ස්වර්ණමාලි මහ සෑයට දෙවන වන සඳහිරු සෑය

වසර කිහිපයකට පසු අනුරාධපුරයට පියනගන කෙනෙකුට නව නගරය දෙසින් පැමිණිය ත් කුරුණෑගල දෙසින් පැමිණිය ත් අහස සිපගනිමින් සු‍ෙදා් සුදු වතින් බැබළෙන නව දාගැබක් තිසාවැව පාමුල දිස්වනු ඇත.

තිසාවැව අසල මිරිසවැටිය ඉදිවන්නේ  දුටුගැමුණු රජු යුද්ධය නිමවා රටේ සාමය ස්ථාපිත කිරීමේ ප්‍රතිඵලයක් හැටියට ය. අභයගිරිය, ලංකාරාමය, දෙමළ මහාසෑය ආදී ප්‍රකට මහ සෑයන් රැසක් ම මේ දේශයේ පිහිටුවන්නේ සාමයේ සංකේත හැටියට ය.

තිස්වසරක් පුරා පැවති ත්‍රස්තවාදය පරාජය කිරීමේදී මිය ගිය 27,000ක් වූ රණවිරුවන් අතුරුදන් වූ 45000ක්, ආබාධිත වූ 37000ක් එම යුගයේ ජන නායකයන් හා ඊට කැපවූ සියලු ජනතාව සිහිකිරීම උදෙසා සාමයේ සංකේතයක් ලෙස සඳහිරු සෑය ඉදිකරන්නේ ඉතිහාසයේ වසර 865කට පසුවයි. මීට පෙර මහ සෑයක් ඉදිවුණේ පොළොන්නරු යුගයේදී එනම් 152-186 සමයේ මහා පරාක්‍රමබාහු රජු විසිනි. එය දෙමළ මහා සෑය යි. 

මානුෂීය මෙහෙයුම 2009 මැයි 18 වන දා නන්දිකඩාල් කලපුවේදී ත්‍රස්ත නායකයා ජීවිතක්ෂයට පත්වීමෙන් හමාර කෙරුණේ ය. ඒ සැමට ම අනුරාධපුර පුදබිමේ කෙරුණු ආගමික වතාවත්වලින් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයද ලැබිණි. රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී පල්ලේගම හේමරතන නාහිමියන්ගේ මූලිකත්වයෙන් රුවන්මැලි මහ සෑය අබියස ‍ෙදාළොස් මහේ පිරිතක් සංවිධානය විය. මිරිසවැටිය විහාරාධිකාරී ඊතල්වැටුණුවැවේ ඥාණතිලක නාහිමියන්ගේ මූලිකත්වයෙන් මිරිසවැටිය සලපතළ මළුවේදී කිරි අම්මාවරුන් දහස්ගණන් වෙනුවෙන් කිරිඅම්මාවරුන්ගේ දාන පින්කම් සිදුකර අධිෂ්ඨාන පූජාවල් සිදුකෙරිණි. අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් ප්‍රධාන අටමස්ථානයේත් අනුරාධපුරයේත් මහ සඟරුවන ඊට ශක්තිය දුන්හ.

2005 ඇරඹුණු මානුෂීය මෙහෙයුම 2009 හමාර වූ පසු නැවත යුද්ධයක් රටේ ඇති නොවන්නට ත් සිරිලක් මාතාව වෙනුවෙන් ඇස්, ඉස්, මස්, ලේ හා ජීවිත පූජා කළ අභීත රණවිරුවන් සිහිපත් කර ඒ වෙනුවෙනුත් දිවයිනේ සතරකොන (පළාත් නවයෙහි ම) ස්මාරක අටක් ඉදිකරන බවට එවකට අදහසක් පහළ විය. 

ඒ අනුව, අනුරාධපුර මහාවිහාර භූමියේ ජය ශ්‍රී මහා බෝධීන්වහන්සේට දකුණු දිසාවෙන් සඳහිරු සෑය ඉදිකිරීම ඇරඹිණි. ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ  දකුණු දොරටුව හා යා වන මෙම ඓතිහාසික බිම්කඩ ඉතිහාසයේ එළාර-දුටුගැමුණු මහ සටන සිදුවූ ස්ථානය වේ. 

අක්‍රමවත් වෙළෙඳ කුටි, සතුන් මරන ස්ථාන, ගවගාල් හා අනවසර පදිංචි නිවාස ආදිය මෙම ස්ථානයේ ගහන විය. එම  භාවිතාව ශ්‍රී මහා බෝධි ස්ථානයේ ගෞරවයට ද හානියක්  බව මහසඟරුවන ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට පෙන්වා දුන්හ. ඒ අනුව එවක රජය කුරුණෑගල හන්දියේ පදිංචි සියලු දෙනාට දේවානම්පියතිස්සපුර ප්‍රදේශයෙන් ඉඩම් ලබාදී පදිංචිකරවා ශ්‍රී මහා බෝධීන් වහන්සේටත් යෝජිත මහ සෑයටත් සුදුසු පාරිශුද්ධ වාතාවරණයක් ඇති කළේය. මේ දාගැබ සඳහා මුල්ගල තැබුණේ 2010 නොවැම්බර් 11 වන දා යි.

“සඳහි‍රු  සෑය” යන්නෙහි තේරුම සඳමෙන් සෞම්‍ය හා හිරු මෙන් තේජස් බවින් යුක්ත රජුන් යන්නයි. එසේ ම ඉර හඳ තිබෙනතාක් රටේ සාමය පවතීවායි යන්න එනමින් සංකේතවත් කෙරේ.

ශ්‍රී ලාංකික ඉතිහාසයේ ථූප වංශයට අනුව මෙතරම් විශාල චෛත්‍යයක් පාදමේ සිට සම්පූර්ණයෙන් ඉදිකිරීම් කිරීමේ කර්මාන්තයක් අනුරාධපුර හා  පොළොන්නරු යුගවලින් පසු සිදු කෙරී නැත. රුවන්වැලි සෑය, අභයගිරිය, ජේතවනාරාමය, මිරිසවැටිය ආදී මහා චෛත්‍ය ඉදිකර ඇත්තේ දුටුගැමුණු සමයේදී ය. ඊට පසු පොළොන්නරුවේ රන්කොත් වෙහෙර හා කිරිවෙහෙර ඉදිවී ඇත.

බුබ්බුලාකාර හැඩයෙන් ඉදිවන සඳහිරු සෑය ඉදිකිරීමට පාදම සකස් කිරීම නවීන තාක්ෂණය අනුව සිදුකෙරී ඇත. ඒ සඳහා මුලින් ම එහි පොළොව මට්ටමේ සිට අ‍ඩි 45ක් පොළොව යටට කළුගල් මෙන් ශක්තිමත් අඩිතාලමක් දමා තිබේ. ඒ අනුව මුලින් ම සෑය ඉදි කරන ප්‍රදේශයේ පොළොව යට අඩි 45ක් පමණ ස්ථිර කළුගල් මතුවන තුරු හාරා ඒ මත කෘත්‍රිම කළුගලක් සාදා තිබේ. ඒ සඳහා ‘6-9’ කළුගල් කියුබ් 6464 ක්, 3/4 කොන්ක්‍රීට් ගල් කියුබ් 465 ක් ගල්කුඩු – සිමෙන්ති – කුඩා කළුගල් ඇතුළත් (ඒබීසී මිශ්‍රණය) කියුබ් 5400ක් හා ජලය උපයෝගි කර ගෙන ඇත. පසුව එම ස්ථරය ටොන් 20ක බරින් යුත් ගල් රෝලකින් තළා කළුගලක් මෙන් කිසි විටෙක ගිලා බැසීමක් සිදු නොවන අයුරින් මේ පාදම සකස් කර තිබේ.

පසුව ඒ මත ස්තූප ගඩොල් අතුරා චෛත්‍යය ඉදිකළ  අයුරු  දක්නට ලැබිණි. මහා සංඝරත්නය, ආරක්ෂක හමුදාවල මෙන්ම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීහු හා මහ ජනතාව එහි වැඩ කටයුතු බොහෝ ඉදිකිරීමේ කටයුතුවලට දායක වූහ.

මෙම චෛත්‍ය සඳහා ස්තූප ගඩොල් ලක්ෂ 300ක් පමණ යෙද වේ. අළුහුනු මෙටි්‍රක්ටොන් 11165ක්, සිමෙන්ති කොට්ට  1,71,000ක් සහ වැලි කියුබ් 15,000ක් වැය වෙතැයි අපේක්ෂා කෙරිණි.   

මෙම සුවිශේෂී ස්තූප ගඩොල් සියලු ආරක්ෂක හමුදාවල සහාය ඇතිව අනුරාධපුර ඇලයපත්තුව, බිංගිරිය, මහියංගණය, ගල්කඩවල, ඇඹිලිපිටිය, අම්පාර යන ප්‍රදේශවල උළු කර්මාන්ත ශාලාවලින් නිපදවනු ලැබේ. මේ කටයුතුවලට, ගඩොල් චෛත්‍ය ඉහළට ගෙන ඒමට ශ්‍රමදාන මගින් මහ ජනතාව හා ස්වේච්ඡා සංවිධානද එක්වීම ද විශේෂත්වයකි.

චෛත්‍ය කර්මාන්තයට අවශ්‍ය වැලි  නාවික හමුදාව මඟින් ලබා දෙන අතර කළුගල් ගුවන් හමුදාව මඟින් ලබා දෙයි. පොලිසිය හා සිවිල් ආරක්ෂක බළකාය ශ්‍රම දායකත්වය සපයන අතර එකල ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ සඳහා රුපියල් දසලක්ෂ 25ක් ලබා දී තිබේ.

ඒ සඳහා සඳහිරු සෑයේ 3 වන පේසා වළල්ලේ සිට අඩි 17ක් උඩින් ගර්භයේ මැද කොටසේ නිධන් වස්තු තැන්පත් කරන ගර්භය ඉදිකරනු ලැබී ය. එය අඩි 11 ක් උස අඩි 30 ක් පළල ය. අඩි 30ක් දිග ය. මෙම කුටියේ මැද තවත් විශේෂ කුටියක් තිබිණි. ඒ සර්වඥ ධාතූන් වහන්සේ තැන්පත් කරන කුටියයි. ඒ කුටිය අවට රහතන් වහන්සේගේ ධාතූන් වහන්සේ හා තවත් නිධන් වස්තු සඳහා කුටි සකස් කෙරිණි. රත්රන්වලින් නිම කළ බුදු පිළිමයක්, රත්රන්වලින් සැකසූ බෝධින් වහන්සේ නමක්, රන් පත් ඉරුවල ලියන ලද ත්‍රිපිටකය ද මෙහි තැන්පත් කෙරිණි. ඊට අමතරව බාහිර අය ලබාදුන් රිදී, මුතු, මැණික් ද මෙහි තැන්පත් කෙරිණි.

සඳහිරු සෑයේ තවත් විශේෂත්වයක් වනුයේ අනුරපුර විශාලතම ශෛලමය කලාගාරයක් ද මෙම ‍දාගැබ පරිශ්‍රයේ ඉදිකිරීමට නියමිත වීම යි. සෑයේ සලපතළ මළුව හා වැලි මළුව අතර, ප්‍රාකාරයේ සතර දෙසට අඩි 400 බැගින් වූ ප්‍රදේශයේ ගලින් නෙළන ලද බෞද්ධ කැටයම්, දස පාරමිතා, බුදු දහමේ විකාශය, ශාසන ඉතිහාසය මෙන් ම යුද්ධය අවසන් කිරීම දක්වා විවිධ අවස්ථා නිර්මාණය කිරීමට කටයුතු යොදා ඇත.

දිග අඩි 434 බැගින් වන සලපතළ, මළුවේ විශාලත්වය වර්ග අඩි 1,31,000කි. එනම් අක්කර තුනක් පමණ ය. 

දාගැබේ සම්පූර්ණ උස අඩි 282 අඟල් 6කි. එනම් රුවන්මැලි මහ සෑයට වඩා අඩි දාහතහමාරකින් අඩු වේ. විශ්කම්භය අඩි 255කි. එනම් වට ප්‍රමාණය අඩි 801 කි. හතරැස්  කොටුවේ පැත්තක දිග අඩි 64ක් ද උස අඩි 39.6ක් ද වේ. පේසා වළලු තුනෙහි උස අඩි 16 යි අඟල් 4කි. කොත අඩි 16කින් හා චූඩා මාණික්‍යය අඩි 3.6කින් යුක්ත ය.

මුල් සැලැස්ම අනුව මෙම චෛත්‍යයේ වැඩ කටයුතු 2016 දී අවසන් කිරීමට අපේක්ෂා කළත් 2015 පත්වූ ආණ්ඩුව මේ චෛත්‍යයේ ඉදිකිරීම් පිළිබඳව උනන්දුවක් දැක්වූයේ නැති බැවින් එහි ඉදිකිරීම් ඉතා ප්‍රමාද විය.

එහෙත් ගෝඨාභය රාජපක්ෂ මහතා 2019 ජනාධිපති ලෙස පත්වීමත් මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස පත්වීමත් සමග ඒ මහත්වරුන්ගේ උනන්දුව හා උපදෙස් මත හා ආරක්ෂක ලේකම් (විශ්‍රාමික) මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතාගේ අධීක්ෂණය ඇතිව යළි මෙහි ඉදිකිරීම් වේගවත් විය. සඳහිරුසෑය ව්‍යාපෘති සම්බන්ධීකාරක 9 වැනි ඉන්ජිනේ‍රු රෙජිමේන්තුවේ ලුතිනන් කර්නල් මොහාන් කුමාර මහතායි.

පසුගිය දා කොත් පැලඳවූ දාගැබේ කටයුතු මේ දිනවල දහස් සංඛ්‍යාත රණවිරුවන් අතින් ලහිලහියේ අවසන් කරමින් පවතී. මෙම  නොවැම්බර් 18 වන දා පස්වරුවේ සඳහිරු සෑයේ චූඩාමාණික්‍ය නිරාවරණය කරන්නේ ජනපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහන්ද රාජපක්ෂ මහතුන්ගේ ප්‍රධානත්වයෙනි. අටමස්ථානාධිපති නාහිමියන් අතුළු රටේ සියලු පළාත්වල වැඩවසන නාහිමිවරුන් මහජන නියෝජිතයන් හා රාජ්‍ය නිලධාරීන් ද ඊට සහභාගි වීමට නියමිත ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
7
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
2
කුජීතයි !
0

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්