Central Bank Central Bank

හරිම ආසයි මේකප් රිමූ කරලා එයා ළඟට ගියාම

කලාවට සම්බන්ධවූ දා ඉඳලාම අද වෙනකම්ම රඟදක්වන සෑම චරිතයකින්ම ඔබේ හදවතේ ආදරණීයව ලැගුම් ගන්න හරි අපූරු චරිතාංග නිළියක් ලෙසට ඇයව හඳුන්වා දිය හැක. නිල්මිණී තෙන්නකෝන්. ආදරණීය නිල්මිණි අක්කාගේ මුළුතැන්ගෙටයි අපි අද ගියේ.
කලා කටයුතු, ව්‍යාපාර කටයුතු, දියණියගේ කටයුතු, නිවසේ කටයුතු දහසකුත් එකක් වැඩ රාජකාරි මැද්දේ ලැබුණ පුංචි වෙලාවකදී අපි කතා කළෙමු.

රංගන ශිල්පිනියක්, ව්‍යාපාරිකාවක්,  මවක්, නිවේදිකාවක්, ගෘහණියක්… සැබෑ ජීවිතයේදී පණ පොවන මේ චරිතවලින් වඩාත් කැමැති චරිතය?

අම්මාගේ චරිතයට මම ගොඩක් ආසයි. මගේ දෝණිත් හරිම ආසයි මේකප් රිමූ කරලා එයා ළඟට ගියාම. මේ ලෝකයේ ගැහැනියක් ලබන උත්තරීතර ඔටුන්නනේ මව් පදවිය. යුතුකම්, වගකීම්, ආදරය. සෙනෙහස පිරුණු මේ පදවියට මම ගොඩක් ආදරෙයි.

ගෙදර ඉන්න දවසට ඔබ අතින්ද සියලු වැඩ කෙරෙන්නේ?

ඔව්. නිවසේ හිටියත් නැතත්, සියලු වැඩ සැලසුම් කෙරෙන්නේ මගේ අතින්. නිවසෙන් පිටදී මොනතරම් කාර්යය බහුල වුණත්, නිවසේ රැඳෙන වෙලාවට ඒ හැමදේම මම හරිම සතුටින් කරනවා.

වැඩ රාජකාරිවලට කාලය බාධාවක් නොවේද?

දිනකට පොදුවේ අපි හැමෝටම තියෙන්නේ පැය 24යි. උදෑසන අවදිවීම, කලින් වැඩ සැලසුම් කිරීම, වෙලාවට වැඩ කිරීම කියන කාරණා එක්ක කාලය නෑ කියලා ප්‍රශ්නයක් නම් මතුවෙලා නෑ. 

ඉස්සර ඉඳලාම රසට උයන්න පුළුවන්ද?

අපෝ බෑ. බැඳලා එනකොට පපඩමක්වත් බැදගන්න බෑ. ඊට පස්සෙ තමයි ටික ටික උයන්න පුරුදු වුණේ. දැන් නම් ඕනෑම කෑමක් රහට උයන්න පුළුවන්.

කොහොමද ඔච්චර හොඳට උයන්න ඉගෙන ගත්තේ?

ඉස්සර ස්වර්ණවාහිනියෙන් විකාශය කළ ‘ලියසෙවන’ වැඩසටහන ඉදිරිපත් කරන කාලෙදි මට ලංකාවේ නම් දැරූ සූපවේදීන් ඉවුම් පිහුම් කරන හැටි දෑසින්ම දැක ගන්න ලැබුණා. ජීවිතයට ලැබුණු ඒ අපූරු අත්දැකීමෙන් මම දක්‍ෂ ඉවුම් පිහුම් දන්න අම්මා කෙනෙක් වුණා. ඇත්තටම ඉවුම් පිහුම් කියන්නෙත් කලාවක්. රඟපෑමක් කරලා එ්ක ආපහු දකිද්දී හිතට සතුටක් දැනෙනවා වගේම, කෑමක් උයලා රස විඳිනකොට අමුතුම දෙයක් හිතට දැනෙනවා. 

ඔබ හදන කෑමවලින් දියණිය ආසාවෙන්ම කන්නේ මොනවාද?

චීස්, ඔලිව් වැඩිපුර දාලා මම හදන මැකරෝනි, පැස්ටා වර්ග කන්න නම් ඇය ගොඩක් කැමතියි. ඊට අමතරව මම රාත්‍රී ආහාරයට හැමදාම හදන පෝෂණයෙන් ඉහළ එළවළු සලාදයටත් ඇය බොහොම ප්‍රියයි.

හැමදාම රාත්‍රියට සලාදයක් එක්කර ගන්නවාද?

ඔව්. පිෂ්ටය අධික බත්, පාන්, පිටි සහිත අනෙකුත් කෑම ආහාරයට ගන්නේ හරිම අඩුවෙන්. රෑ කෑමට බොහෝ විට කැරට්, පිපිඤ්ඤා, නෝකෝල්, කොත්තමල්ලි කොල, බ්‍රොකෝලී, ඔලිව් ඇට, ඔලිව් තෙල් දාලා හදන සලාදයක් තමයි කෑමට ගන්නේ. අවශ්‍ය නම් බිත්තර, මස්, මාළු තම්බලා පොඩි ප්‍රමාණයක් ගන්නවා. මේ වගේ කෑම ශරීර සෞඛ්‍යයට ඉතාම ගුණදායකයි වගේම හමටත් හරිම හිතකරයි. 

කෑම ගැන ඔබ ගොඩක් සැලකිලිමත් වෙනවා වගෙයි.

අපොයි ඔව්. අපි මොන දේ කරන්නෙත් කාලා බීලා සතුටින් ඉන්නනේ. ඒ නිසා කෑම නිසා සෞඛ්‍යයට හානියක් කර ගන්න හිතන්නේ නෑ. උදෑසන ආහාරයටත් මම බොහෝ විට ගන්නේ බිත්තර දෙකක් එක්ක අලිගැටපේර ගෙඩියක්. දවල්ටත් බත් හරිම අඩුවෙන් ගන්නේ. එළවළු, පලතුරු, පලා වර්ග වැඩිපුර එකතු කරගන්නවා දවල් කෑමට.

ගමේ කෑමවලට ආසද?

හරිම ආසයි. දුවයි, අම්මත් ආස නිසා නිතර අපේ ගෙදර හැදෙන්නේ ගමේ ගොඩේ කෑම වර්ගම තමයි. වස විස නැතුව කන්න තියෙන්නෙත් දැන් ඒවනේ.

කෑම හදනකොට මොන වගේ දේවල් ගැනද සැලකිලිමත් වෙන්නේ?

මම හරි ආසයි දුවයි, මගේ අම්මයි කැමති කෑම වර්ග නිතර හදන්න. මොකද මොන තරම් රාජ භෝජනයක් වුණත් ගෙදර අය අකමැතිනම් හදලා වැඩක් නෑනෙ. ඒ නිසා මම එයාලා ආසම කෑම රසට උයලා දෙන්න කැමතියි. ඊට අමතරව ඉතිං උයන වෙලාව ව්‍යාංජන ගැලපීම ගැන උපරිමයෙන්ම හිතනවා. ශරීරයට අහිතකර ඒවා කන්නෙත් නෑ.

උයන වෙලාවට කවුරු උදව් කරනවාටද කැමති? 

උදව් නොකළත් මං ආසයි දුව, මං උයනකම් කුස්සියට වෙලා වාඩි වෙලා ඉන්නවාට.

පාළුව, කාන්සිය යන්න රේඩියෝව අහන්න, TV බලන්න පුරුදුවෙලා ඉන්නවාද උයනකොට?

සිංදුවක් අහගෙන තමයි මම උයන්නේ. පුරුද්දක් විදිහට උදෑසන 11ට සම්බුද්ධ පූජාව පූජා කරන නිසා ඒ වෙලාවට බෞද්ධ වැඩසටහන් දානවා. මම නිවසේ නැතත් උදෑසන, දහවල් සුපුරුදු චාරිත්‍රවලට අනුව බුද්ධ පූජාව පූජා කරනවා. 

ඔබ හදන කෑමක් හැමෝම රස කර කර කනකොට මොන වගේ හැඟීමක්ද හිතට දැනෙන්නේ?

අම්මෝ ඒ හැඟීම නම් වචනයෙන් විස්තර කරන්න බෑ. එහෙම දකිනකොට තව තවත් රසට කෑම හදලා කන්න දෙන්න හිතෙනවා. මගේ දුව හැමදාම කෑම මේසයෙන් නැගිටින්නේ “ඔයාට ගොඩක් ස්තුතියි අම්මා…” කියලා. ඒ පුරුද්ද ඇය දිනපතාම කරනවා. ඒ වචන ටික ඇහෙනකොට, උයනකොට දැනෙන මහන්සිය කොහෙන් ගියාද නෑ.

අතීතයේ මුළුතැන්ගෙයි කළ චාරිත්‍ර වාරිත්‍ර ගැන ඔබ අදටත් හිතනවාද?

කාලයේ තාලයට බොහෝ දේ මුළුතැන්ගෙයි වෙනස් වෙලා. වැඩ පහසු කරන ක්‍ෂණිකව භාවිත කරන උපකරණ ආදිය මුළුතැන්ගෙයි කටයුතු පහසු කරලා තියෙන්නේ. නමුත් එදා ඉඳලා අද දක්වා මුළුතැන්ගෙයි පිරිච්ච බව වෙනුවෙන් මමත් බොහෝ දේ අනුගමනය කරනවා. පිළිවෙළ පිරිසිදුකම අංක එක. අනිත් දේ තමයි හාල් ටික ලිපේ තියලා තුන් සැරයක් බත් මුට්ටිය අල්ලලා වඳිනවා. රයිස් කුකර් පාවිච්චි කළත් ඒ චාරිත්‍රය කෙරෙනවා. ඒ තුන් සැරයක් වැඳීමෙන් සංකේතවත් කරන්නේ බත සැපයූ ගොවීන්ට පින් දීම. එවැනි චාරිත්‍ර අදටත් දොහොත් මුදුනින් පිළිගන්නවා. අනිත් දේ තමයි රඟපෑමෙන් හම්බ කළත්, සැලෝන් එකෙන් හම්බ කළත්, මා කුසගින්නට බත් වේලක් කන්නේ ඒ වෘත්තීන් දෙකටම සම්බන්ධ සියලු දෙනා නිසා. බත්පත අතට ගන්තාම ඒ හැමෝටම ස්තුතිවන්තව පින් දෙනවා.

දියණියට මුළුතැන්ගෙයි කටයුතු හුරුකළ යුතුයි කියා ඔබ විශ්වාස කරනවාද?

ඔව්. දියණියක මුළුතැන්ගෙයි කටයුතු දැන සිටීම ඇයගේ අනාගතයට අත්වැලක්. වසංගතය නිසා රට වහල තිබුණ කාලේදී වෙනදාට වඩා වැඩි කලක් මට දුව එක්ක ඉන්න ලැබුණා. ඒ කාලෙදි ඇයත් එක්ක එකතු වෙලා මම, එක එක කෑම ජාති හද හද රස බැලුවා. සමහර ඒවා හරි ගියා, සමහර කේක් වර්ග එහෙම වැරදුනා. වැරදුනත් ඒ තුළින් අපි දෙන්නා හරිම සතුටක් වින්දා.

රසටම හදන කෑමක් මතක් කළොත්?

පොළොස් මැල්ලුම රසට හදනවා. ඒක හදන්නේ පොළොස් ඉස්සෙල්ලම කහයි, ලුණුයි, පොඩි ගොරකා කෑල්ලකුයි දාලා හොඳට තම්බ ගන්නවා. ඊට පස්සේ වතුර බේරලා අරන් වංගෙඩියේ දාලා හොඳට කොටනවා. ඊට පස්සේ ලුණු, ගම්මිරිස්, රම්පේ, කරපිංචා, ඉඟුරු, සුදුලූණු හොඳට කොටලා ඒ ටික පැත්තකින් තියනවා. තෙල් ටිකක් රත්වෙන්න වළඳක තියලා අර තලාගත්ත තෙම්පරාදුවේ ටික දානකොට පොඩියට කපාගත්ත වේළිච්ච මිරිස් කරල් කිහිපයකුත් දානවා. ඒ ටික හොඳට බැදෙනකොට අර තලා ගත්ත පොළොස් ටික දානවා. කැමතිනම් ගාගත්ත පොල් ටිකකුත් එකතු කරනවා. හදලා බලන්නකෝ. හරිම රසයි.

උයන එක වදයක් විදිහට දැනිලා නැද්ද?

නැහැ. කවදාවත් නෑ. මම හරිම ආසාවෙන් ඒ දේ කරන්නේ. නිවසක පැවැත්මට මවගේ ආදරය, සෙනෙහස වගේම පෝෂණයත් හරිම වැදගත්. ඒ හැමදේම මම හොඳින් තේරුම් අරන් ඉන්නේ.

සතුන්ටත් කෑම ඔබ අතින් පිළියෙළ වෙනවද?

ඔව්. ගෙදර සුරතලේට හදන පූසාට වෙනම කෑම හදනවා. කුරුල්ලන්ටත් හැමදාම කෑම දානවා. සතෙකුට කෑම ටිකක් දැම්මත් ඒවා පිළිවෙළට දෙන්න ඕනේ.

ඉවුම් පිහුම් කටයුතු කරනකොට ඔබේ රුව ආරක්ෂා කර ගැනීම වෙනුවෙනුත් යම් යම් දේවල් කරනවාද?

අපොයි ඔව්. උයන වෙලාවට ගොඩක් වතුර බොනවා. ඊට අමතරව සීනි අඩුවෙන් දාපු පලතුරු යුෂ වීදුරුවකුත් බොන්න පුරුදු වෙලා ඉන්නවා. ඊට අමතරව උයනකොට කෑමවල ලුණු බලන්නේ එකම එක සැරයයි. සැරෙන් සැරේ ලුණු බලනකොට ඇඟ මහත් වෙනවා.

අසුන්තා එදිරිසූරිය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
427
අවුල් වගේ !
22
හරි හිනා !
53
හම්මෝ !
12
මාර දුකයි !
42
මලපනිනව !
57
කුජීතයි !
83

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්