සඳගිරි මහා සෑ ධාතු ගර්භයේ බිතුසිතුවම් නොමිලේ අඳින චාමිනි

බෞද්ධ විහාරස්ථානයකට වන්දනාවේ යන කවුරුත් බිතුසිතුවම් නැරඹීමට කැමැත්තක් දක්වති.

පුරාණයේ සිට ම බෞද්ධ විහාර බිතුසිතුවමින් අලංකාර කොටඇත්තේ පැහැදිලි අරමුණු ඇතිව ය.

වන්දනා කරුවන් තුළ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව ජනිත කරවීම එක් අරමුණකි. සැදැහැවතුනට සදාචාරාත්මක පාඩම් ඉගැන්වීම හෙවත් උපදෙස් දීම තවත් අරමුණකි. කියවීමට නොහැකි අයට වුවත් සිතුවම් බලා ආශ්වාදයක් අවබෝධයක් ලබා ගැනීමට හැකිවීම චිත්‍රවල ඇති විශේෂ ලක්ෂණයකි.

ලංකාවෙ විහාර බිතුසිතුවම් කලා ඉතිහාසයේ අපට හමුවන පළමු විහාර බිතුසිතුවම් ශිල්පිණිය වන චාමිනී වීරසූරිය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ලලිතකලා විශේෂවේදී උපාධියත්, කැළණිය විශ්ව විද්‍යාලයේ ලලිතකලාධිපති පශ්චාත් උපාධියත් සම්පූර්ණ කල ඇය ගැන මෙවර සටහන තබන්නට විශේෂම හේතුව ලංකාවෙ පළමුවරට ස්තූප ගර්භයක් සිතුවමින් වර්ණවත් කරවන කාන්තා චිත්‍ර ශිල්පිණිය බවටත් ඇය පත්ව ඇති නිසාවෙන්ම නොව එහිදී ඇය විසින් භාවිත කර ඇති ශෛලිය ද සුවිශේෂී වන නිසාවෙනි.

චාමිනි මේ දිනවල මහනුවර හන්තාන කදු මුදුනේ සදගිරි මහා ස්තූපයේ ධාතු ගර්භය සිතුවම් කරමින් පවතිනව. මාස දෙකහමාරක් පුරාවට වැඩකටයුතු සිදු කරමින් එහි. 90% ක පමණ වැඩ කටයුතු මේ වන විට නිමාවෙලා අවසන් කාලයක් පුරාවට ඇයගේ හිතේ තිබුන ආශාව උපතින් ලද කලා හැකියාවෙන් පින් තකා යම් විහාරස්ථානයකට නොමිලේ සිතුවම් ඇද දෙන්න අවශ්‍යයි කියලා ඒ වෙනුවෙන් චමිනි සදගිරි විහාරයේ විහාරාධිපති හිමියන් බැහැදැක ඇය උන්වහන්සේට විස්තර පැහැදිලි කිරීමෙන් පසු ඇය මුලින්ම සාම්පල් චිත්‍රයක් කරලා පෙන්වන් වීමෙන් පසු චාමිනි ගොඩනගා ගත් ඒ නව ශෛලිය ට උන්වහන්සේ ඇතුලු ඊට සම්බන්ධ පිරිසගෙ කැමැත්ත අවසරය ලැබීමෙන් පසු වැඩකටයුතු ආරම්භ කලා.

චාමිනි අප සමග මේ පිළිබඳව අදහස් දක්වමින් පැවසුවේ

වර්තමානයේ බොහෝ විහාර චිත්‍ර වාණිජකරණයකට ලක්ව ඇති පසුබිමක නානාවිධ විචිත්‍ර වර්ණ බොහොමයක් යොදාගෙන හරිම ප්‍රාථමික රසවින්දනයක් තුලට ජනතාවගේ රසවින්දනය කොටු කරල තියෙනවා.

බෞද්ධ විහාරස්ථානයකට ඇතුල්වුනාම බෞද්ධයකු වශයෙන් අපි බලාපොරොත්තු වන ආධ්‍යාත්මික සුවය, ශාන්ත රසය වර්තමානයේ විහාර චිත්‍ර තුළ අපිට දකින්න ලැබෙන්නෙ නෑ. නමුත් අනුරාධපුර ,පොළොන්නරුව යුග වලට ගියාම අපිට ඉතා වටිනා සම්භාව්‍ය කලාවක් තිබුනු බව මහා සම්ප්‍රදායික චිත්‍ර ලක්ෂණ සහිත තිවංක පිළිමගේ, සීගිරි සිතුවම් ආදියෙන් පිළිබිඹු වෙනව.

ඊට සමකාලීනව ඉන්දියාව, චීනය, ජපානය වගේ රටවලත් මහා සාම්ප්‍රදායික ලක්ශණ සහිතව බිහිවුනු සම්භාව්‍ය බෞද්ධ චිත්‍ර කලාවක් ඒ ඒ රටවල් සහ ප්‍රදේශ අනුව බිහිවෙලා තිබුන. බෞද්ධ චිත්‍ර කලාව අනෙක් ආගමික චිත්‍ර කලාවන් සමග සැසදීමේදී සංයමයකින් ඇදුණු නිර්මාණ වෙනවා.

චිත්‍ර පමණක් නොවේ බෞද්ධ පිළිම කලාව වුනත් ආධ්‍යාත්මික ගුණ පෙරටු කරගෙන සරල බව, අල්පේච්ඡතාව විදහාදැක්වෙන නිර්මාණයන් වූ බව අනුරාධපුර සමාධි පිළිමය, තොලුවිල ප්‍රතිමාව ,අවුකන පිළිමය වගේ අග්‍රගණ්‍ය නිර්මාණ හරහා අපිට වැටහෙනව. ඉතිං මට අවශ්‍ය වුණා.

ඒ ඈත පෙරදිග කලා ලක්ෂණ සහිත බෞද්ධ චිත්‍ර කලාව ආයෙත් වත්මන් ලාංකීය විහාර චිත්‍ර කලාව සමග එකතු කරන්නට. ඒ වෙනුවෙන් මන් දැරූ උත්සහය කොය් වගේද කියල හන්තාන කදුමුදුනේ ඉදිවෙන සදගිරි මහා ස්තූපයේ ධාතු ගර්භය තුළින් හැමෝටම ඉදිරියේදී දැකබලා ගන්න හැකිවේවි.

චාමිනී ඔබට මේ කර්තව්‍යයේදී ප්‍රායෝගිකව පැන නැගුණු අභියෝග එහෙම තියෙනවද.?

අභියෝග නම් බොහොමයි විශේෂයෙන්ම කාන්තාවක් වීම නිසාවෙන්ම මුහුණදීමට ඇති අභියෝග ප්‍රමාණය වැඩියි .

නමුත් මෙහිදි මන් පෞද්ගලිකව මට මුහුණපෑමට වුනු අභියෝග පසෙකලා නිර්මාණය වෙනුවෙන් ලැබුනු අභියෝග ගැන කතා කරන්න කැමතියි. මේ ස්තූපය තවම පිටතින් කපරාරු කර නොමැති වීම නිසාත් හන්තාන ප්‍රදේශයට නිතර වැසි ලැබෙන කාලයක් නිසාත් ප්‍රායෝගිකව බොහෝ ගැටලු ඇතිවුනා. ගඩොල් බිත්ති වලට උරාගන්නා ජලය ඇතුල් බිත්තියෙන් පිටවීම (දිය සීරා) නිසා බිත්තියේ බොහොමයක් ස්ථාන තෙත්ව තමය් තිබුනෙ.

මන් පාවිච්චි කල වර්ණ සාමාන්‍ය කාමර උෂ්ණත්වයේදී විනාඩි දහයක් ඇතුලත වියලෙන නමුත් ස්තූපය තුලදී මාස දෙකක් පමණ ගතවු පසුත් වියලී නැති ස්ථාන බොහොමයක් තිබුන. ඉතිං අතරමගදි මන් විහාරාධිපති ස්වාමීන්වහන්සේගෙන් ඉල්ලීමක් කලා ස්තූපයේ පිටත කපරාරුව සිදුවු පසු මෙහි සිතුවම් කරන්නට.

නමුත් උන්වහන්සේ ගේ දැඩි ඉල්ලීම මත මේ තිබෙන තත්වයෙන්ම සිතුවම් කරන්න මන් තීරණය කලා.විශේෂයෙන්ම සිතුවම්හි බාහිර රේඛා යෙදීමේදි බිත්ති වල තෙතමනය නිසා බාධා ඇතිවුනා. ඒ වගේම කොවිඩ් වසංගත තත්වය හමුවේ ආනයනික භාණ්ඩ සීමා වීම මත අවශය අමුද්‍රව්‍ය සපයාගැනීමත් දුෂ්කර වුනා.

චාමිනී ඔබ වෘත්තියෙන් ගුරුවරියක් ලෙසත් සේවය කලා නේද .අපි ඒ ගැනත් කතා කරමු

ඔව් මගේ පළමු පත්වීම කැබිතිගොල්ලෑව මධ්‍ය මහා විද්‍යාලයට ලැබුනෙ. ඉන් පසුව මම නාච්චදූව සිංහල මහා විද්‍යාලයෙත් චිත්‍ර විශය භාර ගුරුවරියක ලෙස සේවය කලා. මීට වසර දෙකකට පෙර මම මගේ උසස් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් වසර දෙකක විදේශ නිවාඩු ලබා ඉංදියාවට ගියා. නමුත් කොවිඩ් වසංගත තත්වයත් සමග මගේ සියලු කට‍යුතු අතරමග ඇණහිටුන. ඒ නිසා නැවත වරක් මට විදේශගත වෙන්න වෙන නිසාත් අදාළ නිවාඩු නැවත ලබා ගැනීමේදී පාසලට චිත්‍ර ගුරුවරයකු ලබා ගැනීමට අපහසුවන( වැඩ ආවරණ ලිපි හේතුවෙන්) නිසාත් මීට සතියකට පෙර මම ගුරු වෘත්තියට ඉතා අකමැත්තෙන් සමුදුන්න.

චාමිනී ඔබ ලංකාවෙ පමණක් නොවෙය් ඉංදියාවෙත් පුවත්පත් ,රූපවාහිනී මාධ්‍ය හරහා ඉතා කෙටි කලකින්ම චිත්‍ර ශිල්පිණියක ලෙස ජනප්‍රිය වෙන්නට හේතුව කුමක්ද?

මම ඉංදියාවෙ මහාරාශ්ට්‍ර ප්‍රාන්තයේ නාග්පූර් නගරෙ තමය් ජීවත්වුනේ. එහි කෝටි තුනකට ආසන්න බෞද්ධය්න් පිරිසක් ඉන්නව.

නමුත් ඔවුන්ට බුදුදහම පිළිබදව, බෞද්ධ ඉතිහාසය පිළිබදව ලොකු දැනුමක් නැහැ.

විශේෂයෙන්ම එහෙ විහාරස්ථාන වල බෞද්ධ බිතුසිතුවම් කලාවක් නෑ. මුලින්ම මන් නාග්පූර් හි බෝධිගයා විහාරයේ නොමිලේ සිතුවම් ඇන්ද මගෙ උපන්දිනය වෙනුවෙන්. ඒක ඒ අයට අලුත් දෙයක් වුනා. ඒ අය සිතුවම් වල ඇදෙන සිද්ධි හා අවස්ථා ගැන මගෙන් අහල දැනගත්ත.

ඒ වගේම විහාරස්ථාන කිහිපයකින් මට උත්සව අවස්ථාවන්හිදි බුදුදහම සම්බන්ධ දේශන සදහාත් ආරාධනය කලා. මේ අතර කාලයේදී මට ඉන්දියාවෙ උත්තර් ප්‍රාන්තයේ ලක්නව් විශ්ව විද්‍යාලයේ කතිකාචාර්‍ය්වරුන් පිරිසකගෙන් ඉල්ලීමක් ලැබුන ඒ අයට සිංහල භාෂා වැඩමුලුවක් පවත්වන්නට.

එහිදී මම කැළණිය විශ්ව විද්‍යාලයේ සහය කතිකාචාර්‍ය් මාර්තුවෙල විජිතසිරි හිමියන්වත් සම්බන්ධකර ගනිමින් මාසයකට ආසන්න කාලයක් වැඩමුලුවක් පැවැත්වුවා. මේ වෙද්දි මගෙන් සිංහල ඉගෙන ගත්ත “භදන්තාචාර්‍ය බුද්ධදත්ත” පාලි පදනමේ පිරිස එකතු වී සිංහල අකුරින් ලියැවුනු පාලි බෞද්ධ පොත් දේවනාගරී අක්ශරයට පරිවර්තනය කරමින් ඉන්නව. ඒ වගේම ඉන්දියාවෙදි මට ලැබුනු විශේෂම අවස්ථාව තමය් පසුගිය මාර්තු මාසයේ ලක්නව් නගරයේ පැවති අන්තර්ජාතික බෞද්ධ මහ සම්මේලනය ට ආරාධිත දේශකයකු ලෙස සම්බන්ධ වීම සහ ඊට සමගාමීව ඒකපුද්ගල සිතුවම් ප්‍රදර්ශනයක් කිරීමට ලැබීම. ඒ සියලුම සිතුවම් බුදුන්වහන්සේගේ ධර්මය හා බෞද්ධ ඉතිහාසය සම්බන්ධ සිතුවම් . එම සම්මේලනයේ දි මන් කල කතාව එහි රූපවාහිනී නාලිකා හරහාත් ජනප්‍රිය වුණා..

ලාංකිකයෙක් විදිහට ඒකට මන් ගොඩක් සතුටුවෙනව.එහිදි ඔවුන් මට ගෞරව සම්මානත් ලබාදුන්න සිතුවම් කලාව හරහා බුදුදහම ව්‍යාප්ත කිරීමට උරදීම වෙනුවෙන්. ඒ වගේම ඉංදියාවෙ උත්තර් ප්‍රාන්තයේ
“ස්වාමිවිවේකානන්ද් සුභාරතී ” විශ්ව විද්‍යාලයෙන් පවත්වපු සිතුවම් ප්‍රදර්ශනයක් ලෝක ප්‍රසිද්ධ ” රාජා රවි වර්මා” ආර්ට් ගැලරි එකේදි පැවැත්වුවා. එහිදී ආරාධිත චිත්‍ර ශිල්පිණියක ලෙස ඔවුන් මට ඊට සම්බන්ධ වෙන්න ඇරයුම් කිරීමත් මටලැබුනු විශේෂ අවස්ථාවක්.මේ වෙද්දි නේපාලයෙනුත් සිතුවම් ප්‍රදර්ශනයක් සදහා ආරාධනා ලැබිල තිබුනත් පවතින වසංගත තත්වය හමුවෙ වැඩකටයුතු ප්‍රමාද කරන්න වෙලා තියෙනව.

චාමිනීගෙ අනාගත බලාපොරොත්තු ගැන අපිට දැනගන්න පුලුවන් ද ?

අනාගත බලාපොරොත්තු නම් බොහොමය්. මුලින්ම මන් මගේ උසස් අධ්‍යාපන කටයුතු වල ඊලග පියවර ලෙස දර්ශන ආචාර්‍ය් උපාධිය (PHD) සම්පූර්ණ කරගන්න ඕන.

ඒ වගේම සදගිරි ස්තුපය තුල නිර්මාණ කටයුතු වලදී මන් නිර්මාණය කරගත් මගෙම ශය්ලිය එක්ක තව දුරටත් වැඩකටයුතු කිරීමට බලාපොරොත්තු වෙනව. ලාංකිකයෙක් විදිහට චිත්‍රකලා ඉතිහාසය තුල ජාත්‍යන්තර සලකුණක් තියන්නට මන් හීන දකිනව. එය සැබෑවක් කරගැනීමට උත්සහ දරමින් ඉන්නව.

ගොසිප් ලංකා නිව්ස් පොල්ගහවෙල වාර්තාකරු – ඩිමේෂ් අධිකාරී

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
108
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
2
මලපනිනව !
4
කුජීතයි !
2

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්