නෙට්වර්ක් මාකටිංවලින් හුඟදෙනෙක් අමාරුවේ

මට කතා කරපු යාළුවා කිව්වෙ මේක මල්ටි බිලියන් ඩොලර් කම්පැනියක් කියලයි. එයත් එතන පාර්ට් ටයිම් ජොබ් එකක් කරනවා, මාසෙට හැට හැත්තදාහක් හොයනවා කියලයි කිව්වේ. ඒ ප්‍රොජෙක්ට් එක අවුරුදු පහක් තියෙනවා.කම්පැනිය හොයන්නෙ හොඳට වැඩ කරන්න පුළුවන්, දක්ෂ, විශ්වාස අය නිසා මාව සම්බන්ධ කරනවා කියලයි යාළුවා මට ඒත්තු ගැන්නුවේ.

මටත් අධ්‍යාපන කටයුතුවලට මුදල් ඕනවෙලා තිබුණා. තවදුරටත් ගෙදරට බරක් වෙන්න බැරි නිසා අන්තිම වතාවට කියල හිතාගෙන ගෙදරින් සල්ලි අරන් ගිහින් පාඨමාලාවට එකතු වුණා. කාලයක් ගිහිල්ලා ඒක රැවටීමක් කියලා තේරුම් ගන්නකොට සෑහෙන සල්ලි ප්‍රමාණයක් විනාශ වෙලයි තිබුණේ.” මේ ප්‍රකාශය තවමත් භද්‍ර යෞවනයේ පසුවන විසි එක් හැවිරිදි තරුණයෙකුගේය.

ඒ නෙට්වර්ක් මාකටිං පාඨමාලාවක් මුවාවෙන් කෙරෙන එක්තරා පිරිමීඩ ජාවාරමක් පිළිබඳවය. මෙවන් තරුණ තරුණියන් සිය දහස් ගණනක් අද වනවිට මේ රැවටීමට හසුව තිබේ. එයට ගොදුරු වන වැඩිදෙනා වයස අවුරුදු 18-24ත් අතර යෞවනයන්ය. අප ඒ පිළිබඳ තොරතුරු සොයා යාමේදී රැවටීමට ලක්වූ තරුණ පිරිස් විශාල වශයෙන් හමුවූ අතර, ඔවුන් ලබාදුන් තොරතුරු මෙම ලිපිය පුරා දිවෙයි. මෙම තොරතුරු ගවේෂණය අප මහනුවර ප්‍රදේශයෙන් ආරම්භ කළ අතර, එහිදී හමු වූ උක්ත තරුණයා තවදුරටත් කරුණු හෙළිදරව් කළේ මේ ආකාරයෙනි. “සාමාන්‍ය පෙළ, උසස් පෙළ ලියලා ඉවර වුණාට පස්සෙ ජොබ් එකක් කොහොමත් හම්බවෙන්නෙ නෑනේ.

එතකොට ගෙදරට වෙලා ලැප් එකකින් හරි ෆෝන් එකෙන් හරි සල්ලි හම්බ කරන්න පුළුවන් කියලා කවුරු හරි කිව්වොත් අපි ඒකට කැමති වෙනවනේ. ඒ මානසිකත්වය තමයි ඒගොල්ලො භාවිත කරලා කොල්ලො කෙල්ලො අන්දන්නේ. මෙයාලා ඊ-මනි කෝස් එකක් කියලා තමයි ප්‍රසිද්ධ කරන්නේ. ඉස්සෙල්ලම ඉන්ටවිව් එකක් තියෙනවා. එතැනදි එයාලා කියනවා අපි ඇක්ටිව් (Active) හා පැසිව් (Passive) කියලා ඉන්කම් දෙකක් ගැන උගන්වනවා කියලා.

ඇක්ටිව් ඉන්කම්වලින් තමන් වැඩ කළොත් සල්ලි හම්බ වෙනවා. පැසිව් ඉන්කම්වලින් තමන් නිදාගෙන හිටියත් සල්ලි හම්බ වෙනවා කියලා තමයි ඒ වෙලාවේ පළමු විෂබීජය ඔළුවට දාන්නේ. ඉන්ටවිව් එකේදි එයාල පෙන්නනවා හොඳම කට්ටිය 10-15ක් තමයි මේකට තෝරගන්නේ කියලා. ඊටපස්සේ ඊ-මේල් එකකින් හරි වෙන මොකක් හරි දේකින් අපට දැනුම් දෙනවා තෝරාගත්ත බව.

විශේෂ තෝරාගැනීමක් නෑ. ඒ වුණාට පෙන්නන්නෙ තෝරගත්ත කෙනාට මාර අවස්ථාවක් ලැබුණා වගේ චිත්‍රයක්. මේකෙ පාඨමාලා ගාස්තුව රුපියල් 20,000-30,000ත් අතර වෙනවා. ඒ පාඨමාලාවෙදි තමයි මොළ හෝදන්න පටන්ගන්නේ.”

ආදායම ඇක්ටිව්ද? පැසිව්ද?

ඉන් එහාට කතාව කියා සිටියේ දඹුල්ල ප්‍රදේශයේ සිට මෙම පාඨමාලාවට පැමිණි යොවුන් යුවතියකි. “මුල් දවසේදිම ඇක්ටිව් ඉන්කම් විදිහට යූටියුබ් වගේ අන්තර්ජාලයෙන් මුදල් ලබාගත හැකි දේවල් කියලා දෙනවා. ඒක මූලිකව කරලා තමයි නෙට්වර්ක් මාකටිං ගැන ඔළුවට දාන්නේ. අපට බෝඩ් එකක ඇඳලා පෙන්නනවා මේ කාලෙ වෙනකොට මේ ගාණ හොයන්න පුළුවන්, තවත් ඉදිරියට යනකොට මේ ගාණ හොයන්න පුළුවන් කියලා.

ඒක ලක්ෂ ගාණක්. ඒ අතර නෙට්වර්ක් මාකටිං හොඳයි කියලා සිංහලට පරිවර්තනය කරල තියෙන පොතකුත් දෙනවා. ඒ කාලය ඇතුළත මේ පාඨමාලාවට අපිව සම්බන්ධ කරපු කෙනා හවසට කතා කරලා අහනවා, ‘ප්‍රශ්න මොකුත් තියෙනවද? ඔයා තෝරාගන්නේ ඇක්ටිව්ද, පැසිව්ද’ කියලා. ඒ වෙනකොට ළමයි පැසිව් පැත්තට ඔළුව හදාගෙන යමිනුයි තියෙන්නේ. මොකද ගෙදර ඉදිද්දිත් සල්ලි ලැබෙනවා නම් කවුද ඒකට අකමැති වෙන්නේ.

ඔහොම ගිහින් හතරවෙනි දවස වගේ වෙනකොට තමයි සිස්ටම් එක ඔළුවට දාන්නේ. ඉතින් ළමයි හිතනවා දෙන්නෙක් එකතු කරලා දීලා ගෙදර ඉඳන් සල්ලි හොයන්න. එයාලා අපට ඒත්තු ගන්නනවා ‘ඔයාලගේ ෆෝන් එකේ යාළුවො කී දෙනෙක් ඉන්නවද? අපට ඕන එයින් දෙන්නයිනේ, ඇයි ඔයාලාට ඒක කරන්න බැරි’ කියලා. හවස් වෙනකොට සම්බන්ධීකරණය කරපු කෙනා කතා කරලා, පැසිව් ඉන්කම් තමයි හොඳ කියන චිත්‍රය දීලා උපක්‍රමශීලීව නෙට්වර්ක් මාකටිං පැත්තට ඇදල ගන්නවා.

මුලින් ඉන්ටවිව් එකේදි ඒ අය පැති තුනක් තෝරාගන්න පුළුවන් කියල කිව්වට අවසාන වෙනකොට කියනවා එකක් තෝරගන්න කියලා. තුනක් තෝරගෙන දියුණු වෙච්ච කෙනෙක් නෑ, ඒ නිසා එකක් තෝරගන්න කියලා පැසිව් ඉන්කම් පැත්තට ටික ටික යොමු කරනවා. ඔය අස්සෙ ඒ ආසන්නයේ තියෙන ප්‍රසිද්ධ කන්දකට ක්ෂේත්‍ර චාරිකාවක් එක්කං යනවා. ඒකෙදි විවිධ උපක්‍රම භාවිත කරලා ඔයාලට දරාගන්න පුළුවන්, ඒ හයිය තියෙනවා කියලා ඒත්තු ගන්වනවා. මොකද නෙට්වර්ක් මාකටිං කරද්දි සමාජෙන් ලොකු පීඩනයක් එල්ල වෙනවනේ. ඒ පීඩනය දරාගන්නයි එහෙම පුහුණුවක් දෙන්නේ. ඒ වගේම කවුරුහරි ඇවිල්ලා තනි තනියෙන් අරගෙන කතා කරනවා. අපේ අනාගත හීන ගැන අහනවා.

ගොඩක් අයට තියෙන්නේ කාර් එකක් ගන්න, ගෙයක් හදාගන්න වගේ දේවල්නේ. එතකොට එයාලා අහනවා ඕවත් හීනද? හීන තියෙන්න ඕනෙ දූපතක් ගන්න, නැවක් ගන්න. ඒවා තමයි හීන. පැසිව් ඉන්කම් පටන්ගත්තම ඒවා හැබෑ කරගන්න පුළුවන් කියලා ඔළුව හදනවා.”

රාමුවෙන් පිට ග්ලෝබල් බිස්නස්

මෙම වංචාවට හසුවූ තරුණ තරුණියෝ විශාල ප්‍රමාණයක් ලංකාව පුරාම සිටිති. නුවරඑළිය ප්‍රදේශයේදී අපට හමු වූ තරුණයෙකු තම අත්දැකීම් විස්තර කළේ මෙලෙසිනි. “අවසාන දිනය වෙනකොට ළමයින්ගේ ඔළුව නෙට්වර්ක් මාකටිං වලට හදලා ඉවරයි. ළමයි කෝටිපතියෝ වගේ තමයි හැසිරෙන්නේ. එහෙම හැසිරෙන්න කියලා එයාලත් කියනවා. රාමුවෙන් පිට හිතන අයට ඉන්නේ අපි විතරයි, අනිත් ඔක්කොම පිස්සෝ කියන මනෝභාවය තමයි ඔළුවල හදන්නේ. අන්තිමට නෙට්වර්ක් මාකටිං කරනවා කිව්වමත් බොරු ගණන් ඉස්සීමක් කරලා තමයි අපිව ගන්නේ.

ඊට පස්සෙ කියනවා දෙමාපිය අවසරය නැතුව ගන්න බෑ, ඒ අය එක්කන් එන්න කියලා. ඒ අය ආවමත් මොළ හෝදනවා. ‘ඔයාලගේ ළමයට හොඳ බිස්නස් නොලේජ් එකක් තියෙනවා. අපි මෙයාව තෝර ගත්තා ග්ලෝබල් බිස්නස් එකකට. මෙයාව අපි හොඳ තැනකට අරන් යනවා. ඒකෙ වගකීම අපි සම්පූර්ණයෙන්ම භාර ගන්නවා. තව අවුරුදු පහක්වත් මෙතන ඉන්න ඕනේ. ඒ කාලය ඇතුළත තවත් පුහුණු කරනවා. ඒවා ලංකාවේ වගේම පිටරටවලත් කරන්න යවනවා’ කියලයි ඒ අය දෙමාපියන්ගේ මනස හදන්නේ.

අනිත් කාරණය තමයි එයාලා දෙමාපියන්ට කියනවා “මෙයාට දෙන සල්ලි ණයක් විදිහට දෙන්න. ඒ සල්ලි ගෙවන්න පුළුවන් මට්ටමට අපි මාස හයක්, අවුරුද්දක් ඇතුළත ගේනවා’ කියල. ඉතින් අම්මලා තාත්තලා මේ චාටු කතා බස් අහලා බයික් විකුණලා, ගෙවල් දොරවල් උගස් තියලා සල්ලි දෙනවා.

ගොඩ යන්න බිස්නස් වොලියුම් කීයක් ඕනද?

මෙතන භාණ්ඩ පැකේජ් තියෙන්නේ. ඒවට වටිනාකම් තියෙනවා. ඒ වටිනාකම් හදන්නේ බිස්නස් වොලියුම් ඒකකවලින් (BV). අන්තිමට එයාලා කොන්දේසියක් දානවා බිස්නස් වොලියුම් 1500ක්වත් ගන්න ඕනේ කියලා. ඒකෙ වටිනාකම රුපියල් 145,000ක් විතර වෙනවා. බැරිම වුණොත් BV 500ක්වත් ගන්න කියනවා. ඒවයේ වටිනාකම රුපියල් 60,000ක් විතර වෙනවා.

මේ ගෙවීමත් එක්ක තමයි මේ ජාවාරමට අපි හවුල් වෙන්නේ. එතැනින් පස්සෙ අපිත් ව්‍යාපාරයේ කෝඩිනේටර්ලා බවට පත්වෙනවා. මුලින්ම ඒ අය කියනවා 250ක ලිස්ට් එකක් හදන්න කියලා. ඒකෙන් හොඳම 10 දෙනෙක් පාඨමාලාවට සම්බන්ධ කරලා දෙන එක තමයි ඉලක්කය. එහෙම වුණොත් අඩුම තරමේ එයින් දෙන්නෙක් ව්‍යාපාරයට සම්බන්ධ වෙයි කියලයි හිතන්නේ. පාඨමාලාවට සම්බන්ධ කළොත් එක් අයෙකුට රුපියල් 5000ක විතර කොමිස් මුදලක් හම්බ වෙනවා. හැබැයි අපිට ඒක ලැබෙනවා කියලා එක්කන් ගිය අය දන්නෙ නෑ. ඒ 5000 ගන්නත් ආයතනයට බැලමෙහෙවර කරන්න ඕනේ.

ඊට අමතරව අපේ යටින් වම් හා දකුණු පැතිවලින් සම්බන්ධ කරන දෙන්නා, එක්කෙනෙක් BV 1500 බැගින් BV 3000ක භාණ්ඩ මිලදී ගත්තොත් රුපියල් 10,500ක කොමිෂන් එකක් හම්බ වෙනවා. ඒ දෙන්නත් අර විදිහටම දෙන්නෙක් සම්බන්ධ කළාම තමයි ක්‍රමානුකූලව පිරමීඩය පහළට ගලාගෙන යන්නේ.

විශ්‍රාම පාරිතෝෂිකයත් අහිමි කරගත් අම්මලා

ගම්පොල, ගෙලිඔය ප්‍රදේශයේදී අපට හමුවූ මවක් හැඬූ කඳුළින් මෙලෙස අදහස් දැක්වූවාය. “මම රජයේ දෙපාර්තමේන්තුවක සේවය කළේ. ඒ වගේම රෝගියෙක්. ඒ නිසා මට විශ්‍රාම ගන්න සිද්ධ වුණා. මගේ අසනීප තත්ත්වය නිසාම ස්වාමිපුරුෂයාත් කලින්ම විශ්‍රාම ගත්තා. අපට ඉන්නේ එකම දුවයි. වැලිගල්ල පැත්තේ ඉන්න එයාගෙ යාළුවෙක් දුවට කියලා තිබුණා මහනුවර කෝස් එකක් තියෙනවා, ඒකෙන් ඉගෙනගත්තොත් හොඳ තැනකට යන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඒ ළමයත් එක්ක ගිහින් දුව කෝස් එකට බැඳුණා.

ඒ දවස්වල මගේ අසනීප තත්ත්වය නිසා මහත්තයටත් ඒ ගැන හොයන්න වෙලාවක් තිබුණෙ නෑ. කොහොමහරි දවස් කීපයක් පුහුණුවීම් කරලා සහතිකයක් එහෙමත් දුන්නා. එහෙම දීල කිව්වලු එතැනින් එහාට යන්න සල්ලි වගයක් බඳින්න, ඒ වගේම තව දෙන්නෙක් එකතු කරලා දෙන්න කියලා. දුව ඒකට මටයි, මහත්තයටයි කරදර කළා. එක දවසකට මෙච්චර හොයන්න පුළුවන් කියල දුවව ඒ අය රවට්ටලයි තිබුණේ. ඒවා අපට කියනකොට අපිත් හිතුවෙ හොඳ ආයතනයක් වෙන්න ඇති,

දුවට හොඳක් වෙයිනේ කියලා. මම ඒ වෙනකොට රෝහල්ගත වෙලා හිටියත්, කමක් නෑ සල්ලි ගෙවමු කියලා කිව්වා. දෙන්නෙක් ඕන කිව්ව නිසා රුපියල් 40,000 ගානේ මමයි, මහත්තයයි දෙන්නා රුපියල් 80,000ක් බැඳලා ඒකට එකතු වුණා. අන්තිමට ඒ අය හොයාගන්නත් නැති වුණා. මම දුව සම්බන්ධ කළ ගෑනු ළමයට කතා කළාම එයා විවිධ හේතු කිව්වා. ඔක්කොම රුපියල් ලක්ෂ දෙකක් ගෙවලා තිබුණත් තවමත් ඒ සල්ලි අපට ලැබුණෙ නෑ. අපි දෙන්නට ලැබිච්ච විශ්‍රාම පාරිතෝෂික මුදලින් තමයි ඒ ලක්ෂ දෙක ගෙව්වෙ. එතනට මුදල් ගෙව්ව රිසිට්පත්, අනෙකුත් පොත්පත් එහෙම ළඟ තියෙනවා.

අවශ්‍ය තැනකට ඒවා ඉදිරිපත් කරන්න පුළුවන්.” ඕනෑම ආයතනයක් ක්‍රියාත්මක වන්නේ උඩ සිට පහළට පිරමීඩාකාර හැඩයකින් බව මෙහි දේශකයෝ තරුණ තරුණියන්ට උගන්වති. ඔවුන් ඒ සඳහා උදාහරණ ලෙස ලංකාවේ පාර්ලිමේන්තුව, පොලිස් දෙපාර්තමේන්තුව, පාසල් සහ අමාත්‍යාංශ පාලනය වෙන පරිපාලන හැඩය පිරමීඩ ලෙස ගෙන හැර දක්වති. එසේම පෞද්ගලික මූල්‍ය ආයතන සහ රක්ෂණ සමාගම් වල හැඩයද පිරමීඩාකාර වන බවත්, ඒවායේ සංසරණය වන මුදල් යටින් එකතු වී, ඉහළ අයට කොමිස් මුදල් ලැබෙන බවත් පෙන්වා දෙති.

මහබැංකුව මොකද කියන්නේ?

පිරමීඩාකාර ආයතනික ව්‍යුහයන් සහ පිරමීඩ ව්‍යාපාර අතර සමානකමක් නැත. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ, බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ, අතිරේක අධ්‍යක්ෂ ජී.කේ.කේ. ගමගේ මහතා මෙලෙස පැහැදිලි කිරීමක් කළේය. “මුදලින් ගෙවීමක් කළයුතු, තවත් සාමාජිකයන් බඳවා දිය යුතු, වැඩි වැඩියෙන් මුදල් ගෙවීමේදී හෝ වැඩි වැඩියෙන් සාමාජිකයන් බඳවාගැනීමේදි ලැබෙන ප්‍රතිලාභ සහ කොමිස් මුදල් වැඩි වන ආකාරයේ යෝජනා ක්‍රම තහනම් යෝජනා ක්‍රම හැටියට දක්වන්න පුළුවන්.

සරලව කියනවා නම් තමන් මොකක්හරි මූල්‍ය යෝජනා ක්‍රමයකට සම්බන්ධ වෙලා, මුදල් ගෙවීම් කරලා භාණ්ඩයක් හෝ සේවාවක් එම මුදලට ලබාගෙන, තව තවත් අය එයට සම්බන්ධ කිරීම තුළින් තමන්ට වැඩියෙන් ප්‍රතිලාභ ලැබෙනවා නම්, සාමාන්‍ය ජනතාව පිරමීඩ ක්‍රම හැටියට හඳුන්වන එවැනි යෝජනා ක්‍රම නීති විරෝධියි. තමන් වටිනාකමට සරිලන මුදලක් ගෙවලා භාණ්ඩයක් ලබාගන්නවා නම් එතන ගැටලුවක් නෑ. නමුත් මෙතනදි සිද්ධ වෙන්නේ තමන් ගෙවන මුදලට සමාන වටිනාකමට භාණ්ඩයක් හෝ සේවාවක් ලබාගැනීම වෙනුවට කුමක් හෝ භාණ්ඩයක් ලබාගැනීමට මේ වංචාකරුවන් මිනිස්සු පෙළඹවීමයි.

ඒ වගේම තවත් අය මේකට සම්බන්ධ කරවන්න පොළඹවනවා. 1988 අංක 30 දරණ බැංකු පනතේ 83(ඇ) යටතේ වගේම, 2006 අංක 5 දරණ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේත් මෙවැනි පිරමීඩාකාර යෝජනා ක්‍රම නීතිවි*රෝධියි. මෙවැනි තහනම් යෝජනා ක්‍රමයකට කවර හෝ අයුරකින් සම්බන්ධ වී වැරදිකරුවෙකු වෙන පුද්ගලයෙකුට අවුරුදු තුනකට නොඅඩු සිර*දඬුවමකට හෝ රුපියල් ලක්ෂ 10ක දඩයකට හෝ ඒ දෙකටම යටත් කරන්න පුළුවන්.

පිරමීඩ ජාවා*රමට ප්‍රසිද්ධ නමක්

අප මෙහි හෙළිදරව් කරන නෙට්වර්ක් මාකටිං අධ්‍යාපන ආයතනය මෙම ජාවා*රමේ ප්‍රධානතම ආයතනය නොවේ. ඊට පිටුපසින් එහි ප්‍රධාන ආයතනය පවතින අතර, එය වසර ගණනාවක් පුරා පිරමීඩ ජාවා*රමට ප්‍රසිද්ධ ලංකාවේ ප්‍රධාන නාමයකි. අදාළ නෙට්වර්ක් මාකටිං අධ්‍යාපන ආයතනය ප්‍රධාන ආයතනයට අවශ්‍ය ගොදුරු හා තැරැව්කරුවන් එක්කරන ප්‍රධාන මාර්ගයයි. මේ ආයතන දෙකම එකම හිමිකරුවන්ගේය.

නමුත් මෙවැනි ජාවා*රම්වල නොයෙදී සැබෑ ලෙසම දරුවන්ට ව්‍යාපාරකරණය පිළිබඳ දැනුම ලබාදෙන ආයතන ගණනාවක් රට පුරා ඇත. එම ආයතන මෙම හෙළිදරව් කිරීම් හමුවේ සැලිය යුතු නැත. ඔවුන්ද කළ යුත්තේ මෙවැනි වං*චනික ආයතන හෙළිදරව් කිරීමයි.

අනෙක් අතින් දෙමව්පියන්ද තම දරුවන් අධ්‍යාපන කටයුතු සඳහා ආයතන වෙත යොමු කිරීමේදී වඩාත් සැලකිලිමත් විය යුතුය. බෝලය පාස් නොකර කළ යුත්තේ කුමක්ද? ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ මෙම නීතිවිරෝධී ජා*වාරම් සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කරන ලෙසයි. එහෙත් පැමිණිලි කිරීමට පොලීසියට ගිය විට ඔවුන් පවසන්නේ මේ සම්බන්ධව ශ්‍රී ලංකා මහ බැංකුවට පැමිණිලි කරන ලෙසයි.

මේ වනවිට පිරමීඩ ජාවා*රම් හේතුවෙන් අසාධාරණයට පත්වූවන්ට පැමිණිලි කිරීමට හෝ රාජ්‍ය ආයතනයක් නොමැති තත්ත්වයක් උදා වී තිබේ. අපට දිනෙන් දින ලැබෙන තොරතුරු අනුව ලංකාව පුරාම මෙවැනි පිරමීඩ ව්‍යාපාර ගණනාවක් ක්‍රියාත්මක වන අතර, ඒවා එකිනෙකට වෙනස්ය.

බැලූ බැල්මට පිරමීඩ ව්‍යාපාර සේ නොපෙනෙන, එහෙත් අභ්‍යන්තරව නීතිවිරෝධී පිරමීඩ ව්‍යාපාර පවත්වාගෙන යෑමට ඔවුන් සමත් වී තිබේ. ඒවා මැඬපැවැත්වීමට නම් විශාල අධ්‍යයනයක් සිදුකළ යුතුව ඇත. ඒ සඳහා අවශ්‍ය කාර්යමණ්ඩල හිඟයන් ගැන නිතරම කතා කරන ශ්‍රී ලංකා මහ බැංකුවට හෝ මුදල් අමාත්‍යාංශයට අලුත බඳවාගත් සංවර්ධන නිලධාරීන් හෝ යොදාගෙන අධ්‍යයන, නිරීක්ෂණ හා වැටලීම් කණ්ඩායම් ගොඩනැගිය හැකිනම් මේ පිරමීඩ උවදුරෙන් රට ගලවාගැනීමට හැකිය. එනිසා ඒ පිළිබඳ ශ්‍රී ලංකා ගැඹුරින් සිතා බලා කටයුතු කිරීම මහ බැංකුවේ වගකීමකි.

නුවරඒළිය සම්පත් ජයලාල්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
2
අවුල් වගේ !
0
හරි හිනා !
3
හම්මෝ !
1
මාර දුකයි !
2
මලපනිනව !
1
කුජීතයි !
0

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්