සහරාන්වත් මෙහෙයවූයේ කවුදැයි ප්‍රශ්නාර්ථයක් ඉතිරි කරමින් පාස්කු කොමිසම අවසන් වෙයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව පිළිබඳ සොයාබැලෙන ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාවේ කටයුතු අද (27) නිල වශයෙන් අවසන්වීමට නියමිතය.

අද පස්වරු 04.00ට පැවැත්වීමට නියමිත සමාප්ති සැසියෙන් අනතුරුව කොමිසමේ කටයුතු නිල වශයෙන් අවසන් වනු ඇත.

ආපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාගෙන් ප්‍රකාශ ලබාගැනීමෙන් පසු ජනාධිපති කොමිසමේ සාක්ෂි විමසීමේ කටයුතු ඊයේ දිනයෙන් අවසන් විය.

ඒ අනුව වසරකට වැඩි කාලයක් සාක්ෂිකරුවන් 440 දෙනෙකුගෙන් කොමිසම ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

මේ අතර කොළඹ ජාතික රෝහලේ සිට Skype තාක්ෂණය ඔස්සේ ඊයේ (26) දෙවන දිනටත් කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් ශානි අබේසේකර මහතා පැවසුවේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ වූ පුර්ව දැනුවත් කිරීම් පිළිබඳ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නොදැන සිටින්නට ඇතැයි තමන් විශ්වාස නොකරන බවය.

කොළඹ ජාතික රෝහලේ සිට ඊයේ දෙවන දිනටත් ජනාධිපති කොමිසම හමුවේ Skype තාක්ෂණය ඔස්සේ සාක්ෂිදෙමින් ඔහු කියා සිටියේ පාස්කු ප්‍රහාරය පිටුපස අදෘශ්‍යමාන හස්තයක මෙහෙයවීමක් ඇතැයි තමන්ද සැක පළ කරන බවය.

2019 වසරේ පාස්කු ඉරුදින මෙරට ත්‍රස්ත ප්‍රහාර මලාවක් එල්ලවන අවස්ථාවේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ, රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා ඊයේ ජනාධිපති කොමිසම හමුවේ දෙවන දිනටත් සාක්ෂි ලබාදුනි.

හෘදයාබාධයකට ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර කොළඹ ජාතික රෝහලේ 42 වාට්ටුවේ සිට Skype තාක්ෂණය ඔස්සේ ඔහු ජනාධිපති කොමිසම වෙත සාක්ෂි ලබාදීමට එක්විය.

එහිදී ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා ප්‍රශ්නකර සිටියේ වනාතවිල්ලුව පුපුරණ ද්‍රව්‍ය සොයාගැනීම සම්බන්ධයෙන් 2019 ජනවාරි මස 16වන දින අත්අඩංගුවටගත් සැකකරුවන් සිව්දෙනාගෙන් දෙදෙනෙකු පාස්කු ප්‍රහාරයට පෙර අප්‍රේල් 10වන දින කොන්දේසි සහිතව අධිකරණය විසින් නිදහස් කළේ ඔබ සහ එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න මහතාගේ වාර්තාවකට අනුවද යන්නය.

එයට පිළිතුරු දෙමින් ශානි අබේසේකර මහතා මෙලෙස පැවසීය.

“ඔව් ස්වාමිනි, ඔතනදි මම කියන්න ඕනේ. ආරක්ෂක ලේකම්වරයා සමග පැවති රැස්වීමකදි එවකට බස්නාහිර පළාත් අණ්ඩුකාර අසාද් සාලි මහතා ඉල්ලීමක් කළා එම සැකකරුවන් දෙදෙනා නිදහස් කරන්න කියලා. නමුත් මම පැහැදිලිව කිව්වා විමර්ශන අවසන් වෙනකං නිදහස් කරන්න බැහැ කියලා. ඊට පස්සේ ඒ විමර්ශනය කරපු පොලිස් පරීක්ෂක මාරසිංහ අදාළ සැකකරුවන් දෙදෙනා සම්බන්ධයෙන් විමර්ශනය අවසන් කරලා ඔවුන් වනාතවිල්ලුව පුපුරණ ද්‍රව්‍ය සොයාගැනීමට සම්බන්ධ නැති බව වාර්තා කළ නිසයි මමත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමත් නියමිත නෛතික ක්‍රමවේදයට සැකකරුවන් නිදහස් කරන්න අවසර දුන්නේ.”

“නමුත් පොලිස් පරීක්ෂක මාරසිංහ මේ කොමිසම හමුවේ සාක්ෂි දීලා තියෙනවා, අදාළ සැකකරුවන් දෙදෙනා සම්බන්ධයෙන් විමර්ශන කඩිනම් කරන ලෙස ඔබත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න මහතාත් ඔහුට උපදෙස් දුන්නා කියලා. ඒ වගේම අදාළ විමර්ශනය සම්බන්ධයෙන් සටහන් නොතබන ලෙසත්, සාක්ෂිකරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කර නොගන්නා ලෙසත් ඔබ උපදෙස් දුන් බව මාරසිංහ නිලධාරියා මේ කොමිසම හමුවේ සාක්ෂි දී තිබෙනවා,” යැයි කොමිසමේ සභාපති විනිසුරුවරයා එහිදී ප්‍රශ්න කර සිටියේ ය.

ඊට පිළිතුරු දෙමින් ශානි අබේසේකර මහතා පැවසූවේ, “ස්වාමිනි, අපි කිසිසේත්ම එම විමර්ශන කඩිනම් කරන ලෙස විශේෂයෙන් උපදෙස් දුන්නේ නැහැ. මොකද කාවවත් ඉක්මනින් නිදහස් කිරීමේ හදිස්සියක් මට තිබුනේ නැහැ. ඒ නිසයි අසාද් සාලි මහතා ඉල්ලපු වෙලේ කෙළින්ම මම බැහැ කිව්වේ. ඒ වගේම මාරසිංහ සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි සටහන්කර නොගත්තේ ඇයි ද කියන එක මම දන්නේ නැහැ. නමුත් මම එහෙම උපදෙස්දීමක් කළේ නැහැ. අනික මම වනාතවිල්ලුව විමර්ශය සම්බන්ධයෙන් සටහන් දමන්න එපා කියලා මාරසිංහට කිව්වයි කියලා ඔහු කිව්වට පැහැදිලිව ඔහු ඒ විමර්ශනයට අදාළව මේ පොත්වල සටහන් දාලා තියෙනවා. ඒ නිසා එම ප්‍රකාශ සම්පුර්ණෙන්ම අසත්‍යක්,” යනුවෙනි.

එහිදී ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා ප්‍රශ්න කළේ වනාතවිල්ලුව පුපුරණ ද්‍රව්‍ය සොයාගැනීම ඔබ වැදගත් කොට සැලකුවානම් ඒ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිටි සම්පුර්ණ නිලධාරින් සංඛ්‍යාව 710 ක් ව තිබියදී, ඉන් නිලධාරින් 05 දෙනෙකු පමණක් අදාළ විමර්ශනයට යෙදෙව්වේ මන්ද යන්නය.

“ස්වාමිනි, කිසියම් විමර්ශනයකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ලෙස මා යොදවන්නේ ප්‍රධාන විමර්ශන නිලධාරියා සහ දෙවැන්නෙක් පමණයි. ඔවුන් දෙදෙනා තමයි විමර්ශනයට අවශ්‍ය පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඔවුන්ගේ එකකවල අනිත් නිලධාරින්ව යොදාගත යුත්තේ. අනික මගෙන් දෙමළ භාෂාව පුළුවන් නිලධාරින් දෙදෙනෙකු ඉල්ලපු වෙලාවෙත් මම නිලධාරින් දෙදෙනෙක් ලබාදුන්නා,” යැයි ශානි අබේසේකර මහතා ඊට පිළිතුරු දී තිබුණි.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට පෙර යම් අවස්ථාවක සහරාන් හෂිම්ගේ සොහොයුරු සයින්දමර්දු හි පිපිරීමෙන් මියගිය මොහොමඩ් ශෛයිනිව සහ සහරාන්ගේ සමීපතමයෙකු ලෙස කටයුතු කළ ආමි මොහිදින්ව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ගෙනවිත් ප්‍රශ්න කිරීමක් සිදු කළේදැයි කොමිසමේ සභාපතිවරයා මෙහිදී ප්‍රශ්න කළේය.

ඒ පිළිබඳ තමන්ගේ දැනුවත්වීමක් නැතැයි ශානි අබේසේකර මහතා පිළිතුරු දුනි.

එහිදී සභාපති විනිසුරුවරයා පෙරළා ප්‍රශ්න කළේ අධ්‍යක්ෂකවරයා ලෙස ඔබ නොදැන එවැනි සැකකරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙන ඒමේ හැකියාවක් ඇත්ද යන්නය.

“ඔව්. ස්වාමිනි., විමර්ශන නිලධාරින්ට ගේන්න පුළුවන්. අත්අඩංගුවට ගැනීමක් සිදුකරනවා නම් පමණයි මට දැන්විය යුත්තේ,” යැයි අබේසේකර මහතා පවසා සිටියේ ය.

එහිදී රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා විමසා සිටියේ ත්‍රස්ත ප්‍රහාර මාලාව එල්ලවීමෙන් පසු ඒ පිළිබඳ විමර්ශනයට මෙරටට පැමිණි විදෙස් විමර්ශකයන්ට ඔබ විසින් නඩු භාණ්ඩ ලබාදීමක් සිදුකළේද යන්නය.

“ස්වාමිනි, මේ කොමිසම හමුවේ සාක්ෂිදුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත දිසානායක මහතා වරක් සාක්ෂි දී තිබුණා අප්‍රේල් 21 ප්‍රහාරයට සම්බන්ධ නඩු භාණ්ඩ විදේශීය බුද්ධි අංශ වෙත ලබා දුන්නේ එවකට අධ්‍යක්ෂව සිටි මාගේ උපදෙස් පරිදි කියලා. ඒ මත පදනම් වෙලා මාධ්‍ය පුළුල් ප්‍රචාරයකුත් දීලා තිබුණා.”

“ස්වාමිනි මම පැහැදිලිව කියන්න ඕනේ පිපිරීමට අදාළ නඩු භාණ්ඩ විශ්ලේෂණයට විදෙස් විමර්ශකයින් අවස්ථාවක් ඉල්ලුවා. නමුත් මම නඩු භාණ්ඩ තුන්වන පාර්ශ්වයකට ලබාදෙන්න කැමති වුනේ නැහැ. පසුව එම විදෙස් විමර්ශකයින්ව සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන්ව අධිකරණය ඉදිරියට කැඳවලා ප්‍රකාශ සටහන් කරගෙන තමයි කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය නියෝග කළේ නඩු භාණ්ඩ පරීක්ෂා කරන්න විදෙස් විමර්ශකයින්ට අවසර දෙන්න කියලා. ඕකයි ස්වාමිනි සිද්ධිය,” යැයි ශානි අබේසේකර මහතා දීර්ඝව පැහැදිළි කළේය.

එසේම එහිදී වැඩිදුරටත් කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් ශානි අබේසේකර මහතා දැඩි ලෙස සංවේදි වී තිබුණි.

“ස්වාමිනි, මම කිසිම වරදක් කරලා නැහැ. අවුරුදු 32 කට ආසන්න පොලිස් ජීවිතෙයි, ඒකෙන් අවුරුදු 20කට ආසන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කාලයෙයි මට කිසිම කළු පැල්ලමක් නැහැ. මට චෝදනා තියෙන්නේ සැකකරුවන් නිදහස් නොකිරීම ගැන පමණයි. අනෙක් සියල්ල නීතිපති දෙපාර්තමේන්තුව නගපු චෝදනා. මම අහිංසක මිනිස්සු වෙනුවෙන් සේවය කළ රාජ්‍ය නිලධාරියෙක් ස්වාමිනි. රැකියාව කළා පමණයි. සමාන්‍යයෙන් පොලීසියට එන චෝදනා ගත්තම සල්ලි ගත්තා, අතපය කැඩුවා, කාන්තාවන් අමාරුවේ දැම්මා.. ඔන්න ඔය වගේ ඒවා එන්නේ. මට එහෙම කිසිම චෝදනාවක් නැහැ. අද හවසට එයිද දන්නේ නැහැ. මට නැතිවෙන්න දෙයක් නැහැ ස්වාමිනි. එකයි පටන්ගද්දිම යටහත් පහත්ව කිව්වේ ඕන දෙයක් අහන්න කියලා. මේකත් කරලා ඉවර කරන්න. පොලිස් කොමිසමෙන් නිර්දේශ කළා මට වැටුපෙන් හරි අඩක් ගෙවන්න කියලා. ඒකවත් තවම හම්බුනේ නැහැ. මම රැකියාවට පිටින් සතයක්වත් අරන් නැහැ ස්වාමිනි. අදටත් ඉන්නේ නිවාස සංවර්ධන අධිකාරියේ කුළි නිවසක. කාමර දෙකයි, මුළුතැන්ගෙයි සාලෙයි. වර්ග අඩි 550 ක පුංචි නිවසක්. මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා ස්වාමිනි. ඔවුන්ට දැන් පාරේ බැහැලා යන්නවත් බැහැ,” යැයි පැවසු ශානි අබේසේකර මහතා කොමිසම හමුවේ සංවේදි වුණි.

අබේසේකර මහතාගේ සංවේදිවීම හමුවේ ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ සලකා බැලු ජනාධිපති කොමිසම ඔහුට කෙටි විවේකයක් ලබාදුන් අතර අනතුරුව යළි සාක්ෂි ලබාගැනීම ආරම්භ කෙරුණි.

එහිදී රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා විමසා සිටියේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට පෙර ආරක්ෂක අංශ අතර හුවමාරු වු විදෙස් බුද්ධි අංශවලින් කළ පුර්ව දැනුවත් කිරීමේ තොරතුරු ඔබට ලැබුනේද යන්නය.

“ස්වාමිනි, මට ඒ ලිපි ලැබුනේ අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පස්සේ 23 වන දිනයි. ඊට පෙර මට ඒ ලිපි ලැබුනේ නැහැ. 20 වන දින පස්වරුවේ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා එවු කෙටි පණිවුඩය නම් මට ලැබුණා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න මහත්මයාගෙන්,” යැයි ශානි අබේසේකර මහතා පිළිතුරු දුනි.

20 වන දින පස්වරුවේ කෙටි පණිවුඩය ලැබුණම ප්‍රහාරය වළක්වා ගැනීමට ඔබ කුමන පියවරක් ගත්තේදැයි මෙහිදී රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා යළි ප්‍රශ්න කළේය.

එයට පිළිතුරු දෙමින් ශානි අබේසේකර මහතා කියා සිටියේ, “අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රහාර වළක්වා ගැනීමේ හැකියාවක් නැහැ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියන්නේ අපරාධයක් සිදුවුනාට පස්සේ ඒ සම්බන්ධයෙන් විමර්ශනය කරන්න ස්ථාපිත කරලා තියෙන ආයතනයට,” යන්නය.

එසේනම් ප්‍රහාරය වළක්වා ගැනීමට අසමත් වුණේ කවුදැයි මෙහිදී ජනාධිපති කොමිසමේ සමාජික අභියාචනාධිකරණය විනිසුරුවරයා ප්‍රශ්න කළේය.

“ස්වාමිනි, රාජ්‍ය බුද්ධි සේවය, රාජ්‍ය බුද්ධි සේවය ලද පුර්ව දැනුවත් කිරීමේ තොරතුර නිසි ලෙස සම්බන්ධිකරණ කරලා පොලිස්පතිවරයා අවශ්‍ය පියවර ගත්තා නම් මේ ප්‍රහාරය වළක්වා ගන්න හැකියාවක් තිබ්බා. ත්‍රිවිධ හමුදාවේ සහය ගත්තානම් එය තවත් පහසුවෙනවා,” යැයි අබේසේකර මහතා පිළිතුරු දුනි.

එහිදී කොමිසමේ සමාජික අභියාචනාධිකරණය විනිසුරුවරයා මෙසේ විමසා සිටියේය.

“රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා මේ කොමිසම හමුවේ සාක්ෂිදුන්නා ඔහු මේ ප්‍රහාරය පිළිබඳ ලද බුද්ධි තොරතුරු එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දැනුම්දුන්නේ නැහැ කියලා. ඔබ එය පිළිගන්නවාද?”

“ස්වාමිනි, මම දන්නේ නැහැ නිලන්ත ජයවර්ධන මේ තොරතුරු හරියටම දැනුම් දුන්නද නැද්ද කියලා. හැබැයි එහෙමයි කියලා ඔහු මේ තොරතුරු දැනුම් දුන්නේ නැහැයිම කියන එක පිළිගන්න බැහැ. මොකද මම පැහැදිලිව දන්නවා රාජ්‍ය ආරක්ෂාව, දේශපාලනය, මහජන උද්ඝෝෂණ වගේ ඕනෑම දෙයක් ගැන රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ දෛනිකව ජනාධිපතිවරයාව දැනුවත් කරනවා. ලද මුල් තොරතුරමයි ජනාධිපතිට යන්නේ. රටේ සියළු තොරතුරු ජනාධිපති දැනගන්නේ රාජ්‍ය බුද්ධි සේවය හරහා. ඒ නිසා ජනාධිපතිවරයා මේ පිළිබඳ නොදැන සිටියා වෙන්නට බැහැ. ප්‍රහාරයෙන් පස්සේ පාර්ලිමේන්තු තේරිම් කාරක සභාව හමුවේ සාක්ෂිදෙන්න එපා කියන්න ජනාධිපති අපිව ජනාධිපති ලේකම් කාර්යාලයේ තිබුණ රැස්වීමකට කැදෙව්වා. එහිදී මාව දැනුවත් කළේ නැහැ කියන එක කිව්වා. හැබැයි කිසිම අවස්ථාවක ඇයි මට කිව්වේ නැත්තේ කියලා නිලන්තගෙන් ඇහුවේ නැහැ,” යැයි අබේසේකර මහතා වැඩිදුරටත් සාක්ෂි දෙමින් පැවසීය.

මෙහිදී අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා මහතා මෙසේ ප්‍රශ්න කළේය.

“අබේසේකර මහත්මයා, ඔබේ ජ්‍යෙෂ්ඨ නිලධාරීයාව සිටි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාර විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න මහත්මයා මේ කොමිසම හමුවේ සාක්ෂිදෙමින් කියා සිටියා මේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් IS සංවිධානයේ සෘජු සම්බන්ධයක් නැති බව විමර්ශනවලදී අනාවරණය වුණා කියලා. ඔබ එය පිළිගන්නවාද?”

“ඔව් ස්වාමිනි, මම එය පිළිගන්නවා. ප්‍රහාරයෙන් පසු ට්‍රොපිකල් ඉන් ලැගුම්හල හැරුණු විට අනිත් ස්ථාන 06 සහ සයින්දමර්දු පිපිරීම සම්බන්ධයෙන් විමර්ශනය කළේ මම. නමුත් ඒ කිසිඳු විමර්ශනයකින් මෙම ප්‍රහාරය පිටුපස සෘජුව IS සංවිධානය ඉන්න බවක් අනාවරණය වුණේ නැහැ,” යැයි ශානි අබේසේකර මහතා පිළිතුරු දුනි.

එහිදී ජනාධිපති නීතිඥවරයා යළිත් ප්‍රශ්න කරමින් විමසා සිටියේ, “ඒ වගේම ඔබේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා කියලා තිබෙනවා මේ කොමිසමට, IS සංවිධානයේ සෘජු සම්බන්ධයක් නැති වුනත් වෙනත් අදෘශ්‍යමාන බලවේගයක් මේ ප්‍රහාරය පිටුපස ඉන්නවා කියලා විමර්ශනවලදී සැක මතු වුණා කියලා. ඒ ගැන ඔබට මොකක්ද කියන්න තියෙන්නේ,” යනුවෙනි.

“ඔව් ස්වාමිනි, ඒ පිළිබඳ සැක මතුවුණා තමයි. ප්‍රශ්නාර්ථ ගොඩාක් තියෙනවා. එකක් ලෝකයේ කිසිම ත්‍රස්ත ප්‍රහාරයකදී ත්‍රස්තවාදී කණ්ඩායමක නායකයා මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු ලෙස මිය ගිහින් නැහැ. නායකයා කරන්නේ අනුගාමිකයන් ප්‍රහාරය සඳහා මෙහෙයවීමක්. අනුගාමිකයන් තමයි මරාගෙන මැරෙන බෝම්බකරුවන් ලෙස මැරෙන්නේ. ඒ නිසා අපිට ප්‍රශ්නයක් සහරාන් මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු ලෙස මියයෑම. මොකද අපේ විමර්ශනවලදී මේ ත්‍රස්ත කණ්ඩායමේ නායකයා ලෙස හඳුනාගත්තේ සහරාන්ව. එ්ක නිසා වෙනත් අදෘශ්‍යමාන හස්තයක් තිබුනාද, කිසියම් කෙනෙක් හෝ පාර්ශ්වයක් සහරාන්වත් මෙහෙව්වාද? කියන එක මටත් ප්‍රශ්නයක්,” යැයි ශානි අබේසේකර මහතා අවසන් වශයෙන් ජනාධිපති කොමිසම හමුවේ පවසා සිටියේය.

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

සතියේ ජනප්‍රියම පුවත්

කොළඹ කෝටිපතියෙකුගේ පුතා රෝහලක උඩුමහලකින් පැන මරුට කැපවෙයි..

කොළඹ කෝටිපති ව්‍යාපාරිකයකුගේ තරුණ පුතකු කොල්ලුපිටිය ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක දස වැනි මහලෙන් බිමට පැන...

භාතිය හා සන්තුෂ් වෙලෙන්දන් දෙදෙනෙක් පමණයි.. රෝහණ වීරසිංහගෙන් දැඩි ප‍්‍රහාරයක්..

පසුගියදා රෝහණ වීරසිංහ හා භාතිය හා සන්තුෂ් යන අය සමග බොහෝ මත බේදාත්මක කතාබහක්...

26 හැවිරිදි චතුරිකාගේ දේහය යළි ගොඩගනී

යක්කල ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි විවාහක කාන්තාවක්ගේ දේහය යළි ගොඩගැනීම සිදු කරනු ලැබුවා. ඇය...

සිංහල සිනමාවේ සිහින කුමාරයාගේ කොලිවුඩ් සම්ප්‍රාප්තිය

හේමාල් රණසිංහගේ ඉන්දියානු සිනමා ආගමනය සටහන් කළ 'සෙකන්ඩ් ෂෝ' (Second Show) නම් වූ කොලිවුඩ්...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x