැ. ඇත්තටම ඒක හීන ලෝකයක් නෙවෙයි කියලා දැන් හිතෙනවා. මම වාසනාවන්තයි. මගේ පවුල වාසනාවන්තයි. ලැප්ටොප් එකක් ලබාගන්න ලක්ෂ එකයි විසිපහක්වත් දිනාගන්න ආපු මම දැන් ලක්ෂපතිනියක් වුණා. ඒ සල්ලිවලින්. හැබැයි සල්ලිවලට වඩා මහ විශාල ජන ප්‍රසාදයක්, ආදරයක් ලැබුණා. ඒවා සල්ලිවලට ගන්න බැහැ. මම ඒ ආදරයට ආදරෙයි.”

ෂුක්රා කුඩා කල සිට ම අමුතු විදිහට අමුතු සිරිතකට අනුව හැදුණු දරුවෙකි. ඒ තහංචි බාධක දමා කොටුකර තිබූ නිසා නොව නිවෙසේ උදවියගෙන් ලැබුණු ආදරයේ හා කරුණාව නිසාමය. විශ්වසනීය නිදහස නිසාම ය.

“මම තවමත් ජංගම දුරකතනයක් පාවිච්චි කරන්නේ නැහැ. වැඩකට නැති විදිහට එක එක සමාජ ජාල මාධ්‍ය තුළ සැරි සරන්නේ නැහැ. අන්තර්ජාලයට ගියත් මම බලන්නේ මගේ දැනුමට මගේ විෂයට අදාළ තොරතුරු විතරයි. ඒත් වුවමනා වුණොත් පමණයි. අක්කලා ඒකට මට උදවු කරනවා.”

ෂුක්රා කලාවටත් ළැදියි. සිංහල ගීත අසන්නට සිංහල නාට්‍ය නරඹන්නට බෙහෙවින් ඇලුම් කරන්නීය. එහෙත් වැඩකට නැති ටෙලි නාට්‍ය බලන්නට නම් ඇය කිසිසේත් කාලය නාස්ති කරගන්නේ නැත.

“නංගි නිතර ම වගේ එක සින්දුවක් නම් මුමුනනවා. ඒ තමයි ‘සිරි පැරකුම්’ චිත්‍රපටයේ ‘යාළු යාළු පොඩි ළමයි අපි’ කියන ගීතය. ඒකට එයා ගොඩාක් ආසයි” එසේ කීවේ ෂුක්රාගේ වැඩිමහල් සොයුරිය ආය්ෂා ය.

සිරස ලක්ෂපතියෙන් බිහි වී මුළු රටේ ම අවධානය දිනාගත් ෂුක්රාගේ නමෙහි තේරුම ඔබ දන්නවා ද? අරාබි භාෂාවෙන් ‘ෂුක්රා’ කියන්නේ ‘ස්තූතියි‘ කියන්නට ය. හැබෑවට ම හෙළබස අගය කරන හෙළ සිරිත්වලට ගරු කරන ශ්‍රී ලාංකිකයකු ලෙස හිතන පතන ෂුක්රාට අප කියන්නේ ද ‘ෂුක්රා’ කියාය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්