27 C
Colombo
Tuesday, December 7, 2021
Atlas Ad

සීනි බද්ද අඩුකර රජයට කෝටි ගණනක් අහිමිකිරීමේ ඇත්ත කතාව

සීනි ලංකාවේ අපට දැන් අත්‍යවශ්‍ය ආහාරයක් ලෙස ජන ජීවිතයට ජීර්ණය වී හමාරය. ගෙදරකට අමුත්තකු ආ විට තොල් ඇලවෙන තරමට සීනි ටිකක් වැඩිපුර දමා නොදුන්නොත් එය ටිකක් මදිකමකි. සීනිවලට කෙතරම් දේශපාලන සම්බන්ධයක් තිබේදැයි කිවහොත් ජනපති ප්‍රේමදාස සමග ජනපති සටනට පිවිසි ඔස්වින් නොහොත් ඔසී අබේගුණසේකරට ජනාධිපතිවරණයෙන් පසු එල්ල වූ ප්‍රධාන චෝදනාවක් වූයේ ජනපති ප්‍රේමදාස ඔහුට ජනාධිපතිවරණයේදී ඔසී කළ උදව්වට ප්‍රති උපකාරයක් ලෙස සීනි කෝටාවක් ඔසී දෙසට වීසි කළ බවකි. සීනි ගැන අපේ සමාජයේ ඇති ප්‍රකට කියමනක් නම් ‘‘සීනි දාලා වෙඩි තියන්නේ – කුඹි කාලා මැරෙන්න’’ යන කියමනයි.

‘ඇති දා සීනි නැති දා ගෝනි’ තවත් කියමනකි. පසුගිය වසරේ ඔක්තෝබර් 14 වැනිදා සිට පසුගිය සතියේ ජනවාරි 14 වැනිදා දක්වා කාලය සීනි මිලට නම් තීරණාත්මක විය. ඒ 2020 ඔක්තෝබර් 14 වැනිදා මධ්‍යම රාත්‍රියේදී රු. 50 ක සීනි බද්ද රු. 49,75 කින් සත 25 දක්වා අඩුකරන ලද්දේ මාස 3 කට නිසාය. සීනි මිල අඩු කිරීමේ තෙමස් පිංකම පැවතියේ 2021 ජනවාරි 14 වැනිදා රාත්‍රියේය. සීනි විරෝධී බොහෝ දෙනෙකු සිතුවේ ආණ්ඩුව නැවතත් සීනි මිලට රු. 50 ක බද්දක් හිටු කියා ගසා එම මුදල් කොරෝනා සුබසාධන කටයුතුවලට යොදා ගනු ඇත කියාය. අන්තිමට ඒ මොකුත් වුණේ නැත. ආණ්ඩුව කළේ එදින රාත්‍රී ගැසට් අංක 2216/16 මගින් ඔක්තෝබර් 14 වැනි දින ගැසට් මගින් රු. 49.75 කින් අඩු කළ සීනි බද්ද තවත් මාස 3 කින් දීර්ඝ කිරීමය. එතකොට මාස 6 කට සීනි කිලෝවකට ආනයන බද්ද සත 25 කි. කලින් ගැසට්ටුවෙන් සත 25 දක්වා අඩු කළ ඇට පරිප්පු, පියළි කළ පරිප්පු, බී ලූනු සැමන් සඳහාද පසුගිය බ්‍රහස්පතින්දා නිකුත් කළ ගැසට්ටුවට පිං සිදුවන්නට ආනයනික බද්ද ශත විසිපහ ලෙසට තබාගත හැකිය. අන්තිමට සිදු වූයේ ඇතිදා සීනි – නැතිදා ගෝනි’ නොව නැතිදා ගෝනි නොව සීනි පිරුණු ගෝනිවලින් වෙළෙඳපොළ පිරී ඉතිරී යාමය. ඉස්සර රාජිත සෞඛ්‍ය ඇමැති මෙරට සීනි පරිභෝජනය අවම කිරීමට පැණිබීම වල වර්ණ පටි පවා නිර්දේශ කරන්නට විය. නමුත් අන්තිමට සීනි වර්ණ පටිවලටද, සිදු වූයේ පටි රෝල් කර ගැනීමටය.

රජය ආනයනික සීනි සඳහා 2020 මැයි 23 වැනිදා වනතුරුත් පනවා තිබූ බද්ද කිලෝවකට රු. 33 කි. මැයි 23 වැනිදා එයට තවත් රු. 17 ක් එක්කොට සීනි බද්ද රු. 50 දක්වා වැඩිකරන ලදී. නව බද්ද මත සීනි ආනයනයේ දී මාස 6 ක ණය පදනම මත සීනි ආනයනයට අවසර දෙන බවට කොන්දේසියද පනවන ලදී. නව බද්ද පැනවීමේ අරමුණ වූයේ ආනයන අධෛර්ය කිරීම හා විදේශ විනිමය වැයවීම සැලකිය යුතු ලෙස අඩු කර ගැනීමය.

ඒත් ඊට මාස 5 කට පසු ඔක්තෝබර් 13 දින රාත්‍රී ආණ්ඩුව ගැසට් නිවේදනයක් නිකුත් කරමින් රු. 50 ක සීනි බද්ද කිලෝවකට ශත 25 දක්වා රු. 49.75 කින් අඩු කරන ලදී. ඒ සමගම තවත් පාරිභෝගික ද්‍රව්‍ය 4 ක් සඳහා කිලෝවකට අයකරන බද්ද සත 25 දක්වා අඩුකරන ලදී. මේ අතර කිලෝවකට රු. 5 ක් වූ බදු අයකළ ඇට පරිප්පු, කිලෝවකට රු. 7 ක් බදු අයකළ පියලි පරිප්පු, කිලෝවකට රු. 50 අයකළ බී ලූනු, කිලෝවකට රු. 100 අය කළ සැමන් යන භාණ්ඩ ඇතුළත් විය.

මේ අතර ඔක්තෝබර් 14 වැනිදා සීනි බද්ද අඩු කරන විට ඉන්දියාවේ සීනි මෙට්‍රික් ටොන් එකක් පැවතියේ ඩොලර් 380 කටය. නමුත් ලංකාවෙන් සීනි සඳහා අධික ඉල්ලුමක් ඇතිවීම නිසා ඉන්දියාවේ සීනි මෙට්‍රික් ටොන් එකක මිල දැන් ඩොලර් 450 දක්වා ඩොලර් 70 කින් ඉහළ ගොස් ඇත. මේ අතර ගුදම්වල විකුණාගත නොහැකිව සීනි ටොන් 90,000 ක් ඇති ආනයනකරුවන්ට අලුතින් තීරුබදු රහිතව සීනි ආනයනයට ණයවරපත් බැංකුවෙන් ඉල්ලුම් කිරීමේදී බැංකුව ඒ සඳහා අනුමැතිය නොදී අදිමදි කරන තත්ත්වයක් උදා වුයේ මේ අතරය.

ඔක්තෝබර් මස 27 වැනි දින ආනයනකරුවන් කිහිප දෙනෙක් සමග ජනාධිපති ලේකම් කාර්යාලයේ හමුවක් පැවති අතර එය ජනාධිපති ලේකම් පී. බි. ජයසුන්දර මැතිතුමා මහා භාණ්ඩාගාරයේ ලේකම් එස්.ආර්. ආටිගල මැතිතුමා සහ හිටපු ලක් සතොස සභාපති නුෂාඩ් පෙරේරා මහතාගේ සහභාගිත්වයෙන් සිදු විය. එහිදී එදින සිට සීනි කිලෝවකට රු. 40 බැගින් නව සීනි බද්දක් පැනවීමට තීරණය විය. නමුත් පසුදින බන්දුල ගුණවර්ධන වෙළෙඳ ඇමැතිතුමන් විසින් මාසයක් යනතුරු විශේෂ වෙළෙඳ බද්ද වෙනස් කිරීමට නොහැකි බව පවසා නොවැම්බර් මස 14 වන දින දක්වා සීනි වරායෙන් ආනයනය කළ නොහැකි පරිදි බලපත්‍ර ක්‍රමයක් හඳුන්වා දෙනු ලැබීය. මේ අතර රජය විසින් ගැසට් අංක 2201/8 දරන 2201/8 දරන 2020 නොවැම්බර් 10 වැනි අඟහරුවාදා ගැසට් පත්‍රය මගින් සීනි උපරිම සිල්ලට මිල රු. 90 බව ප්‍රකාශයට පත් කරන ලදී. ගැසට් නිවේදනයේ හඳුනාගත් පරිදි ඇසුරුම් නොකළ සීනි කිලෝවක පාලන මිල රු. 85 කි. ආනයනික සීනි සඳහා කිලෝවකට තොග මිල වන්නේ රු. 80 කි. එනමුත් ඔක්තෝබර් මස 30 වැනි දින සිට නොවැම්බර් 22 දින දක්වා ආනයන බලපත්‍ර නිකුත් කිරීමක් සිදු නොවුණි. නමුත් නොවැම්බර් 23 වැනි දින සිට බලපත්‍ර නිකුත් කිරීම ආරම්භ කරන ලදී. ඒ අනුව ඒ වන විට විල්මා සමාගම ආනයනය කර තිබූ සීනි නැව ඇතුළුව වරායේ වෙළෙඳ බලපත්‍ර නොමැතිව නවතා තිබූ සීනි ටොන් 60,000 ක් ඩියුටි ෆ්‍රී මුදාහැර තිබිණි.
ලංකාවේ පවුලක මාසික සීනි පරිභෝජනය ගණනය කොට ඇත්තේ කිලෝ 3 ක් ලෙසය. මේ අනුව පෙනී යන්නේ පවුලකට මාසිකව රු. 150 ක සහනයක් ලබා දීමට ගොස් රජය තම සීනිවලින් ලැබෙන මාසික බදු ආදායම ඒ අවස්ථාවේත් කෝට් 450 ක් නැති කරගෙන ඇති බවය. ආණ්ඩුව කෝටි 450ක බදු ආදායමක් නැති කර ගත්තේ මෙරට ජනතාවට සහනදායි අඩු මිලකට සීනි ලබාදීමටය. එහෙත් කිසිදු සීනි ආනයනකරුවකු තීරු බදු අඩු කිරීමේ වාසිය ජනතාවට දුන්නේ නැත. මේ කවර නම් කතාවක වුවත් වෙළෙඳපොළේ රු. 85 ට සීනි සිල්ලට තිබුණේ නම් ඒ ලක් සතොසේ පමණය. සතොසේ රු. 85 සීනි කිලෝව විකුණන විටත් පිටකොටුව පස්වැනි හරස් වීදියේ ඩෑම් ස්ට්‍රීට්වල සීනි තොග මිල කිලෝවක් රු. 110 කි. තොග වෙළෙඳුන් කියන්නේ සතොස ර. 85 ට අලෙවි රකන්නේ තමන්ගෙන් මේ වැඩිමිලට මිලදී ගන්නා සීනි තොග බවය. ලක් සතොසෙහි මාසික සීනි අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 3000 ත්, 4000 ත් අතර වන අතර රු. 85 ට සීනි අලෙවි කරයි නම් ඒ සඳහා රජයට සහනාධාරයක් ලබා දීමට සිදුවුවහොත් ගෙවීමට සිදුවන මුදල රුපියල් කෝටි 15 ක් පමණ වන අතරම එය පැවති රු. 50 ක බදු අය කළහොත් එය පියවීමට රජයට වැයවන්නේ ලබන බදු ආදායමෙන් 5% ක් පමණ ප්‍රතිශතයකි. එමෙන්ම එය ලක් සතොස සමග ගනුදෙනු කරන මැදි සහ අඩු ආදායම්ලාභි පවුල් සඳහා ඉමහත් සහනයක් වනු ඇත.

ලක් සතොස ආයතනයට භාණ්ඩ සැපයූ සැපයුම්කරුවන් සඳහා එම ආයතනය රුපියල් කෝටි 770 ක හිඟ මුදල් ගෙවීමට ඇති බව සහ මේ වන විට රුපියල් කෝටි 1900 ක පාඩුවක් එම ආයතනය ලබා ඇති බව සතොස භාර අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමා ප්‍රසිද්ධියේ අනාවරණය කර තිබේ.
මුදල් අමාත්‍යාංශය ප්‍රකාශයට පත් කළ නවතම රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාවේ සඳහන් පරිදි සීමාසහිත ලංකා ස.තො.ස 2020 වසරේ මුල් මාස අටේ ලබා ඇති පාඩුව රුපියල් කෝටි 102කි

සීනි සඳහා ආනයන බද්ද කිලෝවකට රු. 50 දක්වා වැඩි කිරීමට රජය හේතු සාධක 3ක් දක්වන ලදී. ආනයන අධෛරය කිරීම, සීනි සඳහා ගෙවන විදේශ විනිමය වැයවීම ඉතිරි කර ගැනීම සහ දේශීය උක් ගොවියා ශක්තිමත් කිරීම එම අරමුණු 3යි. අන්තිමට වූයේ සීනි බද්ද අඩු කිරීමෙන් දේශීය උක් ගොවියාට යන එන මං නැති වීමය. සීනි බද්ද අඩු කරීමෙන් වෙළෙඳපොළේ සීනි මිල පැවතියේ සිල්ලරට රු. 135කට වැනි මිලකටය. ඒත් සීනි බද්ද අඩු කිරීමෙන් පසු වෙළෙඳපොළේ සීනි තොග මිල රු. 105න් 110ත් අතර මිලෙන් අඩු වූයේ නැත.

සීනි බද්ද අඩු කරන විට සීනි තොග ආනයනකරුවන් සතුව තිබූ ​මෙට්‍රික් ටොන් ප්‍රමාණය 90000කට අධිකය. බදු මුදල රුපියල් 50 සිට ශත 25 දක්වා රු. 49.75කින් අඩු කිරීම නිසා මෙරට බැංකු මුහුණ පෑවේ දැඩි මුදල් අර්බුදයකටය. ණයවර ලිපි නිකුත් කළ පසු ආනයනික සීනි තොග ගබඩා කෙරෙන්නේ බැංකුවට උකස් දේපොළක් ලෙසය. ආනයනකරුවන් බැංකුවට එම සීනි විකුණා මුදල් ගිණුම්ගත කරන්නේ මාසයකට වටිනාකමින් මුල් මාසයේ 10%කින් ආරම්භ කොට ණයවර පත් නිකුත් කළ මාස ගණන අනුව ගිවිසගත් ක්‍රමයක් මතය. සීනි බද්ද අඩු කරන විට මෙරට බැංකු මගින් ලබා දුන් ණය මගින් ගෙන් වූ සීනි මෙට්‍රික් ටොන් 90000ක් ගුදම්වල තිබී ඇති අතර බැංකුවලින් මේ වෙනුවෙන් රජයට ගෙවා ඇති තීරු බද්ද පමණක් රුපියල් කෝටි 450කි. සීනි ආනයනකරුවන්ගෙන් මෙම මුදල තෙමසක් ගත විත් අය කර ගැනීමට නොහැකි වීම නිසා මෙම ණය ප්‍රධානය කළ බැංකු මහත් අර්බුදයකට මුහුණ පා ඇත.
අන්තිමට ගැසට් මගින් සීනි සිල්ලර මිල රු. 85 කළ මුත් ඒ වන විට ඒවායින් නිසි ලෙස ලබා ගත නොහැකි වූයේ ඉහත තත්ත්වය නිසාය. සීනි තොග වෙළෙන්දන් රු. 50 බැගින් බදු ගෙවා ආනයනය කළ සීනි තොගත් කිලෝවකට සත 25 බැගින් ගෙවා ආනයනය කළ සීනි තොගත් තමන්ගේ අලාභය අවම කර ගැනීමේ අරමුණෙන් තොග වෙළෙඳපොළේ කතා කරන භාෂාවෙන් Average කිරීම නිසා මේ තත්ත්වය උදා විය.

ආනයනික සීනිවලින් මෙරට නිවෙස්වල භාවිතයට ගන්නේ 50%කට අඩු ප්‍රමාණයකි. බිස්කට්, කෝඩියල්, කේක්. චොකලට් ආදිය සඳහා ඉතිරි 25% වැය වන අතර ආනයනික සීනිවලින් 25%කට අධිකව වැය කරන්නේ අනවසර මත්පැන් නොහොත් කෂියාවලට බව රහසක් නොවේ.
සීනි බද්ද ශත 25 දක්වා අඩු කරන තෙක් මෙරටට සීනි ආනයනය කොට ඇත්තේ මාසිකව මෙට්‍රික්ටොන් 50,000කි. ඒ අනුව 2020.10.14 දින සිට මෙතෙක් වැනි දින දක්වා මාස 3කට රටට අවශ්‍ය වන්නේ සීනි මෙට්‍රික් ටොන් ආසන්න වශයෙන් 150000කි. ඒත් මේ වකවානුව තුළ ආනයනය කොට ඇති සීනි මෙට්‍රික් ටොන් ප්‍රමාණය 270,000කි. මේ සීනි ආනයනය තුළින් රජයට අහිමි වූ බදු ආදායම රුපියල් කෝටි 1350කි.
බොහෝ දෙනා සිතන්නේ මේ සීනි බද්ද අඩු කිරීම පිටුපස දේශපාලන හිතවතුන්ට බඩ වඩා ගැනීමට අවස්ථාවක් උදා කර දුන් බවය. පැහැදිලිව පෙනීයන කරුණක් මේ සීනි මිල අඩු කිරීම පිටුපස කිසිදු දේශපාලනයක් නැති අතර මෙය ව්‍යාපාරික අවස්ථාවක් පමණක් බවට සීනි ආනයනයේදී ප්‍රධාන චෝදනාව එල්ල වී ඇත.

පසුගිය සතියේ රූපවාහිනී වැඩසටහනකට එක් වූ සීනි සම්බන්ධ බලධාරියකු කරුණු දක්වා සිටියේ දකුණු ආසියාවේ වැඩිම සීනි පාරිභෝජනය කරන්නේ ලංකාවේ බවය. එම නිසා සීනි බද්ද වැඩි කළ යුතු බව අදාළ බලධාරියා සෘජුවම පවසා සිටියේය. ඊට හේතු ලෙස ඔහු පැහැදිලිව පෙන්වා දුන්නේ විදේශ විනිමය දරාගත නොහැකි ලෙස වැඩිවීම හා සීනි ආශ්‍රිත රේගුබදුවලට ජනතාව බහුතරයක් ගොදුරුවීමය.
ඊට වඩා දැන් ඇමෙරිකාවේ ඩොලරය රු. 200ට ආසන්නව අව ප්‍රමාණය වීමට ප්‍රධාන ​හේතුවක් වී ඇත්තේ මේ අධික සීනි ආනයනය බව අමුතුවෙන් කිව යුතු නොවේ. රටේ වෙනත් ආනයන විදේශ විනිමය සංචිත රැක ගැනීමේ අරමුණෙන් ආනයනය තහනම් කර ඇති පසුබිමක සීනි සඳහා පමණක් අසීමිත ආනයන නිදහසක් දීම ප්‍රශ්නාර්ථයකි.

රජය අත්‍යවශ්‍ය භාණ්ඩයක් වන ටයර් ඇතුළු සීයකට අධික ආනයනික භාණ්ඩ තහනම් කළේ විදේශ විනිමය රැක ගැනීමටය. රට මෙතරම් විදේශ විනිමය අවධානමක දැමීමේ නිදහසේ සීනි ආනයනය කොට විදේශ විනිමය කාබාසිනියා කරන තෙක් බලාසිටීම වගකිවයුතු රජයක පිලිවෙත නොවිය යුතුය. ශරීරයට ඉතා අහිතකර මේ සීනි අධිකව ආනයනය නිදහසකින් ආනයනයට ඉඩ දීම ප්‍රශ්නයක් වන්නේ බොහෝ දියුනු රටවල කුඩා ළමුන්ගේ පටන් සීනි සහ ලුණු භාවිතය ඉතාම අවම මට්ටමක පවත්වාගෙන යන යහපත් සෞඛ්‍ය පුරුදු පවතින නිසාය. සීනි අධික භාවිතය නිසා ස්ථුල බාවය මෙන්ම මෙරට ජනප්‍රියතම රෝගය වන දියවැඩියාවට ඔටුනු පලඳවන ක්‍රියාවලියකි. ඊටත්වඩා එය දිනපතා දියවැඩියාව ආශ්‍රිත රෝගවලින් මියයන පිරිස ප්‍රවර්ධන ක්‍රියාවලියකි. ලෝකයේ සීනි සලකන්නේ නිහඬ ඝාතකයකු ලෙසය. (Sugar is Silent Killer) මෙසේ නිදහසේ සීනි ආනයනයට ඉඩ දුන්නොත් පොදු ජනතාවටත් කලින් නිහඬව ඝාතනය වනු ඇත්තේ රටේ විදේශ සංචිත බව අමුතුවෙන් කිව යුතු නොවේ.

නමුත් අවසානයේ මෙරට සීනි සම්බන්ධයෙන් උද්ගත වී ඇති ප්‍රශ්නය ගැන බොහෝ දෙනා දරන මතයක් ඇත. බොහෝ දෙනකු කියා සිටින්නේ සීනිවලට නැවතත් සැලකිය යුතු බද්දක් අය කොට රජයට එම මුදල් පොදු සුභසාධන කටයුතු සඳහා යොදා ගත හැකි බවට කරන ප්‍රකාශය පූර්ණ විනිවිදභාවයකින් තොරව කරන එකක් බවය. සීනි සඳහා නැවත බදු පැනවුවහොත් එයින් කෝටි ගණනක ලාභයක් ලබන්නේ සත 25ක බද්දකට සීනි ආනයනය කොට ගබඩා කොට ඇති සීනි ආනයනකරුවන්ය. එහෙත් ආනයනකරුවන් පවසන්නේ සීනි මිල බදු අඩු කිරීමේදී රුපියල් කෝටි 450ක අලාභයක් තමන්ට සිදුවූ බවත් තමන් ඉන්පසු සත 25 බදු ගෙවා ආනයනය කළ සීනි තොග බොහෝමයක් විකිණී අවසන් බවත්ය. මෙතැනදි ප්‍රශ්නය වී ඇත්තේ සත 25 ඩියුටියට ආනයනය කළ සීනි තොග කොපමණ ගුදම්වල ඇත්දැයි නිශ්චිත සංඛ්‍යා ලේඛනයක් රජය සකස් කොට නොමැති වීමය. වෙළෙඳාමේදී වෙළෙන්දු ලාභ මෙන්ම පාඩුද දරා ගැනීමට හැකිවීම වෙළෙඳාමේ මූලික සිද්ධාන්තයකි. රජයම සීනි බද්ද නැවත පැන වුවහොත් එයින් ලාභ ලබනු ඇත්තේ සීනි තොග වෙළෙන්දන්දැයි අවසානයේ සීනි පරිභෝජනය කරන පොදු ජනතාවට ප්‍රශ්නයක් පැන නගින්නේ ඒ නිසාය. ඒත් ඉතින් සීනි බදු නැවත වැඩි කළොත් වැඩි කළ මිලට සීනි මිලදීගැනීම පාරිභෝගිකයාගේ උරුමය පමණක් වනු නියතය.

එහෙත් සීනිබද්ද නැවත පැනවුවහොත් අවිධිමත් ලෙස සීනි තොග ආනයනය කොට සඟවා තබාගෙන සිටින ඇතැම් කූට සීනි ආනයනකරුවන්ගේ උගුලකට ආණ්ඩුව හසුවන බව අමුතුවෙන් කිව යුතු නොවේ. එහිදී මේ අයුතු කූට ලාබය ලබන්නේ ආණ්ඩුවවත් පොදු ජනතාවවත් නොව ඇතැම් සීනි ජාවාරම්කරුවන් බව අමුතුවෙන් කිව යුතු නැත.

වජිර ලියනගේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්